විසිතුරු කොල

Sunday, November 22, 2020

244. රස රහස


 

 

 

දිලි දිලී දිලෙමි මම , නුබ ගැබක එක්තරා
සැලි සැලී සැලෙමි ඉම , සිළුව වී තුන්තරා
වෙලි වෙලී දැවෙන පෙම , බලා උන් ගත නුරා
බැලි බැලී රසය කිම , මිහිරි මී පැණි උරා  

මේඝයක ඉමක වූ බලා සිටිනා වැස්ස
වේදයක ලියා නැත වෙලා සිටිනා පවස
නාදයක පාව ආ මුලා කරනා පිණිස
පාදයක තවම ඇත සලිත කරනා රහස

Sunday, November 1, 2020

243. සුහදිනියේ - 35 | බලාසිටි මොහොතක් වෙත

 

තුවාන් අයියාගේ ඩිස්පැන්සරිය අසල නතර කල වාහනයෙන් බසින අප දෙදෙනා දුටු නැන්දා ඉදිරියට පැමිණියේ අප්‍රමාණ සතුටිනි. මධුලිකා බදා වැළපුණු ඈ මා දෙස බයාදු බැල්මක් හෙළුවාය.

"නැන්දා.... දැන් හොඳයි නේද? මම ඩොක්ට ට කිව්වා අපි එනවා කියලත්..."

"පින් සිද්ද වෙනවා මහත්තයා මාව බේරගත්තට. මෙහෙ මිසීලා හරි කරුණාවෙන් බලාගත්තා මාව"

සේවිකාව කෘතඤපුර්වකව කියා සිටියදී මධුලිකා මගේ වමතේ එල්ලී සේවිකාව අනෙක් අතින් අල්වාගෙන සිටීම නෙත ගැටුණු බව මට පෙනුනි. මගේ ඒ අත මධුලිකාගේ ඉන වටා ගොස් ඇගේ බඳ ග්‍රහණය කරද්දීම ඈ මගේ අත කෙනිත්තුවාය. සියුම් සතුටක් සමඟ අල්පෙනිති තුඩක තරම් වන ලැජ්ජාවක් දැනුනි. මගේ සිත මහා නොසන්ඩාල බවින් යුතුය. මා සතු ඈ මෙතරම් දුරින් මා තබාගෙන සිටින්නේ කෙලෙසද?

ඒ කෙසේ වෙතත්, මධුලිකාගේ දෑස් මත ඇති සතුට ඈ තුල ඇති පොපියන තරුණකමට ආභරණයක් වැන්න.

"ලෙඩ නොවුනෝත් තමයි පුදුමේ! නැන්දා ලෙඩ උනේ මෙයා උස්සගෙන ආපු විදියටනේ "

මගෙත්ම මදක් ඈත්ව, ධුලිකා සිනහසෙමින් කීවාය. 

 

Thursday, July 23, 2020

242. අපුර්ණව අප දෙදෙන





සියොත් වෙසක් ගත්
ආගන්තුකයෙකි ඔබ...



ආගන්තුකය නුඹ,
සැඟව සිටිනා තැනක සිට - මා
අමතනු මැනවි වරක් හෝ

කැබලි වී සිටිමි මම ,
බිඳී ඇත නුඹද
කොහේ හෝ මා මෙන්ම...
අමතනු මැනවි මා
වරක් හෝ ඔතැන සිට!

මෘදු පවන සැමදිනම
හමා යන මා වටා,
විමසාවි මේ ලෙසම -
චන්ද්‍ර දෙව්ලියක් වන්  - ඈ කොහිද ?
දිලි දිලී - ඇවිලයන
නුඹේ ප්‍රාණවාතය නොලද
මම කෙතෙක් අපුර්ණද?
මම නොලද
නුඹ කෙතෙක් අපුර්ණද ?

නුඹ නොමැත
මුත් නුඹේ සිනහ ඇත..
වත නොමැත
මුත් නුඹ පිය නගන හඬ ඇත...
කොහිඳ නුඹ ?
ඉලක්කය කොතැනකද ?
අපුර්ණව අප දෙදෙන
කුමකටද ජීවත්ව?







p.s: ඔබ සොයමින් සිටින්නේ වරක් හෝ ජිවිතයේ අත්වින්ද හැඟීමක් නම්.... මේ ගීතය පද අරුත් වෙන්කරන්න ඕනේ නැහැ මම හිතන්නේ.

මේ ගීතය අඩංගු වෙන්නේ 'Dil Se' කියන සිනමා පටයේ. පළවෙනියටම මේක බලපු දවසෙම කටපාඩම් වෙච්ච ගීතය , තේරුම ගැන හොයන්න පෙළඹෙව්වා. ගීතයක් හරියටම එල්ලය බලලා හදවතටම විදින්න පුළුවන් වෙන්නේ ඒකට දෙස සංගීතයෙන් මම හිතන්නේ.

තේරුම් නොදැනත් මේ සින්දුවේ තියෙන ඒ වේදනාව මාව පෑරුව. එහෙම නොවෙන්නත් පුළුවන්.

සින්දුව අහන්න/බලන්න






Tuesday, July 21, 2020

241. සුහදිනියේ - 34 | ප්‍රේමය කෙතරම් ප්‍රේමනියද ? මධුලිකා අනාගතය සැලසුම් කරමින්



එකවරම කුමක් කියන්නදැයි මට සිතාගත නොහැකි විය. අම්මාගේ ඉව පිළිබඳව මට අමුතුවෙන් කිවයුතු නොවේ. පිළිතුර පමා වන තරමට අවාසිය මා කෙරෙහි වන බව මම දනිමි.

මධුලිකා දල්වාගත් දෑසින් යුතුව මා දෙස තත්පර කිහිපයක් බලාසිට, මට පහසුවක් වීම පිණිස විශාල ජනේලය දෙසට ගමන් කළාය. මම ඈ ගැන තාත්තාට නොකී දුක ඈ තුල අලුත්වනු දැකීමට මම අකමැති වීමි.

නමුත් අම්මා වෙතින් ඉටුකර ගතයුතු පොරොන්දුවක් තාත්තා මා වෙත තැබුවේ කලින් දිනයේය. එයත් මගේ සිතට නැගුනු බැවින් මේ මොහොතේ අම්මා දිනාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මගේ සිත මා තුල කලබලයක් කරන්නට විය.

"... නෑ අම්මා.. මම මේ එන ගමන්. මම මේ විරංග එක්ක පොඩි ගමනක් දාගත්ත නිසා.."

අම්මාගේ හඬ එවර ශෝකාකුල විය.

"ලොකූ.. "

"ඩඩා නැද්ද?"

මම උගුරේ සිරවූ හතරැස් පෙට්ටියක් මෙන් වචන ටික පිටතට ගත්තෙමි.

"මට ලොකූ එක්ක කතාවක් තියෙනවා... ඩඩාට මම කිව්වා"

මගේ පපුව මහා දුම්රියක මෙන් හූ හඬක් නංවමින් දෙදරා හැලෙන්නට විය. දුරකතනයෙන් කතාකිරීම අතිශය අනතුරුදායකය.

"ම.. මම එකොළහ විතර වෙයි එනකොට. "

"කමක් නැහැ... කියට හරි ඔයා එනකල් ඩඩා මම තියාගන්නම්කො. "

මා මර උගුලකට හසුවී ඇත. අම්මා කුමකට හෝ අර අදින්නීය. ඒ නොවේ නම් ඈ මෙතරම් සැලකිල්ලෙන් මා නිවසට ගෙන්වාගන්නට දතකන්නේ නැත. මැරයින්ගේ ඉව වැටුණු මෙම මහල් නිවාසයේ ඈ තනිවම තබන්නට මගේ කිසිදු කැමැත්තක් නැත.

"යමු"

ඇමතුම විසන්ධි කල මම මධුලිකා දෙස නොබලා කීවෙමි. මගේ මානසික තත්වයේ අසමතුලිතබව ඇයට වැටහෙන්නට ඇත.

මධුලිකා මා දෙස මෘදු බැල්මක් හෙළුවාය. ඈ කෙරෙහි මා සිත තුල ඇති ප්‍රේමය හකුලන ලද වායු බැලුමක් සේ පිම්බි විධාරණය වනු මට වැලැක්විය නොහැකිය. කොයි මොහොතක හෝ එය විසින් මා එසවී ගොස් තවදුරටත් මට මා පාලනය කල නොහැකි පමණට බලවත් වනු ඇත.

"මම හිතුවේ..."

"අම්මා කතා කලේ... මම ගෙදරත් යන්න ඕනේ.. නැතිනම් බලයි මම කොහෙද කියල"

මම ඈ කියන්නට ගිය යමක් ගැන නොසිතා කියවන්නට වීමි. මධුලිකා 'හිකිස්' කා සිනාසෙනවිට මා තුල විදුරු බුබුලක් බිඳී ගියාක් වැනි තිගැස්මක් ඇති විය. මම අන්දමන්දව බලා සිටියා වන්නට ඇත.

"පිස්සා... මම කියන්න ගියේ ඒක නෙවෙයි.. මැටි මෝලෙක් තමුසේ නම්"

මම ඇහි බැම හකුළුවා බොරු අමනාපයක් පෑවෙමි.

"පිස්සා? මැටි මෝලා??? මම කිව්වා නම් එහෙම! හුහ්. එදා මෝඩි කියන්න ගිහින් ජීප් එකෙන් පැන්නා... අද පනී මෙතන බැල්කනි එකෙන්...."

මම ඇගේ හිසට ටොක්කක් අනින්නට මෙන් ගොස් අත තබා බොරුවට තල්ලු කලෙමි. මධුලිකා 'හිකි හිකි' ගාමින් සිනාසීම මෙතන රැඳීමට මා සිත දෙවයි. නමුත් හදවත නොව බුද්ධියට මේ මොහොත වෙන් කළයුතුව ඇත. මගේ හැඟීම් මැඩීම මෙතරම්ම දියුණු යයි මම කවරදාකවත් දැනගෙන සිටියේ නම් නැත. ඊටත් මේ විලවුන් සුවඳ ඉතාම විෂ සහිතය.

".. යමු... අරහේ පරක්කු උනොත් උගෙන් කුණු කතා අහන්න වෙන්නේ"

මම මධුලිකා සමඟ සෝපානය වෙත ඇවිද ආවෙමි. මධුලිකා මගේ බාහුවේ එල්ලුනේ නිරායාසයෙනි. එය පපුව සිසාරා දිවෙන ස්නායුවක මෘදු සෘන්ගාරයක් වැන්න! පාලනය කරනලද මගේ සිතුවිලි විසින් සෝපානය පැමිණෙනතුරු උන් මගේ දකුණු පය පොලව මත තට්ටු කරමිනි. 

Thursday, July 16, 2020

240. සුහදිනියේ - 33 | එකිනෙක වෙනස් ගැටළු කිහිපයකට මැදිව - තීක්ෂණ ගේ තීරණය කුමක් වෙයිද?

කලින් කොටසට



මේ වනවිට අප දෙදෙනා කොළඹට ආසන්න නමුත් ප්‍රධාන මාර්ගයෙන් බැහැර මුහුද අද්දර වාහනය නවත්වාගෙන සිටියෙමු. ජීප් රථය නතර කරනවාත් සමඟ අවදි වූ මධුලිකාගෙන් මම සිදුවීම් පෙළ අමුනා ගන්නට තැනින් තැන ප්‍රවේශමෙන් විමසමින් සිටියෙමි.

ඇගේ අපහසුවට වඩා මගේ පහසුව තකා මම ඉදිරි ආසනයේ සිට ඈ දෙසට හැරී , මුහුදට මුහුණලා සිටි අතර, මධුලිකා පසුපස ආසනයේ මුල්ලකට වී කුඩා සා පැටවියක සේ ගුලිවී උන්නාය.

"....   මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ තීක්ෂණ..."

මධුලිකා මා දෙස බැලුවේ තැතිගත් මුව පැටියෙකුගේ දෑසකිනි. එහි මා කෙරෙහි ඇති බිය; තමන් කල වරදේ පසුතැවිල්ල යන දෙකම තිබෙන්නට ඇත. නමුත් මගේ පිළිතුර ඈ වෙතින් තවමත් පිටතට පැමිණියේ නැත.

"එතකොට.. ඔයා කියන්නේ විරංගගේ ෆෝන් එකට ආන්සර් කලේ විරංගගේ බාප්පා... ඔයා ඇහුවේ මගේ නම්බර් එක විතරයි කියලා..."

මධුලිකා ගොත ගසනු මට දැනුනු බැවින් මම මගේ දැඩි බැල්මෙන් ඈ මුදවා මුහුද දෙසට දෑස යොමු කලෙමි.

"... මම හිතන්නේ මම ගත්ත ගමන් විරංග කියලා හිතාගෙන කිව්වා මම අතරමං වෙලා කියල"

මධුලිකාගේ හඬ වෙව්ලයි. ඒ මන්ද කියා මම දනිමි.

සිදුවී ඇති දේ පැහැදිලිය.

Tuesday, April 14, 2020

239. සුහදිනියේ - 32 | අවිනිශ්චිත බවින් ඔබ්බට... තීරණය තීක්ෂණ සතුය

කලින් කොටසට


 කුමක් හෝ බලවේගයක් නිසා හෝ සිහිනයක් නිසා හෝ  බිමට වැටෙන්නාක් මෙන් දැනී මම තිගැස්සී ඇහැරුනෙමි. තද සීතලක් විසින් මගේ අව සිහිය යන්තම් පිළිසකර කරමිනි. එකවරම මට මහා පිළිකුලක් දැනුනි. එය කුමක් නිසාදැයි නොදනිමි. නිරායාසයෙන්ම මට බැලුනේ මගේ වම් පසයි.

මන්ද අඳුරු කරනලද ආලෝකය තුලින් ටාෂාගේ නිරුවත් පිරිපුන් බටර් පැහැති පිට මට පෙනුනි. සිරුර පුරා මහා අපුලක් හටගත්තේ ඇයි කියා නොදනිතත්, සෙමෙන් සයනයෙන් බිමට බට මම නානකාමරයට වැද වහා දොර අගුලු ලාගතිමි.

නානකාමරයේ පසෙකින් ඇති දර්පණයෙන් මට මගේ සිරුරේ පිළිබිඹුව පෙනේ. ඇතුලාන්තය පුපුරවා හැරි විසල් ගොඩනැගිල්ලක බිත්ති පුපුරා කඩා හැලෙන්නා සේ මගේ ආත්මය මගේ පාමුල කඩා හැලෙනු මට දැනුනේ ප්‍රථම වතාවට විය හැකිය.

'මම මොකද්ද මේ කලේ? මධුලිකාගෙන් පළිගන්නට ගොස් මම මගෙන්ම පලිගත්තා නොවේද?'

සිරුර පුරා අසුචි තවරුනා සේ දැනෙන්නේ ඇයි? මම මධුලිකාට ද්‍රෝහී වුවා නොවේද?

'ඒකිත් මට කලේ එහෙමනේ! හැම වෙලේම මාව බල්ලට දාලා ; පුළුවන් හැම විදියෙන්ම මාව රිජෙක්ට් කරලා ; අන්තිමට මට අර විදියට කතා කරලා පැනලත් ගියේ!! ඔච්චර ආරක්ෂා කරපු මට.....'

මම සින්ක් එක දෙපසට දෑත් ගසා හිස පහලට හරවා ගත්තේ මගේ සිතුවිලි ගඟ හරහා පතරංග කොටයක් වැටුණි බැවිනි.

Saturday, April 4, 2020

238. සුහදිනියේ - 31 | මධුලිකා තවදුරටත් අතුරුදහන්ව. තීක්ෂණ කුමක් කරයිද?


 කලින් කොටසට 



උමතු වන්නට ආසන්න රෝගියෙකු සේ දෑතම හිසේ රඳවාගෙන මම බස් නැවතුමේ බංකුව මතට කඩා වැටුනෙමි. බස්නැවතුමේ කුඩා පඩිය මත තිබුණු මධුලිකා මිට මොහොතකට පෙර පැළඳගෙන සිටි පිච්චමල් රැහැන අතට ගනිද්දී මගේ හදවත කඩාවැටුනාසේ දැනී දෑසින් කඳුළු පැනනැගුණි.

මධුලිකා අනතුරකද? ඈ කොහි ගියාද? මම නොමැතිව ඈට ඇති ආරක්ෂාව කුමක්ද?

එකසිය එක් වරටද මම මධුලිකාගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි. එය නාද වනවා මිස, කිසිදු පිළිතුරක් නොලැබුණි.

ඇය මා කොයි කියා සොයන්නද? පටු පාරේ වූ බස් නැවතුම පෙනෙන මානයක මිනිස් පුළුටක් නැත. අතරින් පතර ගමන් ගන්නා තේ දළු එක්කාසුකරන ලොරි රථ හැරුනුකොට පලාතම පාලුය. සවස් වීමට ආසන්න බැවින් අඳුරද , මීදුමද එක්ව මහා මුසල බවක් ඇතිකොට තිබිණි.

කවර කලෙකවත් නොදැනුනු වියෝ දුකකින් මගේ සිත පිරි ගොස්ය. ඇයට කුමන ආකාරයට සීරීමක් හෝ වුවහොත් මරාගෙන මැරෙන තරමට මගේ ආවේගය දැඩිය!

'ලොකුකම ඉහට ගහල ගොන් වැස්සියෙක් වගේ බිමට පැනපු හැටි! දෙන්න හිතෙනවා හොම්බට!! දැන් බලපන් මී හරකියේ මම උඹව කොහෙන්ද හොයන්නේ කියලා?'

'ඔච්චර ඩෝන් යන්න මොකද්ද උනේ? මම පොඩ්ඩක් කෑගැහුවා තමයි ඩඩාගේ ප්‍රශ්නේ නිසා ඔලුව අවුල් වෙලා හිටිය හින්දා. මේ මී දෙනට මොකෙක් වැහිලද හිටියේ?'

කවුරුන් හෝ විසින් ඈ පැහැරගෙන ගියාද? නැතිනම් කෝපය විසින් හසුරවනලද ඈ විසින්ම කොහේ හෝ ගියාද? ඒ නැතිනම් කවුරුන් හෝ විසින් රවටාගෙන ගියාද?

මේ කිසිවකට පිළිතුරක් මට පෙනෙන මානයක නැත. හැඩීමෙන් පලක් නැත. මම වහා තාරුක අයියා ඇමතුවෙමි. ඒ අතරතුර නගරයේ වීදියක් පාසා රථය පදවාගෙන යමින් දෙපසම විපරම් කලෙමි.

පුවත අසා ඔහුද අතිශය කලබලයට පත්වූ බවක් පෙනුනි. ඒ කෙසේ වුවද සුන්දර්ට තවමත් කිසිවක් නොකියා සිටින්නට මට සිතුනේ ඇයිදැයි මම නොදනිමි.

"මචං... උඹ පොලිසියේ ඇන්ට්‍රී එකක් දැම්මොත් නරකද?"

මම කල්පනා කලෙමි.

Tuesday, February 11, 2020

237. මම සිහින දකිමි


Image result for kabhi kabhi + song


වරින් වර මා සිත මුමුණයි
නුඹ මා වෙනුවෙන්ම මැවුණු බව
මින් පෙර - තාරුකා අතර දිදුලමින් හිඳ,
නුඹ මා වෙනුවෙන්ම මිහිමතට කැඳවිණි...

විටෙක මම සිතමි
ඔබ බුහුටි සිරුරද, දෑසද මටම හිමි බව...
තුරුපත් අතර සෙවනැලි සෙවන මට බව...
ඔබ දෙතොල් , කෝමල දෑත් මට අයිති බව...

විටෙක මම මවාගමි
මංගල බෙර වැයුම් මග දෙපස වැයෙතැයි...
මංගල රාත්‍රිය මේ දැන් එළඹතැයි..
නුඹ මුහුණ වසාලු සළුපට සෙමෙන් මම හරිතැයි..
නුඹ විලිබරව මා උරෙහි ගුලිවෙතැයි...

විටෙක මම සිහින දකිනෙමි
නුඹ මෙලෙසින්ම ප්‍රේමයෙන් මා හා
දිවි ඇති තුරා සිටිනා බව...
නුඹේ මේ පෙම්වත් බැල්ම
සැමදා මෙලෙසින්ම මා වෙත රැඳෙන බව...
දනිමි ඔබ මට ආගන්තුක බවද - නමුදු.........
මම සිහින දකිමි...




මේ ගීතය මම දකින බොහොම ප්‍රේමනීය ගීතයක්. අහන වාරයක් පාසා උනත් එපා නොවෙන ප්‍රමාණයේ රසයක් තියෙනවා. මේ ගීතයේ අර්ථය ගන්න පුළුවන් තරමින් උත්සහ කළා... අහලා බලන්නකෝ...




Tuesday, February 4, 2020

236. සුහදිනියේ - 30 | මධුලිකා අනතුරක?





 කලින් කොටසට 

විධාරණය වන්නට ආසන්න ගිනිකන්දක් තරණය කරන තිදෙනෙකු සේ අප තිදෙනා එකිනෙකාට වෙනස් දිශා වලින් බංගලාව දෙසට ගමන් කලේ සැලසුම් සහගතවය. තාත්තා පැමිණ ඇත්තේ කා සමඟ දැයි මට එකවරම සිතාගත නොහැකි විය. එබැවින් මම ඉදිරිපස මිදුල දෙසින් පිවිසුණු අතර මම මධුලිකා සුන්දර් සමඟ වතු යායේ තාවකාලික ඩිස්පැන්සරිය වෙත පිටත්කොට හැරියෙමි.

මම එනවිටදී තාත්තා සිය ජීප් රථය තුලින් බැස මිදුලේ සක්මන් කරමින් සිටි අතර මගේ උකුසු ඇස්  ඒ මේ අත දුවමින් ඔහුගේ ඔත්තු සොයන්නට විය. පෙනෙන අයුරින් ඔහු හා කිසිවකු පැමිණ නොමැති හැඩකි. මා දුටු වනම තාත්තා සක්මන නවතා මා දෙස වරක් බලා සිට පෝටිකෝවේ ඇති හාන්සි පුටුව වෙත ඇවිද ගියේය. ඉන් අදහස් කරන්නේ මම ඔහු පසුපස පැමිණිය යුතු බවකි.

මම නිවස තුලින් එන ශබ්ද වලට කන් දුන්නෙමි. කිසිවකුත් පැමිණ නැතිවාද?

"මම මේ ... සුන්දර් එක්ක කෝවිල් ගියා "

තාත්තා කිසිවක් පැවසුවේ නැත. ඔහු අත තවමත් ජංගම දුරකථනය රැඳී තිබිණ. එය කුඩා කනප්පුව මත තැබූ තාත්තා සිය වම අතින් නිකට පිරිමදින්නට විය. එය එතරම් සුබ ලකුණක් නොවන බව මම දනිමි. ඒ ඔහුගේ කල්පනාකාරී ස්වභාවයයි.

තාත්තාගේ මේ හැසිරීම් සියල්ල මල්ලිත්, ඊට වඩා මමත් හොඳින් අවබෝධකොටගෙන සිටින්නේ වඩා ශරීර සෞඛ්‍යට යහපත් බැවිනි. ඔහු සිය පුටුවට ඉදිරියෙන් ඇති අනෙක් පුටුව මට දැක්වූයේය. මම චකිතයෙන් යුතුව එහි හිඳගත් අතර, හිස තුල දහසකුත් එකක් පිළිතුරු අනේක ආකාරයෙන් පටලවමින් බොරු කන්දක් ලැස්ති කරගත්තෙමි.

Monday, January 27, 2020

235. සුහදිනියේ : මෙතෙක් කතාව.....




මෙතෙක් කතාව..................

තීක්ෂණ වාසලමුදලි සහ විරංග මීගහතැන්න යනු ජාත්‍යන්තර පාසලකින් මෑතකදී ඉගෙනීම නිමකළ ගජ මිතුරන් දෙදෙනෙකි. ධනවත් සෙල්ලක්කාර චරිතයක් වන තීක්ෂණ ගේ සිත් ගත් ආඩම්බරකාර තරුණියක වන මධුලිකා නමැති තරුණිය , අහම්බෙන් මෙන් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන බව ඔවුන් දකින අතර, ඔවුන් දෙදෙනා එක්ව ඈ ඉන් බේරාගනු ලැබේ. මධුලිකා යනු, කලකට පෙර ලංකාවේ අතිශය ධනවත්, සුප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිට පසුව අතුරුදහන් වූ සංජිවී ජයවර්ධන ගේ එකම දරුවා බවත්, ඔහුගේ දේපල වලට ඇති තණ්හාවෙන් සංජිවී ජයවර්ධනගේ සොයුරාගේ පුතා වන වාසුල ජයවර්ධන ඈ එලෙස පැහැරගත් බවත් අනාවරණය වෙයි.

විශාල බුදලයකට හිමිකම් කියන මධුලිකා , තීක්ෂණ විසින් සඟවා තබාගන්නා අතර, වයස සම්පුර්ණ වන විටදී ඇගෙන් මුදල් ලබාගන්නා අභිප්‍රායෙන් විරංග ක්‍රියාකරන බව තීක්ෂණට දැනගන්නට ලැබෙන මුත් අහම්බෙන් සිදුවන ක්ෂණික තීරණයකින් මධුලිකා ඈ විවාහ කරගන්නා ලෙස තීක්ෂණගෙන් ඉල්ලන්නිය.

මේ අතරතුරදී , ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ  තීක්ෂණ ගේ පියාගේ, දේශපාලන මිතුරෙකුද මධුලිකා සොයනබව දැනගන්නට ලැබේ. කෙසේ වුවද තික්ෂණගේ පියාගේ තරුණ අවධියේ රහසක් ඔහුට මේ අතරතුර අනාවරණය වෙයි.

අනපේක්ෂිත ලෙස මධුලිකාගේ පවුලේ නිතිඥවරයා හමුවන අතර මින් පසුව තීක්ෂණ කවර ආකාරයේ පියවරක් ගනීද?



පළමුවෙනි කොටසට

Wednesday, January 1, 2020

234. සුහදිනියේ - 29 | මධුලිකාගේ සිත තීක්ෂණ කෙරෙහි වෙනස්වේද?

කලින් කොටසට 


විස්තරය ඇසීමෙන් පසුව රිසිවර අන්තයේ තත්පර කිහිපයක නිහැඬියාවෙන් පෙනී ගියේ මා මෙන්ම තාරුක අයියාද යම් පමණකට කැළඹී ඇති බවයි.

"...උඹ දන්නවනේ... ඩඩා එක්ක මට ගේමක් නම් ගහන්න බැරි විත්තිය. අනිත් එක.. මම කැමති නැහැ මේ සීන් එක එලියට අදින්න. උඹට කලිනුත් මම කිව්වේ.... ගෙදර ගියපු ආගියුමන්ට් එක ගැන?"

"..............."

"මට මේක කියන්න උඹ ඇරෙන්න වෙන එකෙක් නැහැ. විරංග උනත් දන්නේ නැහැ මේ සීන් එක ; ඩඩාගේ"

"හරි... කලබල වෙලා බැහැ. අංකල්ට මොකක්හරි බලපෑමක් තියෙන එක දැන් ෂුවර්. එක්කෝ ඒ ගෑනිගෙන් මොකක් හරි තර්ජනයක් තියෙනවා. නැතිනම්...... "

තාරුක අයියා නොකියා කියූ දෙය මට නොවැටහුනා නොවේ. ඔහු පවා විශ්වාස කරන්නට අපහසු වූ ඒ කාරණය අවසාන නිගමනය නොවේවා කියා මගේ සිත මුරගෑවේය.

ආවරණ කලාපයේ නොවූ නිසා මම නගරයට පැමිණ පළමු ඇමතුමත්, දෙවන ඇමතුමත් නිමවීමෙන් පසුව තාරුක අයියා ඇමතුවේ සියල්ල පවසනවාට වඩා මගේ හිත හදාගන්නට මෙනි.