විසිතුරු කොල

Tuesday, July 21, 2020

241. සුහදිනියේ - 34 | ප්‍රේමය කෙතරම් ප්‍රේමනියද ? මධුලිකා අනාගතය සැලසුම් කරමින්



එකවරම කුමක් කියන්නදැයි මට සිතාගත නොහැකි විය. අම්මාගේ ඉව පිළිබඳව මට අමුතුවෙන් කිවයුතු නොවේ. පිළිතුර පමා වන තරමට අවාසිය මා කෙරෙහි වන බව මම දනිමි.

මධුලිකා දල්වාගත් දෑසින් යුතුව මා දෙස තත්පර කිහිපයක් බලාසිට, මට පහසුවක් වීම පිණිස විශාල ජනේලය දෙසට ගමන් කළාය. මම ඈ ගැන තාත්තාට නොකී දුක ඈ තුල අලුත්වනු දැකීමට මම අකමැති වීමි.

නමුත් අම්මා වෙතින් ඉටුකර ගතයුතු පොරොන්දුවක් තාත්තා මා වෙත තැබුවේ කලින් දිනයේය. එයත් මගේ සිතට නැගුනු බැවින් මේ මොහොතේ අම්මා දිනාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මගේ සිත මා තුල කලබලයක් කරන්නට විය.

"... නෑ අම්මා.. මම මේ එන ගමන්. මම මේ විරංග එක්ක පොඩි ගමනක් දාගත්ත නිසා.."

අම්මාගේ හඬ එවර ශෝකාකුල විය.

"ලොකූ.. "

"ඩඩා නැද්ද?"

මම උගුරේ සිරවූ හතරැස් පෙට්ටියක් මෙන් වචන ටික පිටතට ගත්තෙමි.

"මට ලොකූ එක්ක කතාවක් තියෙනවා... ඩඩාට මම කිව්වා"

මගේ පපුව මහා දුම්රියක මෙන් හූ හඬක් නංවමින් දෙදරා හැලෙන්නට විය. දුරකතනයෙන් කතාකිරීම අතිශය අනතුරුදායකය.

"ම.. මම එකොළහ විතර වෙයි එනකොට. "

"කමක් නැහැ... කියට හරි ඔයා එනකල් ඩඩා මම තියාගන්නම්කො. "

මා මර උගුලකට හසුවී ඇත. අම්මා කුමකට හෝ අර අදින්නීය. ඒ නොවේ නම් ඈ මෙතරම් සැලකිල්ලෙන් මා නිවසට ගෙන්වාගන්නට දතකන්නේ නැත. මැරයින්ගේ ඉව වැටුණු මෙම මහල් නිවාසයේ ඈ තනිවම තබන්නට මගේ කිසිදු කැමැත්තක් නැත.

"යමු"

ඇමතුම විසන්ධි කල මම මධුලිකා දෙස නොබලා කීවෙමි. මගේ මානසික තත්වයේ අසමතුලිතබව ඇයට වැටහෙන්නට ඇත.

මධුලිකා මා දෙස මෘදු බැල්මක් හෙළුවාය. ඈ කෙරෙහි මා සිත තුල ඇති ප්‍රේමය හකුලන ලද වායු බැලුමක් සේ පිම්බි විධාරණය වනු මට වැලැක්විය නොහැකිය. කොයි මොහොතක හෝ එය විසින් මා එසවී ගොස් තවදුරටත් මට මා පාලනය කල නොහැකි පමණට බලවත් වනු ඇත.

"මම හිතුවේ..."

"අම්මා කතා කලේ... මම ගෙදරත් යන්න ඕනේ.. නැතිනම් බලයි මම කොහෙද කියල"

මම ඈ කියන්නට ගිය යමක් ගැන නොසිතා කියවන්නට වීමි. මධුලිකා 'හිකිස්' කා සිනාසෙනවිට මා තුල විදුරු බුබුලක් බිඳී ගියාක් වැනි තිගැස්මක් ඇති විය. මම අන්දමන්දව බලා සිටියා වන්නට ඇත.

"පිස්සා... මම කියන්න ගියේ ඒක නෙවෙයි.. මැටි මෝලෙක් තමුසේ නම්"

මම ඇහි බැම හකුළුවා බොරු අමනාපයක් පෑවෙමි.

"පිස්සා? මැටි මෝලා??? මම කිව්වා නම් එහෙම! හුහ්. එදා මෝඩි කියන්න ගිහින් ජීප් එකෙන් පැන්නා... අද පනී මෙතන බැල්කනි එකෙන්...."

මම ඇගේ හිසට ටොක්කක් අනින්නට මෙන් ගොස් අත තබා බොරුවට තල්ලු කලෙමි. මධුලිකා 'හිකි හිකි' ගාමින් සිනාසීම මෙතන රැඳීමට මා සිත දෙවයි. නමුත් හදවත නොව බුද්ධියට මේ මොහොත වෙන් කළයුතුව ඇත. මගේ හැඟීම් මැඩීම මෙතරම්ම දියුණු යයි මම කවරදාකවත් දැනගෙන සිටියේ නම් නැත. ඊටත් මේ විලවුන් සුවඳ ඉතාම විෂ සහිතය.

