Monday, November 28, 2016
46. වයින් එක්ක පොල්සම්බෝල
සමහර වෙලාවට ලියන්නේ මොනවද කියල හරියටම හිතාගන්න බැරිවෙන්නේ පුංචි සිදුරකින් රිංගන්න පොරකන සබන් බුබුළු තොගයක් වගේ ලියන්න ජාති ගොඩාරියක් ඔලුවේ හිරවෙන නිසා වෙන්න ඇති. ඉතින් සමහර සබන්බුබුලු සාර්ථක වෙච්ච සබන් බුබුළු වලට තෙරපිලා බිඳිලා යනවා වගේ සමහර අදහස් ඒ මොහොතේ නොලිව්ව නම් ආයෙමත් නොඑන්නම බිඳිලා යනවා. ලියන මානසික තත්වය, වෙලාව ලැබුනහම බලනකොට ආයෙමත් ගන්න බැරි තැනකට ඒ අදහස තල්ලු වෙලා ගිහින්.
බ්ලොග් වල ලියන්න ඕනේ මොනවද කියල මම මිට මාස ගානකට කලින් හොඳ 'ලෙච්චර්' එකකට සම්මුඛ වෙන්න උනා. ඒ උන්නාන්සේ කිව්වේ ටෙක්නිකල් දේවල්, කවි, සාහිත්‍ය වගේ දේවල් තමයි ලියවෙන්න ඕනේ කියල. මම ඉතින් විරිත්තපු මුණක් දාගෙන අහගෙන හිටිය, මොකද ඒ වෙනකොට මම බබෙක්. ( ඒ බබා ඒ වෙනකොටත් සෑහෙන කවි, කතන්දර, සාහිත්‍ය විචාර විතරක් නෙවෙයි, පණ්ඩිත කතාත් තොගයක් බ්ලොග් ගත කරලා ඉවරයි)
බ්ලොග් වල ලියන්න ඕනේ මොනවද? හැබෑටම මොනවා ලිව්වොත්ද හොඳ? හිට් වෙන්නේ? ( මේ දෙක පැහැදිලිවම දෙකක් හොඳේ?? ලියන්න හොඳ සහ හොඳටම හිට් වෙනවා කියන එක !) සමහරු කැමති හිට් වෙන දේවල් ලියන්න. තවත් සමහරු කැමති තමන්ට ඕනේ බහුබූත ලියන්න. හිට්වන බහුබූත ලියන අයත් ඉන්නවා.
ඒ අතරින් දේශපාලනය ගැන ලිවිම තියෙන්නේ උඩින්ම. මොකද දේශපාලනය කියන්නෙම බහුබුතයක්! ඒවා මිනිස්සු කියෝනව, සහ මොකද්දෝ කාලකන්නි සතුටකට අපි ඒවා 'හොට් නිවුස්' ලෙස සලකනවා. මමත් දේශපාලන ලිපි කියවනවා, මොකද මටත් දේශපාලනය ගැන මගේම මතවාදයක් තියෙන නිසා. නමුත් දේශපාලන ලිපි කියන්නේ අද බහුතරයක් දෙනා ලියන විගඩම් නෙවෙයි. මම නම් දකින හොඳම දේශපාලන ලිපි තිබ්බේ/මම කියෙව්වේ බ්ලොග් එකක . එහි සමබර ගතියක් දැනෙනවා, රචනා ශෛලිය උනත් උචිතයි. අපහාස අඩුයි සහ තාර්කිකයි.
මම දැකලා තියෙනවා තමන්ට තියෙන දේශපාලන මතවාදය ලියන්න ගිහින්, ඒ ලිපිය කෙලිම්ම මඩගොහොරුවක් කරලා, ඌරන්ට නිදහසේ සෙල්ලම් කරන්නට, නරින්ට හූ කියන්නට විවෘත කරලා තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ එක පාටකින් තමන්ගේ රුධිරය පාටකරගත්ත, සදාකාලික දේශපාලන සතුරෝ/මිතුරෝ ඇතිය කියලා මනෝ විකාරයකින් ජීවත්වෙන මිනිස්සු. මේකට පොතේ-පතේ, උපාධියෙන් ලැබුණු උගත්කම බලපාන්නේ නැහැ. සමාජයේ උගත් කියල හිතෙන අයත්, නුගත් කියල හිතනම තලයත් කියන දෙකොටසම මේ වැඩේ කිසිම ලැජ්ජාවක් නැතුව කරගෙන යනවා.
