Sunday, January 30, 2022

295: උන්මාද චිත්‍රාදෝ මා 27

 


වාහනය මාර්ගයේ  පසෙකට  වන්නට නතරකල නිර්මලී තරමක හුස්මක් අල්ලා ලය සැහැල්ලු කරගත්තාය. අනතුරුව වාහනයේ කබි හෝල් එකෙන් ගත් කුඩා පොතෙහි පිටු අතර නැවතත් සිය දෙනෙත් ගෙනගියේ වේදනාවෙන් බරවෙමිනි. අනුජගේ මේසය අහම්බෙන් විවෘත කල දිනයක ලැබුණු මේ පොත ඔස්සේ ඈ සිය මතකය මීට අවුරුදු  විසි දෙකකට එහා ගෙනගියේ  සුසුමක් පාකර හරිමිනි.

මුලින්ම ලක්ෂ පහළොවක්.. ඉන් අනතුරුව නොවරදවාම මාසයකට විසි දහස බැගින් එම ගිණුමට මුදල් බැරවී තිබුණු බව තමන් කිසිදිනෙක දැන උන්නේ නැත.  අවසාන මුදල් බැරවීම සිදුවී තිබුනේ අනුජගේ අනතුරට දින පහකට ප්‍රථමය.

මද වෙලාවක් ඉකිබිඳ හැඬු නිර්මලිගේ මනසට වනිඳු ගෝකුල පෙනී සිටි බැවින් නිර්මලී ඉක්මනින් තමන්ට තරවටුකොට ගත්තාය.

'නෑ.. ඒක වෙන්නේ නැහැ..'

Friday, January 28, 2022

294: උන්මාද චිත්‍රාදෝ මා 26




වනිඳුගේ එක එල්ලේ තිබන බැල්ම මගහරිමින් නිර්මලී මෑත ඉමක  සිය බැල්ම රඳවා ගත්තාය. සතියේ දිනයක් වූ නිසාමදෝ උපාලිස් අවන්හලේ එතරම් සෙනඟ ගැවසුණේ නැති බැවින්, ඔවුන්ගේ මේසය තිබුනේ හුදකලාවක මෙන්ය. අවන්හල වෙත ඇදෙන කිසිවෙකුටත් මේ යුවලගේ දර්ශනය එතරම් ප්‍රකට නොවුයේ ,එය බොහෝ මේස අතුරින් වෙන්ව පිහිටි නිසාත් ; වඩා අඳුරු නිසාත්ය.

අනුජ සංදිරිගම ඈට හමුවූ ආකාරය නොකීවද, නිර්මලී කුඩා දැරියක ලෙස උන් තමන් වෙත අනුජ විසින් සියල්ලම ලබාදුන් ආකාරය ප්‍රවේශමෙන් සහ සුසුම් සලමින් පවසන අයුරු වනිඳු බලා සිටියේ මෘදු සිනාවක් මුහුණේ රඳවාගෙනය. ඇගේ මුහුණේ ඇඳෙන භක්තිය ; ප්‍රේමය ; දුක ; වියෝව මුහුණේ විවිධ අන්තයෙන් බලමින් වනිඳු ඒ රුව රසවින්දේ වැඩි කතාබහකින් තොරවය. ඈ මෙතරම් ලස්සනට කතාකරන හැටි?

කිසිලෙසකටවත් ඈ හතලිස් හැවිරිදි බව නම් කියන්නට නොහැකිය. අනුජ ගැන පවසන විට ඇගේ වතේ ඇඳෙන ඒ ආකර්ශනීය ; දුර්ලභ සිනාව වරින්වර අතුරුදන් වන ආකාරය වනිඳු උකහා ගත්තේ ලෝබකමිනි.

Sunday, January 23, 2022

293: උන්මාද චිත්‍රාදෝ මා 25


 


සටහන : මේ කොටසේ  සහ ඉදිරි කොටස් කිහිපයකම දින වකවානු ඒ මේ අත යන බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි.



"... වනිඳු....... ෆෝකස් මනුස්සයෝ!"

තමන් වෙත පැමිණි තුන්වන බෝලයද මගහැරී වනිඳු දෙස බලා චාමික දත්මිටි කමින් පැවසුවේ මුව තරමක් ආවරණය කරගනිමිනි. පුහුණුකරු දැන් දැන් වනිඳුට දෙහිකපන බව චාමික හොඳටම දන්නේ ඔහු කිහිප වරක් වනිඳු දෙස ඔරවාගෙන බලාසිටි නිසාය. 

වනිඳු හිස ආවරණය ගලවා අතටගෙන , සිය නළලත නැගුනු දහදිය පිසිමින් පැමිණ විවේක ගන්නා කොටසේ හිඳගත්තේ බිමට බරවූ මුහුණෙනි. උදෑසන සිටම පුහුණුවීම් අතරතුර වෙනදාට වඩා සිදුවූ අතපසුවීම් ගැන ඔහුටද දැනෙන්නේ වරදකාරී බවකි. ඔහුට පසුව පන්දුවට පහරදෙන අනෙත් ක්‍රීඩකයා දෙස බලමින් සිටියදී ඔහුගේ සිත අතීතයට දිව යන්නේ සැනෙකිනි. 

මීට අවුරුදු දෙකකට පෙර සිය මව කටුවාපිටිය බෝම්බයට හසුව ගතවූ ඉතාම අපහසු කාලයේ , පුහුණුවීම් සඳහා තමන් පැමිණියේ ඈ අසළ බිම එලාගත්  පැදුරක රැය පහන් කිරීමෙන් පසුව වුවත් මෙතරම් කඩාවැටී සිටියේ නැත. රෑ තිස්සේ චාමික විසින් කියූ බණ අසා ඔහුගේ සිත තවත් පෑරී තිබිණ.

'එහෙම අමතක කරන්න පුලුවන්ද? මුන්ට තේරෙන්නේ නැහැ... '

නිර්මලී දකින්නට පෙරම තමන් ඇයට ආදරය කල බව, ඇගේ ප්‍රේමය තමාට හිමි බව , ඈ සම්පුර්ණයෙන්ම තමා සතු වස්තුවක් බව, ඒ ආදරය සියලු නහරවැල් පුරාම ගොස් සර්වාංගයම නතුකොට ඇති බව පිළිගන්නට චාමික සුදානම් නැත. 

Thursday, January 6, 2022

292: උන්මාද චිත්‍රාදෝ මා 24


 

සටහන : මේ කොටසේ  සහ ඉදිරි කොටස් කිහිපයකම දින වකවානු ඒ මේ අත යන බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කියවන මෙන් .ඉල්ලා සිටිමි.

තවදුරටත් වර්තමානයේ......

"නිර්මලී... මම ඔයාව දන්නවා.. ඔයා මාව දන්නවා.. "

තමන්ගේ සවන් පුරා දෝංකාර දෙන ඒ කටහඬ අමතක කිරීමට මෙන් නිර්මලී නැවතත් සිය ජංගම දුරකතනයේ කාර්යාල ඊමේල් පිරික්සන්නට වුවාය. හිස කම්මලක් මෙනි. 

හිමාල් පමණක් නොව දුලිකාට පවා තමන් මෙතරම් බේගල් කන්දරාවක් ඇදබා තිබුනේ නැත. තමන් එදින වනිඳු ගෝකුල සමඟ බරකුඩා ගිය බවක් හෝ ඔහු පැවසු කතාව ගැන හෝඩුවාවක් හෝ නොදුන් ඈට හිමාල් දොස් නැගුවේ නේහාගේ නිවසට නොයා ඇගේ මහල් නිවාසයේ ගතකල බවටයි. 

නිර්මලී මෙතරම් හිතුවක්කාර චරිතයක් නොවන බව හිමාල් දනිනත් යන්තමට දුටු ඒ තරුණයා නිර්මලී පස්සෙන් ගිය බව මිස වෙනත් තොරතුරක් ඔහුට ලැබුනේ නැත. ආරංචි කල අයුරට ඈ විසින් එම තරුණයා වැළඳගත් බව කියූ බැවින් මදක් කැළඹුනද , නිර්මලී එලෙස කරන්නේ නැත. ඔහු අනුමාන කලේ නිර්මලී ඒ තරුණයා මගහැර යන්නට ඇති බවයි. නැතිනම් තමන් ඇමතු මොහොතේ ඒ ගැන නොකියා සිටින්නේ නැත.

Sunday, January 2, 2022

291: උන්මාද චිත්‍රාදෝ මා 23


සටහන : මේ කොටසේ  සහ ඉදිරි කොටස් කිහිපයකම දින වකවානු ඒ මේ අත යන බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කියවන මෙන් .ඉල්ලා සිටිමි.


තවදුරටත් වර්තමානයේ ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලයේ .....

තමන් දෙසම බලාගෙන සිටින ඒ බොරපාට දෑස වෙතින් නෙත ඉවතට ගන්නට තරම් සිහියක් නිර්මලිට නොවිය. එකවරම පියවි සිහියට ආ නිර්මලී තරුණයා අතහැර පසුපසට වුවද ඔහුගේ නෙත තදින්ම ඇගේ මුළු වත පුරාම ගමන් කලේ වේගයෙනි.

'හරියටම අනුජ වගේ!'

"සො... සො.. සොරි.... වැරදිලා "

Related Posts Plugin for WordPress, Blogger...