".. යමු... අරහේ පරක්කු උනොත් උගෙන් කුණු කතා අහන්න වෙන්නේ"

මම මධුලිකා සමඟ සෝපානය වෙත ඇවිද ආවෙමි. මධුලිකා මගේ බාහුවේ එල්ලුනේ නිරායාසයෙනි. එය පපුව සිසාරා දිවෙන ස්නායුවක මෘදු සෘන්ගාරයක් වැන්න! පාලනය කරනලද මගේ සිතුවිලි විසින් සෝපානය පැමිණෙනතුරු උන් මගේ දකුණු පය පොලව මත තට්ටු කරමිනි. 


සෝපානය හිස්ය... ඇතුලට පය තැබූ සැනින් මම මධුලිකාගේ ගෙල සිපගත්තේ නරුම ලෙස වන්නට ඇත. මධුලිකා ගැස්සී ගිය නමුත් වෙනදා මෙන් ගොරවා පැන්නේ නැත.

මගේ පපුවේ මැද්දට සිය දකුණත තබා ඈ සෙමෙන් මා ඉවතට තල්ලු කළාය. අනතුරුව සෝපානයේ කොනටම ගොස් එයට පිටදී මා දෙස සිය රේසර් කිරණ වන බැල්මෙන් බලා සිටියාය.

"ඇයි?"

මධුලිකාට ගිය සිනහව අයිති වන්නේ මා අසා කියවා ඇති ක්ලියෝපැට්‍රාට වන්නට ඇත. අම්මෝ ඒ මිනීමරු සරාගී බැල්ම...

සෝපානයේ දොර විවර විය. මේ කොහෙද?? සෝපානයට ඇතුළු උනා විනා රථගාලට යන බොත්තම ඔබන්නට මට නොහැකි විය. සෝපානය වඩාත් ඉහල මහලකට ගොස් නතරව ඇත. විවෘත වූ දොර තුලින් අප දැක යම් විමතියකට පත්වුවා සේ බලාසිටින තරුණයින් දුසිම් බාගයක් පමණ විය. ඔවුන් අප දැක බිය වුවා සේම , අපද ඔවුන් දැක බියවන්නට ඇත. ඉන් එක තරුණයෙක් මධුලිකා දෙස කෑදර ලෙස බලනු දුටු මම ක්ෂණයෙන් ඈ අසලට ගොස් ඈ මගේ ඇඟට තුරුල් කරගත්තෙමි. මම ඔවුන්ට රවා බලන්නට ඇත.

තරුණයින්ට යමක් වැටහෙන්නට ඇත.
ඔවුන් සෝපානයේ රථගාලේ බොත්තම ඔබා දොර වසා දැමුහ. අප ගැන සැලකිල්ලෙන් බැලුවේ කලින් තරුණයා පමණි. මට ලැජ්ජාවක් මෙන්ම සිනහවක්ද නැගුණි. බොත්තම ඔබන්නට පවා සිහියක් නොමැති මම!

රථගාලේ සෝපානයෙන් බට මම මධුලිකා එලෙසින්ම තුරුළු කරගෙන සිතින් උදම් අනමින් ජීප් රථයට පැමිණියෙමි.

"කපටියා!"

මධුලිකා සෙමෙන් මිමිණුවාය.

".. වැඩිය ආයේ කියවන්න එපා..... කා පාක් එකේ මේ හරියී සිසී ටීවී ඇත්තෙත් නැහැ... අල්ලලා ගිලිනවා මම!"

මධුලිකා මා තල්ලුකොට දැමුවාය. ඇගේ මේ දඟකාර හැසිරීම පාසලේදී මම කොතෙක් බලාසිට ඇතිද?

"හි හි හි"

"හි හි නෙවෙයි.. මහ ලොකුවට කට! ඒ උනාට බය උනානේ ඒ කොල්ලෝ ටිකට.. හිහ් "

ජීප් රථයේ අගුල විවර කල මම මධුලිකා ගේ පැත්තෙන් පැමිණ ඇයට දොර විවෘත කර දුන්නද, මධුලිකා දොර හරස් කරගෙන සිටි මා අසලින් බොරු අමනාපයක් පෙන්වන ලෙස කට ඇදකොට බලා සිටියාය.

"කෝ එහාට වෙන්න!"

විදුලි වේගයෙන් ඒ වචන ටික මගේ ස්නායු හරහා ගමන් කළේය.

"ඇත්තටම මධූ..... ඔයා පිටින් එන කරදර වලින් බේරෙන්න මට ලං උනා නෙවෙයි නේද?"

