Monday, May 8, 2017

103. කවුද දන්නේ නේ? I don't know who





දර්ශනය 1:

කාලය: අපෝ ගොඩක් කාලෙකට කලින්
පසුබිම: ඈතින් පෙනෙන වෙල්යායකි. හිසේ ජටාවක් බැඳගත්, අලුතෙන් ගත්තා වගේ පෙනුනත් දුර්වර්ණ සළුපිලි හැඳි , මුව පුරා රැවුල වැඩුණු , පාංශු දේහධාරියෙක් මාවතක් දිගේ පැමිණෙයි. අසල වෙල්යායේ වී නෙළන රූමත් කතකි.

අමුත්තා:
කාන්තාවගේ රුපය ගැන පිස්සු හැදෙන කවියක් කියයි.

තරුණිය:
රජතුමා උනත් ලස්සනට ලිස්සලා යන කවියක් කියල ඇඟ බේරා ගනී

( මම මේ කවිය හෙව්වා අනේ.. . හම්බුනේ නැහැ.කවුරුහරි එකතු කරනවද කමෙන්ට් එකක් විදියට)

පැත්තක තිබෙන අඹ ගස යට සිට 'සට පට' ගගා ටයිපින් ෂොට් හෑන්ඩ් වලින් ඒ කවිය ලියාගන්නා කොලයක් අතින් ගත් එකෙකි. ( කවුද නොදනී)
"හරි හරි..... එකාකුරක්කත් එහා මෙහා නොවී ලියාගත්තා.... හම්මේ ඇති යන්තම්" - ඌ සුසුම් හෙලයි.




දර්ශනය 2:

කාලය: ආ... රජ්ජුරුවන්ගේ කාලේ
පසුබිම: මහා ඝන වනාන්තරේ මැද , පළු ගහක් යට වැතිරී සිටින විඩාබර මිනිසෙකි. පාන් කියාගන්නට බැරිය. අමාරුවෙන් හුස්ම අදියි. ළඟට ආවාම... ආ.. මේ අන්දරේ නොවැ !

අන්දරේ :
රිදී කලේ පැන් කොතලේ බීපු මට
නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණු මට
මෙහෙමත් කල යාද පළු - වීර ගස් යට

කවුරුත් නැතිය කිව්වට ඒ ළඟපාත ( නැත්තම් මේ මැරෙන්න වැටිලා කාත් කවුරුවත් නැතුව හිටපු මේ මනුස්සයා මරගාතේ කියන කවි ඇහෙන්න ඈතක ඉඳල බැහැ නොවැ ) ගහේ උඩ හිටපු මනුස්සයෙක් 'සට පට' ගාල ෂොට් හෑන්ඩ් වලින් ලියාගත්තා ඒ කවිය.

"හම්මේ.. ඇති යන්තම්...! තද ඩින්ගිත්තක් සුනංගු උනා නම් කවිය මග ඇරෙනවා" - ඌ සැනසුම් සුසුම් හෙලයි.


දර්ශනය 3:
කාලය: රාජසිංහ රජ්ජුරුවොන්ගේ කාලේ
පසුබිම: දංගෙඩියට ඇවිදගෙන යන මාවතකි. කඩවසම්, යොවුන් තරුණයෙකු වදමල් වලින් කරවනලද මල් මාලයක් ගෙලේ දරාගෙන උනත් ඒ ගැන මෙලෝ ගානක් නැතුව වගේ, හිසත් කෙලින් කරගෙන ඉදිරියට ඇදෙයි. බිසෝ මාළිගාවේ ( අන්තඃපුරේ?) සඳළුතලයේ ඊස් - මිස් නැතුව පීරී ඇති අතර එහි ඉදිරියෙන්ම ඉන්නා කෙස් කඩාගත් සුන්දර බිසවකි. ආ... මේ ප්‍රමිලා බිසවනේ!

ප්‍රමිලා:
සක්මන් කරන මළුවේදී බැඳී හාද
සිත් සන්තොසින් දුන් මුව මී බිව්වාද
ඉක්මන් ගමන් හිමියනි ඔබ යනවාද
දස්කොන් මගේ නමට ජිවිතෙ දෙනවාද


දැන් මේ කවිය එතනම ගහක් යට හිටපු අර අරයා.. ( ඔව් ඔව්.. ඒ මනුස්සයාගේ නෑයෙක් තමයි) පුළුවන් උපරිම වේගෙන් ෂෝට් හෑන්ඩ් කරනවා.

දැන් අහන්න එපා මේ සඳළුතලයේ අල්ලපු වැටේද දන්ගෙඩියට යන පාර තියෙන්නේ කියලා. මේ අල්ල පනල්ලේ කවි මතක් වෙනවා කියන්නෙත් ඉතින් ලේසි හැකියාවක් නෙවෙයි ඔන්න. කොහොමහරි කවිය ඇහුන ගමන් අර මල් මාලේ දාගෙන යන්නේ... අන්න එයා.. හැරිලා ගත් කටටම කියලා දානවා, අමුවෙන්ම

දස්කොන්:
විසැස් කමලාව රස පහස නොවිඳ මා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණට මා
වෙසෙස් අමයුරු පහස ලද මෙමා
ම'සිස් එකක් ගියේ නම් නුඹ නමට කිමා

හති හලාගෙන එතනට දුවගෙන එන අර මනුස්සයා මහන්සිය බලන්නේ නැතුවම 'සට පට' ගගා ෂෝට් හෑන්ඩ් වලින් කොටාගෙන කොටාගෙන යනවා.

ඔන්න දැන් ඉතින් දස්කොන් දංගෙඩිය උඩින් බෙල්ල තියනවා. ඔක්කොමල්ල පපුව අල්ලාගෙන , හුස්මත් ඉහලට අල්ලාගෙන බිරාන්ත වෙලා බලාගෙන ඉන්නවා. ගහලයාගේ අසිපත ඉහලට එසවෙනවා... ලොකු වීරියක් අරගෙන ඔන්න දැන් මන්නය පහලට ගන්න හදනකොටම...

ඔන්න පැන්නා අර මනුස්සයා මැද්දට...

"හෝව්.. හෝව්....... පොඩ්ඩක් ඉන්න අනේ.... පිස්සු නම් කරන්න හදන්න එපා.... ..... මේ.. දස්කොන් අය්යන්ඩි........ ඉක්කනට කියන්න අනේ.. අතන අන්තිම පදේ 'මසිස්' කියල ලියන්නද.. 'මහිස්' කියල ලියන්නද... හරියට කියල යන්න.. නැත්තම් ඔයා නම් මැරෙයි.. මම එපැයි අනිත්වට මුණ දෙන්න! මොකද ආයේ අහගන්න කියලද?"

ඔන්න දස්කොන් බලනවා බැලිල්ලක්!

"ලියාගනින් උඹේ.. %$#$#$%"

එතකොටම ගහලයා 'ජබාක්' ගාලා මන්නේ පහලට ගෙනාව නිසා කතාව ඉවර උනා. ( ඒ ටික ඔය කොහෙවත් ලියල නැහැ... ලියන්න බැහැනේ මේවා! )


මම ඒ සඳහන් කලේ අපේ හෙළ සාහිත්‍යයේ එන වැඩ දමපු කවි 'කියා උනා යයි' කියන මොහොතවල් ගැන නැවත සිහිගැන්වීමක්. මොකද ඔය කියන තත්ව වලදී ඔතැන හිටපු ෂෝට් හෑන්ඩ් දන්නා මනුස්සයා නොවෙන්න, මෙලහකටත් ඔය වටිනා කියන කවි ඔක්කොම හුළං එක්කම පාවෙලා ආවොත් මිසක් දැනගන්න ලැබෙන්නෙම නැහැනේ. නැතුව ඒ කාලේ තිබ්බ කවියක් ගැන , අනිත් එක ඒ වෙච්ච තැන් අනුව තවත් කවුරුත් කටපාඩම් කරගන්න තත්වෙකත් නැහැනේ! ඉතින් ෂෝට් හෑන්ඩ් දන්නා මනුස්සයා ඇරෙන්න වෙන කිසි කෙනෙක් සුදානමක් නැහැනේ සටහන් තියාගන්න.

ඇත්තටම මොකද එහෙම උනේ?

හැබෑටම එහෙම කවි කිව්වද?

එහෙම කිව්වා නම්...... අපේ රටේ හිටියා කියන්නේ මාරම අමුතු මිනිස්සු වෙන්නත් ඕනේ. මේ කියපු පසුතලයන්ට අමතරව රජ්ජුරුවෝ වෙස්වලාගෙන යන හැම වෙලාවේම වගේ ඔය කියන ෂෝට් හෑන්ඩ් දන්නා මනුස්සයා පස්සෙන් ගියා වෙන්නත් ඕනේ. නැත්තම් ඉතින් අන්දරේ කියපුවා එහෙම්මම පන පිහිටුවලා කොහොමද අපි දන්නේ? මොකද අන්දරේ කියන්නේ හිටිවන කවි මිසක් ගජමන් නෝනා වගේ කොළවල කවි ලියපු කෙනෙක්ද? අනිත් එක කවි නම් දුසිමක් විතර කියනවා  ඇති දවසට. ඔක්කොම මොකද කොහොම රෙකෝඩ් කරන්නද... අපරාදේ දැන් වගේ මුණු පොතවත්, රිපෝටර් ලා වත් හිටියෙත් නැහැනේ.

මට මේක ඉස්සර ඉඳන්ම හිතිලම තිබ්බ සහ කොච්චර හිතුවත් විසඳුමක් ලැබුනේ නැති ප්‍රශ්නයක්! ඉතිහාසේ ගැන ලිපි ලියන ගොඩක් දෙනෙක් මට පෙනෙන නිසා මේක මේ විදියට ලියලා තියලා ගැටේ ලේහාගන්න පුළුවන්ද කියලා බැලුවේ....

කවුරුහරි කියන්නකෝ මේකේ වෙන්න පුළුවන් විදිය ගැන? ( දැන් ඉතින් කට වහරේ ආවය කියන්න එපා.... ඒක මට එතරම්ම විස්වාස කරන්න බැහැ. )

හැබැයි හිනායන වැඩේ කියන්නේ.... සමහර කවි තියෙනවා 'එක්තරා පුරුෂයෙකු ' විසින් තමයි 'එක්තරා කාන්තාවකට' කිව්වා කියලා කියන්නේ. අනේ මන්ද ඔව්ව නම්.....



11 comments:

  1. Replies
    1. හිනාවෙලා හරියන්නේ නැහැ මිථිල. ඉතිහාසේ මේවා ගැන එපැයි හොයන්න!

      Delete
  2. රජු (තරුණයා):

    අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
    වසාගෙන දෙතන පටකින් කිමද නගෝ
    හිමියෙක් නැතිව නුඹ තනිමග කිමද නගෝ
    අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

    කාන්තාවගේ ප්‍රතිචාරය :

    අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හින්දා
    වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා
    බාල මස්සිනා පස්සෙන් එන හින්දා
    යන්නම් අයියණ්ඩි ගම රට දුර හින්දා

    මදක් දුර ගිහිං:

    අල්ලාගෙන නෙරිය මඩ ගෑ වුණෙත් නැතී
    වසාගෙන දෙතන බිලිඳුගේ කිරිත් නැතී
    බාල මස්සිනෙක් පස්සෙන් එනුත් නැතී
    බිලිඳෙක් තියා මා දීගෙක ගියෙත් නැතී

    ReplyDelete
    Replies
    1. ආ.... මේ තියෙන්නේ.... ෂෝට් හෑන්ඩ් හින්දම හොඳයි. නැත්තම් පස්සෙන්ම ගිහින් කොහොම ලියාගන්නද? දැන් රාජාද පස්සෙන් ගියේ කියලත් සැකයි වගේ.

      Delete
    2. සුභ සහ යස වගේ අපි ඒ කාලේ.. සහයෝගෙං තමයි සෙල්ලං කරේ..

      Delete
  3. ඒ කාලේ මං තමයි ඕවා ෂෝර්ට් හෑන්ඩ් පිටපත් කරල තියාගත්ත ඒ එයා.. බොලා අපිට සළකනවා මදි..

    ReplyDelete
    Replies
    1. ඒ හොර ගිවිසුම් හෙළිකරනු!

      Delete
  4. දැන් ඉන්න චතුරල හරේන්ද්‍රල වගේ මිනිස්සු ඒ කාලෙ ඉන්ඩ ඇති කෙන්ද කන්ද කරන්න.

    ReplyDelete
    Replies
    1. කෙන්ද නම් ඉතින් කන්දක් උනාම මොකද. මට තියෙන ප්‍රශ්නේ කවියක්නේ කරලා තියෙන්නේ!

      Delete
  5. කවදත් කොතනත් ලිඛිතල තමයි

    ReplyDelete
    Replies
    1. සෙටිෆිකේට් ඇත්ත!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...