Monday, August 26, 2019

226. මගේ ප්‍රේමිය !









මගේ කුරුළු ආත්මය
වේදනාවෙන් මිරිකී ඇත,
සොයාගත නොහැකිව
සාමය නැමති ගොඩබිම...
කුමක් කරන්නද - කියා කියනු මැන මම  !

වරක් හෝ මට දිස්ව ,
මුසාවක් වුවද මට
ලබාදෙනු මැන, බලාපොරොත්තුව !
කුමක් කරන්නද - කියා කියනු මැන මම  !

රාන්ජන්ගේ මිතුර,
මගේ ඇමතුම ඇසෙවිද?
මට ඇති එකම පිහිට
නුඹ - පමණි මගේ මග

උන්මන්තක මිතුර,
නුඹේ දෛවය සීමා රහිතය.
දෙවියන්ට පමණක්ය
රැකබලාගත හැක්කේ අපව.
නුඹ - පමණි මගේ මග

ආගාමික අනාථයෙකි මමද,
මලක සිටිනා
සමනළයෙකු මෙන්..
වරෙක රැඳී සිට
මොහොතින් ඉගිලී යන...

මාවත මමය සොයමින් පවතින,
ස්වර්ගයට දිවෙන.....
ඔබ හැරෙන විටම
මමද ඒ අතටම හැරෙන ,

ඔබේ රැකවලකු වනු අවැසිය,
තියුණු අවියෙන් මගේ ඇදකුද
කපාගනු අවැසිය ,
වටිනා කෙනෙකු වනු අවැසිය !
කුමක් කරන්නද - කියා කියනු මැන මම  !

Thursday, August 15, 2019

225. තොටියෙකුට බිරිඳව





කෑල තුරු අග මුමුණ මුමුණා - රහස් කියනා බඹරුනේ
දෑල ගඟ ; ගං දෙපස රඳනා - පහස් සොයනා විලසිනේ
සේල මුදමින කොඳුර කොඳුරා - දෑස් පෙළනා කිඳුරණේ
ආල තෙදිනා වරණ වරණා - දුරස් වී හිඳ ඉනු මැනේ

සලිත ගත මත ඉසෙන දියවර - නොවේ මා සිහි කරන්නේ
කලත ගඟ දිය ගැයෙන අමයුර - මැවේ පෙම් ගී ඉතින්නේ
මලිත ගිරවුනි ගයන සුමධුර - ගැයුම මා ගැන කරන්නේ
සුරත මා තුරුලටම ඉඳුවර - කියුම වෙද නොව වටින්නේ?



~~~ මන්ජි

Sunday, August 11, 2019

224. කියන කතාවයි මේ



"ඔහොම තමයි ඉතින් සුපර් මෑන්ලා"

මම සෙමෙන් කියා මාධවී දෙස බලා සිනාසුනෙමි. මාධවී සිනාසුනේ නැත. ඒ වෙනුවට අඳුරු මුහුණෙන් යුතුව මා දෙස බලා සිටියාය. කුසල් අප පසුකොට ගොස් ශාලාවෙන් පිටවයනු මට පෙනුනි. ඔහුගේ මුහුණ බිමට බරව තිබිණි.

"ඌට ඇහෙන්න ඇති."

"ඇහෙන්න තමයි කිව්වේ!"

"උඹ පුදුම නපුරිච්චියක්නේ!"

මාධවී අප ඉඳ උන් මේසයෙන් නැගිට කුසල් පසුපස දිව ගියේ , මෙතෙක් මා මත තිබුණු අත්ල දමා ගසමිනි. මගේ හදවත කිතු වලට ඉරී රූරා වැටෙනවා සේ දැනුනි. මගේ කුරිරු සතුටට තිබුනේ සබන් පෙන ආයුෂයකි. නමුත් මම මේසයෙන් නොනැගිට අවසන් පැණිබිම බින්දුවද උගුරට වත්කර ගත්තෙමි.

Tuesday, August 6, 2019

223. සුහදිනියේ - 26 | තීරණාත්මක වටපිටාවක්. මධුලිකා කුමක් කරයිද?


කලින් කොටසට 

සේවිකාවගේ තත්වය බරපතල නොවුනත්, තුවාන් අයියා විසින් ගමන් බිමන් සඳහා අනුමැතියක් ලබා දුන්නේ නැත. මධුලිකා කාමරයේ හිඳිද්දී මම විරංග හමුවීමට ගියේ කඩෙන් ගත් කෑම පාර්සලයක්ද සහිතවය. මා දුටු විරංග වැඩි කතාවක් නොමැතිවම මම ගෙනා පාර්සලය නිවසේ තබා , මම සමඟම පිටතට පැමිණීමට සුදානම් විය.

විරංග රැගත් මෝටර් රථය පදවාගෙන මම නිහඬවම අප දෙදෙනාගේ සුපුරුදු මුහුද අසබඩ කබානා අවන්හලට පැමිණියෙමි. වාහනය රථගාලේ කෙළවරක නැවැත්වූ මම විරංග දෙස නොබලාම රථයෙන් බිමට බැස්සෙමි. විරංග මා දෙස බලා සිටිනු මට දැනුනි.

කලින් කතාබහ කරගෙන තිබුණු බැවින් මම කෙලින්ම පිවිසියේ කළමනාකාරවරයාගේ කොටසටයි. ඒ වනවිටත් මගේ මිතුරා මා එන බව දැන සුදානම්ව සිටියේය.

"මේ තියෙන්නේ බඩු... !"

ඔහුගේ මේස ලාච්චුවෙන් ගත් ජංගම දුරකථනය මේසය මත තබමින් මා මිත්‍ර කළමනාකාරවරයා ; සමන් ; පැවසීය.

"මේක ටෙස්ට් කරන්න ඕනේ !"


මම දුරකථනය අතට ගෙන ඔහු ලවා එය විවෘත කරගතිමි. අනතුරුව ඔහු දෙස සුහද සිනහවක් පෑ මම දුරකතනයේ තිරයේ මගේ අංකය සඳහන්කර ඇමතුමක් ගතිමි. මගේ දුරකතනයට එයින් ඇමතුමක් එද්දී එහි අංකයක් දිස් වුයේ නැත. ඒ වෙනුවට පුද්ගලික අංකයක් බව පමණක් සඳහන් විය. එසේ නම් එය නිවැරදිය.

Thursday, August 1, 2019

222. සුහදිනියේ - 25 | තීක්ෂණ අන්ත දෙකකට මැදිව


කලින් කොටසට 


එකිනෙකා දෙස බලන්නට නොහැකිව මමත් මධුලිකාත් සේවිකාව හරහා සන්නිවේදනය කරගතිමු. මගේ අවසන් දැනුම් දීමට අනුව මධුලිකා හැඩීම නතරකොට උදෑසන ආහාරය ගෙන තිබුණි. මම තාරුක අයියා සම්බන්ධ කරගන්නට සෑහෙන උත්සහ කලද එය ව්‍යර්ථ විය.

දුරකථනය ආරෝපණය ගැනීම සඳහා විදුලියට සම්බන්ධ කරනවාත් සමඟම සුන්දර් මා ඇමතුවේය. මම වහා පිළිතුරු සැපයුවෙමි.

"සුන්දර්.. කියන්න!"

"සර්... අර මිනිස්සු ටික ගියා... මගේ ෆෝන් එක වැඩකලේ නැහැනේ..."

"අයියෝ සුන්දර් මම සෑහෙන්න ට්‍රයි කළා ඔයාව කන්ටැක්ට් කරගන්න. දැන් කොහෙද ඉන්නේ?"

"ෆෝන් එක හදාගන්න ටවුමට ආව සර්."

"මම හිතන්නේ.... "


මැරයින් මෙහෙ පැමිණ ඇතිවග මම ඔහුට කියන්නට සිතු දේ මම අතරමගදී වෙනස් කරගත්තේ ඇයිදැයි මම අදටත් නොදන්නෙමි.

"........ නෑ ඒක නෙවෙයි... එතන කොර ගහන මිනිහෙක් හිටියද?


Sunday, July 14, 2019

221. සුහදිනියේ - 24 | අවදානම් ක්‍රියාන්විතයක්, මධුලිකා සතුරන් අතට හසුවේද?

කලින් කොටසට 


ආරක්ෂක නිලධාරියා බියපත්ව මා දෙස බැලුවේ මේ අවේලාවේ මෙවන් තැනක කුමක් කරනවාද යන සැකයෙනි. සෑහෙන දුරක් පයින් දිව ආ බැවින් පළමුව අසද්දී මහන්සියට මගේ හුස්ම වැටුනේ කඩින් කඩය. මම ලොකු හුස්මක් ගෙන නැවතත් මගේ ප්‍රශ්නය ප්‍රතිරාව කලෙමි.

"ගෝමස් ඉන්නවද?"

"ගෝමස් කියන්නේ කවුද? මහත්තය කවුද?"

"එතකොට අද රෑට සෙකියුරිටි ඉන්නේ ගෝමස් නෙවෙයිද?"

"ඒක නම් මම දන්නා නැහැ මහත්තය. අද මේ දැන් මම ඉන්නේ! වෙන කවුරුත් නෙවෙයි.. "

ආරක්ෂක නිලධාරියා අතිශය කටුක ලෙස කතාකරන්නට විය. මහා රාත්‍රිය මධ්‍යයේ හැකි උපරිම කෙටි පාරවල් හරහා මම විද්‍යාලය තෙක් පයින්ම පැමිණියේ ඒ මොහොතේ තත්වය අනුව මට කරන්නට යමක් නැති බැවිනි.

Tuesday, July 9, 2019

220. සුහදිනියේ - 23 | විරංග ගැන රහසක්! අනතුරක සේයාවක් ඉව වැටෙයි

කලින් කොටසට 




බැංකුවෙන් පිටත්ව මම කෙලින්ම අවන්හල වෙත ළඟාවන විටත් තාරුක අයියා එහි පැමිණ සිටියේය. ඈතදීම මා හඳුනාගෙන ඔහු සිටි රවුම් ලී මේසය වෙත ගෙන්වා ගන්නට අත වනනවිට, ඔහුට පිටුපසින් මුහුදේ කෙළිදෙලෙන් දඟලන කුඩා දරුවන් පිරිසක් ඇස ගැටුණි.

මම ඒ දෙස බලාගෙනම තාරුක අයියාට අතට අත දී පිලිගතිමි.

"බැංකුවෙන් ගත්තා විස්තර ටික"

මම ජයග්‍රාහි බවින් පවසමින් තාරුක අයියා අත ලියකියවිලි කිහිපය තැබුවෙමි. ඔහු ඒ දෙස බලා සිටිනවිටම ඇස් දිලිසී එනු මට පෙනුනි.

"හ්ම්ම්... මේ තියෙන්නේ බඩු ! "

"මම කිව්වේ... ඔහොම තමයි වෙන්න ඇත්තේ කියලා "

"උඹ දැන් මොකද්ද කරන්න හදන්නේ?"

මම කල්පනාවට වැටුනෙමි.
Related Posts Plugin for WordPress, Blogger...