Tuesday, June 29, 2021

255: සුහදිනියේ - 46 | අවිනිශ්චිත අනාගතයක පෙර ලකුණු

   කලින් කොටසට 

තාත්තාගේ හෘද සැත්කම ඉක්මන් කලයුතු බව වෛද්‍යවරු දැන්වුයෙන් මම ඒ දේවල් සියල්ලටම දුවපැන ඇවිද්දේ උමතු වුවෙකු පරිද්දෙනි. අම්මාත් මල්ලිත් යන දෙදෙනාම මා උරහිසේ, මගේ සරණ පතාගෙන සිටින බැවින් මට දුර්වල වන්නට අවස්තාවක් නොවිය. 


 

අම්මාටත් සුදම්ටත්  අඩුපාඩුවක්  නොවන ලෙසත් , ඔවුන්ගේ සිත සනහාලන වටපිටාවකුත් ටාෂාගේ නිවසේ තිබීම මට මහත් රුකුලක් විය. තාත්තාගේ අසනීප තත්වය කිසිවකුට නොකී බැවින් වැඩිදෙනා නොපැමිණියද, ඔහුට සිටි විස්වාසවන්ත මිත්‍රයින් සැම දෙනාම මහා පවුරක් වී වටා රොක්ව සිටියෝය. 

තාත්තා මුදල්  වලට වඩා  උපයා ඇත්තේ මිනිසුන් බව අතිශෝක්තියක් නොවේ. අනුලා සම්බන්ධයෙන්ද තාත්තාගේ යම් අසරණකමක් නොවේ නම් අම්මාට ද්‍රෝහී වන්නට තරම් තාත්තා චපල නොවන බව මම වඩ වඩාත් අදහන්නට වීමි.

අසනීප වූ දින සිටම මගේ භාරයේ තිබුණු තාත්තාගේ දුරකථනයට පිළිතුරු දුන්නේ මමයි.  ඇමතුම් අතර දුලිප් නොසිටියද , කිහිප වරක්ම අනුලා අලස් යයි මම සැකකල කාන්තාවක් ඇමතු බව මම සැලකිල්ලෙන් තබාගෙන සිටියෙමි. එම අංකය මගේ යහළුවෙකු ලවා  අයිතිකරුවා සොයාබැලුවද ඒ නම අනුලා නොවිණි. තාත්තාගේ එන ඇමතුම් වලට පිළිතුරු  සපයමින්, මම වත්තේ සියල්ලම නිසිලෙස කළමනාකරණය කරගත්තේ සුන්දර්ගේ සහයෝගය මට නොමදව ලැබුණු බැවිනි. අනෙකුත් ව්‍යාපාර සඳහා ඒ ඒ කළමනාකාරවරුන් අමතා ඔවුන්ට අවශ්‍යකරන දේවල් යම් තරමකට ඉෂ්ටකරදීමට මට හැකිවිය.

Sunday, June 27, 2021

254: සුහදිනියේ - 45 | විරසක සුසුම් සමඟ

   කලින් කොටසට 

 



තාත්තාගේ තත්වය බරපතල බව වෛද්‍යවරුන් පැවසුවද මම මහත් ශෝකයෙන් වැලපෙන අම්මාට හෝ සුදම්ට එවැන්නක් නොකීවෙමි. හදිසියේ ඇතිවූ හෘදයාබාධය නිසා ඔහුව අප රැගෙන ගියේ ආසන්නයේම තිබුණු පෞද්ගලික රෝහලට වූ අතර ඔහුගේ වෛද්‍යවරයා ඊට පැයකට පසුව එහි ළඟාවනවිටත් අප සියලුදෙනා කම්පනයෙන් ඒ මේ අත බලමින් කොරිඩෝවේ තැන තැන වැටී උන්නෙමු.

"ඇයි මේ බෙහෙත් ටික වෙලාවට මාරු කලේ නැත්තේ?"

මට හෙදියට දෙන්නට පිළිතුරක් නොවුනි. මෝඩයෙකු සේ මම ඔහේ බලාගෙන උන්නෙමි. පතාක යෝධයෙකු වන තාත්තා අසනීපයෙන් සිටීමම මට සිහිනයක් මෙනි. ඔහු පසුගිය දිනවල සිය පපුවේ කැක්කුම ගැන කියා ඇතත් වෛද්‍යවරයෙකු වෙත යාම ප්‍රතික්ෂේප  කල බව අම්මා කියූ බව මට මතකය.

මේ මොහොතේ සිත අවුල් කරගතයුතු නැත. හිස් කෙලින් තබාගෙන සිටීම වඩා වැදගත්ය. රාත්‍රිය මෝරනවිට අම්මගෙත්, තාත්තාගේ හිතවතුන් සහ සහෝදරයින් කිහිප දෙනෙක් අපගේ දුක බෙදාගැනීමට පැමිණි අතර බලාසිටිනවා හැර කළහැකි යමක් නොවුනි.

"පුතාල යන්න ගෙදර.... දැන් බයවෙන්න දෙයක් නැහැ මල්ලි ඉන්නේ ඩොක්ටර්ස්ලා ගාවනේ"

සියවෙනි වතාවට අනෙකුත් අය විසින් කියන ලද වැකිය ලොකු තාත්තා කියන්නට ඇත. මම අම්මා ගැනත් සුදම් ගැනත් සිතිය යුතුය. මේ මොහොතේ වඩාත් සිහියෙන් කටයුතු කලයුත්තේ මම බව මට නොවැටහුනා නොවේ. 

Tuesday, June 22, 2021

253: සුහදිනියේ - 44 | අනතුරක පෙරමග සලකුණු සමඟ

   කලින් කොටසට 


 

"මොකක්?"

මට එකවරම ඇසුනේ කම්පනයක් මෙනි.  නැවතත් තාරුක අයියා ඔහු කියූ දෙයම ප්‍රතිරාවය කළේය.

"ඔව් මචන් ඔව්.... වාසුල තමයි... නිව්ස් බලපන් රෑ නවයට... ඒකෙ පෙන්නයි. වාහනෙත් එක්කම ගිනි තියලා.. "

"කවුද?"

"උඹට හිතාගන්න බැරිද ඔච්චරම....?"

මට සැකයක් තබන්නට නොහැකිය. ඒ දුලිප් සතරසිංහ හැර වෙන අයෙකු වන්නට නොහැකිය. සිය පුත්‍රයාට සමාජ ශාලාවකදී බෝතලයකින් ගසා තුවාල කලවිට ඔහුගෙන් මේ කැනහිල් ප්‍රහාරය වාසුල බලාපොරොත්තු විය යුතුය.

වාසුල ජයවර්ධන කොළඹ පාලු පාරකදී සිය රථයේ අනතුරකින් පසුව ඇතිවූ ගින්නකින් , සිය රිය ඇතුලේදීම දැවී මියගොස්ය. සිදුවීම වී ඇත්තේ අදදින පාන්දරට වන්නටය. මුලික පරීක්ෂණ වලින් පසුව , මේ වනවිට ඒ සිටින්නේ වාසුල බව වාසුල බව ඔහුගේ දෙමවුපියන් විසින් හඳුනාගෙන තහවුරු වී ඇති බව තාරුක අයියා කියයි.

Monday, June 21, 2021

252: සුහදිනියේ - 43 | විරංග සහ තීක්ෂණ යහළුකම පිලිබඳ ප්‍රශ්නයක

  කලින් කොටසට

විරංගගේ මුහුණ සැහෙන වෙනස්කමකට පත්ව තිබිණ. මම දෑතම පපුව ඉදිරියෙන් ගැටගසාගෙන බලා සිටියෙමි.

"මට සමාවෙයන් මචන්.."


 

අවසන්වරට විරංග හමුවූ මොහොතේ මා සිටි වියවුල් ස්වභාවය තාරුක අයියා විසින් කියූ කරනු එක්ව පමණක සංයමයකින් ඔහු හා කතාකරන්නට ශක්තියක් මා වෙත ලබාදී තිබිණ. අම්මලා සාලයේ කතාබහේ යෙදී සිටියදී, මම විරංගත් සමඟ මිදුලේ ඈත කෙළවරකට ගියේ ඔත්තුකාරියට නෑසෙන ලෙසයි.

"කමක් නැහැ බන්.. උඹ කලේ උඹට ඒ වෙලාවේ කරන්න තිබ්බ..."

"නෑ මචන්.. මට උඹට කියන්න තිබ්බ. උඹ මගේ අතිජාත මිත්‍රයා... උඹ කවදාවත් මට පිටුපාලා නැහැ.... බාප්පාට අහු උනා මම මධුලිකා එක්ක කතාකරනවා... අම්මට කරදරයක්  කරයි කියලා තිබ්බ බයට මම ඔක්කොම කිව්වා... ඊටත්..."

මම ඉතිරි කොටස යම් තරමකට අනුමාන කලෙමි.

"උඹ... මධුලිකාට ලව්  නේ?"

විරංග අපහසුවෙන් ඒ මේ අත බැලුවේය. මම ඔහු දෙස එක එල්ලේ බලා සිටියෙමි.

"... කමක් නැහැ මචන්.... කෙල්ල උඹට සල්ලි දෙනවා... ලක්ෂ දෙසීයක් දෙන්න කියල දැනටමත් ලැස්ති කරලා තියෙන්නේ"

විරංග තිගැස්සී මා දෙස බැලුවේය.

"දේ.. දෙසීයක්?"

"ඔව්... පන්සියම දෙනවා කියලද කිව්වේ?"

Sunday, June 20, 2021

251: සුහදිනියේ - 42 | තෝරාගැනීමක් සහ වේදනාවක්

   කලින් කොටසට 


 තාරුක අයියා කෙතරම් ඇවිටිලි කලද මට නිවසට යන්නට තරම් මානසික තත්වයක් තිබුනේ නැත. ඒ වෙනුවට මම මහල් නිවාසයට ඇරලවාගත්තද තාරුක අයියා මා හැර නොයා මගේ පසුපසින්ම එහි පැමිණියේය. මගේ මානසික වියවුල ඔහුට නොපෙනෙන්නට නොහැකිය. එතරම්ම මම කඩා වැටී සිටියෙමි.

නිවාසයට ඇතුල්වත්ම මධුලිකාගේ සුවඳ මගේ සිත තවත් පාරවා දැමුවේය. මම  කෙලින්ම ගොස් මගේ කාමරයේ පැති අල්මාරියේ තිබුණු ජින් බෝතලය ගත්තෙමි. එහි අඩක් ඉතුරුව තිබිණ. මා පසුපසින්ම පමණි තාරුක අයියා ක්ෂණයෙන් එය උදුරා ගත්තේය.

 "තවත් ගොන්කන් නොකර ඉඳින්..!"

"මට දැන් බොන්න ඕනේ... මට බොන්න දීපන්..."

"බොන්න ? උඹට මොකෙක් වැහිලද කියපන් මුලින්ම? මම අහන්නේ නැහැ අර කෙල්ල කවුද කියල... මම අහන්නේ නැහැ මධුලිකා එක්ක උඹ ගියපු රණ්ඩුව මොකක්ද කියල.... ඒ දෙක එකක් වෙන්නත් පුළුවන්... හැබැයි බුරුවෙක් වගේ හැසිරිලා ඔක්කොම කරපු දේවල් වතුරේ යවන්න එපා!"

මම කාමරයෙන් එලියට විත් සෝෆාවට කඩා වැටුනෙමි. තාරුක අයියා මා සමඟ විත් මට ඉදිරියෙහි වූ පුටුවේ හිඳගෙන එක එල්ලේ මා දෙස බැලුවේය. 

 "මට ඇත්ත කියන්න කියල උඹට බලකරන්නේ නැහැ බං.... ඒ උනත් උඹට මොනවා හරි කියන්න තියෙනවා නම් ඒක අහගෙන ඉන්න මම ලෑස්තියි."

මගේ ඇස් බොඳවී ගොස්ය.

Wednesday, June 16, 2021

250: සුහදිනියේ - 41 | තීක්ෂණ වියවුලක

    කලින් කොටසට 

 


 

මම කෙලෙස ඒ ආකාරයෙන් රඟපෑවා දැයි මටම සිහියට නගාගත නොහැක.

තාරුක අය්යාගේ විමතිය වැඩි ගණනකට නොගත්තා සේ මම ඔහු දෙස සිනහවෙන් බැලුවෙමි.

"මම කිව්වේ... පොඩි රණ්ඩුවක් ගියා බන්... තරහ ගියාම හරි වසයි. ඔහොම කිව්වට තරහ නිවෙනවා...කලබල වෙන්න එපා "

මම අපහසුවෙන් සිනහවක් නගාගත්තෙමි.
තාරුක අයියා මා විස්වාස කල බවක් නොපෙන්නුවද ඊට වඩා විස්තර ඇසීමෙන් වැලකි සිටීම යම් සහනයක් ලබා දුන්නේය.

Tuesday, June 15, 2021

TOP UREGNT!!


 

 

අනේ උදව් කරන්න.....


මගේ සුහදිනියේ 40 පෝස්ට් එක 41 න් replace උනානේ ! කවුරුහරි කෙනෙක් ඉන්නවද මගේ පෝස්ට් වල feed burn දාල තියෙන කෙනෙක්? එහෙම ඉන්නවා නම් කරුණාකර 40 කොටස එවන්න. මම ඒක කොහෙවත් save කරලා තිබ්බේ නැති නිසා ඒ කොටස නැත්තටම නැති උනා!


මේකේ කමෙන්ට් එකක් ලෙස හෝ දානවා නම් වටිනවා. ආයේ ලියන්නත් බෑනේ!



Related Posts Plugin for WordPress, Blogger...