විසිතුරු කොල

Monday, March 25, 2019

209. සුහදිනියේ - 13 | සැකකටයුතු අයෙක්



කලින් කොටසට 

එදින සතියේ දවසක් බැවින් මල්ලි සුපුරුදු පරිදි පාසල් ගොස් සිටියා. එබැවින් ඔහු ආරක්ෂිතව පැමිණීම එතරම්ම ගැටළුවක් උනේ නැහැ.

අම්මාගේ පැමිණීමත් සමඟම මට තිබුණු පියාපත් කපාදමුවා වගෙයි. උදෑසන සිට මධුලිකා අමතන්නට ඉස්පාසුවක් නැතිවුයේ පියා සමඟ ගමන් කිහිපයකම නිරතවන්නට සිදුවූ නිසාය. ඔහු නොමැති දිනවලදී මම ගත් සමහර තීරණ ගැන ඔහු තුල යම් ප්‍රසාදයක් ඇතිවී ඇති බව මට ඉවෙන් මෙන් වැටහුණි.



"ලොකූ කැමති නැද්ද මගෙත් එක්ක මෙහෙම්මම වැඩ කරන්න? "

"..............."

"නැතිනම් මම වැඩියෙන් කැමතියි ඔයා එංගලන්තේ ගිහින් ඔයාගේ අධ්‍යාපන කටයුතු  එහෙම ඉවරකරගන්නවට"

දහවල් ආහාරයට නිවසට ආ පියා එලෙස කිව්වේ මමත්, අම්මාත් දෙදෙනාම එකිනෙකාගේ මුහුණු බලාගනිද්දී. මම කිසිවක් නොකියා 'බලමු' යයි පවසා හීන්සීරුවේ උඩුමහළට ගියා.

"ඔව් සෙනේ... මමත් කැමතියි පුතාව බිස්නස් වලට ගන්නවට. 'පොඩි' ඒවාට ආසා උනාට සෙල්ලක්කාර වැඩියි. "

අම්මා පහත් හඬින් කියූ දේ මගේ කන වැකුණේ අහම්බෙන් වගේ. අම්මා කොහොමත් මට වැඩිපුර ආදරේ බව මට දන්නා කාරණයක්. තවත් මොනවාදෝ පියා කියනවා ඇහුනත් එය පැහැදිලි නැහැ. මම සිටියේ කොයි මොහොතේ ගෙදරින් පැනගන්න අවස්තාවක් ලැබේදෝ යයි සිතමින්. තාරුක අයියා සමඟ සෑහෙන දේවල් සාකච්ජා කරන්නට තිබෙනවා.

මේ සියල්ලම අතර විරංග සම්බන්ධ කරගත නොහැකිවීම මා සෑහෙන මානසික පීඩාවකට ලක්කර තිබුනේ, ඔහුට අනතුරක්දෝ යයි සිත කියූ නිසයි. ඒ සියල්ලටම වඩා මධුලිකා දකින්නට ඇති ආශාව දැඩිව දැනෙන්නට උනා. ඊයේ රාත්‍රියේ අප අතරේ සිදුවූ කතාබහක් නොමැති තරම්.



"... මම යන්නම් එහෙනම්... අපේ අම්මලා අද ඇවිත් ඇති. බයවෙන්න දෙයක් නැහැ. කවුරු ආවත් අරින්න එපා කියන්න දොර. මොනවා උනත් ඔයාව කිඩ්නැප් කරපු කතාවක් හරි, මේ වෙච්ච දේවල් කිසිදෙයක් හරි කියන්න එපා මේ ගෑනි එක්ක. කියන්න කොන්වන්ට් එකේදී ඇක්සිඩන්ට් එකක් උන නිසා මෙහෙ ඉන්නේ කියලා. "

ඊයේ රාත්‍රියේ සේවිකාවගේ බාහිර පෙනුමෙන් යම් තරමකට සැනසුණු මම , එසේ කියා පිටවූ පසුව උදෑසන යවනලද කෙටි පණිවිඩයට එවූ ඉතා කෙටි පිළිතුර හැරෙන්නට මට ඈ දකින්නට නොලැබීම මාව නොසන්සුන් කර තිබුනා.

තාරුක අයියා විසින් පවසනලද තොරතුරු එකින් එක මම , කලින් කරුණු ලියන ලද පොතෙහි ලියු විට ඒවායේ යම් යම් නොගැලපිම්ද, ගැලපිම්ද පෙනෙන්නට වුනා.

මධුලිකා ඔතරම් ධනවත් වන්නට හේතුව දනිතත්, ඒ කාරනා සියල්ලටම වඩා විරංග හා ඈ අතරේ කුමක් හෝ මට නොකියන කතාබහක් සිදුවන බව දැනීම මා අතිශය වේදනාවට පත්කර තිබුනා.

"පුතා..... ලොකු...."

අම්මාගේ හඬට අනුව නම් එය එතරම්ම සුබ සලකුණක් නොවේ. ඉක්මනින් පොත සැඟවූ මම දොර අගුලු දාගනිමින්ම අසලට ආවා.

"ඇයි ?"

"මෙන්න ඔයාව හම්බෙන්න කවුද ඇවිත්"

විශ්මයකි...! ඒ ඇවිත් සිටියේ නිමන්ති!!

පහලට දිව ආ මම දුටු නිමන්තිගේ මුහුණේ තිබ්බේ සුබ ලකුණක් නම් නෙවෙයි. මගේ මුව ගොලුවී ගියා. කුමක් කියන්නද අම්මාට?

"ආ.... නිමන්ති? ම... කොහොමද? "

අම්මා මට රවමින් සාලයෙන් ඉවත්ව ගියේ ඇයිදැයි හරිහැටි වැටහීමක් ආවේ නැහැ.

"ම... තීක්ෂණ... මේ.... මට පොඩි උදව්වක් ඕනේ... මේ... මගේ අර කෝස් එකේ අසයින්මන්ට් එකට.. මේ.. ඔයාලගේ ඩඩාගෙන් උදව්වක් ගන්න පුලුවන්ද කියලා. "

නිමන්ති එහෙම කිව්වේ අතේ තිබ්බ ලිපිගොනුවක් මගේ දිහාවට දික් කරන ගමන්. මම ඒක අතට අරගෙන පොඩ්ඩක් පෙරලලා බැලුවා. එතැන තිබුනේ මධුලිකාගේ ලියකියවිලි වගයක්.

"අම්මේ..."

"මොකද?"

අම්මා කතාකලේ ඇතුල් සාලේ සිටයි.

"මම ඩඩාගේ ඔෆිස් එකට ගිහින් එන්නම්.. යං නිමන්ති"

මම එහෙම කියලා ජීප් එකේ යතුර අතට ගත්තා. නිමන්ති දල්වාගත් ඇස්වලින් මගේ දිහා බලාගෙන ඉන්නවා. ඈට මා පසුපස එන්නට ඇරලා, මම කලේ ජීප් එක පාරට ගත්ත එකයි.

".... නගින්න"

නිමන්ති වාහනයේ පසුපස ආසනයට නැග එක පසෙක ගුලි උනා. වාහනය ප්‍රධාන පාරට නොදමා මම අතුරු පාරක යන්තමට අයින් කරලා නිමන්ති දිහා බැලුවා. නිමන්ති ඉකිබිඳිනවා!

"මොකද උනේ?"

නිමන්ති නාසය පිහින ගමන් මගේ දිහා අසරණව බැලුවා.

"මධු..."

"ඔව්...? මොකද මධුට?"

"මධු නැහැ... දැන් දවස් කීයක් උනාද?"

මම සිටියේ දෙගිඩියාවක. මැය මෙතරම් මධු ගැන වදවන්නේ නම්, ඇත්තටම හොඳ යෙහෙළියක නිසා නොවේද? මම ඉතා හොඳින් ඈ නිරීක්ෂණය කලේ කිසියම් ආකාරයක රඟපෑමක් කරනවාදෝ කියා දැනගන්නටයි.

"..හරි... අඬන්න එපා.... ඔයාට මම දෙයක් කියන්නම්... ඔයා මේක රහසක් විදියට තියාගන්න ඕනේ. "

මම නිමන්තිගේ මුහුණ හොඳින් බලාගෙන හිටියේ වෙනසක් වේදෝ කියා සැලකිල්ලෙනුයි. සැකයක් හිතන්න කිසිවක් තිබුනේ නැහැ.

"..මධු ඉන්නවා ආරක්‍ෂිත තැනක... බයවෙන්න එපා එයා හොඳින්..."

නිමන්ති සිය ඇසුත් , මුවත් අයාගෙන මා දෙස බලාගෙන සිටියේ කුමක් කියාගන්නදැයි හිතාගත නොහැකිව.

"එතකොට...? එතකොට??"

මම ඒ අතරේ නිමන්ති ලබාදුන් ලියකියවිලි ටික දිගහැර බැලුවා. එහි තිබුනේ මධුලිකාගේ සහතික කීපයක් සහ ගුවන් ගමන් බලපත්‍රයේ ජායා පිටපත්.

"මේවායේ ඔරිජිනල් කෝ?"

"සිස්ටර්ට දුන්නා"

මාව උඩ විසික් උනා.

"මොකක්? ඒ මොකටද? කවදද??"

"මම මධුව හොයාගෙන කොන්වන්ට් එකට ගියපු වෙලාවේ... ඇයි මොකක්ද මධුට වෙලා තියෙන්නේ? ඇයි එයාව තියාගෙන ඉන්නේ? කාගේ ගාවද ඉන්නේ?"

අන්තිම කොටස අහනකොට නිමන්තිගේ හඬ පොඩ්ඩක් කෝපයට බරව තිබුනා. දැන් ඉතින් ඈ ඉන්නේ මගේ භාරයේ කියන එක එතරම්ම නුවණට හුරු නැහැ.

"මේ කතාව දන්නේ මමත්, ඔයාත්, විරංගයාත් විතරයි.... මධුට පොඩි ප්‍රශ්න වගයක් වෙලා අපෙන් උදව්වක් ඉල්ලුවා. දැනට එයා කරදරයක් නැතුව තැනක ඉන්නවා. ඔයා ගාව තියෙන මේ ඩොකියුමන්ට් වල ඔරිජිනල් ටික ඔයා ගන්න ඕනේ කොන්වන්ට් එකෙන්. මෙතන බර්ත් සෙටිෆිකෙට් එක නැහැ නේද?"

"මට මතක නැහැ..."

"ඒක කොහෙද තියෙන්නේ?"

"අනේ මන්ද.. මගේ ඔලුව අවුල් වෙලා. ඔයාලා මොනවා කරනවද මන්ද.... මධු ඇයි මට කෝල් නොකළේ?"

"එයාට ඔයාගේ නම්බර් එක නැහැ."

"එහෙනම් විරංග නොකිව්වේ?"


"............"

"එහෙනම්....... කවුද ෆෝන් එකට ආන්සර් කලේ?"

මාව ගැස්සිලා ගියා.

"මොන ෆෝන් එකටද?"

"මධුගේ ෆෝන් එකට! එදා මම ඩොකියුමන්ට්ස් ගෙනත් දෙන්න කෝල් කරනකොට සිස්ටර් කෙනෙක් කතාකලා , ඇවිත් කොන්වන්ට් එකේ තියන්න කියලා ඒ ඔක්කොම. ඉතින් මම ගිහින් තිබ්බා.  කෝකටත් මම තව කොපීස් වගයක් අරගත්තා"

"මොකක්????"

මම සම්පුර්ණයෙන් පිටිපස්සට හැරිලා කෑගහලා වගේ ඇහුවා. නිමන්ති බයවෙන්න ඇති.

"ඔව්.. මම කොපිස් වගයක් ගත්තා"

"නෑ මම ඇහුවේ... සිස්ටර් කෙනෙක් කතාකලා?? මධුගේ ෆෝන් එකෙන්?. කාටද ඔයා ඒවා දුන්නේ?"

"සිස්ටර්ට!"

මගේ හිස් ගිනි ගත්තා සේ දැනුනි.

"කවදද?"

"ඒවා දෙන්න හිතාගෙන හිටපු දවසේමයි. ඇයි එදා මට ඔයාලව හම්බුනේ ඊටපස්සේ දවසෙනෙ"

මෙතන සෑහෙන සැක කටයුතු යමක් සිද්දවෙන හැඩයි. කන්‍යාරාමයේ තුල සිටින කිසිවකු විසින් මධුලිකාගේ ලියකියවිලි වල මුල් පිටපත් ලබාගෙන තිබේ. ඒ වනවිටත් එතනින් පිටත් වූ මධුලිකාගේ ලියකියවිලි ලබාගන්නට එතැන අවශ්‍යව සිටියේ කාටද?

"... කාගේ ළඟද මධු ඉන්නේ? මට එයාව බලන්න ඕනේ"

"මේ වෙලාවේ හැටියට මුකුත් කියන්න විදියක් නැහැ. මට කියන්න පුළුවන් මෙච්චරයි. මධුලිකාට පොඩි තර්ජනයක් තියෙනවා කාගෙන්හරි. ඒ හින්දා අපි එයාව ආරක්‍ෂිත තැනකට ගෙනිච්චා. විරංග එක්ක..."

"එයා ඉන්නේ විරංග එක්කද?"

නිමන්තිගේ හඬ සෑහෙන ආවේගයකින් පිරිලා තිබ්බා. ඔව්, ඒ ඇස්වල තිබ්බේ කොලපාට ඉරිසියාව! ඈ තුල විරංග ගැන යම් අදහසක් තිබෙන බව නම් ස්ථිරයි. මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා.

"ඔව්"


 **************************************

 තාරුක අයියා සමඟ කරනලද කතාවේදී වැදගත් තොරතුරු රැසක් මට බේරුම් කරගන්න පුළුවන් උනත් අවශ්‍යම කාරණය මතු උනේ අවසානයටයි.

"කෙල්ල මොනවද කිව්වේ?"

තාරුක අයියා මගේ මුහුණ දිහා බලන්නේ නැතුව අහන්න ඇත්තේ අපහසුතාවය මගහරවන්න වෙන්න පුළුවන්.

"එයා තාම මුකුත් කිව්වේ නැහැ.."

"එහෙම නෙවෙයි.... මචන්... උඹ කෙලින්ම මේක කතාකරපන් ඒ කෙල්ල එක්ක. නැතුව උඹලට විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. පොලිසිය ගාවගන්න උඹ කැමතිත් නෑනේ.. නැතිනම් හොදම දේ තමයි පොලිස් ආරක්ෂාව ගන්න එක. ඒ මොකටත් ඔක්කොම කතාව දැනගන්න වෙනවා"

"මේ නඩුවේ.. මං කිව්වේ අර කලින් නඩුවේ... කවුද අනිත් පාර්ටි එක?.. බුදල් නඩුවේ?"

"මචන්.... මේකයි වැඩේ.. උඹ දන්නවනේ බුදල් නඩුවක් උනාම ඕක පරම්පරා ගානක් අහනවා. එකා දෙන්නා මැරෙනකොට ඉතුරුවෙලා ඉන්න එකෙක්ට එපා වෙලා අතෑරලා දානවා... ඕක තමයි කතාව. ඒ නඩුව බුදල් නඩුවක් නෙවෙයි... මිනීමැරුමක්... තීන්දුව උඹ දන්නවනේ"

"හ්ම්ම්"

පටු පිවිසුමක් තිබ්බ ගොඩනැගිල්ල තිබුණු තාරුක අයියාගේ කාර්යාලයේ ඇතිවූ කතාබහෙන් පස්සේ මම එලියට බහිනකොටම මට තේරුනා කවුරුහරි කෙනෙක් එතන ඉඳලා මුවා උනා කියලා. මම ක්ෂණයෙන් හැරිලා බලනකොට අඳුරු සෙවනැල්ලක් ඒ බිත්ති අතරෙන් මෑත් වෙනවා පෙනුනා. මම අඩියට දෙකට ඒ පැත්තට දිව්වත් එතැන් සිට දිවෙන කාර්යබහුල මාර්ගයේ පිරුණු මිනිසුන් අතරේ කිසිම හෝඩුවාවක් හොයාගන්නට නොහැකි උනා.

මගේ හිතලුවක්ද?

ආපසු හැරුණු මට, මේ දැන් විසිකරනලද 'ජාවා මොහාරිස්' වර්ගයේ සුරුට්ටුවක අවසාන කොටසින් නැගෙන දුමක් , ඒ අසල වූ අඳුරු කානුවක දක්නට ලැබුනා. කවුරු හෝ මා ලුහුබඳිනවාද?


ඒ එක්කම මගේ මතකයට විදුලි වේගයෙන් නැගුනේ, මිට දවස් කීපයකට පෙර ඇමතුම නොගත් නිසා බියපත්ව මහල් නිවාසයට දිවගෙන ගිය, මගේ සපත්තුවේ තදින් ඇලී තිබී පසුව හමුවුණු ඒ සිගරට් කොටයත් මෙම වර්ගයේම නොවේද යන්නයි. ඒ මොහොතේ එය එතරම් නිරීක්ෂණයට ලක් නොවුනේ මධුලිකා නිරුපද්‍රිතව උන් බැවින් වන්නට පුළුවන. ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවන, යම් පන්තියකට පමණක් විශේෂ වූ මෙම සිගරට් වර්ගය විශේෂ අවධානයට පත් නොවන්නට ඇති අනෙක් හේතුව නම්, මහල් නිවාසය තුල සිටියේද එවන් පන්තියේ මිනිසුන් නිසා වන්නට හැකිය.

දැන් නම් එය මට සැකයක් ජනිත කරයි.

මම මධුලිකාට ඇමතුමක් ගත්තෙමි. සෑහෙන වෙලාවක් නාදවිමෙන් පසුව එයට පිළිතුර සපයනවිට වටපිටාවෙන් නැගුනු හඬ මට එතරම් යහපතක් හැඟීමක් ඇතිකළේ නැත.

"කොහෙද ඉන්නේ?"

එකවරම මම එසේ ඇසුවේ ඈ ඉන්නේ කොහේදැයි එකවරම සැකයක් සිතුනු නිසාය.

"කැෆේ එකේ"

"කැෆේ එකේ?????? මොන කැෆේ එකේද?"

මගේ හිස් දෙදුරුම් කනවාසේ දැනුනි. එබැවින් හඬ උස්ව නැගී ආවා. මධුලිකා බය වූ බවක් ඒ ගොළු වූ හඬින් පෙන්නුම් කලත් මම නැවතත් එය ප්‍රතිරාව කළා.

".... මොන කැෆේ එකේද?"

"පහල මෝල් එකේ තියෙන"

"කවුද කිව්වේ එලියට එන්න කියල? ඈ ? යන්න නේද කිව්වේ ගෙදර! කාත් එක්කද ආවේ? "

මම ගුගුරා හරින ගමන් ජීප් රථය පනගැන්වුවා.

".. මම දැන්ම එනවා ඔතනට... යන්න කිව්වේ ගෙදර... !"

කිසිවකට සවන් නොදුන් මම පුපුරා හැලි, ඇමතුම විසන්ධි කළා. කවුරුන්හෝ අප ගැන සෙවිල්ලෙන්! අපිව ලුහුබන්දින්නත්, අපට ප්‍රහාර එල්ල කරන්නත් පටන් අරගෙන!! ඒ සියල්ල වෙද්දී අනාරක්ෂිත ලෙස මධුලිකා එලියට ආවේ මොකටද?

වේගයෙන් රථය පදවාගෙන ආ මම නිවාස සංකීර්ණයේ රථගාලේ රථය නවත්වනවිට පවා මගේ කෝපය නිවී තිබුනේ නැහැ. මම කෙලින්ම ගියේ දොර ගාවටමයි. මගේ පියවර සද්දය ඇසීමෙන් දොර විවර උනා. දොර අල්ලාගෙන සිටියේ සේවිකාව. ඈගේ දෙනෙත් බියපත් බවින් කුඩාවී, කහපාට වී තිබුනා.

දොර වසාදැමූ මම දෑත් ඉනෙහි තබාගෙන වියරු බැල්මක් මධුලිකා වෙත යොමාගෙන හිටියා. ඈ ඇඳගෙන උන් කොට ගවුම සෑහෙන විසිතුරුයි. ලස්සනට පීරා පසෙකට කර ගොතා තිබුණු වරලසෙහි වම කන පැත්තට වන්නට දිලිසෙන කොණ්ඩකටුවක් පැළඳ සිටියා.

ඇත්තටම ඇගේ ලස්සන!

ආයෙමත් මාව දුවිලි ගොඩක් වගේ ඇවිස්සිලා. ඒ උනත් ඒ කොට ගවුම ගැන මම තවත් කෝප උනා.

"ජැන්ඩියට ඇඳගෙන... කාව බලන්නද ගියේ? කවුද කිව්වේ එලියට බහින්න කියල?"

"..........................."

"ඇත්තටම පිස්සුද?"

"......................."

"මේ..... මේ නෝනට ඇවිදින්න හොඳ නැහැ.. තේරුනාද? මොලේ නැද්ද මේ..."
මම සේවිකාව දෙසට හැරිලා ගුගුරා හැලුනා.

"ආච්චිට බනින්න එපා.. මම තමයි යමු කිව්වේ"

මධුලිකා බයක් වගේ උනත් බය නැහැ වගේ මට බාධා කරමින් කතාකලා. මම දබර ඇඟිල්ල ඔසවා මධුලිකාට තියුණු බැල්මක් යොමුකලා.

"හෙලවෙන්නේ නැහැ...! මට ආයේ කියන්න ඉතුරු කරන්න එපා..."

සියලු දෙනාම භිත වෙලා වගේ නිශ්ශබ්ද උනා. විනාඩියක් විතර කවුරුත් කතාකලේ නැහැ. මම ඔරෝගත්ත ගමන්ම සාලයේ තිබුණු උස් ජනේලයෙන් පහල බලාගෙන හිටියා. පාරේ සෑහෙන රථවාහන තදබදයක්.


"නැන්ද... ඩ්‍රින්ක්"

මධුලිකා කුටු කුටු හඬින් සේවිකාවට කියනු මට ඇසුනත් මම හැරුනේ නැහැ. කෝපයෙන් සිටියත් හැඳසිටි ඒ ඇඳුමට ඈ වෙතින් ආ හුරුබුහුටි පෙනුම මගේ සිත විකසිත කරන්නට ඇති. ඇත්තටම මම ඒ ගවුම තෝරාගන්නාවිට ඇයට එය ඔතරම් හැඩට තිබේ යයි සිතුවේ නම් නැත.

'තවත් පාටක් අරගන්න ඕනේ'

මම අතෙහි බැඳි ඔරලෝසුව දෙස බැලුවේ නැවතත් එම ඇඳුම් සාප්පුවට ගොස් ගවුමක් අරගන්නට වෙලාව ඇතිදැයි සිතාගන්නටයි. ඒ වනවිට සවස 6 පසුවී තිබුනා.

"තීක්ෂණ.... මේ..."

මම ඇගේ හඬ ආ දෙස නොබලාම පිළිතුරු දුන්නේ අමනාප ස්වරයෙන්මයි.

"හ්ම්ම්?"

"මේ... කන්න කේක්"

මම වමතින් තිර රෙද්දට අත තබාගත්වනම යන්තමට හැරී බැලුවා. විල් චෙයාර් එකේ හිඳ ඈ මා අසලින්ම සිට, පිඟානක තබනලද කේක් කැබලි තුනක් දිගුකරගෙන, සිනහසෙමින් සිටියා. මට ඇතුලතින් සිනහවක් ආවත් ඔරවාගෙනම ඈ දෙස බලලා, උදුරලා ගන්නවා වගේ කේක් කෑල්ලක් අතට ගත්තේ චොක්ලට් කේක් මගේ ප්‍රියතම නිසා ප්‍රතික්ෂේප කිරීම කොහොමත්ම කල නොහැකි නිසා.

ආපහු විදුරු ජනේලයෙන් එපිට බලාගෙන මම කේක් කැබැල්ල රසවිඳින්න උනා.

රසම රසයි!

ආපහු හැරුනේ තවත් කෑල්ලක් ගන්න බලාගෙන උනත් ඊට කලින් මධුලිකාගේත් මගෙත් ඇස්දෙක එකිනෙක ගැටුනා. මගේ තොලකට සිඳී යන්නට ඇති. කෙල්ලක ඉදිරියේ සැලියන තරම් මනසක් මට තිබුනා යයි මම කිසි දිනෙක නොසිතුවෙමි. සමහර විටෙක ඈ කෙරෙහි මා සිත තුල ඇති පලිගැනීම නිසා වන්නට ඇත.

තත්පර තුනකින් පමණ නිම වූ ඒ විදුලි කාන්දුව නතර වුයේ සේවිකාව පැමිණ මට ජින්ජර් බියර් පිළිගැන්වූ නිසයි.

"තැන්ක්ස්"

මම නැවත ගොස් සෝපාවේ හිඳගත්තේ යම් පමණකට තැන්පත් වීමකින්. සේවිකාව නිසා කතාබහ කිරීමේ නිදහස ඇහිරී ඇතිබවයි මට වැටහුනේ. මම ඈ කුස්සිය දෙසට යනතුරු සිට නැවතත් මධුලිකා දෙස බැලුවා.

"මේ ගෑනි හොඳද?"

"මෙයාට ඉංග්‍රීසි තේරෙනවා"

මධුලිකා හිකි හිකි ගගා සිනාසුනේ මම ඉංග්‍රීසියෙන් ඇසු නිසා වන්නට ඇති. මටත් සිනහවක් නැගුනේ ඉබේමයි.

"ආයේ මෙහෙම අවධානම් විදියට යන්න එපා... මෙයා විශ්වාසද?"

මම හඬ පහත්කොට කිව්වා. මධුලිකා වරදකාරී ලෙස බිම බලාගත්තා.

"සොරි.... මම... ගියේ කේක් ගන්න"

"ඉතින් මට කිව්වනම් මම ගෙනත් දෙනවනේ"

".........................."

"ඔව් ඉතින්.... විරංගනේ එහෙම කරන්නේ...."

මගේ කටින් ඒ ඉරිසියාකාර වචන ටික එලියට  කියන්නවත් මම දන්නේ නැහැ. මධුලිකා හුස්මක් ඉහලට අදිනවා බිමට නැමුණු මගේ ඇස්වල කොනට යන්තමට තේරුනා. 'ශික්... අපරාදේ කිව්වේ'

මම අවසාන උගුරත් බී , වීදුරුව බිම තැබුවා.

"මට ඕනේ උනේ මමම ගිහින් ගන්න"

"හ්ම්ම්... මමම ගිහින් ගැනෙනවා කවුරුහරි දැක්ක නම්...."

"සොරි... මට ඕනේ කලේ කේක් ගෙනත් තියාගෙන ඉන්න..... ඔයා.. ආවාම දෙන්න"

මට එකපාරටම මධුලිකාගේ මුහුණ බැලුනා.

"......... අද මගේ බර්ත්ඩේ එක"

මල්වෙඩි දහසක් එකවර පුලුරා ගියාක් වැනි එම හඬත් සමඟ මම ගැස්සිලා ගියා.

"මට සුබ උපන්දිනයක් වේවා !"
මධුලිකා එහෙම කියලා තමන්ගේ දෑත් පපුවට තියලා, පුදුමාකාර ලස්සන හිනාවකින් මගේ දිහා බැලුවා. පැහැදිලිවම මම දැක්කේ ඒ ඇස්වල අග්ගිස්සි තිබ්බ කඳුළු.

"අනේ දෙවියනේ... මට සමාවෙන්න"

එකවරම මාව පාලනය කරගන්න බැරුව, පැනපු ගමන් මධුලිකාව තදින් වැළඳගත්තේ හිතාමතාම නෙවෙයි. ඇගේ අත් මගේ පිට වසා පැතිරගොස් , ගෙල මගේ උරහිසේ උණුහුම්ව ගුලිවී ආදරණිය වැළඳගැනීමක් සඳහා අවැසි ඉන්ධන සපයා තිබ්බා. අප දෙදෙනා එලෙස සිටි ඒ විනාඩි කිහිපය මගේ ජිවිතයේ මෙතෙක් ලද ආදරණියම විනාඩි කිහිපය වන්නට ඇති. මට සිදුවුයේ කුමක්දැයි මතකයක් නැත්තේ, එවන් මත්වීමක් මින්පෙර නොලද නිසාද?

ඇත්තටම මම ඇගේ තොල් සිපගත්තාද?


"සොරි...."

සැබවින්ම කාලය පිළිබඳව පමණක් නොවේ සිදුවූ කිසිම දෙයක් මගේ මතකයෙන් ඒ මොහොතේ මැකී ගොස් ඇගේ මුදු මොලොක් , උණුහුම් වැළඳගැනීමේ සංවේදනාවෙන් වැසී තිබුනා වෙන්නට ඇති.

සෙමෙන් මගෙන් මිදුණු මධුලිකාගේ නෙතින් වැටුණු කඳුලක් මගේ වම් උරහිසෙහි ඉහලට වන්නට කමිසයේ පැල්ලමක් ඇතිකොට තිබුනා. දෙදෙනාටම ලැජ්ජාවක් ඇතිවන්නට ඇති. මට දැනෙන මේ කුලෑටිබව කුමක්ද?

"එන්න... මම ඔයාව අද එලියට එක්කගෙන යන්නම්... ඩිනර් වලට"

ඇගෙන් මෑත්ව සෝපාවේ කොනක හිඳගත් මගේ අත මධුලිකා අල්වාගෙන සිටියේ මෘදු විදියට.

"එපා... ස්තුතියි....."

මට ඈ දෙස කෙලින් බැලිය නොහැකි උනත්, කුමක් හෝ වීර්යයක් විසින් ඇගේ මුහුණෙන් මගේ ඇස් ඉවතට ගත නොහැකි තරමට අලවා තබාගෙන! මධුලිකාගේ දෙනෙත් බිමට බරව තිබුනේ ඇයි ? ලැජ්ජාවද ? විරංග ගැන හිතනවාද ?

"මගෙත් එක්ක යන්න තියෙන අකමැත්තද?"

"....................."

ඈ ඊට පිළිතුරක් දුන්නේ නැහැ.

"යමු... ඔයත් එක්ක මට කතාකරන්න ඕනේ... මේ ගෑනි එක්ක බැහැ"

ප්‍රශ්නාර්ථයකින් මගේ දෙස බලු මධුලිකා යම් කල්පනාවකට වැටුනා.

".... මම ලෝයර් කෙනෙක් හම්බුනා. ඒ ගැන කතාකරන්න ඕනේ"


යම් පමණක එකඟතාවයකින් යුතු වූ පසු මධුලිකා රැගෙන මම ගියේ වඩාත් ආරක්ෂාකාරී යයි සිතෙන, සංවෘත රෙස්ටුරන්ට් එකකට. එහි ඇතුල් වූ විගසම කුමක්හෝ සෘන්ගාරාත්මක බවක් දැනුනේ කහපාට ආලෝකය නිසාද, නැතිනම් ඇගේ පැමිණීම නිසාදැයි මට එකවරම කිව නොහැකිය. ඈ ඒ ඇඳුමට වැඩ වඩාත් ආකර්ශනියව පෙනිම මගේ සිත තව තවත් පෙලන කටුවක් වැනිය.

අප වෙනුවෙන් කොනේම තිබ්බ මේසයක් තෝරාගත් මම, ඇගේ වීල් චෙයාර් එක  මේසය අසලටම ලංකොට, ඊට විරුද්ධ පැත්තේ පුටුවක් ඇද හිඳගත්තා. මේ කිසිවක හැඟීමක් නැතිබව නැවත නැවතත් පිරික්සමින් සපථ කරන්නට උත්සහ කලත්, මට දැනුනේ මම සිත සමඟ මල්ලවපොරයක යෙදෙන බවයි. ආහාර ඇනවුම්කොට සෑහෙන වෙලාවක් කල්බලමින් හිඳි මම, අවශ්‍ය පැනය ඇසුවේ උගුර පවා බැරැන්ඩි හඬින්.

"විරංග කෝ?"

එකවරම ගැස්සුණු මධුලිකා වේගයෙන් ඇසිපිය සලමින් , ඉවත බලාගෙන කල්පනාවකට වැටුනා.

"දන්නේ නැහැ"

ඈ එහෙම කිව්වේ මෘදු හඬින්. මම හාත්පස නිකමට වගේ බැල්මක් හෙළුවේ විමසිල්ල නිසයි.

"ෆ්ලැට් එකට ආවේ නැද්ද?"

"දයා ආච්චි ගෙනත් බස්සලා ගියා."

"ෆෝන් එක වැඩකරන්නේ නැහැනේ"

මම ඉතාමත් සැලකිල්ලෙන් මධුලිකා දෙස බලාගෙන හිටියේ වෙනසක් තිබේ නම් අහුවෙයි කියලා වගෙයි. ඈ පිළිතුරක් දෙනවා වෙනුවට මෙනු පත දිහා හිස් බැල්මකින් බලාගෙන සිටියා. විරංග නැති බව දැනගත්විට ඇය කලබල නොවන්නේ මන්ද?

"ඔයා.... ම්ම්... අර.... හ්ම්ම්.... ඔයා හොඳ යාලුවෙක්... බොහොම ස්තුතියි මම වෙනුවෙන් මේ කරන දේවල් වලට"

මධුලිකා කතාකලේ හුස්ම අල්ලන ගමන්. මට තේරුනේ මම ඈව සෑහෙන කාලෙක ඉඳන් දන්නවා වගේ. වරක් ඈ සිහිසුන් වෙලා මගේ ඇකයේ සිටිනවිටදී බලෙන් උදුරාගත් ඒ හිස සිඹුම, අවසිහියෙන් ජීවිතය බේරාගනුමට පලායදිදී මගේ පපුවට තුරුලුව සිට බලෙන් ලබාගත් ඒ මෘදු ස්පර්ශය යන මේ සියල්ල මට අයිතිව තිබුණු බවක් පමණයි මට හැඟෙන්නේ. ඒ අතරින් පතර ඇගෙන් ලැබෙන සියුම් නෙත්සර වෙනදාට වඩා මට අද දැනෙන්නේ වෙනස් විදියටද?

"හ්ම්ම්.. අදට දහ අටයි නේද?"

මම එතන මැවුණු අපහසුතාවය බිඳින්නට මෙන් එහෙම කියලා ඈ දිහා බැලුවා. මධුලිකා දීප්තිමත් දෙනෙත් වලින් මගේ දිහා බලාගෙන. මහා ලොකු පෞර්ෂයක් නොතිබුනත්, සැමටම ගොරවමින් ; පුප්පමින් සිටි මම ඒ බැල්මට පුසෙක් වගේ නේද කියල එකපාරටම මතක් උනා. 'විරංග?' මගේ හිත සියුම් වේදනාවකින් සලිත වෙලා ගියා. මුහුණත් බිමට නැමෙන්න ඇති.


"ඔව්... දහ අටයි... "
ඇගේ හඬ හරි ප්‍රීතිමත්!

"................."
මට කියන්න දෙයක් නැතුව එකපාරටම ගොළු උනා වගේ දැනුනා.

"මට ඔයාට කියන්න ගොඩක් වැදගත් දේවල් ටිකක් තියෙනවා"

මධුලිකා මට වඩා නිර්භීතයි. ඒ නිසානේ මගේ දිහා ඈට කෙලින් බලන්න පුළුවන්. මගේ ඇතුලාන්තය ඒ බැල්මෙන් පුංචි වෙලා හැකිලිලා යන්නේ ඇයි ? ඇතුලතින් මම හරි පොරයක් කරමින්!

"කියන්න"
ඈ මෙනුපත ඉහලින් මගේ දිහා බලාගෙන. ඇස්වල තියෙන පෙනුමෙන් කියන්න පුළුවන් ඈ හිනාවෙනවා කියලා. මගේ අම්මෝ මෙහෙම බැල්මක් ඈට කොහොමද ආවේ? මම සෑහෙන පාලනයක් කරගන්න හැදුවා. ඇත්තමයි මම කුපාඩියෙක් ඒ අතින් නම්!

අහක බලාගන්නවා ඇරෙන්න මට විකල්පයක් නැහැ. ඈ මේ කියන්නට යන්නේ විරංග ගැන බව මට මගේ මොලයෙන් ඉඟියක් දීලා ඉවරයි. මගේ හදවත වේගයෙන් ගැහෙනවා. ඔව්... ඈ ඉදිරියේ චාපා සමඟ මගේ ඇති සම්බන්ධය අමු අමුවේ එලිවී ඇති බවත්, ඒ ගැන ඈ මා සමඟ ඇති විශ්වාසයට පලුද්දක් වී ඇති බවත් වටහා නොගන්නට තරම් මම මෝඩයෙක් නෙවෙයි.

පලවෙනි දවසේ ඈ මගේ කාමරයෙන් පලායාමට තැත්කිරීමට හේතුව මා කෙරෙහි ඇතිවූ ඒ අපුල බව නොරහසක්. ඒ නිසා තමයි ඈ විරංගට ඔතරම් සමීප උනේ. ඔව්.. ඒ අතින් නම් විරංග ඈට විශ්වාස කටයුතුයි.

ඈ සිනාවන්නේ මගේ ඒ වසන් කිරීමට ගන්නා උත්සාහයටද? විරංග ඈට මගේ අතීතය, වර්තමානය කියන්නට ඇති. චාපාට අමතරව මගේ ඇති සබඳතා ගැනත් කියන්නට ඇති.

' ඇයි මම විතරක්! ඇයත් හිටියේ විරංග එක්ක , එක කාමරේ දොර වහගෙන!'

ඒ සිද්ධිය මතකයට එනවිටම මගේ මුළු ඇඟම ඉරිසියාවෙන් රත් උනා.

'ඔව්! මට කිව්වොත් මමත් ඒක කියනවා. මම ආපහු එලියට ඇවිත් බලද්දිත් ඒ දොර වහලනේ තිබ්බේ. ඔව් ඉතින්, මම කරපුදේම තමයි විරන්ගයත් කරන්න ඇත්තේ. ඈත් චාපා වගේම ඉන්නත් ඇති. මම චාප එක්ක ඒ කාමරේ හිටපු එකට එයාට ඇති රුදාව මොකද්ද?'

මම මා සතු අවි ලකලැහැස්ති කරන්නට යුහුසුළු උනා.

"ඔයා මම ගැන හිතාගෙන ඉන්නේ වැරදියට නේද?"

මම ඈ දෙස නොබලා හිටියේ ඒ ඇස්වලින් මිදෙන්නටයි.


"නෑ , එහෙම එකක් නැහැ.. ඇයි එහෙම කියන්නේ?"


මධුලිකා 'හිකි හිකි' ගාලා හිනා උනා. මට ඈ හිනා වෙනවද? මට ආවේ කේන්තියක්.

"ඔන්න මම ඇත්තම කියන්නම්..... විරංග එක්ක ඔයා හිතන විදියේ දෙයක් නැහැ මගේ"

මහා සෙනඟක් මැද නිල් බාල්දියක ප්‍රහාරයක් ලද්දාක් මෙන් මම තෘෂ්නිම්භුත උනා. ඒ නිසා ඉබේම ඈ දෙස බැලෙන්නට ඇති.

"... එයා මට කතාකලේ මම කතාකරාම විතරයි. දැන්වත් ඔය පිස්සුව නතරකරන්න"

පෙට්‍රල් බිඳුවක් වැටී රෙජිෆෝම් දියවී, කුඩාවී යන්නේ යම්සේද, එලෙසම මා ඉතා කුඩාව දියවී ගොස් පස්ස බිම වදිනවා වගෙයි මට දැනුනේ. අගේ සිනහව එක්ක තිබ්බේ මුදු මන්දහාසයක් පමණක් ඉතිරි වෙලා. වේලිච්ච පොලවකට වැටෙන වැහි බිංදු පොදවල් වගේ 'සර සර' හඬින් ඒ සිනා දිය මගේ කරවෙච්ච හිතේ නැවුම් සුවඳක් වගේ දෙයක් ඇතිකරලා.

"..... මාව මේ විදියට ප්‍රොටෙක්ට් කරලා, මේ විදියට මාව බලාගන්න එකට මට ඔයාට ස්තුති කරන්න විදියක් දන්නේ නැහැ. කාත් කවුරුත් නැති මට, මොනතරම් කරදර මැද්දේ උනත් මේ කරන දේවල් වලට මම තේරුම් ගත්තා ඔයාට තියෙන්නේ ලොකු හදවතක් කියල"

"......................"

"... මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන්න මම දන්නේ නැහැ. ඔයාගෙන් ඉල්ලපු උදව්ව මම කරපු හොඳම දේ වෙන්න ඇති. ඔයාලා මම කාගේ කවුද කියලාවත් හිතන්නේ නැතුව මට උදව් කලේ. මම දන්නවා, ඒ ඔක්කොම කලේ ඔයා...."

වේටර්වරයා නොඑන්නට මධුලිකාගේ ඒ වචන වලට අල්ලාගත් හුස්මෙන්ම මම මියැදෙන්නට ඉඩ තිබ්බා. ඒ අවසරයෙන් හුස්මක් ඉහලට ඇද්ද මට මේ ඉන්නේ කොහිදැයි පවා මොහොතකට අමතකව ගියා.

වේටර්වරයා පුරවනලද වතුර වීදුරුව අඩිය දක්වාම එක හුස්මට බීපු මම බිම බලාගෙන සිහි එලවාගන්නට උත්සහ කළා.

"ඇ-ත්තට-ම....?"

මම වචන අමුණන්නට තැත් කරමින් වටපිට බලද්දී වේටර් වරයා එතැනින් පිටත්ව ගියෙන් මම මහා පහසුවක් දැනුනා.

"ඔව්... ඇත්තටම...."

ඒත් මගේ ඊර්ෂ්‍යාව හදවතේ බිත්ති පුරා අඳුරු සෙවනැලිද, ලැජජාව විසින් සියලු සංවේදනා අඩාල කරමින්ද බාධා එල්ලකරමින් තිබුනා.

"හ්ම්ම්... ඒ ගැන අපි පස්සේ කතාකරමු....මට ඔයාගෙන් දැනගන්න දේවල් කීපයක් තියෙනවා"

එවන් රත්තරන් අවස්තාවක් මගහරිමින් මම අතිශය මුග්ධ ලෙස එලෙස කීවේ කුමන වෘෂභ ලක්ෂණයක් නිසාදැයි අදටත් මම නොදනිමි. රත්වූ විට තලාගන්නා මගේ ප්‍රතිපත්ති කිසිවක් මෙහිදී මට මතක් නොවුනේ ඇයි ?

"හ්ම්ම්..."

සිත තුලින් පිපි ආ යමක්, නැවත පෙති හකුලවා කුඩුව තුලට තල්ලුකොට මම මධුලිකා සමඟ රාත්‍රී ආහාරය ගතිමි. කතාබහ සියල්ල මධුලිකා ගැන මම දැන නොසිටි තොරතුරු වලටත්, මම විසින් සොයාගත් තොරතුරු වලටත් සිමා වුයේ ආයාසයෙන් මෙනි. එසේ වන්නට හේතුව, විරංග ගැන මගේ හිතේ තිබුණු ලොකු චකිතයක් පහවීමටත් වඩා මගේ සමහර හැසිරීම් ගැන මධුලිකා සෘජුවම ප්‍රශ්න කරනු ඇතැයි ඇතිවූ භීතියම වන්නට ඇත.

සියලු සිද්ධීන් ඇය විසින් පැහැදිලි කරන්නට ඉඩ තිබිණි, නමුත් එසේ වුවා නම් මටද ඒ සියල්ල කීමට සිදුවේ.මගේ කැත හිත දැනගත් විටම ඈ සැපින්නියක වනු නොඅනුමානයි! ඊටත් වඩා මම බියවුනේ එලෙස එලිවීමෙන් පසුව ඇය ම'වෙතින් පලායාවී යයි ඇතිවූ ලෝබකම නිසාද? මේ කිසිවක් මට ඒ මොහොතේ පැහැදිලි කරන්නට නොහැකි විය.

ආහාරයෙන් පසුව බිල ගෙවා දැමුපසු, මධුලිකාට නානකාමරයට යාමට අවැසි විය. ඇය එසේ තනිව යවන්නටද නොහැකිය. මට එහි යන්නටද නොහැකිය. මගේ උපකාරයට පැමිණි කරුණාවන්ත සේවිකාවක් අත මම මධුලිකා පිටත්කොට ඈ දොර තුලින් නොපෙනී යනතුරුම බලා සිටියෙමි.



ඇය එන්නට ප්‍රමාදවේයැයි සිතා පිරිමි නානකාමරයට ගිය මම එහි වූ සින්ක් එක ඉදිරියේ ඇති දර්පනයේ මගේ රුව දෙස මොහොතක් බලා උන්නෙමි. කෙල්ලන් ඇද - බැඳ තබාගන්නා පෙනුමක් මට ඇති බව නම් නොරහසකි. චාපා සැමවිටම මගේ සිරුරේ හැඩයට ඇලුම් කළාය. සමහර කෙල්ලන් මගේ මුහුණට සෑහෙන ඇලි සිටි බව නම් ඇත්තකි. නමුත් ඒ සියල්ල පසුපස , සියල්ල අභිබවා ආවේ මුදල් සහ මා සතු වූ ජිවන රටාවයි. ස්වභාවයෙන්ම කෙළිලොල් මම සැමවිටම සැහැල්ලුවෙන් සිටීම කෙල්ලන්ගේ බැල්මට පත්වූ බව මට හොඳටම දැනී තිබේ. මගේ යහළුවන් නිතරම කවටකම් කරන මගේ 'මනමාල' බැල්මද ඊට උඩගෙඩි දෙන්නට ඇත.

මධුලිකා අකමැතිවන්නට හේතුවක් නැත! විරංග සමඟ ඇගේ සබඳකමක් නැති බව ඈ පැවසුවේ මට ඇති කැමැත්ත ව්‍යංගයෙන් පැවසීමටද ? එය මගේ හිතළුවක්ද?

නැත, විරංග සමඟ එවැන්නක් නැතිය කියා කියන්නේත්; මගෙන් ලද උපකාර අගයන්නේත් ඈ අප කෙරෙහි ඇති දුරස්තබව පෙන්වීමටයි.

සියල්ල අවසානයේ 'ඉතින් මම ඔයාට කැමතිය කිව්වේ නෑනේ' වගේ බයිලාවක් තමයි මේ කියන්න හදන්නේ.

සියුම් ; පරික්ෂාකාරී; ආඩම්බර මධුලිකා කෙලින්ම මිස මෙතෙක් වක්‍රව කීමක් සිදුකර නැත. ඒ නිසා මදකට කුරුමානම කල්දැමීම නුවණට හුරුය. නැතිනම් අතේ සිටින කිරිල්ලිය හදිස්සිය නිසා අතහැරෙන්නට ඉඩ තිබේ.

මම පසුකොට ආ සින්ක් පේලිය මුල්ම ස්ථානයේ උන් අයෙක් , කුමක් හෝ කුණු බාල්දියට දමාගෙන එවිටම පිටව යනු මම යන්තමට දුටිමි. ඒ එක්කම කුණු බාල්දියෙන් යම් දුමක් පිටවෙනු දුටු මම ක්ෂණයෙන් හැරී දෝතට ගත් වතුර කුණු බාල්දියට හැලුවේ කෝපය මඩිමින්.

'බුරුවෙක්!'

මම දොර හැරගෙන එලියට විත් ඒ බුරුවා ගිය අතක් බැලුවද, සොයාගත නොහැකිවිය. එකවරම ආ සිතුවිල්ලකින් නැවතත් ඇතුලට පැන්න මම, කුණු බාල්දිය ආලෝකයට අල්වද්දී දුටුවේ....

අවසන් නටුව ඉතිරිවූ 'ජාවා මොහාරිස්' වර්ගයේ සුරුට්ටු කොටයකි!  

නැවතත්!

පිටවූ මිනිසාගේ රූපකාය හිතාගන්නට මම වෙරදැරුවත් එය පහසු නොවුයේ, දොර අසලින් ඔහු පිටව යනවිටදී එතැන අඳුරුව පැවති බැවිනි.

නිසැකයෙන්ම මධුලිකාත් මමත් කවුරුන් හෝ විසින් ලුහුබඳි.... එතැනින් පිටවන්නට හැකි උපරිම වේගයෙන් මම පිටවුවත් මගේ හිත සෑහෙන චකිතයකින් බරව තිබුණි. එය අහම්බයක් විය හැකිද?

මධුලිකා වත්තන් කරගත් මම, අසල තිබුණු සාප්පු සංකීර්ණයේ දොරටු වලින් එහෙ මෙහෙ යමින් සිට අවසානයේ ඈ කැබ් රථයකින් නිවසට පිටත් කලේ වීල් චෙයාර් එක ජීප් එකේ තබාගනිමින්.

රාත්‍රී දොළහා වනතුරුම අගේ මහල් නිවාසය පේන දුරින් සිට, වරින්වර ඈ හා කතා බහ කරමින් සිටි මට අවසාන ඇමතුම දුන් මධුලිකා සැරෙන් මෙන් නිවසට යනලෙස කියනතුරුම යාමට හිතක් තිබුනේ නැත.

රාත්‍රියේ නින්දට දෑස් පියවෙද්දී ඇගේ ඇස් මෙනු පතට ඉහලින් මා කෙරෙහි යොමුව දුනුදිය මානනු මට සුන්දර බියක් ලෙස දැනුනා මතකය.

********************************

"ඔයාට දැන් ලීගල් අයිතියක් තියෙනවා..."

මගේ වචන බරකොට පැවසීමෙන් මධුලිකා බියපත් කරන්නට මට අවශ්‍ය විය.

"මම..... මම ඊයේ කෙනෙක් දැක්ක..!"

ඊට ඉඳුරාම වෙනස් දෙයක් මධුලිකා කියද්දී මම ප්‍රශ්නාර්ථයෙන් ඈ දෙස ඇස් ඔසවා බැලුවෙමි. මධුලිකා ගොත ගසන්නට විය.

"... අපි ඊයේ හිටපු රෙස්ටෝරන්ට් එකේ.... ලොබි එකට එනකල් ගෑනු කෙනෙක් මගේ පස්සෙන් ආව."

"මොකක්? ඇයි මට ඒ වෙලාවේ කිව්වේ නැත්තේ?"

මම මධුලිකා හිඳගෙන උන් පුටුවට බරදී ඈ වෙත නැඹුරු වුයේ හඬ තරමක් බාල කරමිනි. මේ කතාව සේවිකාවට ඇසෙනවාට මගේ කැමැත්තක් තිබුනේ නැත. කලබල කිරීමෙන් හෝ කැගැසීමෙන් පලක් නැත.

"එයා මගෙත් එක්ක ඇවිදගෙන ආවා. පස්සේ තමයි මම දැක්කේ එයා කාටහරි මාව පෙන්නුවා. එතකල් සැක හිතුනේ නැහැ. මම හිතුවේ ඔයා දැකපු මිනිහයි ඒ කියලා. මෙන්න මම දැකපු මනුස්සයාව මම ඊයේ රෑ ඇන්දා"

මදුලිකා මා අත තැබුවේ කඩදාසියක අඳිනලද උඩුකය පින්තුරයකි. මුහුණපුරා රැවුලක් තිබුණු ඔහුට කැපී පෙනෙන තරම් දිග නාසයක් තිබුණා.




".... මම මේ මනුස්සයාව අඳුනනවා...."

"අඳුනනවා??"

"ඔව්... මිනීමැරුමකට මුලින්ම සැක කරලා ඇරෙස්ට් කරලා තියෙනවා එයාව! ඒත් ඌ ඒවයින් නිදහස් උනා."

මධුලිකා සැකයෙන් වගේ හෙමින් කිව්වා.

"හ්ම්ම්.... ඔයා මුමුනන්න ඕනේ නැහැ... ඔයාගේ තාත්තා කවුද කියලා මම දන්නවා. ඒ මිනිහද මැරුවා කියලා සැක කලේ?"

බයවෙලා වගේ මගේ දිහා බලපු මධුලිකාට එකවරම ඉකිබිඳුනා. මම මධුලිකාගේ උරහිසෙන් අල්ලලා පොඩියට තට්ටුවක් දැම්මා.

" ඔව්....!"

"ඔයාට බයවෙන්න දෙයක් නැහැ මධු.... මම කිව්වේ.. ලෝයර් මගෙත් එක්ක කතාකලා. මට දැන් මේ ටික කියන්නකෝ.."

ඉකිබිඳුම අවසන් කල මධුලිකා හිස ඔසවද්දී, අසල තිබුණු පුටුව ළඟට ඇදගත් මම ඈ අසලින්ම හිඳගත්තා.

".... තාත්තා මැරුවේ නැහැ, ඇක්සිඩන්ට් එකක් කියලනේ තීන්දු උනේ?"

"ඔව්"

"හරි.... ඒ වෙනකොට කාටත් හොරෙන් ඔයාගේ අම්මව මැරි කරලා හිටපු නිසාත්, ඔයාව ලැබෙන්න හිටපු නිසාත් තාත්තා ඔයාගේ නමට එයාගේ ඔක්කොම ලියලා තිබ්බ. නේද?"

"ඔව්.. එහෙම තමයි මම්මා කිව්වේ"

"දැන් ඉතින් මට ඉතුරු ටික කියන්නකෝ"

"මමිට ඊට පස්සේ බඳින්න කියලා කරදර වෙච්ච නිසා, මාව ඉංග්ලන්ඩ් වල සුද්දීයෙක්ට හදාගන්න දෙනවා වගේ කරලා, අන්තිමේ එයත් ඉන්ග්ලඩ් පැනලා ගිහින් තියෙනවා. එහෙදි තමයි ස්ටීව්ව බැඳලා තියෙන්නේ. තාත්තාගේ මල්ලි කෙනෙක් තමයි කරදර කරලා තියෙන්නේ සෑහෙන්න. ඒ බාප්පිගේ පුතා, වාසුල... ඌ තමයි එතන හිටියේ!"

මම ලොකු කල්පනාවට වැටුනා.

"උන් ඔයාල හිටපු තැන දැනගත්තද? මම කිව්වේ ඉංග්ලන්ඩ් වල?"

"ඔව්... එහෙදිත් අපිට හරි කරදර උනා. අපිව රටින් පිටමන් කරන්න එක එක දේවල් පැටලෙව්වා. ස්ටීව් හරි හොඳ කෙනෙක්. එයා හිටියේ මිලිටරි ආමි එකේ. ඒ නිසා ගොඩක් දේවල් දුරදිග යන්නේ නැතුව බේරුනා. ඒ බාප්පි තමයි මෙහෙ ඔක්කොම තාත්තිගේ දේපල ගත්තේ. මම්මා එයාගේ අන්තිම කාලේ ගෙන්නගන්න හිටියේ අම්මි.... ඒ උනාට...."

මධුලිකා ඉකිබිඳින්න ගත්තා. ඈ සනසන්න උරහිසක් මිස කිසිවක් මගේ ළඟ තිබුනේ නැහැ. ඒ නිසා ඉදිරියට නැවි මම ඈ මගේ උරහිසට වාරු කරගත්තා. සේවිකාව ඈත සිට බලාගෙන සිටිනවා මම යන්තමට දුටුවා.


දැන් යම් තරමකට දේවල් පැහැදිලිව පෙනෙන්නට පටන්ගෙන තිබේ. මධුලිකා පැහැරගන්නට අවශ්‍යව ඇත්තේ වාසුලට වන්නට සෑහෙන දුරකට සැක කල හැකිය. තාරුක අයියාට අනුව, බුදල් නඩුව මධුලිකාගේ පියාගේ පාර්ශවයෙන් ඉවත්කරගෙන තිබෙන්නේ ගිය වසරේදීය. එනම් මධුලිකා ලංකාවට පැමිණීමත් සමඟයි. මේ සියල්ල සැලකිල්ලට ගත්විට සැක කල හැක්කේ, මධුලිකාව පැහැරගෙන අනතුරක් කිරීමෙන් හෝ රවටාගෙන විවාහකරගැනීමෙන් හෝ දේපල ලබාගැනීමේ සැලසුමක් මෙහි ක්‍රියාත්මක කරන බවකි.

"ඇයි මේවා කලින් නොකිව්වේ?"

මම මධුලිකා දෙස බලාසිට, ඉවත බලාගනිමින් ඇසුවෙමි.

මධුලිකා එකවරම පිළිතුරක් දුන්නේ නැත.

"..හිතුවද අපිත් ඔයාගේ දේපල වලින් කොටසක් ඉල්ලයි කියල?"

මධුලිකා මන්දහස්මිතයක් සමඟ ඉවත බලාගත්තාය.

"විරංග කිව්වා ඔයාට සෑහෙන්න සල්ලි තියෙනවා කියල"

"ඇත්තට? තව මොනවද කිව්වේ?"

"තව ඉතින් එක එක විස්තර කිව්වා"

"එක එක විස්තර?"

"ඔව්.."

"මොනවද?"

"කෙල්ලෝ ගැන"

මම දුන්නක් කෙලින් වනවා සේ නැගී සිටියෙමි. සිරුරම ගැහෙනවා සේ මට දැනුනි. දෙපතුලෙන් ඇරඹි වෙව්ලුමක් හිස දක්වා විදුලි වේගයෙන් ගමන්කොට මා අප්‍රාණික කළා සේය.

".. බොරු බොරු... අනේ...... විරංග එහෙම එකක් කිව්වේ නැහැ.. නැත්තම් ඒකටත් එයා එක්ක පැටලෙන්න ගනී"

මම ඈ දෙස නොබලා පැන්ට්‍රිය වෙත ගමන් ගනිද්දී සේවිකාව එකත්පසව උන්නාය.

"ඇයි.. හිතේ අමාරුද මම විරංගට බැන්නොත්!?"

මගේ ඊර්ෂ්‍යාව සියල්ල පරයා නැගෙන්නට විය.

"අපෝ මට මොකෝ.... බැනගන්න බැරිනම් ඕනේ එකක් කරගන්න එකනේ තියෙන්නේ..."

මධුලිකාගේ හඬ උස්ව නැගේ. මොහොතකට කලින් පුසෙකු සේ මගේ උරහිසේ ඉකිබින්ද කෙල්ලද මේ? ශිතකරණයෙන් ගත් පලතුරු බිම බෝතලය කටේ තබාගෙන බීගෙන ගිය මම මා දෙස බලා සිටින සේවිකාව දැක ඈට හිසින් සන් කලෙමි.

"ඔයාව අරලපු මහත්තය කෝ?"

මගේ පහත හඬට ගරුත්වයෙන් සවන්දුන් සේවිකාව මගේ දෙස වික්ෂිප්තව බැලුවාය.

"ඒ මහත්තය... ගියානේ"

"ආයේ ආවේ නැද්ද?"

"නෑ මහත්තය..."

මම කල්පනාවට වැටුනෙමි. විරංග මගේ හොඳම මිතුරාය. ඔහුට අනතුරක්ද? මෙවන් මොහොතක තනිකොට යන කෙනෙකු නොවන ඔහුගේ මේ හදිසි අතුරුදහන්වීම මට ප්‍රේහෙලිකාවකි.

"... මහත්තය.... "

සේවිකාව රහසෙන් මෙන් මට කුමක් හෝ කියන්නට සැරසේ. මම කුමක්දැයි හිසින් ඇසුවේ මධුලිකා නොපෙනන බැවිනි.

"මේ නෝනා අපේ පර්ල් නෝනා වගේමයි.... ඇරපු අතක් නැහැ.... ඔන්නොහෙ බැඳලා එංගලන්තෙටම යන්ට මහත්තය"

මැය මේ කියන්නේ මොනවාද? මට සිනාවක් නැගුණි. මැය හිතන්නේ මමත් මධුලිකාත් විවාහ වනවා යයි කියාද? මම සිනාවත් සමඟම එද්දී පැලැස්තර කකුල සමඟ බිත්තිය අල්ලමින් එන මධුලිකා හමුවිය.

"දැන් ඇවිදින්න එපා කිව්වනේ... ඉන්නවකෝ හිටපු තැනක එක විදියකට... ජීප් එකේ ඇති විල් චෙයාර් එක මම ගෙනත් දෙනකල්!"

"මට ඕනේ නැහැ ඔයාගේ කෙහෙල්මල... මට දැන් හොඳයි"

අප දෙදෙනාම එකිනෙකාට වඩා උස් හඬින් කෑගසන්නට වීමු. ඊළඟට කියන්නේ මොනවාදැයි හිතාගන්නට මෙන් අපි එකිනෙකා දෙස බැලුවෙමු.

"එහෙනම් මොකටද ඕක දාගෙන ඉන්නේ. ගලෝන එකනේ ඇත්තේ"

"ගලෝනවා තමයි.. ආච්චි ගේන්න ඔය පිහිය!"

"පිස්සු හැදීගෙන එනවද.... ඔය! නැමෙන්න එපා වැටෙයි!"

ඒ ක්ෂණයෙන් වැටෙන්නට ගිය ඈ අල්වන්නට ගොස් මගේ ඇඳුම පුරාත්, සාලයේ බිම පුරාත් මා අත වූ බිම බෝතලය විසි වුනේ මල් වරුසාවක් ලෙසිනි.

".. කිව්වා නේද..... ඔය කලේ! තියෙන ලොකුකම!! "

වැටෙන්නට ගිය ඇගේ බඳෙන් අල්වාගත්තද දෙදෙනාම, නොවැටී සිටින්නට මට ඈ මගේ සිරුරට තදින් වාරුකරගන්නට සිදුවිය. සියක්වර කටිනලද පුළුන් රොදක් වන ඇගේ ස්පර්ශයෙන් මට විදුලි කාන්දුවකට හිරවුවා සේ හුස්ම අහිමිව ගියෙමි.



"බලාගෙන බේබි.... අනේ ඉතින්... "

සේවිකාව විත් ඈ වත්තන් නොකරගන්නට, ඈ අත නොහරින්නටම මට සිතුනි. මගේ දෙකන් වලට ලේ පුරනු මට දැනුනි. ඉක්මනින් සේවිකාව අතට ඈ පත්කළ මම නානකාමරයට වැදී දොර අගුළුලා ගතිමි.


********** මතු සම්බන්ධයි ***********

6 comments:

  1. අප්පට උඩු ජාවා මොහාරිස් ඈ? ෂෙහ් ඔරිජිනල් කියුබන් සුරුට්ටු...අස්ප ගණං....

    ඔය සුරුට්ටු තාමත් අතින්මයි ඔතනවයි කියන්නෙ..දිවියාංගනාවො වගෙ කියුබන් කෙල්ලො කලව උඩ තියාගෙන ඔව්ව ඔතන්නෙ..හෙහ්..හෙහ්..කොහොමද ඒ ආතල් එක?

    අපෙ අත්තම්මත් දවසකට එක සුරුට්ටුවක් බිව්ව. රෑට නිදාගන්ට ගියාම..ෆුල් රිලැක්ස් එකේ ඇඳේ දිගාවෙලා සුරුට්ටුව ලෝඩ් කරගෙන අදිනව බලන්ට අපූරුයි.

    උන්දැට ඔය වැඩේ පුරුදු වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට ඉස්සර සිරීපාදෙ ගිය වෙලාවක උඩ මළුව කිට්ටුවදි සීතලක් අල්ලල කට කට ගාල ගැහෙන්ට ගත්තලු. මොනව කරලවත් බේරන්ට බැරි තැන අත්තම්මගෙ නෑන.. ඒ කිව්වෙ අපෙ ලොකු අත්තගෙ අක්ක දුන්නලු යාපනේ සුරුට්ටුවක් "මෙන්න මේකෙං ඇදල බලපං උගුරු දෙකක්.." කියල.

    කිව්වත් වාගෙ ඒකෙන්ම සීතල ඇරිල ගියාලු. එදා ඉඳල උන්දැ අබාවප්‍රාප්ත වෙනකල්ම හැමදාම රෑට බිව්ව සුරුට්ටුවක්. වන් සිගා පර් ඩේ!

    අපෙ අත්තම්ම නම් හැබැයි බිව්වෙ ජාවා මොහාරිස් නෙවෙයි තම්ෂර්ගේ පෙට්ටි සුරුට්ටු තමයි උන්දැගෙ ෆේවරිට් බ්‍රෑන්ඩ් එක....

    ReplyDelete
    Replies
    1. හි හි... ඔව් ඔව්.. ඒක තමයි මරු සුරුට්ටුව!
      සුරුට්ටු කලාව හැබෑවටම කලාවක් කියලා හිතෙන්නේ සුරුට්ටුවල පසුබිම හොයලා බැලුවහම. හැබැයි මේ කියන සුරුට්ටුව නම් කවුරුහරි භයානක කෙනෙක්ගේ වෙන්න බැරිද?

      ඔය සිරිපාදේ නගින - බහින උදවිය තුන් සරණේ කියාගෙන ගිහින් උඩදී සුරුට්ටු ; ගංජා ඇදල , කට වරද්දගන්නේ නැතුව ආයෙමත් තුන් සරණේ කියාගෙන බැහැලා බෝතල් බීලද ඒ කියන්නේ ඒ කාලෙත් හමාර කලේ? හ්ම්ම් ඉතින් අහන්නත් දෙයක්ද දැන් ඒවා ඔඩු දුවලා 'කනෝ කනෝ' කියන එකත්.

      කොමෙන්ට් එකට ස්තුතියි.. මෙතන තිබ්බේ සුරුට්ටුව විතරයිදම මන්ද.. මම සියඹලා ගෙනල්ලම නැද්ද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි