Thursday, September 30, 2021

269: උන්මාද චිත්‍රාදෝ මා 03



දිලිපගේ පසින් හැලහොල්මනක් නොමැතිව දවසින් දවස ගොස් සතියක් ගෙවුනේ නිර්මලිට කල්පයක් යන පරිද්දෙනි. ඒ සතිය පුරාම දුරකථනය  විරහිතව තිබිණ. ඒ අතර අනුජගේ දිනචරියාව ඈ හොඳින් දැනගෙන සිටියාය.

උදෑසන පහ වනවිට , තුන්වන මහලේ තිබෙන කායවර්ධන කාමරයට යන අනුජ, ඉඳහිට පාන්දර පිහිනුමේ යෙදෙයි. ඉන් පසුව ඔහු උදෑසන දුරකථන ඇමතුම් පෝලිමට පිළිතුරු දෙන්නේ කවුරුන් හෝ සම්බන්ධිකරණ කාන්තාවකටය. දවසේ වැඩ ලබාදෙන ඔහුගෙන් දිස්වන්නේ සැරපරුෂ පාලකයෙකුගේ හැසිරීමකි. 

"... මීටින් එක මගෙන් අහන්නේ නැතුව දැම්මේ මොන මගුලකටද? මම කියල තියෙනවා තුෂාරා! මගේ යකා අවුස්සන්න එපා දැන් !"

"... නෑ නෑ ... රේසිකා නෙවෙයිනේ මෙතන ලොක්ක! මමයි ඒ ශිප්මන්ට් ඩිලේ කරන්න කිව්වේ.... කාගෙන් අහලද පෙනල්ටි ගෙවන්න හදන්නේ තුෂාරා??? "

"මේවා ෆලෝ අප් කරන්න තමයි මම තමුසෙට පඩි ගෙවන්නේ චන්දන.... බැරිනම් හෙට ඉඳල ගෙදර ඉන්න පුළුවන්..."

  "... මට ඔය කතා වලින් වැඩක් නැහැ, මම ඔෆිස් එනකොට මේසේ උඩ ඩොකියුමන්ට්ස් ටික තියෙන්න ඕනේ! මට තමුසෙගෙ එක්ස්කියුස් වැඩක් නැහැ!"

මෙවැනි වදන් වලින් ඉහල මාලයම දෙදරා යද්දී නිර්මලී බොහෝවිට සිටින්නේ කාමරයේ දොර වසාගෙනය. 

Saturday, September 25, 2021

268: උන්මාද චිත්‍රාදෝ මා 02

 


අඳුර සමඟ සිතට කාන්දු වන භයානක සිතුවිල්ල නිර්මලීට වලක්වාගත නොහැකි තරමකි. විදුලිය නැති බිත්ති හතරේ , කුඩා කවුළුවකින් පෙරී එන ආලෝකය හා ගෙවුණු අනන්ත අඳුරු දිනයන් ඈට නුහුරු නොවුනද, අද මේ අඳුර සමඟ දැනෙන භීතිය වෙනස්ම එකකි.

අවුරුදු දහසයක කෙල්ලක වූ ඈට , අනුජ කොයි මොහොතේ හෝ තමන් වෙත කඩාපැන , ඔහුගේ නීතිමය අයිතිය කියාපානු බව සිතින් ඉවත් කරගත නොහැකිය. 

ඇගේ මතකය අවදිවුයේ නිරායාසයෙනි.

වයස අවුරුදු පහේදී එකවරම නිවසින් නැතිව ගිය, තවමත් සිතේ අඳුරු ජායාවක් ලෙස මතකයේ ඇති සිය මව නැතිව ගෙවුනේ දවස් කීපයක් පමණකි. එතැනට අහසින් වැටුණු කුඩම්මා කවුරුන්දැයි ඈට වටහාගන්නට තරම් වයසක් නොමැති වුවද , කාමරයක් නොමැති බිත්ති හතර තුලදී අවුරුදු පහට නොතේරුන සිදුවීම් සියැසින් දැකීම නිර්මලීට තේරෙන්නට ගත්තේ අවුරුද්දකින් පමණය. 

ඉන් පසුව ගෙවුණු අවුරුදු ගණනාව තුල, දෙවරක් තාත්තා විසින් කුඩම්මා එලවා දැමුනද, නැවතත් සතියක් යන්නට මත්තෙන් ගෙතුළ ඇගේ මුකුළුව නිර්මලී අසා ඇත.

'ඔන්න ගෑනු! උඹේ අම්මන්ඩි වගේද බලපන් හරි දහිරියවන්ත ගෑනි...  විජේ ඔහොමම ගෙට වෙලා ඉන්නෙත් මේකි හින්ද.. නැතිනම් ඌ ගිහින් ඔලුව හැරුන අතේ.. බොලෑ අම්ම දන්නේ වදන්න විතරයි '

කුඩම්මා ගැන ඇගේ අම්මා දුන් චරිත සහතිකය නිර්මලිට මතකය. පිරිමින් කරනා සියල්ල උසුලාගෙන යායුත්තේ ගැහැනුන් බව ඈ දැනසිටියාය. 

Wednesday, September 22, 2021

268: උන්මාද චිත්‍රාදෝ මා 01



සිදුවුයේ කුමක්දැයි සිතාගත නොහැකිව නිර්මලී හුස්මක් නාල්ලා සිහිය එළවාගන්නට උත්සහ කළාය. ඒ අතරතුර තමන් රැගත් වාහනය , තවදුරටත් තමන් දෙසවත් නොබලා විරුද්ධ දිශාවට ඇවිදයන සිය පියාගේ රුව සිය ඇස මානයෙන් කෙමෙන් කෙමෙන්  ඉවත් කරමින් යනු දුටුවේ සිහිනයෙන් මෙනි.

ඇය සිය දෑස එකවරම ගෙනගියේ රියදුරු අසුනේ සිටි මිනිසා වෙතයි. ඔහු වෙත කඩාපැන ඔහුගේ බොටුවෙන් අල්ලා තමන් දමායන ලෙසට කෑගසා තර්ජනය කරන්නට සිතද්දී, ඒ ක්ෂණයෙන් ඇගේ නෙත රැඳුනේ තමන්ගේ ජිවිතයම කාලකන්ණි කොට, ඒ කිසිවක් ගැන මෙලෝ වගක් නොමැතිව සිය දුරකතනයට එබී මොන මොනවාදෝ ඔබමින් පසුපස අසුනේ එහා කෙලවර සිටි මිනිසා වෙතයි.

ඔහු හැඳ සිටියේ මිල අධික සන්නාමයක් සහිත ඔරලෝසුවකි. ඇපල් දුරකථනය දෙස බලමින් සිටි ඔහු කිරිපාටින් බබලන කමිසයට , ප්‍රතාපවත් ටයි පටියක් පැළඳ , දිලිසෙන පිරිසිඳු මිල අධික සපත්තු පය ලාගෙන සිටියේ ඇගේ ඇස උගුල්ලවන ලෙසටය. 

නිර්මලී කැකෑරෙන කෝපයෙන් ඔහු දෙසම බලා සිටියේ හුස්ම වේගයෙන් ඉහල පහල යද්දීය.

'අනුජ විශ්වනාත් සංදිරිගම වන මම, මෙහි සිටින.... පේදුරු හේවගේ නිර්මලී චාරුකා යන අය .. මාගේ භාර්යාව වශයෙන්....'

ඔහු එසේ කියද්දී පවා නොදැනුනු කෝපයක්, ආවේගයක් විසින් නිර්මලීගේ දෑසින් පනින්නට සුදානම්ව සිටියද ඒ ගැන නොදන්නා ඇගේ අනෙක් අන්තයේ උන් මගියා අහම්බෙන් මෙන් එකවරම හිස හරවා බැලුවේය.

"මහන්සිද? අපි යන ගමන් මොනවාහරි බොමු..."

ඒ තියුණු දෑස මදකට සිහින්කොට ඔහු එලෙස කියා ඉදිරිපස උන් රියදුරා දෙසට හැරුනේය.

"... වීරසිරි... අපි අර හොටෙල් කෝපරේෂන් එකේ රෙස්ට් එක ළඟින් නතර කරමු ආප්ප කන්න"

"හරි සර්"

Wednesday, September 1, 2021

267: රතුපාට මල් - 9



https://kadadasikole.blogspot.com/2021/08/266-8.html

මෝහන පන්තිය වෙලාවට මම යෝගා පන්තියක් පටන් ගත්තෙමි. එසේ කලේ යෝගා කිරීමට  උනන්දුවක් නිසා නොව, මා එහි යාම වලක්වාලීම අපහසු බව මට දැනුන නිසාය. එබැවින් සති දෙකක අවෑමෙන් මම සාර්ථක ලෙස පන්තිය මගහැරගත්තෙමි.

සුපුන් හදිසියේම මා අමතනු පෙනී තරමක කලබල වූ බව හැබෑය. මම පැමිණි whatsapp වීඩියෝ ඇමතුමට පිළිතුරු දුන්නේ කැළඹීමෙන් බව නොකිවමනාය.

"කුන්චි!"

කැමරා කාචයෙන් සුපුන් මා දුටුවනම එකවර කියද්දී, මා ඉදිරියෙන් අල්වාගෙන සිටි දුරකථනය ලිස්සා නොගියා පුදුමය. 

"ඇයි සුපුන්?"

සුපුන් සිය මුහුණ වඩාත් දුරකතනයට ලංකොට සිටියේ සිය පැහැපත් මුහුණේ මනාව කැපුණු රැවුල්කොට පවා පැහැදිලිව පෙනෙන පරිද්දෙනි.එතෙක් දුටු දේ අනුව,  මට පෙනුනේ ඔහු සිටියේ කාර්යාල ඇඳුමේ ටයිපටිය බුරුල්කොට කමිසයේ බොත්තම් තුන හතරක්ද ගලවා දමාගෙන වන්නට ඇත. මට කිසිවක් දැනුනේ නැත.

"ඔයාගේ..මුණ ටිකක් ලං කරන්න... මට ඔයාව බලන්න ඕනේ"

මට ඉබේටම වේගයෙන් ඇසිපිය සැලුනි.

"Are you ok ?"

මට ඇසුනේ ඉබේටමය. 

"කුන්චි... මට බලන්න ඕනේ ඔයාව.... කෝ? මට හොඳට මුණ පෙන්නන්න.."

මට දැනුනේ අපහසුතාවයක් වන්නට ඇත. උදෑසන යෝගා පන්තියෙන් පසුව පැමිණ උණුවතුර ස්නානයෙන් පසු, සැහැල්ලු කොට ගවුමකින් සැරසී උන් මට එය දැනුනේ බලහත්කාරකමක් ලෙසය. 

නමුත් මම සුපුන්ගේ මුහුණ දෙස බලාගෙන සිටියෙමි. ඔහු තරමක වේගයෙන් හුස්ම අල්ලන බව මට පෙනුනේ ඔහුගේ පුළුල් නහයේ අග පමණට වඩා ක්‍රියාකාරී බවක්පෙනුන නිසාය.

"පිස්සුද සුපුන්? ඇයි මේ?"

සුපුන්ගේ මුහුණ බලා සිටියදී රතු පැහැයට හැරුණි.  

"මට තව ටිකක් දවසක් ඉන්න වෙයි. "

Related Posts Plugin for WordPress, Blogger...