මම හිටියේ කලබලෙන්....
මහා කාලගෝට්ටියක් එක්ක , ගංවතුරට අහුවෙච්ච
කොටයක් වගේ වෙහෙස වෙලා , හෝරා එකහමාරක් කිසිම කතාවක් නැතුව අධිවේගී
මාර්ගයේ ආව උනත් මම හිටියේ මහා කලබලෙන්.
කිලෝ ගාන හරියටම හරිදැයි
පස් හය වතාවක් කිරලා, අලුතෙන්ම ගෙනාපු ඉබ්බා තදකරපු මගේ ගමන් මල්ල හැල්මේ
තල්ලු කරගෙන මම ඇතුල්වීමේ පර්යන්තයේ තිබ්බ දොරෙන් ඇතුලට පැන්නේ මේ දැන්
පොලිසියෙන් පන්නනකොට දුවන කසිප්පු මුදලාලි කෙනෙක් වගේ වෙන්න ඕනේ.
"..... මන්ජි?"
දොරටුව
ගාවදි එකපාරටම මතක් වෙලා, දාපු දිහාවක් මතකයක් නැතුව ගුවන් ගමන් බලපත්‍රය
එක්ක දාපු ටිකට්පත් හොයන්නට අතේ තිබ්බ අත්බෑගයේ ඇතුලට ඔලුව ඔබාගත්ත මම ඒ
ඇමතුමෙන් ඇත්තටම ගැස්සිලා ගියා.
විදුලි දුම්රියකින් එකපාරටම එලියට විසි උනා
වගේ ඒ ඇමතුම මාව අවුරුදු විස්සකට එහාට තල්ලු කළා. මට තේරුනා.... ඔව්... ඒ
නිසයි මට ඔලුව උස්සගන්න බැරි උනේ...
ඒත් මම දැක්කා සපත්තු දෙකක්....
හැමදාමත් වගේ ඒ සපත්තු 'අඩිඩාස්' තමයි!
දෙය්යනේ!!