ඇත්තටම වැඩක් තියෙනවද?
ඒ වගේ ලිපි වලින් කරන්නේ ද්වේශය ඇති කරන එක. කියවන්නා තුල ගැටුමක් නිර්මාණය කිරීමෙන් වෙන්නේ මොකද්ද? කවදාවත් ලිපියක් කියෝලා එකවරම හෝ නොබෝ කලකින් සිය දේශපාලන දර්ශනය වෙනස් වෙලා තියෙනවද? ( එහෙම වෙලා තියෙනවා නම් ඔහුට කොහොමත්ම දේශපාලන දර්ශනයක් තිබිලම නැහැ, මොකද එහෙම දර්ශනයක තාර්කික බවක් ඇත්තේ නැහැ.) මේ පාර අපි දුන්නේ අහවලාට, ගිය පාර අපි දුන්නේ අහවලාට, ඇද්ද උඹලට වශයෙන් වහසිබස් දොඩමින් ඉඳීම ඇත්තටම මට නම් පෙනෙන්නේ තමන්ගේ ටොෆි කොළ එකතුව ගැන වහසිබස් දොඩන මොන්ටිසෝරි ළමයෙක් වගේ.
මේක ලිව්වේ එහෙම ලියන්න එපා කියන්න නෙවෙයි. ලියන කෙනා මම නෙවෙයි කවුරු කිව්වත් ලියනවා. මම මේ සටහන තිබ්බේ වැඩිහිටියෝ 'වගේ පේන' මේ මිනිස්සු නේද කතිරේ කොටලා අපිට මේ තත්වේ උදාකරල දීල තියෙන්නේ කියල මට වැටහුණු නිසයි.
කලාකාරයෝ නලාකාරයෝ වෙලා කියල බනිනවා. ඇයි හත්වලාමේ නුඹලාටත් වෙලා තිබෙන්නේ එයම නේද? ඔය දේශපාලන කුණු මාළු කෑල්ල අතහැරලා ලියනවකෝ වෙනත් දෙයක්! පරණ ශ්‍රී විභූතිය පලු අරින්නේ, කරනවකෝ තමුන්ම යමක්! අඩුම තරමේ මොන්ටිසෝරි යන එකෙක්ට පන්තියේදී හදන්න පුළුවන් නව නිර්මාණයක් කරනවකෝ!!
නම් කරන්නත් හිතෙනවා.. එක්කෝ ඕනේ නැහැනේ නේද? මොලයක් තියෙනවා නම් ඒ උන්දලාම කියෝලා බලයිනේ මේ පාලු බ්ලොග් එකට ඇවිත් !
ප.ලි. මාතෘකාව ගැන හිතන්න එපා. ඒක දැම්මේ වයින් කිව්වහම පොල්සම්බෝල වයින් එක්ක කනවද, කලින් කනවද කියල හිතන අයත් ඉන්න නිසා.
Wednesday, November 23, 2016
45. සිනමාපටය
Mahnoor Shah Tutt'Art |
මේ සිනමාපටය
ඔබ - මා සමඟ රඟන ,
තිරපිටපත නිතර අළුත්වන
පරණ කතාවම ආයෙත් කියන....
සටන් ජවනිකා අතරතුර,
මනබඳින ගීත වාදනයවන.
සහය නළුවන්ම වටා කැරකෙන,
දර්ශනතලය පසෙක මා බලාහිඳින...
එකම දර්ශනය
සියවතාවක් රූගත කරන,
ක්‍ෂුද්‍ර මම ශේෂව
හෙළකින් පහළට වැටෙන,
නැවත පිටපතේ
යහතින් සිටියයුතු වෙන?
Thursday, November 17, 2016
44. සිසිල් උණුහුම් හැඟුම්
ඔබේ මුදු සුළඟිල්ල වටා මා වෙලී උන්
ඉබේ ටම පියෙන නෙත නුඹේ උරහිසක වන්
තිබේ පෙර සසරකම හුරු පුරුදු ආදරෙන්
නුඹේ උණුසුම විඳිමි මුදුව තුරුලට අරන්
වින්දාට නෙත පිනන මේ උයන මල් රටා
දම්පාට මම අඳින ලා සඳේ රූ වටා
මැව්වාට මිරිඟුවට යනුය නොහැකිය ඉටා
පෙම්පාට හිත තාම දැවටෙන්නේ නුඹ වටා
Tuesday, November 15, 2016
42. පබවත සහ වත්මන
ඉතිහාසය අමුතුයි. ඇත්තටම මට ඒක ගොඩක්ම අමුතුයි. මොකද ඉතිහාසයේ සමහර දේවල් ගැන අපි අද කල්පනා කරන විදිය ගැන අනාගතේදී හිතල බැලුවොත් හොඳින්ම වැටහෙන කාරනාවක් තමයි, හැමෝම ඉතිහාසෙට වඳිනවා මිසක්, නැවත නැවතත් එකම වලක් ඇතුලේ දෝනා කපනවා නේද කියල.. එහෙම නෙවෙයිද?
යශෝධරාවත කියන්නේ මම ඉතාම ආසාවෙන් සහ උනන්දුවෙන් කියවපු, නැවත නැවත පරිශීලනය කරන්නට තරම් ප්‍රිය උපදවන කොටසක්. එහි තිබෙන්නේ සංකල්පමය වශයෙන් විචිත්‍ර රසයක්. ඒ කියන්නේ එහි ආනන්දය වගේම , ක්‍රෝධය, ශෝකය, ආදරය, සෙනෙහස, ප්‍රේමය, රාගය , කරුණාව විතරක් නෙවෙයි වෛරය , ජුගුබ්සාව පවා එකලෙස එකතු වෙලා තියෙන නෙල්ලි ගෙඩියක් වගේ. මම අන්ධ භක්තිකයෙක් නෙවෙයි කියල මටම කියාගන්න සුදානමක් නැති උනත් ගොඩක් වෙලාවට මම ඒ වගේ චරිත කතා කියවන්නේ ආගමික මුහුණුවරක් හිතින් අයින් කරලා. සිද්ධාර්ථ චරිතය ගැනත් මට පොඩි කාලේ ඉඳලාම ගොඩක් ප්‍රශ්න තියෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. ( දැන් නම් ඒවා විසඳිලා සදාකාලික විදියටම. ප්‍රශ්න වලට පිළිතුරු ලැබීමෙන්ම තමයි ඒවා විසඳුනේ.)
යශෝධරාව කියන්නේ ගෞතම බුදුරජානන් වහන්සේගේ බුද්ධත්වය කරා යන ගමනේදී බෝධිසත්ව අවධි වලදී හිටපු සහකාරිය. මම මේකෙදි සරල උපකල්පනයක් කරනවා ඒ බොහෝ උප්පත්ති වලදී බෝධිසත්වයන්ගේ බිරිඳ ලෙස යශෝධරාව ඉන්නට ඇතිය කියලා. එතැනදී බොහෝ කියන එකෙන් අදහස් කලේ අති දීර්ඝ සසර ගමනේදී අනේක වාරයක් බෝධිසත්වයෝ අවිවාහකව ඉන්නට ඇති, අනේක වාරයක් වෙනත් බිරිඳක් හා ගෙවන්නටද ඇති. ඒවා විය හැකි දේවල්.
මේ සසර ගමනේදී ඇගෙන් ලැබුණු සහය ගැන බුදුරජානන් වහන්සේ විසින් වෙනම දීර්ඝව ගුණකතනයක් ලෙස පැහැදිලි කළා, පළමුව උන්වහන්සේගේ ගිහිකල පියා බලන්නට පැමිණි අවස්ථාවේදී. එනම් යශෝධරාව කියන්නේ බුදුරජානන් වහන්සේ පවා වර්ණනාවට ලක්කරනලද චරිතයක්!
එක භවයකදී ඈ ඉතාම බුද්ධිමත් අමරා දේවිය ලෙසත්, තවත් භවයකදී රජවූ බෝධිසත්වයින්ට අග බිසව ලෙසත් වගේම කුස කුමාරයාට පබාවතී ලෙසත් පදුමුත්තර කුමාරයාට බිසව ලෙසත් වශයෙන් විවිධ භූමිකාවන් වලට පනපොවනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව සම්පුර්ණ බිරිඳක් ලෙස පැසසුම් ලබන යශෝධාරා ගැන අප කතාකරද්දී පබාවතී සහ පදුමුත්තර කුමාරයාගේ බිසව අපට සර්ව සම්පුර්ණ ලෙස අමතකවීම කොතරම් පුදුමයක්ද?
පබාවතී කියන්නේ කුස කුමාරයාට නොසෑහෙන්න අවමන් කරමින් කුස කුමාරයාගේ ඛන්ති පාරමිතාව ( පාරමිතාව, උප පාරමිතාව සහ පරමත්ත පාරමිතාව වශයෙන්) සම්පුර්ණ කිරීමට බෝධිසත්වයින්ට ලැබුණු එක්තරා භාවයක සිටි 'වධක බිරියක්' නොවේද? පදුමුත්තර කුමාරයා විසින් පූරණය කරන්නට යෙදුනු යම් පාරමිතාවක්/පාරමිතා සඳහා එන බිසවගෙන් සහයක් ලැබුනේ නැහැ කියන්නෙම කෙසේද? පබාවතී එසේ නොකලානම්, කුසට පූර්ණය කරන්නට පාරමිතාවක් ඉතුරුවේද? පදුමුත්තර කුමාරයා බෝධිසත්වයෙක් වන්නට නම් දුෂ්ටයෙක් සිටිය යුතුමයි නොවේද?
බිරින්දෑවරුන් ගැන, සැමියන් තුල තිබෙන්නේ ගොඩක් වෙලාවට කර්කශ ආකල්ප. එහෙම නොවෙන්නේ බොහොම කලාතුරකින්. ඔබේ බිරිඳ පබාවතී නම් ඒ ඉන්නේ අනාගතයේ යශෝධරාවක් ලෙස බලන්නට හැකි වෙයිද? බුදුවන්නට අවශ්‍ය නැහැ, නමුත් ඔබේ ආකල්පය වෙනස් වන්නට පුළුවනි.
කිවයුතු තවත් කාරණයක් තිබෙනවා, ථේරී ගාථා වලදී, යශෝධරාව විසින් බුදුරජානන් වහන්සේ ගේ දෙපා නමදිමින් සසර පුරාම විවිධ භාවයන් තුලදී කරනලද සියලු නපුරුකම්, ද්‍රෝහිකම් ගැන සමාව පවා ඉල්ලනවා. ( එයින් අදහස් කරන්නේ නැහැ ශෝකයෙන් එහෙම කරනවා කියල. මොකද ඒ වෙනකොට යශෝධරාව කියන්නේ රහත් මෙහෙණියක්) එතැනදී විශේෂයෙන් පබාවතී ලෙස දුන්නු දුක් ගැහැට ගැන සඳහන් වෙනවා.
අතීතය තුලින් අප ඇත්තටම මවන්නේ කවර ප්‍රතිරුපයක්ද? වර්තමානයේ බිරිඳ ගැන ඇතිවන වෛරී හැඟීම කියන්නේ අනාගතේ බැලුවහම පුස්සක් නොවේද? සමහර වෙලාවට අපේ ගුණාංග වර්ධනයට ඒ හැසිරීම් පාදක වෙනවා නොවේද?
සමාව දෙන්න බැරි වරදවල් කොහෙද තියෙන්නේ?
ප.ලි. මේක ටැබූ සබ්ජෙක්ට් එකක්ද කියන්න මම දන්නේ නැහැ. එසේ වෙයි නම් ප්‍රවේසමෙන් කොමෙන්ටු කොටන්න. මට නම් කිසිම ගානක් නැත
Tuesday, November 1, 2016
41. මේපල් කොළ
පසුකර පදවමි
ඔබ රැඳුනු නගරය...
ඈතින් සලකුණු කරමි
ඔබ රැඳුනු මාළිගය...
මේපල් කොළ මවමි
ඕක් පත් අමතක කරමි,
සරතයක නෙක පැහැය අමතමි
කල්පයද තත්පරය සසඳමි....
සයින්ධව අසු සමග නුඹ
සමුදුරෙන් පැන එතැයි නොසිතමි...
හැමදා මෙන්ම අදටත්
කාලයේ කෙනෙහිලිම විඳිනෙමි....
Subscribe to:
Posts (Atom)