මගේ උගුර සිරවන්නට මෙන් ආවේ එතරම් අවංක වේදනාවක් මගේ හිත තුල තිබුණු නිසාම වන්නට ඇත. මධුලිකාගේ සිනහව ක්ෂණයෙන් අතුරුදහන් විය. ඇය මා දෙස මෘදු ප්‍රේමනීය බැල්මෙන් බලා සිටියේ ආයාචනයක් මෙනි. එහි සමාව මොනවට තැවරී තිබිණ. මගේ වචනය ඈ තදබල වේදනාවකට පත්කොට හමාරය.

"..සමාවෙන්න"

"ඔයාගේ ඒ කතාව සාධාරණයි තීක්ෂණ... එහෙම තමයි මේ හැමදේම පිටට පේන්නේ"

මම මධුලිකාගේ දකුණත දෝතටම ගත්තෙමි.

"සමාවෙන්න... ඒත් මට.... ඇත්තටම මේක ඔයාගෙන අහන්න හිටියේ ගොඩක් කලින්... එක එක දේවල් නිසා මගෑරුනා.. මම දන්නේ නැහැ මේක අහන්න හොඳම වෙලාව මේකද කියලත්...."

"අහන්න"

"පොරොන්දුවක් වෙන්න ඕනේ ඊට කලින්.. මම ඔයාගෙන් මිට කලින් පොරොන්දු අරගෙන නැහැ"

"ඇයි නැත්තේ? මාව ජිවිත කාලෙම වයිෆ් විදියට බලාගන්නවා කියලා පොරොන්දු වෙලා මටත් එහෙම කරන්න කියලා පොරොන්දුවක් ගත්තේ"

මම මෙතරම් හැඟීම්බර වුයේ කවර ලෙසකින්ද? මගේ ඇසෙන් කඳුළු පැන්නේය.

"මෝඩියේ ඒක නෙවෙයි මම කිව්වේ...."

මම ඇගේ දෑතම සිපගත්තේ දැඩි ලොබකමකිනි.

"..... ඇයි මධූ ඔයා මාව බැන්දේ?"

මධුලිකා දිගු හුස්මක් ගත්තාය. එහි දිග කතාවක් ඇතිබව පෙනුනද ඇස්වල තිබුනේ අතිශය වේදනාවකි.
ඇගේ දෙතොල් සැලෙයි. වචන සකසන්නට ඇයට දැන් සුදානමක් නැතිවා සේය.

"... කමක් නැහැ.. ඒකට උත්තරය දැන්ම නොදුන්නට ලොකු ප්‍රශ්නයක් නැහැ"

මම අපහසුවෙන් කියාගෙන රථයට නගින්නට ඇයට ඉඩ ලබාදුන්නෙමි. පියවරක් ඉදිරියට තැබූ මධුලිකා ප්‍රථම වතාවට මගේ දෙතොලට ක්ෂණික හාදුවක් දුන්නාය. මම ගල්ගැසී ; විලියෙන් බරවුයේ කෝඩුකාරයෙකු පරිද්දෙනි.

"මම ඔයාට ආදරෙයි තීක්ෂණ..."

සිහිනයක් ; මායාවක් හෝ විජ්ජාවක් වුවද යම් පරිසරයක පවතින්නේ තත්පර කිහිපයකි. මගේ හෝරා සියල්ලම කැරකි යන්නට ඇත. මේ වචන ටික තරම් වටිනා වචනයක් මම බලාපොරොත්තුව නොසිටින්නට ඇත. රථගාලේ ඔක්සිජන් හිඟ බව වැටහුණු මම සිහි එලවාගන්නට හිස දෙපසට වැනුවෙමි. මධුලිකා මා පසෙකට තල්ලුකොට රථයට නැග මා දෙස බලා දඟකාර ලෙස සිනාසේන්නීය.

"මගේ කන්දෙක කුං ගානවා වගේ..."

"කනට දෙකක් වැදුනම හරියයි"

මධුලිකා සිනාසෙමින් දඟකාර ලෙස කීවාය. මම මධුලිකාගේ දොර හරස්කොට දෙපසට දෑත් තබා ඈට ලංවුයෙමි. මේ විලවුන් සුවඳ මාරාන්තිකය. දොරෙහි ඉදිරිපස මගේ අතට කම්මුල තබාගත් මධුලිකා තරු ඇස් දිලිසෙමින් මා දෙස බලා සිටියාය. කුමක් හෝ හේතුවකට මගේ ඇස් තෙත්ව ගොස්ය. එය වසන් කරන්නට මට අවශ්‍ය නොවීය.

"මේ ගමන යන්නම ඕනේද කියලත් හිතෙනවා"

"හැබෑට?"

"අරූට මොකක් හරි කියමු"

මධුලිකා මගේ නහය මිරිකා අල්ලාගත්තාය.

"අපි දැන් යමු"

මහා කරුමයකි. බුද්ධියක් මිස හදවතකින් ගෙවිය හැකි කාලයක් අප දෙදෙනාට ලැබෙන්නේ කවදාද? මෙතරම් ප්‍රේමනීය මොහොතවල් කවදාවත් නොලැබී ගිය මට මහා දුකක් ඇතිවිය. මගේ නහයෙන් අත ගත් මධුලිකා මා බුවල්ලෙකුගෙන් මිදෙන්නා සේ තල්ලුකොට රථයේ දොර වසා ගත්තේ සිනාසෙමිනි.

"මට ඔයත් එක්ක කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා මධූ..."

ජීප් රථයට නැගී මම , ඈ දෙසට හිස හරවා බලා කීවෙමි. රථ ගාලේ අඩ අඳුර ඇගේ ඒ නෙත්සර වල භයානක ප්‍රතිපල මට අත්කරදෙමිනි.

මගේ තරුණ හිත බිම හැපෙමින් හඬනු මට ඇසුනද මම රථය පාරට ගත්තෙමි.

ඒ වනවිට විග් එකෙන් සිය හිස ආවරණය කල මධුලිකාත්, ජැකට්ටුවෙන් හිස ආවරණය කරගත් මමත් තාරුක අයියාගේ කාර්යාලය වෙත ගමන් කරමින් සිටියෙමු.

"හැප්පෙයි...! ඉස්සරහ බලාගෙන යන්න"

මධුලිකා මට වරක් දෙවරක්ම සුන්දර තරවටුවක් කළාය. ඈ මෙලෙස දිනාගැනීම මට තවමත් අදහාගත නොහැකි තරමකි.

************************************************

මමත් මධුලිකාත් දුටුවනම මා දෙස තුන් වරක් පමණ බැලු තාරුක අයියා සෝපහාස ලෙස සිනහවක් නගාගත්තේය. මම දබර ඇඟිල්ල තොල් මත තියා කිසිවක් නොකියන මෙන් බැගෑපත් බවක් පෙන්වුයේ මධුලිකාට මුවා වෙමිනි.

"මොකද උඹ ඇඹරෙන්නේ..? හරි හරි මම මුකුත් කියන්නේ නැහැ.. මෙන්න මෙහෙ වරෙන්.. ඉඳගනින්... වාඩිවෙන්න නංගි.."

"ස්තුතියි"

මධුලිකා සෝෆාවේ කොනක හිඳගත් අතර මම ඒ අසලින්ම හිඳගතිමි.

"ඔතන මිරිකෙන්නේ මොකටද බන් මේ වෙන පුටු තියෙද්දී... "

ගානක්  නොමැතිව තාරුක අයියා එලෙස කියද්දී මධුලිකා ලැජ්ජාවෙන් මා දෙස බැලුවාය. ඔහු ලිපිගොනු කිහිපයක් වරින්වර මේසය මතට ගෙනවිත් තබද්දී මම නැගිට ඔහු අසලට ගියෙමි.

"... ෆයිල් එකට ඔක්කොම ගත්ත. මෙන්න පාස්පෝට් එකට ඕනේ ඔක්කොම මම යවපුවාගේ පිටපත්. වෙලාවට එතන හිටියේ මම දන්නම මනුස්සයා. නැත්තම් වැඩේ කරගන්න බැරි වෙනවා..... තානාපතිගේ දුවට මම ටියුෂන් කරලා තියෙනවා. එයාම එවයි පාස්පෝට් එක "

මගේ හදවත යම් වේදනාවකට පත්විය. එය නොපෙනුනා කියා නොසිතමි. මම මධුලිකාගේ ගුවන් ගමන් බලපත්‍රය අතට ගෙන එහි පින්තුරය පිරික්සා බැලුවෙමි.

මහා ලෝබකම දැන් 'අති මහා' වී ඇත. මම වෙර යොදා සිතට දිරියක් පිඹ , ඔහුගේ කාර්යාල මේසය අසල පුටුවට බරදුන්නෙමි.

"... තෑන්ක්ස් අයියා... එතකොට අර වැඩේ?"

තාරුක අයියා මා දෙස එක වරක් බලා මධුලිකා දෙස බැලුවේය.

"නංගි.. ඔයාත් එන්නකෝ මෙතන පුටුවට... අපිට තව තොරතුරු ටිකක් ඕනේ"

මධුලිකා වහා නැගිට පැමිණ මා අසලම පුටුවේ හින්දගත්ති, ඇගේ කකුලේ කොටසක් මගේ කකුල හා ස්පර්ශව ඇති බව මට වැටහුණි. මධුලිකා වහා කකුල ඉවතට ගත්තාය. මට ලෝබකමක් ඇතිවිය.

"කොහොමද නංගි ඉතින්? ගොඩ කාලෙකට පස්සෙනේ දැක්කේ.. හිටියට වඩා ලස්සන වෙලාද මන්ද.. ඔය මු එක්ක ඉඳල යහතින් කෙල්ලෙක් හිටියමද මන්ද"

මධුලිකා සිනාසෙයි.

"වරදක් නැහැ අයියා... ටිකක් එහෙට මෙහෙට දුවන්න උනානේ මේ.."

"දිගටම දිව්වොත් ගොඩ. මොකද මුගෙන් ගැලවෙන්න ලේසි නැහැ.. මම එදත් කිව්වේ..."

තාරුක අයියා ගානක් නැතුව කියාගෙන යයි. මම ඔරවාගෙන සිටියේ මගේ විරෝධය ඔහු තවත් අවුස්සන බව වැටහුණු බැවිනි.

"... මිස්ටර් වාකිෂ්ඨ කියන විදියට.. අම්මේ මුගේ මුණේ මේ ලිප්ස්ටික් නේද?... "

අප දෙදෙනාම කලබලව ගිය අතර මම මුහුණ අතගාමින් වෙනසක් සෙව්වෙමි.

"... අපේ මේ කිසි තැනක නැහැ වාසුලට අයිතියක්. දැනට ඒ මනුස්සයා භුක්ති විඳින සියල්ලම ඔයාට අයිතියි නංගි... "

මම මුහුණත් දෙතොලත් අතගාමින් වෙනසක් සෙව්වෙමි. මධුලිකාද ඊට සහය වෙමිනි. තාරුක අයියා විකාර කරයි.

"... මම කිව්වේ කම්මුලේ කියලනේ.. උඹ මොකටද ඔය ලිප්ස් අතගාන්නෙ.. හා ඉතින් මම බොරුවක් කිව්වේ.. බලනකොට පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු.. හෙහ් හෙහ්.. තේරුනාද නංගි... ඔයා කැමති නම් ඔයාට පුළුවන් මිස්ටර් වාකිෂ්ඨ එක්ක ඉදිරිපත් වෙන්න මේ බූදලයට. නඩුව තීන්දුවක් දිලානේ තියෙන්නේ"

මධුලිකා සිනහව වලකා ගනිමින් මා දෙස වරින්වර බලයි.

"අඩෝ මේ... පිස්සු නැතුව මේක සීරියස් කියපන්.. මෙයාට මේකේ බරපතලක් තාම තේරෙන්නේ නැහැ"

"බරපතල තමයි. එහෙමයි කියල මම මේක ඩෝසර් එකක් උඩ ඉඳල කියන්නද?"

තාරුක අයියා එලෙස කියන්නේ මධුලිකා බියවැද්දීම අවම කරන්නට වන්නට ඇත. නමුත් බුදලය ඉල්ලාගෙන යන්නට තරම් මේ මොහොතේ මධුලිකාට ඇති හැකියාව පිළිබඳව මට ඇත්තේ විශාල සැකයකි.

"මම කියන්නේ.... දැන්ම බුදල් බාරගන්න යන්න නරකයි. "

"මොනාද අයියා ෆැක්ටරි වලින් දැන් ඔපරේට් වෙන්නේ?"

මධුලිකා යම් ශෝකී පෙනුමකින් ඇසුවාය. මම මේසය මත දෑත් වැලමිට ගසා ඈ දෙස බලා සිටියා පමණකි.

"පේපර් එක සීල් තිබ්බනේ රජයෙන්. කාර් සේල් ටිකයි, ගාමන්ට් තුනයි, පයිලින් කම්පනියයි තියෙනවා. මිස්ට වාකිෂ්ඨ කිව්වා කොහොමත් ඒවායේ ඔක්කොම ලීගල් තත්වේ එයා බලන නිසා ඒ ගැන බයවෙන්න එපා කියලා. පැනල් එකකින් ඔපරේට් වෙන නිසා ඩිරෙක්ටර්ස්ලා දැනුවත් කරන්න වෙනවා. කොහොමත්...... "

"මට ඩිරෙක්ටර්ලාගේ විස්තර දෙන්න. මම මිස්ටර් වාකිෂ්ඨ එක්ක කතාකරන්නම් මේ ගැන."

මධුලිකා එකවරම මෝරපු ගතියක් පෙන්නුම් කළාය. ඈට ඇත්තේ ඇගේ පියාගේ පෞර්ෂය වන්නට ඇත. මම ඔහුගේ රූපය සිතට නගා ගත්තෙමි.

"නංගි.. ඒවා දුවන්නේ පාඩු පිට. නමුත් හොරකම් කරන්න බැරි විදියට හදලා තියෙන නිසා වැටෙන එකක් නැහැ. ගණන් ඔක්කොම ඔඩිට් වෙනවා. කාටවත් බ්‍රාන්චර්ස් වහන්න බැහැ. ඉන්න මිනිස්සු හොබී එකට වගේ කරන නිසා ලොකු දියුණුවක් නැහැ පයිලින් එකෙන් ඇරුනම."

මධුලිකා සුසුමක් හෙළුවේ ඇගේ පියා සිහිවීමෙන්ද ? මව සිහි වීමෙන්ද? මට ඈ ගැන අනුකම්පාවක් ඇතිවිය. ඇයට රැකවරණය සැලසීම මගේ යුතුකම නොවේද?

"මම වාසුලයා ගැන හෙව්වා... මගේ ඇම ඌ කාලා"

මම මේ මොහොතේ ඈ සනසන්නට අවැසි නිසා කීවෙමි.

"මම දැක්කා පත්තරේ.. ක්ලබ් එකේදී  ගහලා බෝතලෙන් ඔලුවට.. "

"මමත් දැක්කා..."

මධුලිකා ප්‍රශ්නාර්ථයෙන් මා දෙස බැලුවාය.

" වාසුලට මම කිව්වා මධුලිකාව බැඳලා ඉන්නේ දුලිප් සතරසිංහ ගේ පුතා කියලා. නියම ටයිමින් කියන්නේ ඌ මේ දවස්වල ඩේට් කරන්නේ මධූ වගේම කෙල්ලෙක්.... හැබැයි ඔයා වගේ දොඩම් ගෙඩි දෙකක් විතර නෙවෙයි... උසයි "

මධුලිකා ඔරවා බැලුවේ ප්‍රේමනීය බැල්මකි.

"... දුලිප් සතරසිංහ එක්ක ඒ වගේ වලියක් දාගත්තා කියන්නේ, අපිට එයා ගැන වදවෙන්න දෙයක් නැහැ"

මම මධුලිකා සනසන්නට කිව්වෙමි.

"වාසුල කොල්ලකන්නේ ගාමන්ට් දෙකක ආදායම විතරයි. ඒකත් ඔයා ඉදිරිපත් වෙච්ච ගමන් ඉවරයි."

තාරුක අයියා මධුලිකා දෙස බලා කිවේය. මම හුමිටි තැබුවෙමි.

"දැන් ඒ මිනිහට ඉතුරුවෙලා තියෙන්නේ වාහන දෙකයි, උහුලන්න බැරි ණය බරයි විතරයි... ඔයාගේ ආච්චි හිටපු ගෙදරත් තියෙන්නේ කෙලින්ම ඔයාට ලියලා. ඔයා දන්නවද?"

මධුලිකා එකවරම විශ්මයෙන් තිගැස්සී, ඒ සමඟම දුකින් බරිත වුවාය.

"හ්ම්ම්ම්... මට මිස්ටර් වාකිෂ්ඨ කිව්වා... හ්ම්ම්"

"ඔයාටයි ඔයාගේ මල්ලිටයි ලියලා තිබ්බේ.. මල්ලි නැති නිසා..."

මධුලිකා මගේ උරහිසට බර වුවාය. තාරුක අයියා ඉදිරියේ එලෙස සිටීමට ලැජ්ජාවක් දැනුනද මධුලිකා අපහසුවට පත්කරන්නට මට නොහැකි නිසා ඉවසාගෙන සිටියෙමි.

"... මම්මා...... මට එයාව බලන්නවත් බැරි උනා..."

මධුලිකා වයස සම්පුර්ණ නොකර සිටීමත්, අවිවාහකව සිටීමත් යන කරුණු දෙකෙන්ම ඇති අනාරක්ෂිත බව දැන් නැත. ඈ වෙනුවෙන් සටනට එළඹෙන්නට ලංකාව ඇතුලතදී කෙනෙක් ඇති බව දැන් වාසුල දනී. එබැවින්  වාසුල දැන් දුර්වල සතුරෙකි.

ඇයට මොහොතක් ඉකිබිඳින්නට ඉඩ හල තාරුක අයියා මට ඇසෙන් කිව්වේ තාත්තා ගැනය. ඔහුගෙන් ඇති තර්ජනය එලෙසමය.

"මේ ඔක්කොම මට කිව්වේ මිස්ටර් වාකිෂ්ඨ අද උදේ. එයා දැන් ඉන්නේ කොළඹ. අපි හෙට යමු එයාව හම්බෙන්න."

මම මධුලිකාගේ දෙස බලා ඇයට ධෛර්ය සපයනු වස් එය අනුමත වෙනසේ හිස සැලුවෙමි.

"... මිස්.. සොරි 'මිසිස්' මධුලිකා.... මේ දේවල් ඔක්කොම තියෙන නිසා ඔයා ඔයාගේ පරිස්සම ගැන ටිකක් වැඩිපුර හිතන්න. මේ කොල්ලා මෙහෙම හිටියට, ඔයාට පොඩ්ඩක් මොනවහරි උන ගමන් මෙතන පරසක්වල ගහනවා"

එය සත්‍යකි, නමුත් තාරුක අයියා මේ අව් අස්සේ සුරුට්ටු පත්තු කරයි. එලෙස කියන්නට ඇත්තේ ඈ සිනාගන්වන්නට වෙන්නට ඇත.

තාරුක අයියා මා සමචහලයට ලක් කරන්නේ මම පෙර දිනයකදී මධුලිකා ගැන පවසමින් කඩා වැටී කතාකල මොහොතේ මා අස්වසන උනන්දුවෙනි. ඔහුගේ සිත රපුරක් නොසිතන බවත් මේ සියල්ලටම මගේ අවංකවම උපකාර කරන බවත් මම දනිමි.

මට කරකියාගන්නට කිසිවක් නොමැත. මධුලිකා මගේ වමතේ අත් ගොබය දෝතින්ම තුරුළු කොට හිස තවත් උරහිසට ගිල්වා ගත්තාය. 'හම්මේ ඉතින් මෙහෙමත් ඉන්න හැකිද?' තරුණියකගේ සියුම් තුරුල්ලක ඇති උණුහුම් සෘන්ගාරය කෙතරම් ආනන්දනියද?

"දන්නවා"

ඈ මිමිණුවාය.

තාරුක අයියා මොහොතක් අප මගහැර ගියේ මගේ මුහුණ දුටු බැවින් වන්නට ඇත. ඔහුගේ සිනාව මම විඳ ගත්තේ අපහසුවෙන් නොවේ.

මට වචන හෝ කුමක් කළයුතුදැයි  තෝරා ගත නොහැකි විය. ඒ බව ඈ දන්නා බව මට සිතීමද අමුතුය. මධුලිකා එලෙස මා කෙරෙහි ප්‍රේමයෙන් සිටි බවක් මට නොදැනුනේ කවර මායාවක් නිසාද?

අද මේ මොහොතේ පටන් මා ඈ ඉදිරියේ අතිශය සාමාන්‍ය වී හමාරය. ඈ ඉදිරියට ආ සෑමවිටකම මට මා කුඩාවට දැනෙන ඒ පියවි තත්වය පිළිගත නොහැකිව මම ඈ වෙත මගේ අකරුණාව මුදාහරියා වන්නට ඇත.

තාරුක අයියාගේ කාර්යාලයෙන් අප පිටවන විටදී මධුලිකා ඇගේ නෛතික වපසරිය යම් පමණකට පැහැදිලිකොට ගත්තා වන්නට ඇත. වාකිෂ්ඨ මහතා විසින් ඈ ඉතා උසස් ලෙස දැනුවත්කොට තිබිණ.

ජීප් රථයට පැමිණි වහාම, මෙතෙක් දිනක් තාරුක අයියා සතුව තිබී, අද ඉල්ලාගත් කුඩා පෙට්ටිය සාක්කුවෙන් අතට ගත්තෙමි. මධුලිකා මා දෙස ප්‍රශ්නාර්ථයෙන් බලමින් ආසනපටි තදකරන ගමන්ය.

"සීට් බෙල්ට් දාන්න එපා... පොඩ්ඩක් ඉන්න"

මම සිනාසී කිව්වෙමි. මධුලිකා මා දෙස සැකයෙන් බැලුවාය.

"... කෝ දෙන්න "

ඈ දෙන්නට පෙරම මම ඇගේ වමත උදුරා ගත්තෙමි. ඈට ඇත්තේ කුඩා අතකි. සාක්කුවේ ඇති පෙට්ටියෙන් මුදුව ගත් වහාම මම මධුලිකාගේ වෙදැගිල්ලට දමා අගේ බුහුටි අත ලොබකමකින් සිපගත්තෙමි.

"මගේ දෙවියනේ... තීක්ෂණ....!"

මධුලිකාගේ දෑසින් කඳුළු කඩාහැලෙන්නට විය; ඒවා සියල්ලම සතුටු කඳුළු බව අමුතුවෙන් කිවයුතු නොවේ.

"මේක ගත්තේ අපි රෙජිස්ටර් කරපු දවසේ... ඔයාට මුද්දක් තිබ්බේ නැහැනේ මට දෙන්න. ඒ නිසා මම මේක දුන්නේ නැහැ... ඊටත්..."

මධුලිකා මගේ දෑතම බදාගෙන , ඒ මත හිස තබාගෙන නිසොල්මනේ උන්නාය.

".. ඔය මාව බැන්දේ දික්කසාද වෙන්න බලාගෙනනේ... ඉතින්"

මගේ කටහඬ බිඳී ගියා වන්නට ඇත. මධුලිකා හිස ඔසවා මා දෙස බැලුවාය.

"මට සමාවෙන්න තීක්ෂණ.... ඇත්තටම.... ඇත්තටම මම.... ඔයාට ආදරේ කරන්න ගත්තේ ඔයා ඉස්කෝලේ පළවෙනියටම දැක්ක දවසේ ඉඳන්"

මගේ ඇස් විසල් වන්නට ඇත. මෙය අදහාගත හැකිද? දකින දකින වාරයක් පාසා හැපින්නක සේ පිඹිමින් මට ආඩම්බරකම් පෑ මධුලිකා පවසන්නේ ඈ මට පෙර සිටම ප්‍රේම කළා කියාද?

මට මා ගැනම මහත් කෝපයක්; ලැජ්ජාවක්  නැගුණි. එවන් තරුණියක රවටා ඇගේ ඒ ආඩම්බරකම බිඳින්නට මිස ; මගේ අසික්කිත සිත වෙනකක් නොසිතුවා නොවේද?

ඈ ඒ මොහොතේ මට නතු නොවීමට ප්‍රථම වරට මම සතුටු වුයෙමි. චාපා මෙන් අවැසි මොහොතකදී බිමට දමන්නට මිස මගේ සිත පිවිතුරුව තිබුනේ නැත. මැයට එවැන්නක් කිව නොහැකිය. මම එතරම්ම නොහොබිනා තරුණයෙක්මි.

".. උදානි ඇරුනාම ඔය දෙන්නා ගැන.. ; නෑ ඇත්තටම ඔයා ගැන ; මට කීප දෙනෙක්ම අනතුරු අඟවලා තිබ්බෙත්"

මධුලිකා කඳුළු අතරින් සිනහ වෙමින් පැවසුවාය.

"....මම දන්නවා ඔයාට ෂර්ට් මාරු කරනවා වගේ කෙල්ලෝ ඉන්නවා කියලත්....."

මට මේ කතාව නීරස විය. මම පුම්බා ගන්නට ඇත. මධුලිකා මගේ නිකටින් අල්ලා මගේ මුහුණ ඈ දෙසට හරවා ගත්තාය. අනතුරුව මගේ වලගැසෙන කම්මුලට දබර ඇඟිල්ලෙන් ඇන්නාය.

"... මම ආසම ඔයාගේ මේ වලගැහෙන කම්මුලට. හිනාවෙනකොට ඒක හරි ලස්සනට පේනවා"

මගේ අමනාපය අතුරුදහන්ව ගියේ හිම පියල්ලක් මෙනි. මම ඇගේ දබර ඇඟිල්ල තදකොට අල්වා ගත්තෙමි.

"ඇති දැන්!"


********************මතු සම්බන්ධයි **************************

12 comments:

  1. හරිම ලස්සනයි! (මේ ලස්සනයි කියන වචනය තුල අනිකුත් සියළුම නාම විශේෂන, ක්‍රියා විශේෂන ගැබ් කිට ඇත!) ඔව් ආයෙමත් කියන්නම්. හරිම ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙහෙම ලිව්වට.
      කලින් ඉතින් කඩු කිනිසි විතරක් නෙවෙයි ජොනි බට්ටෝ පවා කෑවනේ...

      Delete
    2. ඔයා මේ ඕන නැති ආලවට්ටං ලියලා; මේක ඉල ඇදෙන සටන්, ඇඟකිලිපොලායන විහිළු, අතිභිහිසුනු කොන්ඩාමෝස්තර පිරුණු හරස් පරීක්ෂක කථාවක් කියන එකත් අමතක වුනා කියන්නකො!

      Delete
    3. හරස් පරීක්ෂණ කතාවක් කිව්වා?

      ආ... ඔව් නේන්නම්.. තව ඩින්ගෙන් මතක බැරි වෙනවා. ඉන්ටකො ඊළඟ කොටසේදිවත් අර පිස්තෝලෙන් වතුරට වත් වෙඩි තියයිද කියල. කොහෙද උන්දා යන යන තැන උස්සගෙන යනවා මිසක් ඕකෙන් වැඩක් ගන්න එකක්යැ ! මෙතන මුදු දම දමා ඉන්නවා, විඛාර !

      Delete
  2. සතුටුයි හොඳේ... කාලෙකින් ඇවිත් දිගට කතාව ලිව්වට... මේක බරපතල ප්‍රශ්නයක්නෙ. මේ පෙම් පළහිලව්වට මොකද වෙන්නෙ කියන එක...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියෝලා අදහසක් කිව්වට...

      මේක පලහිලව්වක්ම තමයි... බලමුකෝ

      Delete
  3. නොකියා කියන ආදරය ප්‍රකාශ කරන ආදරයට වඩා ලස්සනයි කියලයි මට නම් හිතෙන්නේ ලිඛි....

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.... කිව්වට පස්සෙත් ඉතින් නොකිව්ව දේවල් තියෙනකොට..

      මොකද මේ පරක්කු බැලුවා

      Delete
  4. හරි හරි අලුත් කොටසකට කාලේ හරි. ලස්සනට ලියල තියෙනවා. පැණි බේරෙන්න හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව....

      ඒ උනාට එලියට දාන්න බෑ මේ කොවිඩ් අස්සේ , නැද්ද?

      Delete
  5. Replies
    1. සිටිමු...

      කෝවිඩ්නේ.... කොහොමද අප්පා මේ දෙන්නව එලියට දාලා.. පව් නෙව

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි