Wednesday, July 13, 2016

13. පොල්සම්බෝලෙන් කරන්ට්

මේක මේ ජෝක් කතාවක්ද කියල හරියටම කියන්න බැරි උනත් ඔෆිස් කතාවක්.



මගේ අතිජාත මිත්‍රයෙක් එක්ක මම කාලයක්  ගාලු පාරේ තිබ්බ කොම්පැනියක වැඩකලා. ඒ කොම්පැනිය ඒ දවස්වල තිබ්බේ කොල්ලුපිටිය හරියට වෙන්න, දැන් නම් පතරංග, අලුත්ම අලුත්, කිරිටොය්යා බිල්ඩිමකට අරගෙන ගිහිල්ල තියෙන්නේ. මම මේ කියන දවස්වල රෙන්ට් එකට තමයි හිටියේ. ඉඩපාඩු හොඳටම මදි උනත් ඉතින් වැඩේ කරගෙන ගියා.

මේ බිල්ඩින් එක උනත් තරමක් ලොකුයි.  තිබ්බ බිල්ඩින් උනත් අහස උසට හදල තිබ්බේ ඉඩපාඩු නැති නිසාමයි. ඒ ඔක්කොම අස්සේ අර ලබ්බේ තොවිලේ වගේ මුඩුක්කු ටිකකුත් තිබ්බා. කොටිම්ම පුංචි දොරක් වගේ එකකින් ගාලු පාරට ආවට ඇතුලට ගියාම බලන්න එපැයි , අර ලෝක ගොලේ මැද්දේ තියෙනවය කියන ජාතියේ වෙනස්ම ලෝකයක් වගේ එකක්. ඒ ලෝකේ සාලේ බඩු ඔක්කොම තියෙන්නේ පාරේ. ළමයි කන්නේ, පාඩම් කරන්නේ තවත් එකී, නොකී සියල්ල කරන්නේ පාරේ. අපේ බිල්ඩිමේ උඩ තට්ටුවට ඒ ගෙවල්වල සිද්දවෙන ගොඩක් දේවල් පේනවා.

ඉඩකඩ කොතරම් සිමිතද කියනවා නම් සමහර ගෙවල්වල ගෙදර බිත්ති තුනයි, හතරවෙනි බිත්තිය උනේ අපේ බිල්ඩිමේ බිත්තිය. මොකද අපේ බිල්ඩිමට තාප්පයක් වත් ගහන්න ඉඩක් ඉතුරු වෙලා තිබ්බේ නැති නිසා.
ඔෆිස් වල ඉතින් ඉන්නෙත් එක එක ජාතියේ පිසූ උන්නේ. කොම්පැනියේ ඔය නෙට්වර්ක් සහ සපෝර්ට් වැඩ කරන උන්ට අපි කියන්නේ 'සිස්ටම්' එවුන් කියලා. ඔතන තමයි මගේ යාලුවා හිටියේ. මිනිහ ඔතනට ගියපු එකත් වෙනම පෝස්ට් එකකට ගන්න වටිනා කාරණයක්. මුලිම්ම කියන්න ගියපු එක කියන්නම්කො.
ඔය සිස්ටම් එකේ හිටිය ලොක්කා සීරියස් වගේ පෙනුනට පිස්සු යකෙක්. නම රසික කියමුකෝ. පිටින් බලන කෙනෙක් මිනිහගේ පිස්සු වැඩ දන්නේ නැහැ  හිතන්නෙත් නැහැ. සිස්ටම් ඩිවිෂන් එක තිබ්බෙත් බිල්ඩිමට ඇතුල්වෙන තැනම වගේ තියෙන කොටසක. අපිව ඉතින් වෙනම වෙන් කරලා තමයි දාල තිබ්බේ. මේ කතාව මගේ මිත්‍රයා තමයි කිව්වේ.

ඔන්න එක දවසක් උදෙන්ම ( අපේ ඔෆිස් වලට උදේ වෙන්නේ ඉර නැගල පැය දෙක තුනක් නෙවෙයි, හතර පහක් ගියාම හරිද?) බීඩියක් කටේ ගහගෙන, බැනියමක් ඇඳගෙන ,  පච්ච දෙක තුනක බිතුසිතුවමක් වගේ මනුස්සයෙක් ආවලු සිකියුරිටි පොරවත් තල්ලු කරගෙන ඇතුලට.



"කවුද මෙතැන රසික කියන්නේ? කවුද ලොක්ක?"

කියාගෙන. එතකොටම රසික සිස්ටම් එකෙන් එළියට එන ගමන්ලු ( කැහි කූරක් බොන්න මම හිතන්නේ)  රසිකව දැක්ක සෙකියුරිටි , රසික දිහා බය බැල්මක් දැම්මලු. මොකද එහෙම ඇතුලට එන්න දෙන්නේ නැහැ. රසික කියන්නේ සෑහෙන බලයක් තියෙන කෙනෙක්. සෙකියුරිටි පොරට තමයි ලෙඩේ වැටෙන්නේ මෙහෙම පිට මිනිස්සු ඇතුලට ආවම.

"මොකද්ද කෙරෙන්න ඕනේ?"

සෙකියුරිටි ට ඔලුවෙන් සිග්නල් එකක් දීල රසික ආවලු ඉස්සරහට.  නිසා අර මනුස්සය පොඩ්ඩක් සැර බාල උනත් ආවේගෙන්ම රසිකගෙන් කලින් ප්‍රශ්නෙම අහල.

"කවුද ලොක්ක රසික කියන්නේ? මට හම්බෙන්න ඕනේ"

"ආ.... රසික මහත්තය එලියට ගිහින්. ඇයි මොකද්ද කාරණාව ?"

"දැන් එයිද?  මට හම්බෙන්ඩ ඕනේ..."

"මොකද්ද වැඩේ? මම ආවහම කියන්නම්..."

කොහොමින් කොහොම හරි චන්ඩියා පොඩ්ඩක් මෙල්ලකරගන්න රසිකට පුළුවන් වෙලා තියෙනවා.

"මේකයි මාත්තය... අපිත් ඉතින් මේවයේ ඉන්න එපැයි .. නැද්ද? මේ ලොකු ලොකු සිසි.. ( AC ) කාමරවල් අපිට නෑ.. අපේ ගෙවල් ඒ උනාට ******, අපි අවුරුදු ගානක් මෙහෙ. පරම්පරා ගානක් යනකල් මෙහෙම තමයි"

දැන් ඉතින් අර බිතුසිතුවම රසිකට කතන්දර ගොඩාක් කියනවා.

"හරි හරි... මට කාරනාව කියන්නකෝ"

"මේකයි මාත්තය... අපේ ගෑනි උදෙන්ම අපේ පොඩි උන්ට කෑම උයනවා. අද උදේ පොල්සම්බෝලේ හදන්න ගිහිල්ල ගෑනිට කරන්ට් එක වැදිලා"

මේ මොකද්ද බොලේ මේ හතර බීරි කතාව? පොල්සම්බෝලේ හදන්න ගිහින් කරන්ට් එක වැදුනය කියනවා?? ඊටත් ඒකට අපි මක් කරන්නද??? රසිකට පුළුවන් හොඳට රඟපාන්න.  මුඩ් එකක් දාගෙන අහගෙන ඉන්නවා. මොකද හිනාවෙන්නද?

"ඉතින්? ඒ කොහොමද?"

" ඒකනේ මාත්තය කියන්නේ.... මට ඉතින් මල පැන්න... ගෑනිට අමාරුවක් නැහැ. ඒ උනාට වැඩේ කැතයිනේ. ලොකු ලොකු සීසී ( AC ) කාමරවල් නෙවෙයිනේ ලොක්කා.... ( ඔන්න ආයෙත් කතාව පීලි පැනල)"

"හරි ඉතින් දැන් මොකද්ද අපි කරන්න ඕනේ?"

"මාත්තයලගේ අපේ පැත්තට තියෙන බිත්තියෙන් කරන්ට් වෑර්ර් දාල තියෙනවා.. ඒකයි මේ ඔක්කොම"
 ආයෙමත් මිනිහගේ වෙනත් අතුරු කතා ගොඩාක්....

වෙලා තියෙන්නේ මේකයි.

ඒ මිනිස්සුන්ගේ පැල්පත් ගෙදර කුස්සිය තියෙන්නේ අපේ බිල්ඩිම මායිමේ. ගෙදර මිරිස්ගල හේත්තු කරලා තිබිල තියෙන්නේ බිත්තියට. බිත්තියේ කරන්ට් එකක් ලීක් වෙනවා මම හිතන්නේ. ඉතින් පාන්දර පොල්සම්බෝලේ අඹරන්න ගියපු  ප්‍රිය බිරින්දෑවට ඉතින් මිරිස් ගලෙන් කරන්ට් එක වැදිලා!

රසික ඉතින් තමන්ගේ සුපුරුදු ශේප් නියායෙන් ඒ මනුස්සයාව කූල් කරලා යන්න ඇරලා තියෙනවා.


ඔන්න ඔහොමයි පොල්සම්බෝලෙන් කරන්ට් වදින්නේ !!


2 comments:

  1. Replies
    1. දත් නැති කටකින් හිනාවක්...
      ස්තුතියි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...