Thursday, June 28, 2018

183. ගමන || The trip





මේ බස්රියේ
ආසන තුනක අසුනක
උණුහුම්ම කොටස,
ඔබ රැගෙන යනු ඇත....





අතුරු පාරක් නොපෙනෙන
දෙපස සෙවනින් ගැවසුන
පාරවල් දිග
ඔබ ඔහේ යනු ඇත....


මැණ්ඩලිනය
ගීතයක් ගයනු ඇත,
වෙනදාට මට දැනෙන
සීතලක් දැනී ඈ
විටෙක ඔබ උර මතට
වාරුවනු ඇත.....

හරි ඉතින්
කිඹුලන්ද සිටියහැක!
කොරහ පොඩියට තිබුනාට
ඉවසන් ඉන්න ඇහැක ?



~~ මන්ජි

Thursday, June 21, 2018

182. ශිශිරතර පෙම - 2

ශිශිරතර පෙම - 1




එදත් වෙනදා වාගේම ඉර පායලා තිබුණා.

ඒ තමයි මගේ ජිවිතේ ජිවත් කරපු තීරණාත්මක දිනය. මහා ධනස්කන්ධයක හිමිකාරයෝ වෙලා හිටපු අක්කත් මමත් , අක්කාගේ වයස අවුරුදු 18 සම්පුර්ණ වනවිට එම ධනස්කන්ධයේ පාලිකාව වන දවස! අපේ නිවස එකම උත්සවශ්‍රියක් ගත්තේ, ඒ පාලනය පැවරීම අප වටා සිටි හැමදෙනාම නොඉවසිල්ලෙන් සහ අපගේ දේපල වලට ඇසගසාගෙන හිටපු හිතමිතුරු නෑදෑ පිරිවර දෑස දැල්වීමෙන් එම අවස්තාව ගැන උනන්දු උන නිසා වන්නට ඇති.

මෙතෙක් මම හිරවී සිටි කුඩුවෙන් එලියට එන්නට ලැබුණු පරම ප්‍රීතියෙන් මම උමතුවට පත්වෙන්නට ආසන්නව ගොස් සිටියා. කිසි දිනෙක නැටුමක් නොනටා තිබුණු අපගේ නැටුම් ශාලාවත්, කිසිදිනෙක අවශ්‍යයි කියා නොසිතුන තරම් පිඟන් කෝප්පත් විතරක් නෙවෙයි, වඩාත්ම උමතුකාරකය වී තිබුනේ හැරදමා තිබුණු දොරවල්. මම ගේ පුරාම නටමින් ඇවිදිනවිට සේවිකාවන් මා දෙස අනුකම්පාවෙන් බලන්නට ඇති.

ඉතින් මට මොකද?

කවුද දන්නේ අද මගේ ප්‍රේමයේ උරුමක්කාරයා මුණගැහේද කියා?

ඔහු කවරෙකු විය හැකිද?

Wednesday, June 20, 2018

181. ශිශිරතර පෙම - 1





මම පොඩි කාලේ ඉඳන් හරි දඟකාරයි. ඒ උනාට හරිම මිත්‍රශිලියි. මගේ දඟකාරකම් වලට ඉඩක් ලැබුනේ මගේ අක්කා නිසා. මට හිටියේ අක්කා විතරමයි. ඈ මට බොහෝ ආදරය කළා. ඒ වගේම මම ඇයට බොහෝ සමීපයි.

ඒත් එකපාරටම දවසක; හේතුවක්වත් හිතාගන්න බැරි විදියට ; මගෙත් අක්කාගේත් බැඳීම දුරස් කළා. පුංචි මම ඒ වෙනස දරාගන්න බැරි උනා. මම දෙමවුපියන්ගෙන් ඇහුවා, අයැද්දා , එහෙම වෙන්නේ ඇයි කියලා. නමුත් මගේ පිංචි හිතට සැනසෙන්න උත්තරයක් දීගන්න කිසිම කෙනෙක්ට පුළුවන් කමක් තිබ්බේ නැහැ. මහා විසාල අපේ ගෙදර හිටපු සේවකයින් ගාන ගොඩාක් අඩුවෙලා කියලාත්, සමහර දොරාවක්, ජනෙල් වහලාම දාලා කියලාත් තීරුම් ගන්න උනත් මට සෑහෙන කාලයක් ගියා. ඒ ඔක්කොම උනේ අපේ අක්කාව ගෙදර තිබ්බ කාමරයකට කොටුකරපු එකෙන් පස්සේ. මට අක්කාට කතාකරන එක තියා ඈව දකින්නවත් ලැබුනේ නැති තරම්. ඒ දකින හැම මොහොතකම එයා කාර්මිකයෙක් වගේ අමුතු අත්වැසුම් දෙකක් දමාගෙන තමයි හිටියේ. මේක මට හරි ප්‍රෙහෙලිකාවක්.

මෙච්චර කාලයක් එකට තිබ්බ අපේ ඇඳන් වලින් අක්කාගේ ඇඳ අයින් කරලා තිබ්බේ එක මොහොතකින්මයි. මට කතාකරන්න කෙනෙක් නැහැ. මගේ එකම සෙල්ලම් සගයාත් නැහැ. මට කරන්න ඉතුරුවෙලා තිබ්බේ ගෙදර බිත්ති, පින්තුර වලට කතාකරන එක විතරමයි!

මම මගේ ළමා ලෝකේ අතරමං උනා.

Monday, June 18, 2018

180. නෝක්කාඩු කියමි | why me?






මන්දාකිණියක සිට බැබලුන
තරු කුමරෙකුය සපැමිණුන,
උදුරාගෙන ගොහිනි
මගේ සද....
කලා සොලසම හිමිවුණ...


තිත් කලුවරට ඇසදී
බලා ඉමි මග
අසුරිදුට ඇස් බැද
දැන් දැන් එතැයි - උඹ,
තුරුල් කරගනු පිණිසම!
මේ ක්ෂුද්‍ර
ඉරිසියාකාර කෙලිතිව!!!




~~~~~~ මන්ජි

Sunday, April 8, 2018

178. ලෝහමය | be on your mettle





අදුර පමණකි අතර - අප
මේ රැයේ සාක්ෂියක් වන,
නිදි කවුළුවක් අසබඩ
නෙත් කෙවෙනි දලවන - මම!


ෆොලෙන්තිනෝ ලෙසට මම
වයමි එක දුක් ගීතය - යළි
තබායමි හදවත පිපුණු බිම්මල්
පසුවදා ඔබ ඇස ගැටෙනු - මෙනි


ලෝහ යයි කියා හදුනන
හිම පියලි හදවත,
රැගෙන එයි යලිත් ඔබවෙත
කිරෙන් දෝවන බැතක 
අග්‍ර කොටසක හිමිකරුව!

ප්‍රේමය වඩා උනුහුම්ව
සොදුර නුඹ වටා සරන,
අයිති නැති මාව අයිතිකොට...
වෙලා සිපගැනුම පමණක්
ඔසුවක්ව නුඹ අතම දරන....
ආදරය කොයිබින්ද මේ
පැමිණියෙද මා මැණික!



~~~~~~ ...

Thursday, March 29, 2018

177. ඔබ නැතුව - ඔබ එක්ක





රෑ බදුල්ලන් සමග තනිවී ලියා එක දුක් ගීතයක් 
සෑරදුන් පිට පලදවන්නට කියා සෙත් කවි මාලයක්
පෑවදුන් සද අමාවක වෙද තියා කදුලක බීරුමක්
නෑවිදින් උබ රැගෙන ගියවෙද දවා කතරේ දියපොදක්




~~~~ මන්ජි 

Thursday, March 22, 2018

176. කෑලි කපන තනිකම || feeling blue



Loneliness Painting by Varun Tandon



අළුපාට අහස
බලාගත් අත බලාගෙන
කොහේ හෝ සිට
ඇසේවි සිතන
කටහඬක් සොයන....

දෙසවන් අගුල් වැටීගෙන
තොලකට තෙමන වතුර
උගුරේ පවා සිරවෙන....

හාමතේ - සයින්
මිය යාහැකිය
මේ මහා රික්තකය තුල
උඹ විසින් ඇතිකළ....















~~~~මන්ජි
Related Posts Plugin for WordPress, Blogger...