විසිතුරු කොල

Monday, September 25, 2017

141. සුළං කපොල්ලේ - 3


මෙතෙක් කතාව 

බිත්තිය දිගේ රූට ගෙන ඇවිත් මට ඉබේටම එතන බිම ඉන්දුනේ තව දුරටත් මට මගේ ශක්තියක් නැහැ වගේ දැනුන හින්දා. ආයෙමත් ජෙහාන් දොරට තට්ටු කරනවා.

ඒ හඬේ කිසිම කලබලයක්, දුකක් හෝ වෙන මොනයම්ම දෙයක්වත් තිබ්බේ නැහැ වගේ. දිගටම මගේ නම කියන ගමන් දොර අරින්න කියලා විතරයි කිව්වේ. ටිකකින් ඒ සද්දේ ආවේ දොරේ යට හරියෙන්. හරියටම දොර ළඟ බිම ඉඳගෙන හිටපු මගේ කන ගාවින්. දනිස් දෙක නවලා අත්දෙකට දනිස් තදකරගෙන මම උන්න විදියට මට හිතුනා ඔහුත් ඒ විදියටම එතැන බිම වාඩිවෙලාදෝ කියලා.

"මන්ජි... ඔයා එනකල් මමත් මෙතැන ඉන්නවා... "

"..........."

"එළියට එන්න ළමයෝ... ඔන්න මම දන්නේ නැහැ මෙතැන හදිසි අවශ්‍යතාවයකට වැසිකිලියට යන්න එන කෙනෙක් ආවොත් එහෙම..."

"....................."


"ඔයාව දොර කඩලා හරි එළියට ගනීවි.. දන්නවද?"

"..................."

"මේ බලන්නකෝ මිස්.. මෙයා දැන් පැයකටත් වඩා ඇතුලේ... "

".........."

"බලන්නකෝ මොකද්ද කරන්නේ කියා.. අපිට බලන්න බැහැනේ ඒවා නීතිවිරෝධියි..."



තවත් කාගේදෝ සිනා සහ කටහඬක්.. කියන්නේ මොනවද කියලා නම් ඇහන්නේ නැහැ. සෝඩා බෝතලේ වගේ උතුරලා ගියපු ඒ වේදනාව මකාගෙන එළියෙන් එන මේ සද්දෙට මම කන්දෙක ඇරගෙන අහගෙන හිටියා මිසක්, මම කිසිම සද්දයක්වත් කලේ නැහැ.

"ඔන්න දැක්කද... ඔන්න එනවා නාකි සුද්දියක් මේ පැත්තට කඩාගෙන බිඳගෙන... ෂුවර් එකට මිස් ඔයාලගේ කෑමවල පිහිටෙන් තමයි. අම්මෝ එන වේගෙට.."

මට ඉබේටම යන්තම් හිනාවක් ආව. සද්දේ නතර උනා.

' ටෝක ටොක් '

"කවුරුහරි ඇතුලේ ඉන්නවද?..."

ඒ නම් ඇහුනේ සුද්දීයෙක්ගේ කටහඬක්. මාව රත් වෙලා හිටපු තැනින් ඉද්ද ගැහුවා වගේ කෙලින් උනා. දැන් මොකද කරන්නේ?

"...මොකද මෙතන වෙන්නේ?"

සුද්දී අමනාප සද්දයෙන් අසද්දී මට තවදුරටත් මේ වැසිකිලිය ඇතුලේ ඉන්නට බැරි බව තේරුන නිසා එක මාළුවෙක්වත් අහුනොවිච්ච බිලී පිත්තක අයිතිකාරයා වගේ මම දොර ඇරගෙන එලියට ආවා.

තරබාරු සුද්දියක් මගේ දිහා අමනාප යෙන බලලා 'පිස්සු' කියාගෙන වැසිකිලියට වැදෙනකොට දොරට මුවාවෙච්ච ජෙහාන් මගේ දිහා බැලුවේ ලොකුම හිනාවක් එක්ක.

මාව වශී කරපු ඒ හිනාව ආයෙමත් මාව පුච්චගෙන ගලනාලය දිගේ යන උණුවතුර උගුරක් වගෙයි මට දැනුනේ.

"ඇති යන්තම්... තඩි සුද්දී ආපු නිසා බේරුනා"

ඒ එක්කම හිනාවෙලා අපේ දිහා බලපු ගුවන් සේවිකාව මට පෙනුනේ රාස්සියක් වගෙයි. ඒකිගේ බෙල්ලට පැනලා පහුරුගාන්න තරම් කේන්තියක් ආවත්, අඬු කැඩිච්ච පොල් කුරුමිනියෙක් වගේ මම අසරණ විදියට ඔහේ හිටගෙන හිටියා.

".... මන්ජි.. පිස්සු කෙල්ල.... මම අර බිස්නස් ක්ලාස් ඉඳල මහා වදයක් විඳලා මාරු කරගෙන ආවහම... මෙයාලටත් වදයක් දුන්නා ඔයාව හොයලා දෙන්න කියල... මෙයා ඉතින් දුවනවා..."

"ම... ම.."

මගේ උගුර ඇතුලෙන් ආව සද්දේ මමවත් දන්නේ නැහැ.

ජෙහාන් ඔහුගේ වතුර වගේ ඉංග්‍රීසියෙන් එහෙම කියනකොට මම හිතාමතාම අහක බලාගෙන ඉඳලා යන්න කකුල ගත්තා.

".. පිස්සු කෙල්ල"

මට ඉබේටම ජෙහාන් දිහා බැලුනා. ඒ ඇස් ! ඇත්තටම නිල් පාට ලාංකික ඇස් මම මෙතෙක් දැකලා තියෙන්නේ ජෙහාන්ගේ විතරමයි. ඒ ඇස්වල මැද තිබුණු ඉංගිරියාවෙන් මට මොහොතකට මාවම පෙනුනා.

"පිස්සු නටන්න එපා ජෙහාන්.. ඔයාගේ.. ඔයාගේ පවුලේ අය බලාගෙන ඉන්නවා... "

ඒ ඇස්වල හිනාවක්. අවුරුදු විස්සකට කලින් තිබ්බ විදියෙම දඟකාර හිනාවක්.

"ඔයාගේ... බබා.."

"මගේ කවුරු?"

"ව-යි-ෆ්... බ-බා..."

"මගේ කවුරු?"

ජෙහාන් එක අතක් මම හිටපු තැන තිබ්බ බිත්තියට තියලා මගේ පැත්තට නැමෙනකොට මාව ඉබේටම බිත්තියට හේත්තු වෙලා කොටු උනා. මම ඒ ඇස්දෙක, බැල්ම මග ඇරලා බිම බලාගත්තා. ඒ සුවඳ මට දැනෙනවා.. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා.

ජෙහාන් මගේ දිහා බැලුවේ හිනා වේගනමයි. මේක හිනාවෙන වෙලාවක්ද ? මගේ හිත රිදුනා. 

"... මගේ කවුරු? අනේ අනේ.... අර මෙලිසා... ඒ මගේ නීස්... කසින් නෙහාරගේ දුව.. අය්යෝ.... ඒ මගේ ළමයා නෙවෙයි"

මට ඉබේටම ඒ ඇස්දෙක දිහා බැලුනා. ඒ ඇස් දිලිසෙනවා වෙන්න ඇති. බිලි කොක්කක ඇමිනුන මාලුවෙක් වගේ හුස්ම හිර වෙලා දඟලන්න ගත්තට මාව හිටියේ බිත්තියට හිරවෙලා.

එතකොටම වැසිකිලියේ දොර ඇරගෙන අර මහත සුද්දී කාටදෝ 'කුටු කුටු' ගගා බනිමින් එලියට ආවා.

මහතට හිටපු එයාගේ ඇඟේ වැදිලා ජෙහාන් මගේ ඇඟට ලං උනා. ඔහුගේ ජැකට්ටුවේ සුවඳට හුස්ම හිර වෙලා වගේ ක්‍රොමා තත්වයට පත්වෙන්න ඔන්න මෙන්න.

"ඔහ්.... මේ දෙන්නා..... හි හි හි.... තරුණ ජෝඩුව...!"

මහත සුද්දී එහෙම කියාගෙන ආපහු හැරෙනකොට ගුවන් සේවිකාව ආචාරශීලි විදියට ඈට පස්සෙන් ගමන් කරපු නිසා මට තේරුනා දැන් නම් තත්වය භයානකයි කියලා. මට මහා ලැජ්ජාවක් දැනුනා.

".. පිස්සු කෙල්ල.... ඒකි ඔයාව අඳුනගෙන එහෙනම් එහෙම කලේ! ඕකි ඔහොම්මමයි"

පොඩ්ඩක්වත් එහාට වෙන්නේ නැතුව ජෙහාන් එහෙම කියනකොට ඔහුගේ සුසුම් මගේ නළලේ තිබ්බ කෙස් එහාට මෙහාට කරන තරම්. කේතලෙකින් වතුර උතුරලා දර ලිපක් නිවෙනවා වගේ, 'චර චර' සද්දෙන් පපුවේ කොහේ හෝ තැනක් ඇවිලිලා නිවෙනවා මට දැනුනේ.  

".... ජෙහාන්..."

ජෙහාන් හෙමින්ම මගේ අත අල්ලනවා මට දැනුනා. මම හොරැහින් බැලුවේ ආසන දිහා. ඔක්කොම ආසන තිබ්බේ අපිට පිටුපාලා උනත් ඔලුවක් දෙකක් මේ පැත්තට හැරෙනවා දැක්කහම මගේ ලැජ්ජාව මාව අඩපණ කරනවා දැනුනා. ගුවන් යානයක හින්දි ෆිල්ම් එකක් වගේ මෙහෙම නාඩගම් නටන්න පුලුවන්ද?

"මන්ජි...."

මම ඔහු අල්ලපු නැති අනික් අත ඔහුගේ පපුවේ මැද්දට තියලා යන්තමින් තල්ලු කළා. ඒ අතට දැනුනේ ඔහුගේ පපුසේ ගැස්ම, ඒ වගේ උණුහුම. මගේ හිත තදින් වේදනාවෙන් මිරිකෙන්න ගත්තා.

"...... ඔයාට මතකද... මම කිව්වා... "

"ඔයා... දන්නේ නැහැ වෙච්ච දේවල්"

"ඔයාට මතකද මම කිව්වා... ආයෙමත් ඔයාව මුණගැහුනොත්.... කවදාහරි.. කොතැනදී හරි"

"ජෙහාන්.. මම මැ-රි ක-ර-ලා"

විදුලිය විසන්ධි උනා වගේ ජෙහාන් ගැස්සිලා මගේ දිහා බැලුවේ කියපු දේවල් ඔක්කොම නතර වෙලා. මම මගේ නිදහස් වම් අතේ තිබ්බ මංගල මුද්ද උඩට උස්සලා ඔහු ඉස්සරහ පෙන්නුවේ ඇයිද කියන්න මම දන්නේ නැහැ. එය තමයි ඔහුව අඩපණ කරන්න පුළුවන් එකම සහ හොඳම විදිය කියලා මට ඒ වෙලාවේ හිතුනා. ඒ උනාට මට අමතක උනා එය තමයි දරුණුම විදියත් කියලා. මුදුව දිහා තත්පර දෙකක් ඔහු බලාගෙන ඉන්න ඇති.

"එන්න මගේ එක්ක.. මුකුත් කියන්න එපා....."

ජෙහාන් මගේ අතැඟිලි අතරින් ඔහුගේ ඇඟිලි දාලා තදින් මාව අල්ලාගෙන, ඇදගෙන වගේ ආසන අතරින් ගියා. මාව ඇදිලා ගියාද මන්දා. මගේ ආසනේ ලඟට ඇවිත් හිටගන්නකොට අර කලින් හිටපු කෙල්ල එතන හිටියේ නැහැ. ඒ වෙනුවට ඉස්සරහ ආසන පේලියේ ඉඳන් එකපාරටම ඒ කෙල්ල ඔලුව උස්සලා එබුනා.

"හායි !"

"මෙලිසා.... ඔතනම ඉන්න හරිද? පිස්සු නැතුව....."

මාව මැද්දේ ආසනේට ඉබේම තල්ලු උනා.


"ජෙහාන්! තමුසේ මොකද මෙතැන කරන්නේ? ආ??? ඇයි දැන් අපිත් එක්ක යන්න බැහැය කියලනේ මහා ලොකුවට බිස්නස් ක්ලාස් බුක් කලේ.... මොකද මෙතන වෙන්නේ? මේකිටත් මෙන්න අමුතු එකක් වෙලා ඉස්සරහ ආසනේට ආවා! මොකද්ද මෙතන වෙන්නේ කියනවද?"

ඉස්සරහ ආසනෙන් ආපු සද්දෙට ජෙහාන්ගේ තිබ්බ ඒ කැඩුණු මුහුණ එකපාරටම පෙනුනේ නැති නිසා ඒ ඔලුව මේ පැත්තට හැරෙන්න වගේ එනවා දැකපු ගමන් වෙන්න ඇති ජෙහාන් පැනලා ඉස්සර ආසනේ පේන තැන හිටගත්තා. ඒ වෙනකොට මාව මැද්දේ ආසනේ ඉබේම ගුලිවෙලා.

