Thursday, September 29, 2016

30. බැරි වැඩ කරන අබරෙක්


ශාරීරික වේදනාවට පත් තරුණියක්



යමක් කමක් කරගන්න පුළුවන් කාලෙක නම් මම වගේ ගොන් බඳින කණුවකට වෙන්න පුළුවන් යහපත්ම, උචිතම දේ තමයි එක්තැන් වෙන එක. ඒ කියන්නේ මාරාන්තික හෝ තත්වයකට වැටිලා, නිවාස අඩස්සියේ, ICU එකට අතේ දුරින් විලංගුවේ වැටෙන එක. එහෙම එකතැන් උනාම කාත් කවුරුවත් නැතුව වගේ දැනෙන එකට එක අතකට මම කැමතියි.

හැබැයි ඉතින් කියෝගන්න ( කට නෙවෙයි) සහ බලාගන්න බැරුව එක්තැන් උන එක තමයි මට වෙච්ච අබග්ගේ. ඇස්දෙක හරියට පේන්නේ නැතුව, ලියාගන්න බැරුව ඇඟිලි වෙව්ලනකොට ලැපයෙන් උනත් යමක් කරන්න හරිම අමාරුයි. එහෙම කියල මම අතාරින්නෙ නැහැ.

29. පියඹා එනවාද මා සොයා....

ප්‍රචාරක දැන්වීම: එකිනෙකාට යම් පරතරයක් සහතව ඇවිදයන ජෙසිකා සහ කාර්තික්


ආදරය කියන්නේ පොදු දෙයක් උනාට විඳීම අතිශය පෞද්ගලිකයි. කෙතරම් පෞද්ගලිකද කියල කිව්වොත් සමහර වෙලාවට අප, අපි තුලත් අපගේ මනසින් යටපත් කරවන, උලුප්පන සුන්දර මතකයන්, විඳීම් රාශියක් එකතු කරනවා.

ආදරය කියන තේමාවෙන් බැහැරවුනු සිනමාපටයක් සෙවීම අතිශය දුෂ්කර කාර්යයක්. මානව ආදරය වටා ගෙතුණු කතන්දර එතරම්ම පවතිද්දී, ඉතාම සරල ආදර කතාවකින් කරන්න හැකි යමක් තියේවිද? ඇත්තෙන්ම කරන්න හැකි යමක් නැහැ! තරුණයෙකුගේ ආදරයට නතුව , ඉන්පසුව සිදුවන පොදු කතන්දර සියල්ලේම තිබෙන්නේ හෝ තිබීමට හැකිවන්නේ එකම රාමුවක සිද්ධීන්. ඔවුන්ගේ සුන්දර මතක, අඬදබර, සුන්දර විහිළු වලින් තොරව තිබිය හැකි වෙන යමක් කොයින්ද? ඉතින් එවන් කතා තේමාවකින් තිරරචනයක් , චිත්‍රපටයක් දක්වා ගෙනයන්නේ කවර කැපකිරිමක්ද ?

Monday, September 26, 2016

28. වලාකුළු - දිය බිංදු - අහස


වලාකුලක් මත හිඳින දුර රඳවාගත් නෙත් ඇති සුරංගනාවියක්



ඔබ කියයි එහෙම,
පාවෙන එකමනේ විදිය
වලාකුලක සහජ උරුමය
කවරක්ද වෙන ඉතින් වරද?

මම නේද
පොලව ගැන හිත හිත
වලාකුලකටම ජීවිතය කැපකළ,
වැටෙන මොහොතක පවා
සරුසාර තණනිල්ල මවන?

මොන තරම් බිහිරිද අහස
මේ සා විසල් වැලපුම් අසන ,
වලාකුළු එහෙ මෙහෙට අදින...
වැහි බිංදු ගැන බිඳුවක් නොසිතන?

එකම සරතයක
එකිනෙකා දෙසම බලාගෙන
වලාකුළු - දිය බිංදු - අහසත්
ඉන්න හැටි
කිසි දෙයක් නොකියාම?


Wednesday, August 17, 2016

27. සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන




සින්දු කිව්වහම මට මතක් වෙන්නේ මුහුදක්. ඉතින් සින්දු මුහුදෙන් දිය දෝතක් අරගත්තට සෑහෙන්න පුලුවන්ද? ඉතින් මම එක සින්දුවක් ගැනම හිතනවා. හැබැයි මගේ පරිකල්පන එක්ක ගැලපෙන ඒවා තියෙන්නේ ගායක/ගායිකාවන් අතුරින් සුළුපටු ගානකටත් නෙවෙයි.

මුලින්ම්ම ඉන්නේ අමරසිරි පීරිස්. කොටින්ම අමරසිරි හූවක් කිව්වත් ඒකටත් කැමතියි තරමට! ඊළඟට ඉන්නේ අමරදේව. ( හැබැයි කැමති එතුමාගේ තරුණකාලේ කියපු හඬට, ඒවායේ අමුත්තක් තියෙනවා), ඊළඟට ඉන්නේ මගේ අහිංසක සෝමතිලක ජයමහ. ඊට පස්සේ ඉතින් සුනිල් එදිරිසිංහ,  දිවුල්ගනේ , ඉමාන් පෙරේරා, කසුන් කල්හාර, නන්දා මාලනී, සුජාතා අත්තනායක, උමාරියා, බාචි සුසාන්, ඉන්ද්‍රචාප, නිරෝෂා විරාජිනී, චන්ද්‍රලේඛා, රූකාන්ත, ලහිරු පෙරේරා... අපොයි දෙය්යනේ... ලිස්ට් එක ඔහොම යනවා මිසක්....

ඒ උනාට ගීත රචනය කියන්නේ සුවිශේෂී අවස්තාවක්! මගේ ගීත රචකයින්ගේ ලිස්ට් එකේ ඉන්නේ නම් ඔතරම් ප්‍රමාණයක් නෙවෙයි. හේතුව  ගීතවල රචනය ගැන අවධානයක් නැති නිසා වෙන්න ඇති.

ඉතින් ලිස්ට් එකේ මුලිම්ම ඉන්නේ කවදාවත් ලිස්ට් එකේ පහලට යන අදහසක්වත් නැති, ප්‍රේම් ! ප්‍රේමකීර්ති ද අල්විස්. අපොයි, නම කියනකොටත් මට මොකද්දෝ වෙන තරම්... හි හි හි... ඊළඟට ඉතින් යමුනා මාලිනි පෙරේරා.

ප්‍රේම්ගේ සින්දුවක් මට ඕනෙම තැනකදී වෙන්කරලා අඳුනගන්න පුළුවන් තරමටම පදමාලාවන් මගේ හිත ගන්නවා. ඒ කියන්නේ ගීතයක පදමාලාවට බැඳිලා  බැලුවම  ඉතින් ප්‍රේම් තමයි ලියලා තියෙන්නේ. අහම්බෙන් ඉතින් වෙන කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෑත කාලේ අපිට නම් ඒ පින නැහැනේ.... ප්‍රේම් ගීත ලියන හැටි බලන්න... හ්ම්ම් හ්ම්ම්....

ඒක නෙවෙයි...

මෙන්න මේ ගීතය ගත්තහම, මේ ගීතය පුරාම තියෙන හද පාරවන විරහව මට දරන්න බැරි තරම් හින්දා එකම එක පාරක් අහපු ගමන් මගේ ඔලුව හරහා ලොකු පාරක්  එල්ල උනා වගේ සතියක්ම ලොකු අනවරත විරහවක් වින්දා... හි හි හි... ඒ තමයි මගේ සෙන්ටිමෙන්ටල් ගතිය.

නමුත් බලන්නකෝ මේ පදමාලාවේ තියෙන ගැඹුර, සංවේදීබව??? මට නම් සතියක් කොට්ටේ බදාගෙන අඬන්න පුළුවන් තරම් දුකක් මෙතරම් පොඩියට සිංදුවකට ගත්තේ කොහොමද කියලා ප්‍රේම් කොහේ හරි ලියලාවත් තියලා ගියානම්.. හිත හදාගන්න තිබ්බ....

අහල බලන්නකෝ.







වැස්සකට ඉඩ ඇතත් අහස්කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරිතැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

සයුර ගොඩ එන තුරා කඳුමුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවද
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන



පදමාලාව ලිහලා දෙන්න අදහසක් නැහැ. මම හිතන්නේ එය තනිකරම පුද්ගලික විඳීමක්.


මේ සටහනෙන් පස්සේ ආයෙත් ඉතින් සතියක් යනකල් විරහ දුක තමයි ඉතින්....... හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්



ප.ලි.
මේක නන්දා මාලිනි නැතුව අමරසිරි කිව්වා නම්..... මෙලහට මම දිවිනහගෙන! හි හි හි....
විඳලා බලන්නකෝ


Monday, August 15, 2016

26. ඇවිදින මංතිරුව






දුවන උන්
බොහෝ
කැලරි පුච්චන...

නොදුවන ; බලන
උන් පවා
කැලරි පුච්චන....



25. මෙහෙසියක කව







කුරුළු කූජන සවන් සරසමි - රළු පරොලු නුඹ වදන් අහුලා
කිරුළු පළඳන ඔටුනු බිමලමි - සුළු මැදුම් පිළිවෙතින් දැකලා
සියලු දොම්නස නුඹෙන් පිසලමි - ලයමඩල ඔබ යහන කරලා
අත'ළු සියපත ඉදින් රැකගමි - ම'හිමි සඳ ආදරෙන් විඳලා

පැකිල සිතයට රැඳුනු සෙනෙහස - කියාගනු බැරි ඔබ සිතූ
උපුල සුවඳති මසැ'ති දෙවො'වුර - නිතින මා රැකවල් පැතූ
මිඳුල අමදින සදාකල් මා - සිතයි නුඹගේ මින් මතූ
පැකිල පය ඔබ වැටෙනු නොමදෙමි - රජෙකි නුඹ කරඬුව සතූ



Sunday, August 14, 2016

24. කවි නොදත් කවියෙකුට ලියමි....


අහස ගිගිරුම් හලද සියවර - නැතත් කොලමල් පැතුම් තෙමුවේ 
පහස ඉල්ලන පියුම් දියවර - බිඟුන් නොදැකම පෙතිද සැලුවේ 
රහස පවසන සුළඟ එකවර - මදින් මත්වී සුසුම් සැලුවේ 
වෙහෙස සිඳලන එවන් මහමෙර - සිතින් ගොලුවී සිනා සිළුවේ 


අතුපතර රන් සියත් නොමැතිද - දෙඅත් මා නොමුදන ඔබේ 
සොමි සුනෙර මුදු රිදුම් අයැදිද  - හඬන හිත වලකමි ඉබේ 
විලි දුරැර හිරු කිරණ නොමැතිද  - ගැඹුරු පතුලක සුව ලැබේ 
බලකුවෙර සුවිසල් ගසක්වෙද - රැකවරණ ලබනා නුඹේ 




Related Posts Plugin for WordPress, Blogger...