Thursday, July 16, 2020

240. සුහදිනියේ - 33 | එකිනෙක වෙනස් ගැටළු කිහිපයකට මැදිව - තීක්ෂණ ගේ තීරණය කුමක් වෙයිද?

කලින් කොටසට



මේ වනවිට අප දෙදෙනා කොළඹට ආසන්න නමුත් ප්‍රධාන මාර්ගයෙන් බැහැර මුහුද අද්දර වාහනය නවත්වාගෙන සිටියෙමු. ජීප් රථය නතර කරනවාත් සමඟ අවදි වූ මධුලිකාගෙන් මම සිදුවීම් පෙළ අමුනා ගන්නට තැනින් තැන ප්‍රවේශමෙන් විමසමින් සිටියෙමි.

ඇගේ අපහසුවට වඩා මගේ පහසුව තකා මම ඉදිරි ආසනයේ සිට ඈ දෙසට හැරී , මුහුදට මුහුණලා සිටි අතර, මධුලිකා පසුපස ආසනයේ මුල්ලකට වී කුඩා සා පැටවියක සේ ගුලිවී උන්නාය.

"....   මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ තීක්ෂණ..."

මධුලිකා මා දෙස බැලුවේ තැතිගත් මුව පැටියෙකුගේ දෑසකිනි. එහි මා කෙරෙහි ඇති බිය; තමන් කල වරදේ පසුතැවිල්ල යන දෙකම තිබෙන්නට ඇත. නමුත් මගේ පිළිතුර ඈ වෙතින් තවමත් පිටතට පැමිණියේ නැත.

"එතකොට.. ඔයා කියන්නේ විරංගගේ ෆෝන් එකට ආන්සර් කලේ විරංගගේ බාප්පා... ඔයා ඇහුවේ මගේ නම්බර් එක විතරයි කියලා..."

මධුලිකා ගොත ගසනු මට දැනුනු බැවින් මම මගේ දැඩි බැල්මෙන් ඈ මුදවා මුහුද දෙසට දෑස යොමු කලෙමි.

"... මම හිතන්නේ මම ගත්ත ගමන් විරංග කියලා හිතාගෙන කිව්වා මම අතරමං වෙලා කියල"

මධුලිකාගේ හඬ වෙව්ලයි. ඒ මන්ද කියා මම දනිමි.

සිදුවී ඇති දේ පැහැදිලිය.

මා සමඟ උරණව බස්නැවතුම් පලෙහි මම එනතුරු සිටි මධුලිකා ඒ වනවිට අපගේ වත්තට යමින් සිටි  මන්ත්‍රී මැරයින් විසින් ඈතින් හඳුනාගෙන තිබේ. වාහනය හරවාගෙන එනු දුටු මධුලිකා වහාම පැමිණි බස්රියට නැග ඇත. බස්රිය මස්කෙළිය හරහා යනතුරු සිට පැමිණි කොන්දොස්තරවරයා, ටිකට්පතක් ගන්නට මුදල් නොමැති මධුලිකාව මස්කෙළිය ආසන්නයේදී රියෙන් බිමට බස්සනවන අතර, එයින් පසුව කාරුණික අයෙකුගේ උදව්වෙන් ඈට මතකයේ ඇති විරංග ගේ දුරකතනයට ඇමතුමක් ලබාදෙන්නේ මගේ අංකය ලබාගන්නට ඇති අරමුණෙනි.

අවාසනාවට එයට පිළිතුරු දී ඇත්තේ ඔහුගේ බාප්පා වන අතර ඔහු විරංගට කියූ දෙය ගැන මට සිතාගත නොහැකිය. නමුත් ඒ වෙනුවට මට පැමිණියේ මධුලිකා විරංග හා සිටින බවකි. එනම් ඔහු තනිවම හෝ විරංගගේ අනුදැනුම ඇතිව මා මුලාකොට කුමක් කරනට උත්සහ කලේද? මධුලිකා සොයා මස්කෙලියේ මේ අවට මේ වනවිට සිටිනවා විය හැකිය.

සිය පණිවිඩය ලබාදීම සැකයට තුඩුදුන් බැවින් මධුලිකා රාත්‍රිය වනතෙක් ලොජ් එකක ගතකොට සුපිරි වෙළඳ සංකීර්ණයට පැමිණ මගේ ණයපත් කාඩ්පත යොදාගෙන මිලදිගැනිමක් කර ඇත්තේ එහි දුරකථන දැන්වීමේ පණිවිඩය මට ලැබෙනා බව දන්නා බැවිනි.

එය ඈ දැනගත්තේ ඇගේ උපන්දිනය දවසේ මම ගෙවූ බිල්පතේ දැන්වීම මට ලැබෙනු දුටු නිසා බව ඈ කියද්දී ඇගේ මුහුණේ ලාජ්ජාශීලි සිනහවක් රැඳුනි. සිහින් විදුලිසරක් ඇඟිල්ල මත ගෑවී ගියාක් මෙන් අමුතු වින්දනයක් මට දැනුනි.

ඈ මම ගැන දන්නා තරම.. මම ඈ ගැන සිතා ඇතිද?

නමුදු මගේ ඊර්ෂ්‍යාකාර තරුණයා විසින් මගේ පපුව තුල බර අඩි තබමින් ගමන් කරනු මට දැනේ.

"හ්ම්ම්.. ඔයාට 'මගේ' නම්බර් එක මතක නෑ නේද? ඒ උනාට විරංගගේ...."

මම එලෙස කීවේ ඇයිදැයි මම නොදනිමි; මගේ කුරිරුකම විය හැකිය.

මධුලිකා  මා දෙස අසරණ ලෙස බැලුවාය.

".. ම-ගේ ෆෝන් එක වැ....."

මම මෙතෙක් වෙලා සාක්කුවේ රුවාගෙන සිටි ඇගේ ජංගම දුරකථනය පිටතට ගත්තෙමි. එහි විරංග ගෙන් ලද ඇමතුම් විසි තුනක්ම මගහැරී ගොස් ඇතිබවට පණිවිඩ තිබිණ. එය මගේ දෑස වේදනාවට පත්කළේය. මධුලිකා දුරකථනය අතට ගත්තේ නැතත් මා දුටු දෙයම දකින්නට ඇත.

"මේක ජීප් එකේ වැටිලා තිබ්බා"

මධුලිකා බිම බලාගත්තාය. මම දුරකනතය පසුපස ආසනයට විසිකලෙමි. එය ඈ ආසන්නයේ , ආසනයට වැටී නතරවිය. තත්පර දෙකක නිහඬතාවයක් අප දෙදෙනා අතර පැවතුනි.

".....මේවත් ෆ්ලැට් එකේ ෆ්‍රිජ් එක ගාව වැටිලා තිබ්බා..."

මම මා අත තිබුණු මධුලිකා විසින් අඳිනලද සිතුවම් කිහිපයක් ඉහලට වම් අත ඔසවා පෙන්වූයෙමි. මධුලිකාගේ දෑස් විසල්ව ගිය අතර ඉදිරියට පැන්නේ එය අල්ලාගන්නට මෙනි. එයට වඩා වේගවත් මම ඒ මොහොතින් එය මා දෙසට ගත් බැවින්, මට පිටුපසින් මා අසලම ආසනයේ සිරවූ මධුලිකා මම දකුණු අතින් තදකොට අල්වා ගත්තෙමි.

"උදුරන්න ඕනේ නෑ.. මම ඒවා ඔක්කොම බැලුවා..."

මධුලිකා වහා පසුබැස්සාය. වෙනයම් මොහොතක නම්, ඇගේ මේ පරාජය මත ඈ කුඩුපට්ටම් කොට දැමිය හැකි තරමේ ආත්මශක්තියක් මට තිබියහැකි වුවද නොදන්නා බලවේගයක් විසින් මා ඈ කෙරෙහි උණුවූ සිත් ඇත්තෙක් බවට රූපාන්තරණය වී ඇති ආනුභාවයට පින් සිදුවන්නට ඇගේ ඒ පසුබැසීම සහ නිහඬවීම මෘදු වැළඳගැනීමක් ලෙස පිළිගන්නට පොළඹවන ලදී.

මම යටසින් ඈ දෙස බලද්දී ඈ යටිතොල විකාගෙන මා දෙස බලා සිටියේ ලජ්ජාශිලිවය.

මම සිනාසී ඈ දෙස බැලුවෙමි. අප දෙදෙනාගේ ඇසට ඇස හමුවී තිබුණු නිසාදෝ යම් පමණක හුස්ම සිරවීමක් මට දැනෙන්නට විය. මා කුඩාවට මට දැනෙන්නේ ඇයි ?

"ඒක හරි අසාධාරණයි"

මධුලිකා මුමුණා කීවාය. එහි වූ ශෝකය මට නොදැනුනා නොවේ.

"ලෝකේ ගොඩක් දේවල් සාධාරණ නැහැ තමයි මධුලිකා..."

මම ඈ දෙස දඟකාර සිනහවක් පාමින් කීවෙමි. එයින් ඈ වේදනාවට පත්වූ බවක සලකුණු තිබිණ. මාතෘකාව වෙනස් කරනවාට වඩා මේ මොහොතේ ඇති තත්වය වෙනස් කිරීමට මට අවශ්‍ය බව මා තුල සිටි තරුණයා මුරගාමින් කියන්නට වුයෙන් මම ජීප් රථයේ ඇති අභ්‍යන්තර කුඩා ශීතකරණය විවෘත කොට එයින් බියර් කෑන් එකක් ගෙන මධුලිකා වෙත දිගු කලෙමි.

ඈ හිස දෙපසට වනා එය ප්‍රතික්ෂේප කළාය.

".... ඔයත් එක්ක මට කතාකරන්න ඕනෙකම තිබ්බා මධු... මට ඇත්තටම.. ඒක බැරි උනා"

පසුපස කණ්නාඩියෙන් ඈ දෙස බැල්මක් හෙලු මම  සීතල බියර් කෑන් එක විවෘත කරමින් එයින් උගුරක් බිව්වෙමි. සිතල බීර වලට වඩා මගේ සිත ගල් වී ඇති සෙයකි. ප්‍රවේශමෙන් වචන අහුලමින් කිවයුත්තක් හිස තුල ඇති දහසකුත් දේවල් අතරින් තෝරා ගැනීම මේ මොහොතේ මා ඉදිරියේ ඇති අභියෝගයයි.

පසුපස කණ්නාඩියෙන් පෙනෙන ඇයට පවා මුහුණ දීගන්නට නොහැකිබවක් තිබුනද මා තුල ඇති අංශුමාත්‍ර ධෛර්යය යන්තමින් හිස ඔසවා ගත බැවින්, මම ඉදිරි ආසනයේ සිට ආපසු හරි මධුලිකා දෙස එක එල්ලේ බැලුවෙමි.

"... පළවෙනීම දේ... ඇයි ඔයා ජීප් එකෙන් බැස්සේ? අර විදියට?"

මගේ හඬ මෘදු වන්නට ඇත. මධුලිකා මා දෙස බැලුවේ විමතියෙන් මෙනි. ඇගෙන් ඒ පැනය මම වෙනදා ඇසුවා නම් විමසන්නේ පොලවේ අඩි හප්පමින් බව ඈට මතකයට එන්නට ඇත. මේ මොහොතේ මට සත්‍ය අවශ්‍යව තිබිණි.

මධුලිකා යමක් කියන්නට දෙවරක්ම උත්සහ කළාය. මගේ බැල්මේ වෙනසක් තිබුනේ නැත. නමුත් එහි දෘඩ බවක් තිබෙන්නට කොහෙත්ම හැකියාවක් නැත.

"... ඔයාට ඔතරම් තරහ ගියේ...? කෝවිලේදී හිටිය ඔයාමද කියලා හිතෙන තරමට මට පුදුමයි!"

".................."

"මමත් හිටියේ පොඩ්ඩක්.. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් අවුලෙන්.. ඉතින් මටත් තරහා ගියා..."

"..............."

"මම අරෙහෙම පාරේ මිනිස්සු එක්ක රණ්ඩු කරපු එක වැරදියි තමයි.. නමුත් මම හිටියේ.. අවුලෙන්.."

"............."

"ඔයාට තරහා ගියේ?"

"මට දුක හිතුනා"

මධුලිකා මුමුණා කීවාය. මට සිනහවක් පහල වන්නට ඇත. ඈ මගේ කම්මුලේ වලගැසෙන කොටස දිහා බලාගෙන සිටිනු මට පෙනුනි.

"දුක හිතුනා? ඔයා හිටිය තැන කවුරුත් සිංහල දන්නෙත් නැහැ.. කවුද මොනවද ඔයාට කිව්වේ..?සුන්දර් ??"

මධුලිකා ඒ සුන්දර් නොවන බවට හිස දෙපසට වනා සපථ කළාය.

"..................."

"දුක හිතුනේ ඇයි ? මම මොනවාහරි කිව්වද?"

"ඔයා මොනවත් නොකිව්ව නිසයි දුක හිතුනේ"

මම දෙවරක් ඇසිපිය ගසා ඈ දෙස බැලුවා නොව බැලුණි.

"....?"

"ඔයා.... මාව විවාහ කරගත්ත එකට දුක් වෙනවද?"

එය අනපේක්ෂිත පැනයකි; විශේෂයෙන්ම මෙවන් මොහොතකදී! මගේ උගුර සිරවී ගියේය. නමුත් මම ගොර ගොර හඬින් වචන අමුනන්නට වීමි.

"ම. ම... එහෙම එහෙම... කව.. නෑ මම එහෙම කවදාවත් දුක් වෙලා නැහැ. ඇයි එහෙම අහන්නේ?"

මධුලිකා මා දෙස එක එල්ලේ බැලීම නතර කර වාහනයේ ජනේලයෙන් පිටතට නෙත් යොමුකළේ සිය දකුණතින් දොරේ කොටසක් කොනහමිනි.

"ඇයි එහෙනම් බැරි... ඔයාගේ ඩඩාට මම ගැන කියන්න?"

කන හරහා වැදුණු අතුල් පහරක් මෙන් එය මා පියවි සිහිය ප්‍රශ්නකොට තැබුවේය. එය ඉතා සෘජු ; නමුත් වක්‍රාකාරයෙන් මා ප්‍රශ්න කරන පැනයකි. එයට මට පිළිතුරක් තිබිනාද කියා මම පවා දැනගෙන සිටියේ නැත.

"...ඔයත් මගේ සල්ලි නිසා පස්සෙන් වැටුනා කියලා මම කවදාවත් හිතන්නේ නැහැ... ඒත් .. එදා ඔයාගේ ඩඩා වත්තට ආවා කියලා ඇහුණාම.... ඔයා මාව තවත් හංගගෙන ඉන්නේ ඇයිද කියලා මට හිතාගන්න බැරි උනා."

මධුලිකාගේ වචන සෙමින්; පැහැදිලිව මගේ සවන් මත මුමුණයි. මට පිළිතුරක් නොමැති බව ඈට වැටහෙන්නට ඇත.

"... ඔයාගෙත් අර ගෑනු ළමයාගේත් මැද්දේ ...... ඒ ළමයාට.."

"මොන ළමයද?"

"අර එදා ෆ්ලැට් එකට ආපු.."

මගේ කෝපය නැංගේය.

"ඒ කෙල්ලට පිස්සු!"

මධුලිකා දෙස බලාගෙත නොහැකිව මම ඒ මේ අත උඩ-බිම බලන්නට වීමි. චාපා ගැන මධුලිකා දන්නා බව නොහරහසක් වුවද එය මා පෙළයි.

".. එහෙම එකක් දැන් නැහැ"

මම අපහසුවෙන් කියාගත්තෙමි.

"ඒකට කමක් නැහැ... කොහොමත්.... මම....."

මම වහා හිස ඔසවා මධුලිකා දෙස බැලුවෙමි. ඈගේ ඒ දිලිසෙන දෑස් වල කාන්තිය එතරම්ම තිබුනේ ඈ අඬන්නට ආසන්න නිසාදැයි මම නොදනිමි. නමුත් එය මා ගිණිකන වැටුනා සේ දැනුනි.

"මම ඔයාට ආදරෙයි... මම දන්නේ එච්චරයි!"

දුන්නකින් එල්ලයටම පිටවන ඊයක් මෙන් මගේ සිත මම ගෙනහැර දැක්වුයෙමි.

එම ස්වරයෙහි මා තුල ඇති ප්‍රේමය හෝ ආයාචනය තිබුණාදැයි මම නොදනිමි. නමුදු එය එල්ලය කරා පහසුවෙන්ම ළඟාවී ඇති බව ඒ මොහොතේ මට දැනුනි.

මධුලිකාගේ දෑස සිහින්ව ගියේ ඇගේ ඒ දීප්තිමත් සිනහව මුව මත ඇඳුනු නිසා පමණක්ම නොවේ. එය ලේසර් කදම්බයක් සේ මගේ දෑසට යොමුව පැවති නිසාද වන්නට ඇත. ඒ බැල්මෙන් මා ඝාතනය කරන්නට පවා ඈ සමත්ය!

පියාපත් ලද කුරුල්ලෙකු එකවරම නිල අහස් කුස සිසාරා පියඹා යන්නා සේ මහත් ආනන්දයක් මට දැනුණි. නිරායාසයෙන් නැගුනු මගේ මන්දහාසය සමඟ ඇගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය.

"... සමාවෙන්න මට ! මට... තේරුම් ගන්න බැරුව තිබ්බේ"

මධුලිකා ඉදිරියට නැඹුරුව සිය දකුණු අල්ලෙන් මගේ දෙතොල් වසා මගේ වචන නතර කරවාලීය. ප්‍රීතිය සනිටුහන් වූ ඇගේ මුහුණේ, කාන්තිමත් නෙත් දෙකෙන් නොනවත්වා කඳුළු වැගිරේ. මා අසලට ලංවූ ඇගේ මුහුණේ මෘදු වම් කම්මුල මම යන්තම් ස්පර්ශ කලෙමි. බලහත්කාරයෙන්  පළමු වරට ඇගේ මුහුණ ඇල්ලු දිනය මට එකවරම සිහියට නැගුනේ නිරායාසයෙනි.

මධුලිකා මගේ වම උරහිසට බරවී එහි කම්මුල තබාගත්තාය. මම ඈගේ බඳ වටා වමත යවා යන්තමට මා වෙත ලංකර ගත්තෙමි. මම මෙතරම් වෙව්ලන්නේ ඇයිදැයි මට සිතාගත නොහැකිය.

"බොරුවක් උනත්.. ඇත්තක් උනත්..... "

මධුලිකාගේ සුසුම් මගේ වම කම්මුලට දැනුනද මම උපරිම සංයමයෙන් සිටින්නට පොරකමින් සිටියෙමි.

"ඔයා මට ආදරෙයි කියලා මම දන්නවා...."

මම ඈ මා වෙත තුරුළු කරගත්තෙමි. මධුලිකා කිසිවක් පැවසුවේ නැත. ඇගෙන් පිළිතුරක් මට අවශ්‍ය වුයේද නැත. ඉදිරි ආසනයේ ආසන දෙක අතර සිරවී සිටි අප දෙදෙනා බාහිර පරිසරය හා කිසිදු සම්බන්ධයක් තිබුනේද නැත.


*****************************************

"මොකද මචන් උඹ මෙච්චර පරක්කු උනේ කතාකරන්න? මොකද උනේ? මොකද කරගත්තේ?"

තාරුක අයියාගේ වචන මට සිහිනයෙන් මෙන් ඇසුනා පමණි.

"මුකුත් නෑ.. එහෙම මුකුත් නෑ..."

මම ජීප් රථය හන්දියෙන් වමට හරවන අතරතුර මධුලිකා දෙස යලිත් වරක් බැලුවෙමි. ඈ දෑස් දල්වාගෙන සිනහවකින් යුතුව මා දෙසම බලා සිටින්නීය.
'අල්ලලා මිරිකන්න හිතෙනවා!'

"වරෙන් ඔෆිස් එකට.. මම දහයට එනවා එතනට අද උසාවි යන්නෙත් නැහැ උඹේ වැඩේ දාගත්ත නිසා"

"මොන වැඩේද?"

"මොන වැඩේද?? ඈ!  උඹට මොකද වෙලා තියෙන්නේ? කොහෙද උඹ ඉන්නේ? පාරේද? කෝ දැන් කෙල්ල ?"

මධුලිකා හමුවූ බව කියමින් ඔහුට කෙටි පණිවිඩයක් යැව්වා විනා වැඩි විස්තර කිසිවක් නොකී බව සිහියට ආවේ ඒ මොහොතේය. 

"ආ.... එයා ඉන්නවා.. කිසි අවුලක් නැහැ... මේ........... අපි එන්නම් දැන් ඔෆිස් එකට"

තත්පරයක පමණ නිහැඬියාවකින් පසුව තාරුක අයියාගේ කටහඬ ඇසුනි.

"ඈ යකෝ... මොකද උඹගේ කටහඬට වෙලා තියෙන්නේ? උඹ හෙන පෙම්පාටටනේ කතාකරන්නේ! හෙහ් හෙහ් හෙහ්.. "

තාරුක අයියාගේ වචන වලට මටද සිනහ නොවී සිටිය නොහැකි විය. මම දුරකථනය වහා ස්පිකර් මෝඩ් එකෙන් ඉවත්කොට දැමුවේ ඊළඟ මොහොතේ ඔහුගේ මුවින් පැවසෙන නොසරුප් වචන මධුලිකා ඇසීම මගේ කැමැත්ත නොවූ නිසාය.

අනුමාන කල පරිදිම තාරුක අයියා නොසන්ඩාල කතාවක් කියා මා විළිබර කල අතර තව මොහොතෙන් වාහනය පවා අනතුරකට ලක්වන ලෙසට මම රතුවී ගියෙමි.

බියට පත් මධුලිකා වහා මට හෑන්ඩ් ෆ්රී ලෙස දුරකථනය අමුණා දුන්නාය.

"පිස්සුද යකෝ තව ඩින්ගෙන් අපි මෙතන හැප්පෙනවා... කට වහගෙන හිටපන් ටිකක්!"

වෙනදාට වඩා මම තාරුක අයියා සමඟ කෙළිලොල් ලෙස කතා කලෙමි. ඔහුගේ බයිට් කිරීම් වල කෙළවරක් වුයේ නැත. නමුත් මම කිසිවක් කියන්නට කලබල වුයේ නැත. මධුලිකා මගේ වමතේ බාහුව කොනිත්තා මට තරවටු කළාය.

"පරෙස්සමින් ඩ්‍රයිව් කරනවා... පාරේ මිනිස්සු මරන්නේ නැතුව!"

එහි තිබුනේ ප්‍රේමනීය තරවටුවකි. මගේ බැල්ම ආදරණිය වන්නට ඇත. මම දඟකාර ලෙස සිනාසීමි.

"අපිට උදේට කන්න ගෙනත් තියපන්... උදේට කාලා නැහැ හරියට... මස්කෙලියේ ඉඳලා ඇවිත්..."

"පෙම් කෙලියේ?"

"පිස්සුද බන්... හෙමින් කතාකරපන් !"

හේතුවක් නොමැතිවම වගේ මම එවන් විහිළුවකට පවා සිනාසීමි. මගේ ඇතුලාන්තයම ප්‍රීතියෙන් පිපාපත් සලන බවක් දැනුන නිසාදැයි නොදනිමි.

තවත් විස්තර යම් පමණකට කතාකිරීමෙන් අනතුරුව ඇමතුම විසන්ධි කොට මම මධුලිකා දෙස බැලුවේ සැහැල්ලුවෙනි.

"මොකද? කවුද කතාකලේ ? කොහෙද අපි යන්නේ?"

"තාරුක අයියාගේ ඔෆිස් එකට යමු.. ඊට කලින්.... දැනටමත් හැබැයි දහයටත් ළඟයි.... ෆ්ලැට් එකට ගිහින් යමු"

මධුලිකාගේ මුහුණ වෙනස් වුයේය. එය කුමක්ද කියා කීම උගහට වුවත් ඇය කල්පනාවට වැටුණු බවක් මට වැටහුනේ එයින් පසුව රථයේ කවුළුවෙන් පිටතට ඇගේ ඇස වැඩිපුර යොමුව පැවති බැවිනි.

මම ඇගේ දකුණත දෙස වරින් වර බලමින් රිය පැදවූයේ , අත අල්ලම්දෝ නොඅල්ලම්දෝ යන දෙගිඩියාව නිසාය. ඒ අතරතුර අප රැගත් රිය මහල් නිවාස සංකීර්ණය කරා අපව රැගෙනවිත් තිබිණ. මම පසුපස ආසනයට නැමී මධුලිකා පොරවාගෙන සිටි මගේ ජැකට්ටුව ගෙන ඈ වෙත පෑවෙමි.

"මේක ඇඳගන්න... පොතේ හැටියට අද අපිව ෆලෝ කරන්න කොළඹ කෙනෙක් නැහැ. ඒත් ෂුවර් නැහැ.. ඔය ජැකට් එකේ තියෙන තොප්පිය දාගන්න."

මධුලිකා වරක්වත් මා දෙස නොබලා කීකරුව ජැකට්ටුව ඇඳගත්තාය. මගේ මනසට සිනහවක් නැගුණි. ඒ මුල් වතාවක ඇයට බාච්චු ඇඳුමක් බලෙන් මෙන් අන්දවාගෙන ඈ රැගෙන පලා ගිය ආකාරය සිහිපත් වීමටත් වඩා ඉන් අනතුරුව පොරකාගන්නා කැන්ගරුවන් දෙදෙනෙක් මෙන් එකිනෙකා සමඟ දබර කරගත් ආකාරය සිහිවීමෙනි.



රථය රථගාලේ නියමිත ස්ථානයේ නවත්වා මම මධුලිකා සමඟ සෝපානයට නැග්ගෙමි. ඒ මොහොතේ සෝපානයේ සිටියේ අප දෙදෙනා පමණක් නොවුනද මම මධුලිකාගේ උරහිසෙන් මෘදුව අල්වාගෙන සිටියෙමි. ඒ ඇයිද කියා මට වැටහුනේ නැත. ඈ කෙරෙහි සුරක්ෂිත බවක් ලබාදෙන්නට මට අවශ්‍යව තිබෙන්නට ඇත.

නිවසේ දොර අගුල විවෘත කල සැනින් එයට මුහුණ පොවා බැලුවේ කවරෙකු හෝ එහි සිටිනවා වැනි හැඟීමක් ඇතිවූ බැවිනි. මම මධුලිකාට එහි පිවිසෙන්නට ඉඩහසර ලබාදුන්නද මධුලිකා නිසොල්මන්ව උන්නාය. මම ඇගේ වමතින් අල්ලා ඈ දෙස බැලුවෙමි.

"මාව විශ්වාසද?"

මධුලිකා වෙතින් පළවුයේ කවර හැඟීමක පෙනුමක්දයි මට නිශ්චය වශයෙන්ම කිවහැකි නොහැකි වුවත් ; අතිශය ආදරණිය බවකින් පිරි තිබිණි. මම ඇගේ බුහුටි නළල සෙමෙන් සිපගත්තෙමි.

".... මම ඒ විශ්වාසය කඩන්නේ නැහැ මධු.... ඒක පොරොන්දුවක්!"

මධුලිකා මගේ පපුවට මුහුණ ඔබා ගත්තාය. මම ඉතා මෘදුව ඇගේ වැළඳගැනීම පිළිගත්තෙමි.

"... දැන් වොෂ් එකක් දාගන්න.. මහන්සි ඇතිනේ.. අපි දැන් යන්න ඕනේ තාරුක අයියා හම්බෙන්න"

එසේ කියා මම ආයාසයකින් ඇගෙන් මිදී නිවස තුලට පිවිසියේ දොරෙහි අගුල දමමිනි.

මධුලිකාට මා සතුව ඇති ඇගේ කාමරයේ යතුර ලබාදී මගේ කාමරයට පිවිසෙන්නට ගිය මම අඩපනව ගියේ ටාෂා සිහිවී වන්නට ඇත. දොරෙහි ස්ටිකි නෝට් එකක් අලවා තිබිණි.

'Thikshana, Nothing is ever forgotten - Tashi'

මම වහා එය ගලවා කිතු කිතු වලට ඉරා දැමුවේ සියල්ල අකා මකා දමන්නට මෙනි. මධුලිකා එය දකීවි යන බිය සහ ඇතුලාන්තයෙන් නැගෙන වරදකාරී බව නිසා මම නොසන්සුන්වී සිටියෙමි. මධුලිකා සිය කාමරයට පිවිසෙන හඬ මට ඇසුනි. ටාෂා සමඟ මෙහි පැමිණීම මගේ සිත තදින් පෙලන්නට වුවද මම කාමරයට පිවිසුනේ ඇඳුමක් මාරු කරගැනීමේ අරමුණෙන් යයි සිත හදාගත්තෙමි.

කාමරයට පිවිසි මොහොතේ මට පෙනුනේ ටාෂා විසින් ඇඳ ඇතිරිලි සියල්ල වෙනස්කොට සියල්ලම පිළිවෙලට තබා ගොස් ඇති අන්දමය. බබළන සුදු පැහැති ඇතිරිල්ල මධ්‍යයේ තවත් සිටිකි නෝට් එකකි. මම එය නොකියවාවම කුඩා කැබලි වලට ඉරා කුණුකුඩයට දමා ඉක්මනින් තුවායද අතැතිව නානකාමරයට වැදුනෙමි.

නාන කාමරයේ විසල් කැටපත මත තවත් ස්ටිකි නෝට් එකකි.

'Where is SHE?'

මගේ සර්වාංගයම සීතලව යන්නට ඇත. මධුලිකාගේ කාමරය අගුළු දමාගෙන ගිය බව මට හොඳටම මතකය. ඈ පුද්ගලිකව පරිහරණය කරන කිසිවක් වෙනත් කිසිම තැනක නොතබන්නට එදා සිටම අප ප්‍රවේශම් වීම නිසා එදින මා අතට පත්වූ ඈ විසින් අඳිනලද සිතුවම් වලට අමතරව කිසිවක් තිබුනාද?

වහාම ආ සිතුවිල්ලෙන් මම තුවාය ඇඟ දවටාගනිමින්ම මධුලිකාගේ කාමරය වෙතට දුව ගියෙමි. දොර වෙනදා මෙන් නොව හැරදමා තිබිණි. නමුත් මම දොර අසලට එද්දිම මධුලිකාගේ හඬ ඇසුනි.

"එන්නම් ඉක්මනට.. පොඩ්ඩක් ඉන්න.."

මම වහාම ආපසු හැරී ගොස් පැන්ට්‍රි කොටසේ ඔබ මොබ සක්මන් කල මට එහි කුඩා මේසය මත තබා තිබුණු මධුලිකා විසින් සිතුවම් කරනලද මගේ තවත් පින්තුරයක් හමුවිය.



අඳුරේ විසිර ගිය කඩදාසි සියල්ලම මම අහුලා නොගන්නට ඇත. එය ප්‍රවේශමෙන් මේසය මධ්‍යයේ තබා ටිෂු කඩදාසි තබන භාජනය අඩයට තබා තිබීමෙන්ම, එය ටාෂා විසින් දකින්නට ලැබුණු බව ඈ මට පා ඉඟියක් වැන්න! මම මගේ මුග්ධ බව ගැන දහස් වරක් මටම ශාප කරගත්තෙමි.

ටාෂාගෙන් ලද කිසිදු ඇමතුමක් මම නොගැනීමත්, එවනලද කිසිදු කෙටි පණිවිඩයක් හෝ නොබැලීමත් මම කල එකම නුවනක්කාරකම විය හැකිය. එසේ බැලුවා නම් මම කලබලය නිසාම තවත් අවුලක් නිර්මාණය කරගන්නට ඇති ඉඩ වැඩිය.

දැන් කළහැකි දෙයක් කරනවා විනා ගිය නුවණ ගැන කල්පනා කිරීම පලක් නොවේ. මම නැවත කාමරය වෙත එද්දී මධුලිකා සිය කාමරයේ දොර අසල සිට මුවා වුවාය. මගේ තුවා ඇඳුම මම කවර කලෙකවත් කාමරයෙන් පිට ඇඟලාගෙන නොසිටින බැවින් මගේ කන් රත්ව ගියේය.

මගේ හිසතුල මහා කලබලයකි. ඉක්මනින් කාමරයට වැද ස්නානය කොට ඇඳුමක් ඇඟලාගත් මට ගතේ මහන්සි යම් පමණකට නිවී ගියේය.

නැවත මම සාලයට එනවිට මධුලිකාද පිරිසිඳුව මම විසින් මිලටගත් කහපැහැ කමිසයක් සහ සැහැල්ලු ජීන්ස් එකක් ඇඳ සාලයේ සෝෆාවට වී සිටියාය. ඈ දෙස නොබලා නෙත් ඉවතට ගත නොහැකිය. මධුලිකා විළිබර වූ බව මට හොඳින්ම නිරීක්ෂණය විය. මගේ බැල්ම එතරම්ම කෑදර වීද ?

"මෙහෙම්මම ගෙදර ගෙනියන්න හිතෙනවා"

මධුලිකා සිය විදුලියක් වන් සිනහව ලොබකමකින් තොරව දක්වා සිටියාය.මම සත්‍ය වශයෙන්ම දළ බිඳුණු හස්ති රාජයෙක් මෙන් දමනය වී ගොසිනි. සෑමවිටම ඈ වෙතින් හමන ඒ විලවුන් සුවඳ මා විසුරුවාලයි.

"කරයි කියලා තමයි බය!"

මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආ බැවින් මම ඒ දෙස බැලුවෙමි. අනතුරක සේයාවක් මට දැනුණි. ඇමතුම අම්මාගේ ජංගම දුරකථනයෙනි! ඈ එවන් ලෙසකින් ඇමතුමක් මගේ දුරකතනයට ගන්නේ අතිශය බැරෑරුම් මොහොතකය.


********************මතු සම්බන්ධයි **************************

13 comments:

  1. යන්තම් ඇති, කොටසක් දැම්මා, හරිම රසයි, දීගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      පලවෙනි කමෙන්ට් එකද මන්ද... සාදරයෙන් පිලිගනවා.. කියවන්න සහ බනින්න හි හි

      Delete
    2. අම්මෝ බනින්නේනම් නෑ! හැබැයි ඇස්වහක් කටවහක් නෑ ඔබ තුමී ඒ ටික ලියලා තියෙනවා "සිරියාමේ සාරා" වගේ. ඇත්තටම හරිම සුන්දරයි ඒක කියවනකොට හැන්දෑවක පොඩි අඩියක් පුඩියක් ගහගෙන; ඇස් දෙක කාරිය වහගෙන "ජීවිතයේ කන්තාරේ . . . . . //" (ජෝති-ඇන්ජි) අහගෙන ඉන්නවා වගේ!

      Delete
    3. අඩි පුඩි? හුහ් ඒවා ඕනේ නම් යන එකයි කම්මලකට, ආව මෙතැන ! අපි මෙහෙ අස්සයොන්ට ලාඩන් ගහන්නේ නැහැනේ

      Delete
    4. දෙයියනේ ඔච්චර ලියලා දැක්කේ "අඩි-පුඩි" විතරමද?

      Delete
    5. ඔව් , පළවේනි කමේන්‍ට් එක , එකම එකත් වෙලා නේද 😀😀😀

      Delete
    6. nayomi: අනේ එහෙම නැතුව කොටසක් ගානේ දෙස් දෙවොල් තියන්ට එන්ට ඈ ! හි හි

      Delete
  2. මන් නම් හිතන්නෙ ඊළඟ කොටස කවදාාාාා දායිද කියල...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මේ දන්නවට කියනවට නෙවෙයි... සෝදුපත් බලාගන්න වෙලාව මදිපාඩුයි
      දාන්නම් දාන්නම්

      Delete
  3. පව්. හැමදාම ප්‍රස්න ප්‍රසන මේ ඩබලට. අද ලස්සනට ලියල තියෙනවා. නියමයි. අනේ වැඩි කල් බලන් ඉන්න බෑ හොඳේ ඊගාව කොටස එනකන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ප්‍රශ්න! එකනේ මේ තීක්ෂණ අහක යන ප්‍රශ්ණ නේ ඇඟේ දාගන්නේ....

      දැන් ඉතින් වෙන දෙයක් උනාවේ... නැද්ද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...