Showing posts with label හිතෙන හැටි. Show all posts
Showing posts with label හිතෙන හැටි. Show all posts

Tuesday, November 9, 2021

278. කොප්පක් වත් ගහමු....




සංගීතය කියන්නේ කවදාවත් මට සෙට් උනේ නැති දෙයක්. ඒ කියන්නේ ගායන හෝ වාදන හැකියාවක් නැහැ. නමුත් මට ඒ ගැන තිබ්බේ එක්තරා උන්මාදයක්. හේතුව තමයි මගේ තාත්තා විනෝදාංශයක් විදියට ෆිල්ම්, ටෙලි ඩ්‍රාම වගේ දේවල් එකතු කරපු නිසාත්. අන්තිමේ ඕක උග්‍ර වෙලා වීඩියෝ ෂොප් එකක් දාන තත්වෙටම ආපු නිසා ඉතාම පැරණි චිත්‍රපට තිබ්බා අපේ ගෙදර. මම හිතන්නේ මම කලින්  ආත්මේ  බල බල හිටපු ඒවා පවා තිබ්බ.

ඒ අතරින් සුවිශේෂ වෙච්ච ජාතියක් තමයි හින්දි චිත්‍රපට කියන්නේ. කොටින්ම ඉස්සර අපේ ගෙදර ෆිල්ම් එකක් විදියට හින්දි එකක් නොබලපු දවසක් තිබ්බෙම නැතුවද කොහේදෝ. ඒ හින්දා කිරිබොන කාලේ ඉඳලා මම හින්දි සින්දු පිස්සෙක් කියලා කිව්වොත් නිවැරදි.

Wednesday, December 13, 2017

162. දඩයම සහ .... | predator




නිමිත්ත: දඩයක්කරුවෙකු නොවුවද තමන් දඩයක්කරුවෙකු වීම මැනවයි සිතූ අයෙක් අහසට දුනු දියෙන් අදිනලද සිය එකම හීය මුදාහරී.

පොතේ ගුරු:
"බලන්න මිත්‍රවරුනි ඔහුගෙන් අසා.. ඔහුගේ ඉලක්කය කුමක්දැයි"

ප්‍රේක්ෂකයෝ:
"අසිරිමත් පුරුෂය... ඔබ කුමන ආකාරයක දඩයක්කරුවෙක්ද? ඔබේ ඉලක්කය කුමක් වීද ?"

Monday, May 22, 2017

107. වරල් සැලුණු අතීතේ

මම ආසම කරන දේවල් මොනවද කියල ඇහුවොත් ඇත්තටමට මම 'ආසම නැති' ප්‍රශ්නයක් තමයි ඒක. මොකද එහෙම එකක් දෙකක් නැහැ....

උදාහරනෙකට ගත්තොත්...

කන්න ආස මොනවද කිව්වහම..
ඔන්න ඉතින් අඹ, අන්නාසි, මැන්ගුස් , වරකා, නාරං , අමු සියඹලා, ඇඹරල්ලා, ජම්බු, දොඩම්, ජම්බෝල, කොට්ටම්බා මදේ විතරක් නෙවෙයි වට්ටක්කා ඇට මදේ පවා ඉඳලා, පැලපි දක්වාම ගිහින්... ආ.. ඒ පලතුරු සෙට් එක විතරයිනේ!

තව ඉතින් කඩචෝරු කිව්වහම බිත්තර රොටියේ ඉඳන්, කොත්තු රොටි, ඇරබික් රොටි විතරක්ද.. බුරියානි, නාසුගුරාන් වගේ විකාර කෑමත් එක්ක සැලඩ් ජාති, බර්ගර්, සබ්මැරින් ( නෑ නෑ .. වෙලාවට ඒවා මුහුදේ යන ඒවා නෙවෙයි.. ඒවත් ළඟදීම කන තරමට තත්වේ උග්‍ර වෙලා) , ශවර්මා , තොසේ, වඩේ , පරෝටා, ඉඩ්ලි ( කතා කරන්න බෑ , කෙල උනනවා) එක්කම ඔක්කොම ඉන්දියන් කෑම ජාති එක පේලියට එන්නේ හරියට අර හත්පෙති මලේ පෙත්තක් කඩලා ලෝකේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩු ඉල්ලුවාම ඒවා ගඟක් වගේ ගලාගෙන එන විදියට! ඇයි අනේ ලිට්ල් ලයන් චොක්ලට් රෝල්!! ( ආ සොරි වෙන්න ඕනේ.. ලිස්ට් එක කියලා ඉවර උනා කියලත් අමතක උනා)

ඔන්න ඉතින් බලන්නකෝ ආස දේවල් කියන්න ගියාම වෙන නස්පැත්තිය! ඉතින් 'ඊයා... ඕනෙම දෙයක් ප්‍රමානෙට කරන්න' කියලා පිළිකුල් කලාට මම එහෙම්මම නරක ළමයෙක් නෙවෙයි...!

ඇති නේද මගේ බඩජහරි වරුණාව ? වැඩේ කියන්නේ මම ලියන්න ආවේ කෑම ගැන නෙවෙයිනේ!

මම ලියන්න ආවේ මගේ 'සරුංගල් අතීතේ' ගැන!
(දැක්කා නේද? සයිටම් ගැන කියන්න ගියාම අප්පොච්චි ගැන ලියනවා වගේ, දැක්ක නේද ගැලපුම?)

මම දන්නවා, මේ සරුංගල් කාලේ නෙවෙයි කියලා. අවුරුදු කාලේ හිතාගෙන හිටියා අවුරුදු ගැන ලියන්න.. කෝ කොහෙද මේ අවුරුද්දේ මට අවුරුදුත් නැති උන නිසා කිසිම මුඩ් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ වෙසක් කාලේ ගැනත් තිබ්බා රස වෑහෙන අතීත කතා පොට්ටනියක් දිගාරින්න. ඒකටත් ඉස්පාසුවක් නැති උනානේ. ඒ නිසා මම හිතුවා සීසන් එක එන්න කලින්ම පොස්ට් එක කොටලා දානවා කියල.

Monday, May 8, 2017

103. කවුද දන්නේ නේ? I don't know who





දර්ශනය 1:

කාලය: අපෝ ගොඩක් කාලෙකට කලින්
පසුබිම: ඈතින් පෙනෙන වෙල්යායකි. හිසේ ජටාවක් බැඳගත්, අලුතෙන් ගත්තා වගේ පෙනුනත් දුර්වර්ණ සළුපිලි හැඳි , මුව පුරා රැවුල වැඩුණු , පාංශු දේහධාරියෙක් මාවතක් දිගේ පැමිණෙයි. අසල වෙල්යායේ වී නෙළන රූමත් කතකි.

අමුත්තා:
කාන්තාවගේ රුපය ගැන පිස්සු හැදෙන කවියක් කියයි.

තරුණිය:
රජතුමා උනත් ලස්සනට ලිස්සලා යන කවියක් කියල ඇඟ බේරා ගනී

( මම මේ කවිය හෙව්වා අනේ.. . හම්බුනේ නැහැ.කවුරුහරි එකතු කරනවද කමෙන්ට් එකක් විදියට)

පැත්තක තිබෙන අඹ ගස යට සිට 'සට පට' ගගා ටයිපින් ෂොට් හෑන්ඩ් වලින් ඒ කවිය ලියාගන්නා කොලයක් අතින් ගත් එකෙකි. ( කවුද නොදනී)
"හරි හරි..... එකාකුරක්කත් එහා මෙහා නොවී ලියාගත්තා.... හම්මේ ඇති යන්තම්" - ඌ සුසුම් හෙලයි.

Wednesday, April 26, 2017

101. අබ්ලික් ඔනිජිනල්

හොරකම් කරලා තියෙනවද?

උත්තරේ මෙතන නොලිව්වට කමක් නැහැ. තම තමන්ගෙන් අහගන්න ඕනේ උනත් නිතර අහගන්න ඕනේ නැති ප්‍රශ්න වලින් එකක් තමයි මම ඒ ඇහුවේ. මොකද ඕනෙම කෙනෙක්, (පෘතක්ජන) කිසියම් විදියකින් ද්‍රව්‍ය, අද්‍රව්‍ය වෙන දෙයක් හොරකම් කරලා තියෙනවා වෙන්න තියෙන ප්‍රතිශතය වැඩියි.

ඒ මොකක් උනත්, ඔරිජිනල් එකේ තියෙන ගතිය නෑ !

ඒ මොන බොරුවක්ද?

හෑ ???

ඔව්... අර ඔරිජිනල් එක්කෙනාගේ හිත හදන්න මිසක්, ඔය කතාවේ ඇත්තටම ගත්තොත් ඇත්තක් ඇත්තේ නැහැ. පොඩ්ඩක් හිතලා බැලුවහම මට හිතෙන්නෙම එහෙමයි. මේ ගැන ලියන්න නම් සාගරයක් වගේ කාරනා තියෙනවා. නමුත් මම පොඩි පරාසයකට ගන්නවා මේ විදියට.

ඔරිමජිනල් සින්දුව අහනකොට වඩා ඒකෙ ඩුප්ලිකේට් සින්දුව අහපු ගමන් හිත බැඳෙන්න පුළුවන් නේද?

Thursday, March 2, 2017

69. සිංහ ලේ අපි..



කාලයක් තිස්සේ නෙවෙයි..... අවුරුදු බර ගානක විතර ඉඳලා මම හිතාගෙන හිටපු දෙයක්, හිතලා නොලියාම හිටපු දෙයක් බ්ලොග් එකක ලියන්න කොහෙත්ම කැමැත්තක් නොතිබිච්ච දෙයක් ගැන ලියන්න එකපාරටම හිතුනා.

එක වතාවක් මම 'තමිලිනි' ගැන ලියලා මේකට පොඩි පාරක් කපාගෙන ආවත්... ආයෙමත් හිත එක එක වැහිකෝඩ වලට අහුවෙලා ඒ අදහස 'දිය නොවී' යටවෙලා ගියා.

දැන් ආයෙමත් ලියන්න හිතෙනවා.

අවවාදයයි: තමන්ගේ මතය තමන්ට වටිනවා වගේම, අනෙක් කෙනාගේ මතය අනෙකාටද වටී. මම ලියන ජේද තුන හතරෙන් ආකල්ප වල මහා පෙරලියක් වන්නේත්, ඔබේ නිහඬ බවෙන් සෙතක් වන්නේත් නැත. අදහස් මිස පුද්ගල මතගැටුම් නොහොබිනාය. මොකද, අපි මෙතරම් කාලයක් කරමින් හිටියේද එයයි.


මම නොදන්නා කාලයකදී නිලවශයෙන් රටේ 'ජාති' දෙකක මිනිස්සු එකිනෙකා මරාගන්න පටන් අරගෙන, වීරයින් බුරුතු පිටින් බිහිකරමින් පැවතිලා මේ වනවිට වීරයින් ඉස්මොල්ලේ යන තරම් ගානක් හිටියත් තවමත් අපි මරාගන්නවා.

දෙමළ - සිංහල ගැටුම කියන්නේ මොකද්ද?

මෙතෙක්  කියවපු සහ අහපු දේවල් අනුව මට නම් ඇත්තටම හිතේ තියෙන්නේ පුදුම කලකිරීමක් අපේ වැඩිහිටි පරපුර ගැන. ඔවුන් විසින් නිර්මාණය කරපු මේ සැරව පිරුණු තුවාලය දැන් කහන්නේ අපේ පරපුර. කවුරුත් ඒ තුවාලයට බෙහෙත් දානකොට ඇතුල සුද්ද කරන්නේ නැහැනේ. ( කරුණාකර දේශපාලනය, දේශපාලකයෝ ගැන කතාකරන්නවත් එපා. ප්‍රශ්න බිහිකරන්නේ එයාල කියල කතාව යටගහන්නත් එපා. ගින්නක් උනත් වතුරේ පත්තු වෙන්නේ නැහැනේ, දර නැතුව)

සිංහල ජනයා විසින් දෙමළ ජනයා කෙරෙහි පතුරවමින් පැවතුන ඒ දුෂ්ඨ ක්‍රියාවන් නිසාම තමයි මේ හැම දෙයක්ම සිද්ද වෙන්න ඇත්තේ සහ තවදුරටත් සිදුවෙන්නේ. ඒකම තමයි අද වෙනකොට මුස්ලිම් ජනයා කෙරෙහිත් පැතිරිලා යන්නේ.

යුද්ධයක් තිබුණාය කියල හිතන්නකෝ, අපි දැන් තාමත් තලුමරනවා ප්‍රභාකරන් ඝාතනය කලාය , ඊළම පැරදුනාය කියලා. මට නම් මේක මහා විහිළුවක්. ආයුධය නැතුව උනත් අපි හැමෝම මානසිකව තාම යුද්ධ කරනවා නේද?

පොඩ්ඩ ඇත්තම් 'පර දෙමළා, හම්බයා' කියමින් ඒ වෛරය නිදහස් කරන්නේ තාමත් එහෙම නිසයි. අපි හැමෝම කරන්නේ බොරුවක්! නිකමට හිතන්න අවුරුදු ගානක් තමන්ගේ කියල හිතාගෙන හිටපු පවුලකින්, එකපාරටම කිව්වහම 'උඹ අරන් හදාගත්ත එකෙක්' කියලා..... දැනෙන හැඟීම!!

ඇත්ත... සමහර වෙලාවල් වලදී ඒ ඒ ජනකොටස් කරන වැඩ බැලුවහම බලයක් පතුරවනවා කියලා හිතෙනවා. නමුත් ඒකට වියරු වැටෙන්නේ මොකටද? ගමක් ගත්තහම කෝවිලක්, පන්සලක් සහ පල්ලියක් කියන තුනම තිබ්බනම්.... බෞද්ධ අපි විතරක් ඇයි හන්දියක් ගානේ පැලවෙන කපුටු බෝගස් වලට පවා බුදුපිළිම තියාගෙන දඟලන්නේ? ඒක ආගමික අන්තවාදය!!

ලොකු විනාසයකින් පස්සේ උනත් පාඩමක් ඉගෙන ගන්නේ අයට කොහොමත්ම පාඩමක් ඉගෙන ගන්නත් බැහැ. ජපානයේ බෝම්බයෙන් සියල්ල සුන්නත්ධුලි උනාට පස්සේ ඔවුන් අවුරුද්දක් වත් අඩුම තරමේ ඇමරිකාවට විරුද්ධව පෙළපාලි, හර්තාල් කළා කියල මම අහලා නම් නැහැ ( එහෙම දන්නා අය වෙතොත් මාව දැනුවත් කරත්වා) නමුත් අපි??????

දශක තුනක  යුද්ධයකින් පස්සේ තාමත් ඒකෙ අහුකොන් හොයමින් ගැටෙනවා. ආයෙත් යුද්ධයක් ඇතිකරලා අපේ ඊළඟ පරම්පරාවට කහන්න තුවාලෙට ඉහඳ පනුවෝ දානවා. ඇයි මේ?? මේකද අපේ සමාජ වගකීම?

තමිලනි ලිව්වා...
ඒ තමයි එයා යුද්ධ කරපු හැටි. සිංහල අපි පවා කියෙව්වා. ඒකෙ සිංහලයින්ට දීපු වද සහ දෙමල මිනිසුන්ගේ කෘරත්වය පීරමින් කියවන්න උත්සහ කළා.

ඒත් තමිලනි ලිව්වේ නැහැ.... 
ඒ තමයි ආයෙමත් ඒ කැඩුණු තැන වහගෙන ඉදිරියට යන්නේ කොහොමද කියල. දෙමළ ජනතාව ඒකට සුදානම්ද කියල.....

අපේ කට්ටියත් ලිව්වා...
ඒ තමයි අපිත් යුද්ධ කරපු හැටි. 'අපේ' මිනිස්සු කොටින්ගෙන් මැරුම් කාපු හැටි. ගම් පිටින් කැතිගාපු හැටි. 'අපේ' විරුවන් කොටින්ට ප්‍රහාර එල්ල කරපු හැටි! ඒ කතාවල අපිට ඕනේ ජවය; වීරත්වය ඇතිතරම් තියෙන නිසා සිංහල 'අපිට' සන්තෝසයි. ඒවා සාක්ෂි කරගෙන අපි උදම් අනනවා තාමත්...

අපේ කට්ටිය ලිව්වේ නැහැ...

ඒ තමයි මෙහෙම යුද්දෙකට ආයෙත් නොයන්න 'අපේ' මිනිස්සු අතින් වෙන්න ඕනේ මොනවද කියන එක. සොල්දාදුවෝ කියන්නේ කුලියට මිනීමරන තත්වයක් වෙන්න ඕනේ නැහැ කියන එකට අපි සූදානම්ද කියන එක ? මේ සංහිදියාවට අපෙන් ලැබෙන්න ඕනේ දේ අපි දෙනවද කියන එක....

මේ කිසි දෙයක් කිසි කෙනෙක් කරනවා මම දැකලා නැහැ. යුද්ධයකින් පස්සේ වෙන්න ඕනේ මොනවද කියන එක ගැන මෙලෝම දැනුමක් ඇත්තෙක් අවාසනාවට ලංකාවේ ඉතිරිවෙලා ඇත්තේ නැති තරම්....

අදටත් මම දකිනවා සාමාන්‍ය අපි අතින් වෙන නොයෙකුත් අසික්කිත ක්‍රියාවන්. ඒවා නින්දිතයි. උදාහරනෙකට කියන්නම්.. මම හොඳින්ම දන්නා ආයතනයක එදිනෙදා පිරිසිඳු කිරීම් කරන ගැහැණු කෙනෙක් ඉන්නවා. ඇය කතාකරන්නේ සිංහල. ඇය සමඟ වැඩට දෙමළ භාෂාව කතාකරන තවත් ගැහැණු කෙනෙක් ගන්නවා. දැන් 'අපේ' සිංහල එක්කෙනාට ඕක ඉවසන්න බැහැ. හැමදාම අර මනුස්සයාට විරුද්ධව නඩු. දෙමල ගැහැණු එක්කෙනා තමන්ගේ පාඩුවේ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් වෙලත් සිංහල කෙනාට ඇයව ඇහේ කටු වගේ. මුකුත්ම චෝදනාවක් නැති දවසට දුවන ඇගේ තැටිය තමයි..

".... මුන් කොටියෝ.. අපේ අහිංසක කොල්ලෝ මරල, කැති ගාල ඉන්න මුන්ට හෙන හතම ගහන්න ඕනේ අම්මප"

ඒකට මට හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බෑ. ඔන්න අපේ දේශප්‍රේමය!!


මේකේ අනික්පැත්තත් ඇති.

මම දෙමළ කතාකරන හින්දු; මුස්ලිම් ආගමිකයින්ට ඇත්තටම ආදරෙයි. උන් වෙනස් තමයි. ඉතින් ඒ වෙනස මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙන වෙලාවට මම ඒ බව අඟවනවා මිසක් 'කැතිගාන්න' සමුලඝාතනය කරන්න හිතන්නේ නැහැ. හිතන්න ලෝකේ ඉන්නේ එකම ජාතියක් නම් ඒක කොතරම්ම බෝරින්ද කියල?

එහෙමයි කියල මම දමිළ කතාකරන හින්දු ; මුස්ලිම් ආගමික ජනයා එක්ක 'සංහිදියාව' (වැඩියෙන්ම අවභාවිත වෙච්ච වචනයක් නිසා තේරුම මුල සිට සරලව ඉගෙනගත යුතුය ) කියන්නේ විවාහ ගනුදෙනු කියන්නේ නම් නැහැ. උන්ට උන්ගේ පාඩුවේ විවාහ වෙන්න ඉඩ තියෙන්නත් ඕනේ. සංහිදියාව වෙන්නේ විවාහ වලින් නම් මොනතරම් දෙයක්ද? කොටිම්ම අපේ සිංහල අය අතරෙත් උඩරට- පහතරට කසාදවල තියෙන ගැටුම් බැලුවම සංස්කෘති දෙකක් එකතු උනාම මොන තරම් අවුලක් ඇතිවෙන්න පුළුවන්ද ? ඒ නිසා එහෙම විවාහ ගනුදෙනු වලින් නෙවෙයි මේක විසඳෙන්න ඕනේ. අතේ ඇඟිලි පහ විවිධාකාරයි වගේ, ඔවුන්ගේ විවිධත්වයට ගරු කරන සමාජයක් තමයි 'හදාගන්න' ඕනේ.

එතැනදී වගකීම 'මගේ'

එකිනෙකාට ගරු කරනවා නම් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. වැඩිහිටි පරපුර කඩු -මන්නා වලින් උත්තර දීලා දැන් ඉන්න තරුණ පිරිසත් ඒ විදියට තමයි උත්තර හොයන්නේ.

සැකයක් නෑ.. මේ විදියට ගියොත් අපි ආයෙමත් වාර්ගික යුද්ධෙකට යනවා. සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ධෙ එපා උනාට දේශපාලකයින්ට ඒක හිඟන්නාගේ තුවාලේ.....

තේරුම් ගන්න මේ මොහොතේ වත්!



Monday, January 30, 2017

59. අලුත් මා





ඔය ෆර්දාව
මදකට දෙන්න නංගි...
කඳුළු පිස, හිස
වසාගනු පිණිස හැංගී...

රිදෙන හද නොපෙනෙන්න
අබායා එකක් මටත් දෙන්න

වචන පිහි සැරට පතුරුගිය
අත්ල මරතොන්ඩි රටාවකිය

හිස තබා ගල් පතුරුමත
දෙදන නළලද බිම ඔබාගෙන
අලුත් මා
පිළිගනු මැන !



Thursday, January 19, 2017

55. දේදුනු පාට






හත්පෙති මලකි අත
ශේන්යා තාමත් සමඟ -
පැණිවළලු අතැ'තිවම මහමග...

කහපාට පෙත්තකි අත දරන
නිල, දම් පෙති තවම නොදනින 
පාටම මිසක් පැටලවෙන
පැතුමද නොවේ ඉල්ලන....

කොයිපාට පෙත්තද
කෙල්ල නුඹ මට එවන්නේ?
කුමන ගීයද අදත්
සෙමෙන් මුමුනමින් පතන්නේ?
පතන මුත් හැමදාම ගීයෙන්
කවදදෝ පාටමල් පෙත්ත විසිකරන්නේ?

|
|
කවදාද කෙල්ල නුඹ
මා දෙපා සුව කරන්නේ?

Monday, December 19, 2016

50. මට දැන් ඕනේ....




ඉතිං මට දැන් ඕනේ බල්ලෙක් වෙන්න. කන්දෙක උස්සගෙන පස්සෙන් යන්න. ඔයා කියන දෙයක්ම කරන්න. වෙන දෙයක් නොකරම ඉන්න. ඔයාගේ පුළුන් කොට්ටෙට වෙලා සැපට තුරුල්වෙන්න. ඔව් සමහර වෙලාවට ඒ කොට්ටේටම 'වැඩේ දීල' හැමතැනම පුළුන් ඉහිරවන්න. තේරෙන්නැති වෙලාවට ඔලුව ඇල කරගෙන කන්දෙක සීරුවට තියාන ඔයාගේ මුණ දිහාම බලාගෙන ඉන්න. තේරෙන දෙයක් දැනුන ගමන් උඩ පැනල ඒ ගැන ප්‍රීතිය පලකරන්න.

හැමවෙලේම ඔයාගේ ළඟට වෙලා වාඩිවෙලා ඉන්න. ඔයා මොන සීරියස් වැඩක් කලත් මට කිසි ගානක් නැතුවම වගේ ඔයත් එක්කම එකඟ වෙන්න. සීරියස් වැඩ ඔක්කොම ඉවර වෙච්ච ගමන්ම ඔයාව අයිතිකරගන්න.

ඉතින් මට දැන්ම ඕනේ බල්ලෙක් වෙන්න! මා එක්ක එනවද එතකොට ඇවිදින්න යන්න?

Monday, November 28, 2016

46. වයින් එක්ක පොල්සම්බෝල


සමහර වෙලාවට ලියන්නේ මොනවද කියල හරියටම හිතාගන්න බැරිවෙන්නේ පුංචි සිදුරකින් රිංගන්න පොරකන සබන් බුබුළු තොගයක් වගේ ලියන්න ජාති ගොඩාරියක් ඔලුවේ හිරවෙන නිසා වෙන්න ඇති. ඉතින් සමහර සබන්බුබුලු සාර්ථක වෙච්ච සබන් බුබුළු වලට තෙරපිලා බිඳිලා යනවා වගේ සමහර අදහස් ඒ මොහොතේ නොලිව්ව නම් ආයෙමත් නොඑන්නම බිඳිලා යනවා. ලියන මානසික තත්වය, වෙලාව ලැබුනහම බලනකොට ආයෙමත් ගන්න බැරි තැනකට ඒ අදහස තල්ලු වෙලා ගිහින්.

බ්ලොග් වල ලියන්න ඕනේ මොනවද කියල මම මිට මාස ගානකට කලින් හොඳ 'ලෙච්චර්' එකකට සම්මුඛ වෙන්න උනා. ඒ උන්නාන්සේ කිව්වේ ටෙක්නිකල් දේවල්, කවි, සාහිත්‍ය වගේ දේවල් තමයි ලියවෙන්න ඕනේ කියල. මම ඉතින් විරිත්තපු මුණක් දාගෙන අහගෙන හිටිය, මොකද ඒ වෙනකොට මම බබෙක්. ( ඒ බබා ඒ වෙනකොටත් සෑහෙන කවි, කතන්දර, සාහිත්‍ය විචාර විතරක් නෙවෙයි, පණ්ඩිත කතාත් තොගයක් බ්ලොග් ගත කරලා ඉවරයි)

බ්ලොග් වල ලියන්න ඕනේ මොනවද? හැබෑටම මොනවා ලිව්වොත්ද හොඳ? හිට් වෙන්නේ? ( මේ දෙක පැහැදිලිවම දෙකක් හොඳේ?? ලියන්න හොඳ සහ හොඳටම හිට් වෙනවා කියන එක !) සමහරු කැමති හිට් වෙන දේවල් ලියන්න. තවත් සමහරු කැමති තමන්ට ඕනේ බහුබූත ලියන්න. හිට්වන බහුබූත ලියන අයත් ඉන්නවා.

ඒ අතරින් දේශපාලනය ගැන ලිවිම තියෙන්නේ උඩින්ම. මොකද දේශපාලනය කියන්නෙම බහුබුතයක්! ඒවා මිනිස්සු කියෝනව, සහ මොකද්දෝ කාලකන්නි සතුටකට අපි ඒවා 'හොට් නිවුස්' ලෙස සලකනවා. මමත් දේශපාලන ලිපි කියවනවා, මොකද මටත් දේශපාලනය ගැන මගේම මතවාදයක් තියෙන නිසා. නමුත් දේශපාලන ලිපි කියන්නේ අද බහුතරයක් දෙනා ලියන විගඩම් නෙවෙයි. මම නම් දකින හොඳම දේශපාලන ලිපි තිබ්බේ/මම කියෙව්වේ බ්ලොග් එකක . එහි සමබර ගතියක් දැනෙනවා, රචනා ශෛලිය උනත් උචිතයි. අපහාස අඩුයි සහ තාර්කිකයි.

මම දැකලා තියෙනවා තමන්ට තියෙන දේශපාලන මතවාදය ලියන්න ගිහින්, ඒ ලිපිය කෙලිම්ම මඩගොහොරුවක් කරලා, ඌරන්ට නිදහසේ සෙල්ලම් කරන්නට, නරින්ට හූ කියන්නට විවෘත කරලා තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ එක පාටකින් තමන්ගේ රුධිරය පාටකරගත්ත, සදාකාලික දේශපාලන සතුරෝ/මිතුරෝ ඇතිය කියලා මනෝ විකාරයකින් ජීවත්වෙන මිනිස්සු. මේකට පොතේ-පතේ, උපාධියෙන් ලැබුණු උගත්කම බලපාන්නේ නැහැ. සමාජයේ උගත් කියල හිතෙන අයත්, නුගත් කියල හිතනම තලයත් කියන දෙකොටසම මේ වැඩේ කිසිම ලැජ්ජාවක් නැතුව කරගෙන යනවා.

ඇත්තටම වැඩක් තියෙනවද?

ඒ වගේ ලිපි වලින් කරන්නේ ද්වේශය ඇති කරන එක. කියවන්නා තුල ගැටුමක් නිර්මාණය කිරීමෙන් වෙන්නේ මොකද්ද? කවදාවත් ලිපියක් කියෝලා එකවරම හෝ නොබෝ කලකින් සිය දේශපාලන දර්ශනය වෙනස් වෙලා තියෙනවද? ( එහෙම වෙලා තියෙනවා නම් ඔහුට කොහොමත්ම දේශපාලන දර්ශනයක් තිබිලම නැහැ, මොකද එහෙම දර්ශනයක තාර්කික බවක් ඇත්තේ නැහැ.) මේ පාර අපි දුන්නේ අහවලාට, ගිය පාර අපි දුන්නේ අහවලාට, ඇද්ද උඹලට වශයෙන් වහසිබස් දොඩමින් ඉඳීම ඇත්තටම මට නම් පෙනෙන්නේ තමන්ගේ ටොෆි කොළ එකතුව ගැන වහසිබස් දොඩන මොන්ටිසෝරි ළමයෙක් වගේ.

මේක ලිව්වේ එහෙම ලියන්න එපා කියන්න නෙවෙයි. ලියන කෙනා මම නෙවෙයි කවුරු කිව්වත් ලියනවා. මම මේ සටහන තිබ්බේ වැඩිහිටියෝ 'වගේ පේන' මේ මිනිස්සු නේද කතිරේ කොටලා අපිට මේ තත්වේ උදාකරල දීල තියෙන්නේ කියල මට වැටහුණු නිසයි.

කලාකාරයෝ නලාකාරයෝ වෙලා කියල බනිනවා. ඇයි හත්වලාමේ නුඹලාටත් වෙලා තිබෙන්නේ එයම නේද? ඔය දේශපාලන කුණු මාළු කෑල්ල අතහැරලා ලියනවකෝ වෙනත් දෙයක්! පරණ ශ්‍රී විභූතිය පලු අරින්නේ, කරනවකෝ තමුන්ම යමක්! අඩුම තරමේ මොන්ටිසෝරි යන එකෙක්ට පන්තියේදී හදන්න පුළුවන් නව නිර්මාණයක් කරනවකෝ!!


නම් කරන්නත් හිතෙනවා.. එක්කෝ ඕනේ නැහැනේ නේද? මොලයක් තියෙනවා නම් ඒ උන්දලාම කියෝලා බලයිනේ මේ පාලු බ්ලොග් එකට ඇවිත් !



ප.ලි. මාතෘකාව ගැන හිතන්න එපා. ඒක දැම්මේ වයින් කිව්වහම පොල්සම්බෝල වයින් එක්ක කනවද, කලින් කනවද කියල හිතන අයත් ඉන්න නිසා.



Tuesday, November 15, 2016

42. පබවත සහ වත්මන






ඉතිහාසය අමුතුයි. ඇත්තටම මට ඒක ගොඩක්ම අමුතුයි. මොකද ඉතිහාසයේ සමහර දේවල් ගැන අපි අද කල්පනා කරන විදිය ගැන අනාගතේදී හිතල බැලුවොත් හොඳින්ම වැටහෙන කාරනාවක් තමයි, හැමෝම ඉතිහාසෙට වඳිනවා මිසක්, නැවත නැවතත් එකම වලක් ඇතුලේ දෝනා කපනවා නේද කියල.. එහෙම නෙවෙයිද?

යශෝධරාවත කියන්නේ මම ඉතාම ආසාවෙන් සහ උනන්දුවෙන් කියවපු, නැවත නැවත පරිශීලනය කරන්නට තරම් ප්‍රිය උපදවන කොටසක්. එහි තිබෙන්නේ සංකල්පමය වශයෙන් විචිත්‍ර රසයක්. ඒ කියන්නේ එහි ආනන්දය වගේම , ක්‍රෝධය, ශෝකය, ආදරය, සෙනෙහස, ප්‍රේමය, රාගය , කරුණාව විතරක් නෙවෙයි වෛරය , ජුගුබ්සාව පවා එකලෙස එකතු වෙලා තියෙන නෙල්ලි ගෙඩියක් වගේ. මම අන්ධ භක්තිකයෙක් නෙවෙයි කියල මටම කියාගන්න සුදානමක් නැති උනත් ගොඩක් වෙලාවට මම ඒ වගේ චරිත කතා කියවන්නේ ආගමික මුහුණුවරක් හිතින් අයින් කරලා. සිද්ධාර්ථ චරිතය ගැනත් මට පොඩි කාලේ ඉඳලාම ගොඩක් ප්‍රශ්න තියෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. (  දැන් නම් ඒවා විසඳිලා සදාකාලික විදියටම. ප්‍රශ්න වලට පිළිතුරු ලැබීමෙන්ම තමයි ඒවා විසඳුනේ.)

යශෝධරාව කියන්නේ ගෞතම බුදුරජානන් වහන්සේගේ බුද්ධත්වය කරා යන ගමනේදී බෝධිසත්ව අවධි වලදී හිටපු සහකාරිය. මම මේකෙදි සරල උපකල්පනයක් කරනවා ඒ බොහෝ උප්පත්ති වලදී බෝධිසත්වයන්ගේ බිරිඳ ලෙස යශෝධරාව ඉන්නට ඇතිය කියලා. එතැනදී බොහෝ කියන එකෙන් අදහස් කලේ අති දීර්ඝ සසර ගමනේදී අනේක වාරයක් බෝධිසත්වයෝ අවිවාහකව ඉන්නට ඇති, අනේක වාරයක් වෙනත් බිරිඳක් හා ගෙවන්නටද ඇති. ඒවා විය හැකි දේවල්.

මේ සසර ගමනේදී ඇගෙන් ලැබුණු සහය ගැන බුදුරජානන් වහන්සේ විසින් වෙනම දීර්ඝව ගුණකතනයක් ලෙස පැහැදිලි කළා, පළමුව උන්වහන්සේගේ ගිහිකල පියා බලන්නට පැමිණි අවස්ථාවේදී. එනම් යශෝධරාව කියන්නේ බුදුරජානන් වහන්සේ පවා වර්ණනාවට ලක්කරනලද චරිතයක්!

එක භවයකදී ඈ ඉතාම බුද්ධිමත් අමරා දේවිය ලෙසත්, තවත් භවයකදී රජවූ බෝධිසත්වයින්ට අග බිසව ලෙසත් වගේම කුස කුමාරයාට පබාවතී ලෙසත් පදුමුත්තර කුමාරයාට බිසව ලෙසත් වශයෙන් විවිධ භූමිකාවන් වලට පනපොවනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව සම්පුර්ණ බිරිඳක් ලෙස පැසසුම් ලබන යශෝධාරා ගැන අප කතාකරද්දී පබාවතී සහ පදුමුත්තර කුමාරයාගේ බිසව අපට සර්ව සම්පුර්ණ ලෙස අමතකවීම කොතරම් පුදුමයක්ද?

පබාවතී කියන්නේ කුස කුමාරයාට නොසෑහෙන්න අවමන් කරමින් කුස කුමාරයාගේ ඛන්ති පාරමිතාව ( පාරමිතාව, උප පාරමිතාව සහ පරමත්ත පාරමිතාව වශයෙන්) සම්පුර්ණ කිරීමට බෝධිසත්වයින්ට ලැබුණු එක්තරා භාවයක සිටි 'වධක බිරියක්' නොවේද? පදුමුත්තර කුමාරයා විසින් පූරණය කරන්නට යෙදුනු යම් පාරමිතාවක්/පාරමිතා සඳහා එන බිසවගෙන් සහයක් ලැබුනේ නැහැ කියන්නෙම කෙසේද? පබාවතී එසේ නොකලානම්, කුසට පූර්ණය කරන්නට පාරමිතාවක් ඉතුරුවේද? පදුමුත්තර කුමාරයා බෝධිසත්වයෙක් වන්නට නම් දුෂ්ටයෙක් සිටිය යුතුමයි නොවේද?

බිරින්දෑවරුන් ගැන, සැමියන් තුල තිබෙන්නේ ගොඩක් වෙලාවට කර්කශ ආකල්ප. එහෙම නොවෙන්නේ බොහොම කලාතුරකින්. ඔබේ බිරිඳ පබාවතී නම් ඒ ඉන්නේ අනාගතයේ යශෝධරාවක් ලෙස බලන්නට හැකි වෙයිද? බුදුවන්නට අවශ්‍ය නැහැ, නමුත් ඔබේ ආකල්පය වෙනස් වන්නට පුළුවනි.

කිවයුතු තවත් කාරණයක් තිබෙනවා, ථේරී ගාථා වලදී, යශෝධරාව විසින් බුදුරජානන් වහන්සේ ගේ දෙපා නමදිමින් සසර පුරාම විවිධ භාවයන් තුලදී කරනලද සියලු නපුරුකම්, ද්‍රෝහිකම් ගැන සමාව පවා ඉල්ලනවා. ( එයින් අදහස් කරන්නේ නැහැ ශෝකයෙන් එහෙම කරනවා කියල. මොකද ඒ වෙනකොට යශෝධරාව කියන්නේ රහත් මෙහෙණියක්) එතැනදී විශේෂයෙන් පබාවතී ලෙස දුන්නු දුක් ගැහැට ගැන සඳහන් වෙනවා.

අතීතය තුලින් අප ඇත්තටම මවන්නේ කවර ප්‍රතිරුපයක්ද? වර්තමානයේ බිරිඳ ගැන ඇතිවන වෛරී හැඟීම කියන්නේ අනාගතේ බැලුවහම පුස්සක් නොවේද? සමහර වෙලාවට අපේ ගුණාංග වර්ධනයට ඒ හැසිරීම් පාදක වෙනවා නොවේද?

සමාව දෙන්න බැරි වරදවල් කොහෙද තියෙන්නේ?


ප.ලි. මේක ටැබූ සබ්ජෙක්ට් එකක්ද කියන්න මම දන්නේ නැහැ. එසේ වෙයි නම් ප්‍රවේසමෙන් කොමෙන්ටු කොටන්න. මට නම් කිසිම ගානක් නැත 



Thursday, October 6, 2016

34. සාපේක්ෂ වීරයෙක්


ප්‍රංශයේ ගොන්පොර තරඟයක අවස්තාවක්


මම පොඩිම කාලේ හිතාගෙන හිටියේ හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියල. ඩිංගක් ලොකු වෙනකොට හිතුව සාපේක්ෂව පර්ෆෙක්ට් එක හොඳයි කියල, වැඩි කාලයක් යන්න කලින් මම 'නිරපේක්ෂ' පර්ෆෙක්ට් කමක් ගැන තමයි කල්පනා කලේ. ඒ කියන්නේ සාපේක්ෂ පර්ෆෙක්ට් කමක් කෙසේ වෙතත් පර්ෆෙක්ට් කියන දේ එහෙම්මම තියෙනවා කියන එක.

උදාහරණයක් ගත්තහම, විභාගයකදී ගන්න ලකුණු ප්‍රමාණය ගත්තොත්, පංතියේ හැමෝගෙම ලකුණු අඩු වෙලාවක මට ඒ අතරින් වැඩිම ලකුණු තිබ්බහම මට සතුටක් දැනිල නැහැ. මොකද සාපේක්ෂව හොඳ උනත් නිරපේක්ෂව නරක මට්ටමක ඉන්න නිසා. ඔය විදියට හිතන එක ගැන මට මගේ යාළුවො නිතර අනං මනං කියලත් තියෙනවා. ඒකට ඔවුන් කිව්වේ 'ලද දෙයින් සැනසෙන්නේ නැහැ' කියන තර්කය.

මම නම් කියන්නේ ඒක නෙවෙයි ලද දෙයින් සැනසීම කියන්නේ. ( ඒ ගැන දැන් ලියන්න අදහසක් නැහැ, වෙනම ලියන්නම්)

මම මේ කල්පනාව කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු දෙයක්. කොටිම්ම මගේ වාසය අවුරුසු 17-18 කාලේ ඉඳන්ම මේ වෙනකල් ඔලුවේ තිබ්බ කාරණයක්. ලියන්න තැනක් , කතාකරන්න කෙනෙක් හරියට ලැබුනේ නැති නිසා තාමත් තියෙන්නේ මුලික තර්ක අවධියේ. මේ ළඟදී ඕක අලුත් උනා...

හේතුව තමයි, මම විහාරමහාදේවි පාක් එක ගාවින් වෙනද වගේ නැතුව, වැනි වැනී යනකොට දැක්ක දෙයක්. ඒ තමයි එතන කාගේදෝ පිළිරුවක් දැක්ක. ඇත්තම කියනවා නම් , මම ඒ කවුද කියලා දන්නේ නැහැ. ඉතින් මම බැලුව ඒ කවුද බොලේ කියල. බලනකොට අහලවත් නැති 'පොදුජන වීරයෙක්' ( අහල නැත්තේ මගේ ප්‍රශ්නයක් හින්ද වෙන්න ඇති)

ඔන්න ආයෙමත් එතකොට මගේ ඔලුවේ අවුරුදු ගානක් හිරවෙලා තිබ්බ අර 'නිරපේක්ෂ' කතාව එලියට ආව. ඒ කියන්නේ මේ පුද්ගලයා 'සාපේක්ෂව' පොදුජන වීරයෙක් වෙච්ච කෙනෙක්ද කියන එක?

ආයෙමත් මුලට!

අපේ ජාතික වීරයෝ ලැයිස්තුව ගත්තහම, ඇත්තටම ජාතික වීරයෝ ඉන්නේ කීයෙන් කීදෙනාද? කොටිම්ම ජාතික වීරයෝ කියල අපි කියන අය ඇත්තටම ජාතික විරයෝද? මගේ 'නිරපේක්ෂ' තර්කයට අනුව නම්, ජාතික වීරයෝ කියන්නේ ජාතියක්/රටක් වෙනුවෙන් සිය ශ්‍රමය අවංකව කැපකොට සමහර වෙලාවල්වලදී ජීවිතය පවා ඒ වෙනුවෙන් පුජා කරපු මිනිස්සු තමයි ජාතික වීරයෝ කියන්නේ. ( මම වැරදි ඇති, දන්නා කෙනෙක් කියන්නකෝ නිවැරදි දේ එහෙනම්?)

එහෙම බැලුවම, මද්දුම බණ්ඩාර කියන්නේ ජාතික වීරයෙක් නෙවේනේ!




හා හා හරි හරි..... සාපේක්ෂව හිතන්න පුරුදු උනාම හරියයි නේද? මේ බෙහෙත් ( විටමින්) ටික බීල , සතියකින් ආපහු එන්නද දොස්තර මහත්තය?



Monday, October 3, 2016

33. අනිච්චා වත සංඛාරා


මාරාන්තික තත්වයට පත්වුණු ළදැරියක්


හිටපු ගමන් මට හිතෙන දේවල් ඇහුවොත් මගේ එක යාලුවෙක්වත් ආයේ මගේ මුණ බලන්නේ නැහැ. හිටපු ගමන් මාරම රොමැන්ටික් අදහස් එනවා ආයේ නැහැ නිල්පාට එකෙත් තදම නිල්පාට. ඒකත් තදබල රාජකාරී රැස්වීමකදී.  හෙමිට අතේ තියෙන පොතේ අන්තිම කොලේ යන්තම් කුරුටු ගාගෙන ගාගෙන ගිහින් 'දොහ්' ගාල පොත වහල, පරිස්සමට ඔඩොක්කුවේ තදකරලා තියාගන්නවා.

කරුමේ කියන්නේ මේ වෙලාවටම තමයි මගේ බොසාට ( මම බොසෙක් නෙවෙයි අනේ. මට බොසෙක් ඉන්නවා. දුප්පත්කමට ඉතින් බඩරස්සාවක් කරන්න එපැයි !) මගෙන් ප්‍රශ්න අහන්න මතක් වෙන්නේ. මම ඉතින් අර කැමරාව අල්ලනකොටම නැටුම වැරදිච්ච එකී වගේ විසුළු නොවන මුණක් හදාගන්න ලොකු උත්සහයක් දෙනවා. ඒ වෙනකොට මගේ නම්බු කටුව හිරු දුටු පිනි බිදු වගේ අතුරුදහන් වෙලා!

මේවා වෙන්න මම ඔෆිස් යනවට වඩා හොඳයි, ඇස්දෙකම නොපෙනෙන එකියක් වෙලා එක්තැන් වෙන එක. ඒ කොහොම වෙතත් මේ ලෙඩෙන් මැරෙයිද දන්නෙත් නැහැ. මගේ බැච් එකේ කෙනෙක් මොලේ ගෙඩියක් ඇවිත් දැන් මාරාන්තික වෙලා අවසන් හුස්ම අල්ලමින් ඉන්නවා කියල ආරංචි උනා. ඊළඟ ටිකට් එක මටද දන්නෙත් නැහැ. අඩු වයසෙන් මැරෙන්නේ අනුන්ගේ පන නසපු අය බව මම දන්නවා. මම අනුන්ගේ පන නම් නසලා නැහැ දැනුවත්ව. ඒ උනාට කවුද දන්නේ නේද?

මම මැරුණම කරන්න දේවල් ටිකක් ලියල තියන්න කියල හිතුව. ඊට කලින් බලන්න යන්න, අවසන් වතාවට කතාකරන්න ඉන්න දේවල් සහ පුද්ගලයින්ගේ නම් ලිස්ට් එකකුත් හැදුව. දැන් ඒවත් ලෑස්තියි!

මළගෙදර එනකොට මල් පැලයක් ගේනවට මම කැමතියි. වෙන මොනවද අමතක උනේ?

ආ.. දැන් ඉතින් මැරෙන්න තමයි අමතක වෙලා තියෙන්නේ.

හරි හරි යකුනේ ඒකත් නුදුරේම සිද්දවෙයි  !!!





Sunday, October 2, 2016

31. රෝස කුසුමක් පිපී






බල්ලෝ පොරකරනවා වගේ එකපාරටම මහා සද්දයක් ඇහිලා මම වහලේ වැදිලා ඇහැරුනේ. 'නොදකින් කාලකන්ණි බලු රෑන, සැනසිල්ලේ මට අදවත් නිදාගන්න දෙන්නේ නැහැනේ'

එතකොටමයි මට මතක් උනේ හත්වලාමේ මේ අහලපහලක කොහෙවත් එහෙම බලු රෑනක් නැහැනේ කියල. මේ ඔක්කොම හිතෙන්නේ තත්පර දෙකක්  වත් ගියේ නැහැ. ඉතින් ඊළඟ මොහොතේම මට සක්සුදක් සේ පැහැදිලි උනා ඒ කෑගැහුවේ බල්ලෝ නෙවෙයි, කෙල්ලෝ පොදියක්ය කියල.

'හෑ... කෙල්ලෝ? කෙල්ලෝ කොහෙද මෙහෙ? අපේ මලය කෙල්ලෙක් වෙලාද? සද්දේ හැටියට නම් අඩුම තරමේ දුසිමක් වත් ඉන්නවා. යකෝ.. මම නින්දෙන් මැරිලද?'

"....... ඔන්න පටන් ගන්නවා.... මම ඔන්න පනහට ගනින්නේ.."
ඒ නම් පොඩි මල්ලි. මහ කලබලයක් ඇහුනා සාලේ.

'නොදකින්, විභාග ඔක්කොම ඉවර කරලා දෙය්යනේ කියල  නිදාගන්න හැදුව විතරයි, අම්මප!'

"දඩාන්....."

මට හිතන්න වත් ලැබුනේ නැහැ. මගේ කාමරේ දොර මහා සද්දෙන් ඇරගෙන කවුදෝ කාමරේට කඩාගෙන පැන්න. කළුවරේ මට මෙලෝ පෙනුනෙත් නැහැ. මම හිටියේ නිදිමරගාතේ. කාමරේට කඩන පැනපු කෙනා ඒ එක්කම මගේ ඇඳුම් ගොඩ අහුරලා තියෙන අල්මාරියේ පිටිපස්සේ ගුලි උනා.

Thursday, September 29, 2016

30. බැරි වැඩ කරන අබරෙක්


ශාරීරික වේදනාවට පත් තරුණියක්



යමක් කමක් කරගන්න පුළුවන් කාලෙක නම් මම වගේ ගොන් බඳින කණුවකට වෙන්න පුළුවන් යහපත්ම, උචිතම දේ තමයි එක්තැන් වෙන එක. ඒ කියන්නේ මාරාන්තික හෝ තත්වයකට වැටිලා, නිවාස අඩස්සියේ, ICU එකට අතේ දුරින් විලංගුවේ වැටෙන එක. එහෙම එකතැන් උනාම කාත් කවුරුවත් නැතුව වගේ දැනෙන එකට එක අතකට මම කැමතියි.

හැබැයි ඉතින් කියෝගන්න ( කට නෙවෙයි) සහ බලාගන්න බැරුව එක්තැන් උන එක තමයි මට වෙච්ච අබග්ගේ. ඇස්දෙක හරියට පේන්නේ නැතුව, ලියාගන්න බැරුව ඇඟිලි වෙව්ලනකොට ලැපයෙන් උනත් යමක් කරන්න හරිම අමාරුයි. එහෙම කියල මම අතාරින්නෙ නැහැ.

Wednesday, August 17, 2016

27. සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන




සින්දු කිව්වහම මට මතක් වෙන්නේ මුහුදක්. ඉතින් සින්දු මුහුදෙන් දිය දෝතක් අරගත්තට සෑහෙන්න පුලුවන්ද? ඉතින් මම එක සින්දුවක් ගැනම හිතනවා. හැබැයි මගේ පරිකල්පන එක්ක ගැලපෙන ඒවා තියෙන්නේ ගායක/ගායිකාවන් අතුරින් සුළුපටු ගානකටත් නෙවෙයි.

මුලින්ම්ම ඉන්නේ අමරසිරි පීරිස්. කොටින්ම අමරසිරි හූවක් කිව්වත් ඒකටත් කැමතියි තරමට! ඊළඟට ඉන්නේ අමරදේව. ( හැබැයි කැමති එතුමාගේ තරුණකාලේ කියපු හඬට, ඒවායේ අමුත්තක් තියෙනවා), ඊළඟට ඉන්නේ මගේ අහිංසක සෝමතිලක ජයමහ. ඊට පස්සේ ඉතින් සුනිල් එදිරිසිංහ,  දිවුල්ගනේ , ඉමාන් පෙරේරා, කසුන් කල්හාර, නන්දා මාලනී, සුජාතා අත්තනායක, උමාරියා, බාචි සුසාන්, ඉන්ද්‍රචාප, නිරෝෂා විරාජිනී, චන්ද්‍රලේඛා, රූකාන්ත, ලහිරු පෙරේරා... අපොයි දෙය්යනේ... ලිස්ට් එක ඔහොම යනවා මිසක්....

ඒ උනාට ගීත රචනය කියන්නේ සුවිශේෂී අවස්තාවක්! මගේ ගීත රචකයින්ගේ ලිස්ට් එකේ ඉන්නේ නම් ඔතරම් ප්‍රමාණයක් නෙවෙයි. හේතුව  ගීතවල රචනය ගැන අවධානයක් නැති නිසා වෙන්න ඇති.

ඉතින් ලිස්ට් එකේ මුලිම්ම ඉන්නේ කවදාවත් ලිස්ට් එකේ පහලට යන අදහසක්වත් නැති, ප්‍රේම් ! ප්‍රේමකීර්ති ද අල්විස්. අපොයි, නම කියනකොටත් මට මොකද්දෝ වෙන තරම්... හි හි හි... ඊළඟට ඉතින් යමුනා මාලිනි පෙරේරා.

ප්‍රේම්ගේ සින්දුවක් මට ඕනෙම තැනකදී වෙන්කරලා අඳුනගන්න පුළුවන් තරමටම පදමාලාවන් මගේ හිත ගන්නවා. ඒ කියන්නේ ගීතයක පදමාලාවට බැඳිලා  බැලුවම  ඉතින් ප්‍රේම් තමයි ලියලා තියෙන්නේ. අහම්බෙන් ඉතින් වෙන කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෑත කාලේ අපිට නම් ඒ පින නැහැනේ.... ප්‍රේම් ගීත ලියන හැටි බලන්න... හ්ම්ම් හ්ම්ම්....

ඒක නෙවෙයි...

මෙන්න මේ ගීතය ගත්තහම, මේ ගීතය පුරාම තියෙන හද පාරවන විරහව මට දරන්න බැරි තරම් හින්දා එකම එක පාරක් අහපු ගමන් මගේ ඔලුව හරහා ලොකු පාරක්  එල්ල උනා වගේ සතියක්ම ලොකු අනවරත විරහවක් වින්දා... හි හි හි... ඒ තමයි මගේ සෙන්ටිමෙන්ටල් ගතිය.

නමුත් බලන්නකෝ මේ පදමාලාවේ තියෙන ගැඹුර, සංවේදීබව??? මට නම් සතියක් කොට්ටේ බදාගෙන අඬන්න පුළුවන් තරම් දුකක් මෙතරම් පොඩියට සිංදුවකට ගත්තේ කොහොමද කියලා ප්‍රේම් කොහේ හරි ලියලාවත් තියලා ගියානම්.. හිත හදාගන්න තිබ්බ....

අහල බලන්නකෝ.







වැස්සකට ඉඩ ඇතත් අහස්කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරිතැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

සයුර ගොඩ එන තුරා කඳුමුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවද
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන



පදමාලාව ලිහලා දෙන්න අදහසක් නැහැ. මම හිතන්නේ එය තනිකරම පුද්ගලික විඳීමක්.


මේ සටහනෙන් පස්සේ ආයෙත් ඉතින් සතියක් යනකල් විරහ දුක තමයි ඉතින්....... හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්



ප.ලි.
මේක නන්දා මාලිනි නැතුව අමරසිරි කිව්වා නම්..... මෙලහට මම දිවිනහගෙන! හි හි හි....
විඳලා බලන්නකෝ


Wednesday, August 3, 2016

19. මගහැරුණු නුඹ



තාම මම එතැන ,
පිටත,
පොද වැස්ස හොඳටම...

නුවරුන් පිරෙන තැන,
ඇතුලත,
බද්දිය නගරශාලා බිම ....

යෙහෙළියන් හැරපියා ගියද
තෙතබරිතවම ඇවිදගිය
මදෙස,
දුටු දනන් කී රිදුම් වැකි ඇතිවද...

නාඳුනන දනන් හා දෙඩුම,
රිසි නොවන බව උගැන්මෙන්...
පිළිතුරු නොබැඳ ,
මගහැරුණ - පුන්නවර්ධන
නුඹ!

විශාකාවයි මම!






ප.ලි.  මට පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් තමයි, නාඳුනන පුද්ගලයෙකු/කණ්ඩායමක් විසින් කරනලද සරදමකට ප්‍රති උත්තර බැඳීම නිසා තමන්ගේ මධුර කටහඬ පෙන්නුම් කිරීම නිසාම පුන්නවර්ධන නම් සිය සහකරුවාට ප්‍රිය බිරිය වීමේ භාග්‍ය ලැබුණු විශාකා කුමාරිය... බැරිවෙලාවත් තමන්ගේ 'හැදිච්චකම' පෙන්නන්න කියා උත්තර නොබැඳ හිටියා නම්??? කියල 

මේ කියන දෙයක මෙලෝ අගක් මුලක් තේරෙන්නේ නැත්තම් මෙන්න මේවා කොටලා බලන්නකෝ 

විශාඛා සිටු කුමාරිය ගැන 
මෙතැන 
මෙතැන



Monday, July 4, 2016

09. උයනකලා



කලාව කියන්නේ කුමක්ද?

මේක මට අනුව නම්, දර්ශීය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට අපි හැමෝටම එක එක උත්තර තිබ්බත් මේ ගැන ලොකුවට හදාරන උදවියට සියල්ල එකමිටකට ගන්නට පුළුවන් උත්තරයක්/ අර්ථකතනයක් හදාගන්න පුළුවන් සහ එහෙම සම්මත උත්තරයක් /අර්ථකතනයක් තියෙනවා. ඉතින් මම වගේ එකියක්  මොනවා අඩුපාඩුවට එකතු කරන්නද?

අපි මොන තර්ක කිව්වත්, මගේ නම් අදහස උයනවා කියන්නෙම කලාවක්.

ඒ ඔක්කොම මගේ ඔලුවේ තිබ්බ මිසක් කාටවත් කියන්න ගියෙත් නැහැ මිට කලින් ලියලත් නැහැ. මම දන්නවා  පළවෙනියත් , අන්තිමයත් , එකම එකිත් මම නෙවෙයි  කියල.නමුත් මෙහෙම ලියන එකම එක්කෙනා වෙන්න ඉඩ තියෙනවා.

ඔය කුකිං කියන එක වෘතියක් විදියට තෝරාගන්න නම් මට හිතෙන්නෙම අනිත් ජොබ්ස් වලට වඩා තමන්ගේ ජොබ් එක ආසාවෙන් කරන කෙනෙක් වෙන්නම ඕනේ. මම මේ කියන්නේ සයිවර් කඩේ තෝසේ දාන එකා ගැන හරි හන්දියේ නයිට් කඩේ කොත්තු බාස් ගැන හරි නොවෙන්න පුළුවන්.

Wednesday, June 29, 2016

07. රික්තයක් තුල

ලියන දේවල් කියන්න බැහැ , කියන්න ඕනේ දේවල් කිසිම දෙයක් ලියාගන්නත් බැහැ. ලොකුම ලොකු දිග කතාවක්, කෙටිම කෙටි වචන දෙක තුනකින් ලියපු මට... කෙටිම කෙටි හැඟීමක් කියන්න දැන් වචන ගොඩක් වැයකරන්න වෙලා.
මොකද්ද මේ සිද්ද වෙන්නේ?

පාත්ති දිගේ මල් පැලකලාට, ඒ මල් වලට බඹරු ඇදිල එනකොට මට පොඩ්ඩක්වත් දැනිල නැහැ දුකක්.  මල් බෙදාගෙන ජිවත් වෙන්න පුළුවන් මට. කොන්ක්‍රීට් අතරින් පතර මම මල් හිටෙව්වේ කොටිම්ම ඒවායේ පාට විතරක් නෙවෙයි, කොලේ හැඩේ පවා මැච් කරන ගමන්.

එහෙව් මම.....


මට තේරෙන දේවල් තියෙන්නේ පොඩ්ඩයි තමයි. ඒ අතරේ යන්තමට වැටහෙන දේවල් වලින් එකක් ආයෙමත් මමම මතක් කරගත්ත.



මගේ හදවත විදුරු බරුවක්. වැටුණු ගමන් බිඳෙන්නේ නැති තරමට තදයි. නමුත්, බිඳුනොත් නම්...... ආයෙමත් හදනවා කියන්නේ නම් බොරුවක්!


Thursday, June 23, 2016

05. හිමි නැති



මම බ්ලොග් ලියන්න දන්නේ නැහැ. දවසේ දේවල් කියවන්න මම වැඩි කැමැත්තක් තියෙන්නේ බ්ලොග් එකේ නෙවෙයි, මගේම කියල හිතෙන අයත් එක්ක. මම ගැජට් එල්ලන්න දන්නෙත් නැහැ. පබ්ලිෂ් කරනකොට නම් වැරද්දක් හොයන්නවත් ආයෙමත් ලියපු එක කියෝන පුරුද්දක් ඇත්තෙත් නැහැ.

මම බ්ලොග්කාරියක් නෙවෙයි.

හිත රිදුනේ ඇයිද කියල ආයෙමත් හිතල බලන්න දෙයක් නැහැ. මම දන්නවා හේතුව.

කමක් නැහැ.


'ඔබ කොතරම් හැඬුවත්
- වැලපුනත්
ඔබට හිමිවන්නේ
හිමිවිය යුතුදේ
පමණයි'


ඒක ඇත්තක්

හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්
Related Posts Plugin for WordPress, Blogger...