Sunday, August 14, 2016

24. කවි නොදත් කවියෙකුට ලියමි....


අහස ගිගිරුම් හලද සියවර - නැතත් කොලමල් පැතුම් තෙමුවේ 
පහස ඉල්ලන පියුම් දියවර - බිඟුන් නොදැකම පෙතිද සැලුවේ 
රහස පවසන සුළඟ එකවර - මදින් මත්වී සුසුම් සැලුවේ 
වෙහෙස සිඳලන එවන් මහමෙර - සිතින් ගොලුවී සිනා සිළුවේ 


අතුපතර රන් සියත් නොමැතිද - දෙඅත් මා නොමුදන ඔබේ 
සොමි සුනෙර මුදු රිදුම් අයැදිද  - හඬන හිත වලකමි ඉබේ 
විලි දුරැර හිරු කිරණ නොමැතිද  - ගැඹුරු පතුලක සුව ලැබේ 
බලකුවෙර සුවිසල් ගසක්වෙද - රැකවරණ ලබනා නුඹේ 




Thursday, August 11, 2016

23. පවු කාරී මම....







මේ අව්වට වෙලා හිටගෙන
කුඩ දිහා නොබලා උඩ බලාගෙන
දුක හිතුනම කොක් හඬලා හිනාවෙන
පවු කාරී මම....

වෙලාවකට ඉඳගෙන
පූස් පැටියෙකු විදියට ගුලිවීගෙන
කොන්දේසි නොමැතිව පුරු-පුරු ගාන
පවු කාරී මම....

වතාවක් බිම පෙරලීගෙන
පිඟානේ මාළු කුරීයා කොහිදැයි අසමින
සතියක්ම ගොරවමින් පෙට්ටියක ගතකල
පවු කාරී මම....

හීනෙන් වගේ ඇවිදින
ෆෝන්, ලැප්ටොප් පවා දැන් නැතිවෙන
නැතිවෙච්ච දේ ගැනම හැමදාම අඬන
පවු කාරී මම....

මිනීමැරුම් චෝදනා තිබෙන
නමුදු වින්දිතයා අවි දරන
හදවතක් පවා ඉතිරිව ඇතිදැයි සැකසිතෙන
පවු කාරී මම....



Wednesday, August 10, 2016

22. මුද්‍රණාලය




නුඹේ හාදු අච්චුව
එක දිනෙන් කපා නිමකළ,

බොඳ නොවන හදවත
කඩදාසි කොලයට සරිවන,

පාලු චැට් කාමරේ
තනියෙම අකුරු අමුණන,

එකම පොත මැසිමකින්
සියවතාවක් ලියන..........


Tuesday, August 9, 2016

21. මේ වැල් පාලම






මේ වැල් පාලම
අප දෙදෙන සිටින...

නුඹ තදින් පද්දන ,
මගේ මුරගෑම නෑසෙන....

මේ වැල් පාලම ,
ජලතල නොමැති ගඟ දෙපස යාකල....
වරපට එකින් එක මුදන,
කෑදර දනන් නෙතු පිනවන......

මේ වැල් පාලම ......

Monday, August 8, 2016

20. බොරුවක ඇත්ත




සුළඟක් උනත් කෙතරම් මනරම්ද
මල් සුවඳ ගෙන එන නිසා

පොකුණක් සදා ගොහොරුව පවතීද
බිඟු තුඩක් නොලබනු නිසා

තරුවක් විදා අහසක් හිනැහෙයිද
සොමි උවන සඟවන නිසා

බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා



Wednesday, August 3, 2016

19. මගහැරුණු නුඹ



තාම මම එතැන ,
පිටත,
පොද වැස්ස හොඳටම...

නුවරුන් පිරෙන තැන,
ඇතුලත,
බද්දිය නගරශාලා බිම ....

යෙහෙළියන් හැරපියා ගියද
තෙතබරිතවම ඇවිදගිය
මදෙස,
දුටු දනන් කී රිදුම් වැකි ඇතිවද...

නාඳුනන දනන් හා දෙඩුම,
රිසි නොවන බව උගැන්මෙන්...
පිළිතුරු නොබැඳ ,
මගහැරුණ - පුන්නවර්ධන
නුඹ!

විශාකාවයි මම!






ප.ලි.  මට පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් තමයි, නාඳුනන පුද්ගලයෙකු/කණ්ඩායමක් විසින් කරනලද සරදමකට ප්‍රති උත්තර බැඳීම නිසා තමන්ගේ මධුර කටහඬ පෙන්නුම් කිරීම නිසාම පුන්නවර්ධන නම් සිය සහකරුවාට ප්‍රිය බිරිය වීමේ භාග්‍ය ලැබුණු විශාකා කුමාරිය... බැරිවෙලාවත් තමන්ගේ 'හැදිච්චකම' පෙන්නන්න කියා උත්තර නොබැඳ හිටියා නම්??? කියල 

මේ කියන දෙයක මෙලෝ අගක් මුලක් තේරෙන්නේ නැත්තම් මෙන්න මේවා කොටලා බලන්නකෝ 

විශාඛා සිටු කුමාරිය ගැන 
මෙතැන 
මෙතැන



18. එම්බා බස් අජිතය




එම්බා බස් අජිතය
කුමකටද මේ වැලපුම ..?
කන්පෙති පසාරුව විදින
බෙරතාල වලට උඩ විසිවන !

එම්බා බස් අජිතය
මගේ ලොව මෙලෙස දෙදරන,
මතුද වීදුරු පවා සොලවන
මටම මා බරක් බව පසක්වන !


Related Posts Plugin for WordPress, Blogger...