විසිතුරු කොල

Sunday, September 24, 2017

140. සුළං කපොල්ලේ - 2


මෙතෙක් කතාව 


ගුවන්යානාව පැමිණි බවට සහ අප සියලු දෙනාම පිළිගැනීමට සුදානම් බව ඇහුනු නිවේදනය මට දැනුනේ හීනයක් කතාකරනවා වගේ. එහෙනම් දැන් මම යන්නත් ඕනේ... ඉබේම වැටුන සුසුම මම වලක්වන්න ගියේ නැහැ..

ටික වෙලාවකින් මුලින්ම දුවන්න පොරකන සෙනඟ යන්නට ඇරලා මම උදාසීන බවකින් නැගිට්ටට හිත කෑගහන්න ගත්තා.

සමහර වෙලාවට මේ අන්තිම අවස්තාව වෙන්නත් ඇති!

මගේ හිත ඇත්තටම තමන් එක්ක කර කර හිටපු අරගලය එකපාරටම කපපු ලණුවකින් වගේ ඒ මොහොතේ නිදහස් කරනකොටම මම වටපිට බැලුවා.

අඩුම තරමේ අන්තිම වතාවට?? 

අන්තිම වතාව කියලා නොහිතා අපි එකිනෙකා දැකපු ඒ අන්තිම වතාවට පස්සේ, කවුද මේ වගේ හමුවීමක් හිතුවේ? මේ නම් අන්තිම වතාවම වෙන්න ඇති.. එහෙමයි මට හිතුනේ. ඉතින් මම පුළුවන් උපරිමේට ඔලුව කරකවලා, ඇඟිලි තුඩු වලින් ඉස්සිලා බැලුවත්... ඇත්තටම මම ඒ වෙනකොට 'ඇත්තම' අන්තිම වතාව පහුකරලා කියලා මට තේරුනා.



කඳුළු ආවේ නැති ඇස්දෙකකින් , ගිනිකන්දකින් පිච්චුනු පපුවකින් යුතුව මම ගුවන්යානයට ඇතුළුවෙනකොට ගුවන්සේවිකාව තමන්ගේ නියමිත සිනහව යොදාගෙන අපිව පිළිගනිමින් සිටියා.

මම ඉතින් බිඳිච්ච විදුරු කෑලි අහුලාගෙන ගුවන් යානයේ මට අදාළ ආසනය හොයාගන්නට සේවිකාවගේ උදව්ව ලබාගත්තේ ඒ වෙනුවෙන් වත් මට වෙහෙසෙන්න බැහැමයි කියලා හිතුන හින්දා.

ගුවන්සේවිකාව පුළුවන් තරම් ආචාරශීලි විදියට මට මගේ බෑගය නියමිත තැනට තල්ලු කරන්නටත්, ආසනයට ගාල් වෙන්නටත් උදව් කලාට පස්සේ ඇත්තටම මට ඈ වදයක් වගේ දැනුනා.

' ඒ තමයි මගේ නපුරුකම!'

ඊට පස්සේ ඉඳලා ආසනපටි තදකරගන්න කියලා නිවේදනය දෙනකල්ම මම ගතකලේ ගන්ධබ්බ අවදියක් වෙන්නත් ඇති. මම ඔහේ පා වේවි හිටියා. මතකයන් අතරේ නෙවෙයි, නිකම්ම අවකාශයේ!


මම හිටිය ආසන තුනේ පේළියේ හරියටම මැද්දේ. ජනේලේ ගාව හිටියේ තවමත් පාසල් වයසේ කියලා හිතෙන්න පුළුවන් පොඩි ගැහැණු ළමයෙක්. ඊට ටිකකට පස්සේ තමයි මට වැටහුනේ ජනේලය පැත්තේ ආසනයක් හින්දා මිසක් ඇගේ පවුලේ ඔක්කොම ඉන්නේ ඊට ඉස්සරහ පේලියේ බව.

කැරලි ගැහුණු කොණ්ඩය, හිතුවක්කාර පෙනුමට ඇඳගෙන හිටිය ඇඳුම මගේ ඒ වයසේ පෙනුමට හාත්පසින්ම වෙනස් උනත් මට මොකක්දෝ හේතුවකට මගේ ඒ වයස මතක් කරලා දුන්නා.



"ලස්සනයි..."

"..............."

මගේ ඇස්වල තියෙන්න ඇත්තේ විශ්මයද අමනාපයද දන්නේ නැහැ. ඒ හිනාවෙන් නම් පෙනෙන්නේ ඒ දෙකම සම සමව තියෙන්න ඇති බවයි.

"තවත් ලස්සනයි.. රවනකොට"

"අනේ මේ... ඒක නෙවෙයි... ඊයේ..."

"ඔව්.. ඊයේ ඇහුවද රෑ දහයේ රික්වෙස්ට් ෂෝ එක? මම දාපු සින්දුව? ඔයාට?"

මට දැන් ඕනේ මේ කතාව වෙනස් කරන්න. ඉතින් මම ඇහුනේ නෑ වගේ මගේ කලින් වාක්‍ය සම්පුර්ණ කරන්න ගත්තා.

"ඊයේ... මම දැක්ක අපේ බල්ලා කරන හොර වැඩේ.. ඌ මගේ සපත්තුව කාලා ඉවර වෙලා ඒක කුඩුවේ පිටිපස්සට විසි කරනවා. ඒකයි මේ මට හොයාගන්න බැරිවෙන්නේ"

ඔහු මගේ දිහා බලාගෙන හිටියේ කොහොමද කියලා මට ලියන්න බැරිවෙයි. කෙනෙක් තවත් කෙනෙක් දිහා එහෙම බලන්නේ මුළු ලෝකෙම දෙන්න කියලා මට වැටහිලා නොතිබ්බ ඒ කාලේ උනත් මම හිටියේ ඒ බැල්මට වල්මත්වෙලා.

ඉතින් මට වචන අමතක උනා. ගොතාගෙන ආපු කතාවත් එක්කම!

"මන්ජි.... පිස්සු කෙල්ල ඔයා නම්! ඒකනේ මම කියන්නේ, ඔයා තමයි මම දැකපු ලස්සනම හදවත තියෙන කෙල්ල.. මගේ අම්ම ඇරුණම.."

"මුරුංගා"

"ටිකක් විතර...."

කූරු ගැහුණු කොණ්ඩේ හැබැහින්ම ඔහු පීරන ක්‍රමේ හරියටම කැපී පෙනුනේ ඒ වෙනකොට ඔහු පාසල් ශිෂ්‍යයෙක් නොවෙන හින්දා. ඔහුට තිබ්බේ ලාංකික ගොරහැඩි පෙනුමත් එක්ක මිශ්‍ර වෙච්ච යුරෝපිය කඩවසම්කමක්. බොරු කියන්නේ මොකටද, මම වහ වැටුනේ ඔහුගේ ඒ පෙනුමට.

".. මම දැක්කා"

"මොකද්ද?"

මොකක්දෝ හේතුවකට මට එහෙම කිව්වහම දැනුනේ හිරිගඩු පිපින ලැජ්ජාවක්. ඒ හින්දා වෙන්න ඇති මට ඉබේටම මගේ කොට සාය පහලට ඇදුනේ. ඒක කොටයි තමයි. මම එහෙම අඳින එක අමුත්තක් නෙවෙයි.

".. මම කිව්වා වගේ..... වැක්ස් කළා නේද කකුල්දෙක? දැන් තමයි ඉස්සරටත් වඩා සෙක්සි"

මම බැලුවේ කම්මුල් පාරක් වගේ බැල්මක් හින්දද මන්දා ඔහුගේ කන්දෙක රතුම රතු වෙලා පෙනුනේ. මාව දැන් මේ බිමට බාපු පාන් ගෙඩියක් වගේ...

"මේ.......!!"


මම දබර ඇඟිල්ල උලුක් කරලා ආපහු හැරිලා දිව්වේ ඊට වඩා දෙයක් මම දන්නේ නැති නිසා වෙන්න ඕනේ.

ආසනපටි තදකරගන්න කියලා කියනකොට මට ඉබේටම බැලුනේ මගේ වම පැත්තේ තිබ්බ හිස් ආසනේ දිහා. දකුණු පැත්ත දිහා නොබැලුවාට මට දැනුනා ඒ ගෑනුලමයා මගේ දිහා ටිකක් වෙලා බලාගෙන වගේ ඉන්නවා. මට දැන් අමුතුයි වගේ.

"ඩඩා කොහෙද අම්මා??"

වතුර වගේ කඩා හැලෙන ඉංග්‍රීසියෙන් කෙල්ල ඉස්සරහ ආසනේ හිටපු කෙනෙක්ගෙන් ඇහුවේ ආසනේ පැත්තෙන් තිබ්බ ඉඩෙන්.

"ඩඩා? මොකද මේ කවදාවත් නැතුව ඩඩා හොයන්නේ?"

චතුර ඉංග්‍රීසියෙන්ම ඉස්සරහ අසුනෙන් උත්තරයක් ලැබුනේ 'පොෂ්' යයි සිතිය හැකි ගැහැණියකගෙන්.

මම ආසන පටි තදකර ගත්තා.

කෙල්ල හිනාවෙනවාත්, මගේ දිහා හොරැහින් බලනවාත් මට යන්තමට පෙනුනත් මම නෙවෙයි එය ගණනකටවත් ගත්තේ. කන්දෙකෙන් එල්ලෙන වයර් දෙකක මැද්දේ තියෙන ඒ මොලේ කොහොමත් අවුලක් තියෙනබව මම තනි තීරණයක් අරගෙන තිබ්බේ. එහෙම උන්ට විහිළු උත්ප්‍රේරකයක් වෙන්න මට කොහොමටත් ඕනේ කමක් නැහැ.

ගුවන් යානය පිටත් වෙන්න හදන බවට සියලු සලකුණු පෙනෙන්නට තිබුනා.

කෙල්ල තව මොනවදෝ 'සට පට' ගගා දොඩවන අතරේ ගුවන් සේවිකාව තමන්ගේ අමනාප වෙච්ච මුහුණ පුළුවන් තරමට පිළිසකර කරගෙන 'කරුණාවන්ත' විදියට ආසන පටි තද කරගන්නටත්, සියලු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ භාවිතය නතර කරන ලෙසටත් අර කෙල්ලට අවවාද කරනකොට මට දැනුනේ කුරිරු සතුටක්.

ඒ අතරේ මගේ ඇස්දෙක ගැටුනේ අවුරුදු දහයකට වැඩිය වයසක් නැති කෙල්ලගේ තිබ්බ අමුතුම නහය දිහාවට. මාව ගැස්සුනා... ඉතින් මම කෙල්ලගේ හිනාවට උත්තරයක් දෙන්නේ නැතුවම බස්සෙක් වගේ පුම්බගෙන අහක බලාගත්තා.

සමහර වෙලාවට මට දැන් හැමතැනම ඔහුව පේනවා ඇති.

ඊට විනාඩි විස්සකට පස්සේ මම ලංකා භූමියෙන් සම්පුර්ණයෙන්ම පිටමන්ව ස්වීඩන් බලා යන ගුවන් ගමනක ආරම්භයේ ආකාශයේ සුළං කපාගෙන ගමන් කරමින් උන්නා. ක්‍රෝමා තත්වයක් වගේ මම හිටියේ හුස්ම අල්වාගෙන වෙන්න ඕනේ.

මම සිහිය ඇවිත් වටපිට බලනකොට නුදුරේම හිටපු අර ආගන්තුක කෙල්ලගේ ඇස්වල මම ගැටි ගැටී ඉන්නවා කියලා තේරුනාම මට මහා අමාරුවක් දැනුනේ.

"අම්මා... "

"මොකද ළමයෝ"

"ඩඩා කොහෙද?"

"පිස්සුද ළමයෝ..."

"හිකිස්.... එයා ඇයි අපිත් එක්ක ආවේ නැත්තේ මෙතැනට.. "

"මොකක්...??"

තවත් මොනවාදෝ කියමින් ඒ ගැහැණිය තමන්ගේ දුව කියා සිතෙන මේ කෙල්ලට බනිනු මට ඇහෙනවා. මම ඇස්දෙක තදින් පියාගෙන ආසනයේ හිස පසුපස තදින් තෙරපාගෙන හිටියේ ඒ සද්දේ කන් වලින් හලන්න වගේ. ඒ සද්දේ ඇරෙන්න වෙන කිසිවක් මට පෙනුනේ නැහැ.

මම පියාඹන බව පරිකල්පනය කරන්නට පටන් ගත්තා. මට හිතුනා ගුවන් යානය නැතුවම මම අහසේ පියඹාගෙන යනවා කියලා. මේ හැම දේකින්ම ඈතට.. ඈතට පියඹාගෙන යනවා වගෙයි ඇත්තටම මට දැනුනේ. ඒ උනත් මේ පියාඹිම ආරම්භයේදීම මට ඔහු දකින්නට ලැබීම කොතරම් වේදනාකාරී දෙයක්ද?

එතකොටම වගේ කවුරුන් හරි මගේ අසලින් සිටගන්නවා දැනුන නිසා ආසනයක්  සිටියත් මම ඉබේටම ඇස්දෙක ඇරලා බැලුවා. ඒ තමයි කෑම බෙදන ගුවන් සේවිකාව. මම තෝරාගත්ත කෑම වේල මට ඉස්සරහින් තියනකොට නැති නෙවෙයි තිබ්බ බඩගින්න උග්‍රව දැනෙන්න උනා.

"කරුණා කරලා කෑම එක මට පාස් කරනවද?"

මෙච්චර වෙලා කටු අත්ත වගේ තමන්ගේ අම්මත් එක්ක ඉංග්‍රීසියෙන් පැටලුනු අර කෙල්ල මට එහෙම කිව්වේ සුපැහැදිලි ජලය වගේ දැනුනු සිංහලෙන්. මම ඉතින් ඔරවගත්ත මූණත් එක්ක ඒ ඉල්ලීම ඉටුකරලා නොකැමැත්තෙන් හිනා උනා. ඊට පස්සේ මගේ පාඩුවේ කෑම එක කන්න ගෑරුප්පුව අතට ගත්තා.

"ඔය කොහොමද.. ඔහොම නෙවෙයි ළමයෝ... ගෑරුප්පුව අල්ලන්නේ මෙන්න මෙහෙම"

එහෙම කියලා ඔහු තමන්ගේ පුටුවෙන් නැගිටලා මගේ ගාවම හිටගත්තා. දැන් මට අල්ලගත්ත විදිය මතකත් නැහැ. අසරණ වෙලා වගේ මම ඔහු දිහා බැලුවා තමයි. ඒ උනාට ඒ මුහුණේ තිබ්බේ පුදුම ආලෝකයක්.

"... කෝ.. ඉන්න"

මගේ පුටුවේ පිටිපස්සෙන් හිටගත්ත ඔහු අත්දෙක දෙපැත්තෙන් දාලා මගේ අත්දෙක හැන්දත් , ගෑරුප්පුවත්  මගේ අත්දෙකට තද කරගෙන ඒවා කක්කුට්ටෙක්ගේ අඬු වගේ කරකවන හැටි කියලා දෙන්න පටන් ගත්තා. ඒ වෙතම අවධානය  දීගෙන හිටපු මට ටික වෙලාවක් ගියා ඒ උණුසුම් සුසුම් මගේ බෙල්ල කොනෙන් ඇවිත් දකුණු කන හරහා යනබව තේරුම් යන්න. 


හැබෑවටම වයසින් අවුරුදු විස්සක් උනාට මම සාමාන්‍ය දැනීම සහ හැඟීම් අතින් අන්තිම දරුණු අඩියක් දක්වාම ගිලිලා උන්නේ.

"හම්..................මේ............... සුව....ඳ.................."

කනට කොඳුරනවාත් එක්කම මම පුටුවත් තල්ලු කරගෙන නැගිට්ටා. අතේ තිබ්බ ගෑරුප්පුවක් මම කෙලින්ම උලුක් කලේ ඔහුට. මගේ තිබ්බ දරුණුකම දහස් වාරයක් නම්, ලක්ෂ වාරයක් ඔහුගේ මුහුණේ තිබ්බේ කොළුකමට ආවේනික යෞවනයේ ඉමිහිරි දඟකාරකම.

"දෙනවා දෙකක්!"

".. හෝව්.. හෝව්..... ඉතින් මම කිව්වේ ඇත්තනේ"

තමන්ගේ අතේ තිබ්බ හැන්ද මගේ දිහාට දික් කරලා ගෑරුප්පුවෙ වැද්දන ගමන් ඔහු කිව්වේ කිසිම අවසරයක් නැතුවම වගේ.

කෑම ටික කාල ඉවර උනාම මට කෑම එපා උනා. ගෑරුප්පුව එහෙම්මම ඇතුලට දාල මම ජූස් කෝප්පය අතට අරගෙන යන්තම් හුස්මක් පහලට දමනකොටම මගේ ඇස්දෙක ඉබේම වගේ වැහුනා.

ආයෙමත් කවුද ළඟින් ඇවිත් හිටගත්තා. කෑම කාපුවා එකතු කරන්න එන ගුවන් සේවිකාව ගැන සැලකිල්ලක් නැතුවම මම ඔහේ ඇස්දෙක වහගෙන උන්නා.

"ඩඩා !!"

කෑගැහිල්ල ඇහුනේ අර කෙල්ලගේ කටින්. මාව උඩ විසික් වෙලා ගියපු නිසා මට ඉබේටම කෙල්ලගේ ඩඩා කියපු කෙනා දිහා බැලුනා. කළුපාට හම් ජැකට් එකක් දාගෙන, මෆ්ලර් එකක් බෙල්ල වටේ ඔතාගෙන හතිදාමින් හිටපු  ඔහුව මට අඳුනන ගන්න බැරි උනේ නැහැ.

මාව ඇත්තටම පාෂාණීභූත උනා. ඔහු මොකද්දෝ හොයපු දෙයක් හම්බුන කෙනෙක්ගේ හිනාවක් එක්ක මගේ දිහා බලාගෙන හිටියේ ඒ නෙත්සරින්මයි!! මට බැලුනේ අර කැරලි කොණ්ඩ කෙල්ල දිහා. කෙල්ල ලොකු හිනාවක් එක්ක 'හිකි හිකි' ගගා හිනා උනා.

දෙපැත්තේ තිබ්බ ආසන දෙකට අත්දෙක තදකරපු ඔහු මගේ දිහාට නැමුනා.

"දෙය්යන්ට ඔප්පුවෙච්චාවේ.... ඔයා මෙතනද?"

ඉංග්‍රීසියෙන් එහෙම කියනකොට මාව මහා ලාවා භාජනයක් මැද්දෙන් ඇතුලට ගිලා බහිනවා දැනුනේ. එහෙනම්... අවුරුදු දහයක් විතර වයස කෙල්ලගේ 'ඩඩා !' ඔහුද??

මගේ ගාවට නැමුන ඔහුව තල්ලුකරගෙන මම කොහොම නැගිට්ටද කියන්න මම දන්නේ නැහැ.

"... මන්ජි! කරුණා කරලා වාඩිවෙන්න"

කෙල්ලගේ හිනාව මට යවුල් වගේ. කකුල් දෙක පණ නැතුව මාව ආයෙමත් ආසනය මත්තට ඇදගෙන වැටුණා. මගේ හිත ඇතුලේ මහා නායයෑමක් වගෙයි දැනුනේ. වෙව්ලන කකුල් දෙකට පණක් එන්න මට තත්පර දෙකක් විතර යන්න ඇති. ඒ තත්පර දෙකටම මේ බැල්මේ මාව දැපනේ වැටුනත් මගේ ලෝකය ඒ වෙනකොට කෑලි කෑලි වලට කැඩිලා ඉවරයි.

"එපා.... මාව අල්ලන්න එපා.."

මගේ උරහිසට පාත්වෙන ඔහුගේ ඒ අත දකිනකොට මට කිය උනේ වෙව්ලන හඬින් උනත් පාලනය කරගත්ත තානයකින්.

"මම ඔයා ඉකොනොමි ක්ලාස් යනවා දැකලා ආවේ.. මම මාරු කරගත්තා මේ.... දෙය්යනේ... මෙච්චර වෙලා මම මේ සේවිකාවන්ට වද දිදී ඔයාවනේ හෙව්වේ..."

තවත් මොනවදෝ කියන්නට හදන ඔහුවත් පෙරලගෙන මම නැගිට්ටේ කකුල් දෙකට පන ආපු ගමන්මයි. මගෙත් එක්කම කෙලින් වෙච්ච ඔහුව පැත්තකට වගේ තල්ලු කරගෙන මම උණ විකාර ලෙඩෙක් වගේ වැසිකිලිය තියෙන දිහාවට අඩියක් තිබ්බා.

"..... මන්ජි!"

මගේ වම් අතේ මැණික් කටුවෙන් අල්ලගත්ත ඔහු දිහා මට බලන්න සිද්ද උනා. ඔහු මේ කුමක්ද කරන්නේ? ඔහුගේ පවුලේ අය මෙතැන , ඔහුගේ දුව.... ඔව්.. ඉස්සරහ ආසනේ ඉන්නවා ඇත්තේ එහෙනම් ඔහුගේ බිරිඳ තමයි.. ඒ ඔක්කොම ඉන්නකොට ඔහු  කුමක්ද මේ කරන්නේ? මම ඔහු වෙත හෙළුවේ මේ සියල්ල කැටිවෙච්ච බැල්මක් වෙන්න ඇති. ඒ එක්කම ඔහු මගේ අත බලෙන්ම ඇදලා අරගෙන සිපගත්තා. මාව සර්වාංගයම පණ නැතිවෙන්න ආවා උනත් ඇස්දෙක නිලංකාර වෙනවාට වඩා යමක් උනේ නැහැ .

"ජෙහාන්.....! එපා....!!"

මම අත ඇදලා ගත්තේ ගිනිපෙල්ලකට පිච්චුනා වගේ. හදවත නතර වෙලා. වටපිටේ ආසනවල ඇස්වලින් මිදිලා මම දුවනවා වගේ වේගෙන් වැසිකිලිය පැත්තට ඇවිදගෙන ගියා තමයි. මට දැනුනා ඒ ඇස්දෙක තිබ්බේ මගේ දිහාමයි කියලා. අතරමගදී හමුවෙච්ච ගුවන් සේවිකාව බය වෙලා වගේ මගේ දිහා බලනවාත්, ඒ එක්කම පිටිපස්ස බලලා ලස්සනට හිනාවෙනවාත් මට පෙනුනා.

මුළු ලෝකයම ගිනිගෙන දැවෙද්දී මොවුන්ගේ මේ හිනා මට දැනුනේ පිහි පාරවල් වගේ. මීට සතියකට කලින් මගේ ලෝකය යයි මම සිතා සිටි සියල්ල ගිනිගනිද්දී පවා මම අචලව බලාසිටියා මිස ඒ කිසිම හිනාවකින් මෙතරම්ම රිදිල්ලක් රිදෙන්නට නැතුව ඇති. නැතිනම්.. ඔහු අන්සතු වී බව දැනගැනීමෙන් ඇතිවුණු ඊර්ෂ්‍යාව , තරහවද? හැඟීම් කිසිවක් වෙන්කර ගන්නට නොහැකි පඹ ගාලක පැටලෙමින් මම වැසිකිලියට වැද දොර වසාගත්දීම මහා විලාපයක් මගේ මුවින් ගිලිහුනා වන්නට ඇත.

'ටොක් ටොක් ටොක් '

"මන්ජි....."

ඒ හඬ ඔහුගේය. මම කතා නොකලෙමි. ඒ තත්පරයට මගේ විලාපය මුදාහැරියා ඇරෙන්නට වෙන කිසිවක් ගැන මට නිච්චියක් තිබුනේ නැත.

'ඩින් ඩින් ඩින් ඩින්'

"මන්ජි....."

".............."

"දොර පොඩ්ඩක් අරින්න"

කිසිම දෙයක් කියන්නේ නැතුව ඔලුව උස්සපු මට කුඩා ඉඩේ හයිකරලා තිබ්බ කණ්ණාඩියෙන් අහම්බෙන් වගේ මගේ මුණ පෙනුනා. එහි තිබුනේ සියලු අපේක්ෂා භංගත්වය වන්නට පුළුවන්. කොණ්ඩය අවුල් වෙලා... කම්මුල් දෙක තෙල්පාට වෙලා... ඇඳුම් ඔක්කොම අවුල් වෙලා වගෙයි මට පෙනුනේ...

ඇයි ජෙහාන් අපි ආයෙත් මුණගැහුනේ?

to be cont...

14 comments:

  1. ඩැඩා කෝ කියලා පොඩී එකී අහනකොටම මම දැනගත්තා හරි තමයි කියල. ඒත් අනේ මන්දා බලමුකෝ ඊ ළඟ කෑල්ල

    ReplyDelete
    Replies
    1. වෙන්නත් ඇති... බලමුකෝ නේද?

      Delete
  2. "හැබෑවටම වයසින් අවුරුදු විස්සක් උනාට මම......" කියන්නේ මීට අවුරුදු හැට හැත්තෑවකට උඩදී ලංකාවෙන් ස්වීඩන් ගිය ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තිබ්බා....????ඇයි දන්නේ නෑ ඒක නැවැත්තුවේ? සමහරවිට මේ ටොයිලට් සීන් එක හිංදා වෙන්න ඇති...ම්.....අදයි ඒක දැන ගත්තේ...

    ReplyDelete
    Replies
    1. [මම ලංකා භූමියෙන් සම්පුර්ණයෙන්ම පිටමන්ව ස්වීඩන් බලා යන ගුවන් ගමනක ආරම්භයේ ආකාශයේ සුළං කපාගෙන ගමන් කරමින් උන්නා.]

      'ස්වීඩන් බලා යන ගුවන් ගමනක ආරම්භයේ' මිසක් කෙලින්ම යනවා කියලා නැහැ. ඩිරෙක්ඩ් ෆ්ලයිට් යනවද කියන එක මට දැන් මෙතැනට අදාළ කරගත්තේ නැහැ. මොකද මෙය එහෙම යන ෆ්ලයිට් එකේ පළවෙනි කොටස නිසා.

      මම ඔය කොටස ලියනකොට හිතුවත් එක්ක විස්තර ඇතුව ලියනවද කියල. ඊට පස්සේ හිතුවා ඒ කාරණාව මේ කියන කොටසේදී අදාළ නැහැ කියලා. අවසාන කොටෙසේ නම් එහෙම ඉඟියක් මම කිව්වා. මම හිතනවා රසවින්දනයට බාධාවක් උනේ නැහැ කියල.

      ස්තුතියි

      Delete
    2. සත්තකින්ම ඉතාම ලස්සනට ලියලා තිබුනා. ඇත්තටම මේ කතාවේ තියන කෙටිකතා ලක්ෂණයට මම හරිම කැමතියි. මීට සමාන අත්දැකීමකට මගේ සමීපතමයෙක් මූණ දීලා තියනවා. මට හිතුනා ඔවුන්ට ඒ වෙලාවේ ඇති වෙච්ච හැගීම් මීට සමාන වෙනද ඇති කියලා.

      Delete
    3. මේ අත්දැකීම එකිනෙකාට අනන්‍ය වෙනම කොටසක් තියෙනවා. ඔක්කොම එකට ගත්තහම සමහර වෙලාවට ඒ හින්දා ආතාත්වික වෙන්නත් පුළුවන්. ඒ නිසයි මම ඔක්කොම ලියන්න ගියේ නැත්තේ. ඔබ මගේ කතාවේ හරය අල්ලාගෙන (එහෙම එකක් තිබ්බා කියලා හිතුනානම්) තියෙනවා කියලා මට හිතුනා. ඔබේ මිත්‍රයා බ්ලොග් කියෝන කෙනෙක් නෙවෙයි කියලා හිතනවා. මේක ලිව්වේ ඇත්ත උනත් සම්පුර්ණ ඇත්ත සහ පරිකල්පනය එකතු කරලා. අදහසට ස්තුතියි

      Delete
  3. හයියෝ... හුස්ම නතර වුණා අප්පා. ඇයි මෙහෙම දුක හිතෙන ඒවා ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. නිකම්ම ලිය උනා අය්යෝ... දුක හිතුනද හැබෑටම? කෝ වෙන කාටවත් එහෙම වෙලා නැහැනේ...! තව කොටසක් ඇත. කියෙව්වද?

      Delete
    2. 1,2 කියෙව්වා... ඔයා දන්නවනෙ ඉතින් මට ඩිංගක් ඇතිනෙ...

      Delete
    3. හි හි හි.. දනිමි දනිමි... මාත්‍රාව සැර උනාද මන්ද!
      අන්තිම කොටසින් පොඩි සහනයක් දැනෙයි...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි