විසිතුරු කොල

Tuesday, March 7, 2017

72. ඔබ ඇවිත් යන්න එන්න... - 09

09.
------------------------------------------------------------
ලෙවල් ඇඩ්මිෂන් ඇවිත්. ඇඩ්මිෂන් අරගත්තට විභාගේ ලියන්නේ පොලිසියෙන්ද? වැඩ හතරම ලෙසටම එරිලා. මගේ ඔලුව නම් කම්මල වගේ. ඔක්කොම හිටියේ විභාගේ ගැනම හිත හිත; මම විතරක් හෝන්දු මාන්දු වෙලා. චලන හැම වෙලේම මාව උනන්දු කළා. වෙලාවකට මහා කරදරයක් වගේ දැනුනත් ඌ මාව තේරුම් අරගෙන හිටියේ.

"කෝ චිරනි"

"ආ..... එයා ලොකු අම්මලත් එක්ක කතරගම ට්‍රිප් එකක් ගියානේ. ඔයාට කිව්වේ නැද්ද?"

අදිතිගේ උත්තරේට මම මෝල්ගහ ගිල්ලා වගේ නිරුත්තර උනා. මම හිතුවා චිරනි මගේ ගාව ඉඳියි කියලා. මම වැටෙනකොට මාව නැගිට්ටුවයි කියලා.
මම පෙගිච්ච පොල්කිච්චෙක් වගේ හෝල්ට් එකේ බාර් එකට බරවෙලා බිම බලාගත්තා. මුන් ලයිට් එක්ක කතාවක් දාගෙන හිටපු චලන මගේ දිහා බැලුවේ මගේ වෙනස දැකලා.

"... උඹ වරෙන් මම යන්නං "

මම චලනට එහෙම කියලා හෙමින් හෙමින් බස් එක තියෙන තැනට ආවා. ටෙරන්සුයි, බුරියයි, ගොමයයි ඉන්නවා.

"මොකද බන්... පලාලි ඉඳල එන පුකාරා ප්ලේන් එකක් වගේ. මොකද කෙල්ල වලිද?"

"මොන පිස්සුද බන්... ගෑනියි මිනිහයි වගේනේ මුන් දෙන්නා.."

ටෙරන්ස් කිව්වා. මම ඔරලෝසුව දිහා බැලුවා. පහටත් ළඟයි. බස් එකකුත් නැහැ.

"ටෙරන්ස් , උඹ පයින්ද යන්නේ?"

"යනවා නං යමු"



ටෙරන්ස් අනිත් උන්ට ඉන්ඩ ඇරලා මගෙත් එක්ක ඇවිදගෙන ආව.



"මොකද බන් උඹට වෙලා තියෙන්නේ? එග්සෑම් භිතියද? නැත්තං.."

"පිස්සුද බන්. මට කණු හතරක් ෂුවර්"

"ප්‍රශ්නයක් නං කියපන්"

"මට ඒක කියන්න ඕනේ බං.... හිතේ තියාගෙන ඉන්න බෑ "

"මොකද්ද කොක්ක?"

මම කියන්න පුළුවන් කෙටිම විදියට තත්වේ කිව්වා. නිකිනිගේ හමුවීම මිසක් එයා මට වැඩිමල් කතාව නොකියා බොහොම සීමිත විදියටයි කියන්න උනේ. ටෙරන්ස් කිසි බාධාවක් නැතුව අහගෙන හිටියා.

"උඹට කෙල්ලව වැදුනද?"

"මංදා බන්.... එහෙම වෙන්න ඇති"

"මොකද්ද මගෙන්  කෙරෙන්න ඕනේ ? ඒකිව  මුනගස්සන්ඩද ?"

"උඹට පිස්සුද? ඒකි දැන් දන්නවා මම කවුද කියල. මගේ හිතේ තියෙන දේවල් ටික කියාගන්න ලැබුනේ නැහැනේ බන්"

"එහෙනම් ඉතින් ආපහු එහෙ ගිහින් හෝල් ස්ටෝරියම කියපං "

"බෑ... මම ආයෙමත් එහෙ යන්නේ නැහැ. එයාට උවමනාවක් තියෙනවා නම් කතාකරන්න එපැයි. මම නම්බර් එකත් දුන්නනේ"

"එහෙනං ලියුමක් ලියපන්... මම ගෙනිහින් දෙන්නම්"

"උඹට පුලුවන්ද එහෙම කරන්න?"

"සිම්පල්නේ... මම හෙටම ගෙනිහින් දෙන්නම්"

"තෑන්ක් යූ මචං "

ටෙරන්ස් ගේ වචන මට දෙය්යෝ දුන්නා වගේ. හිත හදාගෙන මම ටෙරන්ස්ගේ ගේ ගාවින් බස් එකට නැගලා ගෙදර ආවා.

මුළු රෑම කලේ ලියුම ලියන්න උත්සහ කරපු එක. චලන නිදාගන්නකල් ඉඳලා සුදුපාට අලුත්ම ෆොටෝකොපි කොලයක් අරගෙන ලියන්න ගත්තේ. හිත ගැහෙනවා.

'ආදර නිකිණි'
චඃ... එහෙම පටන් ගන්නේ කොහොමද?
'හිතවත් නිකිණි'
ඒත් එයා අක්කා කෙනෙක්; අක්කා කියලා පටන් අරගෙන කොහොමද පෙම් ලියුමක් ලියන්නේ? ඒක හරියට සරම ඇඳගෙන ඔලුවෙන් හිටගන්නවා වගේ.

මම කොළ දුසිමකට වඩා පොඩිකරන්න ඇති. ඒත් තාම ආමන්ත්‍රණේ වත් ලියාගන්න ; ලියන්නේ මොනවද මට හිතාගන්න බැරි උනා.
චිරනිට ලියුම් ලියන්න ගන්නේ 'loving Chirani ' කියලා. ඒක එක හුස්මට ලියාගෙන යන්න පුළුවන්. මේ වගේ පෙරුම් පුරන්න ඕනේ නැහැ.

පාන්දර දෙකත් පහුවෙලා. තාම එතනමයි. මේ ලියුම මොන හෙනයක් පාත්කරයිද? නිකිණි මට බැනලා උත්තරයක් එවයිද? මාධවී අක්කට කියල තාත්තට කියයිද? මගේ බඩ -පපුව හෝස් ගෑවා.

ලියුම ලියන එක පැත්තක තියලා මම නිදාගන්න ගියා.

-----------------

ටෙරන්ස් එදා ක්ලාස් ආවේ නැහැ. එදා තමයි ක්ලාස් එකේ අන්තිම දවස. උගන්නනවට වඩා කලේ කතාකරන එක. මම ඒ කිසිම දෙයක් අහගෙන ඉන්නේ නැතුව ඩෙස්ක් එකට ඔලුව තියාගෙන හිටියා. කලිම්ම පන්තිය ඇරපු නිසා මම හෝල්ට් එකට ගිහින් චිරනි මතුවෙනකල් බලාගෙන හිටියේ හිස් බැල්මෙන්.

"චිරනි?"

මම පුදුමෙන් බලාගෙන හිටියේ මගේ ගාවින්ම බිම බලාගෙන යන චිරනි දිහා. චිරනි යන්ත්‍රයක් වගේ නතර උනේ පහු උනාටත් පස්සේ. හිනාවක් වත් නැහැ.

"අහ්හ්... කලන.. මම දැක්කේ නැහැ"

"ට්‍රිප් එක කොහොමද?"

"ම... ම.. ඔයා කොහොමද දන්නේ?"

"අදිති මට කිව්වේ. නැතුව ඔයාවත් මට කිව්වාය?"

මගේ අමනාප වචන ටිකක් සැරට දැනෙන්න ඇති.

"කියන්න වෙලාවක් තිබ්බේ නැහැ. හදිස්සියෙන්මයි ගියේ අනේ"

"ඉතින් කොහොමද?"

මම ඇහුවේ එයාගැන.

"ජොලි..."

උත්තරේ ලැබුනේ ට්‍රිප් එක ගැන.
චිරනි ඒකට හිනා වෙලා උත්තර දුන්නා. මම හිස් බැල්මකින් බලාගෙන හිටියා.

".... මහේෂ් අය්යා අලුතෙන් වෑන් එකක් අරගත්තනේ... බ්‍රෑන්ඩ් නිව්.. ඒකෙ ගියේ. මාර කන්ෆටබල් !"

"පාඩන් කරලා ඉවරද?"

අහගෙන ඉන්න බැරුව මම මැද්දෙන් පැනල ඇහුවා.

"අප්පෝ.. එහෙම්මමයි... මේ දවස් ටිකේ මහේෂ් අය්යා ඉන්න නිසා පාඩම් අහගත්තැකි. එයාගේ ෆයිනල් ඉයර්"

"ඔයා වෙනස් වෙලා චිරනි"

මම කෙලින්ම කිව්වත් මොකද්දෝ වැරැද්දකට අහක බැලුනා. චිරනිගේ මුණ රකුසු පෙනුමක් අරන්  කළු වෙනවා මම යන්තමට දැක්කා.

"කලන... ඔයාට මොනවා වෙලාද? මම නෙවෙයි  ඔයයි වෙනස් වෙලා තියෙන්නේ. ක්ලාස් එන්නෙත් නැහැ. මාව මග අරිනවා"

චිරනි කතාකලේ තරහින් පුපුරන ගමන්.

"ඔයා... එකපාරක්වත් ඇහුවද ඇයි කියල?"
චිරනි ගස්සලා අහක බලාගත්තා.

"කියන්නේ නැත්තන් මම බලෙන් අහන්නද?"

ඒ වචන ටිකට මට හොඳටම රිදුනා. නුලකින් ගැටගහලා තිබ්බ දෙයක් ඒ නූල කපලා බිමට දැම්මා වගේ හැඟීමයි මට දැනුනේ. මොකද්දෝ අවසානයක්!

"ඔයාගේ ලෝකේ ඉන්නේ ඔයයි මහා ලොකු මහේෂ් කියන එකායි විතරයි. මම මේවා හොඳට බලාගෙන හිටියේ චිරනි. මමත් කොල්ලෙක්. මෝඩයෙක් නෙවෙයි. කාටවත් පීචන් වෙන්න මම කැමති නැහැ... Do you understand that?"

"How dare you!ඔයා ඔය කාටද කතාකරන්නේ?"

චිරනිගේ ඇස්දෙක ගිනිබෝල පිටකරන්න උනා. මගේ කන්දෙක රත්වෙලා නහයෙන් හුස්ම පිඹිනවා වගේ.

"මේ! චිරනි... මම බූරුවෙක් කියන හිතාගෙන ඇති. සම්පුර්ණයෙන් වැරදියි. තමුසේ යනවා අර මහේෂ් කියන එකා ගාවටම"

දබර ඇඟිල්ලෙන් චිරනිගේ මුණ දිහාවට තදින් කියලා මම හෝල්ට් එකෙන් එළියට බැහැලා යන්න ගියා.
මගේ කටහඬ හින්දා ගල්වෙලා බලාගෙන හිටපු ළමයි දැක්කත් මම ඒවා ගණන් ගත්තේ නැහැ. මගේ මුළු ඇඟම තරහින් වෙව්ලනවා.

චිරනිගේ මේ දෙබිඩි ජිවිතේ මට එපාවෙලා තිබ්බේ. මහේෂ් අය්යා ගැන වරුනාවමයි කොයිවෙලෙත් කටේ තියෙන්නේ. උගේ මෙඩිකල් ෆැකල්ටියයි ; වෑන් එකයි; මෝඩ විහිලුයි තමයි කොයි වෙලෙත් මගෙත් එක්කත් කියවන්නේ. මම කොච්චර නං කියල ඇතිද? නාලකයා දවසක් මිල්ක්  බාර් එක ඇතුලෙදි යවපු හින්ට් එක මට ආයෙමත් මතක් උනා.

"එකෙක් මෙහෙ පස්සෙන් වැටිලා දුවනවා. පංතියේ ලව් කිව්වට අපි දන්නවා බඩුවගෙ අයිතිකාරයා කවුද කියල"

එදා මම හිතුවේ ඌ ඉරිසියාවට කිව්වා කතාවක් කියලා. මොකද නාලක කාලයක් චිරනි පස්සෙන් වැටිලා හිටියා. ඇත්තටම චිරනිගේ පස්සෙන් තමයි වැඩියෙන්ම කොල්ලෝ ආවේ. බැරි වෙච්ච් උන් වැඩි දෙනෙක් මඩ ගහනවා කියන එක මම දන්නවනේ. මහේෂ්ගේ වරුනාව වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියේ මම හිතුවා චිරනි වෙනස් වෙයි කියලා.

මට ලැජ්ජාව ඉවසගන්න බැරි තරමට. මමත් කෙල්ලෝ පස්සේ ගියා තමයි. ඒත් මම චිරනිට බොරුවක් කලේ නැහැ. මම බොක්කෙන්ම ලව්. නිකිණි ගැන උනත් මට චිරනිට කියන්නමයි හිතුනේ. ඒත් චිරනි ඒ දිහා සාධාරණව බලන්නේ නැති බව දැනගෙන හිටියා.  ඔක්කොම හිතේ තියෙන දේවල් කියන්න බැරුව කොහොමද බොක්කෙන් ලව් කරන්නේ?

නිකිණි ඒ පොඩි කාලෙට ඇත්තටම මට ළඟයි වගේ දැනුනේ. චිරනියි මගෙයි අතර වගේ පරතරයක් නැති බවමයි හිතුනේ. පොඩ්ඩක්වත් එහෙම දැනුනෙත් නැහැ.

හැම දෙයක්ම ඉවරයි.
විභාගෙත් ඉවර උනේ මහා සුළි සුළඟක් හමලා ඔක්කොම බිමට පාත් කරලා ගියා වගේ. මම ඔහේ හැඟීමක් දැනීමක් නැතුවා වගේ එන විදියට හිටියා. ඒත් හැම වෙලේම නිකිනිගේ මතකය මගේ ඔලුවේ හොල්මන් කළා.

****************************

ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්.සිත සුවපත්වෙවා

8 comments:

  1. //පලාලි ඉඳල එන පුකාරා ප්ලේන් එකක් වගේ// හෑ අක්කේ.. මොකක්ද පලාලි වලින් එන පුකාරා වල තියෙන අවුල? :)

    අර චිරනි හොල්මනගෙන් ගැලවෙන එකනම් ලොකු දෙයක්.. එතකොට මට නිදහසේ නිකිණි ගැන හිතන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අවුල? ගිහිල්ල කණ්නාඩියක් ඉස්සරහ හිටගෙන බලන්න.

      ඔන්න ඔන්න.... ඕකනේ බැරි...! ඒ කලනද - මේ කලනද ??

      Delete
  2. ලස්සනයි අප්පා මේ කතාව

    ReplyDelete
  3. /අක්කා කියලා පටන් අරගෙන කොහොමද පෙම් ලියුමක් ලියන්නේ? ඒක හරියට සරම ඇඳගෙන ඔලුවෙන් හිටගන්නවා වගේ./

    මරු උපමාව..උඹ සෙල්ලං නෑ... දහ අටේ කාලෙත් යකෝ මරුවට ලියලනෙ...:)

    ReplyDelete
    Replies
    1. අපොයි දෙය්යනේ... කාපල්ලා දැන් මාව

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි