විසිතුරු කොල

Thursday, March 2, 2017

69. සිංහ ලේ අපි..



කාලයක් තිස්සේ නෙවෙයි..... අවුරුදු බර ගානක විතර ඉඳලා මම හිතාගෙන හිටපු දෙයක්, හිතලා නොලියාම හිටපු දෙයක් බ්ලොග් එකක ලියන්න කොහෙත්ම කැමැත්තක් නොතිබිච්ච දෙයක් ගැන ලියන්න එකපාරටම හිතුනා.

එක වතාවක් මම 'තමිලිනි' ගැන ලියලා මේකට පොඩි පාරක් කපාගෙන ආවත්... ආයෙමත් හිත එක එක වැහිකෝඩ වලට අහුවෙලා ඒ අදහස 'දිය නොවී' යටවෙලා ගියා.

දැන් ආයෙමත් ලියන්න හිතෙනවා.

අවවාදයයි: තමන්ගේ මතය තමන්ට වටිනවා වගේම, අනෙක් කෙනාගේ මතය අනෙකාටද වටී. මම ලියන ජේද තුන හතරෙන් ආකල්ප වල මහා පෙරලියක් වන්නේත්, ඔබේ නිහඬ බවෙන් සෙතක් වන්නේත් නැත. අදහස් මිස පුද්ගල මතගැටුම් නොහොබිනාය. මොකද, අපි මෙතරම් කාලයක් කරමින් හිටියේද එයයි.


මම නොදන්නා කාලයකදී නිලවශයෙන් රටේ 'ජාති' දෙකක මිනිස්සු එකිනෙකා මරාගන්න පටන් අරගෙන, වීරයින් බුරුතු පිටින් බිහිකරමින් පැවතිලා මේ වනවිට වීරයින් ඉස්මොල්ලේ යන තරම් ගානක් හිටියත් තවමත් අපි මරාගන්නවා.

දෙමළ - සිංහල ගැටුම කියන්නේ මොකද්ද?

මෙතෙක්  කියවපු සහ අහපු දේවල් අනුව මට නම් ඇත්තටම හිතේ තියෙන්නේ පුදුම කලකිරීමක් අපේ වැඩිහිටි පරපුර ගැන. ඔවුන් විසින් නිර්මාණය කරපු මේ සැරව පිරුණු තුවාලය දැන් කහන්නේ අපේ පරපුර. කවුරුත් ඒ තුවාලයට බෙහෙත් දානකොට ඇතුල සුද්ද කරන්නේ නැහැනේ. ( කරුණාකර දේශපාලනය, දේශපාලකයෝ ගැන කතාකරන්නවත් එපා. ප්‍රශ්න බිහිකරන්නේ එයාල කියල කතාව යටගහන්නත් එපා. ගින්නක් උනත් වතුරේ පත්තු වෙන්නේ නැහැනේ, දර නැතුව)

සිංහල ජනයා විසින් දෙමළ ජනයා කෙරෙහි පතුරවමින් පැවතුන ඒ දුෂ්ඨ ක්‍රියාවන් නිසාම තමයි මේ හැම දෙයක්ම සිද්ද වෙන්න ඇත්තේ සහ තවදුරටත් සිදුවෙන්නේ. ඒකම තමයි අද වෙනකොට මුස්ලිම් ජනයා කෙරෙහිත් පැතිරිලා යන්නේ.

යුද්ධයක් තිබුණාය කියල හිතන්නකෝ, අපි දැන් තාමත් තලුමරනවා ප්‍රභාකරන් ඝාතනය කලාය , ඊළම පැරදුනාය කියලා. මට නම් මේක මහා විහිළුවක්. ආයුධය නැතුව උනත් අපි හැමෝම මානසිකව තාම යුද්ධ කරනවා නේද?

පොඩ්ඩ ඇත්තම් 'පර දෙමළා, හම්බයා' කියමින් ඒ වෛරය නිදහස් කරන්නේ තාමත් එහෙම නිසයි. අපි හැමෝම කරන්නේ බොරුවක්! නිකමට හිතන්න අවුරුදු ගානක් තමන්ගේ කියල හිතාගෙන හිටපු පවුලකින්, එකපාරටම කිව්වහම 'උඹ අරන් හදාගත්ත එකෙක්' කියලා..... දැනෙන හැඟීම!!

ඇත්ත... සමහර වෙලාවල් වලදී ඒ ඒ ජනකොටස් කරන වැඩ බැලුවහම බලයක් පතුරවනවා කියලා හිතෙනවා. නමුත් ඒකට වියරු වැටෙන්නේ මොකටද? ගමක් ගත්තහම කෝවිලක්, පන්සලක් සහ පල්ලියක් කියන තුනම තිබ්බනම්.... බෞද්ධ අපි විතරක් ඇයි හන්දියක් ගානේ පැලවෙන කපුටු බෝගස් වලට පවා බුදුපිළිම තියාගෙන දඟලන්නේ? ඒක ආගමික අන්තවාදය!!

ලොකු විනාසයකින් පස්සේ උනත් පාඩමක් ඉගෙන ගන්නේ අයට කොහොමත්ම පාඩමක් ඉගෙන ගන්නත් බැහැ. ජපානයේ බෝම්බයෙන් සියල්ල සුන්නත්ධුලි උනාට පස්සේ ඔවුන් අවුරුද්දක් වත් අඩුම තරමේ ඇමරිකාවට විරුද්ධව පෙළපාලි, හර්තාල් කළා කියල මම අහලා නම් නැහැ ( එහෙම දන්නා අය වෙතොත් මාව දැනුවත් කරත්වා) නමුත් අපි??????

දශක තුනක  යුද්ධයකින් පස්සේ තාමත් ඒකෙ අහුකොන් හොයමින් ගැටෙනවා. ආයෙත් යුද්ධයක් ඇතිකරලා අපේ ඊළඟ පරම්පරාවට කහන්න තුවාලෙට ඉහඳ පනුවෝ දානවා. ඇයි මේ?? මේකද අපේ සමාජ වගකීම?

තමිලනි ලිව්වා...
ඒ තමයි එයා යුද්ධ කරපු හැටි. සිංහල අපි පවා කියෙව්වා. ඒකෙ සිංහලයින්ට දීපු වද සහ දෙමල මිනිසුන්ගේ කෘරත්වය පීරමින් කියවන්න උත්සහ කළා.

ඒත් තමිලනි ලිව්වේ නැහැ.... 
ඒ තමයි ආයෙමත් ඒ කැඩුණු තැන වහගෙන ඉදිරියට යන්නේ කොහොමද කියල. දෙමළ ජනතාව ඒකට සුදානම්ද කියල.....

අපේ කට්ටියත් ලිව්වා...
ඒ තමයි අපිත් යුද්ධ කරපු හැටි. 'අපේ' මිනිස්සු කොටින්ගෙන් මැරුම් කාපු හැටි. ගම් පිටින් කැතිගාපු හැටි. 'අපේ' විරුවන් කොටින්ට ප්‍රහාර එල්ල කරපු හැටි! ඒ කතාවල අපිට ඕනේ ජවය; වීරත්වය ඇතිතරම් තියෙන නිසා සිංහල 'අපිට' සන්තෝසයි. ඒවා සාක්ෂි කරගෙන අපි උදම් අනනවා තාමත්...

අපේ කට්ටිය ලිව්වේ නැහැ...

ඒ තමයි මෙහෙම යුද්දෙකට ආයෙත් නොයන්න 'අපේ' මිනිස්සු අතින් වෙන්න ඕනේ මොනවද කියන එක. සොල්දාදුවෝ කියන්නේ කුලියට මිනීමරන තත්වයක් වෙන්න ඕනේ නැහැ කියන එකට අපි සූදානම්ද කියන එක ? මේ සංහිදියාවට අපෙන් ලැබෙන්න ඕනේ දේ අපි දෙනවද කියන එක....

මේ කිසි දෙයක් කිසි කෙනෙක් කරනවා මම දැකලා නැහැ. යුද්ධයකින් පස්සේ වෙන්න ඕනේ මොනවද කියන එක ගැන මෙලෝම දැනුමක් ඇත්තෙක් අවාසනාවට ලංකාවේ ඉතිරිවෙලා ඇත්තේ නැති තරම්....

අදටත් මම දකිනවා සාමාන්‍ය අපි අතින් වෙන නොයෙකුත් අසික්කිත ක්‍රියාවන්. ඒවා නින්දිතයි. උදාහරනෙකට කියන්නම්.. මම හොඳින්ම දන්නා ආයතනයක එදිනෙදා පිරිසිඳු කිරීම් කරන ගැහැණු කෙනෙක් ඉන්නවා. ඇය කතාකරන්නේ සිංහල. ඇය සමඟ වැඩට දෙමළ භාෂාව කතාකරන තවත් ගැහැණු කෙනෙක් ගන්නවා. දැන් 'අපේ' සිංහල එක්කෙනාට ඕක ඉවසන්න බැහැ. හැමදාම අර මනුස්සයාට විරුද්ධව නඩු. දෙමල ගැහැණු එක්කෙනා තමන්ගේ පාඩුවේ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් වෙලත් සිංහල කෙනාට ඇයව ඇහේ කටු වගේ. මුකුත්ම චෝදනාවක් නැති දවසට දුවන ඇගේ තැටිය තමයි..

".... මුන් කොටියෝ.. අපේ අහිංසක කොල්ලෝ මරල, කැති ගාල ඉන්න මුන්ට හෙන හතම ගහන්න ඕනේ අම්මප"

ඒකට මට හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බෑ. ඔන්න අපේ දේශප්‍රේමය!!


මේකේ අනික්පැත්තත් ඇති.

මම දෙමළ කතාකරන හින්දු; මුස්ලිම් ආගමිකයින්ට ඇත්තටම ආදරෙයි. උන් වෙනස් තමයි. ඉතින් ඒ වෙනස මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙන වෙලාවට මම ඒ බව අඟවනවා මිසක් 'කැතිගාන්න' සමුලඝාතනය කරන්න හිතන්නේ නැහැ. හිතන්න ලෝකේ ඉන්නේ එකම ජාතියක් නම් ඒක කොතරම්ම බෝරින්ද කියල?

එහෙමයි කියල මම දමිළ කතාකරන හින්දු ; මුස්ලිම් ආගමික ජනයා එක්ක 'සංහිදියාව' (වැඩියෙන්ම අවභාවිත වෙච්ච වචනයක් නිසා තේරුම මුල සිට සරලව ඉගෙනගත යුතුය ) කියන්නේ විවාහ ගනුදෙනු කියන්නේ නම් නැහැ. උන්ට උන්ගේ පාඩුවේ විවාහ වෙන්න ඉඩ තියෙන්නත් ඕනේ. සංහිදියාව වෙන්නේ විවාහ වලින් නම් මොනතරම් දෙයක්ද? කොටිම්ම අපේ සිංහල අය අතරෙත් උඩරට- පහතරට කසාදවල තියෙන ගැටුම් බැලුවම සංස්කෘති දෙකක් එකතු උනාම මොන තරම් අවුලක් ඇතිවෙන්න පුළුවන්ද ? ඒ නිසා එහෙම විවාහ ගනුදෙනු වලින් නෙවෙයි මේක විසඳෙන්න ඕනේ. අතේ ඇඟිලි පහ විවිධාකාරයි වගේ, ඔවුන්ගේ විවිධත්වයට ගරු කරන සමාජයක් තමයි 'හදාගන්න' ඕනේ.

එතැනදී වගකීම 'මගේ'

එකිනෙකාට ගරු කරනවා නම් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. වැඩිහිටි පරපුර කඩු -මන්නා වලින් උත්තර දීලා දැන් ඉන්න තරුණ පිරිසත් ඒ විදියට තමයි උත්තර හොයන්නේ.

සැකයක් නෑ.. මේ විදියට ගියොත් අපි ආයෙමත් වාර්ගික යුද්ධෙකට යනවා. සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ධෙ එපා උනාට දේශපාලකයින්ට ඒක හිඟන්නාගේ තුවාලේ.....

තේරුම් ගන්න මේ මොහොතේ වත්!



6 comments:

  1. මාත් හැමදාම ලියන්න හිතුවට ඒ ගමන්ම කවදාවත් නොලියන්න හිතන කතාවක් මේක.. මේ කතාවේදී මම දෙබිඩ්ඩේක්.. අර නිම්නයක තනිවී හීන දැකපු චතු වරක් කියුව වගේ X, Y කියල දෙන්නෙක්. X කියන්නේ හමුදාවට ගිය මම.. Y කියන්නේ X එක්ක හමුදාවට ගියත් කවදාවත් හිතින් හමුදා නිලධාරියෙක් නොවිච්චි මම.. X හා Y අතර හැමදාම ගැටුම්.. ඒත් X ට දොස් කියන්න Y ටවත් Y වැරදියි කියන්න X ටවත් බෑ.. මේක අත්දැකීම් හා හෘදසාක්ෂිය අතර ගැටුමක්..

    ReplyDelete
    Replies
    1. ලිව්වේ මගේම රෙෆරන්ස් එකට ක.මි.
      සමහර වෙලාවට මමත් ගැටුමට මැදි වෙනවා. අපි ඇතුලේ ගැටුමක් තියෙන එකත් එක අතකට වටිනවා. ඔලුවෙන් මිසක් කැත්තෙන් පොල්ලෙන් උත්තර නොදී ඉඳියි අඩුම තරමේ

      Delete
  2. “It is not our differences that divide us. It is our inability to recognize, accept, and celebrate those differences.”
    ― Audre Lorde

    ReplyDelete
  3. likitha i hv not seen this earlier. Yes i agree with you. Hope i addressed this matter through my post. Will write all about it soon

    ReplyDelete
    Replies
    1. We hadly talk about the true story behind the whole situation and being emotional for make important decisions.

      Yes please. Waiting for a good post.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි