විසිතුරු කොල

Tuesday, June 29, 2021

255: සුහදිනියේ - 46 | අවිනිශ්චිත අනාගතයක පෙර ලකුණු

   කලින් කොටසට 

තාත්තාගේ හෘද සැත්කම ඉක්මන් කලයුතු බව වෛද්‍යවරු දැන්වුයෙන් මම ඒ දේවල් සියල්ලටම දුවපැන ඇවිද්දේ උමතු වුවෙකු පරිද්දෙනි. අම්මාත් මල්ලිත් යන දෙදෙනාම මා උරහිසේ, මගේ සරණ පතාගෙන සිටින බැවින් මට දුර්වල වන්නට අවස්තාවක් නොවිය. 


 

අම්මාටත් සුදම්ටත්  අඩුපාඩුවක්  නොවන ලෙසත් , ඔවුන්ගේ සිත සනහාලන වටපිටාවකුත් ටාෂාගේ නිවසේ තිබීම මට මහත් රුකුලක් විය. තාත්තාගේ අසනීප තත්වය කිසිවකුට නොකී බැවින් වැඩිදෙනා නොපැමිණියද, ඔහුට සිටි විස්වාසවන්ත මිත්‍රයින් සැම දෙනාම මහා පවුරක් වී වටා රොක්ව සිටියෝය. 

තාත්තා මුදල්  වලට වඩා  උපයා ඇත්තේ මිනිසුන් බව අතිශෝක්තියක් නොවේ. අනුලා සම්බන්ධයෙන්ද තාත්තාගේ යම් අසරණකමක් නොවේ නම් අම්මාට ද්‍රෝහී වන්නට තරම් තාත්තා චපල නොවන බව මම වඩ වඩාත් අදහන්නට වීමි.

අසනීප වූ දින සිටම මගේ භාරයේ තිබුණු තාත්තාගේ දුරකථනයට පිළිතුරු දුන්නේ මමයි.  ඇමතුම් අතර දුලිප් නොසිටියද , කිහිප වරක්ම අනුලා අලස් යයි මම සැකකල කාන්තාවක් ඇමතු බව මම සැලකිල්ලෙන් තබාගෙන සිටියෙමි. එම අංකය මගේ යහළුවෙකු ලවා  අයිතිකරුවා සොයාබැලුවද ඒ නම අනුලා නොවිණි. තාත්තාගේ එන ඇමතුම් වලට පිළිතුරු  සපයමින්, මම වත්තේ සියල්ලම නිසිලෙස කළමනාකරණය කරගත්තේ සුන්දර්ගේ සහයෝගය මට නොමදව ලැබුණු බැවිනි. අනෙකුත් ව්‍යාපාර සඳහා ඒ ඒ කළමනාකාරවරුන් අමතා ඔවුන්ට අවශ්‍යකරන දේවල් යම් තරමකට ඉෂ්ටකරදීමට මට හැකිවිය.

දිනකට වරක් ලෙස මට වාකිෂ්ඨ මහතා ඇමතු අතර, ඒ සියල්ලම වත්තේ කාරණා සහ මධුලිකාගේ වර්තමාන  තීරණ සඳහා විය. මධුලිකා සිය විභාගයේදී දැක්වූ දක්ෂතා නිසා ඇයට පහසුවෙන්ම ශිෂ්‍යත්වයක් ලබාගත හැකි බවත් ඒ සඳහා වූ වැඩකටයුතු වල ලියකියවිලි සියල්ලම  මේ වනවිටත් යවා  ඇති බවත් වාකිෂ්ඨ මහතා කියද්දී මධුලිකා සම්බන්දයෙන් වූ වියෝ දුක මගේ පපුව හුරාගෙන යන්නාක් මෙන් දැනුණි.

ඇය මට අයිති නැත. ඇය ඇගේ ගමන යා යුතුය. මගෙන් පමණක් නොවේ, රටෙන්ද වෙන්වියාම ඇගේ අභිප්‍රාය නම්, මට කල හැක්කේ කුමක්ද?  හදවත පැලී රුධිරය වහනය වන්නාක් මෙනි.

"පුතා... එතකොට ඩිවෝස් පේපර්ස් ?"

අවසානයේ වාකිෂ්ඨ මහතා සෙමෙන් ඇසුවේය. ඔහු සැමවිටම මට කරුණාවන්තව සැලකුවේය. වත්තේ සියලු කටයුතු ඔහු සමඟ  සිදුකරන නිසාත්, මගේ අනෙක්පස තත්වය දන්නා නිසාත් ඔහු මට වඩා සමීප විය.

මම නිශ්ශබ්දව සිටියෙමි.

".... මිස්ටර් මීගහතැන්න සල්ලි එපා කිව්ව හින්දා , බෝඩ් එකටවත් ආරංචිය ගියේ නැහැ. නමුත් මිනිස්සු  ටික ටික හොයනවා. මිසිස් මධුලිකාගේ ආරක්ෂාව මේ වෙලාවේ හැටියට වටිනවා "

වාකිෂ්ඨ මහතා මාතෘකාව වෙනස්කොට දැමුවේය.

පපුවේ ඇනුණු කටුවේ වේදනාව නිසා මට තවමත් කතාකරගත නොහැක.

"...පුතා... මම පේපර්ස් ටික මිස්ටර් දුනුවිලට හෙට යවනවා"

"හරි"

මම ඇමතුම විසන්ධි කොට දුරකථනය හිසින් ඉහලට , පසුපසට විසිකොට දැමුවෙමි. එය  බිම වැදී විසිවනු මට ඇසුනි.

 "මොකද මේ ෆෝන් විසික් කරන්නේ?"

මම තිගැස්සී  හැරුනෙමි. ටාෂා මා පිටුපසින් සිටගෙන සිටියාය. එදා සිදුවීමෙන් පසුව කිසි දිනෙක මගේ කාමරයට පැමිණියේ නැති මුත් , ටාෂා මා වෙත බැලුම් හෙලීම නම් අඩුකර තිබුනේ මධුලිකා විෂයෙහි මගේ සිත යම් තරමකට හඳුනාගෙන වන්නට ඇත. 

ඈ කෙරෙහි වූ මගේ ප්‍රතිපත්තිය නිසා , ඈ හැදී වැඩුණු පරිසරයට අනුව ඇය මට සැබෑ මිතුරියක් වුවාය. 

මුලදී කිසිදු සුහදත්වයක් නොතිබුණද , දිනක් පමණ අවෑමෙන් මධුලිකා ටාෂාගේ  සමාගමට එක්ව ඈ හා සුහද වුයේ ටාෂාගේ ඒ ප්‍රීතිමත් භාවය මධුලිකා සතු ස්වභාවික ගුණය හා බද්ධව ගිය නිසා වන්නට ඇත. පාසලේ මධුලිකා ගිනිසිළුවක්ව උන්නේ ඇගේ තිබුණු ඒ දිදුලන තාරුණ්‍ය නිසා නොවේද?

වෙනත් පාසල්වල කොල්ලන්ට ඈ 'black beauty' වුයේ එබැවිනි.

ඔවුන් දෙදෙනාගේ සිනා හඬ ඇසෙද්දී සුදම් මා දෙස හොරැහින් බලන්නේ තදකරගත්  සිනාවක් සහිතවය. එය නොදැක්කා සේ සිටින්නට මම උත්සහ කලේ සුදම්ගේ මුවින් යමක් ගිලිහේ යයි යන බියෙනි. 

අම්මා පවා මධුලිකාට වැඩි ආදරයක්  දක්වනවා යයි සිතීම මගේ සිතළුවක් වන්නට ඇත. අම්මාට කොහොමත් ඇත්තේ තදබල ' දුවලා' පිස්සුවකි.

මම කොරිඩෝවේ ආපසු හැරී බැලුවේ නිකමට මෙනි.

"වීඩියෝ කෝල් එකක්.... මම ආවා ඒ හින්ද"

ටාෂා කිවේ මධුලිකා ගැන බව මට වැටහුණි. 

"ආ..."

මම නිකමට හිස සැලුවෙමි. මධුලිකා ඇගේ ස්වීඩන් යෙහෙළිය සමඟ ශිෂ්‍යත්වයක් පිළිබඳව සාකච්ජා කරන බව ටාෂා මට පෙර කියා තිබිණ. 

මේ නිවසට පැමිණි දා පටන්, කෑම මේසයේදී හැරුනුකොට මධුලිකා මගේ මුහුණ  බැලු මොහොතක් නැති තරමකි. එයට හේතුව මම තාත්තා සම්බන්ධයෙන් සහ වත්තේ වැඩ සම්බන්ධයෙන් අතිශය කාර්යබහුල නිසාත් , මධුලිකා මා මගහැර සිටීමට උත්සහ කල නිසාත් යන කාරනා දෙකම නිසා වන්නට ඇත.  අතරින් පතර අහම්බෙන් මෙන් දකින ඇගේ ඔරවන නෙත්සර පපුව හරහා කැපුමක් සේ ගමන් කලද මම ඒ වේදනාව නිහඬව විඳගත්තෙමි. ඈ අහිමිවන බව දැන දැනම මේ දැක්ම සිත පාරවන දෙයක්  උවද,මගේ දෑස මානයෙන් ඈ නොවීම ඊට වඩා හදවත පාරවයි.

අප දෙදෙනාගේ ප්‍රේමනීය මොහොතවල් මගේ සැප නින්ද සොරාගෙන තිබිණ. ලැබෙන සැම මොහොතකදීම මම කාර්යබහුල වන්නට කැමති වුයේ ඒ පීඩාවෙන් මිදෙන්නට මෙනි.

"මොකද වෙන්නේ තිකු?"

"මොකද වෙන්නේ කියන්නේ?"

"මධු එක්ක කතාකලාද?"

මම හිස දෙපසට සලා 'නැහැ' කියුවෙමි.

"එයා ඔයා ගැන කතාකරන්න වැඩිය කැමති නැහැනේ. මම නම් කියන්නේ ඔයා වෙලාවක කතාකරන්න තිකු... කතාකරලා කියන්නකෝ ඔයාගේ හිත... දෙන්නා කතාකලා නම් හරි, ඔයාගේ මේ මහලොකු ආඩම්බරකම පැත්තක තියල..."

මම යන්තම්  සිනාසුනෙමි.

මධුලිකාගේත් මගෙත් විවාහයක් හෝ මේ මහා විරසකයට හේතුවක් ටාෂා නොදන්නීය. එය කියන්නට මගේද සුදානමක් තිබුනේ නැත. 

".....ඔයා හොඳ කෙනෙක් තිකු....  ඇත්තටම හොඳම කොල්ලෙක් !"

 මම අපහසුවෙන් සිනාසෙන්නට උත්සහ කලෙමි.

".... මම ප්‍රෙග්නන්ට් කතාවක් කිව්වේ... ඔයාගේ හැසිරීම බලන්න... ඇත්තටම ඔයා මට ඒ වෙලාවේ සැලකුව විදියටම මගේ හිත හැදුනා."

මම විමතියෙන් ටාෂා දෙස බැලුවෙමි.

"..........."

".. ඔයා මට අබෝෂන් එකක් ගැනවත් කිවේ නැහැ.. ඔයා මට බැන්නේ නැහැ.. මාව පිළිකුල් කලේ නැහැ.. මගෑරියේ නැහැ... ඒ ගැන හිතුවාම... ආදරේ හිතුනා තමයි. ඒත් ඔයාගේ හිත මගේ ගාව නෙවෙයි කියලා දුන හින්දා මට ඔයාව මධුගෙන් උදුරගන්න ඕනෙකමක් හිතුනෙම නැහැ..."

"............."

"මගේ මෙහෙම ප්‍රෙග්නන්ට් වෙච්ච යාලුවෙක්ට උනේ,  වැරදිටික එයාගේ ඇඟේ ගහලා කොල්ලා පැනල දුවපු එක.. ඊටත් ඉංග්ලන්ඩ් වල හිටපු ලංකාවේ කොල්ලෙක්... ඒ යාළුවා අන්තිමේ මානසික වෛද්‍යවරයෙක් ගාවට ගියත් අන්තිමේ ජීවිතේ  නැතිකරගත්තා... ඔයා.. ඔයා මට එහෙම කලේ නැහැ... "

කුමක්ම කියන්නදැයි මට සිතුනේ නැත.

"අනිත් එක.. ඔයා කවදාවත් මට හිත රිදෙන්නවත් වචනයක් කිව්වේ නැහැ.... අදටත් ඔයා "

"...."

".. මට හරිදුකයි තිකු... මම හින්දා ඔයාත් එක්ක මධු තරහ වෙලා ඉන්නෙක ගැන..."

මම මගේ සුදුපිරියම් කරන චරිතය දෙස බැලුවේ සෝපහාසයෙනි. මම ඔය කියන තරමේ සුදු චරිතයක් නොවේ.

"ඔයත් මං ගැන අම්මලාට කියලා නෑනේ... එහෙම තමයි ටාෂා... අපි... අපි සමහර දේවල් වලදී සාධාරණ වෙන්න ඕනේ..."

මම ඈත බලාගෙන කිව්වෙමි.

"ඔයා මධුට ආදරේ කරන තරම් මධු දන්නේ නැහැ, මට හිතෙන්නේ එහෙම... මධු කියන්නේ... ඇත්තටම මාර හොඳ කෙල්ලෙක්... ඒ උනාට හරි සෙන්සිටිව්... "

මධුලිකා සිහිවී මගේ සිත බරවන්නට විය. ටාෂා කියන්නේ සත්‍යකි. මධුලිකා ප්‍රේමයේදී අධි සංවේදීය. මම තරමටම ඊර්ෂ්‍යාකාරය. විනෝදයට ඈ නතුකරගෙන එය පාසලේ කොල්ලන්ගේ විනෝදය පිණිස පැතිරවීම බරපතල දෙයක් බව මම එකල තේරුම් නොගෙන තිබිණි.

"ලොකු...... අපි යනවා.."

ඒ අම්මාගේ කටහඬයි. තාත්තාගේ රෝහල්ගතවිමෙන් සෑම දිනකම අම්මා බෝධිපුජාවක් සඳහා සවසට යන්නේ ටාෂාගේ මව සමඟය. තම සැමියා වෙනුවෙන් ඒ සා කැපවීමක් දකින මගේ සිත මධුලිකා මා වෙනුවෙන් කල වතාවත් වලින් පෑරී යාම වැලැක්විය නොහැකිය.

"අපි යමු රූෆ් ටොප් එකට... ? අද අහසේ තරුත් තියෙනවා... ඉන්න මම සුදම්ටත් එන්න කියන්න"

බරපතල සාකච්ජාව වහා වෙනස්කල ටාෂා මගේ අවසරයක් නොමැතිවම පිටව ගියාය. 

ඉන් මද වෙලාවකට පසුව මමත්, මල්ලි සුදම් සමඟ රූෆ් ටොප් එකට ගියෙමු. එහි කුඩා පුද්ගලික ජාල තටාකයක්  බද්ධව සමර් හට් ආකාරයට තැනු නවීන විවේක අංගනයක් තිබිණ. ලා කහපාට විදුලි බල්බ වලින් ආලෝකමත් වූ එය යම් පමණකට රෝමාන්තික බවකින් යුක්තවිය.

"මෙන්න.. අද නම් තිකු සින්දුවක් කියන්නම ඕනේ.."

ටාෂා එලෙස කියමින් මගේ ගිටාරය මගේ අතට බලෙන් මෙන් දුන්නාය. මම සුදම් දෙස බැලුවෙමි.

".. ඔව් ඔව්... සුදම් තමයි කිව්වේ ඔයා හොඳ ගායකයෙක් කියල... මෙන්න අනිත් දේවල්!"

ටාෂා වයින් සහ බියර්  කිහිපයක් එතන කෝපි මේසය මත තැබුවේ ප්‍රිතියෙනි. එකෙනෙහිම ඈට පිටුපසින් කවුදෝ සිටිනු දැක මම ඇස හරවා ; හිස ඔසවා බැලුවෙමි. ඒ මධුලිකාය! 

ඈ කහපාට දණහිස් දක්වා වන ගවුමක් ඇඳගෙන සිටියාය. වරලස ඉහලට කොට ගැටගසා තිබුණු අතර එයින් කෙස් ගස් කිහිපයක් අවුල්ව මුහුණට වැටී තිබිණ. මගේ සිත කඩාගෙන ගියාක් මෙන් විය. කටේ කෙල සිඳී ගියාද? මම ඉවත බලාගෙන ගිටාරයේ තත් සුසර කරන්නට වීමි.

 "මරේ මරු! ටාෂා අක්කි ඔයා නම් දේවතාවියක්!!"

සුදම් ටාෂා වැළඳගත්තේය. මධුලිකා මා දෙස හොරැහින් බැලුවාය. ඒ බැල්මේ තිබුනේ අමුත්තකි. මනස අවුල්ව ගියාක් මෙනි. ටාෂා අත තිබුණු ජංගම දුරකථනය නාද විය.

"ආ.... එන්න උදානි.. ඔහොම්මම වම් පැත්තේ තියෙන පඩිපෙළ දිගේ එන්න අපි ඉන්නේ රූෆ් ටොප් එකේ.."

ඇමතුමෙන් පසුව ටාෂා සිනාසෙමින් පුටුවේ හිඳගත්තාය. මධුලිකාගේ ගවුම සුළඟට ලෙලදෙයි. ඇය එක අතකින් ගවුම අල්ලාගෙන හිඳගන්නට මෙන් පුටුවක් සෙව්වාය.

"අක්ක එන්න මෙතනට"

සුදම් මා අසලින් නැගිට වහා වෙනත් පුටුවකට ගිය නමුත් මධුලිකා නොවේ මා අසල පුටුවට පැමිණියේ. මට සුසුමක් නැගුණි. එතරම් කෝපයක් ඈ මා කෙරෙහි තබාගෙන සිටීද?

මොහොතකින් උදානි පැමිණියේ සිනාසීගෙනය.

"ශා.. නියමයිනේ.... අද මෙතන පාටියක් වගේ.... මොකද කෝ ආන්ටිලා නැද්ද?"

"එයාල පන්සල් ගිහින්.... "

"හැමදාම මෙහෙම බුම්මගෙන ඉන්න බෑනේ. අද තිකු අපිට සින්දු කියනවා"

උදානි ප්‍රීතියෙන් සහ උද්‍යෝගයෙන් ටාෂා දෙස  බලා,මධුලිකා දෙසට ඉඟිමැරූ අතර මධුලිකා ඈ දෙස රවා බැලූ බැවින් මට සිනාවක් නැගුණි.

'නපුරිච්චි'

සේවකයෙකු විසින් තවත් සිතල බියර් කෑන් කිහිපයක් ගෙනත් තැබුවේය. සිතල බියර් දුටුවිට මගේ සිත පිබිදුනේ ඉබේටමය. ලොකු සුසුමකින් ලය ඉබේටම සැහැල්ලු වුවා සේ දැනුනි.

"ෂා.. මරුනේ.... පාටි එකක් තියෙනවා නම් ඉතින් තීක්ෂණගේ සින්දුවක් නැතුව කොහෙද?"

උදානි ප්‍රීතියෙන් කියා මේසය මත තිබුණු බියර් කෑනයක් ගෙන විවෘත කලාය. සුදම්ද ඇය අනුගමනය කලේ ප්‍රිතියෙනි. ටාෂා මධුලිකාට දුන් බීර කෑන් එක මධුලිකා හිස දෙපසට වනා ප්‍රතික්ෂේප කළාය. ටාෂා එබැවින් ඇයට වයින් වීදුරුවක් වත්කොට දෙනු දුටු මමද බීර කෑනයක් විවෘත කරගත්තෙමි.

"චියර්ස්... තීක්ෂණගේ සුපර් ඩුපර් ජීවිතේට!"

ටාෂා සවුදිය පිරුවාය.

සියල්ලෝම කෑ ගසමින් සිනාසුනහ. මධුලිකා හොරෙන් මා දෙස බලයි. එය සෑහෙන උත්තේජනයකි. මගේ සිත අතිශය උණුසුමින් පිරි දෑස නොපෙනන තරමට උන්මන්තක ගතියක් දැනුනි.

"ඔන්න පලවෙනි ගීත ඉල්ලීම මගෙන්... තිකු... අනේ.. ඔන්න බැහැ කියන්න බෑ "

ටාෂා බීර කෑනය මා දෙසට උලුක් කරමින් කීවාය. ඇගේ කෙටි සාය තිබුනේ කලවා වලටත් ඉහලින්ද මන්දා.

".... මට ඕනේ Enrique ගේ සින්දුවක්"

මට සිනහ නැගුණි. මධුලිකා බලා සිටින්නේ මගේ සිනහව දෙස බව මට එකවරම හසුවිය. මම ඇගේ ඇස් මගහැරියෙමි.

"හරි හරි.... මොකක්ද ඕනේ.. මට සමහර ඒවායේ lyrics මතක නෑනේ"

"හුරේ..........!"

සියල්ලෝම ප්‍රීතිඝෝෂා කළහ.


 

මම සෙමෙන් ගිටාරය වයන්නට පටන් ගත්තෙමි.

Monday night and I feel so low
I count the hours but they go so slow
I know the sound of your voice
Can save my soul
 
City lights, streets of gold
Look out my window to the world below
Moves so fast and it feels so cold
And I'm all alone 
Don't let me die
I'm losing my mind
 
Baby just give me a sign
And now that you're gone
I just wanna be with you
And I can't go on
 
I wanna be with you

I can't sleep, I'm up all night
Through these tears I try to smile
I know the touch of your hand
Can save my life
 
Don't let me down
Come to me now
I got to be with you somehow
And now that you're gone
I just wanna be with you
And I can't go on
I wanna be with you
Wanna be with you

"හම්මෝ තීක්ෂණ.... ඔයා මාව මරන්නද හදන්නේ..."

උදානි කෑගසා කිවේ ගීතය අවසාන වන මොහොතේය. හිස ඔසවා බැලූ මම දුටුවේ ටාෂා සිය පපුවට අත තබාගෙන බලාසිටිනුත්, මධුලිකා යටිතොල විකාගෙන බිම බලාගෙන සිටිනුත්ය.

මගේ පපුව සිරවන බවක් දැනුනෙන් මම සිනාසෙමින් ගිටාරය පසෙක තැබුවෙමි.

"ඒකෙ අදහස මම එතරම්ම නරක ගායකයෙක් කියලද?"

"..පිස්සු. පිකදු....... මොනාද හලෝ මේ කියන්නේ ? , මාර ලස්සනයි... තමුසෙට එන්රිකේ කියන්නේ එහෙනම් විහිලුවටත් නෙවෙයි... "

සුදම් මගේ කකුලට තට්ටුවක් දමමින් කිවේය. මට විරංග සිහිවිය. මගේ ගායන සියල්ලම දුටුවේ ඔහුය. මා සමඟ තට්ටු නිවාසයේ අනන්ත වාරයක් බීර බොමින් ගිටාර් ගසන්නේ ඔහු සමඟය. මා ඒ නමින් බෞස්තීම කලේ විරංගයි.

"ආ... දැන් මධුගේ ඉල්ලීමක් තමයි ඕනේ"

උදානි ඇස කොණින් ඉඟිමරමින් කි අතර සියල්ලෝම ප්‍රීතියෙන් මොරදුන්හ. මධුලිකා රවා බැලුවද ඇගේ මුහුණේ නපුරුකමක් මම දුටුවේ නැත. සියල්ලම පරයා ඇගේ දෙතොල් මගේ සිත කළඹමිනි.

"පිස්සුද.. මගේ එහෙම ඉල්ලීමක් නැහැ..."

 කෙතරම් වදකලද  මධුලිකා ගීතයක් ඉල්ලුවේ නැත. 

"මොනාද මධු... ඔයා ඔහොම පුම්බගෙන ඉන්නේ..."

උදානි කෝපයෙන් කීවාය. ඇය සැබෑවටම කෝපයෙන් බව දුටු මම පුදුම වූ නමුත් මධුලිකාට වද  නොදෙන ලෙස ඇයට ඇසෙන්  කීවෙමි.

ටාෂා වහා ගොස් යාබද කාමරයක තිබී කොන්ගෝ බෙර යුගලයක් රැගෙන සේවකයෙක් සමග පැමිණියාය. සුදම් පැන එයට අයිතිය කීවේය.

අප බීර තොල ගාමින් මෘදු සංගීතය වින්දෙමු. සිංහල, ඉංග්‍රීසි සින්දු දෙවර්ගම කියමින් අප කොපමණ වෙලාවක් එහි සිටියාදැයි මට තේරුමක් නැත.

**********************************************

රාත්‍රිය දිගු විය. 

තාත්තාගේ සැත්කම ඇත්තේ දහවල් වන්නටය. මගේ සිත කැළඹී ඇත. සියලු වගකීම්  දැරීම වෙහෙසකර බවක් මට මිට පෙර දැනී නැත. තාත්තා ඒවා කෙසේ කරන්නට ඇතිද?

මම කාමරයේ ඒ මේ අත ඇවිද්දේ මහන්සිය නිසා අවැසිව තිබෙන නින්ද මට නොලැබීමේ අපහසුවෙනි.

ඉතුරුව තිබුණු බීර කෑනයද අතින් ගෙන මම කාමරයෙන්  පිටතට පැමිණ සෙමෙන් අඩි තබමින් කොරිඩෝවෙන් විවෘත වන කුඩා මිදුලට පිවිසෙන්නට ආවේ අඩ අඳුරේය. ටාෂාගේ නිවස හෝටලයක් මෙන්  විශාලය ; සුඛෝපබෝගීය.

අඩ අඳුරේ උන් ගුලියක් දැක මම තිගැස්සුනේ මිදුලට බසින පඩිපෙළ අසලදීය. අනපේක්ෂිත වූ බැවින් මම ඇවිද ආ වේගයට ඒ ගුලියේ වැදී  බිමට වැටුණි.

"..ඌ....."

"..ස්...........වට්  ද ..."

මධුලිකා මා සමඟ බිම වැටී සිටි අතර සිහින් හඬින් කෑගැසුවාය. මම වහා කෙලින් වී බිම ඉඳගත්තෙමි.

"මොකද මේ මහා රෑ කරුවලේ.. කරන්නේ.. ඒ මදිවට..."

මම ඇසුවේ හඬක් නොනැගෙනසේ සැර කරමිනි. වචන නතර වුයේ ඇගේ ඒ විකාර ඇඳුම නිසාය.

'අම්මෝ මිනීමරු කොට ඇඳුමක් නේද?'

"එතකොට 'තමුසේ' මොනාද කරන්නේ මේ රෑ? "

මධුලිකා කෙලින් වී නැගිට්ටේ එලෙසම දත්කුරු කමිනි. මට සිනාවක් ගියේ නිතැතිනි. සුපුරුදු නපුරිච්චිය! 'පුළුන් කොට්ටයක හැප්පුනා වගේ'

අඩ අඳුරේ පුංචි ඇඳුම් කොටයක් ඇඳගෙන ඈ මා පිස්සෙකු කරයි 

මම පසෙක වැටුණු බීර කෑන් එක අහුලාගෙන එහි කිසිවක් ඉතුරුව තිබේදැයි බැලුවෙමි. එහි කිසිවක් තිබුනේ නැත. සියල්ලම හැලී ගොසිනි.

මම නැගිට අසල වූ සිමෙන්ති බංකුවේ කොනක හිඳගත්තේ මධුලිකා ගණනකට නොගන්නා සේ මුත් මගේ ඇතුලාන්තය සෑහෙන්නට යුද්ධයක නිරතවෙමින් සිටී. මධුලිකා මට වම්පස ඈතින්, ඈ සිටි ස්ථානයේම නැවතත් සිටගෙන උන්නාය.

 ඇගේ මුහුණ අඳුර තුල ගිලි ගොස් ඇති නිසා මට නොපෙනේ. ආලෝකය වැටී ඇති ඉනෙන් පහල දෙපා පමණක් මම ඇස කොනෙන් දුටුවෙමි.

 'මේ කෙහෙල්මල් කකුල් '

මම සුසුමක් හෙළ ලය සැහැල්ලු කරගෙන දෑස වසාගෙන මුහුණ උඩට හරවාගෙන තත්පර කිහිපයක් ගෙවා ගත්තෙමි. එකවරම ඒ සුවඳ  සෙමෙන් මා අසලින් මතුව ආයේය. මගේ මනස මට මවන්නේ අමුතුම චිත්‍රයකි.

සිතල සුළඟ මා ඇඳසිටි තුනී කමිසය විනිවිද මගේ සිරුර පුරා රටා මවමිනි.

"තීක්ෂණ"

හඬ නැගුනේ මා අසලිනි, මම ගැස්සී ඇස් දෙක  විවර කරනවිට මධුලිකා සිය කෙටි ඇඳුමට උඩින් දමාගෙන උන් කබාය තරකොට වසා දෑතම එයින් පොරවාගෙන මා අසල උන්නාය.

"... අද ලස්සනට ඔයා සින්ග් කළා...."

මට උගුර සිරව ගියේය.

"... and I am sorry about your Dada "

" it's  OK "

මම ඉබේටම කිව්වෙමි. මගේ නෙත් තිබුනේ එහි නොවේ. මගේ හිත තිබුනේද මෙහි නොවේ.

"ඩඩාගේ දේවල් වලට ගොඩක් මහන්සි වෙනවා නේද?"

මම සිනාසෙන්නට උත්සහ කලෙමි.

"... ඔයාගේ මල්ලි.. සුදම්... ඔයාට ඔච්චර බය මොකද?"

 


මධුලිකා ඈතට වෙමින් කීවේ මගේ බැල්ම නිසාද? සිමෙන්ති බංකුවේ එහාපස අන්තයේ කොනටම වන්නට හිඳගත් ඈ නියපොතු විකනවාක් මෙන් මට පෙනුනි. මගේ නෙත් ඈ හා තනිකරම ඇලී ගොසිනි. සිත පෙරලි කරමිනි. මධුලිකා ඉහල පහල බලමිනි.

"....ම... මම යනවා... මට නිදිමතයි"

එකවරම යමක් සිහිවුවක් මෙන් මධුලිකා වහා නැගිට ඇවිද ගියේ ගිනිගන්නා නිවසකින් පැනයන නිවැසියෙකු පරිද්දෙනි.

'මෙහෙමත් මූඩ් වෙනස් කරන කෙල්ලෙක්!'

 ඇය කෙලින්ම යන්නට ඇත්තේ ඇගේ කාමරයට විය හැකිය. එය පිහිටා තිබුනේ මගේ කාමරයට පෙර තිබුණු කොටසකය. මේ රාත්‍රියේ මගේ හිත නොසන්සුන්ය.

මගේ අකීකරු සිත විසින් ඈ එලවාගත්තාද? මගේ බැල්මේ ඒ අසංවරකම තිබෙන්නට ඇත. මගේ සිත කඩාගෙන ගියාක් මෙනි. අනාරාධිතව මම ඉබේටම මෙන් නැගිට මධුලිකා පසුපස ගියෙමි. එය සිදුවන්නට ඇත්තේ ඉබේම වාගේය.

මද වෙලාවකින් මම මධුලිකාගේ කාමරය අසලට යද්දී අඩවන් කොට ඇති දොරෙන් ඇගේ සිහින් ඉකිබිඳුමක් මට ඇසී සිත වේදනාවට පත්විය. මම දොර අසලට ආවද තට්ටු කරන්නට සිත හදාගන්නට නොහැකිය. ඉහලට එසවුණු අත පහලට දමා පමා වුයෙමි.

"මධු... මොකද? ඇයි මොකද උනේ?"

කාමරේ උන් උදානි නින්දෙන් අවදිව අසනු මට ඇසුණු බැවින් මම දොර අසල නිසොල්මනේ  හුස්ම පවා අල්ලාගෙන මෙන් සිටියෙමි. අපගේ ගීත සාදය නිම වුයේ ප්‍රමාදවී බැවින් ,  උදානි නැවත නිවසට නොගොස් මෙහි නතර වුවාය.

මධුලිකා උදානිට දුන් පිළිතුර හෝ ඈ ඊට පිළිතුරක් දුන්නාද කියා මට ඇසුනේ නැත. 

දොරට තට්ටු කරන්නද එපාද සිතමින් උන් මට එකවරම මධුලිකා දොර අසලින් මතුව සිටියදී හුස්ම ඉහලට ඇල්ලුනි. ඈ එන්නට ඇත්තේ දොර වසන්නට විය හැකිය.

අප දෙදෙනාගේ දෑස්  යාවි ගියේය. මගේ ශරීරයේ රුධිරය අතිශය වේගයෙන් දුවන්නා සේ දැනුනි. මධුලිකාගේ දෙතොල් සැලෙනු මට පෙනේ. කම්මුල් පුරා කඳුළු පහරවල් දෙකකි.

"ම...ධු.."

 මම සෙමෙන් මෙන් මිමිනුවා මතකය. මධුලිකා සෙමෙන් දොර වසා දමා ඇතුලතින් අගුලු දමනු  මට ඇසුනි.

********************මතු සම්බන්ධයි ************************** 

5 comments:

  1. ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයාචනා
    හිරු සඳු ඇති තුරා
    සසර සරනා තුරා
    ඉන්නට බෑ තරහා වෙලා...........

    ReplyDelete
    Replies
    1. ඔයා හිටියා නම් කියන්නේ ඒ සින්දුව නේද?

      Delete
    2. ඇයි ටී ඇන් ජයසේකර ගේ
      "කෝමාරිකා ඔබේ ආදරේ . . . . . . . .
      කෝමා රිකා ඔබේ ආදරේ . . . . . . .
      කෝමාරිකා . . . . . . . . . . . . .//"
      ඊට වඩා හොඳ නැද්ද

      Delete
  2. ඔබ මේ වන විට වේගයෙන් කථාව අපට කියමින් සිටියි. 2017 ජූලි 31 වන දින ඇරඹි සුහදිනියේ අවසානයට කෙමෙන් ලඟාවන බවක් දැනේ! මම හරිද මංදා!?
    සුහදිනියේ සේම රහස් පරීක්ෂක නොවුනත් අභිරහසක් විසඳමින් යන කථාවක් පසු ගියදා නිමා වූවේය. ඒ කොලොම්පුරේ ලියන "හෝරස්ගේ දරුවා!" නම්වූ කථාවයි.
    මෙම කථා ලියැවුනු වේදිකා එකිනෙකට බොහෝ සෙයින් අසමානවූ ඒවාය. එහෙත් මා මෙම කථා යුගලයම රසවිඳිමින් කියැවූවෙමි. හෝරස්ගේ පුත්තු මා එකවර කොටස් 15 ක් පමණ එක දිගට කියවාගෙන පසු පසින් ලුහු බැඳ ගොස් පා පුවරුවේ එල්ලී ගමනාන්තය හෙවත් 23 වැනි කථාංගය තෙක් ගමන් ගත්තෙමි.
    සුහදිනියේ; මාගේ කියැවීම වෙනස් වූවේය.
    බසය නැවැත්වූ එක් ඇසිල්ලක නැවත ගමනේ මුලට ගොස් ත්‍රී වීලරයකින් පැමිණ කථාවට ගොඩ වීම සුහදිනියේ කියැවීමේදී මා අනුගමනය කල ක්‍රමවේධය විය.
    කොටිම පසුගිය දින දෙක තුන පුරාවට මා නැවත මුල සිට කියැවීම කරගෙන ආවේමි. කියැවූ සෑම කොටසක්ම කියැවීමේදි; එම කථාංගය පසුගිය සති කිහිපය තුලදී කියැවූ බවක් මතකයට පැමිණීම එක් විදියක පුදුමයකි.
    2017 ජුලි 31 වන දින පලවූ පලමු කථාවේද ඔබ විසින් චරිත හයක් මෙහෙයවයි. ඉන් තීක්ෂණ, විරංග, චාපා, මව යන චරිත අදටත් ප්‍රධාන හා උප ප්‍රධාන චරිත ලෙස කථාව තුල සැරි සරණ අතර ඩේසි ආච්චි හා සේවිකාව (මැණිකා) යන අවශේෂ චරිත පමණක් ඈත් මෑත්වී ඇත.
    ඉන් පසු ගෙවුණු ගමන් මග තුලදී මධුළිකා, ඇගේ මිතුරිය උදානි, වසුල, ඔහුගේ බාප්පා, මව, නීතීඥ්ඥ වාකිෂ්ඨ, නීතීඥ්ඥ රසික, දුලිප් සතර සිංහ, මධුළිකාගේ පියා,තුවාන්, වත්තේ කළමණාකරු ඇතුළුව චරිත 15ක් පමණ හඳුන්වා දුන් අතර ඉන් අර්ධයක් පමණ කථාව තුල එකි නෙක නොගැටෙනසේ එහෙත් එකිනෙකට ගැලපෙන සේ මෙහෙයවයි.
    එය සැබැවින්ම විශ්මය වන්නේ ඒ සියළු චරිත අතර ජාවා මෙහාරිස් සුරුට්ටුවේ සිට තීක්ෂණගේ ජවාධික යෞවනත්වය, ගිටාරය, මධුළිකාගේ ටෑන් පැහැති දෙපා, ටාෂාගේ කෙටි සාය හා වටොර, තීක්ෂණගේ පියාගේ ගැඹුරු ස්වරය, වතු කළමණාකරුගේ විශ්වසනීයත්වය, චාපාගේ ඇවිටිළි හා සුන්දර සිරුර හා විරංගගේ ද්විත්ව පුරවැසි භාවය (වැරදුනා) දිවිත්ව චරිත නිරූපණය වැනි සියළුම මෙකී නොකී සංඥා සංඛේත උපමා රූපක සියල්ල පෙර කී චරිත සමග එක්ව ඔබ ගෙනයන ඉම තවමත් අපට සිතා ගත නොහැකි වීමය.
    ඒ කෙසේ වෙතත් "හ්ම්ම්! බලන්නකෝ වෙන වැඩේ!" කියා පොලොට් ට්විස්ට් කරණ්නට ගොසින් අපේ මොළය උළුක් නොකරාවි යැයි සිතමි.
    බලමු ඉදිරියේ මොනවා වේවිදැයි කියා!?
    (කථාවේ අවසානයේ "අපරාදෙ මේ මගුල බලන්නට වියදම් කල ඩේටා!?" කියා නොසිතෙන සතුටු දායක අවසානයක් පතන්නෙමි!)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ සමාලෝචනයට! [ කලින් වතාවේ ඕන්නැති ප්‍රශ්න අහන්ඩ ගිහින් මගෙන් බැනුම් අහපු නිසා පුල ඉඳල කියෝගෙන ඇවිත් වගේ.. හි හි හි... අන්න හොඳයි. මට උත්තර දෙන්ඩ කම්මැලිනේ] වැඩේ මේ දවස්වල වෙලාව හොයාගන්නවා මේකට!

      චරිත එකතු කරනකොට ටිකක් වැඩි වගේ උනත් ඒවා නොයොදා මේ කතාවේ සමාජ වියුක්ති ගතියක් එන නිසා වැඩට ඉන්න කෙනාට උනත් මට තැනක් දෙන්ඩ උනා. රට පටලෝනවා කියලා බැන්නට මම පව් ඉතින්.

      අවසානයක් කියන්නේ ඉතින් මේක මොකක්හරි වෙලා අහවරක් වෙන්න එපැයි.. නැතිනම් මේක කියෝ කියෝ හිටපු අර පැතුම් ළමයා එහෙම මට පයින්ම ගහයි.

      ගිහින් හොල්මන් කතා බලල, බයවෙලා ගෙදර එන එකේ, මේක ඉතින් කොහොම අවසාන උනාම මොකෝ. ඔය යන විදියට තීක්ෂණ මොනවා කරගනිද මන්ද

      හැබැටම මේක රහස් පරීක්ෂක කතාවක්ද මන්ද
      ස්තුතියි දිගම දිග කමෙන්ටුවට

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි