Monday, May 22, 2017

107. වරල් සැලුණු අතීතේ

මම ආසම කරන දේවල් මොනවද කියල ඇහුවොත් ඇත්තටමට මම 'ආසම නැති' ප්‍රශ්නයක් තමයි ඒක. මොකද එහෙම එකක් දෙකක් නැහැ....

උදාහරනෙකට ගත්තොත්...

කන්න ආස මොනවද කිව්වහම..
ඔන්න ඉතින් අඹ, අන්නාසි, මැන්ගුස් , වරකා, නාරං , අමු සියඹලා, ඇඹරල්ලා, ජම්බු, දොඩම්, ජම්බෝල, කොට්ටම්බා මදේ විතරක් නෙවෙයි වට්ටක්කා ඇට මදේ පවා ඉඳලා, පැලපි දක්වාම ගිහින්... ආ.. ඒ පලතුරු සෙට් එක විතරයිනේ!

තව ඉතින් කඩචෝරු කිව්වහම බිත්තර රොටියේ ඉඳන්, කොත්තු රොටි, ඇරබික් රොටි විතරක්ද.. බුරියානි, නාසුගුරාන් වගේ විකාර කෑමත් එක්ක සැලඩ් ජාති, බර්ගර්, සබ්මැරින් ( නෑ නෑ .. වෙලාවට ඒවා මුහුදේ යන ඒවා නෙවෙයි.. ඒවත් ළඟදීම කන තරමට තත්වේ උග්‍ර වෙලා) , ශවර්මා , තොසේ, වඩේ , පරෝටා, ඉඩ්ලි ( කතා කරන්න බෑ , කෙල උනනවා) එක්කම ඔක්කොම ඉන්දියන් කෑම ජාති එක පේලියට එන්නේ හරියට අර හත්පෙති මලේ පෙත්තක් කඩලා ලෝකේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩු ඉල්ලුවාම ඒවා ගඟක් වගේ ගලාගෙන එන විදියට! ඇයි අනේ ලිට්ල් ලයන් චොක්ලට් රෝල්!! ( ආ සොරි වෙන්න ඕනේ.. ලිස්ට් එක කියලා ඉවර උනා කියලත් අමතක උනා)

ඔන්න ඉතින් බලන්නකෝ ආස දේවල් කියන්න ගියාම වෙන නස්පැත්තිය! ඉතින් 'ඊයා... ඕනෙම දෙයක් ප්‍රමානෙට කරන්න' කියලා පිළිකුල් කලාට මම එහෙම්මම නරක ළමයෙක් නෙවෙයි...!

ඇති නේද මගේ බඩජහරි වරුණාව ? වැඩේ කියන්නේ මම ලියන්න ආවේ කෑම ගැන නෙවෙයිනේ!

මම ලියන්න ආවේ මගේ 'සරුංගල් අතීතේ' ගැන!
(දැක්කා නේද? සයිටම් ගැන කියන්න ගියාම අප්පොච්චි ගැන ලියනවා වගේ, දැක්ක නේද ගැලපුම?)

මම දන්නවා, මේ සරුංගල් කාලේ නෙවෙයි කියලා. අවුරුදු කාලේ හිතාගෙන හිටියා අවුරුදු ගැන ලියන්න.. කෝ කොහෙද මේ අවුරුද්දේ මට අවුරුදුත් නැති උන නිසා කිසිම මුඩ් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ වෙසක් කාලේ ගැනත් තිබ්බා රස වෑහෙන අතීත කතා පොට්ටනියක් දිගාරින්න. ඒකටත් ඉස්පාසුවක් නැති උනානේ. ඒ නිසා මම හිතුවා සීසන් එක එන්න කලින්ම පොස්ට් එක කොටලා දානවා කියල.



සරුංගල් කාලේ තමයි ඉතින් කාලේ!

ඇත්තටම අපේ ගෙදර තිබ්බේ ගමක් වගේ දැනුන ටවුන් එකක නිසා මම පුංචි එකා කාලේ වින්දේ  ගමක තිබ්බ ( දැන් ඔය රුපවාහිනි නාලිකාවල පෙන්වන, නොතිබ්බ ගමක ගැමිකම එහෙම නෙවෙයි) සිරිය.

අපේ ගෙදරට යන පාරේ දෙපැත්තේම සරුසාර කුඹුරු තිබ්බේ එක යායට. දැන් නම් ඒවා එකක්වත් නැහැ. ඔක්කොම ගෙවල් වලට පුජා වෙලා. මේ වෙල් යායවල් වලට එන්නට අම්මාගෙන් අවසර තිබුනේ නැතත්, මගේ අය්යාට ( ඌ අඟහරු ලෝකෙන් ආපු ; තරු අතරේ හිටපු කුමාරයෙක් කියලයි ගෙදර උන් නම් කියන්නේ... අනේ මන්ද... වෙන්නත් ඇති. ඔය උල්කාපාත කෑලිත් තරු අතරේ එහෙට මෙහෙට තල්ලු වේවි තියෙනවනේ!) අම්මගේ මේ 'රූල්ස්' තිබ්බේ නැති එක මට නම් ඉවසගෙන ඉන්න බැරි ගතියක් තමයි තිබ්බේ.

අය්යාගෙයි මගෙයි වයස පරතරේ වැඩි නිසාත්, ස්වභාවයෙන්ම අපි දෙන්නා කාන්දමේ ධන-ඍන අග්‍ර දෙක වගේ නිසාත් ;වලියට බර ;(උනත්) අපි දෙන්නාව ඒකාත්මික කරන මේ 'සීසන්' කියන්නේ මාරම මතකයන්!

සරුංගල් සීසන් එක මට මතක මහා දිග කාලයක් වගේ. ඒ දවස්වල මම ටියුෂන් අහලා තිබ්බේ නැති නිසා ඉස්කෝලේ පුළුවන් තරම් වෙලා තැක් ගැහිලා එලෙව්වම ගෙදර දුවගෙන එන මට , හවස වෙනකොට අය්යාගේ සරුංගල් සැණකෙළියේ මුලික 'බවුන්ඩේසම' වන කෝටූ එකතු කරන මෙහෙයුම දර්ශනය වෙනවා. මුල් කාල වලදී අත්තම්මාගේ පොල් අතු වලට කිට්ටු කරන අය්යා ඇති පදමට ඒවායෙන් ඉරටු ඩැහැගන්නවා.

ඇත්තම කිව්වොත් ඔය පොල් අතු ටික මගෙනුත් අය්යාගෙනුත් බේරගන්න අපේ අත්තම්මා විසින් දියත්කරලා තිබ්බ මෙහෙයුම යාපනේ බේරගන්න ඒ දවස්වල හමුදාවවත් දියත්කරලා තියෙන්න නැතුව ඇති. නමුත් අය්යා ගන්නා ඒ පොල් අතු වලට නඩු වැටෙන්නේ මොන පොතේදැයි මම අදටත් දන්නේ නැත. මගේ තියෙන නස්කුනි ගතියට ඒ අකවුන්ට් එකෙන්ම මමත් ඒ පොල් අතු වලට වගකිව්ව නිසා පොලෝසියේ නඩු ඇහුනේ නැත! ඒ පොල් අතු වලින් මම කරපුවා පස්සේ ලියන්නම්කො!!

මේ ඉරටු ගැනිල්ලේ ඉඳල, ඒවා පදම්කොට සීරු මාරුවට සුද්දකොට ලැස්ති කරනකල් මමත් ඒ පැත්තකින් මාළුවා වගේ එහාට මෙහාට වෙමින් ඉන්නවා. වැඩිය පේන්න ගියොත් මට වැටෙන්නේ පරිප්පු මුට්ටිමයි..

"මේ.. හලෝ... පිහියක් ගේනවකෝ"

ඔන්න ඉතින් මම හෙන අමාරුවෙන් පැන්ට්‍රි එකෙන් පිහියක් ගෙනත් දෙනවා. මොකද මම ඒ දවස්වල පැන්ට්‍රි එකට උසත් නැහැ.

"මේ.. මේක මොකද්ද ඕයි ! මේක කැපෙනවා වැඩියි.. අර මොට්ට පිහිය ගේනවා... අර ප්ලාස්ටික් මිට තියෙන එක"

මට දැන් මල! ඒ උනාට ඒ බව පෙන්නුවොත් අය්යා මාව එලෝ ගන්න නිසා 'පුටු පුටු' ගගා ගිහින් 'ඒ කියන' පිහිය ගේනවා. මේ මොනවා උනත් ඉරටු කූරු ටික ලෑස්ති කරලා ඉවර වෙන්න ලංවෙනකොටම මම මාරු වෙන්න ඕනේ! නැත්තම්...

"මේ.. හලෝ... මෙන්න මේ ටික අස්කරලා දානවා"

කියලා මේ උන්දා යනවනේ යන්න!

මට ඔය කොට කෑලි අදින එක නම් පෙන්නන්න බැහැ. ඉතින් ඌ ඉතුරු කරලා ගියපු ඉරට්ටක් එහෙම අරගෙන අසරණ මමත් හිතට ගන්නවා සරුංගලයක් හදන්න... අනේ පව් නේද පිංවතුනි ? අපේ අය්යා කාරයා එහෙම ඉතුරු කරලා යන කිසිම ඉරටු කෑල්ලක් මෙලෝ වැඩකට ගන්න බැරි තරම් ඒවා. අනේ ඉතින් මගේ ටිකිරි මොලේට ඕක තේරෙන්නේ නැහැ, සුට්ටන් එකීනේ ඒ කාලේ!

ඔය සුද්ද කිරිල්ල ඉරටු වලින් උන පතුරු වලට මාරුවෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.

එහෙම සුද්ද කරන උන පතුරුවල ප්‍රමිතිය නම් ලෙසටම අය්යා බලන්න දන්නවා. මට දැන් මතකත් නැහැ. නමුත් ඒ හැම වෙලාවකම ඉතුරු කරලා යන්නේ ඇද වෙච්ච, පැලිච්ච , හැඩේ අවුල්වෙච්ච ඒවා තමයි.... පස්සේ පස්සේ වෙනස් උනේ, ඌ වැඩේ ඉවරවෙන්න ආසන්නයි කියලා තේරුනාම පෙට්රෝල් ගහපු පුසා වගේ මම පැනලා යන එකයි... නමුත් කූර ලෝකේ කියන්නේ පින්වතුනි, සමහර වෙලාවට ආයෙමත් මම සාලේ මැද්දෙන් ගිහින් මතක බැරි වෙලා මේ මුදානොගත්ත කලාපෙට යැවෙනවා... ආන්න එතකොට අත්තම්මා විසින් මා ලව්වා ඒක අස්කරවනවනේ! ආයෙත් 'පුටු පුටු' ගගා තමයි මම අස්කරන්නේ...

කොහොමහරි කළමනා ලැස්ති කරගෙන අය්යා සති අන්තේ දවසක අහසේ පලක් බැඳගෙන වගේ , කොටින්ම ඇලඩින් අර මැජික් කාපට් එක උඩ ඉන්නවා වගේ පැදුරකුත් එලාගෙන ලැස්ති වෙනවා ඊළඟ කොටසට.

කියන්න සන්තෝසයි මිත්‍රවරුනි, මෙලෝ ලැජ්ජාවක් නැති මම වැඩවර්ජනේ කරනවා කිය කියා වැඩකරනවාත් කියා කියන තොත්තර සංගමේ වගේ ආයෙත් යනවා උන්දා පස්සේ. කොටින්ම මම තමයි බිම පැදුරක් එලලා දෙන්නෙත්. ආවතේව කිරිල්ල මට පෙන්නන්න බැරි උනත්, මේ සරුංගල් පිස්සුව නිසා මම මේවා ඉවසන්නේ යුද්දේ කරන කාලේ අප්පච්චිගේ අනෙක් ඔක්කොම ඉවසුවා වගේ.

හැබැයි... කොළ අලවන්න, බට පතුරු /ඉරටු කූරු ගැටගහන්න ඕනේ හැම දෙයක්ම අය්යා හදාගන්නේ තනියම.

"මෙතනින් පොඩ්ඩක් අල්ලගන්නවා.."

"අර කොලේ දෙනවා..."

"ඔය පාප්ප එක එහාට කරනවා..."

වගේ 'ආදරෙන්' කියන දෙයක් කරලා දෙන්න මම සුටුස් ගාලා ඉදිරිපත් වෙනවා. ඒක මහා ලොකු දෙයක් මට. ඊට අමතරව උන්දැට බොන්න වතුර අදින්නයි; අත්තම්ම හදල තියෙන තේ කෝප්පේ දෙන්නයි වගේ ඩිලිවරි වැඩත් ආවත් මම නෙවෙයි එතැනින් එහාට යන්නේ.

සරුංගලේ හදනකොට තියෙන්න ඕන ඉවසීම, සියුම්කම, සැලකිල්ල කියන දේවල් මට ඒ කාලේ තේරුනේ නැහැ. මටත් දැන් මාර පුදුමයි මේ එකක්වත් යේ අය්යාට නෑනේ එයාගේ සාමාන්‍ය ජිවිතේ.. ඒ උනාට සරුංගලේ හදනකොට නම් ආයේ කියල වැඩක් නැහැ, පුදුම කැපවීමක්!

මුල් කාලේ හැදුවේ ඉරටු කූරු දාලා හොඳ සමනලයා සරුංගල්. වැඩි කාලයක් යන්න කලින් බටපතුරු දාලා හදන 'නයි' විසින් සරුංගල් සංකල්පේ ආක්‍රමණය කරලා තිබ්බා. ඊට පස්සේ ඒ නයි, 'පත නයි' වෙන්න පටන්ගත්තා. අන්තිමට මේ නයි අපේ අය්යාට වඩා උස පෙනයක් තියෙන දැවැන්ත ඇනකොන්ඩා රාජයෝ වෙන්න ගත්තේ අර හොරු, පල් හොරු සහ කම්බා හොරු වෙන්න ගත්ත කාලෙම තමයි!!

මම ඉතින් බලු සර්කස් බලාගෙන ඉන්න ප්‍රේක්ෂක බල්ලා වගේ පන්දම් අල්ල අල්ලා හිටියට අපේ අය්යා නෙවෙයි මට මේ නාග රාජයෝන්ගේ නැට්ටක් වත් අල්ලන්න දෙන්නේ! අහෝ සහෝදර වරුණි..  ඔන්න මගේ දුප්පත් ජිවිතේ!

ඒත් මම අත අරිනවද? නෑ ! ලැජ්ජා නැතිකම කියන්නේ ඒත් යන්නේ නැහැ. බිම වාඩි වෙලා ඇති උනාම හරි වෙන මොකක් හරි 'පුංචි' වැඩකට හරි අය්යා ඉතින් චුට්ටක් නැගිටලා එහාට යන ටිකට මම කරන්නේ අර සරුංගලේ හිතේ හැටියට අතගානවා.

