Tuesday, February 11, 2020

237. මම සිහින දකිමි


Image result for kabhi kabhi + song


වරින් වර මා සිත මුමුණයි
නුඹ මා වෙනුවෙන්ම මැවුණු බව
මින් පෙර - තාරුකා අතර දිදුලමින් හිඳ,
නුඹ මා වෙනුවෙන්ම මිහිමතට කැඳවිණි...

විටෙක මම සිතමි
ඔබ බුහුටි සිරුරද, දෑසද මටම හිමි බව...
තුරුපත් අතර සෙවනැලි සෙවන මට බව...
ඔබ දෙතොල් , කෝමල දෑත් මට අයිති බව...

විටෙක මම මවාගමි
මංගල බෙර වැයුම් මග දෙපස වැයෙතැයි...
මංගල රාත්‍රිය මේ දැන් එළඹතැයි..
නුඹ මුහුණ වසාලු සළුපට සෙමෙන් මම හරිතැයි..
නුඹ විලිබරව මා උරෙහි ගුලිවෙතැයි...

විටෙක මම සිහින දකිනෙමි
නුඹ මෙලෙසින්ම ප්‍රේමයෙන් මා හා
දිවි ඇති තුරා සිටිනා බව...
නුඹේ මේ පෙම්වත් බැල්ම
සැමදා මෙලෙසින්ම මා වෙත රැඳෙන බව...
දනිමි ඔබ මට ආගන්තුක බවද - නමුදු.........
මම සිහින දකිමි...




මේ ගීතය මම දකින බොහොම ප්‍රේමනීය ගීතයක්. අහන වාරයක් පාසා උනත් එපා නොවෙන ප්‍රමාණයේ රසයක් තියෙනවා. මේ ගීතයේ අර්ථය ගන්න පුළුවන් තරමින් උත්සහ කළා... අහලා බලන්නකෝ...




Tuesday, February 4, 2020

236. සුහදිනියේ - 30 | මධුලිකා අනතුරක?





 කලින් කොටසට 

විධාරණය වන්නට ආසන්න ගිනිකන්දක් තරණය කරන තිදෙනෙකු සේ අප තිදෙනා එකිනෙකාට වෙනස් දිශා වලින් බංගලාව දෙසට ගමන් කලේ සැලසුම් සහගතවය. තාත්තා පැමිණ ඇත්තේ කා සමඟ දැයි මට එකවරම සිතාගත නොහැකි විය. එබැවින් මම ඉදිරිපස මිදුල දෙසින් පිවිසුණු අතර මම මධුලිකා සුන්දර් සමඟ වතු යායේ තාවකාලික ඩිස්පැන්සරිය වෙත පිටත්කොට හැරියෙමි.

මම එනවිටදී තාත්තා සිය ජීප් රථය තුලින් බැස මිදුලේ සක්මන් කරමින් සිටි අතර මගේ උකුසු ඇස්  ඒ මේ අත දුවමින් ඔහුගේ ඔත්තු සොයන්නට විය. පෙනෙන අයුරින් ඔහු හා කිසිවකු පැමිණ නොමැති හැඩකි. මා දුටු වනම තාත්තා සක්මන නවතා මා දෙස වරක් බලා සිට පෝටිකෝවේ ඇති හාන්සි පුටුව වෙත ඇවිද ගියේය. ඉන් අදහස් කරන්නේ මම ඔහු පසුපස පැමිණිය යුතු බවකි.

මම නිවස තුලින් එන ශබ්ද වලට කන් දුන්නෙමි. කිසිවකුත් පැමිණ නැතිවාද?

"මම මේ ... සුන්දර් එක්ක කෝවිල් ගියා "

තාත්තා කිසිවක් පැවසුවේ නැත. ඔහු අත තවමත් ජංගම දුරකථනය රැඳී තිබිණ. එය කුඩා කනප්පුව මත තැබූ තාත්තා සිය වම අතින් නිකට පිරිමදින්නට විය. එය එතරම් සුබ ලකුණක් නොවන බව මම දනිමි. ඒ ඔහුගේ කල්පනාකාරී ස්වභාවයයි.

තාත්තාගේ මේ හැසිරීම් සියල්ල මල්ලිත්, ඊට වඩා මමත් හොඳින් අවබෝධකොටගෙන සිටින්නේ වඩා ශරීර සෞඛ්‍යට යහපත් බැවිනි. ඔහු සිය පුටුවට ඉදිරියෙන් ඇති අනෙක් පුටුව මට දැක්වූයේය. මම චකිතයෙන් යුතුව එහි හිඳගත් අතර, හිස තුල දහසකුත් එකක් පිළිතුරු අනේක ආකාරයෙන් පටලවමින් බොරු කන්දක් ලැස්ති කරගත්තෙමි.

Monday, January 27, 2020

235. සුහදිනියේ : මෙතෙක් කතාව.....




මෙතෙක් කතාව..................

තීක්ෂණ වාසලමුදලි සහ විරංග මීගහතැන්න යනු ජාත්‍යන්තර පාසලකින් මෑතකදී ඉගෙනීම නිමකළ ගජ මිතුරන් දෙදෙනෙකි. ධනවත් සෙල්ලක්කාර චරිතයක් වන තීක්ෂණ ගේ සිත් ගත් ආඩම්බරකාර තරුණියක වන මධුලිකා නමැති තරුණිය , අහම්බෙන් මෙන් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන බව ඔවුන් දකින අතර, ඔවුන් දෙදෙනා එක්ව ඈ ඉන් බේරාගනු ලැබේ. මධුලිකා යනු, කලකට පෙර ලංකාවේ අතිශය ධනවත්, සුප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිට පසුව අතුරුදහන් වූ සංජිවී ජයවර්ධන ගේ එකම දරුවා බවත්, ඔහුගේ දේපල වලට ඇති තණ්හාවෙන් සංජිවී ජයවර්ධනගේ සොයුරාගේ පුතා වන වාසුල ජයවර්ධන ඈ එලෙස පැහැරගත් බවත් අනාවරණය වෙයි.

විශාල බුදලයකට හිමිකම් කියන මධුලිකා , තීක්ෂණ විසින් සඟවා තබාගන්නා අතර, වයස සම්පුර්ණ වන විටදී ඇගෙන් මුදල් ලබාගන්නා අභිප්‍රායෙන් විරංග ක්‍රියාකරන බව තීක්ෂණට දැනගන්නට ලැබෙන මුත් අහම්බෙන් සිදුවන ක්ෂණික තීරණයකින් මධුලිකා ඈ විවාහ කරගන්නා ලෙස තීක්ෂණගෙන් ඉල්ලන්නිය.

මේ අතරතුරදී , ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ  තීක්ෂණ ගේ පියාගේ, දේශපාලන මිතුරෙකුද මධුලිකා සොයනබව දැනගන්නට ලැබේ. කෙසේ වුවද තික්ෂණගේ පියාගේ තරුණ අවධියේ රහසක් ඔහුට මේ අතරතුර අනාවරණය වෙයි.

අනපේක්ෂිත ලෙස මධුලිකාගේ පවුලේ නිතිඥවරයා හමුවන අතර මින් පසුව තීක්ෂණ කවර ආකාරයේ පියවරක් ගනීද?



පළමුවෙනි කොටසට

Wednesday, January 1, 2020

234. සුහදිනියේ - 29 | මධුලිකාගේ සිත තීක්ෂණ කෙරෙහි වෙනස්වේද?

කලින් කොටසට 


විස්තරය ඇසීමෙන් පසුව රිසිවර අන්තයේ තත්පර කිහිපයක නිහැඬියාවෙන් පෙනී ගියේ මා මෙන්ම තාරුක අයියාද යම් පමණකට කැළඹී ඇති බවයි.

"...උඹ දන්නවනේ... ඩඩා එක්ක මට ගේමක් නම් ගහන්න බැරි විත්තිය. අනිත් එක.. මම කැමති නැහැ මේ සීන් එක එලියට අදින්න. උඹට කලිනුත් මම කිව්වේ.... ගෙදර ගියපු ආගියුමන්ට් එක ගැන?"

"..............."

"මට මේක කියන්න උඹ ඇරෙන්න වෙන එකෙක් නැහැ. විරංග උනත් දන්නේ නැහැ මේ සීන් එක ; ඩඩාගේ"

"හරි... කලබල වෙලා බැහැ. අංකල්ට මොකක්හරි බලපෑමක් තියෙන එක දැන් ෂුවර්. එක්කෝ ඒ ගෑනිගෙන් මොකක් හරි තර්ජනයක් තියෙනවා. නැතිනම්...... "

තාරුක අයියා නොකියා කියූ දෙය මට නොවැටහුනා නොවේ. ඔහු පවා විශ්වාස කරන්නට අපහසු වූ ඒ කාරණය අවසාන නිගමනය නොවේවා කියා මගේ සිත මුරගෑවේය.

ආවරණ කලාපයේ නොවූ නිසා මම නගරයට පැමිණ පළමු ඇමතුමත්, දෙවන ඇමතුමත් නිමවීමෙන් පසුව තාරුක අයියා ඇමතුවේ සියල්ල පවසනවාට වඩා මගේ හිත හදාගන්නට මෙනි.

Monday, December 16, 2019

233. සුහදිනියේ - 28 | විසඳුම් අතර නොවිසඳෙන ප්‍රශ්න. තීක්ෂණගේ තීරණය කුමක්ද?

කලින් කොටසට 



 වාකිෂ්ඨ මහතා 'හොහ් හොහ්' හඬින් සිනාසෙන්නට විය. මධුලිකාද ඔහු හා එක්ව  සීනු හඬින් සිනාසුනාය.මගේ මුහුණේ වූ ස්වාභාවය නිසා සුන්දර් සිනහව එකවරම නවත්වා ගත්තේය.

"පුතා... උඹ හරිම බය-නැති කොල්ලෙක්.. මම උඹේ ආසම උනේ ඒකට!"

මගේ බෙරිවුනු මුහුණ නිසා සිනහව අතරතුර වාකිෂ්ඨ මගේ පිටට තට්ටුවක් දැමුවේය.

"..... මාව ඉව වැටුන බව තේරුණ නිසා මම ආයේ උඹ පස්සෙන් ආවේ නැහැ කොල්ලෝ. මොකද ඒ වෙනකොට උඹ හරි පාරට වැටිලා. මේකා මට ඔක්කොම තොරතුරු කිව්වා."

ඔහු සුන්දර් දෙසට හැරෙද්දී සුන්දර් බියෙන් මෙන් මා දෙස බලා බයාදු සිනහවක් පෑවේය. සැලසුමේ අග මුල එලෙස විසඳුනි.

මේ සියලු සැලසුම් ඇරඹෙන්නේ සුන්දර් මෙම වතු යායේ සේවයට පැමිණෙන අතරතුරය. සුන්දර් යනු මධුලිකාගේ පියාගේ වතුයායේ කලින් විශ්වාසවන්ත සේවකයෙකුව සිට අභිරහස් ලෙස ඝාතනය කෙරුණු සෙල්වම්ගේ කණිටු පුත්‍රයාය. ඒ වනවිට වාකිෂ්ඨ මධුලිකාගේ ආරක්ෂාව පිණිස පිලියමක් ලෙස කන්‍යාරාමය තෝරා ගත්තා පමණි.

Sunday, November 17, 2019

232. සුහදිනියේ - 27 | සිහිනයෙන් බැස මහපොළවට , වැදගත් හමුවක්

කලින් කොටසට 



කුමක්දෝ අමුත්තක් නිසා මම තිගැස්සී අවදිවීමි. මුළු සිරුරම එකවරම සලිත කරමින් මට දහදිය දමන්නට විය.

සිදුවුයේ කුමක්ද?

යන්තම් අඳුරට හුරුවූ ඇස විසින් මා සිටින්නේ මගේ කාමරයේ ජනේලයට මුහුණලා හිඳගත් සෝෆාවේ බව පසක් වූ අතර , කාමරයේ බැල්කනිය දෙසට ඇති උස් ජනේලය තුලින් සිසිල් සුළඟ ශරීරය වසා නැගුනු දහදිය වහ වහා පිස දමන්නට මෙන් හමා යන්නට විය.

මේ රාත්‍රියේ එය හැරදමා ඇත්තේ කවුරුන්ද? එකවරම යමක් සිහියට ආ මම යහනෙන් බිමට බැස්සා නොව පැන්නුනි.

මධුලිකා කාමරයේ සිටින බවට කිසිදු සාක්ෂියක් නොවුනි!

වහා ජනේලයෙන් එබුනු මට, රාත්‍රී අහසේ අන්ධකාරය අතුරෙන් පෙරී එන සඳ එළිය තුලින්, බැල්කනියේ එතනම කුඩා ගුලියක් සේ බිම හිඳගෙන සිටින මධුලිකා ඇස ගැටෙද්දී යන්තම් හුස්මක් වැටුණි.

ඊළඟ මොහොතේ මගේ කල්පනාව නැවතත් අවුල්ව දැනුනි. කුමක්ද සිදුවුයේ? මධුලිකා මෙතැනට පැමිණියේ කෙසේද?

Wednesday, November 13, 2019

231. වැළඳගනු මැනවි මා..

වැළඳගනු පැමිණ මා
නොඑනු ඇත මේ රාත්‍රිය ,
යලිදු කිසි දිනයෙක
මුණ නොගැසෙනු ඇත
අප මේ දිවිය තුල...

දෛවයේ අපුර්වත්වයකට
ලැබුවෙමු මේ මොහොත,
හදවතින්ම වඩා ලංව
බලනු මැන මා දෙස,
නොලබනු ඇතිය නැවතත්
මෙවන් මොහොතක්
නැවත මේ දිවිය තුල...

ලංව සිටිනු මැන මට
යලි යලිත් නොඑනු ඇති මා
මින් පසුව ,
ප්‍රේමයේ මියුරු කඳුළැල්
නොගලනු ඇතිය නැවතත්
මේ දෙඇසින් යලි..

වැළඳගනු මැනවි මා..





Related Posts Plugin for WordPress, Blogger...