විසිතුරු කොල

Thursday, July 1, 2021

256 : සුහදිනියේ - 47 | ඉරණම් දිනයක්

 කලින් කොටසට 


 

උදෑසන කෑම මේසයේ මධුලිකා වෙනදාට වඩා වෙනස් ස්වභාවයක් ගත්තාය. මා දෙස නිතර බැලුම් හෙලනු මට පෙනුනි. තාත්තාගේ සැත්කම නිසා මම සිටියේ තරමක කලබල ස්වභාවයෙන් වුවද මට ඒ නෙත්සර මගහැරී ගියේ නැත. ඇගේ සුළු වෙනසක් මට ක්ෂණිකවම ග්‍රහණය වෙයි.

එකම බය අම්මාගේ හෝ ටාශාගේ මවගේ ඇස කවර හෝ මොහොතක මෙය අල්ලාගනු ඇතැයි සිතන විටදීය. හිත කිතිකැවෙන්නේ අමුතුවටය.

'එක අතකට මම මොකටද බය වෙන්නේ. අහු උනොත් කෙලින්ම කියනවා මේ මගේ කෙල්ල කියල'

මගේ සිත ප්‍රීතියෙන් ඔදවැඩි ඇති සෙයකි. මධුලිකාගේ අමනාපය අතුරුදහන්ව ගොස්ද? අම්මා මධුලිකා ගැන පමණක උනන්දුවක් දක්වනු මට පෙනුනේ ඇයත් මධුලිකාත් ටාශාගේ මව සමඟ මිදුලේ ඇවිදිමින් සිටිනු මම දැක ඇති නිසාය. පෙරදින ටාශාගේ කතාබහෙන් පසුව මට හැඟී ගියේ ටාෂා සිය උපරිමයෙන් මගෙත් මධුලිකාගේත් එක්වීම පතනු ඇතැයි කියා මෙන්ම හැකි සැම විටකම මධුලිකා සමාගමයේ සිටිමින් එයට උපකාර කරනවා ඇතැයි යන්නයි. 

සියල්ල යහපත් වේද?

මධුලිකාගේත් මගෙත් වචනයෙන් විස්තර කල නොහැකි ; එකිනෙකාගෙන් වෙන්කළ නොහැකි රසායනයක් තිබෙන බව මම අදහමි. කෙතරම් මා පිළිකුල් කරන මොහොතකදී පවා මධුලිකා මා හැරදා නොයා මා වෙතම බැඳී සිටියා නොවේද?

සැත්කම සඳහා අවශ්‍ය මුදල්ද, අනෙකුත් දේවල්ද සමඟ මම අම්මා පිටත්කර හැරියේ තාත්තාගේ ලොකු අය්යා සමඟය. සුදම්ද ඒ පස්සෙන් වැටුනේය. වත්තට ගතයුතු දුරකථන ඇමතුම් කිහිපයක් සහ නිවසේ කටයුතු කිහිපයක් එකලාසයක් කරන්නට මම පමා වී සිටියෙමි. උදෑසන සිට පැමිණි ව්‍යාපාරික , බැංකු දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙමින් මම කාමරයේ පසෙක තිබුණු බැල්කනි කොටසේ පුටුවක් තබාගෙන උන්නෙමි. දොරට තට්ටුවක් ඇසුනේ සෙමිනි.

 මම  නැගිට දොර අසලට පැමිණ දොර විවර කරද්දී ආපසු යමින් වාගේ උන් මධුලිකා එකවරම නතරවී ආපසු හැරුණාය. වහාම මගේ ඇස නතර වුයේ සැහැල්ලු ගවුමට පෙනෙන ඇගේ සිරුරේ හැඩතල වෙතයි. මගේ ජාගර සිත!

".. අහ් .... මම.... හිතුවා.... නෑ ... යන්න කියල...ගියේ.. "

වැකිය  අපැහැදිලිය. මධුලිකා මහත් කැළඹීමෙනි. මගේ බැල්ම අමුතු වන්නට ඇත.

".. දෙතුන් පාරක්... තට්ටු.. නෑ කියල..."

මට කට කොනට සිනහවක් ගියේය. දෑස සිහින්කොට මම බැලුවේ ඈ අඩපන කරන බැල්මකි. ඔව්! හිතාමතාම එය කලෙමි. මධුලිකා ගොත ගසනු ඇසීමත් සතුටකි. ඇය දෙතුන් පාරක් තට්ටු කරන්නට ඇත. මට එය ඇසුනේ නැතුවා වන්නට ඇත.

"ම.. මට ඇහුනේ නැහැ... සොරි"

මම මෘදු තාලයකට කියමින් දකුණතේ වැලමිට ඉහලින් දොර උළුවස්සට තබා බලා සිටියෙමි. අප දෙදෙනාම එකිනෙකා දෙස බලාගෙනය. පෙරදා රාත්‍රියේ නොකී යමක් තිබේද? මධුලිකා යටිතොල තදින් විකාගෙනය ; එය ඉතාම විනාශකාරීය.

".....ම්ම්ම්ම්ම්...... ඇතුලට එනවද?"

මම දොර මදක් විවර කර මධුලිකා දෙස බලාගත්වනම උන්නෙමි. අප දෙදෙනාම එකිනෙකා දෙස යොමාගෙන ඉන්නේ මරණිය බැල්මකි. එය මා සැමදා අඩපන කරන බැල්මයි.

"නෑ මම මේ.. ආවේ... මේ... ඊයේ..."

මධුලිකා අතපය වනමින් අමුතු අභිනයක් පෑවාය. මට නැවතත් සිනහවක් නැගුණි. මගේ මුහුණේ වලගැසෙන තැන ඇගේ ඇස්ය , මගේ ඇස් තිබුනේ ඇගේ නාසයට පහලිනි.

"... ඔව් ඊයේ? මගේ බියර් එක හලපු එකද?"

 "ඔව්!... නෑ... ඒක නෙවෙයි.. ඒකත් එකක් තමයි... ආ.. ඔව් ඒකට සොරි"

මම එක ඇහිබමක් ඔසවා විමතිය පෑවෙමි. 'ඈ !! ඒක කියන්නද ආවේ?'

"... නෑ ඒකටමත් නෙවෙයි... ඊයේ අර.... බෙන්ච් එකට උඩින්..."

මධුලිකාට ඊට වඩා කියන්නට නොහැකිව හුස්ම හිර උනා සේ විය. මට සිනාවක් පැන්නේය.

"එන්න.... එන්න ඇතුලට"

මධුලිකා කාමරයට එන්නට පය තබා නමුත් නතර වුවාය. මට අඩි තුන හතරක් ඈතිනි.මම සෙමෙන් දොර වසා දොරකඩ සිටගත්තේ දෑතම ලය මත ගැටගසා ගනිමිනි.

".. හරි.. යමුකෝ එහෙනම් බෙන්ච් එකට"

මම කට කොනට සිනාවක් නගාගෙන ඉස්සර වුයෙමි. මධුලිකා මා පසුපසින් එද්දී මම පෙරදා රාත්‍රියේ සිටි බංකුව වෙත ගියෙමි. උදෑසන වනවිට එතැන තිබුණු හිස් කෑන් එක ඉවත්කොට පිරිසිඳු කරන්නට ඇත්තේ සේවිකාව විය යුතුය. කලින්ම ගොස් මම කලින් දවසේ හිඳ උන් ස්ථානයේම හිඳගෙන මධුලිකා දෙස බැලුවෙමි. ඇය හිස හරවා ඉහළ  පෙන්නුවාය.

"..සු.. සුදම්ගේ කාමරේ.."

මට වැටහුනේ නැත.

".. ඊයේ.. සුදම් හිටියා බැල්කනි එකේ"

මට සිනා නොවී සිටිය නොහැකිය. යකෙක් අල්ලන්නට එනවා සේ ඈ එසේ නම් දිවගියේ ඒ නිසාද? මධුලිකාටද යම් සිනාවක් ආවද ඈ එය වසාගෙන මුව තදකර ගත්තාය.

"එතකොට...."

"උදානි කාමරේ හිටිය"

මට සැබෑවටම මහා හිනාවක් ගියේය.

"මම අහන්න ගියේ ඒක නෙවෙයි... "

මම අඩවන් දෙනෙතින් තත්පර තුනක් බලා සිටියෙමි. 

"...ඇයි  ඇඩුවේ ?"

මධුලිකා ඇසිපිය වේගයෙන් සැලුවාය. පිළිතුරක් නොදුන් ඈ බිම බලාගත්තාය.

"... මේ කෙල්ලෝ මට තේරෙන්නේ නැහැ අප්පා.."

මම අතපය විහිදා හිරි අරිමින් සැහැල්ලුවට මධුලිකා දෙස බැලුවේ අතකට හිස බරකරගෙනය. මධුලිකා සිමෙන්ති බංකුවේ කොනේ හිඳගත්තාය.

"කොල්ලොත් තේරුම් ගන්නෙක ලේසි දෙයක් නෙවෙයි"

මම එක එල්ලේ හෙලන බැල්මට මධුලිකා ඉවත බලාගත්තාය.

"අර.. එදා අන්තිමට අහන්නේ නැතුව තිබ්බ ප්‍රශ්නේ අද අහන්න පුලුවන්ද?"

මධුලිකා ප්‍රශ්නාර්ථයෙන් මෙන් මා දෙස බැලුවාය.

".. ප්‍රශ්න පහෙන් මම ඇහුවේ හතරයි!"

මධුලිකා  දෙතොල් විහිදා සිනාසුනාය. ඇත්තටම ඇගේ සිනහව කෙතරම් ලස්සනද? ඇගේ ඇස්වල කාන්තිය එයින් පෙනේ. සිය හිස ඉහල පහල යවා ඇය අනුමැතිය දුන්නාය.

"මොනදේ උනත්, මාව අමතක කරන්නේ නැහැ කියල පොරොන්දු වෙන්න පුලුවන්ද?"

මධුලිකා බිරාන්තව මගේ දෙස බැලුවාය. 

මගේ දුරකථනය නාදවුයේ ඒ මොහොතේය. ඒ අම්මා බැවින් මට පිළිතුරු දෙන්නටම විය.

"ලොකු.... එන්නේ කීයටද.. අනේ මට බයයි ඉක්මනින් එන්නකෝ"

මම කලබලව ගියෙමි. 

"හරි අම්මා.. මම පැය බාගෙන් එනවා"

මම දුරකථනය විසන්ධි කොට මධුලිකා දෙසට හැරුනේ නිමේශයෙනි.

".... මට දැන් යන්න වෙලා "

යන්තම් මධුලිකාගේ දාස දෙස බැල්මක් හෙලා වේගයෙන් මගේ කාමරය වෙත ඇවිද ගියෙමි. මා පසුපසින්ම මධුලිකා එනු දැනුනත් මට එය එතරම් ගණනක් නොවුනේ කලබලය නිසාය. තාත්තාගේ ශල්‍යකර්මය මගේ සිත තුල හොල්මන් කරන්නට විය. මගේ කාමරයේ දොරෙන් ඇතුළුව මම වහා නානකාමරයට වැද ඇඟ සෝදාගත්තෙමි. 

නාන කාමරයෙන් එලියට එද්දී මගේ මේසය අසල උන් මධුලිකා දැක මම ගල් ගැසී ගියෙමි. ඈ මා සමඟම පසුපසින් එන්නට ඇත. සිහිය එලවාගත් මම ඈ නොමැත්තා සේ නෑමෙන් පසු යොදන විලවුන් මුහුණේ සහ උරහිසේ තවරාගනිද්දී , මට පිටුපසින් කණ්නාඩියෙන් පසෙක සිටින මධුලිකාගේ නෙත්සර ඇති පිළිබිඹුව දුටුවෙමි.

"මොකද ?"

මම බොරු අමනාපයක් පෑවෙමි. දෑස සිහින් වුයේ ඉබේටමය.

"මොකද?"

මධුලිකා එයම ප්‍රතිරාව කළාය. ඈ මට අභියෝග කරනවාද ? මම ඇයට ඔරවා බෑගයෙන් ගත් කමිසය අතැතිව දොර අසලට ඇවිද ගියෙමි. මධුලිකා උන්නේ දොර මුල්ලට සහ කුඩා මේසයට අතර ඇති හිඩැස අතරය. මා දෙසම ඒ නෙත් රැඳී තිබිණ.

"මම කැමති නැහැ ගෑනු ළමයි ඉන්නකොට ඇඳුම් අඳින්න"

මධුලිකා පසුපසට තිබුණු අඩියෙන් 'දඩස්' හඬින් දොර වැසෙද්දී,  ක්ෂණයෙන් ඈගේ ඉඟටියෙන් ග්‍රහණය කරගත් මම ඈ දොරට තදකොට මුහුණට එබුනෙමි. මධුලිකා රත්වූ තැටියක් මෙනි. ඇගේ දෑස මගේ මුහුණ පුරා විදුලියක් මෙන් පනිමින් ගමන්කොට, අවසානයේ දෑස මත රැඳුනි.

ම'තුළ සිටි සරාගී තරුණයාට නිනව්වක් නැතිව ගියේය. ඇගේ මුළු සිරුරම මට තදකොට බඳෙන් අල්ලාගෙන තෙරපාගෙන උන්නේ මොහොතකවත් ඇසිල්ලක් ලබා නොදෙන්නටය. හුස්ම සිර වීමෙන් මගේ දෙවුරෙන් අල්ලා පසුපසට තල්ලු කරන තුරුම මම මධුලිකාගේ දෙතොල් තදින් අල්ලාගෙන සිපගත්තෙමි. 

බිත්තියට තදවූ ඇගේ සිරුර මටතෙරෙපී , දෑත් මගේ නිරුවත් පිට නියපොතු පහර සිටින තරමට මිරිකී ගියද, මට එය දැනුනේ නැත. මගේ දෑත මධුලිකාගේ ඉනෙහි සිට ඇගේ සිරුර පුරා ඉහල පහළ ගියේ වේගයෙනි. ඈ විසින් තල්ලුකල මම සිටියේ හති හරිමිනි. දෑස අඩවන්ව ගොස්ය. ඈගේ ස්පර්ශය පුදුමාකාර මෘදුය.

".....හො-ස්පි-ටල්....."

මධුලිකා හති අරිමින් කිව්වාය. මම ඇගේ හිස් මෘදුව සිඹින විට ඇගේ මුහුණ බිමට බරවුණි. මම නැවත ඇගේ ගෙලට පහත් වත්ම ඈ මා නැවතත් මා පිටුපසට තල්ලු කර දැමුවාය. මම සිටියේ මත්වූ මීමැස්සෙකු ගුම් නද දෙන සිතකිනි.

ඒ දෑසේ තිබුනේ අභියෝගයකි. සුන්දර අභියෝගයකි!

"ඒ ගමන .... "

ක්ෂණයෙන් මධුලිකා මගේ අත බිමට තල්ලුකොට , දොරෙන් එලියට පැන්නාය.

****************************************************

පැය දොළහක ශල්‍යකර්මයකින් පසුව තාත්තා ගැන පැවසු අතිශය ප්‍රීතිදායක ආරංචිය නිසා සියලු දෙනාම සැනසුම් සුසුම් හෙළුවෙමු.

බලාසිටි ඒ පැය ගණන පුරාම මම මධුලිකාගේ whatsapp පණිවිඩ රැසක් යැව්වද,යවන සැනින් ඒවා කියවනවා මිස මධුලිකා පිළිතුරක් එවා තිබුනේ නැත. 

ඒ මගේ ආඩම්බරකාර මධුලිකාය!

මගේ සිත ප්‍රීතියෙන් උමතුවන්නට ආසන්නව පැවතුනි. එක තැනක හිඳගෙන සිටින්නට නොහැකිය, මිනිත්තුවකට දහ දොළොස් වතාවක් දුරකථනය බලමින් මම සිටියේ පාවෙමින් වැනි තත්වයකය. කිසිදා තරුණියක සිපගෙන නැති පරිද්දෙන් මම තනිවම සිනාසෙන බව මට වැටහුණි.

මහත් නොඉවසිල්ලකින් කොයි මොහොතේ රෝහලින් යන්නද කියා සිතුවද අම්මාත් මල්ලීත් හැරදමා ඒම පහසුවක් නොවුනේ ඔවුන් සියල්ලෝම මගේ නියෝජනය තදින් බලාපොරොත්තුව සිටි බැවිනි.

"මොකෝ තිකා උඹ ඇඹරෙන්නේ ?"

සුදම් අන් අයට නෑසෙන සේ මට කීවේ අප සියල්ලෝම අවසන් වෛද්‍ය වාර්තාව වෛද්‍යවරයා විසින් පැහැදිලිකොට දී ඒ ඒ පුටු වලට බරදිගත් පසුය. අනෙක්  හිතවතුන් ඒ මොහොතේ අම්මා වටකොට ඈ සමඟ සාමිච්චියේ යෙදී සිටියහ. මට නැගුනේ මනමාල හිනාවක්ද?

"මොකක්ද? උඹට පිස්සුද?"

 මම නොදන්නා සේ දුරකතනයට එබුනෙමි.

"මොකද්ද මොකද්ද වෙනවා නේද මේ දවස්වල?"

සුදම් ඊයේ අප දෙදෙනා දකින්නට ඇති බව මම ස්ථිර වශයෙන්ම දැනගත්තෙමි. ඒ නැතත් මධුලිකා දකින වාරයක් පාසා මගේ බැල්ම වෙනස්වන අයුරු ඔහුට හසුවුවාදැයි මම නොදනිමි.

"හ්ම්ම් හ්ම්ම්ම්.. වෙන්න පුළුවන්"

මම දුරකතනයට හිස ඔබාගෙනම ගොරවමින්  කිව්වෙමි. සුදම් මට විහිළු කරනවාට මගේ කැමැත්තක් තිබුනේ නැත. 

"උඹ ඔය බැල්කනියෙන් මිට පස්සේ මහා රෑ හොම්බ දාල තිබ්බොත් උඹේ හොම්බ තලනවා"

මම එලෙස කියා නැගී සිටියේ අම්මා මා හට කතාකල නිසාය. 

තාත්තාගේ තත්වය යහපත් වූ බැවින් අම්මා සැනසීමට පත්ව උන්නාය. තාරුක අයියාත් නිතර කතාකොට සැමගේ සුවදුක් විමසුවේය. මධුලිකා ගැන අසද්දී මම සිනාසුන ආකාරයෙන්ම ඔහු ප්‍රීතියට පත්ව මොරදුන්නේය.

" ඇත්ත කියපන් උඹ මොකක්ද කරපු කුපාඩි වැඩේ?"

"ඔන්න ඔන්න.. මට රෝන් ටෝක් දානවා... මම එහෙම මුකුත් කලේ නැහැ බං..."

"යකෝ.. කසාදත් බැඳලා, අර ෆ්ලැට් එකට වෙලා ඉඳලත් උඹ ඔහොම ඉඳි කියල නම් හිතුවේ නැහැ පුතා! හා හා.. හරි එහෙම තමයි බන් ඉන්න ඕනේ..."

"අඩෝ මේ.... මම කිව්වාය කියල හිතාගනින්"

"උඹ ඉතින් වැඩකාරයානේ.. මම දන්නේ නැද්ද.... මම කිව්වේ කතාකරන්න කියල.!. ගොන් වස්සා!! තව ටිකෙන් උඹ ඔය රටක් වටිනා කෙල්ලව නැතිකරගන්නවා.."

"හ්ම්ම්ම්...."

තවත් කරුණු කිහිපයක් කතාකල මම දුරකථනය විසන්ධි කොට ලැස්ති වුයේ ටාෂාගේ නිවසට යාමටයි. පෙර දිනයේදී පවා අප නිවස අවට කිහිප දෙනෙකු සරි සැරූ බව ආරංචි වූ නිසා තවමත් නිවස සුරක්ෂිත බවිත් තොර බව මම තේරුම්ගෙන සිටියෙමි. නමුත් මේ ගැන දැනගෙන උන්නේ අප කිහිප දෙනෙක් පමණක් නිසා අම්මාගේ මානසික සුවය පතා මම මෙහි රැඳීම තෝරා ගත්තෙමි.

ඒ සියල්ලටම වඩා මට මධුලිකා හැර යාමට නොහැකිය!

නැවත පොපියන සිතින් නැවත නිවසට එනවිට මධුලිකා පෙනෙන්නට නොසිටියාය. ඇගේ කටහඬ ටාෂාගේ සමඟ ඇගේ කාමරයේ ඇසුන බැවින් මම නිහඬව සිටියෙමි. මධුලිකාට යැවූ කෙටි පණිවිඩය ඈ බලනතුරු සිටියද ටාෂා හා ඇගේ කතාව නිසා ඈ නොබලා සිටියාද? ඈ දකිනතුරු මගේ සිත පොපියයි.

පැය ගණනාවක් රෝහලේ පුටු මත වාඩිවී හිඳී මහන්සිය සහ කලබලය නිසා මම කාමරයට වැද සැනින් නින්දට වැටුනෙමි. නින්දේ වෛවර්ණ සිහින අතරේ උන්නේ මධුලිකා පමණකි. මහා රාත්‍රියේ මගේ දුරකතනයට ආ whatsapp පණිවිඩයක් නිසා අහම්බෙන් මෙන් මම අවදිවුයෙමි.

'අදත් ඇහැරගෙනද ?'

ඒ මධුලිකාය. මගේ සිත උණුසුම්ව ගියේය.

'ඔව් ඇයි ?'

මම වහා පිළිතුරු යැව්වෙමි.

'තාත්තාගේ ඔපරේෂන් එක සාර්ථක උන එක ගැන ගොඩක් සතුටුයි. ඔයාගේ තාත්තා වගේ හොඳ කෙනෙක්ට කරදරයක් වෙන්න විදියක් නැහැ'

'ඕක කියන්න තිබ්බේ හවසනේ. මොකද මේ රෑ ඒ ගැන කියන්නේ?'

බොහෝ වෙලාවක් ඈ ලියන බව සටහන් වුවද පිළිතුරක් ආවේ නැත. මට සිනහවක් නැගුණි.

'බංකුවට එනවද?' මම ලියා යැව්වෙමි.

පිළිතුර මදක් පමා වී ලැබුනේය.

'බෑ'

'එහෙනම් කොහේටද එන්නේ?'

'කොහේටවත් නැහැ. දැන් නිදාගන්න, සුබ රාත්‍රියක්'

මේ කෙල්ලෝ නම්!

දුරකථනය ඇඳේ කොනකට විසිකළ මම නොඉවසිල්ලෙන් ඒ මේ අත පෙරලුනෙමි. නැවත දුරකථනය අතටගත් මම යුහුසුළුව පණිවිඩයක් ලිව්වෙමි.

'එහෙනම් මොකටද මගේ කාමරේට ආවේ?'

'ආ.. හරි වැඩක්, මම ආවේ අංකල්ගේ ඔපරේෂන් එකට විශ් කරන්න'

'හැබෑට? ඒක කරන්නේ දොස්තර. මම හදවත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ. ලස්සන කෙල්ලන්ට නම් ප්‍රතිකාර කරනවා. '

'ආ.. හිතාගෙන ඇති... "

'ඊටත් එහෙම එකක් කිව්වේ නෑනේ මම ඇහුවට '

'අහන්නේ කොහෙද?'

'ඇයි ? මම මොකද කියල ඇහුවේ '

පිළිතුරක් පැමිණියේ නැත. මට තනිවම සිනාවක් නැගුණි. මගේ පිරිමි සිත පුරා සිය උල් පාවහන්වලින් ඇවිද සැමතැනම සිදුරු කරමින් මට සරදම් කරන මධුලිකා!

දිනාගැනීමට අපහසු යයි කියන තරුණියන් දැපනේ දමාගන්නට හැකි මට මධුලිකා විෂයෙහි ඒ හැකියාව අමතකව ගියේ ඈ සතු ඒ අමුතු ඉන්ද්‍රජාලයයි. රූපයට වඩා එය ඇගේ පෞර්ෂය වන්නට හැක. මගේ කිලිටි සිත මධුලිකා රිදවුවත් , ඈ මගේ සිතැඟි තේරුම් ගන්නට ඇත. 

කෙතරම් අවස්ථා පැමිණියද මධුලිකා වෙතින් ප්‍රේමය පරයා රාගය උදුරාගන්නට මම නොගියේ එබැවින් වන්නට ඇත. නමුත් මගේ තරුණ සිත අකීකරුය, මම එතරම්ම අසරණ කරවන්නේ ඇයි මධුලිකා?

මහත් වෙලාවක් බලාසිටියද පිළිතුරක් නැති නිසා දුරකථනය අතැතිවම මට ඉබේටම නින්ද ගොස් තිබුණි.

උදෑසන නිවස කලබලකාරී තත්වයක් තිබිණ. මදක් දහවල් වී අවදි වූ මම ඈනුම් අරිමින් එද්දී සුදම් සහ මධුලිකා සාලයේ කොනකට වී සිනාසෙමින් සිටියෝය. මධුලිකා මා දැක බොරුවට ඔරවා සිටියාය. 

සුදම් මා දැක යන්තම් සිනාසී ලිස්සා ගියේ මට ඇති බය නිසාය. එනමුත් මගේ සිත ඉපිලෙමිනි. කොහේ කොතැනක සිටියත් මධුලිකා ළඟට ඇද මිරිකා දමා මගේ තුරුණු හැඟීම් ඈ මත මුදාහරින්නට තරම් ආවේගයක් මට දැනෙන්නේ ඇයි ? එය උමතුවක්ද?

"ටාශි කෝ?"

මම සේවිකාවගෙන් ඇසුවේ මේසය මත තිබුණු ඇපල් ගෙඩියක කොටසක් කමින් මධුලිකා දෙස යටසින් බලමිනි. මගේ සිත වනසා, මගේ නින්ද නැතිකොට ඈ ඉන්නා අපූරුව ?

"ටා.....ෂි...."

මධුලිකා තාලයට මෙන් එසේ කියා ඔලොක්කුවට සිනාවීගෙන මා පසුකොට ගියාය.

"සුදු නෝනා අද උදෙන්ම ගියා."

සේවිකාව සිනාසෙමින් කීවාය. ඈ මට විශේෂ ලෙස සලකන්නිය. ඒ ඇයිදැයි මට නොතේරුණත් සැමවිටම මගේ ඕනෑ එපාකම් විශේෂයෙන් සොයා බලන්නේ ඇයයි. ඉඳහිට අමුතු කෑමක් , බිමක්, මම ඉල්ලන විටෙක යමක් ගෙනෙන්නට ඇය යුහුසුළු වන්නීය.

එකෙනෙහිම ටාෂාගේ මව තවත් ගැහැණු කෙනෙකුන් සමඟ සාලය දෙසට එනු දුටු මම සෙමෙන් මධුලිකා ගිය දෙසට ඇවිද ගියේ ටාෂාගේ මවට එතරම් මුහුණ නොදෙන්නටය. එසේ කලේ ඇගේ මා කෙරෙහි ඇති වර්ණනා මට අපහසුවක් දනවන නිසාය. 

නමුත් මධුලිකා ගිය දිසාවක් සොයාගත නොහැකිය. 

සියලු බලාපොරොත්තු කීතු කරමින්, එකෙනෙහිම මගේ දුරකථනය නද දෙන්නට වුයේ වත්තේ දවසේ රාජකාරී ඇරඹෙන බව සනිටුහන් කරමිනි. මගේ උදෑසන කෑම කාමරයට ගෙන එන්නට කියූ මම නැවත කාමරයට ගියේ මධුලිකා දෑසින් සොයමිනි.

'ආයෙත් අල්ලගන්න තියෙනවා නම්...'

එක දිගට දුරකථන සංවාද, නොයෙකුත් තීරණ අතරේ තෙරපෙමින් දවසේ ව්‍යාපාර වැඩ වලට සිරවී සිටි මම නැවතත් එලියට එන විට දහවල් ආහාරයට මේසය සුදානම්ව තිබිණ. 

අම්මා දහවල් කෑමට රෝහලේ සිට කැඳවාගෙන ආ බව මම නොදැන සිටියෙමි. ඊයේ මා සමඟ එන්නට ඈ නොකැමැති වුවද අද කවුරුන් හෝ ඈ රැගෙන එන්නට ඇත්තේ මානසික සහනය නිසා වන්නට ඇත. සියල්ලෝම එකා වන්ව අප වටා රැකවරණය ලබාදීම නිසා මගේ බර තරමකට සැහැල්ලු වී ඇත.

අප සියලු දෙනාම කෑම මේසයට වාඩි වූ අතර ටාෂාගේ මවත්, අපේ අම්මාත් මැදිකොට අලුත් කාන්තාව හිඳගෙන සිටියාය. ඈ පෙනුනේ මොවුන්ගේ සමීප මිතුරියක් බවයි. මධුලිකා මට ඉඳුරා අනෙක් පස වාඩිවී සිට මා වෙත විදුලි කොටන්නා සේ බලමිනි. මම සුපුරුදු පරිදි ඈ දෙස ඇස සිහින්කොට බලා කට කොනකින් සිනාසුනෙමි.

සුදම් ඈ අසල සිටි බැවින් මම පුළුවන් උපරිමයෙන් සංවර බැල්මක් පවත්වාගෙන යන්නට උත්සහ කලද, මම කලේ මේසයට යටින් මධුලිකාගේ පාදය යන්තම් පාගා අල්ලාගැනීමයි. මධුලිකාගේ ඇස් ලොකුවී ගිය අතර සුදම් ඈ දෙස බලා විමසනු දැක මම නොදැක්කා සේ සිටියෙමි. ඒ සරාගී පාද අතිශය මෘදුය. මගේ දෑස අඩවන්ව ගියේ ඉබේටමය.

මධුලිකා සිය කකුල උදුරා ගත්තී මගේ කලවය කොටසට පයින් අනිමිනි. කිසිවක් නොවන්නා සේ ඈ රඟපාන ආකාරය මට විනෝදයක් විය. මම ක්ෂණයෙන් ඇගේ බුහුටි දෙපා වල ඉහල කොටසට කකුල ගෑවෙන්නට හැරියෙමි. ඈ දත්මිටි කාගෙන සිටියද මධුලිකා මා දෙස බැලුවේවත් නැත. මම තනියෙන් සිනාසුනෙමි.

'හොඳ වැඩේ මට කරදර කලාට'

කෑම  මේසයේ කිචිබිචිය අම්මාගේ කණ්ඩායම විසින් උදුරාගෙන ගොසිනි. මට ඒ වගක්වත් නොමැත. මම එහාට -  මෙහාට වෙන්න උත්සහ කරන මධුලිකාගේ කකුල් සෙමෙන් අල්ලමිනි.

"... ආ... මෙයාද ඉලන්දාරියා..... හම්මේ මාලි... සෙනේ වගේමයි.... සෙනෙත් ඒ කාලේ හරි හැන්ඩ්සම්..."

එකවරම අවධානය මා වෙත දෙමින් ඔවුන් තරුනියන් මෙන් සිනාසෙමිනි. මේ කියන්නේ මොනවාදැයි නොදැන මම මෝඩ ලෙස සිනාවක් පෑවෙමි.

"..... පුතා එහෙනම් බිස්නස් ඔක්කොම දැන්...බලනවාලු නේද... අනේ කොච්චර එකක්ද.. කොහොම හිටපු පොඩි එකාද... "

ගැහැණිය මගේ දෙස බලමින් ඇස නටවමින් කතාකරයි. ඈ පියකරු තාරුණ්‍යක සලකුණු තවමත් දරාගෙනය. මට ඈ සමඟ කතා කරන්නට අවශ්‍ය නැත. අවධානය තිබුනේ වෙන අතකය. 

"..... බලන්න අනේ... කාලය යන ඉක්මන... ඉතින් බලන්න මම පොඩිකාලේ දැක්කට පස්සේ දැක්කමනේ.. "

නැවතත් හඬනගා සිනාසෙමිනි. මේ වැඩිමල්  ගැහැණුන්ගේ සිනාවිම පසුපස ඇති තර්කය මට නොතේරේ. මම මගේ පාඩුවේ කෑම කන ගමන් මධුලිකා සමඟ කකුල් සෙල්ලමේ යෙදුනෙමි. අවසානයේ මම ඇගේ මෘදු කකුලක් තරයේ මගේ දෙපා වලට සිර කරගත්තෙමි. මට දත්මිටි කැවුනේ හිනාවක් අතරිනි.

"....කොහෙද මේ වෙරෝනිකා වගේ පිනක් කොහෙද....? දුවෙක්වත් නෑනේ! හිකි හිකි..... ආ... ඒකනේ වැඩේ.. දැන් මගුලුත් තීන්දු වෙලා තියෙන එකේ.... "

මම වහලයේ වදින්නට තිගැස්සී උඩ විසි වී ගියෙමි. තුන් දෙනා සිනාසෙද්දී කකුලද ඉබේම බුරුල්ව මම අන්ද මන්දව බැලුනේ ඉබේටමය.

"... ටාෂිත්  බෝනික්කි වගේ ඔය ඉන්නේ.. "

මගේ කන් දෙකෙන් දුන් පනින්නට ඇත.

"..... මාලිත් ඒ කාලේ බෝනික්කි වගේ ලස්සන..  නැද්ද... වෙරෝනිකා.... ?? ටාෂි, තීක්ෂණ පුතාට හරියටම හරි යනවා.. ඔන්න මාලි මගේ ගානේ හනිමුන් ටුවර් එකට ටිකට්! එන්නම ඕනේ ඕස්ට්‍රේලියා.. ඔක්කොම වියදම් මගේ ගානේ"

එකවර අකුණු දහසක් පුපුරා ගියාක් මෙන් මගේ හිස විකාර වී ගියේය. 'සලාන්' ගා මධුලිකා අතින් ගෑරුප්පුව අත හැරුණු අතර ඈට කෑම පිට උගුරේ ගියෙන් සුදම් වහා ඇගේ පිටට ගැසුවේය. මගේ කෑම පිට උගුරේ නොගියේ වාසනාවටය.

"අනේ ඔය දරුවට මොකද...? නීලා... නීලා වතුර එකක් ගේන්න තව..."

මධුලිකාගේ මුහුණ වෙනස්ව ගියේ ක්ෂනයෙනි. මට දෙකොන ගිනිගත්තා සේ වික්ෂිප්ත වුයෙමි.

"සමාවෙන්න"

මධුලිකා කෑම මේසයෙන් ක්ෂණයෙන් නැගිට ඇගේ කාමරය දෙසට ගියා නොව දිව්වාය. පාත් වූ හෙනය උසුලාගත නොහැකිව මම කරකුට්ටන් වී අම්මා දෙස බැලුවෙමි.

"අනේ තේජා.. ඒවා තාම කතාකරලා නැහැ හරියට.. සෙනේ හොඳ උනාම බැරිය ඒවා බලන්න... "

ඒ අම්මා කියා සිහිනෙන් මෙන් ඇසුනි. මගේ හිස බමන්නට විය.

"ඒකනම් ඇත්ත, ඒත් තික්ෂණ පුතා නම් අකමැත්තක් නැහැ ටාශිට "

 මහා හෙනයක් හිසට පහත්වුවා සේ මට එය ඇසුනේ සිහිනෙන් මෙනි. ටාෂාගේ මව එසේ කිවේ ඇයිදැයි නොරහසකි. අප දෙදෙනා පෙර දිනයකදී මගේ කාමරයේදී ඇගේ අතටම හසුවිය. නමුත් ඒ කතාව සත්‍ය දන්නේ මමත් ටාශාත් පමණි.

මෙතරම් උපකාරන් කරන ටාෂාගේ මවට ඒ මොහොතේ කඩාපනින්නට තරම් මට හැකියාවක් තිබුනේ නැත. නමුත් ආ ආවේගයට මම 'දඩාන්' ගා පුටුව පසුපසට කොට කිසිදු ගරුසරුවක් නොමැතිව මේසයෙන් පලා ගියෙමි.

********************මතු සම්බන්ධයි **************************  

4 comments:

  1. අනේ හැබෑට. ඒ පාර තව උදැල්ලක්.

    ReplyDelete
    Replies
    1. මොන උදැල්ලක්ද කෙලින්ම මන්නා පාරක්!

      Delete
  2. ගමක; සිරා නම් වූ තක්ක්ඩි හොරෙක් සිටියේය.
    මූ මොන තරං හොර මැරකං කුපාඩි කං කොලත් පොලීසියට මාට්ටු නොවෙන්න ගේම ගහන්න දස්සයාය.
    දවසක් පොලීසිය විසින් මේ යකා ට නඩු පවරණා ලදුව උසාවියට ගියේය.
    උසාවියේදී මේ හොරාගේ නීතීඥ බුවා නඩුකාර හාමුඩුරුවන්ට ගෙන හැර පෑවේ "දැන් මූ හොරකං කරණ්නේ නෑය!", "මේකා දැං හතර පෝයටම සිල් ගන්නවාය!!" , " දැං ජීවත් වෙන්නේ ගොවිතැන්බත් කොරලාය!!!", "මේ හොරකම මීට අවුරුදු ගානකට ඉස්සර කොල එකක්ය!!!~!" කියාය.
    නඩුකාර හාමුඩුරුවෝත් වැඩේ ගොඩ දාලා දෙන්නට සෙට මෝල් වෙන කොටම පොලීසියේ පැත්තෙං නඩුව මෙහෙයෝපු සාළහාමි ඇඟට පතට නොගෑවී "ඇයි ගිය මාසෙ එහා ගමේ එළුවෙක් හොරකං කරපු නඩුවකුත් ඇහෙන්න තියෙන්නේ!?" කීවේය.
    නඩුව ගොඩ යෑමේ සිහින බලමින් විත්ති කූඩුවේ හිටි සිරාට කට ඇරුණි!
    ඌට ඉබේටම කියැවුනේ: "ආයෙ එළු මගුලක්! කියාය!!!~
    ඒවාගේම;
    අනේ දෙයියනේ කියා තීක්ෂනයා වැඩේ ගොඩ දාගන්න හදන කොටම "ආයෙ එළු මගුලක්!"

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි