Showing posts with label ගීත. Show all posts
Showing posts with label ගීත. Show all posts

Tuesday, November 9, 2021

278. කොප්පක් වත් ගහමු....




සංගීතය කියන්නේ කවදාවත් මට සෙට් උනේ නැති දෙයක්. ඒ කියන්නේ ගායන හෝ වාදන හැකියාවක් නැහැ. නමුත් මට ඒ ගැන තිබ්බේ එක්තරා උන්මාදයක්. හේතුව තමයි මගේ තාත්තා විනෝදාංශයක් විදියට ෆිල්ම්, ටෙලි ඩ්‍රාම වගේ දේවල් එකතු කරපු නිසාත්. අන්තිමේ ඕක උග්‍ර වෙලා වීඩියෝ ෂොප් එකක් දාන තත්වෙටම ආපු නිසා ඉතාම පැරණි චිත්‍රපට තිබ්බා අපේ ගෙදර. මම හිතන්නේ මම කලින්  ආත්මේ  බල බල හිටපු ඒවා පවා තිබ්බ.

ඒ අතරින් සුවිශේෂ වෙච්ච ජාතියක් තමයි හින්දි චිත්‍රපට කියන්නේ. කොටින්ම ඉස්සර අපේ ගෙදර ෆිල්ම් එකක් විදියට හින්දි එකක් නොබලපු දවසක් තිබ්බෙම නැතුවද කොහේදෝ. ඒ හින්දා කිරිබොන කාලේ ඉඳලා මම හින්දි සින්දු පිස්සෙක් කියලා කිව්වොත් නිවැරදි.

Thursday, July 23, 2020

242. අපුර්ණව අප දෙදෙන





සියොත් වෙසක් ගත්
ආගන්තුකයෙකි ඔබ...



ආගන්තුකය නුඹ,
සැඟව සිටිනා තැනක සිට - මා
අමතනු මැනවි වරක් හෝ

කැබලි වී සිටිමි මම ,
බිඳී ඇත නුඹද
කොහේ හෝ මා මෙන්ම...
අමතනු මැනවි මා
වරක් හෝ ඔතැන සිට!

මෘදු පවන සැමදිනම
හමා යන මා වටා,
විමසාවි මේ ලෙසම -
චන්ද්‍ර දෙව්ලියක් වන්  - ඈ කොහිද ?
දිලි දිලී - ඇවිලයන
නුඹේ ප්‍රාණවාතය නොලද
මම කෙතෙක් අපුර්ණද?
මම නොලද
නුඹ කෙතෙක් අපුර්ණද ?

නුඹ නොමැත
මුත් නුඹේ සිනහ ඇත..
වත නොමැත
මුත් නුඹ පිය නගන හඬ ඇත...
කොහිඳ නුඹ ?
ඉලක්කය කොතැනකද ?
අපුර්ණව අප දෙදෙන
කුමකටද ජීවත්ව?







p.s: ඔබ සොයමින් සිටින්නේ වරක් හෝ ජිවිතයේ අත්වින්ද හැඟීමක් නම්.... මේ ගීතය පද අරුත් වෙන්කරන්න ඕනේ නැහැ මම හිතන්නේ.

මේ ගීතය අඩංගු වෙන්නේ 'Dil Se' කියන සිනමා පටයේ. පළවෙනියටම මේක බලපු දවසෙම කටපාඩම් වෙච්ච ගීතය , තේරුම ගැන හොයන්න පෙළඹෙව්වා. ගීතයක් හරියටම එල්ලය බලලා හදවතටම විදින්න පුළුවන් වෙන්නේ ඒකට දෙස සංගීතයෙන් මම හිතන්නේ.

තේරුම් නොදැනත් මේ සින්දුවේ තියෙන ඒ වේදනාව මාව පෑරුව. එහෙම නොවෙන්නත් පුළුවන්.

සින්දුව අහන්න/බලන්න






Tuesday, February 11, 2020

237. මම සිහින දකිමි


Image result for kabhi kabhi + song


වරින් වර මා සිත මුමුණයි
නුඹ මා වෙනුවෙන්ම මැවුණු බව
මින් පෙර - තාරුකා අතර දිදුලමින් හිඳ,
නුඹ මා වෙනුවෙන්ම මිහිමතට කැඳවිණි...

විටෙක මම සිතමි
ඔබ බුහුටි සිරුරද, දෑසද මටම හිමි බව...
තුරුපත් අතර සෙවනැලි සෙවන මට බව...
ඔබ දෙතොල් , කෝමල දෑත් මට අයිති බව...

විටෙක මම මවාගමි
මංගල බෙර වැයුම් මග දෙපස වැයෙතැයි...
මංගල රාත්‍රිය මේ දැන් එළඹතැයි..
නුඹ මුහුණ වසාලු සළුපට සෙමෙන් මම හරිතැයි..
නුඹ විලිබරව මා උරෙහි ගුලිවෙතැයි...

විටෙක මම සිහින දකිනෙමි
නුඹ මෙලෙසින්ම ප්‍රේමයෙන් මා හා
දිවි ඇති තුරා සිටිනා බව...
නුඹේ මේ පෙම්වත් බැල්ම
සැමදා මෙලෙසින්ම මා වෙත රැඳෙන බව...
දනිමි ඔබ මට ආගන්තුක බවද - නමුදු.........
මම සිහින දකිමි...




මේ ගීතය මම දකින බොහොම ප්‍රේමනීය ගීතයක්. අහන වාරයක් පාසා උනත් එපා නොවෙන ප්‍රමාණයේ රසයක් තියෙනවා. මේ ගීතයේ අර්ථය ගන්න පුළුවන් තරමින් උත්සහ කළා... අහලා බලන්නකෝ...




Wednesday, November 13, 2019

231. වැළඳගනු මැනවි මා..

වැළඳගනු පැමිණ මා
නොඑනු ඇත මේ රාත්‍රිය ,
යලිදු කිසි දිනයෙක
මුණ නොගැසෙනු ඇත
අප මේ දිවිය තුල...

දෛවයේ අපුර්වත්වයකට
ලැබුවෙමු මේ මොහොත,
හදවතින්ම වඩා ලංව
බලනු මැන මා දෙස,
නොලබනු ඇතිය නැවතත්
මෙවන් මොහොතක්
නැවත මේ දිවිය තුල...

ලංව සිටිනු මැන මට
යලි යලිත් නොඑනු ඇති මා
මින් පසුව ,
ප්‍රේමයේ මියුරු කඳුළැල්
නොගලනු ඇතිය නැවතත්
මේ දෙඇසින් යලි..

වැළඳගනු මැනවි මා..





Monday, August 26, 2019

226. මගේ ප්‍රේමිය !









මගේ කුරුළු ආත්මය
වේදනාවෙන් මිරිකී ඇත,
සොයාගත නොහැකිව
සාමය නැමති ගොඩබිම...
කුමක් කරන්නද - කියා කියනු මැන මම  !

වරක් හෝ මට දිස්ව ,
මුසාවක් වුවද මට
ලබාදෙනු මැන, බලාපොරොත්තුව !
කුමක් කරන්නද - කියා කියනු මැන මම  !

රාන්ජන්ගේ මිතුර,
මගේ ඇමතුම ඇසෙවිද?
මට ඇති එකම පිහිට
නුඹ - පමණි මගේ මග

උන්මන්තක මිතුර,
නුඹේ දෛවය සීමා රහිතය.
දෙවියන්ට පමණක්ය
රැකබලාගත හැක්කේ අපව.
නුඹ - පමණි මගේ මග

ආගාමික අනාථයෙකි මමද,
මලක සිටිනා
සමනළයෙකු මෙන්..
වරෙක රැඳී සිට
මොහොතින් ඉගිලී යන...

මාවත මමය සොයමින් පවතින,
ස්වර්ගයට දිවෙන.....
ඔබ හැරෙන විටම
මමද ඒ අතටම හැරෙන ,

ඔබේ රැකවලකු වනු අවැසිය,
තියුණු අවියෙන් මගේ ඇදකුද
කපාගනු අවැසිය ,
වටිනා කෙනෙකු වනු අවැසිය !
කුමක් කරන්නද - කියා කියනු මැන මම  !

Sunday, August 11, 2019

224. කියන කතාවයි මේ



"ඔහොම තමයි ඉතින් සුපර් මෑන්ලා"

මම සෙමෙන් කියා මාධවී දෙස බලා සිනාසුනෙමි. මාධවී සිනාසුනේ නැත. ඒ වෙනුවට අඳුරු මුහුණෙන් යුතුව මා දෙස බලා සිටියාය. කුසල් අප පසුකොට ගොස් ශාලාවෙන් පිටවයනු මට පෙනුනි. ඔහුගේ මුහුණ බිමට බරව තිබිණි.

"ඌට ඇහෙන්න ඇති."

"ඇහෙන්න තමයි කිව්වේ!"

"උඹ පුදුම නපුරිච්චියක්නේ!"

මාධවී අප ඉඳ උන් මේසයෙන් නැගිට කුසල් පසුපස දිව ගියේ , මෙතෙක් මා මත තිබුණු අත්ල දමා ගසමිනි. මගේ හදවත කිතු වලට ඉරී රූරා වැටෙනවා සේ දැනුනි. මගේ කුරිරු සතුටට තිබුනේ සබන් පෙන ආයුෂයකි. නමුත් මම මේසයෙන් නොනැගිට අවසන් පැණිබිම බින්දුවද උගුරට වත්කර ගත්තෙමි.

Thursday, August 17, 2017

130. මලට නොවේ



ඒ ඇස් ඇත්තටම තිබ්බේ මගේ ගාව නෙවෙයි... මගේ කොට සායේ යටම කොටසේ තැනක ඩිංගක් විතර පැටලිලා තිබුණු බැල්ම ඉවත්වෙලා ගිහින් රැඳිලා තිබ්බේ නිකම්ම නිකම් අවකාශයේ.

"මට බැහැ"

වමතින් යන්තමට තියෙන රැවුල් කොට අතගාන ගමන් ඔහු කිව්වේ විධානයකින් වගේ නෙවෙයි. පොඩ්ඩක් විතර අමුතු විනෝදකාමී හඬකින්.

"මොකද බැරි?"

මම එහෙම ඇහුවම ඔහු මුලින්ම කලේ ආපහු හැරිලා අපිට මීටර් සීයක් විතර දුරින් හොරගල් අහුලනවා වගේ එහාට මෙහාට ඇවිදිමින් හිටපු යාලුවා ; ඇත්තටම කිව්වොත් ඔහුගේ සුනඛ යාළුවා; දිහා බලපු එක. ඊට පස්සේ ඔලුව ඇල කරලා මගේ දිහා බැලුවා. බලන්න බෑ , ඉතින් මම අහකට ඇස්දෙක හැරෙව්වට ඔලුව ඔන්න එහෙම්මමයි!

"බැරි ඉතින් බැරි නිසා. අපි මේ කතාව නවත්තමු"

මටත් ඕනේ කලේ මේ කතාව නතර කරන්න තමයි. ඒ උනාට මගේ පෙර සුදානමක් තිබ්බේ නැහැ නවත්තන්න. ඉතින් මම ඔහේ බලාගෙන හිටියේ කළුවර වැටෙනවා බලාගෙන ඉන්න කුමුදු මලක් වගේ.


"අපි යමුද?"

මම පාරේ අනික් පැත්තට ඇවිදින්න හැදුවම ඔහු එකපාරටම මගේ පොත් තිබ්බ බෑග් එකෙන් ඇදලා ගත්තා. මාව විසිවෙලා ආවේ පරඩලක් වගේ.

".. මොකද කරන්නේ? පිස්සුද?"

එහෙම ඇහුවේ ඇත්තටම තරහින් තමයි.

"සුවඳයි... මොකද්ද පර්ෆියුම් එක?"



Thursday, August 3, 2017

127. විරසක සුසුම්



විරහව කොතරම් රසවත්ද?

විරහව රසවත් වන්නේ යම්සේද එපරිද්දෙන්ම කඳුල, තනිකමද එකලෙසම රසවත් මං මාවත් තනන මැවුම්කරුවෝ වැනිය. ඇඹුලති රඹ පලයක නියම රසයත්, සියලු රස එක්තැන් කල නෙල්ලි ගෙඩියකත් රස , විඳීමෙන් පමණක්ම දත යුත්තේය.

එබැවින්, විචිත්‍ර ආදරය හා කරට කර සටනක් දෙන විරහව, ගීත ලොව අරක්ගත්තේ අදක ඊයෙක නොවේ. සඳකිඳුරු වැලපුමක සිට වසර දහස් ගණනක් පුරා ප්‍රේමය හා සමව සිටි විරහව කුටුම්භගත වීමෙන් නතරවේද? සිය අභිමතයට එක්විය නොහැකි වුනු පෙම්වත් යුවලකට  නම් ආදර කුටුම්භයක විරහවක් දැනෙන්නේ කෙලෙසකද?

සිය පණ හා සරි වල්ලභයා හෝ පාදපරිචාරිකාව හා අමනාපව විසීම තරම් කටුක මොහොතක් තවත් තිබේද?

Wednesday, April 26, 2017

101. අබ්ලික් ඔනිජිනල්

හොරකම් කරලා තියෙනවද?

උත්තරේ මෙතන නොලිව්වට කමක් නැහැ. තම තමන්ගෙන් අහගන්න ඕනේ උනත් නිතර අහගන්න ඕනේ නැති ප්‍රශ්න වලින් එකක් තමයි මම ඒ ඇහුවේ. මොකද ඕනෙම කෙනෙක්, (පෘතක්ජන) කිසියම් විදියකින් ද්‍රව්‍ය, අද්‍රව්‍ය වෙන දෙයක් හොරකම් කරලා තියෙනවා වෙන්න තියෙන ප්‍රතිශතය වැඩියි.

ඒ මොකක් උනත්, ඔරිජිනල් එකේ තියෙන ගතිය නෑ !

ඒ මොන බොරුවක්ද?

හෑ ???

ඔව්... අර ඔරිජිනල් එක්කෙනාගේ හිත හදන්න මිසක්, ඔය කතාවේ ඇත්තටම ගත්තොත් ඇත්තක් ඇත්තේ නැහැ. පොඩ්ඩක් හිතලා බැලුවහම මට හිතෙන්නෙම එහෙමයි. මේ ගැන ලියන්න නම් සාගරයක් වගේ කාරනා තියෙනවා. නමුත් මම පොඩි පරාසයකට ගන්නවා මේ විදියට.

ඔරිමජිනල් සින්දුව අහනකොට වඩා ඒකෙ ඩුප්ලිකේට් සින්දුව අහපු ගමන් හිත බැඳෙන්න පුළුවන් නේද?

Sunday, April 23, 2017

99. පාලු විදියේ තනිකම මැකුනා


ඒ මොහොත......

මට අද වගේම මතකයි මේ මොහොත.

මම ලයනල් වෙන්ඩ්ට් එක ඇතුලට කවදාවත් ගිහින් තිබ්බෙත් නැහැ. එහෙම කවදාවත් එන්න ඕනෙකමක් ඇතිවෙලා තිබ්බෙත් නැහැ. ලයනල් වෙන්ඩ්ට් සහ මම කියන්නේ සම්පුර්ණයෙන්ම කාන්දමක අග්‍ර දෙක වගේ. මට එහෙම එන්න සිද්ද කලේ මගේ කලාබර මිත්‍රයා, සිදත් තමයි. සිදත්ට මම මගේ වෙඩින් ඉන්විටේෂන් එක දෙන්න කොච්චර වලි කෑවද ?

"අනේ මචං , මට ඕනේ නැහැ ඔය ඉන්විටේෂන් කෙහෙල්මල්! මට තැනයි වෙලාවයි කියපං.. මම වෙලාවට එතැන ඉන්නම්"

මම දෙතුන් පාරක්ම කතා කර කර ඉන්විටේෂන් එක දෙන්න එහාට මෙහාට දඟලනකොට සිදත් කිව්වේ එහෙමයි. ඒ උනාට හැමදේම නූලට තිතට කරන මගේ අනාගත බිරිඳ ; වසුන්දරා ; එකහෙලාම කියා හිටියේ ඉන්විටේෂන් එක නම් දිය යුතුමයි කියලා. අන්තිමේදී සිදත් කාගේදෝ නාට්‍යයක් බලන්න එනවා කිව්ව නිසා මම ඔෆිස් එකෙන් පැනලා ආවේ විනාඩි තිහෙන් ආපහු යන්න.

මගේ දුරකථනය අතේ තියාගෙන මම පාරේ ඇවිදගෙන ආවේ ඇත්තටම කලබලෙන්. අද දවසේ තමයි අන්තිමට මට තනිකඩයෙක් විදියට ඔෆිස් එන්න තිබ්බ දවස. හවස කට්ටියගේ 'බැචුලර්' පාටි එක ගැන හිතමින් එනකොට මගේ කට කොනට නැගුනේ හිනාවක්.

ලයනල් වෙන්ඩ්ට් එක පේන දුරෙන් නතරවෙච්ච මම දුරකථනය ඔබලා සිදත්ගේ අංකයට ඇමතුමක් ගත්තා. ගොඩක් වෙලා නාදවෙලා අන්තිමට සිදත් කතාකලේ හොරමුලක් එක්ක ගෙයක් බිඳින්න ඇවිත් වගේ හෙමින්.

Tuesday, January 3, 2017

52. නාඳුනන්නිය



නාඳුනන්නිය
නුඹ කොහි සිට ආවේද
මා මෙහි බිඳෙමින් සිටිමි
බිඳෙමින්ම උපදිමි
නැවතත් හුස්මගමි

මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....

ඔබේ මුදු  බැල්ම,සිනිදු කොපුල
ඔබ මද සිනහව , ඔබේ දෙතොලින්
වරක්හෝ මා අමතනු මැන

මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....


Sunday, October 2, 2016

31. රෝස කුසුමක් පිපී






බල්ලෝ පොරකරනවා වගේ එකපාරටම මහා සද්දයක් ඇහිලා මම වහලේ වැදිලා ඇහැරුනේ. 'නොදකින් කාලකන්ණි බලු රෑන, සැනසිල්ලේ මට අදවත් නිදාගන්න දෙන්නේ නැහැනේ'

එතකොටමයි මට මතක් උනේ හත්වලාමේ මේ අහලපහලක කොහෙවත් එහෙම බලු රෑනක් නැහැනේ කියල. මේ ඔක්කොම හිතෙන්නේ තත්පර දෙකක්  වත් ගියේ නැහැ. ඉතින් ඊළඟ මොහොතේම මට සක්සුදක් සේ පැහැදිලි උනා ඒ කෑගැහුවේ බල්ලෝ නෙවෙයි, කෙල්ලෝ පොදියක්ය කියල.

'හෑ... කෙල්ලෝ? කෙල්ලෝ කොහෙද මෙහෙ? අපේ මලය කෙල්ලෙක් වෙලාද? සද්දේ හැටියට නම් අඩුම තරමේ දුසිමක් වත් ඉන්නවා. යකෝ.. මම නින්දෙන් මැරිලද?'

"....... ඔන්න පටන් ගන්නවා.... මම ඔන්න පනහට ගනින්නේ.."
ඒ නම් පොඩි මල්ලි. මහ කලබලයක් ඇහුනා සාලේ.

'නොදකින්, විභාග ඔක්කොම ඉවර කරලා දෙය්යනේ කියල  නිදාගන්න හැදුව විතරයි, අම්මප!'

"දඩාන්....."

මට හිතන්න වත් ලැබුනේ නැහැ. මගේ කාමරේ දොර මහා සද්දෙන් ඇරගෙන කවුදෝ කාමරේට කඩාගෙන පැන්න. කළුවරේ මට මෙලෝ පෙනුනෙත් නැහැ. මම හිටියේ නිදිමරගාතේ. කාමරේට කඩන පැනපු කෙනා ඒ එක්කම මගේ ඇඳුම් ගොඩ අහුරලා තියෙන අල්මාරියේ පිටිපස්සේ ගුලි උනා.

Wednesday, August 17, 2016

27. සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන




සින්දු කිව්වහම මට මතක් වෙන්නේ මුහුදක්. ඉතින් සින්දු මුහුදෙන් දිය දෝතක් අරගත්තට සෑහෙන්න පුලුවන්ද? ඉතින් මම එක සින්දුවක් ගැනම හිතනවා. හැබැයි මගේ පරිකල්පන එක්ක ගැලපෙන ඒවා තියෙන්නේ ගායක/ගායිකාවන් අතුරින් සුළුපටු ගානකටත් නෙවෙයි.

මුලින්ම්ම ඉන්නේ අමරසිරි පීරිස්. කොටින්ම අමරසිරි හූවක් කිව්වත් ඒකටත් කැමතියි තරමට! ඊළඟට ඉන්නේ අමරදේව. ( හැබැයි කැමති එතුමාගේ තරුණකාලේ කියපු හඬට, ඒවායේ අමුත්තක් තියෙනවා), ඊළඟට ඉන්නේ මගේ අහිංසක සෝමතිලක ජයමහ. ඊට පස්සේ ඉතින් සුනිල් එදිරිසිංහ,  දිවුල්ගනේ , ඉමාන් පෙරේරා, කසුන් කල්හාර, නන්දා මාලනී, සුජාතා අත්තනායක, උමාරියා, බාචි සුසාන්, ඉන්ද්‍රචාප, නිරෝෂා විරාජිනී, චන්ද්‍රලේඛා, රූකාන්ත, ලහිරු පෙරේරා... අපොයි දෙය්යනේ... ලිස්ට් එක ඔහොම යනවා මිසක්....

ඒ උනාට ගීත රචනය කියන්නේ සුවිශේෂී අවස්තාවක්! මගේ ගීත රචකයින්ගේ ලිස්ට් එකේ ඉන්නේ නම් ඔතරම් ප්‍රමාණයක් නෙවෙයි. හේතුව  ගීතවල රචනය ගැන අවධානයක් නැති නිසා වෙන්න ඇති.

ඉතින් ලිස්ට් එකේ මුලිම්ම ඉන්නේ කවදාවත් ලිස්ට් එකේ පහලට යන අදහසක්වත් නැති, ප්‍රේම් ! ප්‍රේමකීර්ති ද අල්විස්. අපොයි, නම කියනකොටත් මට මොකද්දෝ වෙන තරම්... හි හි හි... ඊළඟට ඉතින් යමුනා මාලිනි පෙරේරා.

ප්‍රේම්ගේ සින්දුවක් මට ඕනෙම තැනකදී වෙන්කරලා අඳුනගන්න පුළුවන් තරමටම පදමාලාවන් මගේ හිත ගන්නවා. ඒ කියන්නේ ගීතයක පදමාලාවට බැඳිලා  බැලුවම  ඉතින් ප්‍රේම් තමයි ලියලා තියෙන්නේ. අහම්බෙන් ඉතින් වෙන කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෑත කාලේ අපිට නම් ඒ පින නැහැනේ.... ප්‍රේම් ගීත ලියන හැටි බලන්න... හ්ම්ම් හ්ම්ම්....

ඒක නෙවෙයි...

මෙන්න මේ ගීතය ගත්තහම, මේ ගීතය පුරාම තියෙන හද පාරවන විරහව මට දරන්න බැරි තරම් හින්දා එකම එක පාරක් අහපු ගමන් මගේ ඔලුව හරහා ලොකු පාරක්  එල්ල උනා වගේ සතියක්ම ලොකු අනවරත විරහවක් වින්දා... හි හි හි... ඒ තමයි මගේ සෙන්ටිමෙන්ටල් ගතිය.

නමුත් බලන්නකෝ මේ පදමාලාවේ තියෙන ගැඹුර, සංවේදීබව??? මට නම් සතියක් කොට්ටේ බදාගෙන අඬන්න පුළුවන් තරම් දුකක් මෙතරම් පොඩියට සිංදුවකට ගත්තේ කොහොමද කියලා ප්‍රේම් කොහේ හරි ලියලාවත් තියලා ගියානම්.. හිත හදාගන්න තිබ්බ....

අහල බලන්නකෝ.







වැස්සකට ඉඩ ඇතත් අහස්කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරිතැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

සයුර ගොඩ එන තුරා කඳුමුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවද
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන



පදමාලාව ලිහලා දෙන්න අදහසක් නැහැ. මම හිතන්නේ එය තනිකරම පුද්ගලික විඳීමක්.


මේ සටහනෙන් පස්සේ ආයෙත් ඉතින් සතියක් යනකල් විරහ දුක තමයි ඉතින්....... හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්



ප.ලි.
මේක නන්දා මාලිනි නැතුව අමරසිරි කිව්වා නම්..... මෙලහට මම දිවිනහගෙන! හි හි හි....
විඳලා බලන්නකෝ


Related Posts Plugin for WordPress, Blogger...