"නිර්මලී..... චුට්ටක් ඇස්දෙක අරින්නකෝ බලන්න... ආ.... ඔය තියෙන්නේ.... මාව පේනවා නේද?"
නිර්මලී අපහසුවෙන් විවර වූ දෙනෙත වේගයෙන් ඇසිපිය ගසමින් , හිස ඉහල පහල හෙළුවේ 'ඔව්' කියන්නට මෙනි. ආගන්තුක ඒ කටහඬ එන්නේ කොයි අතින්ද බලන්නට හිස හරවන ඇයට ඉතිරි ගිය කඳුළු පාරවල් කම්මුල්වල ඇති නේහාගේ අපහසුවෙන් නගාගත් සිනාව සහිත මුහුණ පෙනුනි. හිස හරවන්නට නොහැකිය.
"නේ.."
"බයවෙන්න එපා නිර්... ඔයා ඉන්නේ අපේ ගෙදර... ඔයාට දැන් හොඳයි.. රෙස්ට් එක තමයි ඕනේ..."
නේහා තමන් මීට පෙර දහ දොළොස් වතාවක් පුහුණු වූ වැකිය මෘදු හඬින් පැවසුවේ නිර්මලිගේ අත සෙමෙන් අල්ලාගෙනය. ඈ අසලින්ම පිටිපසින් අනුජ සිය ආකර්ශනීයම සිනාවෙන් බලාගෙන සිටියේය. නිර්මලිගේ සිත තරමක් නිවී ගියේය.
"ආ... නිර්මලී.. මම තමයි ඔයාගේ ඩොක්ටර්.. මගේ නම රෝෂිනි.. ඔයාගේ කොහේහරි රිදෙනවාද කියන්නකෝ මුලින්ම..."
පසෙකින් පැමිණි වෛද්‍යවරිය කරුණාබර ස්වරයෙන් ඇසුවේ නිර්මලී සමනය කරමිනි. වෙද නලාව උරහිස හරහා දමාගෙන, අතැති වාර්තා සටහන් පොතේ යමක් ලියමින් සිටි ඈ ප්‍රසන්නව සිනාසුනාය. හිමාල් ඒ අතර නේහා පසෙකට කැඳවා ගත්තේය.
"නංගි.. අද ඔයාගේ මෙයා ගාව ඉන්න පුලුවන්ද? මට ලොකු වැඩ වගයක් තියෙනවා නොයා බෑ"
ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණයේ කටයුතු සිය අනසකට ගත්තේ, එහි අවසන් අදියර අතහැර දමා , අනුජගේ සිහිනය බොඳ නොවන්නටය. මේ සියල්ලම ඔහු වෙනුවෙනි. අනුජගේ ආයෝජකයා තමන් සමඟ මෙය ඉදිරියට ගෙනයන්නට කැමති වීම භාග්‍යක් ලෙස හිමාල් සිතුවේ සැලසුම සෑහෙන තරමක අවදානමක් යයි නොසලකාය.
"හරි අයියා.. කිසි ප්‍රශ්නයක් නැහැ... තව දවසකින් වගේ මෙහෙ නතරවෙන්න බලාගෙන ප්‍රමිලා එනවා. එයත් මේ සතියේ ඉන්නවා.. මම ඉන්නවානේ අය්යා... වෙන මොනාද මගෙන් කෙරෙන්න ඕනේ?"
රිදුම්දෙන මතක සමඟින් නේහා පැවසුවේ නගාගත් සිනාවකිනි.
"ඔයා දන්නවනේ නේහා... නිර්මලිව කොහොමවත් එක්ස්පොස් වෙන්න බැහැ මම කියනකල්.. එයාට හොඳවෙන්න ඕනේ.... අනික් බෙහෙත් තමයි කතාකරන එක.. තැවෙන්න දෙන්න එපා"
හිමාල්ගේ සිත ඒ වචනයත් සමඟ වේදනාවෙන් බරවිය. සුසුමක් පිටවුයේ ඉබේටමය.
".... ඔයාලා දෙන්න ඒ ගැන බලන්න.. නිර්ගේ ෆෝන් එක මාරු කරා. ඒකට ඕනේ නම්බර්ස් ඔක්කොම මම දාලා තියෙන්නේ. නොදන්නා නම්බර් එකකින් ආවොත් කතාකරන්න එපා..."
නේහා උනන්දුවෙන් අසා සිටියාය. සති අන්තයේ සිමා පාඨමාලාවට බැඳී සිටි බැවින්, සතියේ දිනවල ඇයට නිර්මලී සමඟ සිටිය හැකිය.
"හරි අය්යා..."
"කාටවත් නම්බර් එක දෙන්න එපා"
"අ... අර අසලංක..."
නිර්මලී ගැන පැයකට වරක් පමණ කතාකරමින් අසන අසලංක පෙරදින හඬමින් නිර්මලිගේ තොරතුරු ඇසු හැටිත්, ඇයට කතාකරන්නට අවශ්‍ය බව කියමින් තමන්ට පින්සෙන්ඩු වූ හැටිත් සිහිවී, නේහා ඇසුවාය. හිමාල් මදක් කල්පනා කළේය.
"එපා! නිර් මෙහෙ ඉන්න බව කාටවත්.. කාටමවත් කියන්න එපා.. ඇහුවොත් සිංගප්පුරුවේ ගෙනියලා විස්තර දන්නේ නැහැ කියන්න.. එච්චරයි... අසලංක මෙහෙ එන්නේ නෑනේ?"
"නෑ අයියා..."
අඩමානයට මුත් නේහාට එසේ නොකියා බැරි වූ අතර හිමාල් නැවත වතාවක් නේහා දෙස බැලුවේය.
"අනුජ වෙනුවෙන් ඔයා නිර්මලිව පරිස්සම් කරන්න ඕනේ නංගි... තේරෙනවා නේද මේකේ තියෙන බරපතලකම?"