Thursday, February 7, 2019

201. සුහදිනියේ - 08

කලින් කොටසට 

සෑහෙන මහන්සියකින් පස්සේ කෙල්ලගේ කඳුළු ගංගාව පොඩ්ඩක් විතර නතර කරගන්න පුළුවන් උනා. ඔක්කොමත් හරි මේ ටැප් එක ඇරිල්ලත් හරි!

වෙලාවේ හැටියට කරන්න තිබ්බ හොඳම දේ තමයි මම කලේ. මධුලිකාට යන්න දෙන්න විදියක් නැහැ මේ තුවාලත් එක්ක. අනිත් එක ඇත්තටම කියනවා නම් ඇත්තටම මොකද උනේ කියලා තාමත් මමත් විරංගත් දන්නෙත් නැහැ. එහෙමයි කියලා තුවාල වෙලා, අලකලංචි වෙලා වෙහෙස වෙලා හිටපු මධුලිකා තවත් වෙහසවන්න ඕනේ කලේ නැහැ මට. ඒ නිසා එයාට මගේ ඇඳේ නිදාගන්න ඉඩ දීලා මම විරංගත් එක්ක එහා කාමරේට ගියා.

මොකද කියනවා නම් ඒ වෙනකොට මගේ පොඩ්ඩක් විතර පටි රෝල් වෙලා තිබ්බ නිසා.

පාන්දර වෙනකල්ම මට නින්ද ගියේ නැහැ. එක පැත්තකින් මම කරපු ගලවාගැනීමේ මෙහෙයුම මොන පැත්තට කැරකෙයිද කියලා හිතාගන්න බැරි නිසා. අනිත් එක තමයි මේ කෙල්ලට මම හිතා හෝ නොහිතා දීපු වද මතක් වෙනකොට කවදාවත් නැති පසුතැවිල්ලක් එනවා. ඒ ඔක්කොටම වඩා මේ කෙල්ලට ඇත්තටම මොකද උනේ කියලා තියෙන කුතුහලය.

ඔලුව ඇතුලේ එක එක මනෝ විකාර හිතමින් ඉඳලා නින්ද ගියේ පාන්දර දෙක තුන වගේ වෙනකොට මම හිතන්නේ.

උඩ ගිහිල්ලා ඇහැරුනේ කවුරුහරි දොරට ගහන සද්දෙකට. විරංග මටත් කලින් දොර ගාවට ගිහින් මගේ මුණ දිහා බැලුවා. මටත් කියන්න දෙයක් නැහැ.

"බේබි........ ලොකු බේබි..... තේ ගෙනාවා..."



බුදු අම්මෝ.. මැණිකා ඇවිල්ලා. මම ඉක්මනට කාමරේ පසෙක තිබ්බ දොරෙන් එළියේ කොරිඩෝවට පැනලා, එතන ඉඳලා ඇතුල් දොර ගාවට දිව්වා. මගේ අවාසනාවට දොර ඇතුලෙන් වහලා. මම තට්ටුවක් දැම්මාම මැණිකා ටිකකින් ඇවිත් දොර ඇරියා.

"මහත්තයා කොහෙද මේ..."

මැණිකා කියන්නටත් කලින් මම අතේ තිබ්බ තේ කෝප්පය උදුරලා අරගෙන ඔරෝලා බැලුවා.

"තව තේ එකක් ගේනවා, විරංග මහත්තයත් ඉන්නවා..."

මල්ලිගේ කාමරේ තිබ්බ අත්දිග කමිසය ඇඳගෙන හිටපු නිසා තුවාල මුකුත් පේන්නේ නැහැ. මැණිකා මට කොහොමත් හරි බයයි. මුකුත් කියන්නේ නැතුව මැණිකා යන්න ගියා. ඈ පඩිපෙළ මුදුනෙන් නොපෙනී යනකොටම මම පැනලා මගේ කාමරේ දොර ඇරියා.


"මධු..?"

මම කතා කලේ හෙමිහිට. මධුලිකා තාම ඇඳේ. නැගිටගන්න බැරිව වෙන්න ඇති.

".. ඔයාට දැන් කොහොමද?"

ඉර එලිය වැටිලා තිබ්බා ඇඳේ එක කොනකට. ඇතිරිලි අතරේ පුස් පැටියෙක් වගේ ගුලිවෙලා මධුලිකා හිටියේ මගේ දිහා අසරණ බැල්මක් දාගෙන. මගේ හිත සෑහෙන්න කැළඹිලා ගියා. මම ඉක්මනින් ගිහින් දොර වහලා අගුල දැම්මා.

ආපහු හැරුණු මම දොරට පිට දීලා හිටගෙන, ඇඳේ කලබලෙන් වගේ දඟලන මධුලිකා දිහා බැලුවා. කෙල්ල නම් ඉන්නේ සෑහෙන බයෙන්.

"..... බයවෙන්න එපා. අපේ සර්වන්ට් එයි කියලා ලොක් කලේ."

මධුලිකා අසරණ වගේ හිනාවක් දැම්මා. රාත්‍රිය ඈටත් නිදි වර්ජිත එකක් වෙන්නට ඇති සලකුණු ඇගේ මුහුණේ තිබ්බේ.

"මගේ අර බෑග් එක ගන්න තීක්ෂණ"

ඈ ඇඟිල්ල දික් කරපු දිහාවේ මේසේ කොනක මඩ ගෑවිලා තිබ්බ රෙදි බෑග් එක මම අරගෙන මධුලිකාගේ අතේ තියල ඈතින් හිටගත්තා. බෑග් එක ඇරපු මධු ඒක ඇතුලෙන් පුංචි පොතක් අරගත්තා.

"ඔයාට වොශ්රූම් යන්න ඕනෙද?"

මගේ දිහා එකපාරටම බලපු මධුලිකා කෝල හිනාවක් දාලා 'ඔව්' කියන්න වගේ හිස වැනුවා. තවත් හිතන්නේ නැතුව මම ඇතිරිලි ඈත් මාත් කරලා මධුලිකාව හරහට ගන්න හදනකොටම ඈ ඒක ප්‍රතික්ෂේප කළා,

"මට පොඩි සපෝට් එකක් දෙන්න. අනිත් කකුලෙන් යන්න පුළුවන් මට"

මම ඈගේ කරට අත දාලා කෙලින් කරලා හිටෙව්වම මට වාරු වෙලා මධුලිකා හෙමින් හෙමින් නානකාමරේ පැත්තට මගෙත් එක්ක ගමන් කරනවා. එතකොටම දොරට තට්ටුවක් ආවා.

"දොර ඇරපන් යකෝ.."

විරංග දොර ගාව ඉඳන් , යතුරු හිලට කට තියලා කෑගහනවා.

".... ආ.. මැණිකා... තෑන්ක් යු ඈ.... අනේ තව තේ කෝප්පයක් ගේන්නකෝ... අරක හැලුනනේ මගේ අත වැදිලා..."

මැණිකා විරංග එක්ක කතාකරන සද්දේ ඇහෙනවා. මම මධුලිකාව නානකාමරේට ඇතුල් කරලා දොර වහන්න කලින් එයාගේ මුණ බැලුවා.

"කලන්තේ දාන එකක් නැහැ නේද? දොර වහන්නේ නැතුව ඉන්න"

කෙල්ල හිනා උනා.

"බෑ මට වහන්න ඕනේ.. පුළුවන් තනියෙන් "

නානකාමරේ දොර වැහෙනවාත් එක්කම මම ගිහින් කාමරේ දොරේ අගුල ඇරියා. විරංග අතේ තිබ්බ තේ කෝප්පේ මගේ අතින් තියල ඔලුවෙන් කෙල්ල කෝ කියලා ඇහුවා.

"වොෂ්"

"වරෙන්, අද දවස ප්ලෑන් කරන්න ඕනේ.... කීයද බන් වෙලාව?"

විරංග කෙලින්ම ගිහින් වාඩිඋනේ ඇඳේ. ඉඳගත්ත තැන මොකද්දෝ තිබිලා ඌ ඒක අතට ගත්තා. ඒ තමයි මධුලිකා ඊට ටිකකට කලින් අතට ගත්ත පුංචි පොත. මම උගෙන් ඒක උදුරලා අරගෙන නානකාමරේ දිහා බැලුවේ කොයි මොහොතක හරි කෙල්ල එලියට එන්න පුළුවන් නිසා.

පොත පෙරලනකොටම ඇතුලේ තිබිලා මොකක් හරි බිම වැටුනා. ඒක අහුලගන්නකොටම මට පෙනුනේ ඒක පින්තුරයක් කියලා.

පින්තුරේ හිටියේ මධුලිකා ; පෙනුන විදියට පවුලේ අයත් එක්ක. එයාගේ දැන් පෙනුමම තියෙන එයාගේ අම්මා කියලා හිතන්න පුළුවන් ගැහැනියක් සහ සුද්දෙක් වගේ පෙනුමක් තියෙන පිරිමියෙක්ට මැදි වෙලා මධුලිකා හිටියේ තවත් පුංචි පිරිමි ළමයෙක් එක්ක.



ඒ කියන්නේ මධුලිකාට සහෝදරයෙක් ඉන්නවද?

නානකාමරේ වතුර අරිනවා ඇහුනා. ඒ එක්කම මැණිකාගේ කටහඬ දොර ගාව.

"ලොකු බේබි.............. තේ...!"

හත්වලාමයි! මම අඩියට දෙකට නානකාමරේ පැත්තට දිව්වා. විරංග දොර ඇරලා තේ එක ගත්තා.

"චාපා බේබිට සනීප නැහැ... ලොකු බේබි කෝ කියලා ඒ නෝනත් ඇහුවා"

මලවිකාරයක් මේ චාපා නම්. එක අතකට සනීපෙන් ඉන්න විදියකුත් නැහැ නේන්නම්. ෆෝමලීන් සැරට ඔලුවේ කැක්කුම ඇතිනේ. විරංග එක්ක මධුලිකාව මේ කාමරේ දාල යන්න නම් මට හිත හදාගන්න බැහැ. මොකක් හරි කරන්නත් වෙනවා ඒ උනාට. ලබ්බේ තොවිලේ වගේ ඔක්කොම එන්න එක පිට එකමයි.

අතේ තිබ්බ පුංචි පොත සාක්කුවේ ඔබාගෙන මම මගේ අල්මාරිය ඇරලා ගෙදරට අඳින කොට කලිසමකුයි සැහැල්ලු ටි කමිසෙකුයි ගත්තා.

