Wednesday, March 13, 2019
206. අමල්බිසෝ || sailing
දළ රල පෙළ මැදින
ඔබ හසුරවයි ඔරුව,
පෙරලෙන්න නොදෙන වග
උදා ඉර ලෙස නිසැක..
සගයින්ට නැත ඉඩක්
වන්ට කිසි බිය කරුණ,
උන්ට ඇත සෙල්මුවා
රැකවරණ....
ලපටි පොඩි උන් එක්ක
වහල ඉගිලෙන පැලක,
කන්ට පිරියක් නැතත්
බැත උයා පිරිමසමි...
හසුවේද රනින් කල
මසෙක් - මා නැති දොහට?
රන් පොරව පිරික්සුම
නිසැක දිනනා උඹට,
මවාවිද කාසිපොදි ,
දෙවියන්ට හිතු ලෙසට ?
ගින්දරයි
මගේ පපුව!
මාළු ඇඹුලෙන් හදා
සම්බෝල ඔතාදෙමි,
ඒ උනත් මම උඹට...
~~මන්ජි
Monday, March 11, 2019
205. අළු මත මල් | recover
දළඹුවකු විලසින
නේක කපුටන්
- තුඩට හසුවී
ඇනී ; ගැළුවාය රුධිරය...
කෝෂක සුරැකිව
වෙළුමෙන් ඔසුව - ලදිනි - ඈ
සරන්නේ
නෙක පාට පියාපත් විදාගෙන!
~~~මන්ජි
ප.ලි:
අපි ජිවත් වෙන්නේ ළමා දිනයේදී බවුන්සර් දාගෙන පාටි දාන, අනිත් දවස් වලට කිරි දත් පෙන්න පෙන්නා , වැඩිහිටි සින්දු කියනකොට SMS ගහලා ඒ ළමයින්ගේ ළමා කාලය කෙලෙසන සමාජයක. සමාජයක සුරක්ෂිතභාවය පෙන්වන සාධක වලින් එකක් තමයි ඒ සමාජය තුල ගැහැණුන්ට සහ දරුවන්ට ඇති සුරක්ෂිතභාවය කියන කාරණාව. මම හිතන්නේ ලාංකික සමාජයේ ඒ කාරණාව දරුණු අන්දමින් පහලට වැටීගෙන යනවා කියන එක. එක පැත්තකින් බාලවයස්කාර මිනීමරුවන් සහ එවන් තත්වයකට පත්වෙච්ච දරුවෙක්ට සමාජය විසින් දක්වන අධි ප්‍රතිරෝධය හමුවේ ; කවදාවත් හැදෙන්න බැරි තත්වයට වැටෙන ගැහැනුන් සහ දරුවන්ගෙන් මේ සමාජය පිරිලා.
එහෙමත් කෙනෙක් තමයි අළු අතරින් නැගිටලා එන්නේ. ඒකත් මනුසත්බව ලබනවා වගේ දුර්ලභ කාරණාවක්. සමහර වෙලාවට අහම්බයක් වෙලා.
අහන්නත් දෙයක්ද, මිනිස්සු කවුරුත් දැන් මිරකල්ස් විශ්වාස කරන්නේ නැහැ !
Wednesday, March 6, 2019
Sunday, March 3, 2019
203. සුහදිනියේ - 10 | අලුත් හෝඩුවාවක්
ඔතරම් බය උනාට වත්තෙන් පණිවිඩයක් මිසක් වෙන කරදරයක් නැතුව ඉතුරු විනාඩි තිහ ගෙවෙනකොට මල්ලි ඇතුළු කට්ටිය ගෙදරට සේන්දු වෙනවා ඇහුනා. තාත්තා ගෙදර නැති එකෙන් මට තිබ්බ වාසියට වඩා පාඩුව දැනුනේ වත්තේ ඔෆිස් එකෙන් එන අනේක විධ ගැටළු මැද්දට අහු උනාමයි.
දවල් කෑම එක හොඳටම තිබ්බේ බියර් එකක් ආපු නිසාද නැතිනම් මගේ කාමරේ කෙල්ලෙක් ; මගේ හිත ගත්ත කෙල්ලෙක්; ඉන්න නිසාද කියලා මට වෙන්කරලා කියන්න අමාරුයි.
ඉරිදා දවසක් නිසා මල්ලි එලියට දාගන්න විදියක් නැතුව මම කල්පනා කලේ එකම තට්ටුවේ ; එකිනෙකට මුහුණලා තිබ්බ කාමර දෙකක ඉඳගෙන මල්ලිගේ ඇස් වලින් , මේ මහා දවාලේ කෙල්ලෙක් හංගගෙන ඉන්න එක එතරම් ලේසි නැති නිසා.
විසඳගන්න තිබ්බ ප්‍රශ්න වලින් මුල්ම එක උනේ මධුලිකාගේ ප්‍රශ්නය පටන් ගන්නේ කොහෙන්ද කියන එක. කරන්න තිබ්බ වැඩ වලින් මුලින්ම තිබ්බේ මගේ දුරකථනය හොයාගන්න එක. ඔක්කොටම වඩා මට කරගන්නම බැරුව තිබ්බේ මධුලිකාව කාමරේ දාලා මේ එක වැඩකට හරි එලියට යන එක. එක පැත්තකින් අපිව මැරයින්ට අහුවෙයි කියන බය, අනික් පැත්තෙන් මධුලිකාව ගෙදර උන්ට අහුවෙයි කියන බය.
කාමරේ තිබ්බ සෝපාවේ වැටිලා ඉන්න මධුලිකාට එක විදියකට ඉන්න බැරුව දඟලනකොට මමත් පොඩ්ඩක් උදව් කරන්න ආවත් කෙල්ල නෙවෙයි ඒකට ඉඩ දුන්නේ. සමහර වෙලාවට චාපා එක්ක ඊයේ වෙච්ච දේ ගැන තාමත් හිතේ තියාගෙන ඉන්නවද දන්නෙත් නැහැ. මොකද්දෝ හේතුවකට මට පොඩියට වගේ ලැජ්ජාවක් දැනුනා තමයි. වඩාත්ම එහෙම වෙන්න ඇත්තේ මේ කෙල්ලගේ තිබ්බ ඒ අමුතු ආඩම්බරකමට ; දරදඬුකමට නොනැමෙන මගේ හිතේ වෙන්න ඇති.
වරින් වර කෙරුණු කතාබහෙන් මම සිද්ධියේ දළ සැකිල්ලක් ගහගත්තා. මම අනුමාන කරන විදියට මධුලිකාට අවුරුදු 18 වනවිට කලයුතු; කල හැකි හෝ උරුමයක් තිබෙන දෙයක් ගැන උනන්දුවෙන කෙනෙක් විසින් තමයි ඈව පැහැරගන්න ඇත්තේ. කවුරු නමුත් ඒ පුද්ගලයා මධුලිකාගේ ඒ සම්බන්ධය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එක්කෝ නීතිය දන්නා; නමුත් හොඳින් හෝ නරකින් ඉටුකරගන්න යමක් තියෙන කෙනෙක් වෙන්න ඇති.
Sunday, February 24, 2019
202. සුහදිනියේ - 09 | මධුලිකා පැහැරගත්තේ කුමක් සඳහාද?
මම ඔරවලා විරංගයා දිහා බැලුවා.
"මොකද උඹ ඔරවන්නේ? මම කිව්වේ ඇත්ත"
"ඒ මොකක් උනත් ; මධුලිකාව ආවට ගියාට එහෙම ඇරලවන්න බෑ"
"ගොනෝ... ගොන් මීමෝ! මේ ගේ අස්සේ උඹ හිතන්නේ උඹට ඒකිව හංගගෙන ඉන්නෙක අර හින්දි ෆිල්ම් එකක් වගේ එකක් කියලද? අල්ලපු කාමරේ මල්ලි; ඒ අස්සේ අර මැණිකා.... ඔක්කොටම වඩා උඹේ අම්මා."
ඌ කියන එක ඇත්ත. ඒ මොකක් උනත් මට මධුලිකාව 'කොහෙටහරි' ගෙනියන්න කියන්න හිතක් නැහැ. අනිත් එක අපි තුන්දෙනාට එකට ගමනක් යන්න එලියට බහින එකත් මේ වෙලාවේ හැටියට අවදානමක්.
"අපි ලෝයර්ට කතාකරන්න ඕනේ! කෝ දියන් උඹේ ෆෝන් එක"
විරංග උඩ සාක්කුවෙන් ජංගම දුරකතනය ගන්න ගමන් එකපාරටම ඇහිබැම ඇකිළුවා.
"කෝ උඹේ ෆෝන් එක?"
මම සද්දයක් නැතුව ඔහුගේ අතින් ඉක්මනින් ජංගම දුරකතනය උදුරලා අරගෙන lock එක ඇරලා; නම් පතේ තිබ්බ දුරකථන අංකය එකින් එක ඔබන්න ගත්තේ අවධානයක් දෙන්නම නැතුවයි. අපි වාඩිවෙලා හිටියේ බැල්කනියේ තිබ්බ පොඩි මිදුලේ. එතන වාඩි උනේ හොඳට අවට පේන නිසාමයි. වෙලාව නම් දවල් දොළහටත් ළඟයි.
".... මට කියන්න එපා උඹ ඒක අර ජේමිස් බණ්ඩා වැඩේ කරන්න ගියපු තැනක හලලා ආවා කියල..."
Thursday, February 7, 2019
201. සුහදිනියේ - 08 | තොරතුරු එකින් එක එළියට
කලින් කොටසට
වෙලාවේ හැටියට කරන්න තිබ්බ හොඳම දේ තමයි මම කලේ.
සෑහෙන මහන්සියකින් පස්සේ කෙල්ලගේ කඳුළු ගංගාව පොඩ්ඩක් විතර නතර කරගන්න පුළුවන් උනා. ඔක්කොමත් හරි මේ ටැප් එක ඇරිල්ලත් හරි! ඒ ඔක්කොටම කලින් කලේ මගේ කාමරේට දාල අගුලු දාපු එකයි.
මධුලිකාට යන්න දෙන්න විදියක් නැහැ මේ තුවාලත් එක්ක. අනිත් එක ඇත්තටම කියනවා නම් ඇත්තටම මොකද උනේ කියලා තාමත් මමත් විරංගත් දන්නෙත් නැහැ. එහෙමයි කියලා තුවාල වෙලා, අලකලංචි වෙලා වෙහෙස වෙලා හිටපු මධුලිකා තවත් වෙහසවන්න ඕනේ කලේ නැහැ මට.
සෑහෙන වෙලාවක් තිස්සේ කරුණු කියලා තේරුම් කරලා දුන්නා එහෙම පැනල යන එක මේ වෙලාවේ හැටියට නොකළයුතු දෙයක් කියල. ඇත්තටම අන්තිම ටික කිව්වේ විරංග තමයි. මොකද කියනවා නම් ඒ වෙනකොට මගේ පොඩ්ඩක් විතර පටි රෝල් වෙලා තිබ්බ නිසා.
දොර වැහුවම කාමරෙන් පනින්න පුළුවන් වෙන්නේ ජෙනේලෙන් විතරයි. ඒක කකුල තුවාල වෙච්ච මධුලිකාට කරන්න බැහැ. කරුණු කිව්වට පස්සේ මගෙන් මුහුණ හංගගෙන හිටපු මධුලිකා යම් එකඟතාවයකට ආවා.
ඒ නිසා එයාට මගේ ඇඳේ නිදාගන්න ඉඩ දීලා මම විරංගත් එක්ක එහා කාමරේට ගියා. ඒක මල්ලිගේ.
පාන්දර වෙනකල්ම මට නින්ද ගියේ නැහැ. එක පැත්තකින් මම කරපු ගලවාගැනීමේ මෙහෙයුම මොන පැත්තට කැරකෙයිද කියලා හිතාගන්න බැරි නිසා. අනිත් එක තමයි මේ කෙල්ලට මම හිතා හෝ නොහිතා දීපු වද මතක් වෙනකොට කවදාවත් නැති පසුතැවිල්ලක් එනවා. ඒ ඔක්කොටම වඩා මේ කෙල්ලට
ඇත්තටම මොකද උනේ කියලා තියෙන කුතුහලය.
ඔලුව ඇතුලේ එක එක මනෝ විකාර හිතමින් ඉඳලා නින්ද ගියේ පාන්දර දෙක තුන වගේ වෙනකොට මම හිතන්නේ.
උඩ ගිහිල්ලා ඇහැරුනේ කවුරුහරි දොරට ගහන සද්දෙකට. විරංග මටත් කලින් දොර ගාවට ගිහින් මගේ මුණ දිහා බැලුවා. මටත් කියන්න දෙයක් නැහැ.
"බේබි........ ලොකු බේබි..... තේ ගෙනාවා..."
Wednesday, February 6, 2019
200. සුහදිනියේ - 07 | මධුලිකා පැනයාමට තැත්කරයි
කලින් කොටසට
බේගල් හැටකෝටියක් ඇදබාන්න බලාගෙන හිටියත් ඒ මොකවත් නැතුව මධුලිකාව දැක්ක ගමන් තුවාන්ගේ අයියා ඕනේ වැඩටික කරලා දුන්නා. කකුලේ වළලුකරේ තරමක පිපිරුමක් නිසා වේදනාවට කෙල්ල බෙරිහන් දෙනවා ; ආයෙත් ජබර කලන්තේ.
මාරම වැඩේ කියන්නේ ඒක දැකලා මගේ ඇඟේ අමාරුව ඔන්න ඔහේ තියෙද්දී තුවාල වලටවත් බෙහෙත් නොදා එන්නේ තව ටිකෙන්.
බෙහෙත් දාල වෙළුම් පටි දාල ඉවර වෙනකොට මාව ඇවිදින මමියක් වගේ උනත් ඇඟට පොඩි සහනයක් ආවා. ඩිස්පැන්සරියෙන් එලියට බැස්සාම තමයි වෙලාව බැලුවේ. ඒ වෙනකොට වෙලාව රෑ දහයත් පහුවෙලා! මධුලිකාවත් කාර් එකේ දාගෙන මමත් විරන්ගයත් හෙමින් හෙමින් ගේ ළඟට එනකොට අපි දෙන්නා කතාවෙලා හිටියේ ඊළඟ පියවර මොකද කරන්නේ කියලා.
මේ වෙලාවට විජේදාස පිටිපස්සේ ගේට්ටුව යන්තම් වහලා ඉස්සරහ මුරකුටියට යනවා අනිත් ගේට්ටු චෙක් කරන ගමන්. ඒ අනුව මම කලේ පිටිපස්සේ පොඩි ගේට්ටුවෙන් ඇතුලට විරංග තල්ලු කරලා ඇතුලෙන් ඇරව ගන්න එක. මේක ඉතින් මම ක්ලබ් ගියාම, ඕනෙම හොර ගමනක් ගියාම කරන වැඩක් නිසා මට ගලේ කෙටුවා වගේ විස්වාසයි.
හෙමින් වාහනේ ඇතුලට දාලා ගේට්ටුව වහගත්තම ඊළඟ අභියෝගය තමයි මධුලිකාව උඩට අරගෙන යන එක. වෙනදට නම් බැල්කනියේ පඩිපෙළට දාලා තියෙන ඉබ්බා එක්ක උනත්, පඩිපෙළට පැත්තකින් නගින එක තමයි. ඒත් මේ හරහට ඉන්න කලන්තේ ෆැක්ටේරියක් එක්ක කොහොමද ඒ සර්කස් දාන්නේ?
ඔත්තු බලන්න විරංග යවලා මම කලේ බැල්කනියේ පහල ගේට්ටුවෙන් පඩිපෙළේ මගක් උඩට යන ගමන් ගේ ඇතුලේ තත්වය බලාගත්ත එකයි. එතැනට ගේ ඇතුලේ එක්තරා කොටසක් පේනවා. මේවා අත්දැකීමෙන් හොයාගත්ත හොර පාරවල්!
ලකුණු අනුව නම් අම්මා නින්දට ගිහින් කුස්සි අම්මා නම් ඇහැරගෙන වගේ.
ආයෙමත් විනාඩි පහක් විතර සද්දයක් නැතුව ඉන්නකොට බැල්කනියේ පහල ගේට්ටුව ගාවින් අඩි සද්දයක් ඇහුනා. ඒ නම් විරංගයා වෙන්න බැහැ.
ඉවරයි!





