Saturday, August 14, 2021

266: රතුපාට මල් - 8

 රතුපාට මල් - 7 



මම උන්නේ වේදනාවෙන්ද කියා මට වැටහීමක් තිබුනේ නැත. නමුත් හදවත තුලින් තෙරපෙන කුමක් හෝ යමක් මා පාරවන බව මට දැනුනද, එය කුමක්දැයි හරිහැටි නිශ්චය කරගන්නට මට නොහැකි වුයේ මා සිටි වියවුල් මනස නිසා වන්නට ඇත.

සුපුන් මේ වනවිට ගුවන්යානයට ගොඩවී ගුවනට පිවිස වන්නට ඇතිය. ඔහු ගුවන්තොටුපලට ගිය බවට මා වෙත එවූ කෙටි පණිවිඩය මම විවෘත නොකලෙමි. 

"I reached the airport and ..."

පණිවිඩයේ සාරාංශයට පෙනුනේ එපමණකි. මට බලන්නට අවැසි යමක් එහි නොමැතිවාක් මෙන් දැනේ. අමනාප කතාබහකින් තුවාල ලැබ , මෙසේ වෙන්ව යාම සුපුන් හා මම සුදුකල පළමු වතාව මෙය නොවුනද, මෙම අවස්තාව මා පමණට වඩා රිදවා තිබිණ.

ටාජ් අවන්හලේ බැල්කනිය ඔස්සේ පෙනෙන වීදි ලාම්පු සහ නියෝන් බල්බ දෙස බලමින් මම වයින් වීදුරුව තොලගෑවෙමි. වයින් නිසා සිරුරේ උණුසුම වැඩි වීමෙන් දෝ මහත් වැරවෑයමෙන් නාරින මගේ මනෝ ලෝකය විවරව ගියේය.

සුපුන්!

මම ඔහු සමඟ ජිවත් වන්නට ආරම්භ කොට දැනට වසර තුනකට වැඩිය. දිනයක් කියා යම් සැමරුමක් නැතිව , මමත් ඔහුත් විසින් මේ නිවසට පැමිණියේ , වසර දහයකට එය බලා කියා ගන්නට අපට පවරා ගිය මගේ හිතවත් මිතුරෙකුගේ විදෙස්ගතවිමත් සමඟය. ඒ වනවිට මම සුපුන්ව අහම්බෙන් මෙන් හඳුනාගෙන ගතවී තිබුනේ මාස තුනක් වැනි කාලයක් පමණි. එය සිදුවුයේ ඉබේටමය. 

Related Posts Plugin for WordPress, Blogger...