වැඩේ  පත්තු වෙන්නේ අය්යා ආවහම!

"තමුසේ ඇල්ලුවද සරුංගලේ? "

"..........."

"......මොනාද හලෝ පාප්ප ගෑවිලානේ ? යනවා යන්න"

 ඕන්න එතකොට අපේ අය්යා මාව එළවන්නේ හාමුදුරුවන් හොරෙන් දානේ කන ඇබිත්තයා එලෝනවා වගේ. මම ඉතින් අසල තියෙන පුටු කකුලක් හරි, මේස කකුලක් හරි බදාගෙන චුයිංගම් (නෑ චෝගම් නෙවෙයි අනේ!) එක වගේ ඇලිලා ඉන්නවා, ආයෙමත් කරෝල හොරෙන් කාල අහුවෙච්ච බළලා වගේ හොරැහින් බලනවා.....

ඇත්ත තමයි, මගේ තියෙන දාන්ගලේට ඕව වෙනවා තමයි. අනිත් එක අය්යා එන්න කලින් කරන දෙයක් කරගන්න තියෙන හදිස්සියට මට පාප්ප හැලිය තියෙන දිහා පවා මතකයක් නැහැ.

අන්තිමේදී 'ඔන්නොහෙ යුද්දේ දිනන්නේ මයේ පුතේ' කියලා මට පාඩුවේ එතැන ඉන්න දෙනවා කියලා හිතුවට.. පින්වතුනි.. අපේ අය්යා එහෙම ඔය එක එක එව්වා කම්පාවෙන පොරක් නෙවෙයි කියලා මට තේරුමක් නැහැනේ ඒ කාලේ. ඊට පස්සේ මගෙන් ඇති තරම් වැඩ ගන්න මනුස්සයා දන්නවා.

සරුංගලේ උඩ කොටස හැදුවට පස්සේ ගානට බොක්ක තියලා නයාගේ පෙනේ (නොපෙනේ) ගානට හදලා අරගන්නවා. ඊටත් පස්සේ තියෙන්නේ එයාගේ වලිගෙ හදන එක. මේවා ඔක්කොටම හරියන අලිම අලි නූල් පන්දුවක් අම්මාගේ මැෂින් ලාච්චුවෙන් 'ගල්' කරන්නෙත් මමම තමයි. ඒ නූල් සාමාන්‍ය 'sun' නූල් වලට වඩා මහතයි; හය්යයි ; සැහැල්ලුයි.



මේ නූල් එක එක තැනදී තනිපට, දෙපට දමමින් තමයි මේ ඔක්කොම ගැටගැහිලි සිද්දවෙන්නේ.

සේරුව තියලා ඊට පස්සේ ඔන්න නයි රාජයාගේ කොළ ඇලවීමේ මහා ක්‍රියාන්විතය පටන් ගන්නවා. ඔතනදි නම් අපේ අය්යාට මම පරාදයි කොහොමත්. පාප්ප ටික මාර සකසුරුවමට ගාලා; ඒ කියන්නේ වැඩිය පාප්ප ගාන්නෙත් නැතුව ( එතකොට සරුංගලේ බර වැඩි වෙනවා) එක සමාන ප්‍රමාණෙන් එන විදියට එහෙම පාප්ප ගාන්න මම දන්නා කිසි කෙනෙක්ට පුළුවන්කමක් තිබ්බේ නැහැ ඒ කාලේ නම්. ඊට පස්සේ...

"හලෝ.. අන්න අර රතුපාට කොලේ ගන්නවා"

කිව්වහම මම ඉතින් සවුකොලේ ඉක්මනට අරගෙන දෙනවා නවලා තිබ්බ තැනින්. ඒත් ඉතින් එතනත් මට ගෝරනාඩුව! කොලේ තැලෙන්න බැහැ. සව්කොලේ තැලෙන්නේ නැතුව තියෙනකොට තියෙන ලස්සනට මම අදත් ආසයි!

සවුකොලේ මාරම පරිස්සමට අදාළ විදියට තියලා , සෙන්ටිමිටරයක්වත් එහා මෙහා නොවෙන්න කපන්නේ බ්ලේඩ් එකෙන්. ඒ බ්ලේඩ් එක අරගෙන කපන විදිය නම් මට තාමත් බැහැ. කොලේ අලවනකොට අනෙක් පැත්තට කැතට නොපෙනෙන්න තමයි ඉතින් කපන්නේ. සුපිරි නීට් !

මට මතක විදියට අය්යා වැඩිපුරම හැදුවේ රතු මිශ්‍ර පාටවල් දාපු නයි. නයාගේ පෙනේ අලවලා ඉවර වෙලා, සේරුව ගැටගහන්නේ පුංචි සවුකොලයක් නවලා ගැටගහන තැනට හයිකරලා. මම හිතන්නේ ඒ නිසා තමයි නූල ඇදෙනකොට ඉරෙන්නේ නැතුව තියෙන්නේ.

ඊට පස්සේ ඉතින් නගුට!

දිගම නූල් පොටවල් වලින්, දෙපොට දාලා නයාගේ නගුට හදන්නේ නම් මගෙත් සයිඩ් සපෝට් එකෙන්. ඒ කිව්වට ඉතින් ඔය නූල අල්ලාගෙන හිටපු එක, පාටවල් දෙකෙන් එන කොලේ මාරුවෙන් මාරුවට අලවලා දෙන එක වගේ 'ප්‍රොෆෙෂනල්' සේවාවන් මගෙන් ලබාගන්නා අය්යා නයාගේ වලිගය අලවන්නේ වැරන්ඩාවේ සියලුම ඉඩම් අයිතීන් පවරාගන්නා ගමන්මයි. ඊට පස්සේ එතනින් කාක්කෙකුටවත් ඇවිදගෙන යන්නට දෙන්නේ නැත!

වැරන්ඩාවේ එක කොනක ඉඳලා, අනිත් කොනටම එනකල් මේ නයි රාජයා විරාජමාන වෙනවිට මට කැසිල්ල උපරිමට වැඩිවෙයි. මගේ ඔලුවට ඉහලින් දහසකුත් එකක් හීන මාළිගා ඉදිවෙයි. එනම්, මේ නයි රාජයා ඉහල අහසේ යවන එකය... ඊට අමතරව ඔලුවත් උස්සගෙන මහා වන්සෙන් මේ නාග රාජයාවත් කර තියාගෙන වෙළට යන කොටසට මම කොහොමත් ආසයි!! හම්මේ... හදවත 'ඩිසුම් ඩිසුම්' ගානවා!

මේ ඔක්කොම ඉවර වෙන්න ඉතින් සතියක් එකහමාරක් යනවා. ඒ හැම වතාවකදීම මම කලින් කිව්වා වගේ මම 'බැහැලා' වැඩ! හදවතින්ම තමයි ඒවා කලේ ( සරුංගලේ අයිතිකරගන්න තිබ්බ යටි අදහස මේ දැන් වනතුරුත් අය්යා දැනගෙන නෑ.. ඔව් ඔව්.. වැඩේ ඉස්තිරයි!! )


දැන් මේ නාග රාජයා ඇත්තටම අය්යාටත් වඩා උසයි. වලිගෙ එක්ක ගත්තහම ඇත්තටම දැවැන්තයි. ඔන්න ඉතින් අය්යා සති අන්තයක් එහෙම බලලා, නැකතක් එහෙම සෙට් කරලා.... උඩට නග්ගන දවසක් ප්‍රකාශයට පත්කරනවා??? නෑ නෑ... එයාගේ හොඳම යාළුවා එහෙම සෙට් උන ගමන්ම දෙන්නම වෙලට 'අතුරුදහන්' වෙනවා මටත් හොරෙන්! අය්යෝ මගේ සිහින මාළිගා!!

මම පේන්න හිටියත්,

"තමුසේ කොහෙද එන්නේ..??? යනව යනව ගෙදර....."

"අනේ අය්යේ.. මාවත් එක්කගෙන යනවකෝ.... අනේ..."

"පිස්සුද ඕයි... අපි යන්නේ වෙලට.. හුලන් තිබ්බේ නැත්තම් එහාටත් යනවා... එන්න බෑ එන්න බෑ.. අම්මට කියනවා මං.. යනවා ගෙදර"

ඔය ආකාරයෙන් සොදුරු බස් කියමින් මගේ හිත හදන්නට අය්යා උත්සහ කරද්දී, එයාගේ හොඳම යාලුවාගේ නම් යන්තම් හිත උණු වෙනවා.

"පව්.. හලෝ.. ඔන්න ඔහේ ආපු දෙන් "

"පිස්සුද ඕයි තමුසෙට ?? වාතයි එක්කගෙන ගියාම.. මට බෑ පරිස්සන් කරන්න..."

"හරි හරි.. මම බලාගන්නම්... යන් යන් "

මම ඉතින් උපවාසේ බිඳින්න ලෙමන් පොෆ් කන්න දුන්නම වගේ පැනපු ගමන් පස්සෙන් වැටෙනවා. අය්යා නයි රාජයා කරේ තියාගෙන ( නෙවෙයි ඔලුවේ වගේ තියාගන්නේ) යාළුවත් එක්ක ඉස්සර වෙනවා. මම නයාගේ වලිගෙ කෙසේ වෙතත් වලිගෙ වගේ පස්සෙන් වැටෙනවා. රැලි දාලා හැඩ කරලා තියෙන සරුංගලේ දැනටමත් ඇවිදගෙන යනකොට රැලි හුළගේ පද්ද පද්ද 'හිකි හිකි' ගගා පස්සෙන් ඇවිදගෙන යන මගෙත් එක්ක කොමල කරනවා. මමත් ඉතින් උඩ පැන පැන යනවා ඔලුව උඩ තියෙන හීනත් එක්ක හිනා වේවි.

මට මැවිලා පේනවා මේ නයි රාජයාගේ ගැටගහලා තියෙන නූලේ බිම තියෙන අන්තයේ මම එල්ලිලා ඉන්නකොට... අර මහා සරුංගලේ අහසේ තිතක් වෙලා වලිගෙ වන වනා ආඩම්බර පෙන්නනවා.. හම්මේ.. ඒ දර්ශනේ...

ඔන්න මේ වෙනකොට වෙලට සේන්දු වෙලා. ඒ වෙනකොටත් කීපදෙනෙක් සරුංගල් එක්ක එතනට ඇවිත්. අපේ අය්යාට ගමේ තියෙන සැලකිල්ල නිසා එයා එනකොටම කට්ටිය පිළිගන්නේ කටවල් කිරි හට්ටි කරගෙන. ඒ එක්කම දොඩම් ගෙඩි දෙකක් විතර මාව දැක්ක ගමන්

'මේ.. මොකීද බොලේ මේ?.. හෑ '

වගේ දෙබසක් ඇස්වලින් එලියට පැනලා කිරි හට්ටිය පටෝරියන් වෙනවා. මොකද අපේ ගෙදරින් ගෑනු ළමයෙක් එතනට එනවා කියන්නේ........ එක්කෝ වැරදීමක්.. නැත්තම් වැරදීමක්....! දැන් මට තේරෙනවා වැඩේ.. මම ඉන්නේ දැන් කොල්ලෝ තලේ.. මම ගණන් ගන්නවද? ආපෝ... නෑ ! යක්කුන්ට බය නම් සොහොනේ ගස් හිටෝනවද? මගේ පපුව 'ඩෝන් .. පටෝන්' ගානවා... මම ඉන්නවා සද්දයක් නැතුව....

වෙලට ආපු ගමන් අය්යයි , අය්යාගේ අතිජාත මිත්‍රයයි දෙන්නම හනි හනිකට නාගරාජයා ලෑස්ති කරනවා. මමත් දැන් දත කට මැදගෙන බලාගෙන ඉන්නවා මගේ රාජකාරියට! කෝ... මට මුකුත් නැහැනේ!

නූල් බෝලේ ලෑස්තිකරගෙන නයාගේ පෙනේ කොටස උඩින් සීරුවට නමපු වලිගේ අතට අරගෙන අය්යාගේ යාළුවා යනවා ඈතට. කට්ටිය වට වෙලා දැන් නයාගේ වලිගෙ දිගහරිනවා. දැන් තමයි සරුංගලේ ප්‍රමානේ පේන්නේ.

මට තාම මතක පාට දෙකක් තියෙනවා. එක සරුංගලයක් රතුයි සුදුයි දාල හැදුවේ. අනෙක් එක කොලයි කහයි දාල හැදුවේ. වලිගෙ තිබ්බේ පාටවල් දෙක මාරුවෙන් මාරුවට වයිරන් වගේ එන්න අලෝලා.

හම්මේ ලස්සන..

මම දැන් ඉවසිල්ලක් නැතුව එහෙ මෙහෙ දුවනවා.. කොහෙද...... නයාගේ වලිගෙ අල්ලන්න මට වඩා කට්ටිය එතැන ! මාව විසික්කා වෙන්නේ වැඩේ කරගන්නකල් දරදිය ඇදපු රන්ජන් 'බහුවා' සද්දෙන් විසික්කා වෙන විදියට. අපේ අය්යා මගේ දිහා බලන්නේ... 'ඒකනේ මම කිව්වේ.. හොඳ වැඩේ!' කියන්නා වගේ.

ඔන්න එතකොටත් මට අනුකම්පා කරන්නේ අය්යාගේ යාළුවා.

"එන්න එන්න ** නංගි..... "

කියලා වලිගෙ ඉතාම කුඩා කොටහක් අල්ලගන්නවත් මට දෙනවා.

"ඕයි.. ඉරන්නේ එහෙම නෑ.. හෙමින් අල්ලනවා!"

එහෙම 'ආදර බස් ලැබෙන්නේ මට විතරය! මොකද මම තමයි එතන ඉන්න පොඩිම එකා සහ එකම එකී! කරන්නට දෙයක් නැත... මෙව්වා වෛද්‍ය සංගමේ වගේ දරාගෙන ඉන්නට ඕනෑය. වලිගෙ වත් අල්ලන්ට දුන්න එකම මදිද? මගේම ළමයා අප්පච්චි වඩාගත්තා වගේ තන්තෝසයක් දැනෙන හින්දා ( හරි හරි.. සරුංගලේ කොනක්හරි ඇල්ලුවනේ!) ඉවසමි...

ඊට පස්සේ පොඩි තල්ලුවක් දුන්න ගමන් නාග රාජයා 'කලර්ස්' පෙන්නන ගමන්ම හෙමින්ම උඩට නගින්නට ගනී. අය්යා හදපු කිසිම සරුංගලයක් කුරියා ගසනු කවදාවත් මම දැකලා නැති හින්දා හොඳටම මතක ඒ විදියටයි. ඊට පස්සේ මෙච්චර වෙලා වෙලේ හිටපු කොල්ලන්ගේ සියලුම සරුංගල් පරාදකරගෙන අය්යා හදපු 'නයි රාජයා' ඉහළටම යනවා මට අදටත් මතකයි.




සරුංගල් වලින් එක එක වැඩ දැමුවා කියලත් මතකයි, ඒ උනාට දැන් මතක් වෙන්නේ නැති එක හොදයි... මේ සරුන්ගලේට අභියෝග කරන්නට එන්නේ තව එකම සරුංගලයක් විතරයි. ඒ තමයි අය්යාගේම යාලුවෙක් වෙච්ච 'හොට්ටා' අය්යාගේ සරුන්ගලයි. අය්යා එනවා දකින , වෙල අද්දරම ගෙදරක ඉන්නා 'හොට්ටා' අය්යා , එයාගේ සරුන්ගලයත් එක්ක වෙලට පාත්වෙයි. මේ හොට්ටා අය්යා අපේ අය්යාට වඩා අවුරුදු පහක් විතර වැඩිමල්. ඒ යාළුවො සෙට් එකේ අය්යා පොඩිම එකාය. ( මේ සෙට් එක කරපු වැඩ ගොඩාරියක් ඇත.. පස්සේ ලියන්නම්කො)

අහියෝගයක් කිව්වට, එහෙමටම වලියක් නැත. දෙන්නා පාඩුවේ සරුංගල් අරියි. අනිත්වා මොකක් උනත්, අය්යා හදපු නයා සරුංගලේ තරම් මට වෙන කිසිම සරුංගලයක් ලස්සනට පෙනුනේ නැත. බෙල්ල කඩාගෙන, සමහර වෙලාවට දුන් දාන අව්වේ කර වේවි මෙහෙම වරුවක් විතර සරුංගල් අරින වැඩේ සිද්ද උනත් පැයබාගයක් යනකොට කරෝල කට්ට කන්න බලාගෙන ඉන්න බළල් තඩියාට අත්වෙන ඉරණම මටත් අත්වේ.

ඒ කියන්නේ , සරුංගලේ නූල අල්ලාගෙන විනාඩියක් වත් ඉන්න හීනෙ සැබෑ කරගන්න එක කෙසේ වෙතත්, අය්යා මාව එළවයි. 'සල බලාන්' ගාලා මගේ හීන මන්දිරේ කඩාගෙන වැටෙනවා. එකෙක්වත් සාර්ථකව උඩ ගියපු තමන්ගේ සරුංගලේ නුල්පොට අල්ලගන්න දෙන්න කැමැත්තක් නැති හින්දා, ලෝකේ ලොකුම නත්තල්ගහ බලන්න ගියපු යහපාලිත ජන්ද දායකයෙක් වගේ මාව මෙව්වා වෙනවා....

ඒ උනාට පින්වතුනි....

ඊළඟ දවසෙත් වෙන්නේ ඔය ටිකමයි.....! ඉගෙන ගත්තද පාඩමක්??? අනේ ඔහේ නැහැනේ....!!!!!


ඔක්කොමත් කියන්නේ.... තනියෙම නම් තාමත් සරුංගලයක් හදාගන්න බැහැනේ මට... මගේ කිසි වැරද්දක් නැහැ සුවාමිනි.... අපේ අය්යා කාරයාගේ තමයි අන්තිම වැරැද්ද.....!!


හම්මේ..... මේ පාර නම් අය්යාව දඬු කඳේ ගහලා හරි.. සරුංගලයක් හදවා ගන්න ඕනේ අප්පා.. ගියපාර නම් වෙලක සරුංගල් යැව්වා තමයි.. කඩෙන් ගත්ත සරුංගලයක් අනේ! මට ඕනේ හෝම් මේඩ් 'නාග රාජයෙක්'

කවුද එන්නේ???


පින්තුර: ඔක්කොම අන්තර් ජන්ජාලයෙනි.


13 comments:

  1. මටත් ඔය කලාව ඒ හැටි පිහිටුවේ නෑ ඕයි.. ඒත් සරුන්ගල පිස්සුවනම් තදේට තිබ්බ.. අපේ පැතිවලට හුළං තියෙන්නේ පොසොන් එකට නිසා පොසොන් තමයි සරුංගල් වාරේ.. ඔය කියුවැහැ තමයි අපේ පොඩි අයියත්.. උණබට දිග මදි උනාම ඔලුවේ මුල් කුරට තඩි කිතුල් පිති තියලත් හදනවා නයාව.. ඌ ඉතිං අර බුදුහාමුදුරුවෝ තෙමෙන්ට නොදී තියා ගත්ත නයා වගේ තමයි දාර සයිස්.. අපේ පැත්තේ සරුංගල් යවන්නේ ගොඩක්ම තේ වතුවල තමයි.. කඳු හරහට හුළං තියෙනකොට කරදරයක් නෑ. ඒත් හුළඟ වෙනස්වෙන වෙලාවට සමහරවිට කැරකෙනවා කන්ද පැත්තට සරුංගලේ.. එතකොට එක්කෝ කන්ද උඩ තියෙන උස ගස්වල පැටලෙනවා.. එහෙම නැත්නම් කන්ද උඩ ගෙවල්වල ඉන්න කොල්ලෝ නූලට 'ගල් මාට්ටු' දාල සරුංගලේ බිමට පහත් කර ගන්නවා.. ඔය දෙකෙන් මොක උනත් ඊළඟ කොටහ හරිම රසවත්.. එක්කෝ නූල් ඔත ඔත ගස් බඩ ගගා සරුංගලේ රිකවර් කරන එක.. ගත්තට වැඩක් නෑ. කොළ ඔක්කොම ඉරිලා.. ඒත් ගත්ත එකා වැඩකරු නිසා අත අරින්නේ නෑ. වැරදිලා හරි කවුරුහරි ගල් මාට්ටු දාල තිබ්බොත්..හම්මේ..ඉතින් ගම් ගම් පිටින් ඇවිලෙන්නේ ඉරානේ ඉරාකේ වගේ..

    තව දෙයක් කරා අපි ඒ කාලේ.. පොඩි සරුංගල් හදල පුළුවන් තරම් උඩ යවල ඊට පස්සේ නූල දිගේ බ්ලේඩ් එකක් යවනවා.. බ්ලේඩ් එක හුළං පාරට කස කස ගාල නූල දිගේ නගින්නේ.. ඊට පස්සේ දෙතුන් වතාවක් හයියෙන් ඇද්දම බ්ලේඩ් එකට නූල කැපිල සරුංගලේ කඩාගෙන යනවා.. ඉතුරු නූල ඔතාගෙන අපි ගෙදර ඇවිත් තව සරුංගලයක් හදන්න ගන්නවා..

    තමුනුත් මාර වැඩ තමයි කොරන්නේ.. බලනවා දැන් මේකට කොමෙන්ට් කොරන්නම කොච්චර වෙලාවක් ගන්න උනාද මට? එතකොට කෝ අර පටන් ගත්ත කතාව?

    ReplyDelete
    Replies
    1. සරුංගල් පිස්සුව මට බොහොම තදේට තිබ්බා සහ තාමත් තියෙනවා. හොඳවෙන පාටක් නෑ ! අය්යා තමයි මේ සේරෝටම මුල!!

      සරුංගල් කඩාගෙන ගියාම.. හත් දෙවියනේ ඒකට වෙනම එකක් ලියන්න වෙයි. මට මතක බැරි උනානේ ඒ කොටස. ගල් මාට්ටු නම් දැම්මාය කියලා මතකයක් නැහැ. සරුංගල් තරඟෙට වගේ හැදුවට වලි නම් ගියා කියලා මතකයක් නැහැ. ඔය බ්ලේඩ් යැවිල්ල ඉන්දියාවේ දරුනුවට වෙනවා. ඒවා අන්තගාමි.

      වෙසක් කොටස වෙනම ලියන්නම්කො

      අවුරුදු නාඩගම වෙනම!

      Delete
  2. සරුංගල් යැවිල්ලක් හරියටම කලේ ජොබ් එක කරපු කාලෙ.කොහෙන්දෝ කඩාගන ආපු සරුංගලයක් උස්සන් ඇවිත් ඉටිකොල අලවලා ගේම දුන්නෙ.වැඩේට බැඩ්ඩෙ ඩැයිබරයෙක්.මිනිහා හිරේ ව්ලංගුව හුරු දරුණු සතා.හැබැයි සරුංගලේ අතට ගත්තා විතරයි ආවේස උනා වගේ වැඩ.අපි බය වෙලා බලන් හිටියෙ දාපු කැටයම් කෑලි බලලා.. හෙමින්ම කන්දක් උඩට ගෙනිහින් සෑහෙන ෆන් එකක් ගත්තා එදා නම්..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies

    1. අආන්න ඒකනේ.. ඕනෑම දරුණු සතෙක් සුරුස් ගාල පොඩි දරුවෙක් වගේ අහිංසක කරන්න පුළුවන් සරුංගල් හැදිල්ලෙන්.. (මොකද බොලව් මගේ දිහා බලන් ඉන්නේ එහෙම කිව්වහම.. දුහුප්!)

      Delete
  3. ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ... හෙමීට කියවගෙන එන්නම්

    ReplyDelete
    Replies
    1. හරි හරි... එනකොට සරුංගලයක් හේම ගේන්ට ඈ

      Delete
  4. හම්මේ ඇති යන්තන්. මගේ සරුංගල් පිස්සුව මොකක්ද කියල හිතෙනවා මේ පිස්සුව දැක්කම. දැන් මට සැනසිල්ලේ ඇස් දෙක පියාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක මේ සාමාන්‍ය මට්ටමේ ඒවා ලියපු එකක්නේ.... ලෙඩේ උග්‍රම හරිය නොලියන්න ගත්ත තීරණේ එහෙනම් සෑහෙන්න හොඳයි මිනිස්සුන්ගේ අනාගතේ ගැන හිතල! ඔය.. ඔය... කියනකොටත් ආයෙත් මේ හුළඟත් එක්ක ලෙඩේ ගහගෙන එනවනේ!

      Delete
  5. නියමයි...කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවේ ..ඉතින් කියෙව්වා ඕන්

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...