විසිතුරු කොල

Monday, December 18, 2017

163. උදුල් | Forever young





මේ සොඳුරු නැවතුම
අඳුර , හාදුද සමගින
ප්‍රේමය අඩු නැතුව උතුරන....

උදුල සඳවත පවා
විශ්මයෙන් අප දිහා බලාගෙන 
ඉරිසියාවට උනත් සිනාසෙන....


තුමුල නිලබර සසොබන
රිවි කිරන ලෙස දිදුලන;
සොමි කිරන මා නහවන;
බදා වැළඳව ඉමි මම....
 
 
 
~~~මන්ජි  

Wednesday, December 13, 2017

162. දඩයම සහ .... | predator




නිමිත්ත: දඩයක්කරුවෙකු නොවුවද තමන් දඩයක්කරුවෙකු වීම මැනවයි සිතූ අයෙක් අහසට දුනු දියෙන් අදිනලද සිය එකම හීය මුදාහරී.

පොතේ ගුරු:
"බලන්න මිත්‍රවරුනි ඔහුගෙන් අසා.. ඔහුගේ ඉලක්කය කුමක්දැයි"

ප්‍රේක්ෂකයෝ:
"අසිරිමත් පුරුෂය... ඔබ කුමන ආකාරයක දඩයක්කරුවෙක්ද? ඔබේ ඉලක්කය කුමක් වීද ?"

Friday, December 1, 2017

161. ඔබ අසල - ඇය | Not without her







ඉදින් ඇය ,
නුඹ අසල හිඳ
විටෙක ඔබ අත
ඉල්වනු ඇත....
විටෙක ඔබ උරතල
ලබාගනු ඇත....
විටෙක ඔබ මුදු
බැලුම් විඳිනු ඇත....

පහුරු ගානා හදවතින්
සිනාසෙමි මම;

මගේ අබලන් හදවතින්
පිරිමදිමි මම;

අයිතියද ,
අයිති කරුවාද ,
මුවාකර ඇති
තිරෙන් පසුපස
හඬාවැටෙමින්!
හිනා තලමින්!!


~~~~ මන්ජි

Sunday, November 19, 2017

160. ඉර මැදියම | burning




බලා සිටියෙමි
අදුර අතරින් ,
පිටමන්ව යන නුඹ
පහුරු ගාගෙන මගේ හිත,
වරක්වත් හැරී නොබලා
බලෙන් ඉල්වාගත්
හිස මත හාදුවද  - තුරුළුකොට...

ආලයද , ප්‍රේමයද
හිම කිරම සේ දියව යන
මේ ඉර මැදියම,
සඳ පායන සිලිලාරට
හැමදාම දෙවනිවග
නුඹට වැටහෙනු
ඇත!



Monday, November 13, 2017

159. මැහුම් | saw through




බුමුතුරුණු වල,
මල්කම් කල සයන වල,
කුඩා - ලොකු මැස්මෙන්
මසමි ඉරුණු තැන්
එකින් එක....


ඒ මැහුම් අතර
සමහර තැන්වල
නොමැසෙන දාරවල
පැටලී වැටෙනු ඇත
ආදරය....




Tuesday, November 7, 2017

158. නියමිතව || you are the one






ඇට්ටරකාර මට
ඉන්න බැරි වෙලාවට,
බොරුවට උනත් තරඟෙට
දෙන්නාම බැනගන්නේ 

                  - ඕසේට..

ආයෙමත් ටික වෙලාවකින්
ආදරේද අහගෙන ,
පුරුපුරු ගගා කැරකෙමින්
අහුලන්නෙම හොරගල්

                   - දෙන්නාම...


ජාඩියයි මුඩියයි වගේ
එකම දේ කියමින් - හිනාවෙන
දන්නේ නැහැනේ හේතුව
නියමිත වෙලාවට අපි 

                  - හමුවුන  ?

  

~~~ මන්ජි 

Friday, November 3, 2017

157. බතී | Walked away





කවදා හරි දවසක
නුඹ එනු ඇත මගේ
වරිච්චි නිවසට..

තිබෙන එකම පුටු කබලට
බුමුතුරුණු නැති සාලෙට
කැලැන්ඩරේ පමණක් ඇති පැති බිත්තියට
මුවා වි

සිටින

ඇය

ඔබට

හමුවනු ඇත.

දැලි වළන් වල
පාටැති චීත්තය අග
තෙත අත් පිහන

ඇය-
ඔබ-

හමුවනු ඇත!!


Wednesday, November 1, 2017

156. රාක්ක | book thief






කවියට ලොබ මිසක
කවියකට කුමට ලෝබ කොට?

අයිතිකර ගනු නොහැක
කියා හිතෙනා පොත්ම කන්දක?

Friday, October 27, 2017

155. සිතුම් | Teenage love


 
 
 
 
 
කොල්ලෝ උඹට වැටහෙනවද 
කෙල්ලෙක් ආදරේ විඳින මුනිවත ?
 

උණුහුමයි හැබෑවට ඒ සිතුමද 
දන්නේ ඉතින් මොන ජගතද?
 
 
~~~~ මන්ජි 

Tuesday, October 24, 2017

154. සමහර මතක | you'll see







සමහර ගස්වල
මුදුන් මුල කැපුවද ,
කේෂක මුල් -
කෝෂිකා තුල
තිබිය හැක!





Sunday, October 22, 2017

153. උඹ නම් යක්ස කෙල්ලෙක්! | Sometimes our strengths lie beneath the surface




ඉලක්කම් , අකුරු අමුණන
පාඩම , එක දිගට හැල්මේ දුවන
හැමෝම අතරේ...
උඹත් මම වගේ වෙට්ටු දාගෙන
උන්නා බලාගෙන...
හිනාවක්‌ ඇමිනුන
හීනයක් හිත ඇතුලේම ගුලිකරගෙන.....

පාඩමක් නිසා ජිවිතේ ලැබුණ
ගලවන්න හිතාගෙන විපතින,
උන්නා තමයි අප්පයි , මවයි
මග අහුරගෙන.....

උඹ නම් යක්ස කෙල්ලෙක්
මුහුදට පැනපු පිස්සු කෙල්ලෙක්!
රැපුන්සල්ට වඩා නිර්භීත කෙල්ලෙක්..!

එවපන් මෝනා කෙල්ල
මගේ තෙප්පම
මම දැන් ඉන්න වෙරළට,


හදවත ගලවාලු
ඇගේ ගැලවුම දෙන්නට!


Inspired by : Moana

Friday, October 20, 2017

152. පා සුලැඟිල්ල | imagination



පා සුළඟිල්ලෙන් ඇරඹී
සිරුරේ දුවන විදුලිය
නොහැකිය බලා සිටුමට
නුඹ ඔය කරන සෙල්ලම...

නෙතගින් , යටැස් බැල්මට
නතුවෙමි වෙලෙමි සියොළඟ,
සුවඳින් සුසුම් නතරව
හිඳිනෙමි මෙලෙස තුරුළුව

දුම්රියය ,
වෙරළය,
දෙදෙනය  - අප !!


Inspired by : The picture

~~~ මන්ජි

Wednesday, October 18, 2017

151. සතුව | being loved by




කන්පෙති පුරා තැවරෙන
නුඹ හාදුවේ උණුසුම
දේදුනු පැහැති සුරුවම
රළු
නුඹ අතැ'ඟිලි වලට මැදිවුන

විහඟක විසින් මුසුකල
ගීපද දෙතොල් උදුරන
මීවිත නොවේ මොහොතද
ඇවිලෙමි - නිවෙමි එකවර 



~~~ මන්ජි

Monday, October 16, 2017

149. නුග සෙවන ලෙද | Thank You For Loving Me





අතින් අත බැඳ
ඇතිද නැතුවද
හදින් හදවත
පරිමදින සඳ

රිදුම් ඉවසන
දෑස වැසෙමින
තුරුල්වන උර
පුරා ගුලිවන

උතුම් හිමිගේ
පතිනි වර ලැබ
හිඳිමි කිරුලව

කුමට මට අන් 
සිලිලාර රුක

වෙලෙමි - පවතිමි
ඔබේ පෙම තුල!!





~~~ මන්ජි

Thursday, October 12, 2017

148. ගිමන | sinking





නුඹ නොමැති මොහොත
අවකාශයම හිස්වන,

මගේ අතැඟිලි වෙව්ලා
ඔබේ මහපට ඇඟිල්ලම - සොයන

පුළුල් උරහිස් දකින හැමවිට
ඔබේ උණුහුම සිහිවන

ආදර - උණුහුම් - සරාගී
ඔබම මිස
වෙන කෙනෙකුට අයත් - නොමවන


මට

දැන්

හොඳටම

වෙහෙසය !


~~~මන්ජි

Wednesday, October 11, 2017

147. මත් | flying over and above







වයින් විදුරුවක
රැඳුනු මීවිත - දෙතොල,
සුසුමින්ම මුසපත්කර














වැළඳ ගන්නෙමි
ඔබ පු                        ළු                     ල්
- දෙවො'වුර  අතර


Dedication : To whom it may refers

~~~ මන්ජි 

Tuesday, October 3, 2017

146. දැන් ඇති | get prepared





හිනා උනා ඇති !
දැන් දත් මැදිය යුතුය..
හිස පවා පීරා
කොණ්ඩය ගෙතිය යුතුය..
අළුතෙන්ම සිතිය යුතුය

ඔබට ආදරය කළ යුතුය


145. අවපස | left-out




කොයිතරම් සතුටුද,
මටම කියා
දුකක් ඇති එක  !



Sunday, October 1, 2017

144. දැදුරු | It must have been




නාමල් උඹ
නියම පොරක්
සත්‍ය පෙම්වතෙක්!
වසබීපු පෙම්වතී ගැන
කියපු සින්දු වලට
ඇඩුනා අපිට....
ඊට පස්සේ රුවන්තිව
බැන්ද එක - අවුලක් නෑ
වෙන මක් කරන්නද උඹ?

දසුන් උඹ
පට්ටම මෝඩයෙක් නෙව ,
ශලනි උඹ නම්
යක්සනියක් - පවුලක් කඩපු,
දැන් ඉතින්
උඹත් ඒ පවට
කරගැසිය යුතු
අසික්කිතකම් වලට
දඬුවම් විඳිය යුතු !



Thursday, September 28, 2017

143. ශාකුන්තලය | Just been forgotten






වනරොදක බැඳී
ගසට වැල සේ වෙලී
තුඟු සියපතින් - (සු)සැදි
තඹර පෙති - නුඹ සිඹි !

ඩැහැගෙන ගියෙද කොහි
මසුන්  - මා අත දැරූ මුදුවද
දුෂ්මන්ත නුඹමද?
අමතකව ගිය
සකුන්තල මා නොවද?


Tuesday, September 26, 2017

142. ජැක් ද රිපර් || serial killing





ආදර මුල්ලක
ෂීශා දුමක වෙලෙන
නුඹේ රියාල් හදවත...

දොරගුළු කඩා - දිනයක
රැගෙන ගිය
ඒ පාට වැලි ඇති
බෝතලය ,
තබා මේසය මත...
ගල්කටස් තුවක්කුව
මානමින්
සොයන්නේ
අළුත් ගොදුරද?



Monday, September 25, 2017

141. සුළං කපොල්ලේ - 3


මෙතෙක් කතාව 

බිත්තිය දිගේ රූට ගෙන ඇවිත් මට ඉබේටම එතන බිම ඉන්දුනේ තව දුරටත් මට මගේ ශක්තියක් නැහැ වගේ දැනුන හින්දා. ආයෙමත් ජෙහාන් දොරට තට්ටු කරනවා.

ඒ හඬේ කිසිම කලබලයක්, දුකක් හෝ වෙන මොනයම්ම දෙයක්වත් තිබ්බේ නැහැ වගේ. දිගටම මගේ නම කියන ගමන් දොර අරින්න කියලා විතරයි කිව්වේ. ටිකකින් ඒ සද්දේ ආවේ දොරේ යට හරියෙන්. හරියටම දොර ළඟ බිම ඉඳගෙන හිටපු මගේ කන ගාවින්. දනිස් දෙක නවලා අත්දෙකට දනිස් තදකරගෙන මම උන්න විදියට මට හිතුනා ඔහුත් ඒ විදියටම එතැන බිම වාඩිවෙලාදෝ කියලා.

"මන්ජි... ඔයා එනකල් මමත් මෙතැන ඉන්නවා... "

"..........."

"එළියට එන්න ළමයෝ... ඔන්න මම දන්නේ නැහැ මෙතැන හදිසි අවශ්‍යතාවයකට වැසිකිලියට යන්න එන කෙනෙක් ආවොත් එහෙම..."

"....................."


"ඔයාව දොර කඩලා හරි එළියට ගනීවි.. දන්නවද?"

"..................."

"මේ බලන්නකෝ මිස්.. මෙයා දැන් පැයකටත් වඩා ඇතුලේ... "

".........."

"බලන්නකෝ මොකද්ද කරන්නේ කියා.. අපිට බලන්න බැහැනේ ඒවා නීතිවිරෝධියි..."

Sunday, September 24, 2017

140. සුළං කපොල්ලේ - 2


මෙතෙක් කතාව 


ගුවන්යානාව පැමිණි බවට සහ අප සියලු දෙනාම පිළිගැනීමට සුදානම් බව ඇහුනු නිවේදනය මට දැනුනේ හීනයක් කතාකරනවා වගේ. එහෙනම් දැන් මම යන්නත් ඕනේ... ඉබේම වැටුන සුසුම මම වලක්වන්න ගියේ නැහැ..

ටික වෙලාවකින් මුලින්ම දුවන්න පොරකන සෙනඟ යන්නට ඇරලා මම උදාසීන බවකින් නැගිට්ටට හිත කෑගහන්න ගත්තා.

සමහර වෙලාවට මේ අන්තිම අවස්තාව වෙන්නත් ඇති!

මගේ හිත ඇත්තටම තමන් එක්ක කර කර හිටපු අරගලය එකපාරටම කපපු ලණුවකින් වගේ ඒ මොහොතේ නිදහස් කරනකොටම මම වටපිට බැලුවා.

අඩුම තරමේ අන්තිම වතාවට?? 

අන්තිම වතාව කියලා නොහිතා අපි එකිනෙකා දැකපු ඒ අන්තිම වතාවට පස්සේ, කවුද මේ වගේ හමුවීමක් හිතුවේ? මේ නම් අන්තිම වතාවම වෙන්න ඇති.. එහෙමයි මට හිතුනේ. ඉතින් මම පුළුවන් උපරිමේට ඔලුව කරකවලා, ඇඟිලි තුඩු වලින් ඉස්සිලා බැලුවත්... ඇත්තටම මම ඒ වෙනකොට 'ඇත්තම' අන්තිම වතාව පහුකරලා කියලා මට තේරුනා.

Tuesday, September 19, 2017

139. සුළං කපොල්ලේ - 1



මම හිටියේ කලබලෙන්....

මහා කාලගෝට්ටියක් එක්ක , ගංවතුරට අහුවෙච්ච කොටයක් වගේ වෙහෙස වෙලා , හෝරා එකහමාරක් කිසිම කතාවක් නැතුව  අධිවේගී මාර්ගයේ ආව උනත් මම හිටියේ මහා කලබලෙන්.

කිලෝ ගාන හරියටම හරිදැයි පස් හය වතාවක් කිරලා, අලුතෙන්ම ගෙනාපු ඉබ්බා තදකරපු මගේ ගමන් මල්ල හැල්මේ තල්ලු කරගෙන මම ඇතුල්වීමේ පර්යන්තයේ තිබ්බ දොරෙන් ඇතුලට පැන්නේ මේ දැන් පොලිසියෙන් පන්නනකොට දුවන කසිප්පු මුදලාලි කෙනෙක් වගේ වෙන්න ඕනේ.

"..... මන්ජි?"

දොරටුව ගාවදි එකපාරටම මතක් වෙලා, දාපු දිහාවක් මතකයක් නැතුව ගුවන් ගමන් බලපත්‍රය එක්ක දාපු ටිකට්පත් හොයන්නට අතේ තිබ්බ අත්බෑගයේ ඇතුලට ඔලුව ඔබාගත්ත මම ඒ ඇමතුමෙන් ඇත්තටම ගැස්සිලා ගියා.

විදුලි දුම්රියකින් එකපාරටම එලියට විසි උනා වගේ ඒ ඇමතුම මාව අවුරුදු විස්සකට එහාට තල්ලු කළා. මට තේරුනා.... ඔව්... ඒ නිසයි මට ඔලුව උස්සගන්න බැරි උනේ...

ඒත් මම දැක්කා සපත්තු දෙකක්.... හැමදාමත් වගේ ඒ සපත්තු 'අඩිඩාස්' තමයි!

දෙය්යනේ!!

Monday, September 18, 2017

138. පොතක සිරවූ || locked inside the book




උඹ
කාලි දෙවඟනද ,
අපර්ණා?

සුමට කිරිමැට්ටෙන්
නිමවා බුහුටිවට,
හදවත ඇති තැනම
තිරුවාන කැටයක් තබා
- තදකොට !

පවුඩර් පෙට්ටියක බහා
තබාගතයුතු - නොවෙද
අපර්ණා උඹ??

Thursday, September 14, 2017

136. සති තුනයි | Just passed three weeks





කාලයද දීපයද නොබලා
සාක්ෂි කැඳවන්නට
සෙනෙහෙ කොළ නොමැති
ආදර අවනඩුව අසමි -
නඩුකාර හාමුදුරුවනේ...

සැත්කම් අඬු දැමුවද
හසුනොවුණු - හදවත බැඳි
රැහැන් , කෝෂිකා පසාරුව
වෙදදුරුට සෙවීමට නොහැකිය
බැවින් - වෙද වාර්තා
නොගෙනාවෙමි මම !

නොතීසිය ආ විගස
මුත්‍රා සාම්පලයක බහා,
නැතිය කිසි සැනසිල්ල.....
කුලය , මව නොසිතාම
ලැබුණු තැන ඉන්නටම
අවසරද..

Monday, September 11, 2017

135. සුහදිනියේ - 04 | රහස් පරීක්ෂක වැඩක්

කලින් කොටසට 



 නිල්පාට වෑන් එක පිටිපස්සෙන් මම ගියේ සෑහෙන පරතරයක් තියාගෙන. විරංග බයේ මැරෙන්න හැදුවත් වෑන් එක මම හිතුව තරම් වේගයෙන් ගියේ නැති නිසා මම නිකමට වගේ එක පාරක් ඉස්සර කරලා බැලුවා. කලබලයක් හරි වෙනත් අමුත්තක් හරි පෙනෙන්න තිබ්බේ නැහැ ඩ්‍රයිවර්ගේ උනත්.

"මචං.. සිරාවටම මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියල. ඒකිව බලෙන් නේද දාගත්තේ?"

විරංග එහෙම ඇහුවේ දහවෙනි වතාවට වෙන්න ඕනේ. මටත් හිතුනේ ඕකමයි. ඒ උනාට කෙල්ල වෑන් එකට බලෙන් දාගත්ත බව නම් දෙන්නම දැක්කා.

"පොලිසියට කියමුද?"

"පොඩ්ඩක් හිටපන්"

විරංග උගේ ජංගම දුරකථනය අරගෙන ඇමතුමක් ගත්තා.

".......... අම්මා... ඔව් ඔව්.. මම මේ යන ගමන්... තිබුනේ නැහැනේ. කඩේ වහලා...ඔව්.. මම යනවා අනිත් කඩෙන් ගන්න... කියන්න බැහැ සෙනග හිටියොත් වෙලා යයි. කෝකටත් මාමට කියන්න ඔයාලව දාන්න කියලා.. හරි හරි.. බායි "

විරංග එහෙම ඇමතුමක් ගත්තේ ඇයි කියලා මට ඒ වෙලාවේ තේරුනේ නැහැ. කටිනෙට බඩු ගන්න ආපු අපි දැන් මේ කෙල්ලෙක් එක්ක යන වෑන් එකක් ෆලෝ කරන බවත් අපේ ගැලවිජ්ජාවට කිසිම දෙයක් නැති බවත් මට කල්පනා උනේ ඊටත් පස්සේ.

මගේ ඔලුව පිරිලා තිබ්බේ මධුලිකාට මේ වෙන දේ විතරයි.

" මචං.. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. එක්කෝ කෙල්ල මුන්ව කලින් දන්නවා. ඒ උනාට යන්න අකමැතියි. නැතිනම් මේ කෙල්ල මුන්ව දන්නේ නැහැ, කොටිම්ම මේක කිඩ්නැප් සීන් එකක්....."

"...........?"

" පලවෙනි කාරනාව නම්, අපි පොලිසියට කියන්න ඕනේ නැහැ. ඒකි බලාගනිවී. ඒ උනාට... කාරනාව දෙවැනි එක නම්... අපි පොලිසියට කියන්න ඕනේ... මේ කොයි හරියේද බන්?"

Tuesday, September 5, 2017

134. අතරතුර - පසුව || after meanwhile






උඩු ගුවන් තලයක
පැරෂුට් නැතුව
බිම වැටෙන අතරතුර....

මේ දැනෙන හිස්කම
ඔබේ සෝඩා බෝතල්
ආදරයට පසුව...
මීවිතේ මතට ගැලපුණු
බයිට් එක
වීමෙන් පසුව....



Sunday, September 3, 2017

133. සුහදිනියේ - 03 | ලුහුබැඳීමක්

කලින් කොටසට 


අම්මගේ බැල්මට මාව කරවෙලා ගියත් සද්දයක් නැතුව මෝඩ හිනාවක් දාගෙන මම බලාගෙන හිටියා. ඩේසි ආන්ටිත් එක්ක නම් මට ඌරු ජුවල් නැග්ගේ.

"නෑ මම කියන්නේ සුභා.... ළමයින්ට අපි ගයිඩන්ස් දුන්නේ නැත්තම් පස්සට තමයි තේරෙන්නේ අපරාදේ කියලා. මම එන්රෝල් කළා අපේ එකාව එදාම. දැන් ලෙක්චර්ස් යන්න ඕනේ, වෙන පිස්සු බැහැ"

මම පොලී මුදලාලිට අහුවෙච්ච ණයකාරයෙක් වගේ ඩිංගක් විතර හුස්මත් ඉහළට අල්ලාගෙන හිටියේ මේ ටිකකට කලින් මගේ කටින් වැටිච්ච වචනෙ ආයෙමත් කටේ දාගන්න බැරිකමට.

"ලොකූ කැමතියි ඉස්සර ඉඳන් බිස්නස් වලට. අපේ මහත්තය උනත් කැමතියි මෙයා බිස්නස් බලනවට. පොඩී තමයි අකමැත්තෙ ඉන්නේ. තාම සතියනේ එග්සෑම් ඉවර වෙලා. තව ටිකක් ඔහේ උන්නාවේ"

Friday, September 1, 2017

132. කෙටි කවි වලට - ලුණු කවි






ලුණු කැවුණු වතුරක්
ගැම්මක් ගනී තව වරක්...

වෙරළක්
වෙරළ'ත දුරින් සිප්පියක්!


p.s.

ඔව් ඉතින් එයා තමයි. මෙන්න මෙතන තමයි මුල්ම කවිය. ඔන්න මම දන්නේ නැහැ මම ලිව්වේ උත්තරයක් විතරයි 

Sunday, August 20, 2017

131. සුහදිනියේ - 02 | විරංග ඔට්ටුවක් අල්ලයි

කලින් කොටසට 




"අනේ මොනා.......................ද තීක්ෂණ......... යමුකෝ"

චාපා නලවලා කියනකොට ඇත්තටම මට නැගුනේ කෝපයක්.

"චඃ.... දැන් මම එකපාරක් කිව්වනේ.. එන්න බෑ එන්න බෑ.."

අතේ එල්ලෙනවට මම කැමති නැහැ කියල දැනගෙනත් මොන කෙහෙල්ගෙඩියකට එල්ලෙන්න එනවද මන්ද.

".. විරංග එක්ක යන්න.. මම ඌට කියන්නම්"

"හුහ්... විරංග එක්ක යන්න ඕනේ නම් ඔයාට එන්න කියනවද? මොකද්ද අනේ එන්න එන්නම ගොඩේ වෙන්න හදන්නේ? ක්ලබ් එන්නත් බෑලු.. ගියපාර ස්පා යන්න ආවෙත් නැහැ අපිත් එක්ක"

"ගියපාර විතරක් නෙවෙයි හැමපාරම ඔයත් එක්ක මම ස්පා ගිහින් නැහැනේ. මට අද හවස ස්පෝර්ට්ස් ක්ලබ් එකට යන්න තියෙනවා."

මම ශීතකරණය ඇරලා දොඩම් පානය අතට ගන්න ගමන් කිව්වා.

"ආ... හරි ෂෝයි.... මම එන්නම් ඔයා ප්ලේ කරනවා බලන්න."

චාපා මගේ උරහිසට බරවෙනකොට මම අකමැත්තෙන් උනත් සද්දයක් නැතුව හිටියා. මල වදයක්නෙ!

"දැන් 'හයි ටී' යනවා කිව්වේ?"

දොඩම් යුෂ උගුරක් බීපු මම චාපා දිහා බැලුවේ සමච්චලයට වගේ.

"ඉතින් මම ඉන්නම්"

ලේයර් කරපු කොණ්ඩය පැත්තකට ඇලකරලා චාපා කිව්වේ හිනා වෙලා. චාපා ලස්සනයි, එකපාරටම මට හිතුන. ජංගම දුරකථනය නාද උනේ එතකොටමයි.

Thursday, August 17, 2017

130. මලට නොවේ



ඒ ඇස් ඇත්තටම තිබ්බේ මගේ ගාව නෙවෙයි... මගේ කොට සායේ යටම කොටසේ තැනක ඩිංගක් විතර පැටලිලා තිබුණු බැල්ම ඉවත්වෙලා ගිහින් රැඳිලා තිබ්බේ නිකම්ම නිකම් අවකාශයේ.

"මට බැහැ"

වමතින් යන්තමට තියෙන රැවුල් කොට අතගාන ගමන් ඔහු කිව්වේ විධානයකින් වගේ නෙවෙයි. පොඩ්ඩක් විතර අමුතු විනෝදකාමී හඬකින්.

"මොකද බැරි?"

මම එහෙම ඇහුවම ඔහු මුලින්ම කලේ ආපහු හැරිලා අපිට මීටර් සීයක් විතර දුරින් හොරගල් අහුලනවා වගේ එහාට මෙහාට ඇවිදිමින් හිටපු යාලුවා ; ඇත්තටම කිව්වොත් ඔහුගේ සුනඛ යාළුවා; දිහා බලපු එක. ඊට පස්සේ ඔලුව ඇල කරලා මගේ දිහා බැලුවා. බලන්න බෑ , ඉතින් මම අහකට ඇස්දෙක හැරෙව්වට ඔලුව ඔන්න එහෙම්මමයි!

"බැරි ඉතින් බැරි නිසා. අපි මේ කතාව නවත්තමු"

මටත් ඕනේ කලේ මේ කතාව නතර කරන්න තමයි. ඒ උනාට මගේ පෙර සුදානමක් තිබ්බේ නැහැ නවත්තන්න. ඉතින් මම ඔහේ බලාගෙන හිටියේ කළුවර වැටෙනවා බලාගෙන ඉන්න කුමුදු මලක් වගේ.


"අපි යමුද?"

මම පාරේ අනික් පැත්තට ඇවිදින්න හැදුවම ඔහු එකපාරටම මගේ පොත් තිබ්බ බෑග් එකෙන් ඇදලා ගත්තා. මාව විසිවෙලා ආවේ පරඩලක් වගේ.

".. මොකද කරන්නේ? පිස්සුද?"

එහෙම ඇහුවේ ඇත්තටම තරහින් තමයි.

"සුවඳයි... මොකද්ද පර්ෆියුම් එක?"



Friday, August 11, 2017

129. මේඝලතා






තඹර පෙතිමත සිසිල ඉසිමින - සුවඳ ගන්නට ඇගෙන් උදුරා
අඹර දිදුලන විසුල දිනමිණ  - පමා වන්නට කනට කොඳුරා
බඹර පහසට පෙති විදාගෙන - කුසුම දෙන්නට කලින් සපුරා
කුවර නළලත සෙමෙන් සිපගෙන - කුමට වන්නට විසෙස් තවරා


මදින් මද නළ සෙමෙන් උණුහුම් - වෙතොත් ඈ ගත සීරුවෙන්
සොඳින් පිරියම් කෙරුණු මනරම් - ලවන වෑහෙන මීවිතෙන්
ඉදින් තත්පට සුසර කරවම් - මෙවුන්දම් මඩනා වැරෙන්
බැවින් නූපුර සැලෙන සුරුවම් - දිනෙන් නොනෙලමි සීරුවෙන්




මුවින් තත්පට සුසර කරවම් - වැයුම් මියුරුව ඇසෙන ගැයුමෙන්
බැවින් නූපුර සැලෙන සුරුවම් - දිනෙන් නොනෙලමි එරත් කුසුමන්

ප.ලි: අන්තිම පද දෙක හරි නැහැ කියල තිබ්බ නිසා ඒ දෙක ආයෙමත් ලිව්වා.


Monday, August 7, 2017

128. අසාධ්‍ය නොවන මෙව්වා එක

ළමායි.....
ඔන්න බලන්න ළමායි...

මම මේ කියන්න යන්නේ බොහොම ආදර්ශමත් කතාවක්! ඔන්න බලන්න ලමයි ඒක මෙහෙම තමයි පටන් ගන්නේ...

එකෝමත් එක රටක ( හෑ ඔව් නේන්නම්.. එක රටක් කියල කියන්න දැන් අමාරුයි. මොකද ඒ රටේ ලොකු ලොකු තැන ඔක්කොම අයිති එක්කෝ චීනෙට, නැත්තම් ඉන්දියාවට. ඒ හින්ද මේක රටක් උනාට ඒ වගේ චුට්ටක් විතර අච්චාරු රටක් ඈ... ආ චී චී දේසපාලනේ නෑ ඔන්න!) හිටියා ළමයෙක්.



ඒ ළමයා අනිත් ළමයි වගේ...ම තමයි.

ඒ උනාට පොඩියට විතර.. ඩින්ගිත්තක් විතර සර්කිට් අවුලක් වගේ තිබ්බ උනත් ඒවා එතරම් බලපෑවේ නැහැ. මොකද ඒ අවුල වගේ එක පොඩි කාලේ ඉඳලම තිබ්බ නිසා ඒ ළමයාගේ අම්ම හිතාන උන්නේ ඒක එහෙම්මම හදපු මොඩල් එකක්ය, ආයෙත් බයවෙන්න දෙයක් නැතිය, දෙය්යන්නාන්සේගේ ළඟ තිබ්බ ඒ අච්චුව කැඩිලා හින්දා ඒ ජාතියෙන් තවත් එකක් එන්නේ නැතිය කියල විතරයි.

Thursday, August 3, 2017

127. විරසක සුසුම්



විරහව කොතරම් රසවත්ද?

විරහව රසවත් වන්නේ යම්සේද එපරිද්දෙන්ම කඳුල, තනිකමද එකලෙසම රසවත් මං මාවත් තනන මැවුම්කරුවෝ වැනිය. ඇඹුලති රඹ පලයක නියම රසයත්, සියලු රස එක්තැන් කල නෙල්ලි ගෙඩියකත් රස , විඳීමෙන් පමණක්ම දත යුත්තේය.

එබැවින්, විචිත්‍ර ආදරය හා කරට කර සටනක් දෙන විරහව, ගීත ලොව අරක්ගත්තේ අදක ඊයෙක නොවේ. සඳකිඳුරු වැලපුමක සිට වසර දහස් ගණනක් පුරා ප්‍රේමය හා සමව සිටි විරහව කුටුම්භගත වීමෙන් නතරවේද? සිය අභිමතයට එක්විය නොහැකි වුනු පෙම්වත් යුවලකට  නම් ආදර කුටුම්භයක විරහවක් දැනෙන්නේ කෙලෙසකද?

සිය පණ හා සරි වල්ලභයා හෝ පාදපරිචාරිකාව හා අමනාපව විසීම තරම් කටුක මොහොතක් තවත් තිබේද?

Monday, July 31, 2017

125. සුහදිනියේ - 01 | කුරුමානම



මගේ ලෝකේ එකපාරටම අඳුරු උනා. වටේ තියෙන හැම දෙයක්ම කලුපාට, අළුපාට වේගන වේගන ආවේ ක්ෂණයකින්. කකුල් දෙකට ආපු ජවය කොහෙන්ද කියන්න දන්නේ නැහැ, මම එතනට දුවගෙන ගියේ ධාවන ශුරයෝ පරද්දගෙන.

ඈ බිම වැටිලා හිටියා. ඈ ගාවින් බිමට නැමිලා එක දණක් බිම තියාගත්ත ඇගේ මිතුරිය එතනට කඩාගෙන ආපු මගේ දිහා බැලුවේ පුදුම අසරණ විදියට. මට ඒවා වැඩක් තිබ්බෙම නැහැ. මම පැනපු ගමන් ඇගේ උරහිසෙන් අල්ලලා කෙලින් කරන්න හැදුවා.

"සිහිය නැති උනා..."

"මොකද උනේ?"

මම එහෙම ඇහුවේ වෙච්චදේ දැක්කේ නැතුව නෙවෙයි. ඈ බිම වැටිලා හිටියේ රත්වෙච්ච තාරපාරේ.

"කාර් එකේ හැප්පුනා. දුවගෙන එනකොට"

Sunday, July 23, 2017

124. පැටලෙමි | It must have been...




අයිතියක් කුමටද
උරුම නම් යම් දෙයකට ?
නොපා දෑතම හකුලා
උන්නු හින්දා නොවද
පරවෙන්න බලාගෙන
තුරුළු පැතුවේ
වෙන උරෙක ?

දැන් ඉතින් බලා සිටිය යුතු
උඹට හිමි
ආදර ගීත - පාවෙන අයුරු ,
හාදු වැසි - කොපුල් පැහැකරන'යුරු
වලාකුල් වල පැටලී !

Thursday, July 13, 2017

121. දිශානති | forced to box the compass





මාලිමා නැතුව ඇවිදින
පුංචි දේටත් මගේ හාදු ඉල්ලන
අහම්බකාරකයකි උඹ
කුළුණක් වගේ උන්නට...



p.s. මේකත් අර රයිටරේගේ මෙන්න මේ පෝස්ට් එකට ලියපු එකක් 

Thursday, July 6, 2017

117. හොර හිත මගේ






දිනපතා දකින ඔබ
හීනෙන් බදා තොල් සිපින,

වාත්තුකල සිරුර
වෙලන සළුපට හිතින් ගලවන ,

උදෑසන පින්න
සැරදැයි පමණක් අසන,

හොර හිත මගේ
සුදුපාට මුහුණට වැහුන!




Thursday, June 29, 2017

115. අරමුණ | desperado?





ලියමි,
ඔබ දකින තුරු ලියමි....
විඳිමි,
ඔබ පපුතුරෙහි උණුහුම විඳිමි...
හඬමි,
තුරුළුකරගනු පිණිස බොරුවට හඬමි.......

Sunday, June 25, 2017

113. නිරුදක





රතුපාට කමිසයට වැහුණු
සුදුපාට උණුහුම් හදවත
පුරා ඉතිරී නොගිය,
නුරා ගින්නකට
පෙරුම් පෙරුවෙමි
නිරුදක කතරක් බව නොදැන...

ඇඳී දිය මත
අතින්කළ උරුවමක් විලසට
නෙලුම් පතකය
රඳන්නට කැපකලේ
ආලය...

'දුන්යා' ය එදා මම
උඹේ එක රෝමයක
පවා ජිවත්වන....

ප්‍රස්තුතය  : චන්දො ගේ කතාවක් - සඳ කළුවරයි

ප.ලි: චන්දො නොදන්නා අය සිටීද? ආ... එහෙනම් ඔය දන්නා අයගෙන් නොදන්නා අය අහගන්න එකයි



Monday, June 19, 2017

111. මිස්ඩ් කෝල් (Missed call)




නිල්පාට කමිසය වරුවක් පුරාම ඉස්තිරික්ක කරපු නිසාම කඩදාසිකොලයක් තරමටම කෙලින්මයි හිටියේ. හැන්ගර් එකක් තිබුනේ නැති නිසා ඒක පියන එල්ලෙන අල්මාරියේ දොරවල් දෙක යා කරගෙන එල්ලලා තිබුනා. සුන්දර් කාමරයේ හැමතැනම දුවන්නේ මොකටද කියලා තමන්ගේ තද නින්ද කැඩිලා ඇහැරුණු , ඊයේ උදේට අවුරුදු දෙකක් පිරුණු ඌර්වසි කල්පනා කලේ හීනෙන් වගේ.

"නී එන්න සියේට්ටු කොන්ටිරුක්කිරේ?" ( මොනවද ඔය කරන්නේ?)

මද අඳුරත් එක්ක කාමරේ පෙනුනේ හොල්මන් ගුහාවක් වගේ උනාට පුංචි ඌර්වසිට ඒ තමයි එයාගේ මුළු ගෙදරම. ඉපදිච්ච දවසේ ඉඳල ගෙදරක් කියන්නේ කාමරයක් කියලා තමයි ඌර්වසි තේරුම් අරගෙන තිබ්බේ.

"ආ.... එහෙරුනාද..."

Sunday, June 11, 2017

110. චන්ද්‍රග්‍රහණය






'ඌයි!' මේ හදවත
තතකින් පෙලන හැටි

මම....










අවකාශයකි මෑත
අතීතය පවා අංගවිකලව

ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ................................................................ත

තැන                                තැන
     තැන            තැන
        තැන                   තැන
   තැන
                    තැන
  තැන       තැන
                  තැන          තැන
  තැන     තැන 

වැටුණු
මල්පෙතිය
පාට පාට




Monday, May 29, 2017

109. රෙදි බෝනික්කාගෙන් - නොසැලකිලිමත් කෙල්ලට







පෙම් කරමි මම
මේ ලිනන් හදවතින් ඔබට..

නොදනිතත් ඔබ
මේ කිළුටු ; උජු දෑතම
සැලෙන'යුරු
ඔබ යකඩ පහසින්..
ලෙසම මේ
නීල - බොඳ දෑස මුවාකල
කඳුළු වියලී
බැඳී යන'යුරු
ඔබ වෙනස්වන මොහොතින්...

ලොවම නිදන රාත්‍රිය
මා ඔබ දෙසම බලා හිඳින,
නොදනිතත් ඔබ
ඔබ සුසුම් විඳින බව
මා මුවින්....

එලෙසම
සිරව ඇති මැසූ මුව තුලම
මහද රැඳි
ආදර වදන් සියල්ලම....

ඔබ නොදනිතත්...!













Inspired by : රෙදි බෝනික්කාගෙන් අපරික්ෂාකාරී දරුවාට by Hot Chocolate 


Original : 


Rag Doll to the Heedless Child 
I love you
with my linen heart.
you cannot
know how these
rigid, lumpy arms
shudder in your grasp,
or what
tears dam up against
these blue eye-smudges at
your capriciousness.
At night I watch you sleep;
you’ll never know
how I thrust my face
into the stream
of your warm breath;
and how
love-words choke me behind
this sewn-up mouth.
— David Harsent




ප.ලි: ඔරිමජිනල් කවිය කියෝලා මාව ඌයියා උනා. ඒ හින්දා ලියාගන්න බැරි උනා හරියට. බෝනික්කන්ට හිතක් තියෙනවා කියලා මම තාමත්, දැනටත් , තව ඉස්සරහටත් තදින් විස්වාස කරනවා. ඒ නැති උනත්...... මේ කවියේ ප්‍රස්තුතයට විතරක්  නෙවෙයි,යටිපෙලටත් මම තදින්ම කම්පනය උනා.


අද දවස නම් වැහිබර; දුක්බර වෙයි වගේ 

Tuesday, May 23, 2017

108. ඒ ගේට්ටුව...




ඒ ගේට්ටුව...
එදා නොවැසී තිබිණි නම්?

සම්බාරු සුවඳ තැවරුණ
හැමදේම නැවතුන - මුත්
නොනැවතී පැවතුන...

මල්කඩ පේලි අතරේ
අප දිහා බලා උන්
කෝවිලේ....
ඒ ගේට්ටුව...
එදා නොවැසී තිබිණි නම්?







Monday, May 22, 2017

107. වරල් සැලුණු අතීතේ

මම ආසම කරන දේවල් මොනවද කියල ඇහුවොත් ඇත්තටමට මම 'ආසම නැති' ප්‍රශ්නයක් තමයි ඒක. මොකද එහෙම එකක් දෙකක් නැහැ....

උදාහරනෙකට ගත්තොත්...

කන්න ආස මොනවද කිව්වහම..
ඔන්න ඉතින් අඹ, අන්නාසි, මැන්ගුස් , වරකා, නාරං , අමු සියඹලා, ඇඹරල්ලා, ජම්බු, දොඩම්, ජම්බෝල, කොට්ටම්බා මදේ විතරක් නෙවෙයි වට්ටක්කා ඇට මදේ පවා ඉඳලා, පැලපි දක්වාම ගිහින්... ආ.. ඒ පලතුරු සෙට් එක විතරයිනේ!

තව ඉතින් කඩචෝරු කිව්වහම බිත්තර රොටියේ ඉඳන්, කොත්තු රොටි, ඇරබික් රොටි විතරක්ද.. බුරියානි, නාසුගුරාන් වගේ විකාර කෑමත් එක්ක සැලඩ් ජාති, බර්ගර්, සබ්මැරින් ( නෑ නෑ .. වෙලාවට ඒවා මුහුදේ යන ඒවා නෙවෙයි.. ඒවත් ළඟදීම කන තරමට තත්වේ උග්‍ර වෙලා) , ශවර්මා , තොසේ, වඩේ , පරෝටා, ඉඩ්ලි ( කතා කරන්න බෑ , කෙල උනනවා) එක්කම ඔක්කොම ඉන්දියන් කෑම ජාති එක පේලියට එන්නේ හරියට අර හත්පෙති මලේ පෙත්තක් කඩලා ලෝකේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩු ඉල්ලුවාම ඒවා ගඟක් වගේ ගලාගෙන එන විදියට! ඇයි අනේ ලිට්ල් ලයන් චොක්ලට් රෝල්!! ( ආ සොරි වෙන්න ඕනේ.. ලිස්ට් එක කියලා ඉවර උනා කියලත් අමතක උනා)

ඔන්න ඉතින් බලන්නකෝ ආස දේවල් කියන්න ගියාම වෙන නස්පැත්තිය! ඉතින් 'ඊයා... ඕනෙම දෙයක් ප්‍රමානෙට කරන්න' කියලා පිළිකුල් කලාට මම එහෙම්මම නරක ළමයෙක් නෙවෙයි...!

ඇති නේද මගේ බඩජහරි වරුණාව ? වැඩේ කියන්නේ මම ලියන්න ආවේ කෑම ගැන නෙවෙයිනේ!

මම ලියන්න ආවේ මගේ 'සරුංගල් අතීතේ' ගැන!
(දැක්කා නේද? සයිටම් ගැන කියන්න ගියාම අප්පොච්චි ගැන ලියනවා වගේ, දැක්ක නේද ගැලපුම?)

මම දන්නවා, මේ සරුංගල් කාලේ නෙවෙයි කියලා. අවුරුදු කාලේ හිතාගෙන හිටියා අවුරුදු ගැන ලියන්න.. කෝ කොහෙද මේ අවුරුද්දේ මට අවුරුදුත් නැති උන නිසා කිසිම මුඩ් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ වෙසක් කාලේ ගැනත් තිබ්බා රස වෑහෙන අතීත කතා පොට්ටනියක් දිගාරින්න. ඒකටත් ඉස්පාසුවක් නැති උනානේ. ඒ නිසා මම හිතුවා සීසන් එක එන්න කලින්ම පොස්ට් එක කොටලා දානවා කියල.

Monday, May 8, 2017

103. කවුද දන්නේ නේ? I don't know who





දර්ශනය 1:

කාලය: අපෝ ගොඩක් කාලෙකට කලින්
පසුබිම: ඈතින් පෙනෙන වෙල්යායකි. හිසේ ජටාවක් බැඳගත්, අලුතෙන් ගත්තා වගේ පෙනුනත් දුර්වර්ණ සළුපිලි හැඳි , මුව පුරා රැවුල වැඩුණු , පාංශු දේහධාරියෙක් මාවතක් දිගේ පැමිණෙයි. අසල වෙල්යායේ වී නෙළන රූමත් කතකි.

අමුත්තා:
කාන්තාවගේ රුපය ගැන පිස්සු හැදෙන කවියක් කියයි.

තරුණිය:
රජතුමා උනත් ලස්සනට ලිස්සලා යන කවියක් කියල ඇඟ බේරා ගනී

( මම මේ කවිය හෙව්වා අනේ.. . හම්බුනේ නැහැ.කවුරුහරි එකතු කරනවද කමෙන්ට් එකක් විදියට)

පැත්තක තිබෙන අඹ ගස යට සිට 'සට පට' ගගා ටයිපින් ෂොට් හෑන්ඩ් වලින් ඒ කවිය ලියාගන්නා කොලයක් අතින් ගත් එකෙකි. ( කවුද නොදනී)
"හරි හරි..... එකාකුරක්කත් එහා මෙහා නොවී ලියාගත්තා.... හම්මේ ඇති යන්තම්" - ඌ සුසුම් හෙලයි.

Wednesday, April 26, 2017

101. අබ්ලික් ඔනිජිනල්

හොරකම් කරලා තියෙනවද?

උත්තරේ මෙතන නොලිව්වට කමක් නැහැ. තම තමන්ගෙන් අහගන්න ඕනේ උනත් නිතර අහගන්න ඕනේ නැති ප්‍රශ්න වලින් එකක් තමයි මම ඒ ඇහුවේ. මොකද ඕනෙම කෙනෙක්, (පෘතක්ජන) කිසියම් විදියකින් ද්‍රව්‍ය, අද්‍රව්‍ය වෙන දෙයක් හොරකම් කරලා තියෙනවා වෙන්න තියෙන ප්‍රතිශතය වැඩියි.

ඒ මොකක් උනත්, ඔරිජිනල් එකේ තියෙන ගතිය නෑ !

ඒ මොන බොරුවක්ද?

හෑ ???

ඔව්... අර ඔරිජිනල් එක්කෙනාගේ හිත හදන්න මිසක්, ඔය කතාවේ ඇත්තටම ගත්තොත් ඇත්තක් ඇත්තේ නැහැ. පොඩ්ඩක් හිතලා බැලුවහම මට හිතෙන්නෙම එහෙමයි. මේ ගැන ලියන්න නම් සාගරයක් වගේ කාරනා තියෙනවා. නමුත් මම පොඩි පරාසයකට ගන්නවා මේ විදියට.

ඔරිමජිනල් සින්දුව අහනකොට වඩා ඒකෙ ඩුප්ලිකේට් සින්දුව අහපු ගමන් හිත බැඳෙන්න පුළුවන් නේද?

Sunday, April 23, 2017

99. පාලු විදියේ තනිකම මැකුනා


ඒ මොහොත......

මට අද වගේම මතකයි මේ මොහොත.

මම ලයනල් වෙන්ඩ්ට් එක ඇතුලට කවදාවත් ගිහින් තිබ්බෙත් නැහැ. එහෙම කවදාවත් එන්න ඕනෙකමක් ඇතිවෙලා තිබ්බෙත් නැහැ. ලයනල් වෙන්ඩ්ට් සහ මම කියන්නේ සම්පුර්ණයෙන්ම කාන්දමක අග්‍ර දෙක වගේ. මට එහෙම එන්න සිද්ද කලේ මගේ කලාබර මිත්‍රයා, සිදත් තමයි. සිදත්ට මම මගේ වෙඩින් ඉන්විටේෂන් එක දෙන්න කොච්චර වලි කෑවද ?

"අනේ මචං , මට ඕනේ නැහැ ඔය ඉන්විටේෂන් කෙහෙල්මල්! මට තැනයි වෙලාවයි කියපං.. මම වෙලාවට එතැන ඉන්නම්"

මම දෙතුන් පාරක්ම කතා කර කර ඉන්විටේෂන් එක දෙන්න එහාට මෙහාට දඟලනකොට සිදත් කිව්වේ එහෙමයි. ඒ උනාට හැමදේම නූලට තිතට කරන මගේ අනාගත බිරිඳ ; වසුන්දරා ; එකහෙලාම කියා හිටියේ ඉන්විටේෂන් එක නම් දිය යුතුමයි කියලා. අන්තිමේදී සිදත් කාගේදෝ නාට්‍යයක් බලන්න එනවා කිව්ව නිසා මම ඔෆිස් එකෙන් පැනලා ආවේ විනාඩි තිහෙන් ආපහු යන්න.

මගේ දුරකථනය අතේ තියාගෙන මම පාරේ ඇවිදගෙන ආවේ ඇත්තටම කලබලෙන්. අද දවසේ තමයි අන්තිමට මට තනිකඩයෙක් විදියට ඔෆිස් එන්න තිබ්බ දවස. හවස කට්ටියගේ 'බැචුලර්' පාටි එක ගැන හිතමින් එනකොට මගේ කට කොනට නැගුනේ හිනාවක්.

ලයනල් වෙන්ඩ්ට් එක පේන දුරෙන් නතරවෙච්ච මම දුරකථනය ඔබලා සිදත්ගේ අංකයට ඇමතුමක් ගත්තා. ගොඩක් වෙලා නාදවෙලා අන්තිමට සිදත් කතාකලේ හොරමුලක් එක්ක ගෙයක් බිඳින්න ඇවිත් වගේ හෙමින්.

Monday, March 27, 2017

87. ඔබ ඇවිත් යන්න එන්න... - 23

23
---------------------------------------------------------------------

ගේ කරුමෙකටද මන්දා අල්විස් කාරයා ඔෆිස් එකේ නැහැ. දැන් මේ අස්වීම දෙන්නෙ කාටද?

"කරැණාරත්න. කෝ මිස්ටර් අල්විස්?"
කරුණාරත්න මාව දැකලා හිනාවේගන ආවා. ඒ කියන්නෙ චලන ඒ තරං කරූ ෂේප් කරගෙන. 

"සර් හොස්පිට්ල් එකේ"

"මොකක්?"

මම වටපිට බැලුවා

"....මෝචරියෙද?"

කරුණාරත්නත් වටපිට බලන ගමන් හොදටම හිනා උනා. 

"...මොකක්ද අමාරැව?"

"ලිවර් එකේ මොකක්ද අමාරුවක් තියෙනවනේ. බීලම හදාගන්න කරැමක්කාර ලෙඩනෙ සර්"

මගෙ බඩ දාලා ගියා. යකෝ මමත් බිව්වා. මටත් හැදෙයිද?

මම ආපහු ඔෆිස් එකට ගියා. ප්ලෑන් එකේ හැටියට මම අස්වෙන්න ඕන. දැං කොහොමද ඒක කරන්නෙ?

මම තවත් හිතන්නෙ නැතුව දෙවෙනි තට්ටුවට යන්න ලිෆ්ට් එකට නැග්ගා.  කෙලින්ම නතර උනේ නිකිනිගෙ ඔෆිස් එකේ දොර ගාව. නිකිනිව බලන්න පුදුම ආසාවකින් හිටියේ. බය නැතුව මම දොරට තට්ටු කරලා තත්පර තිහකින් විතර ' කම් ඉන්' කියලා ඇහුනා. 

මම දොර ඇරගෙන ඇතුලට යනකොට මොකක්දෝ කල්පනාවකින් වගේ හිටපු නිකිනි හොදටම බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.  මම දොර වහලා කෙලින්ම එයා දිහා බැලුවට නිකිනි මගේ මූණ බලන්න බැරුව එහෙ මෙහෙ බලනවා. 

"මට මේක සයින් කරලා දෙන්න. "
මම ලියුම නිකිනිගේ මේසෙ උඩින් තිබ්බේ එයා දිහා බලාගෙනමයි. නිකිනිගේ ඇස්දෙක මගේ ඇස් එක්ක පැටලුනා. ම⁣ට මේ කෙල්ලව මේ දැන් අරගෙන යන්න හිතයි. 

මට දැනුනේ මහා දුකක්. මම කොච්චර ගින්දර දුන්නද මේ අහිංසක කෙල්ලට? මම ඈ දිහා බලාගෙන ඉන්නකොට කෙල්ල හොඳටම බයෙන් ගැහෙන්න ගත්තා. වෙව්ලන බව පෙනුනේ නිකිණි අතට ගත්ත ලියුමත් වෙව්ලනවා පෙනුන නිසා. අපි දෙන්නට දෙන්නා කතාකරගන්න බැරුව. මම කරපු තකතීරු වැඩේ ගැන මටම හරි අප්සට්. නිකිණි දැන් හිතන්නේ මම ඉන්නේ තරහින් කියලා වෙන්න ඇති.

නිකිණි අහක බලාගෙන ගොලුවෙක් වගේ මට පුටුව පෙන්නුවේ මහා දුකකින් වගේ. මම වාඩි උනේ ඇස්දෙක අයින් කරන්නෙම නැතුව. අපි දෙන්නගේ පපුව ගැහෙන සද්දේ එකිනෙකාට ඇහෙන තරම් ලොකු නිහඬ බවක් තමයි මට දැනුනේ.

'මේ ඉන්නේ මගේ මුළු ජිවිතේ නේද? පිස්සුවෙන් වගේ මම ආදරේ කරන නිකිණි නේද?'

Sunday, March 26, 2017

86. ඔබ ඇවිත් යන්න එන්න... - 22

22
------------------------------------------------------------------------

මුළු ගෙදරම අමු සොහොන් පිටියක් වගෙයි. මම වැඩ ඇරලා එන ගමන් වෙන ගමනක් යන්න පුරුදු උනේ ඒ නිසා. බස් එකෙන් බැහැපු ගමන්, පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බේ බාර් එකක් ඇතුලේ තිබ්බ රෙස්ටෝරන්ට් එකක්.

මම කෙලින්ම කොහෙවත් බලන්නේ නැතුවට ඇතුලටම ගිහින් එතන තියෙන අඳුරු මුල්ලක වාඩිවෙනවා. මුල දවස් දෙක තුනේ පොඩි චකිතයක් තිබ්බත්, මට දැන් මොකක් උනත් එකයි, ගෙදර ගියාම කබරයා දැම්මට චලන ඒ දවස් දෙක තුනේ නැන්දලාගේ ගෙදර ගිහින් හින්දා අවුලක් උනේ නැහැ.

සැනසීමක් නැති උනත් මට නිදහසේ බොන්න පුළුවනි. අරක්කු බොන්න බැරි මම ඔහේ උඩ බලාගෙන කොහොමහරි බියර් පොඩි බෝතලයක් බොන්න පුරුදු උනා. අරමුණක් ඇතුව නෙවෙයි, ඔහේ පාවෙන්න, ඔක්කොම අමතක වෙන්න මට තිබ්බ එකම විකල්පේ එච්චරයි. වෙරි වෙනකල් බිගන්න බැරි උනත් අමතක වෙන්න , මලා වගේ නින්ද යන්න ගානට බිගන්න පුළුවන් උනා.

චලන නැන්දලාගේ ගෙදර ගියපු නිසා මට කියාගන්න කෙනෙක් හිටියෙත් නැහැ. නිකිණි ගැන මෙහෙම දෙයක් මට කියාගන්න බැරි උනත්... ඌ විතරයි මට කියන්න ඉන්නෙත්. ඌ හිටිය නැති එකත් හොඳයි. නැත්තම් උගෙන් මට බේරෙන්න බැහැ , ඔක්කොම කියන්න වෙනවා. මේ විදිය හොඳයි.

මම හිටියේ ඇවිදින මළමිනියක් වගේ. අරෙහෙන් අල්විස් කාරයා මාව නොමරා මරනවා. ඌ මගෙන් ආතල් ගන්නවද කොහෙද. තුවාලේ පාර පාර ආයෙමත් කියෝනවා. අස්වෙනවද කියලත් මට තීරණේකට එන්න විදියක් තිබ්බේ නැහැ.

Monday, March 13, 2017

76. ඔබ ඇවිත් යන්න එන්න... - 13

13
--------------------------------------------------
'මොකද බාන්..... උඹගේ නරක තැනක්වත් කොහේ හරි වැදුනද.. හදිස්සියේම මාළිගාවේ දුවන්නේ?"

චලනයා මට පල් එක දානවා. අනේ අපොයි.. මගේ හිත 'ගිඩි-ගිඩි' ගානවා.

මම හිටියේ කලබලෙන්, ඒ වගේම සතුටෙන්. මට මේක චලනට කියන්න ඕනේ. කොහොමද කියන්නේ? ඌ මගේ ඔලුව කයි! ඌමනේ දවසක් හොඳවයින් මට කිව්වේ ආයෙමත් නිකිණි ගැන කතාකරන්නවත් එපා කියලා. ඉතින් මම මොන හිතකින් මූට කියන්නද? ටෙරන්ස්ව වත් සෙට් කරගන්න ඕනේ? එක්කෝ තනියෙමම යනවද?

"අප්පේ.... මොකද මේ වවුලා වගේ රෑට යන්න ලෑස්ති ගමන? ආදෙන්කෝ තාත්තා.. මම කියන්ඩ"

නංගිත් පටන් ගත්තා. චඃ.. සුපර්මෑන් වගේ උඩින්වත් යන්න තියෙනවා නම්?

"මොකද ලොකු මෑන් මේ හවස්වෙලා කොහේ යන්නද? දැන් තාත්තත් එයි. ඔන්න මට නම් බෑ උත්තර දෙන්න"

අම්මත් කියපි. දැන් ඉතින් කාපන්කෝ කේක් !

"චලන.. වරෙන්කො බන් මාත් එක්ක යන්න"



මම කරකියාගන්න දෙයක් නැති වෙච්ච නිසා කිව්වා. චලනයා බෑ කිව්වා.

"වරෙන්කො බන්"

චලනයා මගේ මුණ දිහා බැලුවේ 'තෝ මට දැන් කියපන් විස්තරේ' වගේ.

".. හරි හරි... මම යන ගමන් කියන්නම්"

Tuesday, March 7, 2017

72. ඔබ ඇවිත් යන්න එන්න... - 09

09.
------------------------------------------------------------
ලෙවල් ඇඩ්මිෂන් ඇවිත්. ඇඩ්මිෂන් අරගත්තට විභාගේ ලියන්නේ පොලිසියෙන්ද? වැඩ හතරම ලෙසටම එරිලා. මගේ ඔලුව නම් කම්මල වගේ. ඔක්කොම හිටියේ විභාගේ ගැනම හිත හිත; මම විතරක් හෝන්දු මාන්දු වෙලා. චලන හැම වෙලේම මාව උනන්දු කළා. වෙලාවකට මහා කරදරයක් වගේ දැනුනත් ඌ මාව තේරුම් අරගෙන හිටියේ.

"කෝ චිරනි"

"ආ..... එයා ලොකු අම්මලත් එක්ක කතරගම ට්‍රිප් එකක් ගියානේ. ඔයාට කිව්වේ නැද්ද?"

අදිතිගේ උත්තරේට මම මෝල්ගහ ගිල්ලා වගේ නිරුත්තර උනා. මම හිතුවා චිරනි මගේ ගාව ඉඳියි කියලා. මම වැටෙනකොට මාව නැගිට්ටුවයි කියලා.
මම පෙගිච්ච පොල්කිච්චෙක් වගේ හෝල්ට් එකේ බාර් එකට බරවෙලා බිම බලාගත්තා. මුන් ලයිට් එක්ක කතාවක් දාගෙන හිටපු චලන මගේ දිහා බැලුවේ මගේ වෙනස දැකලා.

"... උඹ වරෙන් මම යන්නං "

මම චලනට එහෙම කියලා හෙමින් හෙමින් බස් එක තියෙන තැනට ආවා. ටෙරන්සුයි, බුරියයි, ගොමයයි ඉන්නවා.

"මොකද බන්... පලාලි ඉඳල එන පුකාරා ප්ලේන් එකක් වගේ. මොකද කෙල්ල වලිද?"

"මොන පිස්සුද බන්... ගෑනියි මිනිහයි වගේනේ මුන් දෙන්නා.."

ටෙරන්ස් කිව්වා. මම ඔරලෝසුව දිහා බැලුවා. පහටත් ළඟයි. බස් එකකුත් නැහැ.

"ටෙරන්ස් , උඹ පයින්ද යන්නේ?"

"යනවා නං යමු"

Thursday, March 2, 2017

69. සිංහ ලේ අපි..



කාලයක් තිස්සේ නෙවෙයි..... අවුරුදු බර ගානක විතර ඉඳලා මම හිතාගෙන හිටපු දෙයක්, හිතලා නොලියාම හිටපු දෙයක් බ්ලොග් එකක ලියන්න කොහෙත්ම කැමැත්තක් නොතිබිච්ච දෙයක් ගැන ලියන්න එකපාරටම හිතුනා.

එක වතාවක් මම 'තමිලිනි' ගැන ලියලා මේකට පොඩි පාරක් කපාගෙන ආවත්... ආයෙමත් හිත එක එක වැහිකෝඩ වලට අහුවෙලා ඒ අදහස 'දිය නොවී' යටවෙලා ගියා.

දැන් ආයෙමත් ලියන්න හිතෙනවා.

අවවාදයයි: තමන්ගේ මතය තමන්ට වටිනවා වගේම, අනෙක් කෙනාගේ මතය අනෙකාටද වටී. මම ලියන ජේද තුන හතරෙන් ආකල්ප වල මහා පෙරලියක් වන්නේත්, ඔබේ නිහඬ බවෙන් සෙතක් වන්නේත් නැත. අදහස් මිස පුද්ගල මතගැටුම් නොහොබිනාය. මොකද, අපි මෙතරම් කාලයක් කරමින් හිටියේද එයයි.


මම නොදන්නා කාලයකදී නිලවශයෙන් රටේ 'ජාති' දෙකක මිනිස්සු එකිනෙකා මරාගන්න පටන් අරගෙන, වීරයින් බුරුතු පිටින් බිහිකරමින් පැවතිලා මේ වනවිට වීරයින් ඉස්මොල්ලේ යන තරම් ගානක් හිටියත් තවමත් අපි මරාගන්නවා.

දෙමළ - සිංහල ගැටුම කියන්නේ මොකද්ද?

මෙතෙක්  කියවපු සහ අහපු දේවල් අනුව මට නම් ඇත්තටම හිතේ තියෙන්නේ පුදුම කලකිරීමක් අපේ වැඩිහිටි පරපුර ගැන. ඔවුන් විසින් නිර්මාණය කරපු මේ සැරව පිරුණු තුවාලය දැන් කහන්නේ අපේ පරපුර. කවුරුත් ඒ තුවාලයට බෙහෙත් දානකොට ඇතුල සුද්ද කරන්නේ නැහැනේ. ( කරුණාකර දේශපාලනය, දේශපාලකයෝ ගැන කතාකරන්නවත් එපා. ප්‍රශ්න බිහිකරන්නේ එයාල කියල කතාව යටගහන්නත් එපා. ගින්නක් උනත් වතුරේ පත්තු වෙන්නේ නැහැනේ, දර නැතුව)

සිංහල ජනයා විසින් දෙමළ ජනයා කෙරෙහි පතුරවමින් පැවතුන ඒ දුෂ්ඨ ක්‍රියාවන් නිසාම තමයි මේ හැම දෙයක්ම සිද්ද වෙන්න ඇත්තේ සහ තවදුරටත් සිදුවෙන්නේ. ඒකම තමයි අද වෙනකොට මුස්ලිම් ජනයා කෙරෙහිත් පැතිරිලා යන්නේ.

යුද්ධයක් තිබුණාය කියල හිතන්නකෝ, අපි දැන් තාමත් තලුමරනවා ප්‍රභාකරන් ඝාතනය කලාය , ඊළම පැරදුනාය කියලා. මට නම් මේක මහා විහිළුවක්. ආයුධය නැතුව උනත් අපි හැමෝම මානසිකව තාම යුද්ධ කරනවා නේද?

පොඩ්ඩ ඇත්තම් 'පර දෙමළා, හම්බයා' කියමින් ඒ වෛරය නිදහස් කරන්නේ තාමත් එහෙම නිසයි. අපි හැමෝම කරන්නේ බොරුවක්! නිකමට හිතන්න අවුරුදු ගානක් තමන්ගේ කියල හිතාගෙන හිටපු පවුලකින්, එකපාරටම කිව්වහම 'උඹ අරන් හදාගත්ත එකෙක්' කියලා..... දැනෙන හැඟීම!!

ඇත්ත... සමහර වෙලාවල් වලදී ඒ ඒ ජනකොටස් කරන වැඩ බැලුවහම බලයක් පතුරවනවා කියලා හිතෙනවා. නමුත් ඒකට වියරු වැටෙන්නේ මොකටද? ගමක් ගත්තහම කෝවිලක්, පන්සලක් සහ පල්ලියක් කියන තුනම තිබ්බනම්.... බෞද්ධ අපි විතරක් ඇයි හන්දියක් ගානේ පැලවෙන කපුටු බෝගස් වලට පවා බුදුපිළිම තියාගෙන දඟලන්නේ? ඒක ආගමික අන්තවාදය!!

ලොකු විනාසයකින් පස්සේ උනත් පාඩමක් ඉගෙන ගන්නේ අයට කොහොමත්ම පාඩමක් ඉගෙන ගන්නත් බැහැ. ජපානයේ බෝම්බයෙන් සියල්ල සුන්නත්ධුලි උනාට පස්සේ ඔවුන් අවුරුද්දක් වත් අඩුම තරමේ ඇමරිකාවට විරුද්ධව පෙළපාලි, හර්තාල් කළා කියල මම අහලා නම් නැහැ ( එහෙම දන්නා අය වෙතොත් මාව දැනුවත් කරත්වා) නමුත් අපි??????

දශක තුනක  යුද්ධයකින් පස්සේ තාමත් ඒකෙ අහුකොන් හොයමින් ගැටෙනවා. ආයෙත් යුද්ධයක් ඇතිකරලා අපේ ඊළඟ පරම්පරාවට කහන්න තුවාලෙට ඉහඳ පනුවෝ දානවා. ඇයි මේ?? මේකද අපේ සමාජ වගකීම?

තමිලනි ලිව්වා...
ඒ තමයි එයා යුද්ධ කරපු හැටි. සිංහල අපි පවා කියෙව්වා. ඒකෙ සිංහලයින්ට දීපු වද සහ දෙමල මිනිසුන්ගේ කෘරත්වය පීරමින් කියවන්න උත්සහ කළා.

ඒත් තමිලනි ලිව්වේ නැහැ.... 
ඒ තමයි ආයෙමත් ඒ කැඩුණු තැන වහගෙන ඉදිරියට යන්නේ කොහොමද කියල. දෙමළ ජනතාව ඒකට සුදානම්ද කියල.....

අපේ කට්ටියත් ලිව්වා...
ඒ තමයි අපිත් යුද්ධ කරපු හැටි. 'අපේ' මිනිස්සු කොටින්ගෙන් මැරුම් කාපු හැටි. ගම් පිටින් කැතිගාපු හැටි. 'අපේ' විරුවන් කොටින්ට ප්‍රහාර එල්ල කරපු හැටි! ඒ කතාවල අපිට ඕනේ ජවය; වීරත්වය ඇතිතරම් තියෙන නිසා සිංහල 'අපිට' සන්තෝසයි. ඒවා සාක්ෂි කරගෙන අපි උදම් අනනවා තාමත්...

අපේ කට්ටිය ලිව්වේ නැහැ...

ඒ තමයි මෙහෙම යුද්දෙකට ආයෙත් නොයන්න 'අපේ' මිනිස්සු අතින් වෙන්න ඕනේ මොනවද කියන එක. සොල්දාදුවෝ කියන්නේ කුලියට මිනීමරන තත්වයක් වෙන්න ඕනේ නැහැ කියන එකට අපි සූදානම්ද කියන එක ? මේ සංහිදියාවට අපෙන් ලැබෙන්න ඕනේ දේ අපි දෙනවද කියන එක....

මේ කිසි දෙයක් කිසි කෙනෙක් කරනවා මම දැකලා නැහැ. යුද්ධයකින් පස්සේ වෙන්න ඕනේ මොනවද කියන එක ගැන මෙලෝම දැනුමක් ඇත්තෙක් අවාසනාවට ලංකාවේ ඉතිරිවෙලා ඇත්තේ නැති තරම්....

අදටත් මම දකිනවා සාමාන්‍ය අපි අතින් වෙන නොයෙකුත් අසික්කිත ක්‍රියාවන්. ඒවා නින්දිතයි. උදාහරනෙකට කියන්නම්.. මම හොඳින්ම දන්නා ආයතනයක එදිනෙදා පිරිසිඳු කිරීම් කරන ගැහැණු කෙනෙක් ඉන්නවා. ඇය කතාකරන්නේ සිංහල. ඇය සමඟ වැඩට දෙමළ භාෂාව කතාකරන තවත් ගැහැණු කෙනෙක් ගන්නවා. දැන් 'අපේ' සිංහල එක්කෙනාට ඕක ඉවසන්න බැහැ. හැමදාම අර මනුස්සයාට විරුද්ධව නඩු. දෙමල ගැහැණු එක්කෙනා තමන්ගේ පාඩුවේ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් වෙලත් සිංහල කෙනාට ඇයව ඇහේ කටු වගේ. මුකුත්ම චෝදනාවක් නැති දවසට දුවන ඇගේ තැටිය තමයි..

".... මුන් කොටියෝ.. අපේ අහිංසක කොල්ලෝ මරල, කැති ගාල ඉන්න මුන්ට හෙන හතම ගහන්න ඕනේ අම්මප"

ඒකට මට හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බෑ. ඔන්න අපේ දේශප්‍රේමය!!


මේකේ අනික්පැත්තත් ඇති.

මම දෙමළ කතාකරන හින්දු; මුස්ලිම් ආගමිකයින්ට ඇත්තටම ආදරෙයි. උන් වෙනස් තමයි. ඉතින් ඒ වෙනස මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙන වෙලාවට මම ඒ බව අඟවනවා මිසක් 'කැතිගාන්න' සමුලඝාතනය කරන්න හිතන්නේ නැහැ. හිතන්න ලෝකේ ඉන්නේ එකම ජාතියක් නම් ඒක කොතරම්ම බෝරින්ද කියල?

එහෙමයි කියල මම දමිළ කතාකරන හින්දු ; මුස්ලිම් ආගමික ජනයා එක්ක 'සංහිදියාව' (වැඩියෙන්ම අවභාවිත වෙච්ච වචනයක් නිසා තේරුම මුල සිට සරලව ඉගෙනගත යුතුය ) කියන්නේ විවාහ ගනුදෙනු කියන්නේ නම් නැහැ. උන්ට උන්ගේ පාඩුවේ විවාහ වෙන්න ඉඩ තියෙන්නත් ඕනේ. සංහිදියාව වෙන්නේ විවාහ වලින් නම් මොනතරම් දෙයක්ද? කොටිම්ම අපේ සිංහල අය අතරෙත් උඩරට- පහතරට කසාදවල තියෙන ගැටුම් බැලුවම සංස්කෘති දෙකක් එකතු උනාම මොන තරම් අවුලක් ඇතිවෙන්න පුළුවන්ද ? ඒ නිසා එහෙම විවාහ ගනුදෙනු වලින් නෙවෙයි මේක විසඳෙන්න ඕනේ. අතේ ඇඟිලි පහ විවිධාකාරයි වගේ, ඔවුන්ගේ විවිධත්වයට ගරු කරන සමාජයක් තමයි 'හදාගන්න' ඕනේ.

එතැනදී වගකීම 'මගේ'

එකිනෙකාට ගරු කරනවා නම් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. වැඩිහිටි පරපුර කඩු -මන්නා වලින් උත්තර දීලා දැන් ඉන්න තරුණ පිරිසත් ඒ විදියට තමයි උත්තර හොයන්නේ.

සැකයක් නෑ.. මේ විදියට ගියොත් අපි ආයෙමත් වාර්ගික යුද්ධෙකට යනවා. සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ධෙ එපා උනාට දේශපාලකයින්ට ඒක හිඟන්නාගේ තුවාලේ.....

තේරුම් ගන්න මේ මොහොතේ වත්!



Monday, February 27, 2017

66. ඔබ ඇවිත් යන්න එන්න... - 04

04
-----------------------------------------------------------------------------------

නෑම වෙච්ච කොටසක් විතරක් කියල ජාඩියාව පොලිසියට යන්න එන්න කැමති කරවා ගත්තා. ඇයි දෙය්යනේ ක්ලාස් යන්න විදියක් නෑ කාඩ් නැතුව. ටික්කගේ පුස් රැස් බලනවට වඩා හොඳයි හොරෙන් රිංගන එක. එහෙම ගියොත් ටියුට් නෑ. ඊට වඩා හොඳයි නොගිහින් ඉන්නෙක. අපි දෙබාන හැම ටික්කටම නෝට් නිසා ඒ වැඩේ කරන්නත් බෑ.

පොලීසියේ දොරකඩ හිටපු පොලිස් රාලහාමි අපි දෙන්නගෙම  උඩ ඉඳල පහලටම බැලුවා. දැක්ක ගමන් කූඩුවට දාන මුණක්ද අපි දෙන්නට තියෙන්නේ?

"දවස් තුනකට කලින්?"
හරියට ඌ අහන්නේ උගේ දෙයක් මම දැක්කද වගේ.

"ඔව්"

මම පුළුවන් තරම් සප්ත ස්වරයන් එකතු කරලා කිව්වා.

"ආ.. අර මහයියාවේ වෙච්ච ඇක්සිඩන්ට් එකද? ඉතින් මොකද? ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ. ඒ මැඩම් වරද පිළිගත්තා; නඩු නෑ වැඩේ ගොඩ"

"එතැනදී මගේ පර්ස් එක නැති උනා"

"ඉතින් මම මොනවා කරන්ඩද? ඈ ?"

අනින්ඩ හිතෙනවා මුගේ හොම්බට.

Tuesday, February 21, 2017

64. ඔබ ඇවිත් යන්න එන්න... - 02

02
------------------------------------------------------

"ලනයෝ.. උඹ ටවුමටද යන්නේ?"

"ඔහ.. ඔව්.. ඇයි ?"

මම කලිසමට බහින ගමන් උත්තර දුන්නා.

"හිටපන් මමත් එනවා"

මට හීන්දාඩිය දැම්ම.

"මම ටෙරන්ස් ලාගේ ගෙදර ළඟින් බහිනවා"

"කමක් නෑ "

මුව හලන්න විදියක් නෑ. කොහොල්ලෑ ගුලියක් වගේ. ඇත්ත.. ඌ නැතුව මටත් , මම නැතුව ඌටත් ගමනක් නැති තරම්.



"ආ.. අද දෙබානම හාන්න යන්න වගෙයි"

අපි දෙන්නා සාලෙට එනකොට අතුගගා හිටපු නංගි කිව්වා.

"ඇයි තමුසේ වගේ කොසු නැටුම් දදා ඉන්න කියලද අපිට කියන්නේ මේ සොඳුරුබර ඉරිදා දවසේ? රටේ ලෝකේ කොතරන් නම් රාජකාරි වැඩ තියෙනවද අපිට?"

"මම නොදන්නවය. ඔන්න අපේ පන්තියේ කෙල්ලන්ට නම් පැණි පෙරලා අහුවෙන්න එපා හරිද. මට ලැජ්ජාවේ බෑ "

"අනේ තමුසෙලගෙ පන්තියේ ඉන්නවනේ මහා ලොකු බඩු ? ඕවටද ඕයි බඩු කියන්නේ"

මම නංගි එක්ක කොක්කක් දාගන්න අතරේ චලනයා ගිහින් අම්මගෙන් ගානක් කඩාගෙන ආවා.

"මේ.. ඉක්මනට එනවා හරිද? අද වැට කපලා සුද්ද කරලා මිදුල ටිකක් හදන්න ඕනේ හවසට"
නංගිගේ ඕඩර්ස් රැසයි.

"ඕව කරගන්නවා තමුසෙට මිනිහෙක් ගෙනාපු දාකට"

කොස්ස ඉස්සෙන්න කලින් අපි දෙන්නම පැන්නා පාරට. නුවර පැත්තට අද්ද අද්ද තිබ්බ බස් එකක ෆුට් බෝඩ් එකේ එල්ලුනා. අද නම් දෙන්නටම එක සීසන් එකයි.

Monday, February 13, 2017

62. කතාවට කතාවක්



සමහර ප්‍රබන්ධ සත්‍යට වඩා ගොඩක්ම සත්‍යයි. සමහර සත්‍ය ප්‍රබන්ධ වලට වඩා විශ්මය දනවන සුළුයි. සත්‍යත් ප්‍රබන්ධත් අතරමැදි දේවල් මායාකාරී විදියට හිත රවටනවා.

නවකතාවක් කියන්නේ කතාවක්ම නෙවෙයි. සමහර වෙලාවට නවකතා තුල අපිට අපිවම මුණගැහෙනවා. සමහර නවකතා තුල අතුරු කතා අතරේ අපේ මහා කතාවේ අක්මුල් විහිදිලා ගිහින් අපිව ඒ කතාවට බද්ද වෙනවා. කියවන්නා විතරක් නෙවෙයි... සමහරවිට ලියන්නී වන ලිඛිතාත් එහෙම මගේම කතාවල හිරවෙලා පැටලෙනවා.

සමහර වෙලාවට මමම මගේ කතා කියෝලා බලලා පුදුම වෙනවා. ඒ මගේ හැකියාව නිසා නෙවෙයි 'නරුම කෙල්ල! උඹ ඇයි ඒ විදියට ලිව්වේ' කියලා මටම දොස් කියාගන්න! ඉතින් ඒකෙන් කෙනිත්තිලා වරුවක් විතර ආයෙමත් ඒ කතාව ඇතුලේ මගේ කොටස් පෙරලා වෙන් කරන්න උත්සහ කරනවා, මම දන්නවා ඒ කතාවේ බාගෙට බාගයක් තියෙන්නේ මම මාව හොයපු වෙලාවල් කියල.

Tuesday, February 7, 2017

61. පරිනත





වොඩ්කා පුරුදු සුරතට
රා කටුවක්ව කුමකට
දම්පාටින්ම සඳවට
තරුවක් නොවෙමි අහසට

Sunday, February 5, 2017

60. පෙලන








සිඹිය යුතු මොහොතවල් වල
පෙලන ; සූරන ; කොනිත්තන
පෙම්බර නුඹ
තවම ආදරයෙන්ම මට පෙනෙන


Monday, January 30, 2017

59. අලුත් මා





ඔය ෆර්දාව
මදකට දෙන්න නංගි...
කඳුළු පිස, හිස
වසාගනු පිණිස හැංගී...

රිදෙන හද නොපෙනෙන්න
අබායා එකක් මටත් දෙන්න

වචන පිහි සැරට පතුරුගිය
අත්ල මරතොන්ඩි රටාවකිය

හිස තබා ගල් පතුරුමත
දෙදන නළලද බිම ඔබාගෙන
අලුත් මා
පිළිගනු මැන !



Sunday, January 29, 2017

58. කුමාරිහාමි 'මය'!





පිච්ච අතුරපු වියන් ඇඳ මත
තාම සුවඳයි එදා මෙන් ගත
වෙච්ච දේවල් හිතින් පිරිමැද
පෑම පමණයි හසරැල්ල හද

වීර විකුමන් කලද රජුනට
නෑර සෙනෙහෙන් පිදුම් ලැබුමට
ඝෝර රැවුලෙකි ඇඳපු පිරුවට
සාර සබ මැද නිරිඳු කළුවට

සිඳුණු සියොමැලි පුංචි ගෙලවට
තාම පංචායුද පැලඳුවට
තැලුණු කිරිකැටි ලපටි සිරුරට
වංගෙඩිය පල නොවේ කරුමෙට

සදාකල්හිම සෙනවි විරුණට
ලැබිද පැසසුම් , දුකද කම්පිත
මෙදා පින්බිම නොවේ පිහිටට
සිඳිද නුවරුන් ම'හෙලු වැව මත



Thursday, January 19, 2017

55. දේදුනු පාට






හත්පෙති මලකි අත
ශේන්යා තාමත් සමඟ -
පැණිවළලු අතැ'තිවම මහමග...

කහපාට පෙත්තකි අත දරන
නිල, දම් පෙති තවම නොදනින 
පාටම මිසක් පැටලවෙන
පැතුමද නොවේ ඉල්ලන....

කොයිපාට පෙත්තද
කෙල්ල නුඹ මට එවන්නේ?
කුමන ගීයද අදත්
සෙමෙන් මුමුනමින් පතන්නේ?
පතන මුත් හැමදාම ගීයෙන්
කවදදෝ පාටමල් පෙත්ත විසිකරන්නේ?

|
|
කවදාද කෙල්ල නුඹ
මා දෙපා සුව කරන්නේ?