කලින් කොටසට
සේවිකාවගේ තත්වය බරපතල නොවුනත්, තුවාන් අයියා විසින් ගමන් බිමන් සඳහා අනුමැතියක් ලබා දුන්නේ නැත. මධුලිකා කාමරයේ හිඳිද්දී මම විරංග හමුවීමට ගියේ කඩෙන් ගත් කෑම පාර්සලයක්ද සහිතවය. මා දුටු විරංග වැඩි කතාවක් නොමැතිවම මම ගෙනා පාර්සලය නිවසේ තබා , මම සමඟම පිටතට පැමිණීමට සුදානම් විය.
විරංග රැගත් මෝටර් රථය පදවාගෙන මම නිහඬවම අප දෙදෙනාගේ සුපුරුදු මුහුද අසබඩ කබානා අවන්හලට පැමිණියෙමි. වාහනය රථගාලේ කෙළවරක නැවැත්වූ මම විරංග දෙස නොබලාම රථයෙන් බිමට බැස්සෙමි. විරංග මා දෙස බලා සිටිනු මට දැනුනි.
කලින් කතාබහ කරගෙන තිබුණු බැවින් මම කෙලින්ම පිවිසියේ කළමනාකාරවරයාගේ කොටසටයි. ඒ වනවිටත් මගේ මිතුරා මා එන බව දැන සුදානම්ව සිටියේය.
"මේ තියෙන්නේ බඩු... !"
ඔහුගේ මේස ලාච්චුවෙන් ගත් ජංගම දුරකථනය මේසය මත තබමින් මා මිත්ර කළමනාකාරවරයා ; සමන් ; පැවසීය.
"මේක ටෙස්ට් කරන්න ඕනේ !"
මම දුරකථනය අතට ගෙන ඔහු ලවා එය විවෘත කරගතිමි. අනතුරුව ඔහු දෙස සුහද සිනහවක් පෑ මම දුරකතනයේ තිරයේ මගේ අංකය සඳහන්කර ඇමතුමක් ගතිමි. මගේ දුරකතනයට එයින් ඇමතුමක් එද්දී එහි අංකයක් දිස් වුයේ නැත. ඒ වෙනුවට පුද්ගලික අංකයක් බව පමණක් සඳහන් විය. එසේ නම් එය නිවැරදිය.