Sunday, April 23, 2017

99. පාලු විදියේ තනිකම මැකුනා


ඒ මොහොත......

මට අද වගේම මතකයි මේ මොහොත.

මම ලයනල් වෙන්ඩ්ට් එක ඇතුලට කවදාවත් ගිහින් තිබ්බෙත් නැහැ. එහෙම කවදාවත් එන්න ඕනෙකමක් ඇතිවෙලා තිබ්බෙත් නැහැ. ලයනල් වෙන්ඩ්ට් සහ මම කියන්නේ සම්පුර්ණයෙන්ම කාන්දමක අග්‍ර දෙක වගේ. මට එහෙම එන්න සිද්ද කලේ මගේ කලාබර මිත්‍රයා, සිදත් තමයි. සිදත්ට මම මගේ වෙඩින් ඉන්විටේෂන් එක දෙන්න කොච්චර වලි කෑවද ?

"අනේ මචං , මට ඕනේ නැහැ ඔය ඉන්විටේෂන් කෙහෙල්මල්! මට තැනයි වෙලාවයි කියපං.. මම වෙලාවට එතැන ඉන්නම්"

මම දෙතුන් පාරක්ම කතා කර කර ඉන්විටේෂන් එක දෙන්න එහාට මෙහාට දඟලනකොට සිදත් කිව්වේ එහෙමයි. ඒ උනාට හැමදේම නූලට තිතට කරන මගේ අනාගත බිරිඳ ; වසුන්දරා ; එකහෙලාම කියා හිටියේ ඉන්විටේෂන් එක නම් දිය යුතුමයි කියලා. අන්තිමේදී සිදත් කාගේදෝ නාට්‍යයක් බලන්න එනවා කිව්ව නිසා මම ඔෆිස් එකෙන් පැනලා ආවේ විනාඩි තිහෙන් ආපහු යන්න.

මගේ දුරකථනය අතේ තියාගෙන මම පාරේ ඇවිදගෙන ආවේ ඇත්තටම කලබලෙන්. අද දවසේ තමයි අන්තිමට මට තනිකඩයෙක් විදියට ඔෆිස් එන්න තිබ්බ දවස. හවස කට්ටියගේ 'බැචුලර්' පාටි එක ගැන හිතමින් එනකොට මගේ කට කොනට නැගුනේ හිනාවක්.

ලයනල් වෙන්ඩ්ට් එක පේන දුරෙන් නතරවෙච්ච මම දුරකථනය ඔබලා සිදත්ගේ අංකයට ඇමතුමක් ගත්තා. ගොඩක් වෙලා නාදවෙලා අන්තිමට සිදත් කතාකලේ හොරමුලක් එක්ක ගෙයක් බිඳින්න ඇවිත් වගේ හෙමින්.



"කොහෙද ඉන්නේ?"

"හු### ! තාම මම ඇතුලේ.. තව විනාඩි පහළොවකින් කතා කරපිය"

"අඩෝ.... විනාඩි පහළොවක්? තොට පිස්සුද? මම එතකල් මෙතන ලගින්නද? මේ වෙලාවටනේ ඉවර වෙනවා කිව්වේ.. ම..."

ඒ එක්කම ඇමතුම විසන්ධි උනාම මට ආවේ පුදුම තරහක්!

මෙහෙමත් රස්තියාදු වෙන්න පුලුවන්ද? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ආපු එකේ ඒ විනාඩි පහළොවත් ඉඳලම , මේ කාඩ් එක දීලම යනවා. මේක විතරයි දෙන්න බැරි වෙච්ච කාඩ් එකකට තිබ්බේ. වසුන්දරා ගාව තියෙන කොලේ, සිදත්ගේ නම ඉස්සරහින් 'හරි' ලකුණක් දම්මගන්න මම කන කට්ටක්!

ඉතින් මම කරන්න වෙන වැඩක් නැතුව , එතනම තිබ්බ හෙවනට වෙලා මුහුණු පොතේ සරන්නට උනා. ඉන්බොක්ස් එකට ආයෙමත් පණිවිඩ පිරිලා. බලන්න දෙයක් නැහැ, යාළුවන්ගේ නොසන්ඩාල පණිවිඩ, උපදෙස් එක්කම සාමාන්‍ය හැඳුනුම්කම් තියෙන අයගේ සුබපැතුම් තමයි. මගේ හිත පිම්බුනා.

ටික වෙලාවකින් පාරේ පොඩ්ඩක් කලබලයක් වගේ දැනුනම මම ඔලුව උස්සලා බැලුව. කට්ටිය තුඹසෙන් එලියට එන මෙරු වගේ ලයනල් වෙන්ඩ්ට් එකෙන් එලියට එනවා.

දුරකථන නාද වෙනවා, සිදත්.

"කොහෙද හලෝ ඉන්නේ?"

"ලයනල් වෙන්ඩ්ට් එක ගාව..."

"මොකක්? අඩෝ මම එන්න කිව්වේ ටවර් එක ගාවටනේ!"

මට එකසිය ගානට තද උනා.

"මොකක්?"

"හෙහ් හෙහ් හෙහ්.... බොරු බොරු බං... ලයනල් වෙන්ඩ්ට් තමයි මම ඉන්නේ. කෝ කොහෙද උඹව පේන්නේ නැහැනේ.. කොරිඩෝවේ කොතනද ඉන්නේ?"

"නෑ බන් මම ඉන්නේ පාරේ"

"පාරේ ඉන්නේ අහවල් එකකටද? වරෙන් ඔහොම්මම ඇතුලට..."

"බෑ බන්... මට යන්න ඕනේ.. වරෙන් එළියට "

"අනේ මේ.... වරෙන් බන් ඇතුලට.... "

"බෑ බන්.. මට"

"ඔන්න ඔතනින් ඇතුල්වෙන තැනම තියෙන කොරිඩෝවේ දකුණු පැත්තට හැරිලා වරෙන්"

මම කියන්නත් කලින් සිදත් ඇමතුම විසන්ධි කළා. දැන් ඉතින් වෙන මොකක් කරන්නද, මම වෙන කරන්න දෙයක් නැති නිසා  කවදාවත් පය තියන්න හිතාගනවත් හිටියේ නැති ලයනල් වෙන්ඩ්ට් එක ඇතුලට ඇවිදගෙන ආවා.

තිබ්බ මොකක් හරි ඉවෙන්ට් එක ඉවරවෙලා ඔක්කොම ගඟක් වගේ ගලන්නේ එලියට. මම ඊට විරුද්ධව ඇතුලට ඇවිදගෙන ගියේ රළ පහරක් මැද අනික් පැත්තට හබල් ගානවා වගේ.

මට පිටිපස්සෙන් ආපු දෙන්නෙක් මාවත් පෙරලගෙන ඉස්සරහට යනවා. කොල්ලන් දෙන්නෙක්. මම ගණන් ගත්තේ නැත්තේ ඒ දෙන්නා නිසා මේ සෙනඟ කන්දරාව මැද්දේ රළ කපාගෙන යන්න උදව්වක් ලැබෙනවා වගේ දැනුන නිසා.

"අම්මටසිරි.... අර කවුද බන්"

"පික්සු හැදෙනවා, සිරාවට"

මම මේ කොල්ලෝ දෙන්නා කියන්නේ මොකද්ද බලන්න හදනකොටම මොකද්දෝ ඉමිහිරි සුවඳක් මාව පහුකරගෙන ගියා. මට තාමත් හිතාගන්න බැහැ ඒ සුවඳ විලවුන් වර්ගයක්ද කියලා. ඒකට ඉබේටම මගේ නහය හුස්ම ඉහලට අදිනකොට ඇස්දෙක පිය උනා.

පියවෙච්ච ඇස්දෙක අරිනකොටම කෙල්ලෙක් හිනා වේවි මගේ ඉස්සරහින්ම ඇවිදගෙන මගේ පැත්තට එනවා.

මගෙත් එක්ක මගේ පැත්තට ඇවිදගෙන ආපු කොල්ලෝ දෙන්නාම කටවල් බලියාගෙන බලාගෙන හිටිය එක ඇත්තටම පුදුමයක් නෙවෙයි.

ඈ.. ඇත්තටම අදහගන්න බැරි රූමත් කෙල්ලෙක්. මගේ තොලකට වේලිලා ගියා කිව්වොත් තමයි ඇත්ත.

"පට්ට!"


ඒක තමයි ඒ මොහොත....

මුදු මන්දහාසයක් එක්ක ඈ මාව පහුකරගෙන ගියපු මොහොත....

අවට ලෝකය පවා නතර වුනු මොහොත.....

"මචං... මොකද බන්?"

සිදත් ඇවිත් මාව හොලෝනකල් මම හිටියේ කොහෙද?

"ආ.."

මම නළුවෙක් කියලා මට දැනුනේ ඒ මොහොතේ. මම ලේසියෙන්ම සාමාන්‍ය උනා. නිකමට වගේ ආයෙමත් මම අර යුවතිය ගියපු දිහාවේ දෙතුන්පාරක් බැලුවත්, කිසිම සලකුණක් තිබුනේ නැහැ. ඇගේ ලා නිල්පාට සල්වාර් ටොප් එක මගේ ඔලුව ඇතුල තාමත් නිල්පාට කරලා.

ඉක්මනට සිදත්ගේ කාඩ් එක දීලා වචනයක් දෙකක් කතාකරලා යන්න හැදුවත් කාලෙකින් දැක්ක යාලුවා එහෙම යවන සිරිතක් සිදත්ගේ තිබ්බෙත් නැහැ.

"යමු බන්... මෙතැනින් එහාට උඹට විනාඩි පහනේ.. වරෙන් මම උඹට ආපු එකේ ඩ්‍රාමා ෆීල්ඩ් එකේ පතාක යෝධයෙක් වගේ එක්කෙනෙක් හඳුන්වලා දෙන්න"

සිදත් වදෙන් පොරෙන් මාව ඇදගෙන ගියේ පසෙකින් තිබ්බ ගාඩ්න් එකට. එතැන කලාබර පෙනුම තිබ්බ දුසිමක් විතර එක එක බීම තොලගාමින් අල්ලාප සල්ලාපයේ යෙදෙනවා. එතන හිටපු කුරු - කළු පුංචි මනුස්සයෙක් දිහාවට මාව ඇදගෙන ගියපු සිදත් මාව බලෙම්ම වගේ ඔහුට අඳුන්නල දුන්නා.


ඇත්තටම මම හිටියේ කැලඹිල්ලෙන්. මීට විනාඩි ගානකට කලින් වෙච්ච මොකක්දෝ කම්පනයකින්. තාමත් ඒ මුදු මන්දහාසය මගේ ඔලුවේ කැරකෙනවා වගේ.

"මචං.. මොකද බං උඹ හෙන අමුතු වෙලා.. "

ඊට පස්සේ සිදත් මට කිව්වේ අමුම අමු කුණුහරපයක්. මට හිනාවක් ආවේ නැහැ.

එතකොටයි මම කාඩ් එක මතක් උනේ.

"මචං.. මේ.."

"ආ... උඹ දන්නවද.. ඒ මම අඳුන්නලා දුන්නේ ලංකාවේ ස්ටේජ් ඩ්‍රාමා වල ඉන්න ලොකුම තල්මසා.... අර ඉන්නේ ජයලත් මනෝරත්න.. අන්න රාජිත.... අර ඉන්නේ... ඉඳපන් කෝ මම කියල ඉවර වෙනකල්"

මට ඒ  කිසි දෙයක් ඇහුනේ නැහැ. මම ගල්වෙලා වගේ බලාගෙන හිටියේ අපි හිටපු ගාඩ්න් කොටසට අර සුපුරුදු මන්දහාසයෙන් ආපු අර සුරංගනාවී දිහා.. .ඔව්. එයා හිනාවේගන කෙලින්ම ආවේ සිදත් සහ මම හිටපු තැනට. මාව කරකුට්ටන් වෙලා යනවා මට දැනුනා.

"ආ.... නෙන්ජි.... ඉන්න මම එන්නම්..."

"අනේ... සිදත් අය්යේ.... තව ටිකක් ඉම්මු.. මට ඊළඟට තියෙන දවස අහගන්න බැරි උනානේ.."

ඒ කිංකිනි හඬ මට එකපාරටම අඳුනගන්න බැරි උනේ නැහැ. දෙවියන් පල්ලා.. මම හිටියේ මගේ කන්දෙක අදහාගන්න බැරුවම තමයි!

".. නේ... නේරංජනා??"

මම එහෙම කියනකොටම එකපාරටම ඈ මගේ දිහා බැලුවේ මාව කරකවන හිනාවත් එක්කමයි. දෙය්යනේ.... මෙහෙමත් දෙයක්!

"ආ.. උඹ දන්නවනේ.. මේ මගේ කසින්.. නෙන්ජි... මම ඊයේ ගෙන්නගත්තේ නුවර ඉඳල"

'මම දන්නවා.... මම  දන්නවා'

මම එහෙම කිව්වේ නැහැ. සිදත්ට කොහොම කියන්නද? මීට අවුරුදු අටකට කලින් ඉඳල මම ඈ දන්නා බව සිදත් දන්නේ නැති බව මම දන්නවා... මාව වෙව්ලන්න ගත්තා.

මිට අවුරුදු අටකට එහා, නිවාඩුකාලයේ සිදත්ව සොයමින් මම දුරකථන ඇමතුමක් ගත් මොහොතේ, නුවර ඔහුගේ ඤාති නිවසේ දුරකථනය එසවූ ඒ හඬ මට කවදා නම් අමතක වෙන්නද?

අහම්බෙන් වගේ ඇහුන ඒ කටහඬ, ඇත්තටම ඒ හිනාවෙ හඬ එක්ක මම මැරිලා ඉපදුනා කිව්වොත් තමයි නිවැරදි. ඒ ඇමතුම විසන්ධි කරපු මොහොතේ පටන්ම මගේ ඔලුවේ තිබ්බේ ඒ කටහඬ.

මගෙත් එක්ක එකට ඉස්කෝලේ ගියපු සිදත් මගේ කටෙන්ම ඒක අල්ලගන්නකල් මම මගේ හිත ඇතුලේ පතුලේම තියාගෙන හිටියේ ඒ මිහිරි සිතුවිල්ල.

"ඈ බන් කුසලෝ..... උඹ කොහොමද දන්නේ නෙරංජලා නංගිගේ කටහඬ ගැන?"

මාව දෙලෝ රත් උනා. ස්වභාවයෙන්ම අභ්‍යන්තරාවර්ති ගතිගුණ තිබ්බ මම ඊට විනාඩි දහයකට කලින් ඔක්කොමල්ලා ඉස්සරහ කිව්වේ මොකද්ද කියලා සිහි උනේ ඒ මොහොතේ.

"ඔය කිව්වට... කොහෙද බන් එහෙම කටහඩවල්? කවි වලට ලියනවා තමයි. ඒ උනාට අර කුරවී කෙවිලියන්ගේ හඬ කියන්නේ ලොවෙත් නැති සද්දයක් බන්"

එහෙම කිව්වේ අපේ සෙට් එකේ රැඩිකල්ම අදහස් දරන මංජු. මම සද්දයක් නැතුව හිටියා. මම මතක් උනේ අර කටහඬ.

"නෑ.. බන්.. එහෙම ටොයින් ටොයින් වෙන කටහඬවල් තියෙනවා මචන්... ඔය සින්දු එහෙම කියන සමහර ගෑනු හඬවල් බලපන්කො"

"ඒ සින්දු කියනකොටනේ... "

"ඔය රජ කාලෙත් හිටියා කියන්නේ"

"අනේ මෙහ් පලයාන් බන් පිස්සු නැතුව. එව්වා සාහිත්‍ය. ලියන්න ගියාම ඉතින් වට්ටක්කා ගෙඩියටත් උපමා.. හෙහ් හෙහ්..."

"සින්දු කියනකොට නම් මම දන්නේ නැහැ... ඒ උනාට මගේ කසින් සිස්ටර්.. අර නුවර ඉන්නේ... අන්න කටහඩ...! ඒකිගේ කටහඩ මාර ලස්සනයි බන්... ඉස්සර අපේ ඉස්කෝලේ කොල්ලෝ කෝල්ස් දෙනවා ඒ ගෙදරට, ඒකිගේ කටහඬ අහන්න"

"මටත් අරන් දියන්කෝ කෝල් එකක් එහෙනම්... හෙහ් හෙහ්"

මංජු හිනා වෙලා අතේ තිබ්බ දුරකථනය දික් කළා. කොහෙන් වැහුන යකෙක්ද මන්ද, මම එකපාරටම පැනලා ඒ දුරකථනය උදුරලා ගත්තා.

"පිස්සුද බන්....? නිකා ඉඳින්"

කාටවත් නෝට් උනේ නැති උනාට සිදත්ට නෝට් වෙලා තිබ්බා මගේ හැසිරීම. නමුත් මම කිසිම දෙයක් කිව්වේ නැහැ, හිනා උනා ඇරෙන්න.

දවසින් , දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ ගෙවිලා ගිහින් අවුරුදු ගානක් ගෙවුනා. ඒ ගෙවුණු අවුරුදු ගානටම අධ්‍යාපනයේ එක එක කඩඉම් පහුකරගන යන අතරේ, මගේ පස්සෙන් ආපු කෙල්ලන්ගෙන් කිසිම කෙනෙක්ට මම කැමැත්තක් නොදුන්නේ හැමදාම මගේ හිතේ දෝංකාර දුන්න ඒ කටහඬ නිසා කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මට ඕනෙකමක් තිබ්බා නම් සිදත්ගෙන් විස්තර අහගන්න තිබුනා උනත්, මොකද්ද මන්ද හේතුවකට මම සිදත්ගෙන් කවදාවත් ඒ කටහඬේ හිමිකාරී ගැන කිසිම විස්තරයක් ඇහුවේ නැහැ. කවදාවත් ආයෙමත් ඇමතුමක් දුන්නෙත් නැහැ.

ඉඳල හිටලා ඒ කටහඬ හිමි 'නෙන්ජි' ගැන , ඇගේ කුමක්හෝ තොරතුරක් ගැන කියන සිදත්ගෙන් පවා මම ඒ හැම සිතුවිල්ලක්ම වැහුවේ ඇයි කියන්න මම දැනගෙන හිටියේ නැහැ.

එහෙම වුනු අවුරුදු අටකින් පස්සේ, මගේ ජීවිතේට ආපු වසුන්දරා තමයි අද මගේ ගමනේ ගමනාන්තය. යාලුවෝ හැමෝම මට වදේ ගැහුවේ වසුන්දරා කියන්නේ නමට නම් මෙලෝම ගැලපීමක් නැති කෙනෙක් කියලා. ඇත්තටම වසුන්දරා එයාට කැමති වෙනකල්ම මම පස්සෙන්ම වැටිලා හිටපු නිසා වෙන්න ඇති මම කැමති වෙන්නත් ඇත්තේ.

ඇත්තටම ඈ මාව සම්පුර්ණයෙන් වෙනස් මනුස්සයෙක් කළා. ඉස්සර වගේ කුලෑටි නැති මම අද මම මේ තත්වයේ ඉන්නේ ඈ නිසා තමයි.

ඒත්.. මේ හමුවීම මහා කම්පනයක්.. පුදුමයක්!

"අය්යා.... කොහොමද මගේ නම දන්නේ??"

මාව ආයෙමත් පොළවට වැටුනා. ඇත්තටම මට ඒ වචන තේරුනේ නැහැ. සිදත් මගේ කරට අත දාගෙන හිනා උනේ ඇයි ?

"මේ කුසල්.... මගේ ඉස්කෝලේ කොලබොක්ක යාළුවා... ඊළඟ සතියේ මැරි කරන්න ඉන්නේ"

අන්තිම කොටස ඇහුන ගමන්, යුවතියගේ මුහුණ හැකිලිලා හිනාව අතුරුදහන් උනා. මාව දෙකට ඉරුනා වගේ දැනුනේ.

".... මෙයා ඔයාගේ කටහඬ අහලා තියෙනවා.. කොහෙන් හරි... කොහොම හරි"

යුවතිය රතු වෙච්ච කම්මුල් එක්ක බිම බලාගත්තා. මගේ ඔලුවෙන් තරු දුසිමක් විසිවෙනවා වගේ දැනුනේ.

"පිස්සුද බන්? නංගි.. මූට පිස්සු"

"Congratulations!"

නේරංජනා මගේ දිහා බලලා හිනාවෙලා කියනකොටම තවත් තරුණියක් ඈ සොයාගෙන ඇවිත් අතේ එල්ලුනා.

"නෙන්ජි.. අපි යමු.. අන්න ඔයාගේ සිහින කුමාරයා යන්නයි හදන්නේ.."

ඒ තමයි නේරංජනා මවෙතින් ඈතට ඇවිදගෙන ගියපු මොහොත.....

සිදත් මගේ කරේ තිබ්බ උගේ අත තද කරලා මාව උගේ ඇඟට වාරු කරගත්තා.

"කුසලෝ..... උඹ නම් හැබෑම පිස්සෙක් බන්" 

-------------------------




ආදරණිය නේරංජනා........................
ආදරණිය නේරංජනා........................ 

ඔබේ මුදු මදහස රැලි මාලාවේ
වෙලී බැඳුනු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතු විලසින්
යලි ඔබ දැකුමට ආවේලාවේ
අප හමුවූ ඒ උයන් සිමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටමම පුදුමයි අදහන්නට බැහැ
මමම නොවෙයි යලි ඉන් පිට වුයේ

ආදරණිය නේරංජනා........................
ආදරණිය නේරංජනා........................

කවුදෝ මා පසුපස එනු දැනුනා
පාලු විදියේ තනිකම මැකුනා
ජීවමාන කිසිවකු සිටියේ නැහැ
එනමුදු කවුදෝ ඇතිබව දැනුනා
නිදියහනේ මා නින්දට වැටුනා
ඔබ මා සිහිනෙන් අමතනු ඇසුනා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා





ප.ලි.
මම මේ ගීතයට බැඳුනේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ උනාට මේ ගීතයේ තියෙන ආදරණිය බව නම් කතා කරලා වැඩක් නැහැ. 

 '.... කවුදෝ මා පසුපස එනු දැනුනා
පාලු විදියේ තනිකම මැකුනා
ජීවමාන කිසිවකු සිටියේ නැහැ
එනමුදු කවුදෝ ඇතිබව දැනුනා.........'

සමහරවිට ඒ කොටස නිසා වෙන්න ඇති. මොකද ඒක මටත් බොහොම පොදු සමීපතම අත්දැකීමක් නිසා. 

අනිත් එක, අහන්නත් දෙයක්ද.. මේක ප්‍රේම්ගේ පදරචනයක්. .ඔව් ඔව්. ඒ ප්‍රේම් තමයි!!! මේ ගීතය පදරචනය කරලා තියෙන්නේ හම් එකක් අහලා ඒ ක්ෂණයෙන්. හම්මේ.... කොහොමද එහෙම කලේ???

මොකක් නමුත්, මේ සින්දුවේ අගට මාව ගොළු වෙනවා. හැමෝටම එහෙම නොවෙන්න පුළුවන්. මොකද ඉතින් කරන්නේ... මාව එහෙම වෙනවනේ


පිදුම: ඔහුට... පාළු වීදියේ තනිකම මකපු ඔහුට!

Related Posts Plugin for WordPress, Blogger...