Monday, July 31, 2017

125. සුහදිනියේ - 01



මගේ ලෝකේ එකපාරටම අඳුරු උනා. වටේ තියෙන හැම දෙයක්ම කලුපාට, අළුපාට වේගන වේගන ආවේ ක්ෂණයකින්. කකුල් දෙකට ආපු ජවය කොහෙන්ද කියන්න දන්නේ නැහැ, මම එතනට දුවගෙන ගියේ ධාවන ශුරයෝ පරද්දගෙන.

ඈ බිම වැටිලා හිටියා. ඈ ගාවින් බිමට නැමිලා එක දණක් බිම තියාගත්ත ඇගේ මිතුරිය එතනට කඩාගෙන ආපු මගේ දිහා බැලුවේ පුදුම අසරණ විදියට. මට ඒවා වැඩක් තිබ්බෙම නැහැ. මම පැනපු ගමන් ඇගේ උරහිසෙන් අල්ලලා කෙලින් කරන්න හැදුවා.

"සිහිය නැති උනා..."

"මොකද උනේ?"

මම එහෙම ඇහුවේ වෙච්චදේ දැක්කේ නැතුව නෙවෙයි. ඈ බිම වැටිලා හිටියේ රත්වෙච්ච තාරපාරේ.

"කාර් එකේ හැප්පුනා. දුවගෙන එනකොට"



මම දන්නවා ඈ එහෙම දිව්වේ ඇයි කියන්න. ඒ උනාට මම ඈ දෙවුරෙන්ම අල්ලගෙන මගේ වම් අතට හේත්තු කරගෙන ඇගේ මුහුණ බැලුවා. සිහිය යන්තමට තියෙනවා වගේ.

" වතුර ටිකක් ගහපන්..."

මගේ පස්සෙන් ඒ වෙනකොට මගේ යාලුවොත් ඇවිත් වගේ. විරංගගේ කටහඬ මට අදුනගන්න පුළුවන්.

"... මේ අර... මේ.."

මම විරංග දිහා හැරිලා බැලුවේ උගේ බොටුවෙන් ඩැහැගන්න බැල්මක් හින්ද එතනින් එහාට ඌ කටක් ඇරියේ නැහැ.

"අපි මෙයාව හොස්පිටල් එකකට ගෙනියමු."

එහෙම කියන ගමන් මම ඈ දිහා බැලුවා. යන්තම් සිහිය තියෙනවා කියලා මට තේරුනා. පිට හේත්තු කරගෙන හිටපු මගේ අතට දැනෙනවා අගේ හදවතේ රිද්මය. මගේ පපුව නම් ගැහෙනවා පිටිමෝලක් වගේ.

"හොස්පිටල්?? අනේ.... අමාරුද?"

යාලුවා බයවෙලා කියලා මට පෙනුනා. මම විරංග දිහා බැලුවේ 'කතාකරහන් යකෝ' කියන්න වගේ.

"අ.. අ... අපි ගෙනියමු.. ගෙනියමු.. සිහිය නැති උනා කියන්නේ බයානකයි"

විරංග එහෙම කියනකොටම මම කලේ ඇගේ දණහිස කොටසට මගේ දකුණු අත දාලා ඈ හරහට ඔසවලා ගත්ත එක. පොඩ්ඩක්වත් බරක් නැහැ. ඒ උනාට කුෂන් එකක් වගේ මෘදුයි ඒ ස්පර්ශය. මාව මත්වෙලා වගේ ගියා.

"විරා... යතුර දකුණු සාක්කුවේ.. උඹ ඩ්‍රයිව් කරපන්"

අන්න එහෙමයි මම ඈ එක්ක කාර් එකේ පිටිපස්සේ ආසනේට ආවේ. කොහොමහරි යාළුවාව ඉස්සරහට තල්ලුකරගත්තා. විරංග කාර් එක පාරට ගන්නවත් එක්කම ඈ පොඩි කෙඳිරියක් වගේ නිකුත් කරනකොට මම හය්යෙන් කැහැලා ඒ සද්දේ යාළුවාට ඇහෙන්නේ නැතිවෙන්න තියාගත්තා.

ඉස්සරහ වාඩිවෙලා යාළුවා ආසනේ උඩින් කෙලින්ම්ම මගේ දිහා බලාගෙන!

"අනේ මට බයයි... පොඩ්ඩක් නාඩි වැටෙනවද බලන්න.. අනේ ඉතින් එහෙම කලන්තේ හැදෙන්න තරම් හය්යෙන් වැදුනද මේ නතර කරලා තිබ්බ කාර් එකක?"

"හරි හරි.. දැන් හරියට වාඩිවෙන්න සීට් එකේ, නැත්තම් පොලිසියෙන් අල්ලයි"

විරංග තැනේ හැටියට ගැහුවද මන්ද, ඇනේ නම් වැදුනා, යාළුවා කෙලින්ම ඉස්සරහ බලාගෙන.

මම බැලුවේ මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන වැතිරිලා උන්නු ඈ දිහා. ලප කැලැලක්වත් නැති ඈ ගාව තිබුනේ සුදුපාට නොවිච්ච ටෑන් පාටක් උනාට මොකද්දෝ ආකර්ශනීය පාටක්.

මම හෙමිහිට ඒ කළුපාට දිගම දිග කොන්ඩේ ඇල්ලුවේ ලෝබකමේ. මට දැන් මාව පාලනය කරගන්න බැරි තරම්!

නරුමයෙක් වෙන්න ඇති... ඒ උනත් මම මුලිම්ම කලේ ඉස්සරහ කණ්ණාඩිය දිහා බලපු එක. අවුරුදු දහතුනක් මගේ යාලුවා වෙච්ච විරංගට මගේ බැල්ම අඳුනගන්න බැරි නැති බව මම දන්නවා.

"... පොඩ්ඩක් ඔය පැත්ත බ.. බලන්න වාහන එනවද කියල..... බලන්න බලන්න... කලබලේට මට පේන්නේ නැති උනොත්!"

යාළුවා වීදුරුවෙන් සම්පුර්ණෙන් එලිය බලාගෙන. මම ආයෙමත් මගේ ඔඩොක්කුවේ උන්නු ඈ දිහා බැලුවා. ඈ නළල යන්තමට රැලි කරනවා. සිහිය එන්න වගේ.


මම ඉක්මනට ඒ ලස්සන කොණ්ඩය උඩින් ඔලුව යන්තමට පිරිමැද්දා. නැවුම් කෙල්ලෙක්ගෙ කළුම කලුපාට දිගම දිග වරලසක තියෙන්නේ මොනවගේ සෘන්ගාරයක්ද කියන එක තවත් කෙනෙකුට කියල දෙන්න මම දන්නේ නැහැ. ඒක පුදුම විදියට මට දැනුනේ. මම දන්නේ නැහැ ඒ කොණ්ඩෙට මම ඇත්තටම බැඳිලා හිටියේ.. ඒ මදිවට මට මේ දැනෙන හැඟීමටත්!

මම හෙමින් පහත් වෙලා ඒ හිස යන්තමට ඉම්බා... ඔව්... ඒ කොණ්ඩේන් ආවේ අමුතුම සුවඳක්. මාව මත්වෙලා ගියා. හැබෑවටම මත් උනා තමයි. ඒකනේ ඉතින් ඇස්දෙකත් පිය උනේ.

මගේ නළලෙන් එකපාරටම ආපු තල්ලුවට මාව ආසනේ පිටිපස්සේ වැදුනා. ඇස්දෙක අරිනකොට මගේ දිහා ඇස්ගෙඩි දෙක ලොකු කරගෙන ඈ බලාන ඉන්නවා. මම දැක්කා මේක විරංග උගේ කණ්නාඩියෙන් දැක්කා කියලා.

ඌ කලේ එකපාරටම බ්‍රේක් පාගපු එක. ඔඩොක්කුවේ හිටපු ඈ බිමට නොවැටෙන්න ඉබේටම මාව තදකරලා බදාගත්තා, පුංචිවත් කෑගැහිල්ලක් ඇහුනේ ඇගේ යාලුවගෙන් විතරයි.

"අනේ.. මොකද උනේ? අය්යෝ... මධුලිකා....! ඔයා වැටුනද? මොකද අනේ උනේ?"

"කෑ ගහන්න එපා.. බල්ලෙක් පැන්නා පාරට"

"බල්ලෙක්? කෝ මම දැක්කේ නැහැනේ" ඒ ඇගේ යාලුවා.

"කොහෙද ඔයා ඔතන වීදුරුවේ ඇලිලානේ... වෙලාවට සීට් බෙල්ට් එක දාගෙන හිටියේ... මචං උඹල හොඳින් නේද?"

යාලුවා ඉස්සරහ ආසනේ ඉඳන් පිටිපස්ස බලනවා. තුරුළු වෙලා හිටපු ඈ මාවත් තල්ලු කරගෙන නැගිට්ටේ ඒ මොහොතෙමයි. යාළුවා ඉන්නවා බිරාන්ත වෙලා. හම්මේ ඒ සුවඳ!

"ම.. ම.. මධුලිකා... ඔයාට සිහිය ආවද?"

"............."

උත්තරය වෙනුවට ඈ කලේ මගේ දිහාවත් නොබලා යාලුවා දිහා බලලා ඔලුව ඉහල පහල වනපු එක.

"දෙය්යනේ.. මම බයවෙච්ච තරමක්! ඔයාට සිහිය නැති උනානේ.... කාර් එකේ වදිනවා ඔයාට මතකද? අනේ.. දැන් හොස්පිට්ල් යන්න ඕනේ නැහැනේ.. මෙයාට සිහිය ආවනේ..."

"හොස්පිට්ල්!!!????"

තමන් ඉන්නේ කොහෙද කියලා එතකොට තමයි ඈට සිහියක් ආවේ. එකපාරටම මගේ දිහා ඈ බැලුවා. මොන කරුමෙකටද මන්දා මට බයක් කියලා එකක්වත් දැනුනේ නැහැ. ඒ මදිවට මම හිටියේ මත්වෙලා. ඉතින් මම ඈ එක්ක හිනා උනා.

".. පි පි පිස්සුද..?? අපිව බස්සන්න"

ඈ ආසනේ ඉස්සරහට නැමිලා විරංගගේ උරහිසේ එක පැත්තකින් අල්ලලා හෙලෙව්වා. විරංග කණ්නාඩියෙන් මගේ දිහා බැලුවා.

"ඔයාට සිහිය නැති උනා. ඉතින් මම.. අපි.. බය උනා"

මම එහෙම කිව්වේ ඉංග්‍රීසියෙන් තමයි. ඒ උනාට ඈ හැරුනේ නැහැ. පොඩ්ඩක් සන්සුන් උනා වගේ උනත් විරංගගේ උරහිසෙන් ආයෙමත් අල්ලලා හෙලෙව්වා.

"බස්සන්න.. බස්සන්න... අපිට බහින්න ඕනේ. මට ඇති අමාරුවක් නැහැ"

"හරි හරි.. බයවෙන්න එපා... ඔයාලව නග්ගගත්ත තැනින්ම බස්සන්නම්කො... නැද්ද මචන්"

විරංග වාහනේ අයිනට කරලා නතර කරනකොට ඈ මගේ දිහා එකපාරටම හැරිලා බැලුවා. මම උන්නේ මත්වෙලා, ඉතින් මට ගියේ ඒ වගේ හිනාවක්. ඒකට නම් ඈට හොඳටම කේන්ති ගියා වගෙයි!

"කන පලනවා! දන්නවද?"

ඒ තරම් කවදාවත් මට කෙල්ලෙක් තර්ජනේ කරලා තිබුනේ නැහැ. නමුත් ඈ ඒක කිව්වේ මට විතරක් ඇහෙන්න හින්දා මගේ මත්වෙච්ච බව තවත් වැඩි උනා මිසක්...


තර්ජනේ කරපු කාගෙන් උනත් මම පළිගන්නවා. ඊට පස්සේ...


--------------------------------------------------------
මතු සම්බන්ධද????


8 comments:

  1. කෙල්ලට දෙයියන්ගේ පිහිටයි...

    ReplyDelete
  2. හෑ... මෙහෙමත් කොලු පරාණ ඇත්තමයි...කන පලල විතරක් මදි බණ්ඩක්ක ඇටත් හිටවන්න ඕනෙ කනේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. වටිනවද මම අහන්නේ?

      Delete
  3. tho rathupata mal eka kawada , ekak iwara karala hitpan loku seen noda

    ReplyDelete
    Replies
    1. Duhup!!! sinhalath naha.. huuuuuuuuuuuuuuuuuuuu

      Delete
  4. /"කන පලනවා! දන්නවද?"/

    ආච්චිගෙ සුහදිනියක් ඒක!!..යකෝ කණ පලන සුහදිනියොත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඉඳහන් රවියෝ වැඩේ කන්නේ නැතුව!

      ( එක අතකට බැනල වැඩක් නැහැ. එහෙම උන් ඉන්නවා නම් මෙලහට රවීගේ කන පැලිලා ගොඩක් කල්! නැද්ද? .. හරි හරි.... තෙරියුම්)

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...