Sunday, February 24, 2019
202. සුහදිනියේ - 09 | මධුලිකා පැහැරගත්තේ කුමක් සඳහාද?
මම ඔරවලා විරංගයා දිහා බැලුවා.
"මොකද උඹ ඔරවන්නේ? මම කිව්වේ ඇත්ත"
"ඒ මොකක් උනත් ; මධුලිකාව ආවට ගියාට එහෙම ඇරලවන්න බෑ"
"ගොනෝ... ගොන් මීමෝ! මේ ගේ අස්සේ උඹ හිතන්නේ උඹට ඒකිව හංගගෙන ඉන්නෙක අර හින්දි ෆිල්ම් එකක් වගේ එකක් කියලද? අල්ලපු කාමරේ මල්ලි; ඒ අස්සේ අර මැණිකා.... ඔක්කොටම වඩා උඹේ අම්මා."
ඌ කියන එක ඇත්ත. ඒ මොකක් උනත් මට මධුලිකාව 'කොහෙටහරි' ගෙනියන්න කියන්න හිතක් නැහැ. අනිත් එක අපි තුන්දෙනාට එකට ගමනක් යන්න එලියට බහින එකත් මේ වෙලාවේ හැටියට අවදානමක්.
"අපි ලෝයර්ට කතාකරන්න ඕනේ! කෝ දියන් උඹේ ෆෝන් එක"
විරංග උඩ සාක්කුවෙන් ජංගම දුරකතනය ගන්න ගමන් එකපාරටම ඇහිබැම ඇකිළුවා.
"කෝ උඹේ ෆෝන් එක?"
මම සද්දයක් නැතුව ඔහුගේ අතින් ඉක්මනින් ජංගම දුරකතනය උදුරලා අරගෙන lock එක ඇරලා; නම් පතේ තිබ්බ දුරකථන අංකය එකින් එක ඔබන්න ගත්තේ අවධානයක් දෙන්නම නැතුවයි. අපි වාඩිවෙලා හිටියේ බැල්කනියේ තිබ්බ පොඩි මිදුලේ. එතන වාඩි උනේ හොඳට අවට පේන නිසාමයි. වෙලාව නම් දවල් දොළහටත් ළඟයි.
".... මට කියන්න එපා උඹ ඒක අර ජේමිස් බණ්ඩා වැඩේ කරන්න ගියපු තැනක හලලා ආවා කියල..."
Thursday, February 7, 2019
201. සුහදිනියේ - 08 | තොරතුරු එකින් එක එළියට
කලින් කොටසට
වෙලාවේ හැටියට කරන්න තිබ්බ හොඳම දේ තමයි මම කලේ.
සෑහෙන මහන්සියකින් පස්සේ කෙල්ලගේ කඳුළු ගංගාව පොඩ්ඩක් විතර නතර කරගන්න පුළුවන් උනා. ඔක්කොමත් හරි මේ ටැප් එක ඇරිල්ලත් හරි! ඒ ඔක්කොටම කලින් කලේ මගේ කාමරේට දාල අගුලු දාපු එකයි.
මධුලිකාට යන්න දෙන්න විදියක් නැහැ මේ තුවාලත් එක්ක. අනිත් එක ඇත්තටම කියනවා නම් ඇත්තටම මොකද උනේ කියලා තාමත් මමත් විරංගත් දන්නෙත් නැහැ. එහෙමයි කියලා තුවාල වෙලා, අලකලංචි වෙලා වෙහෙස වෙලා හිටපු මධුලිකා තවත් වෙහසවන්න ඕනේ කලේ නැහැ මට.
සෑහෙන වෙලාවක් තිස්සේ කරුණු කියලා තේරුම් කරලා දුන්නා එහෙම පැනල යන එක මේ වෙලාවේ හැටියට නොකළයුතු දෙයක් කියල. ඇත්තටම අන්තිම ටික කිව්වේ විරංග තමයි. මොකද කියනවා නම් ඒ වෙනකොට මගේ පොඩ්ඩක් විතර පටි රෝල් වෙලා තිබ්බ නිසා.
දොර වැහුවම කාමරෙන් පනින්න පුළුවන් වෙන්නේ ජෙනේලෙන් විතරයි. ඒක කකුල තුවාල වෙච්ච මධුලිකාට කරන්න බැහැ. කරුණු කිව්වට පස්සේ මගෙන් මුහුණ හංගගෙන හිටපු මධුලිකා යම් එකඟතාවයකට ආවා.
ඒ නිසා එයාට මගේ ඇඳේ නිදාගන්න ඉඩ දීලා මම විරංගත් එක්ක එහා කාමරේට ගියා. ඒක මල්ලිගේ.
පාන්දර වෙනකල්ම මට නින්ද ගියේ නැහැ. එක පැත්තකින් මම කරපු ගලවාගැනීමේ මෙහෙයුම මොන පැත්තට කැරකෙයිද කියලා හිතාගන්න බැරි නිසා. අනිත් එක තමයි මේ කෙල්ලට මම හිතා හෝ නොහිතා දීපු වද මතක් වෙනකොට කවදාවත් නැති පසුතැවිල්ලක් එනවා. ඒ ඔක්කොටම වඩා මේ කෙල්ලට
ඇත්තටම මොකද උනේ කියලා තියෙන කුතුහලය.
ඔලුව ඇතුලේ එක එක මනෝ විකාර හිතමින් ඉඳලා නින්ද ගියේ පාන්දර දෙක තුන වගේ වෙනකොට මම හිතන්නේ.
උඩ ගිහිල්ලා ඇහැරුනේ කවුරුහරි දොරට ගහන සද්දෙකට. විරංග මටත් කලින් දොර ගාවට ගිහින් මගේ මුණ දිහා බැලුවා. මටත් කියන්න දෙයක් නැහැ.
"බේබි........ ලොකු බේබි..... තේ ගෙනාවා..."
Wednesday, February 6, 2019
200. සුහදිනියේ - 07 | මධුලිකා පැනයාමට තැත්කරයි
කලින් කොටසට
බේගල් හැටකෝටියක් ඇදබාන්න බලාගෙන හිටියත් ඒ මොකවත් නැතුව මධුලිකාව දැක්ක ගමන් තුවාන්ගේ අයියා ඕනේ වැඩටික කරලා දුන්නා. කකුලේ වළලුකරේ තරමක පිපිරුමක් නිසා වේදනාවට කෙල්ල බෙරිහන් දෙනවා ; ආයෙත් ජබර කලන්තේ.
මාරම වැඩේ කියන්නේ ඒක දැකලා මගේ ඇඟේ අමාරුව ඔන්න ඔහේ තියෙද්දී තුවාල වලටවත් බෙහෙත් නොදා එන්නේ තව ටිකෙන්.
බෙහෙත් දාල වෙළුම් පටි දාල ඉවර වෙනකොට මාව ඇවිදින මමියක් වගේ උනත් ඇඟට පොඩි සහනයක් ආවා. ඩිස්පැන්සරියෙන් එලියට බැස්සාම තමයි වෙලාව බැලුවේ. ඒ වෙනකොට වෙලාව රෑ දහයත් පහුවෙලා! මධුලිකාවත් කාර් එකේ දාගෙන මමත් විරන්ගයත් හෙමින් හෙමින් ගේ ළඟට එනකොට අපි දෙන්නා කතාවෙලා හිටියේ ඊළඟ පියවර මොකද කරන්නේ කියලා.
මේ වෙලාවට විජේදාස පිටිපස්සේ ගේට්ටුව යන්තම් වහලා ඉස්සරහ මුරකුටියට යනවා අනිත් ගේට්ටු චෙක් කරන ගමන්. ඒ අනුව මම කලේ පිටිපස්සේ පොඩි ගේට්ටුවෙන් ඇතුලට විරංග තල්ලු කරලා ඇතුලෙන් ඇරව ගන්න එක. මේක ඉතින් මම ක්ලබ් ගියාම, ඕනෙම හොර ගමනක් ගියාම කරන වැඩක් නිසා මට ගලේ කෙටුවා වගේ විස්වාසයි.
හෙමින් වාහනේ ඇතුලට දාලා ගේට්ටුව වහගත්තම ඊළඟ අභියෝගය තමයි මධුලිකාව උඩට අරගෙන යන එක. වෙනදට නම් බැල්කනියේ පඩිපෙළට දාලා තියෙන ඉබ්බා එක්ක උනත්, පඩිපෙළට පැත්තකින් නගින එක තමයි. ඒත් මේ හරහට ඉන්න කලන්තේ ෆැක්ටේරියක් එක්ක කොහොමද ඒ සර්කස් දාන්නේ?
ඔත්තු බලන්න විරංග යවලා මම කලේ බැල්කනියේ පහල ගේට්ටුවෙන් පඩිපෙළේ මගක් උඩට යන ගමන් ගේ ඇතුලේ තත්වය බලාගත්ත එකයි. එතැනට ගේ ඇතුලේ එක්තරා කොටසක් පේනවා. මේවා අත්දැකීමෙන් හොයාගත්ත හොර පාරවල්!
ලකුණු අනුව නම් අම්මා නින්දට ගිහින් කුස්සි අම්මා නම් ඇහැරගෙන වගේ.
ආයෙමත් විනාඩි පහක් විතර සද්දයක් නැතුව ඉන්නකොට බැල්කනියේ පහල ගේට්ටුව ගාවින් අඩි සද්දයක් ඇහුනා. ඒ නම් විරංගයා වෙන්න බැහැ.
ඉවරයි!
Tuesday, February 5, 2019
199. පරණ පෙම්වතියට ලියමි... | over and out
කරුණාවන්ත මිනිස්දුවණිය
අඳේ ඉවරව බෝම කල්වෙයි !
පුරන්වූ ඒ බිම්කඩ
සින්නක්කර අයිති මටමයි!
ඇති දෙයක් වවාගෙන,
දෙන දේක වෙන දෙයක් බලාගෙන
ඉන්ට හැකිනම් හොඳයි!
බෝම පිං අයිතිවෙයි,
කුරුළු කොටහත් ඉවරයි...
නුඹට නම්
කොහොමත්ම තහංචියි...
~~~ මන්ජි
Sunday, November 18, 2018
198. සෙක්කුව
මේ...
ඔබ දන්නවාද හිත ;
අකීකරුකම කියන්නෙම
ව්‍යාධියක් බව
ඔසුවක් කිසිදාක
පත්තියන් නොවන?
අරෙහෙට මෙහෙට
හිත
හිත
හිත
හිත .... හිත
ගැස්මක් නැතුවම ඉන්නකොට
මට හිතෙන්නෙම,
හිතක් නැති උඹ
සෙක්කුවක තියාගෙන මම
කොට
කොට
කොට
කොට
එකතැනම කැරකෙන එක!
Tuesday, November 13, 2018
197. සුහදිනියේ - 06 | මරුකටකින් බේරීමට උත්සහයක්
දැන් ඉතින් වෙන විකල්පයක් ඇත්තේ නැහැ. විරන්ගයාට කතා කරලා ගෙන්න ගන්නත් ඉන්න ඉසව්වක් කියන්නවත් කිසිම දෙයක් පේන්නෙත් නැහැ. පරක්කු උනොත් කෙල්ල ගෙදර නැතිබව දැනගත්ත ගමන් අරුන් ටික පිස්සු බල්ලෝ වගේ මේ ඔක්කොම පීරලා ගත්තම කලන්තේ හැදිලා ඉන්න මේ කෙල්ල එක්ක මම මොකක් කරන්නද?
ආයේ හිතන්න දෙයක් නැහැ. අතපත ගාලා මම මධුගේ කකුල් දෙකයි උරහිසයි පාදා ගත්තා. පුළුවන් විදියට හරහට වඩාගෙන බලනකොට අගල සෑහෙන්න උසයි. යන්තම් කළුවරේ දැක්කා මම ගෙනාපු ලනුව තාමත් මගේ එක අතක රැඳිලා. පුළුවන් විදියට ඉක්මනින් කලේ අඳුරට හුරුවෙච්ච ඇස්දෙක පෙන්වන විදියට මධුව ගැට ගහලා , ඊට පස්සේ අගලින් එලියට ඇවිත් ළිඳෙන් අදින බාල්දිය වගේ උඩට ඇදපු එකයි. හම්මෝ පන නැති වෙච්ච ශරීරයක් එහෙම අදිනවා කියන්නේ මගේ කොන්ද කැඩෙන වැඩක්!
ඒ අතරේ මම බයෙන් බයෙන් බැලුවේ මේ වෙනකොටත් පැහැරගත්ත මිනිස්සු පස්සෙන් වැටිලාදෝ කියලා. මගේ වෙලාවටද මන්දා තාම එහෙම ඉඟියක් තිබ්බේ නැහැ. පපුව දෙමෝලෙන් පිටි කොටනකොට හති හලාගෙන කොහොමහරි මධූ අගලෙන් එලියට ගන්නකොට තාමත් කෙඳිරි ගානවා.
කඹයත් එක්කම හරහට ගත්තු මම ආයෙත් දුවන්න ගත්තා මට හිතෙන ඉසව්වට. විනාඩි කීපයකින් ඝන කැලෑව පාදාගෙන මම පාරට ආවා. වටපිට බලනකොට පාලු පාරේ කිසිම දෙයක් පෙනෙන්න නැහැ. කොන්ද කැඩෙන්න වගේ හති හලන ගමන් මම දෙපැත්ත බැලුවේ කොයි පැත්තට යන්නද කියලා හිතාගන්න බැරුව.
Monday, November 12, 2018
196. සුහදිනියේ - 05 | විරංග ලොකු අවදානමක
කලින් කොටසට
"පිස්සු නම් කෙලින්න හදන්න එපා බං අපි මේක පොලිසියට කියමු."
"අනේ මේ නිකා හිටපන් පොලිසියෙන් එනකොට මේ කෙල්ලට මොකක් හරි වෙලා තිබ්බොත් උඹ වගකියනවද? අනේ උඹයි මායි දන්නා ලංකාවේ පොලිසිය"
"එහෙම නෙවෙයි... ඉන්නකෝ බලන්න මම ජිල්බාට වත් කතාකරලා. ඌගෙ තාත්තා දන්නා කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න"
"උඹ ඉතින් උපදෙස් අරගෙන එනකොට වෙන්න ඕනේ ටික වෙලා තියෙයි. යකෝ ඒ කෙල්ල අර යක්කු මැද්දේ අසරණ වෙලා ඉන්නවා. උදව් ඉල්ලුවෙත් අපෙන්. රට වටේට උපදෙස් අරගෙන එනකොට පැස්බරා පැනලා තියෙයි ඉස්තාලෙන්"
"පැස්බරා නෙවෙයි යකෝ අස්සයා..."
"මොකා හරි.... මගේ ඔලුව අවුල් වෙලා..."
"මගෙත් ඔලුව අවුල් වෙලා. "
මම කලේ අත්දෙකෙන්ම ඔලුවේ කොණ්ඩේ අවුල් කරන එක. හරියට නිකන් අවුල් වෙච්ච කොණ්ඩේ අස්සේ තිබිලා උත්තරේ බිමට වැටෙයි වගේ.
"මම නම් කියන්නේ මේකට අත දාලා අත පුච්චගන්න එක එතරම් නුවනට හුරු නෑ කියලා. අපි කොහොමද බන් ඒ මාළුකාරයෝ එක්ක හැප්පෙන්නේ?"
ඒ කොහොම කිව්වත් මට මධුලිකාව මෙහෙම අනතුරක තියලා අහක බලාගෙන ඉන්න බැහැ. මේ වෙනකොටත් මොකක් කරලද කියලා කවුද දන්නේ? මම වෙලාව බැලුවා. වෙලාව 4 ත් පහුවෙලා.
"අතින් පයින් නම් බැහැ තමයි. ඒ උනාට අපිට පාවිච්චි කරන්න තියෙන්නේ මොලේ..."