"පිස්සු නෑ හලෝ... තමුසේ හරියට මේක තමුසෙගෙ පුද්ගලික ජෙට් එක වගේනේ දොඩවන්නේ... මට ජනේලේ අයිනක් එතන ලැබුනේ නැති නිසා මෙලිසා කිව්වා එයාගේ එක දෙන්නම් කියල... නැද්ද මෙලිසා? පැහෙන්නේ නැතුව ඉන්නවද?"

මගේ පපුව ගැහෙන්නට උනා. ඒ ඔහුගේ බිරිඳ වෙන්නට බැහැ. මැරතන් තරඟයක අවසන් වටය දුවනවා වගේ මහා අවිනිශ්චිත බවක් මට දැනුනේ. ඒ උනාට ඒ අස්සේ පුදුමාකාර සැනසිල්ලක් වගේ දෙයක්.. ඔහු අන්සතු උනේ නැහැය කියලා මට හිත හදාගන්න ඕනේ නිසාද? එතකොට...??

"දෙය්යන්ගේ නාමෙට.. මට සැනසිල්ලේ මේ ගමන යන්න දෙනවද.. "

උත්තරේ වෙනුවට ඉඟිමැරිල්ලක් , ඔහුගෙන් අර පුංචි කෙල්ලට වෙන්නට ඕනේ! හම්මේ.. ඔහුගේ තියෙන සජීවී බව පුදුමාකාරයි.

"....ඕනේ මගුලක් කරගන්න එකයි!"

ඒක අමනාප චෝදනාවක් නෙවෙයි කියලා මට තේරුනා. ඒ එක්කම හිනාවෙච්ච ජෙහාන් කැරකිලා වගේ ඇවිත් මගේ ළඟම  ආසනේ වාඩි උනත් මම හිටි විදියටම ගුලිවෙලා උන්නේ. ජෙහාන් මගේ දිහා එකපාරක් බැලුවා.

"මන්ජි...! මන්ජරි!!..... ලිඛිතා මන්ජරි.....!! මට ඔයාගේ මුණ බලලා කතාකරන්න ඕනේ"

ජෙහාන් මාව වත්තන් කරලා වගේ ඔහුගේ පැත්තට හරෝගත්තා. මම ඔලුව ඉස්සුවේ නැහැ. මට තේරුනා මොහොතකට කලින් ඔහුව මම චප්ප කරපු නිසා යම් තරමකට අඩපණ වෙලා කියලා. මම මටම සාප කරගත්තා.

"ඔයා.... ම.. ම  මම..."

ජෙහාන් ඉස්ස‍ර ආසනේට නළල තියලා ටික වෙලාවක් ලොකුවට හුස්ම ගන්නවා වගේ පෙනුන නිසා මම හිස හරවලා ඔහු දිහා බලනවත් එක්කම ඔහු හිස මගේ පැත්තට හැරෙව්ව නිසා, ආයෙමත් අපේ ඇස් හමු උනා.

"යකාට ගියාවේ...."

ඒක ඔහු කිව්වේ කාටද කියල මම දන්නේ නැහැ. නමුත් එහෙම කිව්වේ මගේ මුද්ද දීපු කෙනාට කියලා මට වැටහුනත් මම ඔහේ බලාගෙන හිටියා.



"මට කරදර කරන්න එපා ජෙහාන්.... "

ජෙහාන් මගේ දිහා බැලුවේ සුපුරුදු දඟකාර පෙනුමෙන්. මම ඒ බැල්ම මගහරින්න වගේ ඈත තියෙන ගහක මල් පොකුරක් දිහා බලාගෙන හිටියා. හුස්මක් ඉහළට ගත්තා...

"... මම කෙනෙක්ට කැමති වෙලා ඉවරයි"

"මම ඒක දන්නවා"

"මම කිව්වේ... වෙන කෙනෙක්ට.. "

"..............."

"අපේ ඔෆිස් එකේ... එයා..... එයා... අපේ අම්මලා කැමති ටයිපුත් එක්ක... සාමාන්‍ය පවුලක කෙනෙක්"

කිසිම සද්දයක් නැති නිසා මම හොරැහින් වගේ ජෙහාන් දිහා බැලුවා. ඒ ඇස් තිබ්බේ ගොඩාක් ඈත දිහා බලාගෙන. ඒ උනාට වේගෙන් ඇස්පිය ගහනවා.

"......................."

"මම... රට යන්න කැමතිත් නැහැ ජෙහාන්... මම... ඔයාට...."

මගේ හඬ වියැකිලා වගේ ගියා.




".... අපි දෙන්නා... යාළුවො වගේ...."

ජෙහාන් දකුණු අත ඉස්සුවේ මගේ කතාව නතර කරන්න වගේ විධානයෙන්. මට ඉබේටම වචන හිර උනා.

"
එහෙම ඉන්න බැහැ.. ඒක ඔයත් දන්නවා...."

"අපි... මම... කිව්වේ... මාව.. ඔයාට...."

ජෙහාන් ඔලුව දෙපැත්තට වනනවා දැක්කහම මට ඔක්කොම වචන ටික ආයෙමත් හිරවෙන්න ගත්තා.

"මට කියන්න එයා ගැන.. විස්තර.."

මට බයක් ඇති උනා. ජෙහාන් එක දවසින් ඔහුගේ තොරතුරු හොයයි.

"බෑ!"

"එහෙනම් මට එක දවසක් එයාව පෙන්නන්න"

"බෑ !"

ජෙහාන් අඩියක් ඉස්සරහට තියලා මගේ ගාවට ලං වෙනකොට මම පිටිපස්සට අඩියක් තියන්නයි හැදුවේ. නමුත් එතන තිබ්බේ බිත්තියක්.

"මම.... මම.... ඔයාට.... හරි... අපි.. දෙන්නා.. නෑ... ම-ම... "

ඔහුගේ ඒ බිඳුම වැඩියෙන්ම දැනුනේ මට වෙන්න ඇති. මට ඔහු දිහාවේ බලන්න බැහැ.

"විශ්වාසද.. එයා ඔයාට ඇ-ත්-ත-ට-ම ආ-ද-රෙ-යි කියල?"

මම අඩියක් පැත්තට තියලා හැරෙද්දීම ජෙහාන් බිත්තියට වාරු වෙලා වගේ ඇහුවා. මම ඔලුව උඩට පහළට වැනුවා. ඒ තමයි මගේ අන්තිම කඩු පහර!

මම ආයෙමත් නම් ඒ වගේ දෙයක් වෙන්න තියන්නේ නැහැ මන්ජි. කවදා කොහේදී හරි ආයෙමත් මට ඔයාව ලැබුනොත්, මම කොයි තත්වෙක හිටියත් , මම මගේ පණ ගියත් ආයේ නම් ඔයාට යන්න දෙන්නේ නැහැමයි !

ඒ තමයි ඊට දවස් හයකට පස්සේ මම දුරකතනයෙන් අවසාන විදියට මකා දාපු ඔහුගේ ඒ කෙටි පණිවිඩය.


"සර්.. මොනවද බොන්නේ?"

අපි දෙන්නම ගැස්සිලා යන්න ඇති. ගුවන් සේවිකාවක් බීම තල්ලු කරගෙන ඇවිත්. ජෙහාන් ඔලුව උස්සලා මගේ දිහා බැලුවා. ඊට පස්සේ මුකුත්ම අහන්නේ නැතුව

"වයින්.. දෙකක්"

සිතල නිසාද මන්දා මගේ අතපය සීතල වෙලා, මගේ හඬ එලියට ආවේ නැහැ. අපි දිහා හිනා වේවි බලන ගමන් ඇය වයින් පුරවපු විදුරු දෙකක් ජෙහාන්ට දුන්නා. ඇය තමයි වැසිකිලිය ගාව අපේ විගඩම බලාගෙන හිටියේ. මට මහා ලැජ්ජාවක් දැනුනේ. ඇය මම ගැන මොනවා හිතනවා ඇද්ද?

"එහා ආසනේට යන්න.. කොනේම එකට"

වයින් දෙකම ආසනේ තිබ්බ රඳවනයේ තදකරපු ජෙහාන් කිව්වා. මම හෙලවෙන්නේ නැතුව හිටියේ හිතුවක්කාර විදියට.

"ජෙහාන්.. ඔයා හොඳින්ද?"

ඉස්සරහ ආසනයෙන් ඇහුන ඒ සද්දෙට අපි දෙන්නාම ගැස්සුනා. මට මහා භීතියක් ඇතිවුනේ මේ දැන් ඇය ආසන වලට ඉහලින් බලාවිදෝ කියලා. මාව ඉබේටම ගුලි ගැහුනා. ඒ අවසරයෙන් ජෙහාන් මාව උස්සලා එහා පැත්තේ ආසනේට දැම්මේ කොහොමද කියන්න මම දන්නේ නැහැ.

"අය්යෝ.. මල ඇණයක්නේ ඔයා නම්.... යන්නකෝ පාඩුවේ ඔය ෆිල්ම් එකක් දාගෙන..."

ජනේලේ අයිනේ තිබ්බ ආසනේ ගුලිවෙච්ච මට මහා අසරණ කමක් දැනුනේ ඇයිද කියන්න මම දන්නේ නැහැ. ඒ අස්සේ ජෙහාන්ගේ මේ කතාවට මට හිනාත් ගියා. මගේ දිහා බලන්නෙත් නැතුව ඔහුගේ මුහුණේ රැඳුනේත් හිනාවක්. අපි දෙන්නා එකිනෙකා දිහා බලාගන්නකොට ඒ හිනාව වියැකිලා ගියා වගේ.

"බොන්න"

පහත් හඬින් ජෙහාන් මට කිව්වේ වයින් එක මගේ දිහාට දික්කරන ගමන්. මම ඔලුව දෙපැත්තට වැනුවේ 'එපා' කියන්න වගේ. මම ඉබේටම ගුලි ගැහිලා ජනේලේ පැත්තේ කොනට වෙන්න. ජෙහාන් මැද්දේ තිබ්බ ආසනේට ඇවිත් මගේ පැත්තට නැමුනා.

".. ඇල්කොහොල් නෙවෙයි... බොන්න...."

මම ඒත් 'එපා' කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා. ජෙහාන් ලස්සනට හිනාවෙනකොට මගේ හිත පහුරුගානවා වගේ වේදනාවක් දැනුනේ. ඒ හිනාවෙ තිබ්බේ ආදරණිය පරාජයක්.

".... ඉස්සර වගේමයි.... හිතුවොත් හිතුවා..! පිස්සු කෙල්ල"

ඒ හිනාවෙ නෂ්ටාවශේෂ එක්ක ජෙහාන් විදුරු දෙකම කොනේම ආසනේ රැඳෙව්වා. මම මගේ ඇඟිලි දිහා බලාගෙන ඉන්න තමයි හැදුවේ.

"ජෙහාන්...."

ආයෙමත් ඒ බැල්ම බලන්න මගේ හිතේ තිබ්බ කුරිරු ආසාවට මම ඒ මොහොත වෙන් කළා. මම හිතුවටත් වඩා දරුණු කැපුමක් එක්ක පිහිතුඩක් වගේ ඒ බැල්ම මාව පසාරු කරගෙන පපුව තුලට කිඳා බැස්සා.

"... ඔයා.... මැරි.. කලේ... නැද්ද?"

ජෙහාන් ඒකට උත්තර දෙනවා වෙනුවට ඇසිපිය හෙලන්නේ නැතුව මගේ දිහා බලාගෙන. උත්තරය වෙනුවට ලොකු; ගැඹුරු හුස්මක්.

"... එතකොට අර වි-ශ්-මා... අර....."

මම කිව්වේ නැහැ මට ඔහුගේ විවාහ ලියාපදිංචි ආරංචිය දුන්න දිනේෂ් ඊට පස්සේ හම්බුනේ නැහැ කියලා.

"මම ඒක කලේ මමීගේ හිත හදන්න. අපි මාස දෙකෙන් ඩිවෝස් උනා"

මගේ පපුව කඩාගෙන ආගාධයකට වැටෙනවා වගේ මට දැනුනේ. අවුරුදු පහළොවකට වඩා...! දෙය්යනේ මම මහා පවුකාරියක්!! මගේ වමතින් කට වැහෙන්න ඇත්තේ මගේම සාපය මගේ කටින් පිටවෙයි කියලා වෙන්න ඇති. ජෙහාන් එකපාරටම වයින් වීදුරුවක් අරගෙන කටේ හලා ගත්තා.

"ජෙහාන්..."

එකවරම ජෙහාන් මගේ වමත තදින් අල්ලාගෙන ඔහුගේ පපුවට තදකරගත්තා.

"යකාට ගියාවේ... මන්ජි.... මම වගේ තකතීරුවෙක් ලෝකෙවත් නැහැ..."

ජෙහාන් මගේ දිහා බැලුවේ මොන හිතකින්ද කියන්න මම දන්නේ නැහැ. මට ඒ වෙලාවේ මාව නැත්තටම නැතිවෙන්න ඇති. ඔව්... එහෙම උනා තමයි.... මම ඔහුගේ පපුවට කිඳා බැහැපු ඒ අත ළඟට ගෙන ආපු අනික් අත ඇදලා ජෙහාන් එතනටම තදකලා. ඔහුගේ හදවත ගැහෙනවා මට දැනෙනවා. මාව සීතල වෙලා , මොකක් කියන්නද කියලා හිතාගන්න බැරි උනා.

"විශ්මා.... ඔයාට.."

මම කියන්න ගියපු දේ කියාගන්න බැරි උන නිසා මම අහක බලාගත්තා. ඒ උනාට ඒ වෙනකොට වචන ඔක්කොම  අලුවෙලා ගිහින්. මම දන්නවා විශ්මා ජෙහාන්ට මැරෙන්න හදපු බව. ඉස්සර ඔහුගේ යාළුවන් පවා ඔහුට විහිළු කළා ඒ ගැන කියලා. ඊටත් වඩා විශ්මා කියන්නේ පෝසත්; ලස්සන කෙල්ලෙක්. මම වගේ සාමාන්‍ය; කැත කෙනෙක් නෙවෙයි.

"එයාගේ වැරැද්දක් නැහැ මන්ජි. මගේ මෝඩකම් වලට.... මම ඔයාට යන්න දීපු එකයි වැරැද්ද.."

මට මොකක් හරි කියන්න ඕනේ කළා... ඒ උනාට මගේ කට අගුලු වැටිලා.

"... කතා කරන්න බේබි.... මොනවහරි කියන්න.. එක්කෝ..."

ජෙහාන් පිස්සුවෙන් වගේ මගේ අත්දෙක සිපගද්දී මම අඩපණ වෙලා බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් ඇත්තෙම නැති නිසා වෙන්න ඇති. ජෙහාන් කවදාවත් මෙහෙම හැසිරෙනවා මම දැකලා නැහැ. වයින් වලට මත් වෙලාද?

"..... ඔයාට මතකද මම කිව්වා... ආයෙමත් ඔයාව මුණගැහුනොත්.... කොතැනදී හරි.. කවදාහරි.. මම මොන විදියට හිටියත්...."

මම බිම බලාගෙන හිටපු නිසා ජෙහාන් මගේ නිකටින් අල්ලලා උස්සලා මගේ ඇස්දෙක දිහා බැලුවා. මම හොඳටම පරාජය වෙලා ඉවරයි. අත්දෙක ආයෙමත් මගේ උකුල උඩින් තියාගෙන, ඉස්සරහට හැරිලා ආසනේ හිස තදවෙන්න තියාගත්තේ ඇඩුමක් වගේ දෙයක් උගුර ඇතුලෙන් එන්න ගත්ත නිසා.

ආසනේ වම් පැත්තේ තිබ්බ හෑන්ඩ් රෙස්ට් එක අකුලපු ජෙහාන් මගේ ලඟට ලංවෙනකොට මට ඉබේම ජනේලෙන් එපිට බැලුනා. මුළු අවකාශයම වැහිලා තිබ්බේ සොදෝසුදු වලාකුලින් උනාට අඳුර නිසා ඒවායේ සුදුපාට පෙනුනේ නැහැ. ඒ අවසරයෙන් ජෙහාන් මාව එයාගේ පපුවට තුරුල් කරගත්තේ මගේ වටේට තමන්ගේ දකුණු අත දමාගනිමින්. මගේ පපුව ගැහෙන්නට උනා.

කවදාවත් ජෙහාන් මෙහෙම කරලා නැහැ. අවුරුදු පහක් තිස්සේ කොතරම් දඟකාර වැඩ කලත් ජෙහාන් මට මේ විදියට ප්‍රතිචාර දක්වලා නැහැ. ඒ උනත් දැන් අපි තවදුරටත් ඉස්කෝලේ යන කෙල්ලෙක් හා කොල්ලෙකු නොවේ.

ඔහුගේ සිරුරේ උණුසුමත්, ළඟින් වහනය වන විලවුන් සුවඳත් නිසාදෝ මම මත් උනා වෙන්නත් පුළුවන්. මම හෙමින් ජෙහාන් දිහා බැලුවා. ඒ බැල්ම මාව කීතු වලට ඉරනවා වගෙයි.

ජෙහාන් හෙමින් එයාගේ සීතල අතක් මගේ වම කොපුලේ තියනකොට මාව ගැස්සිලා, ඇස්දෙක පියවෙලා යන්න ඇති. පපුවත් ගැහෙනවා හොඳටම. මගේ ඔලුව නොයෙකුත් විකාර වලින් පිරිලා යන්න ගතවුනේ තත්පර මිලි කාලක් වෙන්න ඇති. මම ආයෙමත් ජෙහාන්ගේ පපුවට අත තියලා එයාව එහාට තල්ලු කළා. 'එපා' කියන්න වගේ ඔලුවත් දෙපැත්තට වැනුවේ බිම බලාගෙන.

මට හිත හදාගන්නම බැහැ.

මුකුත්ම කියන්නේ නැතුව ජෙහාන් කොනේම ආසනේට ගියේ ඒ මොහොතෙමයි. මගේ වටා තිබ්බ ඔහුගේ ඒ උණුසුමත් සුවඳත් මම හුස්මක් විදියට ඉහලට ඇද්දේ ලෝබකමින් වෙන්නත් ඇති. මම ඒ දිහා බැලුවේ නැත්තේ වේදනාව හින්දමයි.

අත්දෙකේ වැලමිටි දෙක ආසනේ දෙපැත්තේ තියලා ඒ මත නළල වාරු කරගෙන ජෙහාන් ඉන්නවා මම ඇස කොනෙන් පෙනුනා. වෙන කරන්නට දෙයක් නැහැ. සමහර වෙලාවට හොඳ දේවල් දෙන්නට වේදනාත්මකම තීරණ ගන්න වෙනවා.

අද මම මේ ගමන ආවෙත් ඒ වගේ තීරණයකට පස්සේ නේද? ඒ තීරණයේ කොහෙවත් ජෙහාන් හිටියේ නැහැ. ඔහුගේ නමට මේ සියලු කරදර බැර වෙනවාට මගේ කැමැත්තකුත් නැහැ.

ජෙහාන්.... ඔබ උතුම් කෙනෙක්! මම වගේ අපවිත්‍ර කෙනෙක් නෙවෙයි.
 

ගුවන් සේවිකාවන් ඊට පස්සේ කොට්ට සහ පෙරවන බෙදමින් පැමිණියා. මට උණුසුම් පොරෝනාව දික් කරද්දී ආයෙමත් අපි දෙන්නාගේ ඇස් එකිනෙක ගැටුනා. මේ මොහොතවල් හැම එකක්ම මාව පහුරු ගානවා වගේ.

ගුවන් සේවිකාවට ඔහු මොනවා හෝ කියනුත් ඇය විනීතව එයට එකඟ වෙනවාත් මම දැක්කේ ඇස කොනෙන් වගේ. මට ඕනේ කලේ මේ පැය ගණන පුළුවන් තරම් අඩු තුවාල ඇතුව යන්න. එහෙම කරන්න ගිහින් මම ඊට වඩා ගැඹුරු තුවාල කරගන්න බවක් මට වැටහුනේ නැහැ.

