Thursday, May 27, 2021

246. සුහදිනියේ - 37 | ක්‍රියාන්විතයක පෙරනිමිති - මධුලිකා අහිමිවන ලකුණු

 කලින් කොටසට


මගේ බැල්ම කෙතරම්ද යත්, මධුලිකා උන්නේ අනෙක්පස දොරට ඇලීගත්වනමය. 
"පාර දිහා බලන්න.. පාර"

මධුලිකා මට කිහිප වරක් කිව්වාය.

මධුලිකා යාන්තමට තොල් ආලේපනයක් තවරා සිටියාය. ඈට ඇති සරාගී දෙතොල් මා නොසන්සුන් කරවමිනි. ඉවසීම! මට නැත්තේ එයමය.

මදින් මද අප ශාලාවට ආසන්න වනවිටම ඈ හා වාදයකට පැටලුනෙමි. මගේ සිත නොරිදා මධුලිකා එය තේරුම් කිරීමට උත්සහ කලද, බොළඳ පෙම්වතෙකුව සිටි මට එය තේරුම් ගැනීමට හැකියාවක් තිබුනේ නැත. නමුත් අවසානයේ ඈ ජයගත්තාය. උත්සවශාලාව අසලදී අප දෙදෙනා වෙන් වෙන්ව පිවිසෙන්නට එකඟ නොවී, මට එකඟ වන්නට සිදුවිය.

"පිස්සු කොල්ලා..."

මධුලිකා එලෙස කියා මා පසුකොට යමින් මගේ උදරයේ කොනක් කොනිත්තා ශාලාව දෙසට යන පියගැටපෙළෙහි නොපෙනී ගියාය. අනපේක්ෂිත ඒ මොහොතේ මම සිටියේ බොරුල්වූ ඔරලෝසුව ලෙහමිනි.

වාහන අංගනයේ විනාඩි කිහිපයක් තාවර වෙමින් සිටි මගේ ගත ගිනිගන්නා සෙයකි. දිදුලන ගින්දරක් වැනි මධුලිකා ශාලාවට පිවිසෙත්ම ඈ නෙතින් ග්‍රහණයට කෙතරම් පිරිමි ළමුන් සිටිනු ඇතිද? කොල්ලන් ගැන මා නොදන්නවාද? 
මම තුල ඇත්තේ අධික ඊර්ෂ්‍යාකාර තරුණයෙකු බව මධුලිකා ඉදිරියේ අනේක වාරයක් ඔප්පුකොට ඇත්තෙමි.

"අඩෝ.... තිකා...!"

මෙවන් මා දැක අතපය වනමින් ආවේ සතුටින් උද්දාම වෙමිනි. ඔහු සමඟ ජීප් රථයෙන් තවත් මුහුණු කිහිපයක් එලියට බටහ.මෙවන්  යනු මගේ සංගීත කවයේ මිතුරෙකි ; මගේ කෙලිලොල්කම් ඉවසමින් මට ඔවුන්ගේ සංගීත කණ්ඩායමට බැඳීමට ආරාධනා කලෙත් ඔහුය.

පියගැටපෙළ නිමවනවාත් සමඟ ඇති විසල් කොරිඩෝවේ අග වම් පැත්තේ විශාල ශාලාවක් අප වෙනුවෙන් පැවති උත්සවයට අලංකාරවත් ලෙස සරසා තිබිණි. අඩ අඳුර අතරින් විදුලි බල්බ වටකොට සැදූ ශාලා පිවිසුම තරු අතරින් අප ඇවිද යන්නාක් මෙන් දනවයි. පිවිසුම ආරම්භයේ සිටි සංවිධායක ළමුන් විසින් ප්‍රවේශපත්‍ර පරික්ෂාකොට මගේ කමිසයේ ලාංජනයක් පළඳුවන ලදී. 
 
මේගන් මා දුටු විගසම 'කෝ? කවුද?' කියා ඇසුවේ සිනාසෙමිනි. 
 
පාසලේ මෙවන් උත්සව වලට මම මගේ තාවකාලික පෙම්වතිය රැගෙන ඒම කිසි චකිතයකින් තොරව සිදුකර ඇති අතර, එලෙස එන්නම කියූ පමණින් සැරසුණු කෙල්ලන් පමණකි මට පෙර සිටියේ. මම සිනාසීමි.

"පස්සේ පස්සේ... පස්සේ පෙන්නන්නම්කො"

Wednesday, May 12, 2021

245. සුහදිනියේ - 36 | මධුලිකා සහ තීක්ෂණ මුහුණට මුහුණ

 මෙතෙක් කතාව


තීක්ෂණ වාසලමුදලි සහ විරංග මීගහතැන්න යනු ජාත්‍යන්තර පාසලකින් මෑතකදී ඉගෙනීම නිමකළ ගජ මිතුරන් දෙදෙනෙකි. ධනවත් සෙල්ලක්කාර චරිතයක් වන තීක්ෂණ ගේ සිත් ගත් ආඩම්බරකාර තරුණියක වන මධුලිකා නමැති තරුණිය , අහම්බෙන් මෙන් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන බව ඔවුන් දකින අතර, ඔවුන් දෙදෙනා එක්ව ඈ ඉන් බේරාගනු ලැබේ. මධුලිකා යනු, කලකට පෙර ලංකාවේ අතිශය ධනවත්, සුප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිට පසුව අතුරුදහන් වූ සංජිවී ජයවර්ධන ගේ ධනස්කන්ධය හිමි එකම දරුවා බවත්, ඔහුගේ දේපල වලට ඇති තණ්හාවෙන් සංජිවී ජයවර්ධනගේ සොයුරාගේ පුතා වන වාසුල ජයවර්ධන ඈ එලෙස පැහැරගත් බවත් අනාවරණය වෙයි.

විශාල බුදලයකට හිමිකම් කියන මධුලිකා , තීක්ෂණ විසින් සඟවා තබාගන්නා අතර, වයස සම්පුර්ණ වන විටදී ඇගෙන් මුදල් ලබාගන්නා අභිප්‍රායෙන් විරංග ක්‍රියාකරන බව තීක්ෂණට දැනගන්නට ලැබෙන මුත් අහම්බෙන් සිදුවන ක්ෂණික තීරණයකින්  ඔවුන් දෙදෙනා හදිසි විවාහයකට එළඹෙති. මධුලිකා කෙරෙහි තීක්ෂණ තුල ප්‍රේමයක් හටගන්නේ මේ අතරතුර මුත් ඔහු එය සඟවා සිටින්නේ මධුලිකාගේ සිත විරංග හා බැඳුනු යම් කුකුසක් සිත තුල පවතින බැවිනි.

මේ අතරතුරදී , ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ  තීක්ෂණ ගේ පියාගේ, දේශපාලන මිතුරෙකුද මධුලිකා සොයනබව දැනගන්නට ලැබේ. කෙසේ වුවද තික්ෂණගේ පියාගේ තරුණ අවධියේ රහසක් ඔහුට මේ අතරතුර අනාවරණය වෙයි.

අනපේක්ෂිත ලෙස මධුලිකාගේ පවුලේ නිතිඥවරයා හමුවන අතර වාසුල සහ සිය පියා අතරට මැදිවන තීක්ෂණ නොයෙකුත් හැලහැප්පීම් මධ්‍යයේ පවා මධුලිකා සඟවා තබාගනී. සිය මවගේ පෙළඹවීම මත තීක්ෂණ වෙනත් තරුණියක හා තාවකාලික ඇසුරක් ඇරඹෙන්නේ අනපේක්ෂිත අයුරිනි. මේ අතර අහම්බයෙන් මෙන් මධුලිකා සිය ප්‍රේමය තීක්ෂණ කෙරෙහි හෙලිකරන්නීය.

නමුත් විරංගගේ හැසිරීම පිළිබඳව කුකුස තීක්ෂණ කෙරෙන් ඉවත් නොවන අතර මධුලිකාගේ ඉදිරි ආරක්ෂාව සහ පියවර කෙසේ වනු ඇතිද?

 

 

 එතැන් සිට...

 



අප දෙදෙනා සිටියේ තුවාන් අයියාගේ ඩිස්පෙන්සරි එකෙහි ඇති ඔහුගේ කුඩා විවේකාගාරය පිවිසුමේ තිබුණු ගාඩ්න් පුටුවලට බරදිගෙන; සිතල දොඩම් පානයක් විඳිමිනි. මගේ දෑත මානයට වඩා ඈතින් හිතාමතාම උන් මධුලිකා දෙස මගේ ඇස් එක එල්ලේ යොමුව තිබෙන්න ඇත. සිතට තරවටු කරන්නට මට වෙනම වෙහෙසක් දරන්නට විය.

 "හ්ම්ම්"

මධුලිකා හෙළුවේ සුසුමක්ද කියා නොසිතුනා නොවේ. ඈ මා සමඟ සාදයට යන්නට අකමැත්තක් පළකරන්නේ ඇයි ? ඇය මා හා ප්‍රේමයෙන් බව අන් කිසිවකුත් දැනගන්නවට අකමැතිදැයි මගේ ඊර්ෂ්‍යාකාර තරුණයා ඇතුලත මහා කලබැගෑනියක් කරනු මට ඇසේ.

මම සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත්තෙමි. 

"ඔයා අඳින්න අර උපන්දිනේ දවසේ ඇඳගෙන හිටපු ඇඳුම.. අර ර-තු-පාට ගවුම.. මම ගෙනාවේ.."

මධුලිකාට සිනාවක් නැගුනේ මගේ ඉංග්‍රීසි නිසා හෝ මගේ වචන මගදී හිරවූ නිසා හෝ  උපන්දිනය ගැන කියූ නිසා හෝ වන්නට නොහැකිය. එදින අප දෙදෙනාගේ මතකයක් නිසා වනු හැකිය. ඒ ක්ෂණයෙන් මමත් ඇයත් එදින රාත්‍රී ආහාරයේදී සිදුවූ මෘදු හැඟීම මොහොතකට මා පසුකොට සුළඟක්ව හමා ගියා සේ දැනුනි. මගේ දෑස වැසී ගියේ ඉබේටමය.

ඈ මට ඈතින් සිටින්නේ නෙතින් මා පොළඹවමිනි.

ඒවා සදාකාලිකව මගේ සිත කුල්මත්කරනු ඇත. මම ඒ මතකයට බෙහෙවින් ඇලුම් කරමි.

Sunday, November 22, 2020

244. රස රහස


 

 

 

දිලි දිලී දිලෙමි මම , නුබ ගැබක එක්තරා
සැලි සැලී සැලෙමි ඉම , සිළුව වී තුන්තරා
වෙලි වෙලී දැවෙන පෙම , බලා උන් ගත නුරා
බැලි බැලී රසය කිම , මිහිරි මී පැණි උරා  

මේඝයක ඉමක වූ බලා සිටිනා වැස්ස
වේදයක ලියා නැත වෙලා සිටිනා පවස
නාදයක පාව ආ මුලා කරනා පිණිස
පාදයක තවම ඇත සලිත කරනා රහස

Sunday, November 1, 2020

243. සුහදිනියේ - 35 | බලාසිටි මොහොතක් වෙත

 

තුවාන් අයියාගේ ඩිස්පැන්සරිය අසල නතර කල වාහනයෙන් බසින අප දෙදෙනා දුටු නැන්දා ඉදිරියට පැමිණියේ අප්‍රමාණ සතුටිනි. මධුලිකා බදා වැළපුණු ඈ මා දෙස බයාදු බැල්මක් හෙළුවාය.

"නැන්දා.... දැන් හොඳයි නේද? මම ඩොක්ට ට කිව්වා අපි එනවා කියලත්..."

"පින් සිද්ද වෙනවා මහත්තයා මාව බේරගත්තට. මෙහෙ මිසීලා හරි කරුණාවෙන් බලාගත්තා මාව"

සේවිකාව කෘතඤපුර්වකව කියා සිටියදී මධුලිකා මගේ වමතේ එල්ලී සේවිකාව අනෙක් අතින් අල්වාගෙන සිටීම නෙත ගැටුණු බව මට පෙනුනි. මගේ ඒ අත මධුලිකාගේ ඉන වටා ගොස් ඇගේ බඳ ග්‍රහණය කරද්දීම ඈ මගේ අත කෙනිත්තුවාය. සියුම් සතුටක් සමඟ අල්පෙනිති තුඩක තරම් වන ලැජ්ජාවක් දැනුනි. මගේ සිත මහා නොසන්ඩාල බවින් යුතුය. මා සතු ඈ මෙතරම් දුරින් මා තබාගෙන සිටින්නේ කෙලෙසද?

ඒ කෙසේ වෙතත්, මධුලිකාගේ දෑස් මත ඇති සතුට ඈ තුල ඇති පොපියන තරුණකමට ආභරණයක් වැන්න.

"ලෙඩ නොවුනෝත් තමයි පුදුමේ! නැන්දා ලෙඩ උනේ මෙයා උස්සගෙන ආපු විදියටනේ "

මගෙත්ම මදක් ඈත්ව, ධුලිකා සිනහසෙමින් කීවාය. 

 

Thursday, July 23, 2020

242. අපුර්ණව අප දෙදෙන





සියොත් වෙසක් ගත්
ආගන්තුකයෙකි ඔබ...



ආගන්තුකය නුඹ,
සැඟව සිටිනා තැනක සිට - මා
අමතනු මැනවි වරක් හෝ

කැබලි වී සිටිමි මම ,
බිඳී ඇත නුඹද
කොහේ හෝ මා මෙන්ම...
අමතනු මැනවි මා
වරක් හෝ ඔතැන සිට!

මෘදු පවන සැමදිනම
හමා යන මා වටා,
විමසාවි මේ ලෙසම -
චන්ද්‍ර දෙව්ලියක් වන්  - ඈ කොහිද ?
දිලි දිලී - ඇවිලයන
නුඹේ ප්‍රාණවාතය නොලද
මම කෙතෙක් අපුර්ණද?
මම නොලද
නුඹ කෙතෙක් අපුර්ණද ?

නුඹ නොමැත
මුත් නුඹේ සිනහ ඇත..
වත නොමැත
මුත් නුඹ පිය නගන හඬ ඇත...
කොහිඳ නුඹ ?
ඉලක්කය කොතැනකද ?
අපුර්ණව අප දෙදෙන
කුමකටද ජීවත්ව?







p.s: ඔබ සොයමින් සිටින්නේ වරක් හෝ ජිවිතයේ අත්වින්ද හැඟීමක් නම්.... මේ ගීතය පද අරුත් වෙන්කරන්න ඕනේ නැහැ මම හිතන්නේ.

මේ ගීතය අඩංගු වෙන්නේ 'Dil Se' කියන සිනමා පටයේ. පළවෙනියටම මේක බලපු දවසෙම කටපාඩම් වෙච්ච ගීතය , තේරුම ගැන හොයන්න පෙළඹෙව්වා. ගීතයක් හරියටම එල්ලය බලලා හදවතටම විදින්න පුළුවන් වෙන්නේ ඒකට දෙස සංගීතයෙන් මම හිතන්නේ.

තේරුම් නොදැනත් මේ සින්දුවේ තියෙන ඒ වේදනාව මාව පෑරුව. එහෙම නොවෙන්නත් පුළුවන්.

සින්දුව අහන්න/බලන්න






Tuesday, July 21, 2020

241. සුහදිනියේ - 34 | ප්‍රේමය කෙතරම් ප්‍රේමනියද ? මධුලිකා අනාගතය සැලසුම් කරමින්



එකවරම කුමක් කියන්නදැයි මට සිතාගත නොහැකි විය. අම්මාගේ ඉව පිළිබඳව මට අමුතුවෙන් කිවයුතු නොවේ. පිළිතුර පමා වන තරමට අවාසිය මා කෙරෙහි වන බව මම දනිමි.

මධුලිකා දල්වාගත් දෑසින් යුතුව මා දෙස තත්පර කිහිපයක් බලාසිට, මට පහසුවක් වීම පිණිස විශාල ජනේලය දෙසට ගමන් කළාය. මම ඈ ගැන තාත්තාට නොකී දුක ඈ තුල අලුත්වනු දැකීමට මම අකමැති වීමි.

නමුත් අම්මා වෙතින් ඉටුකර ගතයුතු පොරොන්දුවක් තාත්තා මා වෙත තැබුවේ කලින් දිනයේය. එයත් මගේ සිතට නැගුනු බැවින් මේ මොහොතේ අම්මා දිනාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මගේ සිත මා තුල කලබලයක් කරන්නට විය.

"... නෑ අම්මා.. මම මේ එන ගමන්. මම මේ විරංග එක්ක පොඩි ගමනක් දාගත්ත නිසා.."

අම්මාගේ හඬ එවර ශෝකාකුල විය.

"ලොකූ.. "

"ඩඩා නැද්ද?"

මම උගුරේ සිරවූ හතරැස් පෙට්ටියක් මෙන් වචන ටික පිටතට ගත්තෙමි.

"මට ලොකූ එක්ක කතාවක් තියෙනවා... ඩඩාට මම කිව්වා"

මගේ පපුව මහා දුම්රියක මෙන් හූ හඬක් නංවමින් දෙදරා හැලෙන්නට විය. දුරකතනයෙන් කතාකිරීම අතිශය අනතුරුදායකය.

"ම.. මම එකොළහ විතර වෙයි එනකොට. "

"කමක් නැහැ... කියට හරි ඔයා එනකල් ඩඩා මම තියාගන්නම්කො. "

මා මර උගුලකට හසුවී ඇත. අම්මා කුමකට හෝ අර අදින්නීය. ඒ නොවේ නම් ඈ මෙතරම් සැලකිල්ලෙන් මා නිවසට ගෙන්වාගන්නට දතකන්නේ නැත. මැරයින්ගේ ඉව වැටුණු මෙම මහල් නිවාසයේ ඈ තනිවම තබන්නට මගේ කිසිදු කැමැත්තක් නැත.

"යමු"

ඇමතුම විසන්ධි කල මම මධුලිකා දෙස නොබලා කීවෙමි. මගේ මානසික තත්වයේ අසමතුලිතබව ඇයට වැටහෙන්නට ඇත.

මධුලිකා මා දෙස මෘදු බැල්මක් හෙළුවාය. ඈ කෙරෙහි මා සිත තුල ඇති ප්‍රේමය හකුලන ලද වායු බැලුමක් සේ පිම්බි විධාරණය වනු මට වැලැක්විය නොහැකිය. කොයි මොහොතක හෝ එය විසින් මා එසවී ගොස් තවදුරටත් මට මා පාලනය කල නොහැකි පමණට බලවත් වනු ඇත.

"මම හිතුවේ..."

"අම්මා කතා කලේ... මම ගෙදරත් යන්න ඕනේ.. නැතිනම් බලයි මම කොහෙද කියල"

මම ඈ කියන්නට ගිය යමක් ගැන නොසිතා කියවන්නට වීමි. මධුලිකා 'හිකිස්' කා සිනාසෙනවිට මා තුල විදුරු බුබුලක් බිඳී ගියාක් වැනි තිගැස්මක් ඇති විය. මම අන්දමන්දව බලා සිටියා වන්නට ඇත.

"පිස්සා... මම කියන්න ගියේ ඒක නෙවෙයි.. මැටි මෝලෙක් තමුසේ නම්"

මම ඇහි බැම හකුළුවා බොරු අමනාපයක් පෑවෙමි.

"පිස්සා? මැටි මෝලා??? මම කිව්වා නම් එහෙම! හුහ්. එදා මෝඩි කියන්න ගිහින් ජීප් එකෙන් පැන්නා... අද පනී මෙතන බැල්කනි එකෙන්...."

මම ඇගේ හිසට ටොක්කක් අනින්නට මෙන් ගොස් අත තබා බොරුවට තල්ලු කලෙමි. මධුලිකා 'හිකි හිකි' ගාමින් සිනාසීම මෙතන රැඳීමට මා සිත දෙවයි. නමුත් හදවත නොව බුද්ධියට මේ මොහොත වෙන් කළයුතුව ඇත. මගේ හැඟීම් මැඩීම මෙතරම්ම දියුණු යයි මම කවරදාකවත් දැනගෙන සිටියේ නම් නැත. ඊටත් මේ විලවුන් සුවඳ ඉතාම විෂ සහිතය.

".. යමු... අරහේ පරක්කු උනොත් උගෙන් කුණු කතා අහන්න වෙන්නේ"

මම මධුලිකා සමඟ සෝපානය වෙත ඇවිද ආවෙමි. මධුලිකා මගේ බාහුවේ එල්ලුනේ නිරායාසයෙනි. එය පපුව සිසාරා දිවෙන ස්නායුවක මෘදු සෘන්ගාරයක් වැන්න! පාලනය කරනලද මගේ සිතුවිලි විසින් සෝපානය පැමිණෙනතුරු උන් මගේ දකුණු පය පොලව මත තට්ටු කරමිනි. 

Thursday, July 16, 2020

240. සුහදිනියේ - 33 | එකිනෙක වෙනස් ගැටළු කිහිපයකට මැදිව - තීක්ෂණ ගේ තීරණය කුමක් වෙයිද?

කලින් කොටසට



මේ වනවිට අප දෙදෙනා කොළඹට ආසන්න නමුත් ප්‍රධාන මාර්ගයෙන් බැහැර මුහුද අද්දර වාහනය නවත්වාගෙන සිටියෙමු. ජීප් රථය නතර කරනවාත් සමඟ අවදි වූ මධුලිකාගෙන් මම සිදුවීම් පෙළ අමුනා ගන්නට තැනින් තැන ප්‍රවේශමෙන් විමසමින් සිටියෙමි.

ඇගේ අපහසුවට වඩා මගේ පහසුව තකා මම ඉදිරි ආසනයේ සිට ඈ දෙසට හැරී , මුහුදට මුහුණලා සිටි අතර, මධුලිකා පසුපස ආසනයේ මුල්ලකට වී කුඩා සා පැටවියක සේ ගුලිවී උන්නාය.

"....   මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ තීක්ෂණ..."

මධුලිකා මා දෙස බැලුවේ තැතිගත් මුව පැටියෙකුගේ දෑසකිනි. එහි මා කෙරෙහි ඇති බිය; තමන් කල වරදේ පසුතැවිල්ල යන දෙකම තිබෙන්නට ඇත. නමුත් මගේ පිළිතුර ඈ වෙතින් තවමත් පිටතට පැමිණියේ නැත.

"එතකොට.. ඔයා කියන්නේ විරංගගේ ෆෝන් එකට ආන්සර් කලේ විරංගගේ බාප්පා... ඔයා ඇහුවේ මගේ නම්බර් එක විතරයි කියලා..."

මධුලිකා ගොත ගසනු මට දැනුනු බැවින් මම මගේ දැඩි බැල්මෙන් ඈ මුදවා මුහුද දෙසට දෑස යොමු කලෙමි.

"... මම හිතන්නේ මම ගත්ත ගමන් විරංග කියලා හිතාගෙන කිව්වා මම අතරමං වෙලා කියල"

මධුලිකාගේ හඬ වෙව්ලයි. ඒ මන්ද කියා මම දනිමි.

සිදුවී ඇති දේ පැහැදිලිය.
Related Posts Plugin for WordPress, Blogger...