"මධු... මේක ඇඳගන්න.... මෙන්න ටවල් එක"

දොර ගාව මුල්ලට වෙලා මම ඇඳුම් දික්කරලා කියනකොට ඇතුලෙන් කෙඳිරියක් ඇහුනා.

"... මධු..... දොර අරින්න.... ඇයි මොකද කේස් එක...?"

"නෑ... ප්‍රශ්නයක් නැහැ."

ඒ උනාට ඒකෙ අගටත් කෙඳිරිල්ලක්. චුට්ටක් දොර ඇරලා මම දික් කරගෙන හිටපු ඇඳුම් ටික මධුලිකා ගත්තා. දැන් මම පහලට නොගියොත් අම්මට සැක හිතෙනවා.

මොකද කවදාවත් මම චාපා ගෙදර ඉන්න වෙලාවට මෙහෙම උඩට වෙලා ඉඳලා නැහැ. චාපා කියන්නේ නෑකමට දුරින් මට නංගි කෙනෙක් වෙනවා ඩඩාගේ පැත්තෙන්. චාපා මගෙත් එක්කම අවුරුදු ගානක් ලඟින් හිටපු බවත් ඔක්කොම දන්නවා. ඒ උනාට අපි දෙන්නා අතරේ වෙන අනිත් දේවල් නම් කවුරුත් දන්නේ නැහැ විරංග ඇරුනාම.

"මචන් මම පහලට යන්න ඕනේ.... මම ඇඳුමක් මාරු කරගෙන..."

එහෙම කියනකොටම ගේට්ටුවේ සද්දේ ඇහුනා. වාහනේ සද්දෙන් කියන්න පුළුවන් ඒ ඩඩාගේ කියලා. මල කෙලියයි! මේ අවු අස්සේ ඩඩාත් ඇවිත්ද? මට හින් දාඩියයි මහා දාඩියයි දෙකම දැම්මා. විරන්ගත් ඇස්දෙක ලොකු කරගෙන මගේ දිහා බැලුවා.

හිතන්න වෙලාවක් නැහැ. මම ඉක්මනට මල්ලිගේ කාමරේට රිංගලා ඇඟත් හෝදගෙන , ඇඳුම් මාරු කරගත්තේ විදුලි වේගෙන්. ගෙනාපු තේ එක මධුලිකාට දීලා, මම විරංග දිහා බැලුවා.

"දැන් මෙහෙම කරමු...."

"මෙහෙම තමයි කරන්න වෙන්නේ"

ඒ කතාවට මට හිනාවකුත් පැන්නා.

".... මම ඌරෙක් වගේ. ගෙදරට කෝල් එකක්වත් දුන්නේ නැහැ තාම. මම කියන්නද... උඹ පහලට ගිහින් තත්වේ බලාගෙන වරෙන්. මම දැන් යන්න ඕනේ අපේ ගෙදර"

"උඹ ඉතින් කොහොමත් ඌරා වගේනේ.. එහෙම හොඳයි. බඩගිනි මටත්. ඔයාටත් බඩගිනි ඇති. බෙහෙත් ටික ලැස්ති කරගන්න කාලා බොන්න තියෙන. අම්ම කෑම අරගෙන එන්නම් ඉක්මනට.. ආ.. එතකල් මෙන්න මේ ලාච්චුවේ තියෙනවා බිස්කට්"

මධුලිකා කීකරු බබෙක් වගේ ඔලුව දෙපැත්තට වැනුවා. විරංගට තට්ටුවක් දාගෙන මම සුදානම් ශරීරයෙන් තමයි දොර ඇරියේ.

තාම ඩඩාගේ සද්දේ ඇහෙන්නේ පහල තට්ටුවේ. ඉදිරියට නොගියොත් නඩුවක් ෂුවර්. මම ඉක්මනින් පහල තට්ටුවට ගියා. සාලේ ඒ වෙනකොටත් මධුලිකාගේ පුංචි, අපේ අම්මා, මල්ලි එක පෙලට සෝෆා එකේ වාඩිවෙලා ඉන්නවා.

තව ටිකක් බහිනකොට තමයි දැක්කේ චාපා නෑ කියලා. මගේ පපුවත් පොඩ්ඩක් ගැහෙන්න ගත්තා. මැරුණද දන්නෙත් නැහැ.

"ආ.. ආන්ටි... කොයි වෙලේද ආවේ?"

ඔක්කොමල්ලගේ මුහුණු මගේ පැත්තට හැරුනා. මම හිනා වේගන එන ගමන් ඔක්කොගෙම මුහුණු කියවන්න ගත්තේ මොකක් හරි අවුලක් ඇතිදෝ කියලා දැනගන්න. දැනට නම් සාමාන්‍යයි වගේ. අම්මා සුපුරුදු පරිදි හිනාවෙච්ච මුහුණෙන් ; මල්ලි අතේ වීඩියෝ ගේම් එක ; ආන්ටි සුපුරුදු තල්මස් ශරීරය සෝපාවේ ගිල්ලවාගෙන මගේ දිහා හිනාවෙලා බලාගෙන.

"ඩඩා කෝ අම්මා?"

"අනේ ලොකු... මාර වැඩේනේ... ජයනෙත්ති මාමට ඇටැක් එකක් ඇවිල්ලා. දැන් ඩඩා එහෙ යන්න.."

එහෙම කියනකොටම ඩඩා සාලෙට ඇතුල් උනා. මොකක් උනත් ඩඩා දකිනකොටම මගේ හිත ගැස්සෙනවා. එකක් තමයි ඩඩාගේ තියෙන ඒ තේජාන්විත පෙනුම. අනික තමයි ඩඩා දකිනකොටම හිතේ ඇතිවෙන චකිතය ; මොකද ඩඩා කියන්නේ පොඩ්ඩක්වත් අනුමාන කළහැකි කෙනෙක් නොවන නිසා කොයි මොහොතේ මොකක් වෙයිද කියලා හිතට දැනෙන අනියත බය.

"මාලි.... උදේට කෑවද ? සන්ධ්‍යා... මොකද ෆෝන් එක ගත්තේ නැත්තේ.. ඊයේ රෑ ඉඳන් මම ට්‍රයි කලානේ.."

ආන්ටියේ මුණ හතරැස් උනා. වයින් බිලා වෙරි වෙලා උන්නාය කියන්නද?

"කෑම ලෑස්තියි සෙනේ... ඔයාලට බඩගිනි ඇතිනේ... අනේ ඔයාල එනබවක් දන්නේ නැති නිසා මුකුත් හදන්න බැරි උනා. මම මේ ඉක්මනට ඉඳි ආප්ප ටිකක් එක්ක පොඩියට මොනවහරි තමයි ලැස්ති කරන්න කිව්වේ. සෙනේලා මේ වත්තට ගියපු ගමන්නේ... එන්න කමු සෙනේ... ලොකු.... එන්න. ආ විරංග පුතාත් ඉන්නවා නේද... කෝ ආවේ නැද්ද පහලට?"

අම්මා අපි ඔක්කොම අහුලන ගමන් කිව්වා.

"අ.. ඔව්.. ඌ තාම වොෂ් රූම් එකේ... දැන් එයි.... "

මම සුවච කීකරු එකා වගේ මේසෙට වාඩි උනත් හිත තිබ්බේ කොහොමද අර කෙල්ලට කෑම දෙන්නේ කියලා.



ඩඩා මේසෙට වාඩිවෙලා කෑම කනකල් අපි නිසොල්මනේ හිටියා. ඒ තමයි අපේ ගෙදර සම්ප්‍රදාය. එතකොටම විරංග පඩිපෙළ බැහැගෙන ආවා.

"ආලෝ.. අංකල්.. කොහොමද?"

මූ උඩ කාමරේ මධුලිකා එක්ක ඉන්නවට වඩා පහලට ආපු එක නම් හොඳයි. ඒ උනාට කෙල්ල තනියෙන් නිසා මට දැන් ඉන්න බැහැ වගේ. ඩඩා හිනාවෙලා විරංගට තට්ටුවක් දැම්මා. කොහොමත් ඩඩා හරිම ආදරෙයි විරංගට ; සමහර වෙලාවට මටත් වඩා ආදරේදෝ කියලත් හිතෙන තරම්.

විරංග මගේ ගාවම පුටුවක් ඇදලා වාඩිඋනා. උකේ කලවේ හරියෙන් අල්ලලා මම කෙනිත්ත්වේ උගේ කට පමණට වඩා පළල නිසා.

"උණ"

විරංග හොරෙන් වගේ කිව්වා. මගේ ඔලුව අවුල් වෙලා ගියා. මධුලිකාට උණ හැදිලා? මම එනකොට එහෙම එකක් තිබ්බේ නැහැනේ! ආ.. ඔව් තමයි, මම වත්තන් කරගෙන යන වෙලාවේ ටිකක් රස්නයක් තිබ්බා තමයි, ඒ උනත් මම හිතුවේ ඇතිරිලි නිසා ආපු උණුහුමක් කියලා.

කෑම කන ගමන් මම කලේ ඉදි ආප්ප දෙක තුන අරගෙන හෙමිහිට සාක්කුවේ ඔබාගත්ත එක. ඇඳගෙන හිටපු කාගේ පැන්ට් එකේ පහලම එකට මම සම්බෝල අහුරක් දාගත්තේ හොරෙන් දෙකට නැමෙන ගමන්.

කෑම මේසේ වැඩියෙන්ම කතා උනේ ලෙඩාව බලන්න යන එක. ජයනෙත්ති අන්කල් කියන්නේ ඩඩාගේ ළඟම යාලුවෙක්. ලොකු දරුමල්ලෝ එක්ක ඉන්න කාලේ දික්කසාද වෙලා දැන් ඒ දරුවොත් වෙන වෙන රටවල්වල ඉන්න නිසා එයාට පවුලේ අයත් එක්ක වැඩි ඇයි හොඳය්යක් තිබ්බේ නැහැ. නෑයාට කියලා වගේ හිටියේ අපි තමයි. කෑම මේසේ හිටියට මගේ ඔලුව තිබ්බේ වෙන දිහාක.

"ලොකු.. මොකද මේ කන්නෙත් නැතුව අතගාන්නෙ...?"

"මාලි... මට හිතෙන්නේ මට ගිහින් ටිකක් දවසක් බලන්න වෙයි වගේ. ජයේගේ දුවලා දෙන්නා ඉන්නේ කැනඩානේ. අර නාකි ගෑනි මොකක් කරන්නද? නෙල්කා උනත් දැන් යන්නේ එන්නෙත් නැති නිසා මිනිහට ලෙඩ උනාම බලන්න කෙනෙක් නැහැ."

"අනේ සෙනේ..... දවස් ගානක් ?"

ඔන්න ඉතින් අපේ අම්මා හුරතල් වෙන්න යනවා. මල්ලිටයි මටයි එකිනෙකාගේ මුණ බැලිලා හිනා ගියා. ඒ දෙන්නගේ ලව් එක අපි පරාදයි. මට අමුතු කිචියක් දැනුනා.

".... ඉතින් මමත් එන්නම්කෝ... එහෙ ගිහින් ඔයාව බලන්න පුලුවන්ද කවුරුත් නැතුව"

ඔන්න මගේ කපටි මොලේ වැඩකරන්න පටන් ගත්තා.

"ඉතින් අම්මත් එක්කගෙන ගියානම් හරිනේ ඩඩා."

මම කොඳුරනවා වගේ කිව්වා. ඩඩා එකපාරටම මගේ දිහා බැලුවා. වෙනදට අම්මා එක්කගෙන යනකොට වැඩියෙන්ම හර්තාල් දාන්නේ මම. ඒ මොකවත් හින්දා නෙවෙයි. අම්මා ඉන්නකොට මට කෑම ටික මසුරන් පහට හම්බෙන නිසා. අනිත් එක එයා හිටියාට ලොකු අවුලක් නැහැ. ඒ ඉතින් ඉස්කෝලේ කාලෙනේ.

"... කොලේජ් නෑනේ. මල්ලිත් එක්ක මට ඉන්න පුළුවන්. මැණිකා ඉන්නවනේ"

මගේ පපුව දැන් දඩි-බිඩි ගගා ගැහෙනවා. හොර හිතනේ.

"ඔව් ඒකත් ඇත්ත"

"අපිටත් පුළුවන්නේ ඇවිත් චුට්ටක් බලන්න."

අම්මෝ, සන්ධ්‍යා ආන්ටි එහෙම කියනකොට නම් මට චු බරත් ආවා. මම අම්මා දිහා බැලුවා. අම්මාගේ මුහුණ තාමත් අවිනිශ්චිතයි.

"හ්ම්ම්... "

අන්තිම ඉඳි ආප්පේ මම සාක්කුවට ඔබාගෙන මම නැගිට්ටේ අත හෝදන කෝප්පෙට නැමෙන්න.

"ඔය... ඔය.... ඔන්න ගාගත්තා හොදි... ගිහින් හෝදගන්න... "

මම හෙමිහිට කුස්සියට රිංග ගත්තා. මම එනවා දැකපු මැණිකා වාඩිවෙලා හිටපු බංකුවෙන් නැගිටලා එකත්පසව හිටගත්තා.

"මැණිකා... ගිහින් කෝපිදළු ටිකක් අරගෙන වරෙන් මගේ කකුල කැපිලා."

මැණිකා යනවත් එක්කම එතන තිබ්බ හොදි භාජනයෙන් ටිකක් බෝතලේකට හලාගත්ත මම අඩියට දෙකට උඩ තට්ටුවට දිව්වා.

********************************************

මගේ වාසනාවට අම්මා ඩඩා එක්ක යන්න කැමති උනා. ඒ වෙනුවට වත්තේ වැඩ වල කීපයක් බලාගන්න මම පොරොන්දු උනා. වෙලාව කොතරම් හොඳද කියනවා නම් ; වයින් වලට වෙරිවෙලා හිටපු නිසා චාපාට කිසිදෙයක් හරියට මතකයක් තිබ්බේ නැහැ. අන්තිමේදී එයාව පොඩ්ඩක් නැලෙව්වාම ඔක්කොම හරි ගියා. ඒ ඔක්කොම කරලා සියල්ලෝම ගෙදරින් පිටත් උනාම තමයි මට ඩිංගක් හුස්මක් ගන්න ලැබුනේ.

ඒ වෙනකොට විරංග ගෙදර ගිහින්. එහෙ ඌ ගානට ගොඩදාගෙන තිබ්බා. විරංගගේ අම්මාත් අපේ ගෙදර එනවා කිව්වහම කිසි සැකයක් හිතන්නේ නැහැ අපේ අම්මා ෆුල් ආගමික තත්වෙන් ඉන්න නිසා. හැමදෙයක්ම හොඳින් සිද්ද උනත් කාගේදෝ තියරියක්  වගේ එක දෙයක් අවුල් වෙලා තිබ්බා. ඒ තමයි මගේ ජංගම දුරකථනය නැතිවෙච්ච එක.

හැමෝම පිටත්වෙලා ගියාට පස්සේ මම මල්ලි දිහා බැලුවා.

"තමුසේ හරි අමුතුයි ඕයි !"

මගේ කට කොනට හිනාවක් ආවා.

"ඒ මොකද?"

"තමුසේ හෙන කලබලයි..."

ඈතින් මම දැක්කා මැණිකා උඩ තට්ටුවට යන්න පඩිපෙළ නගිනවා.

"මැණිකා... කොහෙද යන්නේ?"

"තේ බීපු කෝප්ප..."

"කාමරේ අරින්න එපා. උඩ තට්ටුවේ මීයෙක් ඉන්නවා. කාමරේ වහලා තියෙන්නේ. ඊයේ රෑ මට නිදාගන්නත් නැහැ.. පස්සේ ගනින් කෝප්ප"

මීයෙක් කියපු ගමන් මැණිකා පැන්නේ හරියට මේ දැන් මීයෙක් පෑගුනා වගේ. මම දන්නවා ගෑනි මීයන්ට මාර බයයි.

මල්ලි නැගිටලා ගිහින් රුපවාහිනිය දැම්මා.

මම හදිස්සියක් නැහැ වගේ පහල තට්ටුවේ එකල මෙකල වෙලා ඉඳලා ටිකකින් හොරා වගේ උඩට ගියා. පඩිපෙළ නගිනකොට මගේ පපුව පුදුමාකාර වේගෙකින් ගැහෙන්න ගත්තා. මිට පස්සේ මොකද්ද කරන්නේ කියලා ඇත්තටම මම හිතලා තිබ්බේ නැහැ.

කාමරේ දොරට යන්තම් තට්ටුවක් දාල මම රහසෙන් මධුට කතාකලා. විනාඩි දෙකකට විතර පස්සේ lock එක ඇරුනා. මම ඉක්මනට කාමරේට ගිහින් දොර ආයෙමත් අගුලු දාගත්තා. මධුලිකා පුටුවේ වාඩිවෙලා ඉන්නවා.

"කකුල තාම රිදෙනවද?"

මම පහලට නැමිලා කකුල් දිහා බලන ගමන් ඇහුවා. ඇත්තම මගේ හිත විසිරෙනවා. ඈට තිබ්බේ වාත්තු කරලා වගේ තිබ්බ දෙපා. මගේ කලිසම දණහිසක් වෙනකල් දිගට තිබ්බට ඒ කකුල්වල තිබ්බ සුන්දරත්වයට ඒක බාධාවක් උනේ නැහැ. මගේ උගුර පැටලෙනවා වගේ.

".. බේ... බේ.. බෙහෙත් බිව්වද?"

"ඔව්..."

"තුවාල?"

"ඒවා දැන් ලොකුවට රිදෙන්නේ නැහැ."

මම මගේ සාක්කුවෙන් ඈගේ පුංචි පොත අරගෙන ඈ වෙත දිගුකලා. මගේ දිහා බලාගෙන හිටපු කෙල්ල ඇස්දෙක ලොකු කරලා බලාගෙන හිටියා.

"ඔයා ඇඳ උඩ දාලා ගිහින් තිබ්බා."

පොත අතට ගත්තු ගමන් මධුලිකා එක පෙරලලා මොකක් හරි දෙයක් හොයනවා.

"...මේකද හොයන්නේ?"

ඇගේ පවුලේ පින්තුරය යයි මම සැක කරපු පින්තුරය මගේ උඩ සාක්කුවෙන් අරගෙන මම දෙනකොට මධුලිකා ඒක උදුරලා වගේ අරගෙන පපුවට තුරුල් කරගත්තා. ඒ එක්කම පුංචි ඉකිබිඳිල්ලක් ආවා.

".. අඬන්න එපා. මම ඉන්නවා ඕනේ දේකට"

"............"

වලක්වාගත්ත ඉකියක් එක්ක බිම බලාගෙන මධුලිකා අඬනවා මට බලාගෙන ඉන්න බැහැ.

"... ඒ ඉන්නේ.... ඔයාගේ ෆැමිලි එකේ අයද ?"


ඉකිය අස්සෙන් මධුලිකා ඔව් කියන්න වගේ ඔලුව වනලා අමාරුවන් හිත හදාගත්තා වගේ බර හුස්මක් පිටකලා.

"I am sorry "

" It's ok "

එතන තිබ්බ අනිත් පුටුව ඇදලා මම මධුලිකා ඉස්සරහින්ම වාඩිඋනා. සහතික වශයෙන්ම කියනවා නම් මම හිටියේ සෑහෙන්න විසිරිච්ච මනසකින්. ඒ ඔක්කොම පරයා මේ කෙල්ලගේ අසරණකම මට තදින් දැනෙන්න ගත්තා.

"මට කියන්න පුලුවන්ද මොකද ඇත්තටම උනේ කියලා?"

කඳුළු පිහාගෙන මධුලිකා ඔලුව උස්සලා මගේ දිහා බැලුවා. මට ඕනේ කළා ඈ වැළඳගෙන සනසන්න. ඒත් මේක ඒකට වෙලාව නෙවෙයි කියලා හිතුනේ. මාව කොහොම පිළිගනීද කියන්න දන්නේ නැහැනේ. මොකද මම ඈට පාසලේදී නොයෙකුත් හිරිහැර කරලා තියෙන නිසා මා ගැන තියෙන ආකල්පය එතරම් හොඳ නැති නිසාත්; මගේ හිතෙත් යම් පමණක හොරයක් තියෙන නිසාත්. ඉක්මන් වෙලා ඔක්කොම අනාගන්න මට ඕනේ කලේ නැහැ.

ඈ හිටියේ අවුලෙන්. ඒ මොකක් උනත් ඒ කිසිවකින් ඇගේ ආකර්ෂණය නම් අඩුවක් තිබ්බේ නැහැ. කඳුළු පිහාගෙන පොඩ්ඩක් වෙලා කල්පනාවේ යෙදුනු මධුලිකා කතාවක් කියන්න යන බව මට වැටහුනා.

"මටත් හරියට තේරෙන්නේ නැහැ තීක්ෂණ."

"හරි එහෙනම් මම මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ"

"හ්ම්ම්"

"ඔයාව කොන්වන්ට් එකෙන් ගත්තේ කවුද?"

මගේ දිහා ටිකක් බලාගෙන හිටපු මධුලිකා යටිතොල හපාගත්තා. ඔක්කොමත් හරි ඒ යටිතොල හැපිල්ලත් හරි!

"මම එයාලව අඳුනන්නේ නැහැ. සිස්ටර් මට කිව්වා මාව ගෙනියන්න නැන්දා ඇවිත් කියලා. මම නැන්දෙක් ගැන අහලා තිබ්බේ නැහැ. ඒ උනාට මම හිතන්නේ එයාල ගාව ලීගල් ඩොකියුමන්ට් එකක් තිබ්බා"

"ඉතින්...?"

"සිස්ටර්ට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ මම හිතන්නේ. මම කොන්වන්ට් එකට එනකොට එහෙම තමයි ආවේ."

"කොන්වන්ට් එකට ආවේ? එතකොට ඔයාගේ... ෆැ-මි-ලි? සොරි මම මෙහෙම ඇහුවට..."

මගේ දිහා බලපු බැල්මට මට මගේ වචන හිර උනා.

"මගේ ෆැමිලි එකේ ඔක්කොම කා ඇක්සිඩන්ට් එකකින් මැරුණා. හැප්පිලා අපි ගඟට වැටුනා. මාව ජනේලෙන් එලියට විසිවෙලා ගියපු නිසා බේරුනා. මල්ලිගේ නම් බොඩි එකවත් හම්බුනේ නැහැ"

"ළඟදී ???"

"දැනට අවුරුදු 3ක් වෙනවා."

"එහෙම ලොකු ඇක්සිඩන්ට් එකක් උනේ කොහෙදිද?"

"මෙහෙ නෙවෙයි.. අපි හිටියේ ඉන්ග්ලන්ඩ් වල. එහෙ හිටපු ස්ටීව් ගේ නෑයෝ ඔක්කොම එකතුවෙලා මාව ලංකාවට එව්වා මමාගේ මහගෙදර. මමාගේ ලාස්ට් විල් එකේ තිබ්බේ එයාට මොකක්හරි උනොත් මාව මේ කොන්වන්ට් එකේ නතර කරන්න කියලා. මමාට කැන්සර් එකක් තිබ්බා. ඒ නිසා ලාස්ට් විල් එක එයා ලියලා තිබ්බේ.."

"කවුද ස්ටීව් කියන්නේ?"

මගේ ඉරිසියාව ඔක්කොටම කලින් එලියට පැන්නා.

"ඒ මගේ අම්මගේ සෙකන්ඩ් හස්බන්ඩ්. එයා ලංකාවේ ඉඳලා ගියපු කෙනෙක් උනාට එහෙ පොඩි කාලේ ඉඳල හැදිච්ච කෙනෙක්. ස්ටීව් හරි හොඳයි."

මට දැන් මෙයාගේ පියා ගැන අහන්න විදියක් නැහැ. එක්කෝ එක අතකට ඒවා අදාලත් නැහැ.

"ඉතින්...? ඔයාව එක්කගෙන ගියපු කවුරුත් ඔයා අඳුනන්නේ නැතිනම් ඔයා ගියේ?"

"එයාලා ගාව ඕනේ කරන මොකක් හරි ඩොකියුමන්ට් එකක් තිබ්බ මම හිතන්නේ. මට සැකයක් ඇති වෙලා දුවන්න හදනකොට එයාල මාව බලෙන්ම වාහනේට දාගත්තා. මගේ ගාව තිබ්බ ෆෝන් , සල්ලි ඔක්කොමත් ගත්තා..."

".............."

"ඔයාල කොහොමද.. ?"

"හරි මම එක ගැන කියන්නම්. අපි දැක්කා ඔයාව බලෙන් දාගෙන යනවා. අපි ෆලෝ කළා. ඔයාට කරදරයක් කියලා මට නිකන් හිතුනා. ඒකයි අපි ආවේ ගෙදරට. උන් ආයේ දැක්කොත් අඳුනන්න පුලුවන්ද?"

"පුළුවන්... ඒ නැන්දා නම් අහිංසකයි වගේ. පිරිමි උන් නම් හරිම නපුරුයි"

එහෙම කියලා ඈ ඇගේ බෑග් එකෙන් තව පොඩි බෑග් එකක් ගත්තා. එතන දෙකට තුනට නමලා කොළ වගයක් තිබ්බා. මධුලිකා ඒවා ඇදලා ඒ අතරින් නේම් කාඩ් එකක් ගත්තා.

"මේ ඉන්නේ අපේ ලෝයර්. මම හිතන්නේ අපි එයාට කතාකරන්න ඕනේ"

මට පොලිසි සහ ලොයර්ලා නම් අරහන්. ඒත් මම ඒ නේම් කාඩ් එක අතට ගත්තා.

"... මට මෙහෙන් යන්න ඕනේ"

එවර නම් මට එකවරම ඔලුව ඉස්සුනා.

"ඔයාට මාව විස්වාස නැද්ද?"

ඈ උත්තරයක් දුන්නේ නැහැ. කෙල්ලෙක් ඔහොම කතාවක් කියපු පලවෙනි වතාව. මට මාව පොඩියට දැනුනේ.

" න.. නෑ එහෙම නෙවෙයි.... ඔයාට කරදරයි.."

"එහෙන් ඔයාව උස්සපු එවුන් ටික පිස්සු බල්ලෝ වගේ හොයනවා ඇති ඔයාව. ඒ අස්සේ ඔයාට ඇවිදගන්න බැහැ. අනිත් එක කොහෙද දැන් යන්න හිතාගෙන ඉන්නේ? කොන්වන්ට් එකටද? පිස්සුද?"

"..................."

"උන් ගාව ඔයාව ගෙනියන්න එහෙම ඩොකියුමන්ට් එකක් තියෙනවා නම් උන්ට ආයෙත් එන්න පුළුවන් ඒකත් අරගෙන. මට හිතෙන්නේ ඔයාට වයස 18 ට අඩු නිසා වෙන තීරණයක් ගන්නත් බැහැ"

"තව සතියකින් මට 18 යි"

මගේ යකා එතකොට තමයි ඇවිස්සුනේ.

"කොහෙවත් යන්නේ නැහැ! මම ලොයර්ට කතාකරලා මේකේ අගමුල හොයනකල් කොහෙවත් යන්නේ නෑ. ඒ මදිවට ජබර කලන්තේ. අඩි දෙකක් යන්න බෑ. යන්න මෙතන!"

"...................."

"... මාව විස්වාස නැතිනම් මොකටද බේරගන්න කියලා මට කිව්වේ?"

කටකාර කෙල්ලක උනත් මධුලිකා ඒ මොහොතෙන් කට වහගත්තා.

ඈ කිසිවක් කතාකලේ නැහැ. මම පුටුවෙන් නැගිටලා කාමරේ එහාට මෙහාට සක්මන් කලේ කරන ඊළඟ පියවර මොකද්ද කියලා සැලසුම් කරන්න ඕනේ නිසා.

"ලොකු බේබි....................................... අන්න වත්තේ ලොකු මහත්තයා ඇවිත්...."

මැණිකාගේ කටහඬ ඇහෙනකොටම මම මධුලිකාට ඉන්න කියලා සන් කරලා දොර වහගෙන පහල තට්ටුවට ගියා.


********** මතු සම්බන්ධයි ***********

7 comments:

  1. Replies
    1. හොල්මන්ද කොහෙද.... ඒ උනාට කමක් නැහැ.. ඒක විතරයි අඩුවට තිබ්බේ

      Delete
  2. ඌප්ස් .. ඊයේ තව පොඩ්ඩෙන් කියවලත් කොමෙන්ට් එකක් දාන්න බැරුව යනවා.. එහෙම උනානම් අද මේ කොටහ කියවන්න වෙන්නේ නෑ නෙව.. හෙහ් හෙහ්.. දැන් බ්ලොග් වල කොමෙන්ට් වැටෙනවා අඩුයි.. ඒත් සෑහෙන පිරිසක් බ්ලොග් කියවනවා තාමත්.. මාත් ගොඩක් ඒවා කියෙව්වට සමහර වෙලාවට කොමෙන්ටෙකක් දාන්න බැරි වෙනවා..

    අඩු පාඩු හිත හිතා කියවන්න ගත්තොත් කතා රසයට බාදා වෙනවා.. ඒක නිසා ඒවා ඒ හැටි ගණන් ගන්නේ නෑ.. ෆ්ලෝ එක බ්රේක් වෙන විදියට මිස් වෙච්ච තැන දෙක තුනක් සෙට් උනා.. කොල්ලා කැලේ මැදින් ගිහින් තාප්පේ අයිනේ ඉන්නකොට කෙල්ල එතැනට සෙට් උන විදිය, එතකොට තාත්තා ගෙදර එන වෙලාවේ එලියට බහිනකොට කොල්ලගේ තිබ්බ තුවාල වලට මොකද උනේ කියන එක වගේ.. එතකොට කෑම මෙසේ ඉඳගෙන ඉඳිආප්ප යි පොල් සම්බලුයි සාක්කුවේ දාගත්ත එක එහෙම පොඩ්ඩක් ඔඩ්.. ඒවා අමතක කරාම කුතුහලයෙන් කතාව කියවන්න බාදාවක් නෑ..

    ඔන්න ඊළඟ කොටහ පරක්කු කරොත් නම් බලාගෙනයි.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. මගේ තිබ්බ කම්මැලිකමට විස්තර ලියන්න තිබ්බ නොකැමැත්ත තමයි. මමත් කිව්වා ඌට, කොහෙද ඒ ඉදිආප්ප සාක්කුවේ දාගත්ත!
      තව ඉස්සරහට ඔක්කොම අමතක කරන්ට වෙයිද මන්ද!! ඒ තරමට ඔඩ්.. එව්වයෙන් කාරී නෑ , තාම ලියලා නම් අහවර නෑ

      :D

      Delete
  3. කතාව නම් මරුවට යනවා ... කම්මැලි කමක් නැතුව ඔහොම විස්තර ලියන එක මට නම් හිතා ගන්නත් අමාරුයි වගේ ...

    කලින් කොටස බලල සෑහෙන දවසක් වුනාට මේක බැලුවේ අද... සිංහල ටයිපිං අවුලක් හින්ද ඔපිස් එකේදී කමෙන්ට්ස් දාන්න බෑ ... ගෙදර ගියාම නිදි මතයි ...

    ඉතිරි ටිකත් එක දිගට ලියල දාමු නේද ... හෙහ් හෙහ්

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...