හැමදාමත් මගේ මගේ හිතුවක්කාර මෝඩකම ඒකට හිතුව වෙන්න ඇති. හැමදෙනාගේම නින්දට පහසු වන්නට විදුලි පහන් නිවාදැමුනා. මම කවුළුවෙන් එපිට තියෙන ලස්සන පාටවල් කිසිම දෙයක් නැති තනිකරම අන්ධකාරය දිහා බලාගෙන හිටියේ බෙල්ල උළුක් වෙන්න තරමට හරවලා.

යන්තමට බලද්දී ජෙහාන් මගේ දිහාම බලාගෙන ඉන්නවා මට පෙනුනහම මාව වෙව්ලන්න ගත්තා. මගේ ගාවම ආසනයට ඉහල තිබ්බ ලයිට් එක ඔන් කරපු මම ඔහු නොදැක්කා වගේ ඉන්න අසාර්ථක උත්සාහයක නිරත උනා. මේ අඳුර ඉරාගෙන ඒ ඇස් තිබ්බෙම මගෙත් එක්කමයි.

හෝරාවක් තිස්සේ මම නින්දක් හොයමින් අසාර්ථක පොර පිටියක ගතකලේ. අඳුරේ සිටින ජෙහාන් මගේ දිහා බලාගෙන ඉන්න බව දැනෙනකොට මට මහා අමාරුවක් දැනුනා. ඒ එක්කම ඔහුගේ සුවඳ මගේ හිත ආයෙමත් අවුල් කරන්නට ඇති.

"ජෙහාන්..."

මම රහසෙන් වගේ කියනකොටම කන ළඟ ඇහුනු බෝම්බෙකට දක්වපු ප්‍රතිචාරයෙන් ජෙහාන් ගැස්සුනා. ඒ වෙනකොටත් ඔහු මගේ දිහාම බලාගෙන මොනවදෝ බොනවා.

"... මට... කතාකරන්න ඕනේ"

"හ්ම්ම්? මොකද්ද කිව්වේ?"

"මෙතනට එන්න"

හැමෝම නින්දේ ඉන්න වෙලාවේ කටහඬ පැහැදිලිව ඇහෙන බව මට තේරුනා එතකොට.

"බෑ...!"

මාව ගැස්සිලා ගියා.

"ඔයා එන්න මෙතැනට !"

ඒ කතාවේ තිබ්බේ විධානයක් වගේ. ජෙහාන් බීලද ? මම මොකද්දෝ අදිසි හස්තයකින් තල්ලු වෙලා වගේ මැද්දේ තිබ්බ ආසනේට ගියා. මම ඒ ආසනේ වාඩිවෙනවාත් එක්කම ජෙහාන් කොනේ ආසනේ බල්බ් එක නිවලා දැම්මා. මට දැනුනේ මහා අපහසුතාවයක් උනත් දැන් මමනේ ඉල්ලගෙන කෑවේ.

"මොනවද බොන්නේ?"

ජෙහාන් ටිකක් උඩට උස්සලා පෙන්නුව වීදුරුවේ තිබ්බේ මොනවද කියලා මට වැටහීමක් නැහැ. ඉමිහිරි සුවඳක් නම් ආවා.

"ඕනෙද?"

"මොනවද?"

"වයින්"

"වයින්?? ඇයි වයින් බොන්නේ?? වෙරි වෙන්නද?"

ජෙහාන් එයාගේ මුණ මට හොඳටම ලං කල නිසා වයින් සුවඳත් එක්කම ඔහුගේ ඒ විලවුන් සුවඳ මාව මොකද්දෝ කළා වෙන්න ඇති. නූලක් කැඩිච්ච සරුංගලයක් වගේ යමක් මගෙන් ගිලිහුනා දැනුනා.

මගේ දිහාට නැඹුරු වෙච්ච ජෙහාන්... සෙමෙන්.. ඒ වගේම මෘදු විදියට මගේ තොල් සිපගන්නකොට ඔහුගේ වයින් වල තිබ්බ රස මට හොඳටම දැනුනා. එය ඇත්තටම මෘදු, දීර්ඝ සිපගැනීමක්. මම ඒ මොහොතේ උන්නේ ඇත්තටම වලාකුල් මැද්දෙන් පියාඹන ගමන් කියලා මට හොඳටම දැනුනා. ආරම්භය ඔහුගේ උනත් සිපගැනීම දීර්ඝ උනේ මම නිසා වෙන්න ඇති. වෙන්න ඇති... සමහර වෙලාවට....

"මන්ජි... මගේ කෙල්ල......."

කෙටි විරාමයකට නතරවුනු ඒ සිපගැනීම නැවත උද්දාමයට පත්වන්නට පෙරම ජෙහාන් දෝතින්ම මගේ හිස ඔහු වෙත තදකරමින් කිව්වේ මත්වෙච්ච බඹරෙක් වගේ. සැබෑවටම මමත් හිටියේ වයින් වලට වඩා මත්වෙලා... දෑසම පියාගෙන.... පපුව ගැහෙමින්.... මුළු ලෝකයම අමතක වෙලා..

මට සිහිය එනකොට බොහොම ප්‍රමාදයි.

"වයින් වලට මත්වෙන්නේ නැහැ පිස්සු කෙල්ල!"

හුස්ම අල්වාගෙන නිදහස් වෙච්ච ගමන් ජෙහාන් එහෙම කියද්දී ඔහුගේ වම් අත මගේ උරහිස තනිකරම වසාගෙන පැතිර ගිහින් තිබ්බා. අඩපණ වෙච්ච මම සිහිය එළවාගන්නට තැත්කලත් , ජෙහාන් මාව ඔහුගේ පපුවට තදින් තෙරපාගෙන සිටියා. ඒ පපුවේ සද්දය පිටටත් ඇහෙන්න ඇති. නමුත් හදවත් දෙකම ගැහුනේ නම් එකම තරමේ සද්දෙට.

මොහොතකට කලින් මම සිටියේ මොනතරම් මායාවකද ? මට ඉබේටම කඳුළු උල්පතක් ගලාගෙන ආවා.

"අඬන්න එපා.... ඔයාගේ වැරැද්දක් නැහැ ළමයෝ. මට... මට.. ඇත්තටම සමාවෙන්න... මගෙන් වෙච්ච වැරැද්දට.... "

"................"

අපි දෙන්නා විනාඩි කිහිපයක් එහෙම්මම හිටියා. කිසිම කතාවක් නැතුවම. ඔහුගේ ඇඟේ තිබ්බ වෙව්ලන ගතිය මට තදින්ම දැනෙන්නට උනා. ටික ටික එය අඩුවේගන යනවා මට දැනුනා.

"ඔයා මේ කොහෙද යන්නේ.....? ඇත්තටම... "

ජෙහාන් මගේ ඔලුව හෙමින් අතාගානවා. මට දැනුනේ මහා ආදරයක් වෙන්න ඇති. මම උත්තරයක් දුන්නේ නැහැ. ඒ වෙනුවට මම තවත් ජෙහාන්ට තුරුල් උනා. ජෙහාන්ට එය තේරුනා වෙන්න ඇති.

"..... ඔයාගේ ඕනෙම දෙයක් මට කියන්න මන්ජි.... කොහෙටද ඔයා යන්නේ?"

"ස්ටොක්හෝම් වලට"

යන්තමින් මම කියාගත්තේ ඇඩුම අතරේ.

"තනියෙම?"

මම ඔලුව පපුව ඇතුලේ තියෙද්දීම 'ඔව්' කියන්න ඔලුව උඩට පහලට වැනුවා.

"මම... මම හිතන්නේ...... වැඩිවෙලා මට මෙහෙම ඉන්න බැරිවෙයි වගේ.... තේරෙනවනේ..."

ආපු ලැජ්ජාවට මම ඔහුගේ පපුවෙන් ඈත්වෙලා ඉක්මනට ආසනේ ඉස්සරහ බලාගෙන වාඩි උනා. අපි දෙන්නා අතරේ තිබ්බ හෑන්ඩ් රෙස්ට් එක ඇකිලුනේ කොයි වේලාවේද කියන්නවත් මම දන්නේ නැහැ. මම ලැජ්ජාවෙන් ඇඹරිලා අහක බලාගත්තා. ජෙහාන් හිනාවෙනවා මට තේරෙනවා. තාමත් මගේ ඉඟ වටේ තිබ්බ ඒ අත තද කරලා ජෙහාන් මාව ඇහැරවන්න වගේ හෙලෙව්වා.

".... පිස්සු කෙල්ල.... "

"......................."

" මම හිතන්නේ.... ඇහුවට කමක් නැද්ද?"

ජෙහාන් වීදුරුවක් මගේ ඉස්සරහට දික් කළා.

".... බොන්න... වයින්.... දැක්කනේ වයින්වල බලේ!"

මට දැනුනේ මහා ලැජ්ජාවක්. මම රවලා බලන්න හිතලා ඒ දිහාවට හැරුනා.

"........රැව්වොත්... ආයෙමත් කිස් කරනවා මම!"

මම සම්පුර්ණ පරාජයට ලක්වෙලා කියලා මම දැන් දන්නවා. උදුරලා වගේ ගත්ත වයින් වීදුරුව මම 'ගුඩුස් ගුඩුස්' ගාලා බීලා දාලා මහා වීරකමක් කළා වගේ ජෙහාන් දිහා බැලුවා.

"ජෙහාන්... මම ගිය මාසේ මැද ඩිවෝස් උනා...!"

සමහර වෙලාවට වයින් වලට පුළුවන් වෙන්න ඇති ඒ ටික මගෙන් කියවන්නට. දික්කසාදයෙන් පස්සේ සියල්ලටම හොරෙන් මම රට පනින බව මේ වෙනකල් කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ.

"ම.. මන්ජි!!!"

ඒ වචන ටිකෙන් මට දැනුනා ඔහුගේ වේදනාව මට දැනුන ගානටම දැනුනා කියලා. තත්පර ගානක නිහඬතාවයක් අපි දෙන්නා අතරේ...

"... කණගාටුයි "

"මටත්"

"ඇයි...? ඒ කියන්නේ... ශික්...!! ඇයි මන්ජි...?"

හැඟීම් එක්ක පොරබදනකොට ඔහුගෙන් ගිලිහිච්ච ඒ වචන වලට උත්තර ඕනේ නැහැ කියලා මම දන්නවා. නමුත් ඒ වචන ටික කියපු ගමන් මට මහා සැනසිල්ලක් දැනුන එක නම් ඇත්තක්.

"ජෙහාන්...... මට සමාවෙන්න"

ජෙහාන් අඳුරේ උනත් මගේ දිහා බලාගෙන ඉන්නවා මට පෙනෙනවා, දැනෙනවා. ජෙහාන් එයාගේ නළල මගේ නළලට තද කරලා අඳුර කපාගෙන වගේ මගේ ඇස්දෙක දිහා බැලුවා.

"පිස්සු කෙල්ල... මගේ පුංචි ආඩම්බරකාර කෙල්ල.... "

අඳුරේ උනත් ඒ නෙත්සරේ තිබ්බ කාන්තිය මට දැනෙන්නට ඇති. පපුවේ තිබ්බ මහා ගින්දරක් නිවීගෙන යනවා සේ මට දැනෙන්නට ඇති. ඒ කිසිවක් ගැන නොහිතාම බළල් පැටියෙකු සේ මම ජෙහාන්ගේ පපුවට තුරුළුව වනවිට ජෙහාන්ගේ රැවුල් කොට වලට මගේ නළල තදින් තෙරෙපිලා දැනුනු ඉමිහිරි වේදනාවට මම ඇත්තටම මත්වෙලා හිටියේ; වයින් වලටත් වඩා.

බලාපොරොත්තු නැති , අවකාශයක් නැති ගුවන් ගමනකදී ගමනාන්තය කෙසේ වේදැයි දෙවියන්ද නොදන්නා සේය! ගුවන් යානය අනතුරට පත්වන්නට පුළුවන්. අප දෙදෙනා එකිනෙනට වෙනස් ගමනාන්ත වලින් යන්නටද පිළිවන. මේ සියල්ල හැරපියා ආවා වගේ, ඔහුටද ඔහුගේ මගෙහි යන්නට මම ඉඩ දෙන්නටද පුළුවන.

ඒ සියල්ලම තියෙද්දී, දැනට මට ඇති පිළිකාවෙන් මම ඒ සියල්ලටම පෙර මැරෙන්නටද පුළුවන.


නමුත්.... ජෙහාන් ඔබ එදා දුටු එකට නම් දෙවියන්ට ස්තුති කරන්නට මට වචන නැත. මම දෙවියන් කෙරෙහි කවදාවත් විස්වාසය නොතිබ්බේ මගේ අවාසනාවට වන්නට ඇත..



It was the time when they loved each other best, without hurry or excess, when both were most conscious of and grateful for their incredible victories over adversity.”
 ― Gabriel García Márquez, Love in the Time of Cholera


“Tell him yes. Even if you are dying of fear, even if you are sorry later, because whatever you do, you will be sorry all the rest of your life if you say no.”
― Gabriel García Márquez, Love in the Time of Cholera 


THE END

22 comments:

  1. “Don't cry after my death, I won't know it.
    Love me when I am alive.”
    ― Luffina Lourduraj

    ReplyDelete
    Replies
    1. මැරුණහම බෝතලේකට දායි ඔහොම කිව්වොත්!
      Thanks Pra Jay

      Delete
    2. " Everyday every second with your every breath and your every sigh tell me that you love me;
      In a far off land where only the spirits dwell and even when I am no more than a whispering wind something would come soaring out murmuring those immortal words not to my ears but to my soul..Adios

      Delete
    3. Ravi :

      ඉයාව් වගේ...
      :-(

      Delete
  2. මෙක කියොල පොඩි ලමයි නරක් වෙයිද දන් නෑ

    ReplyDelete
    Replies
    1. දන්නෑ.....

      ළමයි හම්බෙයිද දන්නෑ.....

      Delete
  3. අම්මෝ සුදු ඔයා දියුනු වෙච්ච තරම්

    ReplyDelete
    Replies
    1. ළමයි හම්බෙයිද දන්නෑ..... !

      ;-)

      Delete
  4. Replies
    1. මේ මොකද්ද බොලේ මේ? දළඹුවෙක් වගේ?

      Delete
    2. පැමිනීම සටහන් කරා මම මෙවට විචාර දෙන්න දන්නෙ නෑ ඒකයි

      Delete
    3. විචාර දෙන්න තරම් නිර්මාණ හෝ ලියවිල්ලක් නෙවෙයි මේක. ඒ නිසා කියවලා නිකම්ම යනවට වඩා ඔබේ කමෙන්ට් එක වට්නාවා මට. අහිතකින් නෙවෙයි කිව්වේ.

      :-) Thanks

      Delete
  5. අම්මෝ මේක කියවලා ඉවර උන ගමන් මට ආයෙ ආයෙ The Note book සහ A Walk to Remember බලන්න හිත බල කලා. ඇඩෙනව අප්පා... ( මේ ලිඛ්තා මංජරී නම හොරකන් කරන්න ඕනෙ ... නෑ මම කිව්වෙ දැන් නෙවෙයි දුවෙක් හදපු දවසට )

    ReplyDelete
    Replies
    1. "ඩේයි විඩමා මා මා මා මා මා මා මා ටා...." මගේ නම අල්ලන්ට එපා ආ...ආ...ආ..ආ..ආ. !!!!!! ( දෝංකාරය... ඊට පස්සේ නයි පෙනය)

      අඩුපාඩු ඇති. මුල කොටස ඇරෙන ඉතුරුව ලිව්වේ හද්දීස්සියේ.

      Delete
    2. හදිස්සියේ වෙච්ච සිද්දියක් උනාට, හදිස්සියේ ලිව්වට, හිමීට කියවලා බලන්ඩ වටිනවා....!!!

      Delete
    3. කට්ටකාඩුවේ ලොකු මල්ලි: හි හි හි

      Delete
  6. අර පැහැර ගත්ත කෙල්ලට මක් වුනාද කියල හොයල බලන්නේ නැද්ද? මම මේක කියෙව්වේ නෑ.. පස්සේ ඔක්කොම කියවනවා..

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්.... මම මේ බලාගෙන හිටියේ අර නිර්මාණි ලියපු කතාවේ කෝලියා මොකද කරන්නේ කියල. දැන් මම කරන්න හදන්නේ ඒ කතාවේ අගට, මැදට එහෙම මේ ගෑනු ළමයාවත් අරගෙන ඌ ගියාය කියලා නඩුවක් පටලෝන එක. හොඳයි නේ?

      මේක ඉවරයිනේ. කොටස් තුනයි. කියෙව්වෙම නෑ ?? හලේ...... ඉහි ඉහි

      Delete
  7. යකඩෝ කතාව ඉවරත් වෙලානේ! :O

    ලස්සන කතාවක් ලිඛිතා. හදිසියෙන් ලියන්නෙ නැතුව තව ටිකක් හිතලා ලිව්වානං මේක මීටත් වඩා ලස්සනට ඔයාට ලියන්න තිබ්බා.

    අවසානයනම් හොඳින්ම දැනුණා. සමහර කතාවලට හරියටම මෙහෙම ඉවර වුණා කියලා ඉවර කරනවාට වඩා මේ වගේ අවිනිශ්චිත අවසානයක් තමයි හොඳ. කතාවේ මැද හරියෙදී මම අනුමාන කරලා තිබ්බේ ඔක්කොම අන්තිමේදී ගානට සැට් වෙලා, ඔයා අවසානයේ දීලා තියෙන 'විය හැකියාවල්' අතරින් ගුවන් යානය අනතුරකට ලක්වෙයි කියන එක. මේ වෙච්ච දේවල්වල හැටියට ජෙහාන්නම් මේ මංජිට ආයෙ පැනලා දුවන්න ඉඩ දෙන එකක් නෑ. :)

    ReplyDelete
    Replies
    1. මේක කෙටි කතාවක් අය්යෝ... ( විලි ලැජ්ජයි.. දිග වෙච්ච එකක් ඈ !)

      මගේ ලෙඩේ දන්නේ නැද්ද ඔයා? ඇත්තම කියනවා නම් නිවාඩු පාඩුවේ ලිවිල්ලක් කියල එකකට මම ලියන්නේ අනුන්ගේ අඩුපාඩු ලිවිල්ල විතරයි. මගේ මේ 99 %ක්ම හදිස්සියේ මේ හිතුනා මේ ලිව්වා ටයිප් ඒවා. ඒ හින්දා අඩුපාඩු ගොඩයි. කොහෙද ඉතින් හදාගන්නත් ඉතින් ලියපු දෙයක් ආයෙමත් කියෝන සිරිතකුත් නැහැනේ. මැණුෆැක්චරින් ඩිෆෙක්ස් !

      ඇත්තම කියන්න මේ කතාවේ නොලියපු කොටස නොලිව්ව එක හොඳයි කියලා හිතුනා කොමෙන්ටු දැක්කහම. හි හි හි... ජෙහාන් ගැන තව ලියවෙයි. නොයෙකුත් විදියට. බලමුකෝ නේද?

      මන්ජි එක්ක ජෙහාන් හැමදාම ඉන්නවා.

      Thanks for the comment.

      Delete
  8. වලාකුළු වියන් මැදින් උස් සීත කඳු මුදුනකට අරන් ගිහින් අතෑරිය නේද බිමට ම චප්ප වෙන්න. අහුවෙද්දෙන්කො ඔය ලිඛිතා මට...

    ReplyDelete
    Replies
    1. ඇයි ?? ඌය්යා උනේ නැහැනේ!

      මම කිව්වේ මොකක් වෙයිද කියලා දන්නේ නැහැ කියල... හරි හරි.. නාඬා ඉන්න.. ජෙහාන් ආයෙමත් එනවා ;-)

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි