විසිතුරු කොල

Tuesday, March 26, 2019

210. සුහදිනියේ - 14 | සොරකමක් ; ක්ෂණික තීරණයක්, මධුලිකා කබලෙන් ලිපට වැටෙයිද?

කලින් කොටසට 



නිමන්ති යොදාගෙන කන්‍යාරාමයේ තිබුණු මධුලිකාගේ ලියකියවිලිවල මුල් පිටපත් ගැනීම ව්‍යර්ථ වුයේ, ඒ වනවිටත් කිසිවකු විසින් ඒවා රැගෙන ගොස් තිබුණු නිසාය. අප ප්‍රමාද වූ පැය දොළහ ඇතුලත , ඒවා ගෙනගියේ කවුරුන්ද කියා හෝ කිසිම තොරතුරක් ලබාදෙන්නට නිමන්ති විසින් ලබාදුන් ලියකියවිලි බාරගත් කන්‍යා සොයුරිය එකඟ උනේ නැහැ. අඩු තරමේ ගෙනගිය කිසිවෙකුගේ හැඩහුරුකමක් පවා සඳහන් නොකලෙන් අප දෙදෙනා මහත් අසරණ උනා. ඒවා ගත්තේ වාසුලද? එසේ වුවා නම් තත්වය දරුණු විය හැකිය. ඔවුන්ට ව්‍යාජ ලියකියවිලි හදාගන්නට අවැසි සියල්ලම එහි තිබේ.

මධුලිකාගේ එවැනි ලියකියවිලිවල සහතිකලත් පිටපතක් හෝ ඇත්තේ පාසලේ පමණි. ඒවා සොරකම් කිරීමක් හැර වෙනත් විකල්පයක් තිබ්බේ නැත. එදිනම රාත්‍රියේ එම ගමන යන්නට මම නිමන්ති කැමතිකරවාගන්නට මධුලිකා මුනගස්වන්නට පොරොන්දු වන්නට සිදුවිය.

සවස හය පසුවී විනාඩි හතලිහට පමණ වේලාවකදී, මමත් නිමන්තිත් අප පාසලේ ඊසානදිග තාප්ප කොනේ හොරගල් අහුලමින් උන්නෙමු. තාප්පයේ ඇතුලතින් මුරකුටියේ නිදන්නේ ගෝමස් බව දන්නේ කොල්ලන් පමණි. ඒ ; සියලු පිරිමි ළමයින්ගේ හොර ගමන් වලට දොරටුව ඇරෙන්නේ එතැනින් බැවිනි.

තාප්පයේ ඉහළින් සවිමත් කඹය දමා, අනෙක් කොන ජීප් රථයේ ඉදිරිපස ගැටගැසූ මම, කඹයේ සවිමත් බව පිරික්සා සාක්කුවෙන් විදුලිපන්දම ගෙන මුව පසෙකින් සිරකරගතිමි.

"අනේ උසයි... නගින්න බෑ!"



එකපාරටම මතක් උනේ මධුලිකාගේ තාප්පෙන් පැනිල්ල. මට හිනාවක් නැගෙන්නට ඇති. ඈ සිටියානම් කියන පමාවට තාප්පයට බඩගානු ඇත.

නිමන්ති මෙහි තබා යන්නට නොහැකි වන්නේ ඇයට මෙහි ආරක්ෂාවක් නැතිවාටත් වඩා ඔත්තු බලන්නට කෙනෙක් නොමැති නිසයි. ඒ සැමටම වඩා කොල්ලන් කිසිවකු තනිව මෙම තාප්පය පනින්නේ නැත. හේතුව කෙල්ලක හෝ සිගරට් බිමක් විය යුතුය. වෙලාවේ හැටියට මට නිමන්ති අවැසිව තිබුනේ මේ හොරකම වසාගැනීමට පලිහක් ලෙස පමණි. ඈ ඔසවා බාගයක්ම තාප්පෙන් උඩට කරන්නට මට සෑහෙන මහන්සියක් ගන්න උනේ ඈ මධුලිකා වගේ නොව තාර පිප්පයක් උන නිසයි.

තාප්පයෙන් ඇතුලට වන සැනින් සැලසුම් කරගත් පරිදි දෙදෙනාම හිස් ආවරණ පැළඳ ගත්තෙමු. අඳුරේම එතැන විනාඩි කිහිපයක් ගතකලේ අපගේ වාරය එනතුරුය. විනාඩි පහකින් පමණ වෙනදා මෙන්ම මම ඒ අයිනේ ඇති පටු පාරවල් ඔස්සේ අදාළ ගොඩනැගිල්ලේ පසුපස කොටසට සේන්දු වනවිට, නිමන්ති මගේ අත සෑහෙන තදින් අල්වාගෙන. එයට නම් මගේ කැමැත්තක් නැතත් මට ඒ වෙලාවේ කිසිවක් කියන්නට නොහැකිය.

පාසල් කාර්යාලයේ දොරටුව අද්දර නිමන්ති ඔත්තු බලන්නට රඳවා, සාක්කුවේ මෙතෙක් සඟවාගෙන ස්පැනර යුගලය සමඟ මම දකුණුපස දොර අසලට පැමිණියෙමි. හාත්පස නිහඬය. මගේ යම් ශබ්දයක් ඇසෙන්නට ඇති ඉඩකඩ වැඩිය.

හාත්පස ඇති නිහඬතාවය බිඳී ගොස් හතේ කණිසමට , ගල් පල්ලියේ ඇති විසල් ඔරලෝසුව හත්වරක් නාදවෙයි. ඒ තත්පර හත ඇතුලත ඉබ්බාගෙන් දොර නිදහස් කරගැනීමට නොහැකි වුවහොත් තවත් පැයක් අප මෙතන සිටිය යුතුය. අවාසනාවට රාත්‍රී අටට ගෝමස් ඔහු විසින්ම ක්‍රියා විරහිත කල සී.සී. ටීවී කැමරාව ක්‍රියාත්මක වන්නට හරින බව මම ඉඳුරාම දනිමි. එබැවින් අපට ඇති එකම අවස්තාව මෙයයි. ගෝමස් එම ක්‍රියාවට පෙර එක වරක් මේ අසළට එන බව මම දනිමි.


දොර අසල මද අඳුරට මුවාවූ මම ස්පැනර යුගලය ඉබ්බාගේ ශකල් කොටසේ ඇතුල් පැත්තෙන් දෙපසට සිටිනසේ තබා අත වූ ඔරලෝසුව දෙස බැලුවෙමි. හතේ කණිසමට තව ඇත්තේ විනාඩියකට වඩා අඩු කාලයකි. තත්පර කටුව සෙමෙන් සෙමෙන් ගමන් කරයි. එකවරම පල්ලියේ ඔරලෝසුව හඬනගා පරිසරයේ නිහඬතාවය බිඳ දමන්නට විය. වහා ක්‍රියාත්මක වූ මම ස්පැනර දෙක දෙපසට කරකවමින් ශකල් කොටස ගලවාගන්නට සෑහෙන උත්සාහයක නිරතවුයෙමි. කොතරම් කැරකුවද ස්පැනර ලිස්සායාමක් මිස කිසිවක් සිදුවුයේ නැත
' ඩාන්! ඩාන්.. ඩාන් '

තුන් වරක් නාදවිය. මම තවමත් අසමත්ය.

' ඩාන්... ඩාන්.. '

වහාම ක්‍රියාත්මක වූ මම අතෙහි ගුලිකරගෙන සිටි බරැති මිටියෙන් වැරෙන් පහරක් එල්ලකොට ඉබ්බා කඩා දමනවිට අවසන් වරට ඔරලෝසුව ' ඩාන්.. ' ගෑවා පමණි. තත්පරයක් ප්‍රමාද වුවා නම් සියල්ල යටිකුරු වන්නට ඉඩ තිබිණි. පහලට නැමී ඉබ්බාගේ කැබලි අහුලාගත් මම අත වූ විදුලි පන්දම වරක් නිමන්ති සිටින දෙසට හරවා සංඥාවක් නිකුත්කර , කකුල් දෙකෙහි දමාගෙන උන් සපත්තු ආවරණය කරමින් ෂොපින් කවර දෙක ගැටගසා, සෙමෙන් පා තබමින් ලියකියවිලි අඩංගු අල්මාරිය ඉවකරන්නට වීමි.



මගේ වාසනාවට යතුරු එල්වා තිබුණු පෙට්ටිය අගුලු දමා නොතිබුණු නිසාත්, එස් පහ ක්‍රමයට නියමිත ලෙස නම්කොට තිබුණු නිසාත් විනාඩි කිහිපයක ඇවෑමෙන්, තවත් ඉබ්බෙකු මරණයට පත්කර, අදාළ අල්මාරිය තුලින් මධුලිකාගේ ලිපිගොනුව සොයාගන්නට තවත් විනාඩි තිහක් පමණ ගතවිය.

දෑත් ආවරණය කරන අත්වැසුම් නිසා මගේ කාර්යයන්ගේ වේගය බාල වන්නට ඇත. විනාඩි තිහක් තව තිබේ.

ඈතින් කටහඬක් මතුව ආවේ ලිපිගොනුව අතට ගත්වනමය.

කලබල වූ මම හැකි ඉක්මනින් අදාළ ෆයිල් කවර ඇතුලට තල්ලුකොට , දොර අඩවල් නොකරම එළියට පනින විටම, කටහඬ හරියටම අපට ඉදිරියේ ඇති පටු මාවත දිගේ අප දෙසට එන බව මට වැටහුණි. ඒ ගොමස්ගේ කටහඬ බව අඳුනා ගන්නට මට හැකි වුවත්, ඒ මොහොතේ මම අන්ත අසරණ බවට පත්වූයෙමි.  ගෝමස් මේ වෙලාවට මෙතනට පැමිණීම අමුත්තකි. මගේ සැලසුම කණපිට හැරුනාවත්ද? යාහැකි අතක් නොමැත. කොයි දෙසට පලාගියත් හසුවේ.

කෙලින්ම ආ ගෝමස්, මමත් නිමන්තිත් දැක අයාගත් මුවින් යුතුව, ඔහු අත වූ විදුලි පන්දම කෙලින්ම මගේ මුහුණට යොමුකළේය. ගිණිකන වැටුනද, මට ඉන් ගණදෙවි නුවනක් පහළවිය. ඔහු සිටියේ තනිව නොවේ!

"අ.... ම.. මේ.... මේ ළමය මොකද මෙතැන?"

ගොර ගොර හඬක් නංවන ගෝමස් අපට වඩා කලබලවී ඇති සෙයකි. ඔහුට පිටුපසින් සිටියේ පාසල ඉස්සරහ අඹ විකුණන ගැහැණියයි. ඔහු මට තුරුලුව සිටින නිමන්ති දෙසට විදුලි පන්දම එල්ලකොට වහාම තීරණයකට එළඹුනා වන්නට ඇත.

"ආවා ගෝමස්... !"

අපටත් වඩා වේගයෙන් ගෝමස් පැන දිව්වේය. ගෝමස්ගේ නිගමනය මා සිත පෙලන්නට විය. නිමන්ති සමඟ හුට මෙලෙස හසුවීම මගේ හිතට හරි නැත. මේ ප්‍රථම හෝ දෙවන වතාව නොවුනත්, මට මධුලිකා සිහිවිය.

වඩාත් හොඳින් කාර්යාලයේ බඩු තබා, සැලසුම් කරගෙන ආ අතිරේක ඉබ්බෙකු ඉදිරි දොරට දමා නිවිහැනහිල්ලේ තාප්පෙන් පනින්නට එය කදිම අවස්තාවක් විය.

කඹය ඔස්සේ තාප්පෙන් පැන , ආවාටත් වඩා සැහැල්ලුවෙන් සිටින මම දෙස , නිමන්ති තැතිගැන්මෙන් බලා සිටියාය.

"තීක්ෂණ.. ඔයා නම්!"

"ඇයි මොකද?"

"අපිව අහු උනානේ!"

"නෑ"

"මොකද නැත්තේ? අර සිකියුරිටි මිනිහා කියයි"

"නෑ.."

"ගානක්වත් නැතුව කියන හැටි? ඇයි අර මනුස්සයා දිව්වේ?"

"ආ... ඒක එහෙම තමයි... ඒ මිනිහට අපි ගැන කියන්න බෑනේ.. ඌ ගෑනියෙක් එක්කනේ හිටියේ.."

ගෝමස් මම ගැන දනී. නමුත් මොකදෝ හේතුවකට නිමන්ති සමඟ මෙලෙස හසුවීම ගැන මගේ හිත මට දොස් කියනවා සේ දැනුනි.

හත පසුවී විනාඩි 27ක් වනතුරු සිටිය යුතුය. ඒ වෙලාවට මුස්ලිම් පල්ලියේ ඇසෙන යාඤාවට වාහනයේ හඬ නොනැගෙන තරම්. එතෙක් පහන් නිවා නිසලව උන් අප, වාහනය පනගන්වා පාරට ගත් සැනින් මම දුරකතනයෙන් මධුලිකාට ඇමතුමක් ගතිමි.

"හලෝ..."

"මධු.... මේ.. මම එන ගමන්.... ඔයාට පුලුවන්ද දෙන්නෙකුට මොනවාහරි ස්නැක් එකක් හදලා තියන්න?"

*************************************

 තාරුක අයියාගේ දුරකථනය සෑහෙන වෙලාවක සිට කාර්යබහුල බැවින් මම ඔහුට කෙටි පණිවිඩයක් තබා නානකාමරයට වැදී සෑහෙන වෙලාවක් උණුවතුරෙන් ස්නානය කලේ, ලියකියවිලි ගැනීමෙන් සිත සැහැල්ලු වූ නිසාය. මධුලිකාත්, නිමන්තිත් සාලයේ කතාවක බව වරින්වර නැගෙන සිනාවෙන් පැහැදිලිවිය.

මගේ සිත නොසන්සුන් බව සැබෑය. ලියකියවිලි මධුලිකාට ලබාදෙද්දී, ඇගේ මුහුණ පිපී ආ සිනහව මට ඇතිකළ හැඟීම වචනයෙන් විස්තර කල නොහැක. ඇත්තටම මධුලිකා මගේ සිත මෙතරම් ආක්‍රමණය කලේ, මගේ සිත තුල ඈ කෙරෙහි ඇතිවූ පළිගැනීමේ සිතමද ?

ඇඳුම් හැඳ නානකාමරයෙන් පිටවන්නට දොර වෙත ආ මට මධුලිකාගේ හඬ ඒ ආසන්නයෙන් ඇසේ.

"... ඔව් අනේ.... මාර ස්වීට්.... "

"ආ... එහෙමද? හි හි හි.. එහෙනම් වැඩේ හරි ඈ "

"පිස්සුද අනේ.... එයාගේ එහෙම එකක් නැහැ... මම දන්නවනේ.. ඒ උනාට හරිම ප්‍රොටෙක්ට්ටිව්"

මගේ බඩ පපුව පිච්චි ගියේය. මේ කියන්නේ විරංග ගැන නොවේද? මම දොරට කන තබාගෙන උන්නෙමි.

"ඒ උනාට මට නම් හිතෙන්නේ වෙන එකක්.... නැතිනම් ඔහොම කරයිද?"

පොඩි නිශ්ශබ්දතාවයකින් පස්සේ මධුලිකා නැවතත් හඬ අවදි කළා.

"නෑ අනේ... එහෙම එකක් නැහැ... මේ ඔක්කොම ඉවර උනාම මමත් යනවා ඉංග්ලන්ඩ්... "


"................"

මම ඇගේ ඒ බුහුටි මුහුණ සහ ඇස්දෙක හිතින් මවාගත්තෙමි. මහා ලොබකමකින් සිත පිරි ගියේය.

"එයා හොඳ යාලුවෙක්.. හැමදාටම"

පපු කුහරය ඇතුලාන්තයෙන් ආ මහත්වූ වේදනාවක් දැනී මම බිත්තියට වාරු වීමි. ඊර්ෂ්‍යාව මෙතරම් වේදනාකාරිද ? බිත්තිය කියා වාරුවී සිටියේ දොරට බැවින් එයින් යම් ශබ්දයක් පිටවිය.

".. අපෝ ඔන්න එනවා!"

මම දොර විවර කරගෙන ගොස් මගේ කාමරයට වැදුනෙමි. ඈට එතරම්ම මා පිලිකුල්ද?

නිමන්ති අත මධුලිකාට අවශ්‍ය වියලි ආහාර සහ අනෙකුත් දේවල් යවා , නිවසට ගිය මම මධුලිකාගේ ලියකියවිලි සහිත ලිපිගොනුව ගත්තේ කාමරයේ දොර අගුළු ලෑමෙන් පසුවයි.

එහි ඇගේ උප්පැන්න සහතිකය තිබුනේ අවසානයටයි. එහි පියාගේ නම සඳහන් තීරුව දෙස බලා උන් මම ඉබේම කල්පනාවට  වැටුනෙමි.



ඇගේ පියා ලෙස සඳහන්ව තිබුණු ඔහු ; සංජිවී ජයවර්ධන යනු ; කාලයක් ලංකාවේ අතිශය ජනප්‍රිය , ඉතා අඩු වයසකින් දියුණුවේ හිනිපෙත්තේ උන් ව්‍යාපාරිකයාය. අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් පවත්වාගෙන යන පුවත්පතක්, බිස්කට් කම්හලක් සහ වාහන අංගන රැසක් මෙන්ම මුල්‍ය සමාගම් කිහිපයක්ද වශයෙන් ව්‍යාපාර රැසක සිය අක්මුල් පවත්වාගෙන සිටි අයෙකි. ඔහුගේ  කිසිවකුගේ පවුලේ ගැන, කිසිදා පුවත්පතක පලවී නොතිබුණු බව මට මගේ පියා සඳහන් කල බව මට අමතක නොවන්නට හේතුවක් විය.

දිනක් මගේ පියාව හමුවීමට ආ පුවත්පත්කලාවේදියෙක්ගෙන් මගේ පියා අසා ඇත්තේ , ලිපියට අන්තර්ගත කාරනා දේවල් මොනවාද කියාය. ගත් කටටම ඔහු කියා ඇත්තේ 'පවුලේ තොරතුරු' බැවින් තවත් මොහොතක්වත් තබා නොගෙන ඔහුව පිටමන් කල බව පසුකලෙක අප සමඟ අම්මා කිව්වේ මගේ පියා ගැන මා තුල ඇතිකළ ඒ විශ්මය සමඟයි. පුංචිම කාලයේ ඒ ගැන දැනගත්විට මම 'අපරාදේ' කියූ මට පියා කීවේ ඔහු එය ඉගෙනගත්තේ ජයවර්ධන මහතාගෙන් බවයි. ජයවර්ධන යනු සිය පවුලේ කිසිවකු ගැන ඕපාදුප පත්තර වලට නොදෙන, පුද්ගලික රියදුරෙකු පාවිච්චි නොකළ අමුතු තාලයේ කෙනෙකු වශයෙන් සිට හදිසියේ අතුරුහන් වුනු අයෙකි.

දුරකථනය නාදවන්නට විය. මම වහා එයට පිළිතුරු සැපයුවෙමි.

"කියපන් මචන්!"

තාරුක අයියා එකවරම කතාකලේ නැත.

"උඹ කොහෙද ඉන්නේ?"

"ගෙදර.. ඇයි ?"

නැවතත් පොඩි නිහඬතාවයක්. එය මා නොසන්සුන් කිරීමට හොදටම ප්‍රමාණවත් විය.

".. මොකෝ සීන් එක?"

"මචං... නරකද උඹ ඔය කෙල්ලට පොලිස් ආරක්ෂාව ඉල්ලුවොත්?"

"ඇයි මොකද්ද සීන් එක? මොකද්ද උනේ? උඹට අවුලක් නැද්ද?"

"උඹ ඉන්නේ ගෙදර නේද? කෙල්ල ඉන්නේ?"

"ගෙදර"

"උඹ ගාව???"

"නෑ යකෝ මම කිව්වේ.... වෙන ගෙදරක...."

"එතකොට කෙල්ලගේ ආරක්ෂාවට?"

"එතන ගෑනියෙක් තියල තියෙනවා"

"හ්ම්ම්"

"..............."

"..................."

"මොකෝ සීන් එක?"

"කවුරුහරි උඹලා පස්සෙන් ඉන්නවා. මයිකල් වෙන්නත් පුළුවන්, මම කිව්වේ ඌ කාවහරි දාලා උඹ පස්සෙන් එනවා වෙන්න පුළුවන්."

"ඔව්... මට ඒක තේරුනා... වාසුලයා... මයිකල්ගේ පුතා!  මධුලිකාව දැක්කා... මම කිව්වේ... "

"හ්ම්ම්..."

"උඹ හිතන්නේ උන් ගාව කියලද ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික?"

"ඔව්... ඒත් මට හිතාගන්න බැහැ සිස්ටර් වගේ කෙනෙක් ඒ වගේ නාඳුනන මිනිහෙක්ට මධුලිකාගේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික දෙයි කියලා. සිස්ටර් මොකක් හරි දෙයක් හැංගුවා. එක්කෝ ; එයා ඒවා තියාගෙන අපිට නොදී හිටියා. නැතිනම් එයා වාසුලට උදව් කරන කෙනෙක්, එයා ඒවා වාසුලට දුන්නා!"

"හ්ම්ම්... ඒ උනත් තවත් කවුරුහරි ගාව ඒවා තියෙනවා"

මම උඩ විසි උනෙමි.

"මොකක්? නිමන්ති ගාව නම් තිබ්බා.. ඒවත් මම ගත්තා... ආ... පොඩ්ඩක් ඉන්න! ඒවායේ කොපියක් එයා ගාව තියනවා කියල මට කිව්වා... ඇයි මොකෝ?"

"කවුරුහරි කෙනෙක්..... අද උදේ මම 'කෝට්ස්' ගිහින් එනකොට මෙතන උඩ තිබ්බ බීරළු අස්සෙන් ෆොටෝකොපි කරපු ඩොකියුමන්ට්ස් ටික ඔෆිස් එක ඇතුලට දාලා"

"මොකක්?"

මොහොතකට ගොළු වුයෙමි.

"පුතා.... කෙල්ලව බලාගන්න උඹට ගේමක් දෙන්න වෙයි."




මගේ සිත වේගයෙන් ගැහෙන්නට විය. කුමක් කියන්නද? පැරදෙන්නට මගේ සුදානමක් නැත.

තවත් වැදගත් කරුණු කිහිපයක් සාකච්ජා කල තාරුක අයියාගේ දුරකථන ඇමතුම විසන්ධි කල පමාවට, මම මගේ අල්මාරියේ තිබුණු තවත් ලියකියවිලි මිටියක්ද, මධුලිකාගේ ලියකියවිලි මිටියක්ද සහිතව ජීප් රථයේ රියදුරු අසුනට පැන්නෙමි.

 ***********************************************



මධුලිකා මගේ දෙස බලා සිටියේ සියලු සංවේදනා තියුණු කරගනිමිනි. 

බියටපත්ව ඈ හඬනු ඇතැයි සිතුවද, ඒ වෙනුවට ඈ සිය යටිතොල විකාගනිමින් කල්පනාවකට වැටුණාය. අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින් සේවිකාව හිස් බිම විදුරු දෙක රැගෙන නැවතත් කුස්සියට යනු පෙනුනි.

"නිමන්ති වෙන්න බැහැ... එයා ඊයේ මෙහෙ ඉඳලනෙ ගියේ.. ඊටත්.. නිමන්ති දන්නේ නැහැනේ තාරුකගේ ඔෆිස් එක"

මම කොතරම් කල්පනා කලත් කිසිවක් කල්පනාවට ආවේ නැත.

".. සමහර වෙලාවට... ඔයා ඉන්න මෙතැන උනත් උන් දන්නවා වෙන්න පුළුවන්... තාරුක අයියා උනත් කියන්නේ.... "

මම කියන්නට ආ කොටස ගිලගත්තේ මධුලිකා මා දෙස බැලු බැවිනි.

"...........?"

"නෑ.. මේ..... එයා කියන්නේ ලීගල් පැත්තනේ "

"හ්ම්ම්..."

මධුලිකා මගේ දෙස බලාගත්වනම කිව්වාය. මම ඒ නෙත්සැරයට සෑහෙන බියක් දක්වන හෙයින් ඉන් මිදී වහලයේ දෑස් රඳවා ගතිමි. කුළුමිමෙකු දමනය කරගැනීමට වඩා මෙය අසීරු කාරණයක් වී ඇති හැඩයි!

".... තීක්ෂණ හිතන්නේ... වාසුල මොකක් කරන්න හදනවා කියලද?"

"එකපාරටම කියන්න අමාරුයි. හැබැයි, ඔයාව ආයෙමත් චාන්ස් එකක් ආවොත් කිඩ්නැප් කරයි. පොලිසියට තමයි කියන්න වෙන්නේ"

"හ්ම්ම්..."

"වාසුල නිතිය නොදන්නවා වෙන්න බැහැ. නැතිනම් ඔයාව එදා රෙස්ටුරන්ට් එකේදී අරගෙන යන්නත් තිබ්බා."

"හ්ම්ම්"

"මොකක් උනත්... ඔයා බයවෙන්න එපා.... ඔයාව මම එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ. උන් මේවා ඔක්කොම කරන්නේ නඩු අයින් කරගෙන හින්දා...."

මධුලිකා මහත් සැලකිල්ලෙන් මගේ මුහුණ බැලුවාය. ඒ සමඟම ඒ බැල්ම වෙනතකට හැරවුවාය.

"වාසුල.... මාව හොයන්නේ මරන්නද?"

අනපේක්ෂිත ඒ ප්‍රශ්නයෙන් එකවරම කුමක් කිවයුතුද සිතාගත නොහැකිව මම ගොලුවී ගියෙමි. අසත්‍ය පවසා ඈ මුලාකරන්නටවත්, සත්‍ය පවසා ඈ අනවශ්‍ය ලෙස භිත කරවන්නටත් මට අවශ්‍ය වුයේ නැත.

"මම හිතන්නේ නැහැ. එහෙම මරනවා නම්.... කිඩ්නැප් කරපු වෙලාවේ කරන්න තිබ්බා. අනික.... එහෙම මරණ වාතාවරණයක් මම දැක්කෙත් නැහැ. එක්කෝ ඕනේ කලේ ඔයාව බලෙන් තියාගන්න; හිරකරගන්න වෙන්න පුළුවන්"

"හ්ම්ම්.."

"ඔයාගේ තාත්තා ඔයාටයි අම්මාටයි ලියපු දේපල, එයාලා භුක්ති වින්දට, දැන් එයාලට ඒ අයිතිය නීතියෙන් නැහැ. ඔයාට ඊයේට දහ අට උනා. ඔයාව මැරුවොත් උන්ට එළුවාත් නෑ මුට්ටියත් නැහැ"

"නීතියෙන්.... හ්ම්ම්... මට අයිති දේවල් ඊට පස්සේ ලැබෙන්නේ... මගේ හස්බන්ඩ්ට?"

"හ්ම්ම්.. ඔව්.. හස්බන්ඩ්ට ළමයින්ට..."

"මට ඔයාගේ ලෝයර්ට කතාකරන්න ඕනේ. මිස්ටර් දුනුවිලට"

තාරුකට ඇමතුමක් ගෙන ජංගම දුරකථනය මධුලිකාට ලබාදුන් මම ඈට නිදහසේ කතාකරන්නට ඉඩදී ඈතට වී,  විදුරු කවුළුවෙන් හාත්පස බලමින් සිටියෙමි. කතාබහ කුමක් ගැන උනත් අවසන් කොටසේදී මධුලිකා මා දෙස දල්වාගත් නෙතින්ම විමසිල්ලෙන් තාරුක කියන දෙයකට කන්දෙන බවක් පෙනුනා.

මධුලිකා මගේ දෙසම බලාසිටින බැල්ම මගහැර ඉන්නට උත්සහ කලත් එය ව්‍යර්ථ කරමින් අපේ ඇස් එකිනෙකට යාවී ගියේය. ඇමතුම විසන්ධි කල ඈ මගේ දුරකථනය අතට දුන්නේ දීප්තිමත් දෑසිනි.

"තීක්ෂණ... මාව බඳින්න! කාටවත් එතකොට අයිතියක් නැහැ"

සර්වන්ගයම පන නැතිව ගොස් මම ගල්ගැසී ගියෙමි. මධුලිකාගේ ඇස්වල කිසිදු වෙනසක් තිබුනේ නැත. ඒවා දැල්වූ පහන් එලි දෙකක් මෙන් මා වෙතම රැඳවි තිබිණි.


********** මතු සම්බන්ධයි ***********

13 comments:

  1. "Theekshana, mawa bandinna"
    Haffoii mehma kiyaddi virangaya htye nene methana

    ReplyDelete
    Replies
    1. බඳින්න කියා කිව්වට, බඳින්න වෙයිද දන්නෙත් නෑ. කවුද දන්නේ තව පැයකින් විරංග මතුවෙයිද කියල?

      ගීතිකා නම් කැමති විරංග මධුලිකාව අයිති කරගන්නවාට වගේ! :D

      Delete
  2. බැඳපං තීක්ෂනයෝ බැඳපං. ඔ්කට නේද මෙච්චර දත කාගෙන හිටියෙ.

    ReplyDelete
    Replies
    1. හම්මේ මේ ඇහැට පේන දෙයක් ලිව්වමද කොහෙද.. හි හි
      බැඳපන් කිව්වට බන්දවන්න කවුරුත් නෑ !
      මධුලිකාව බඳින්න ඇත්තටම තීක්ෂණට ඕනෙකමක් තිබ්බද?

      Delete
  3. බුදු අම්මෝ! එකපාරටම ලොකු තිගැස්මක් ඇති කළා.

    (කරුණාකර හෘදයේ ආබාධ සහිත පුද්ගලයන් මේ කතාව කියවීමෙන් වළකින්න)

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද?
      ඔහොමත් කරනවද මම අහන්නේ ගෑනු ළමයෙක් උනහම? බෝම නරකයි!!

      හැබෑටම එහෙම අහන ගෑනු ළමයින් එහෙම හම්බෙලා නැද්ද? මම උන්නේ දැති හුලහලා බය නෑ කියල

      Delete
    2. නෑ. "බය" ගැන නෙවෙයි කිව්වෙ. මම ඒ වචනෙ තේරුම දන්නෑ.

      කොටසක අවසානයේ තිගැස්මක් ඇති කිරීම ඒතරම් ලේසි වැඩක් නෙවෙයි. ඒකෙන් තමයි අනික් කොටසට අපිව ඈඳාගන්නෙ.

      Delete
    3. ස්තුතියි.. මම හිතුවේ එක සාකැස්ටික් විදියට ලිව්වා කිවල. බොහොම ස්තුතියි මේ කතාව කියවනවට උනන්දුවෙන්. සමහර කොටස් වලට එහෙම තිගැස්මක් දෙන්න නම් බැරි උනා තමයි. එහෙම නොකළේ සමහර වෙලාවට ඒවා මැද හරියෙදිම ඉවර වෙච්ච නිසා වෙන්න ඇති.

      කොහොම උනත් ස්තුතියි

      Delete
  4. /සවස හය පසුවී විනාඩි හතලිහට පමණ වේලාවකදී, මමත් නිමන්තිත් අප පාසලේ ඊසානදිග තාප්ප කොනේ හොරගල් අහුලමින් උන්නෙමු. /

    ඈ බං, මධුලිකාගෙ සැටිපිකට් කොහොමද අර තික්කුද බික්කුද මොකාද එකාගෙ ඉස්කෝලෙ තියෙන්නෙ? ඇයෑම් රියලි ඇන්ඩ් ටෝටලි කොන්ෆියුසියස්ඩ්.. ඇක්ස්ප්ලේං පිලීස්...

    /ඉතා අඩු වයසකින් දියුණුවේ හිනිපෙත්තේ උන් ව්‍යාපාරිකයාය. අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් පවත්වාගෙන යන පුවත්පතක්, බිස්කට් කම්හලක් සහ වාහන අංගන රැසක් මෙන්ම මුල්‍ය සමාගම් කිහිපයක්ද වශයෙන් ව්‍යාපාර රැසක සිය අක්මුල් පවත්වාගෙන සිටි අයෙකි. /

    අම්මට වූඩු..එයාද මධුලිකාගෙ තාත්ත? ඒ මනුස්සයට ඔය ළමයි කේස් විතරයි අඩුවකට තිබ්බෙ..ඩ්‍රග්ස් බිස්නස්, මාෆියා කනෙක්ෂන්, ආයුධ වෙළඳාම් ..ඒ මනුස්සය ගැන මොන තරම් කටකතා ඒ කාලෙ රටපුරා පැතිරුනාද? ඒත් ඔය ළමයි කේස් එකක්නම් අයි හෑව් නෙවර් හර්ඩ්..උඹ කොහොමහරි අන්තිමට එහෙම කතන්දරේකුත් හැදුව එහෙනං ඈ? සෝ බෑඩ් කියන්නත් සෑඩ්..:(

    ReplyDelete
    Replies
    1. ඇයි හත්වලාමේ, මුන් ඔක්කොම එකම ඉස්කෝලෙනේ.... කලින් කොටස්වල බීඩි විතරක් කියෙව්වම ඔහොම වෙනවා. බීඩියක් ඔතාගෙනම කියෝන එකයි මීටපස්සේ

      හි හි හි... ඒ මනුස්සයාට එහෙම එකක් නොතිබ්බොත් අඩුවක් වගේනේ! ඔන්න ඒකත් හරි එහෙනම්.

      Delete
    2. හරි හරි හරි මට අප්සෙට් ගියේ අර කොන්වන්ට් කතාවෙන් නෙව. ඕකේ. මේකේ..නව් අන්ඩස්කර්ට්...ඒ කොන්වන්ට් එකේ තමයි මධුලිකා නැවතිල හිටියෙ නේද? ඉස්කෝලෙ දෙන්නම එකේ එතකොට...හරි..හරි...රිග්‍රෙට් මිස් අන්ඩර්ස්කර්ටිං...

      Delete
  5. මට මේ වෙලාවේ මතකයට එන ජගත් පූජිත කතාවක් වේ. ඒ අනෙකක් නොව "වැළි කතරක අතරමංව" ය! එහි ප්ලොට් එක මෙසේය. වැළි කතරක අතර මං වූ මිනිසෙක් ගල් ගුහාවකට ගෙවදී. ඒ ආරක්ෂාව පතාය. එහෙත් රාත්‍රියේ එය තුලට පැමිණෙන්නේ එම ස්වභාවික නිවස්නයේ නියම උරුමක්කාරියය. ඒ අන් කිසිවෙකුත් නොව රුදුරු බිළාලයෙකි. (ජගුවරයෙකු වැනි! ) එහෙත් මෙම මෘගයා මිනිසාව කා නොදමයි. අනතුරක් නොකරයි. මන්ද ඇයද ඔහු මෙන්ම වැළි
    කතරේ අතරමංව හුදෙකලාව විසින් දැඩිලෙස පෙලීමකට පත්ව ඇති
    හෙයින්‍ ය. මෙය අභව්‍ය කතාවක්සේ හැඟෙන්නේ එවන් අවස්ථාවකට පත්වන තුරුය. මධුළිකා; තීක්ෂණ පිළිඳව මොන තරම් කරුණු දැන ගත්තද, ඔහු පිළිබඳව පැහැදීමක් තිබුනද නැතුව වුවද තම පැවැත්ම වෙනුවෙන් එවන් තීරණයකට එළඹිම අස්වාභාවික කරුණක් නොවන්නේය. විශේෂයෙන් ආදරය, රැකවරණය වැනි කාරණාවලදී කාන්තාවක් බොහෝවිට තමා මෝඩ වෙමින් බව දැන දැනත් තීන්දු තීරණ වලට එළඹේ. තීක්ෂණ; චාපා සමග ගත කරණ ජීවිතය පිළිබඳව දැන දැන වුවත් මධුළිකා ඔහු හා විවාහ වන්නට තීරණය කරණ්නෙ "ඔහු සමග තමා ආරක්ෂිතය!" යන නිගමනය මතද නොඑසේනම් "ඔහු එයාට එහෙම කලාට මට එහෙම කරණ එකක් නෑ!" , "දැං ඔහොම උනාට බැන්දාම පිරිමි හොඳ වෙනවා!" වැනි ප්‍රපංචයක් මත සිට ගෙන දෝ යි කියා සිතා ගැනීමට මධුලිකා කතා කරණවා මදිය! කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රනිල්ට; මෛත්‍රී සමග
    ාඅණ්ඩුව කරණවා හැරුණු විට වෙන යම් විකල්පයක් නැතිවා මෙන්ම මධුළිකාටද ගන්නට වෙනත් තීන්ඳුවක් තීරණයක් නොමැත.හදා ගන්නට මිනිස්සු ගන්න එක කෙසේ වෙතත් හදා ගන්න වාහන කටු හන්න එක ගැන
    නම් මා හොඳාකාරවම දනිමි ! එයට සැබෑ ආදරයක් මෙන්ම අවශ්‍යතාවයක් ඇවැසිය! මමද එවන් ව්‍යාපෘථියකට අත ගාසා සිටිමි. ඒ පිළිබඳව ලියන්නට කල් වැඩිය!

    ReplyDelete
    Replies
    1. කතාවේ සංක්ෂිප්තය මේ විදියට ලියන්න නම්, උනන්දුවෙන් කියෝලා තියෙන හැඩයි. ස්තුතියි!
      මමත් උතසහ කලේ මධුලිකාගේ ඒ මානසික කැලඹිල්ල ගැන කියවන්නා හිතවන්න තමයි. මගේ සාර්ථක බවද, නැතිනම් තට්ට මහත්තයාගේ හැකියාවද මන්ද ඒ ටික නම් අහුවෙලා තියෙන්නේ.

      වැරදි නම් ඇති, ඔබතුමා කියන ඔය පොත් නම් මෙලෝ දෙයක් කියෝලා නැති හුඹස් කටක් (සකස්කඩ කියෝලත් නෑනේ!) වෙච්ච එක ගැන සෑහෙන්න ලැජ්ජා වෙනවා. ස්තුතියි මේ අනුපාන වලට

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි