විසිතුරු කොල

Sunday, July 11, 2021

260: සුහදිනියේ - 51 | අවිනිශ්චිත අනාගතයක් කරා

 කලින් කොටසට 

 වැටෙන්නට ගිය  සුසුම මම පපු කුහරය තුල රඳවා ගත්තෙමි. මගේ වම් අත මිට මෙලවන්නට ඇත්තේ එබැවින් වන්නට ඇත.

මධුලිකාගේ ගුවන් ටිකට්පත සුදානම්ය. ඇත්තේ මගේ  දික්කසාදය පිළිබඳ කඩදාසියේ අත්සන පමණි!


 

තාරුක අයියාට හෝ මධුලිකා ගැන පෙරදින දැනගත් කාරනා මම නොපැවසුවේ ඒ වනවිටත් ඔහු  මධුලිකා ගැන නොපහන් බවක් තිබුණු බැවිනි. ඇය ගැන අනවශ්‍ය තරහක්  මේ වෙන්වයාමෙන් තැබීමේ පලක් නැත.

ඒ ආරංචියෙන් මද වෙලාවකට පසුව මම තාරුක අයියා අතින් , වාකිෂ්ඨ මහතා විසින් එවනලද ලියවිලි සහිත ෆයිල් කරවයද අතැතිව ජීප් රථයට නැගුනෙමි. හදවත සෝදාපාළුවට ලක්වූ ඉඩමක් පරිද්දෙන් මුසල බවක් උසුලයි. තාරුක අයියා හමුවන්නට පෙර මධුලිකා සතු මහල් නිවාසයේ භාණ්ඩ ඇයට බාරදීමට කියා අස්කරන්නට ගියද, තත්පරයක් පාසා මතුව එන වේදනාව ඉවසාගත නොහී මම එය පසෙක තබා මධුලිකාට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

'මහල් නිවාසයේ තියෙන ඔයාගේ බඩු ටික ඇවිත් ගන්න'

මොහොතින් ඒ පණිවිඩය කියවා ඇති බවට සලකුණු  වුවද, පිළිතුරක් පැමිණියේ ඉන් හෝරාවකට පමණ පසුව තාරුක අයියාගේ කාර්යාලයෙන් පිටත්වූ මොහොතේය.

 'ඒවා මොකවත් මට එපා'

 දහවල් වනවිට මම අතිශය කාර්යබහුල වුයෙමි.  තාරුක අයියා වෙතින් පිටත්ව , වත්තට ගොස් එහි අලුත් ඇනවුම් සියල්ල පරික්ෂාකොට, ඒවායේ  ගණුදෙනු පියවූ මට වාකිෂ්ඨ මහතා දෙවතාවක්ම හමුවිය. ඒ හැම විටකම ඔහු මා දෙස නිහඬවම ආදරයෙන් මෙන් බලා සිටිනු මට දැනුනි. නමුත් මම ඔහු සමඟ කතාකරන්නට රැඳුනේ නැත.

නැවත නිවසට එනවිට සෑහෙන්න සවස්වී තිබුණු අතර තාත්තා නිවසට රැගෙන යාමට ඇති නිසා අම්මා මම රියදුරු අත රෝහලට පිටත්කලෙමි. අම්මා පැවසුවේ විරංග මවත් එතනට පැමිණ සිටින බවයි. විරංග එතන සිටින්නටද පුළුවන.

කුමක් සිදුවුවද මම විරංගට අනුකම්පා කරමි. අමිහිරි ළමාකාලයක් හිමි ඔහු මට හිතෙයිෂි මිත්‍රයෙකි. සිදුවූ සියල්ල සිහිකළ විට මධුලිකා සම්බන්ධයෙන්  ප්‍රේමයෙන් සිටීම විනා ඔහු  මට කල විශාල වරදක් නොවිය. මධුලිකා වෙත ප්‍රේමය නොදක්වා සිටිය නොහැකිය.

මා වෙත ඇති අභියෝග  සියල්ල අතරින් මගේ පාලනයෙන් ගිලිහි ගිය සහ කිසිදා ළඟාවිය නොහැකි ඉමකට මධුලිකා තල්ලුවී යනු අපහසුවෙන් උවත් මම තේරුම්ගෙන සිටියෙමි. වේදනාව කවරක් වුවද ඒ සත්‍යට අභියෝග කරන්නට මට දැන් ආයුධයක් නොමැත. සිතාමතා හෝ නොසිතා මා අතින් සිදුවූ දේවල් නිවැරදි කරන්නට හෝ හරවන්නට හැකි නොවේ.

එදා මධුලිකා එලෙස බේරා නොගත්තා නම්, අද මේ වනවිට  මිට වඩා වෙනස් කෝණයක  සමිකරණයේ ඉත්තෙක් ලෙස සිටින්නට ඉඩ තිබිණ. මධුලිකා මෙසේ මා වෙත ලඟා නොවී වාසුලගේ ගොදුරක්ව හෝ සිය ජිවිතයෙන් වන්දි ගෙවන්නට ඉඩ තිබෙන්නට ඇත. 

මධුලිකා ගැන ම සිත තුල රාගය පරයා ප්‍රේමයක් ඇති නොඋනානම්, මේ සියල්ලම මිට වඩා  විසඳෙන්නට තිබුණු බව පමණක් මට කිව හැකිය. ඒවා සියල්ලම සම්භාවිතාවයක් මිස එකහෙලා ලියා තබන්නට හැකිද?

එබැවින් මගේ ප්‍රේමය මහා වේල්ලක් නොකොට, මේ ගංගාව එය අයිති පෙම්වත් සයුර කරා යන්නට ඉඩහැරිය යුතුය. යුද්ධයකින් තුවාල ලද සොල්දාදුවෙකු සේ මම අඩපණව ගොස්ය.

තාත්තා නිවසට රැගෙන යාමෙන් පසුව අපද මේ නිවසෙන් පිටවීමට කාලය එළඹ ඇති නිසා, මම කාමරයේ සිට මගේ ඇඳුම් බෑගයට ඔබමින් උන්නේ දොරට පිටුපා බිමට නැමිගෙනය.

'ටක් ටක්'

මට ඉබේමට හැරී බැලුණි. ඒ මධුලිකාය. මට ඉබේටම කෙලින්ව ගොස් අපහසුවෙන් සිනාවක් නගා ගත්තෙමි. සාමාන්‍ය ලෙස හැසිරෙන්නට මම මගේ සිතට තරවටු කරගත්තෙමි.

". පො.ද...ද..ඩ් ඩ් ඩක් කතාකරන්න?"

කලින් දවසේ මිතුරිය සමඟ ගිරවියක ලෙස කියවූ ඇයට දැන් වචන නොඑන්නේ ඇයි ? ඒ මොහොතේ තිබුණු  දුක්බර  ,අසරණ බවක සේයාවක් හෝ ඒ මුහුණේ කොතැනකවත් තිබුනේ නැත. මා මෙන් කැඩී බිඳී ගිය බවක්වත් නොමැත්තේ මගෙන් මිදීමට ටිකට්පත ලැබීමේ ප්‍රීතියද?

මම හිස දෙපසට සෙලවුයේ අවිනිශ්චිත බවකිනි. බෑගයට දමන්නට ගත් අත තිබුණු කමිසය එසේම ගුලිකරගෙන මම කාමරයෙන් එළියට පැමිණියේ මධුලිකා දොරෙන් පසෙකට වන විටයි.

"හ්ම්ම්?"

"..."

"කියන්න"

 මධුලිකා බිම බලාගෙන යටිතොල තදින් විකාගෙන උන්නාය.

'ඔය කෙහෙල්මල් හැපිල්ල නතර කරනවා!'

මගේ සිත විසිරෙන්නේ ඒ සරාගී දෙතොල් වලින් කරනා විනම්බෑසිය නිසාය.මම නොසන්සුන්ව ඉවත බලාගත්තෙමි. දැන් නම් ඉවසුවා හොඳටම ඇතිය!

 "මැඩම්.......,  ගෑනුලමයි ඔය ලිප්ස් ඔහොම හපන්නේ සෙක්ස් කරන්න ඕනේ නම්. මම හිතන්නේ නැහැ මැඩම් ආවේ ඒකට කියල... ඉක්මනට කියන්න ආපු දේ"

මධුලිකා ගල් ගැසී මා දෙස බැලුවේ හොල්මනක් දුටු පරිද්දෙනි. මම සැහැල්ලු ලෙස සිනාසී ඇහිබැම ඔසවා බැලුවෙමි.  සිතේ සිරකර තබාගෙන සිටිය යුතු නැති දේවල් තීක්ෂණ දැන් සීමාව වෙනස්කොට ඇත.

'වෙන දෙයක් උනාවේ'

'ඒ පාර අර ඇස් ලොකු කරලා බැලිල්ල'

මධුලිකාට බොරුවට මෙන් ඔරවා නළල රැලි කළාය. අනතුරුව මුව පියා ඒ මේ අත හරවමින් සිට ඉවත බලාගත්තාය.

'ඇති යන්තම් ගිනිපෙල්ල වගේ නැතුව ' 

මම කිසිවක් නොකීවා සේ සැහැල්ලුවෙන් සිනාසුනේ මහා සහනයක් සිතට  දැනුනාක් මෙනි. එය එසේ නොවුනි.

"මොකක් උනත්.. අපි තරහවෙන්න හොඳ නැහැ තීක්ෂණ..."

මේ එන්නේ නම් හොඳ පොටකට නොවන බව මට සිතුනි.

 "හ්ම්ම්.. ඒක හොඳ අදහසක්"

 මම හිස ඒ මේ අත හරවමින් කිව්වෙමි. ඈ මාතරම් නිරෝගීව සිටිනම්, මම වේදනාවක් පෙන්විය යුතු නොවේ!

"මම... ම.. ම..."

"මට ආරංචියි වීසා එකයි, ටිකට් එකයි හරි කියල"

මට අවැසි ඇගේ වේදනාත්මක මුහුණේ තිව්‍රතාවය මදිවාක් මෙන් මගේ වියරු සිත මුරගානු ඇසුනි. රිදුනු බවට සලකුණු ඒ මුහුණේය.

"..... ඔයාට පුළුවන් ඒ ටික දවස මෙහෙ ඉඳල යන්න"

සුපුරුදු හිතක් පපුවක් නැති තීක්ෂණ හදවත පාගා ගනිමින් නිනව්වක් නැතිවා සේ කතාකරයි.

මධුලිකා ටයිල් පොලවේ කකුලේ මහපටඟිල්ලෙන් මොනවාදෝ බලිගාන්නට වුවාය.

".. ටාෂි ඔයාව ෆ්ලයිට් එකටත් දාන්නම් කිව්වා"

බොරුවක් වුවත් එය යසට ගැලපී ගියේය.

"ම.. ම.."

මම දෑතම පපුව ඉදිරියේ ගැට ගහගෙන මධුලිකා දෙස එක එල්ලේ බැලුවෙමි.

"තවත් මොනවද?"

මධුලිකා හිසේ පැත්තක් ඇලකොට පමණක් මා දෙස බැලුවාය.  මුහුණේ තිබුනේ රිදුමක් කැටිවූ අමුතුම පෙනුමකි.

'අන්න ආයිත් අර කෙහෙල්මල් බැල්ම'

මම සන්සුන් වීමට පොරකමිනි. ඒ ක්ෂණයෙන් මා කිසිදා නොදුටු ඇගේ පෙම්වතා  ගැන නැගුනු භයානක ඉරිසියාවකින් දැවී පිච්චි යමින් තිබිණ. ඔහු දෙසද මේ ලෙසම, නැත මිට වඩා පොළඹවන ලෙස බලනවා ඇති! කිසිදා නොදුටු ඔහුට මම සිතින් බිම පෙරලාගෙන පහරදෙමින් උන්නෙමි.

"මේ.... මමයි උදානියි..... මේ.... පොඩි ගමනක්... යන්න ඕනේ ඊට කලින්"

මම ඇහිබැම අකුලවා බැලුවෙමි.

"මොන ගමනක්ද?"

"මේ... මට උදානි එක්ක යන්න පුළුවන්.."

මම කේන්තිය අපහසුවෙන් වළක්වාගෙන පැවසුවෙමි.

"මම අහන්නේ මොන ගමනක්ද?"

"පොඩි ගමනක්... ඒක ගර්ල් ගමනක්"

මධුලිකා සුරතල් ලෙස ඇස කරකවමින් කියන විට මගේ සිත විසිරෙයි.

"මධු මගේ යකා අවුස්සන්න එපා දැන්...  රවුම් ගහන්න තරම් සිටුවේෂන් එකක් නෑනේ.. "

"අනේ මගේ එග්සෑම් රිසල්ට් හොඳ උනා කියලාවත් නැද්ද සහනයක්.. තෑග්ගක් !"

"ඒකටනේ ඉතින් මේ මගෙන් ඩිවෝස් එකත් හම්බෙන්නේ.. තෑග්ගක්!"

එය නම් මධුලිකාට නිලයටම වැදුණු පහරක් බව සර්වාන්ගයේම සලකුණු වලින් දැනුනි. මගේ කට! පැරණි තීක්ෂණ ඇතුලාන්තයේ වියරු සිනාවක් පාමිනි. ඒ උනත් සිතට දුකක් කාන්දු වීමට ගතවුයේ ක්ෂණයකි.

".. හරි හරි... දැන් මොනාද ඕනේ? ෂොපින් ද? ඒවා ඔන්ලයින් ඕඩර් කරන්න. කොහෙවත් යන්න එපා දුලිප්ට ඉව වැටුනොත් ඉවරයි "

අනුලාගේ අන්තරාව මම සඳහන් නොකලෙමි.

"අනේ ෂොපින් නෙවෙයි... මම ෂොපින් කරන්නේ නැහැ.. එහෙම මුකුත් ගෙනියන්න දෙයක් නැහැ"

'එතකොට අර ඔයාගේ බෝයිෆ්රෙන්ඩ්ට ගෙනියන්නේ මොනාද?'

මම දෙතොල තරකොට සපාගත්තේ ඒ වැකිය පිටට පනිවි යයි බියෙන් මෙනි.

"එහෙනම් මොනාද? ට්‍රිප් යන්න බෑ ඔය දෙන්නට!"

මධුලිකා නෝක්කාඩුවට මෙන් මුහුණ අකුලවා ගත්තාය. ඈ වෙත ඇති ඒ ජීවී බවට මම ආශා කරන තරමක්! ඔක්කොම ඩ්‍රාම !

"නෑ ට්‍රිප් නෙවෙයි.. අපි ඉන්නේ ඇතුලේ..."

"මොන හරුපයක් කියනවද මන්ද.. එළියට යන්න ඕනෙලු.. ඇතුලේ ඉන්නේලු.."

"මම .. මේ කිව්වේ... ඩීජේ තනුජිකා ප්ලේ කරනවා වයිට් වෝට ක්ලබ් එකේ දවස් දෙකක්... ලංකාවෙන් යන්න කලින් එකම එක පාරක්...."

සිනාසෙන්නද හඬන්නද කියා මට නොතේරේ.

"මට දැන් කියන්නේ ඔයාලට ඩීජේ එකට ක්ලබ් එකට යන්න ඕනේ කියලද? අන්දකයිප්පු කැවිලද?"

"අන්දකයිප්පු කියන්නේ මොනවද?"

කෝපය ඉක්මවා මට 'බකස්' ගා සිනහවක් නැගුණි.

"ක්ලබ් යන්න බැහැ පිස්සුද?"

"අනේ... ඩීජේ තනුජිකා ප්ලේ කරනවා මට ආය බලන්න වෙන්නේ නැහැ... අනේ තීක්ෂණ... ප්ලීස්..."

"ඔව්  තමයි... ආයේ එන්නෙත් නෑනේ"

මධුලිකාගේ මුහුණ අඳුරු වුවද කිසිවක් නොකීවාය. සියුම් වචනයෙන් මම ඈ රිදවිමිනි. ඈද විඳවිය යුතු නොවේද? ඈ සිය පෙම්වතා සොයා යන්නේ නම් මට මෙන් වේදනාවක් දැනෙන්නට හැකියාවක් නැත.

"එහෙ ගියාම පුළුවන්නේ.."

"උදානි එක්ක මට කොහෙවත් යන්නවත් බැරි උනා... පව් එයා මට සෑහෙන්න උදව් කළා"

මට පමණක අනුකම්පාවක් මධුලිකා කෙරෙහි ඉපදුනු බව සැබෑය. උදානි නොව ඈ සිටියේ මගේ නිවාස අඩස්සියේය. මා තුල වූ ඒ ආරක්ෂක අධිමාත්‍රාවෙන් ඈ කොතරම් බැටකෑවාද?

"මධු... ක්ලබ් වලට යන එක සේෆ් නෑනේ... කොළඹ ක්ලබ් කොහොමත් දුලිප් ලා ඉව කරන තැන්"

කඩාපැනීමක් වෙනුවට මගේ හඬ වෙනමම ස්වරයක් ගත්තේය. මධුලිකා හඬන්නට මෙන් මුහුණ සාදාගෙනය.

"අනේ තීක්ෂණ... එකපාරයි... උදානි එක්කනේ"

"ආපෝ.. මේ..කොහොමත් ඔය දෙන්නව තනියෙන් යවන්න බෑ "

මම මගේ සුපුරුදු බල අධිකාරිය දක්වා සිටියෙමි. ඒ පැරණි තීක්ෂණයි.

"කොහොමහරි මට යන්න කලින් දවස් දෙකක්වත් ඩීජේ යන්න ඕනේ!"

සුපුරුදු හිතුවක්කාර මධුලිකා දෙපා බිම ගසමින් කියද්දී මගේ සිත මෘදු වුයේ සිනාවක් සමඟිනි.

"හරි මම බලන්නම්... උඩපනින්නේ නැතුව ඉන්න"

"හ්ම්ම්ම්..."

මධුලිකා ආපසු හැරුනේ පෝනියෙක් මෙන් උඩපනිමිනි. ජීවයෙන් පිරුණු මධුලිකා! මගේ ග්‍රහණයෙන් මිදෙන ප්‍රීතිය නිසා සැහැල්ලු වී ඇති හැඩයකි. සිය ප්‍රේමය සොයා යන අපූරුව ! යමින් සිටි ඈ අකුණක් මෙන් ආපසු හැරී සිටියාය.

"අර... අන්තිම ප්‍රශ්නේ තාම ඉතුරුයි හරිද?"

මගේ හදවත බරුගසා , මැරෙන්නට පන අදිද්දී ඒ මත උඩ පනිමින් දුවන මගේ ජීවිතය වන් මධුලිකා!

*********************************************


අනුලා නැවත රෝහලට පැමිණි බවට හෝඩුවාවක් නොතිබිණ. ඈ පසුබැස්සා .විය හැකිය. එය කොතරම් කාලයකටද කියා නොදනිමි. 

පෙරදා සිදුවීමෙන් පසුව වරින්වර අප අතර කතාබහ සිදුවුවත්,  තාත්තාත් මාත් අතර අනුලාගේ ආගමනය සිදුවූ අවස්තාව ගැන කතාබහකට අවකාශයක් නොවුනි. එය එසේ වුයේ මම එය හිතාමතා එවන් අවස්ථා මගහැරී නිසා වන්නට ඇත.

තාත්තා නිවසට ගෙනයනවාත් සමඟ මම අපගේ පවුලේ අයත් සමඟ ටාෂාගේ නිවැසියන්ට සමුදී නැවත නිවසට ආවේ සැලසුමක් සිත දරාගෙනය.

සාත්තුව සඳහා හෙද සේවාවක්ද , ආරක්ෂක ආයතනයකින්  ආරක්ෂකයින් දෙදෙනෙක්ද මම ලබාගත්තේ ඕනෑම දෙයකට සුදානම් වීමටය.පුදුමයකට වාගේ ටාෂාගේ මවත් මගේ අම්මාත් අමුතුම ලෙසකට හැසිරෙන්නට පටන්ගෙන තිබිණ. 

"මධුව බලාගන්න "

පිටත් වන්නට ප්‍රථම ටාෂාට මම එලෙස පවසද්දී ටාෂා පවා පෑවේ නුහුරු  අභිනයකි. එබැවින් මධුලිකා එහි තබා නිවසට ගිය මොහොතේ පටන් මම සිටියේ නොසන්සුන් මනසකිනි. මේ තත්වය මට නුහුරුය. මධුලිකා නොමැතිව නුහුරුය. ඈ මෙහි ගෙන එන්නට මට කියන්නට හේතුවක් තිබුනේ නැත!

'මොකද වෙන්නේ?'

මම ලියා යැවු පහළොස්වන කෙටි පණිවිඩය මධුලිකා බැලු බවක් නොපෙනේ. නිවසේ අනිත් සියල්ලෝම තාත්තා ගැන සිතමින් ඉද්දි මම නොසන්සුන් මනසින් ඒ මේ අත යමින් හිඳ කෙටි පණිවිඩ කිහිපයක් යැව්වද  ඒ කිසිවකට මධුලිකාගෙන් ප්‍රතිචාරයක් නොමැත. ටාෂාට මධුලිකා ගැන විමසමින් යැවු පණිවිඩ ඈ කියවා ඇති බවක් පෙනුනද පිළිතුරක් හෝ ලැබුනේ නැත.

 සවස් වනවිට මම නොසන්සුන් කමේ අන්තයට ගොස් සිටියෙමි.

"අම්මා මම ටිකක් එලියට ගිහිල්ල එන්නං "

එලෙස කියාගෙන මම ජීප් රථයට නැගුනද කොහි යන්නද කියා අදහසක් නොවිණි. සුක්කානම කැරකි අවසානයේ මම ටාෂාගේ නිවසේ මිදුලේ උන්නෙමි.

වාහනයෙන් බිමට බසිද්දී සිනාසිගෙන ටාෂා ගේ මව ; වෙරොනිකා ආන්ටි; පැමිණියාය.

"අනේ.. පුතා ආපු එකේ කොච්චර දෙයක්ද? ඔයාලා ඔක්කොම ගියාට පස්සේ ඉන්න බෑ හරි පාළුයිනේ ! ටාෂිත් නහයෙන් අඬ අඬ මේ හිටියේ"

"ආ..."

මම  උගුරෙන් මෙන් පැවසුවේ කෙඳිරිල්ලක් මෙන් අපහසු සිනහවක්ද සමඟිනි. මගේ ඇස නිවසේ ආලින්දයෙන් යන මධුලිකාගේ කාමරය තෙක් ඒ මේ අත යන්නට ඇත.

"වාඩිවෙන්න පුතා.. ඉන්න මට ටාෂිට කියන්නම්... "

වෙරෝනිකා ආන්ටි ආඩම්බරයෙන් මෙන් කියා ගෙතුළ තුලට ගියාය. සාලයේ  පසෙකින් තේ කරත්තය තල්ලු කරගෙන පැමිණියේ මගේ හිතවත් සේවිකාවයි.

"කොහොමද නීලා ? "

"මුළු ගේම පාලුයි මහත්තයල නැතුව. ආපු එක කොච්චර දෙයක්ද?"

පිටත්වන්නට පෙර ඈ අත මම ගුලිකල රුපියල් පන්දහසට වඩා ඒ හිතවත්කම පිරිසිඳු බව මම දනිමි.

"සුදු නෝනා උඩ පූල් එකේ.."

"...."

".... තේ හදන්නද මහත්තය? නැතිනම් කූල් මොනවාහරි?"

මගේ බැල්මේ ව්‍යාකුල බව ඇයට වැටහෙන්නට ඇත.

"අර... අනිත් නෝනා කෝ? සුදු නෝනගේ යාළුවා?"

සේවිකාවට  දිලිසෙන සිනාවක් නැගුණි. තේ කෝප්පයක් ගෙන ඈ මගේ පමණට කිරි වත් කරමිනි.

"ඒ නෝනත් එක්ක තමයි ඔය පූල් එකේ"

"හ්ම්ම්"

මම මදක් තාවර වෙමින් කල්පනා කලෙමි. ඈ බලන්නට යන්නට කියා සිත කියයි. නීලා සිනාසෙමින් මට තේ කෝප්පයක් සාදමිනි.

"දාල ගියාට ඉන්න බෑ නේද මහත්තය?"

මම ඩිම් වී ගියෙමි. මොහොතින් වෙරෝනිකා ආන්ටි මතුවූ නිසා ගැස්සුණු සිත එලෙසම පසෙක තබා සේවිකාව දුන් තේ කෝප්පය අතට ගත්තෙමි. ඒ කීවේ මධුලිකා ගැනද? ටාෂා ගැනද?

"ටාෂි උඩ පුල් එකේ.. පුතා යනවද?"

සේවිකාව පිටවනතුරු මම පිළිතුරක් දීම පමා කලෙමි. එලෙස යාමෙන් ඈ තවත් මේ ගින්දරට පිදුරු දමනු ඇත.

"නෑ ආන්ටි මම ඉන්නම්"

මම එලෙස කියා ඉක්මනින් දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තේ ක්ෂණික තීරණයක් ගැනීමෙනි.  

පැයක් පමණ තිස්සේ මම උන් දුරකථන සංවාදයන් වලින් පසුව මම සාලයේ පසෙකින් කවුරුන් හෝ ඇතුල්වන බවක් දැනුනෙන් හිස යන්තමට හැරවුණේ ඉබේටම මෙනි.


 

මධුලිකා කොට කලිසමක් සමඟ ඇගේ අර සරාගී බඳ ලෙලවමින් , කේශ කලාපය විදහා සාලය හරහා යමින් සිට මා දැක ඉද්දගැසුවා සේ නතර වුවාය. ඇගේ විලවුන් වල සුවඳ මගේ සර්වාංගයම සලිතකොට දැමීය. මගේ දෑස ඈ වෙතම ඇලි ගොසිනි.

"ආ..."

මට එකවරම උගුර ක්‍රියාවිරහිතව ගියාක් මෙනි. නැවත උගුර පාදා මම කෙල පිඬක් ගිල්ලෙමි.

".... මේ අර ඩීජේ..."

කරෙහි දමාගෙන උන් සාළුවක් වැනි  දෙය අතට ගත් මධුලිකා ඇස් රවුම්කොට බැලුවාය. දැන් මේ සියල්ලටම මම නිර්වින්දනය විය යුතුය. 

"... මෙහෙමයි... කොළඹ ක්ලබ් වලට යන්න බැහැ.. ඒක සේෆ් මදි. නිගම්බෝ  තියෙනවා ජෙට්වින් හොටෙල් එකක්.. ඒකෙ දවස් දෙකක්......... එක ළඟ නම් නෙවෙයි, ප්ලේ කරනවා. මම බුක් කළා එතැන "

මධුලිකා කට බලියාගෙන උන්නාය.

"... ඇහුනද මම කියපු එක? ඇයි දැන් එපාද?"

මධුලිකා සිහි එලවා ගත්තාක් මෙන් මා දෙසට අඩි කිහිපයක් ඇවිද ආවාය.

"ආ... නෑ නෑ ඒක හොඳයි... කවදද ඔය?"

මම දුරකතනයෙන් පැමිණි කෙටි පණිවිඩ පිරික්සුවෙමි. මධුලිකා මා අසලටම පැමිණ ඇති බව ඇගේ විලවුන්වල විසිරිමෙන් කියාපෑවේය.

"දහයයි, දාහතරයි .."

"ඈ ! හෙටද දහය කිව්වේ?"

"ආ.. ඔව් තමයි.. හෙට තමයි. මට අද නමය කියලා අමතක උනානේ... ඔව් තමයි"

මධුලිකා මා දෙස බැලුවේ කට කොනක් සිනාසෙමිනි.

" මහලොකුවට වත්තක් පාලනය කරනවා කියල කියන්නේ, දවස දන්නෙත් නැහැ"

මටද සිනාවක් නැගුණි.

"ආ.. එහෙමද? ඩෙනිම් අඳිනකොට මිට පස්සේ සිහි කල්පනාවෙන් ෂිප් එකත් දාන්නකෝ එහෙනම් මෑම් !"

මධුලිකාගේ අත විදුලි වේගයෙන් කලිසමේ සිපරය වෙත යද්දී මම තොල්පටවල් දෙකම තදින් මුව තුලට දමා සපාගත්තෙමි. එසැනින්ම මම අසුනෙන් නැගී සිටි අතර ටාෂා සිනාසිගෙන සාලයට පැමිණියාය.

"ආනේ තිකූ... ගොඩක් වෙලාද ඇවිත්? මමාට මම කිව්වනේ පූල් එකට එන්න කියන්න කියලත්. මොනාද බොන්නේ?"

තේ කෝප්පය තිබු ලෙසම කෝපි මේසය මත ටාෂා දකින්නට ඇත.

"ආ.... නෑ අවුලක් නැහැ. මම මේ ළඟට ආපු ගමන්. නිකන් ඇවිත් යන්න ආවා ටාශි"

මධුලිකා අඩියට දෙකට එතැනින් පැනගියේ සිදුවූ අපහසුතාවය නිසා බව මට වැටහුණි. මගේ  කෙළිලොල් සිත තදින් සිනාසෙමිනි.

"අනේ තිකු අද රූෆ් ටොප් එකේ දාමු පොඩියට සින්දු පාටියක්"

 අවාසනාවට මෙන් වෙරෝනිකා ආන්ටි ඒ අසලට පාත්වුයේ කොහි සිටදැයි නොදනිමි.

"බෑ ටාශි... අද මට වැඩක් තියෙනවා. පස්සේ බලමු... එහෙනම් මම යන්නද?"

"ආ.. අපු පයින්ම?"

වෙරෝනිකා ආන්ටි සැබෑ හැඟීමෙන් කියන්නට ඇත.

"මම මේ ඩඩාට බෙහෙත් වගයක් ගන්න ආවේ... ඉක්මනින් යන්න ඕනේ..  තරහ වෙන්න එපා ආන්ටි.. යන්නම් එහෙනම්"

මම ආපසු හැරෙද්දී ටාෂා මගේ පසුපසින්ම එනු මට දැනුනි. මම යන්තමට හිස හරවා බැලුවෙමි. මධුලිකා කොහිද?

"ඇයි ෆෝන් එකට උත්තර නොදුන්නේ?"

මට දැනගත යුතුව තිබුනේ මධුලිකා ගැන කිසි තොරතුරක් ඇය නොදෙන්නේ මන්ද කියාය.

"ආ.... මම දවල් පොඩ්ඩක් බිසී වෙලා හිටියා, මධූ එක්ක ඔන්ලයින් ෂොපින් කලානේ"

"...."

" එයාට අඳින්න ඇඳුම් වගයක් ගත්තා. "

අහේතුකව මෙන් එයින් මට රිදුණි. මධුලිකා පැවසුවේ ගන්නට කිසිවක් නොමැති බව නොවේද? ඇය මට බොරු කියන්නේ ඇයි ? මම වාහනයට නැගුනේ නිහඬවමය. 

"හරි මම ෆෝන් එක ඔන් එකේ තියෙන්නේ, ඕනේ වෙලාවක කතාකරන්න"

මම අපහසුවෙන් මෙන් හිස සලා වාහනය පිටතට ගත්තෙමි. මධුලිකා තවත් වරක් දකින්නට ඇතිනම්! කෙටි පණිවිඩයක් පැමිණියේය. තිරයේ සඳහන් වුයේ මධුලිකා ලෙස නිසා  වහා එය කියවීමි.

'ගොඩක් ස්තුතියි සර්. හෙට යන්න පුළුවන්. මට විස්තර එවන්න'

මම පිළිතුරක් නොබැඳ වාහනය පදවාගෙන ගියෙමි.

***************************************


 

මධුලිකා මා දෙස ඔරවාගෙන බලාසිටියාය.

"ඒ මොකක්ද ඒ?"

උදානි ඒ කිසිවක් නොසිතා වහාම ජීප් රථයේ පසුපස ආසනයට පැන්නාය.

"මෙන්න මෙහෙ නගිනවා හලෝ ඒ පාර හතර මායිම් හොයන්න තියාගත්තේ"

"එහෙනම් ඉතින් ගමන කැන්සල් කරමු.. කෝ ඉන්න මම කෝල් එකක් දෙන්න" 

මම වහා දුරකථනය ගෙන හෝටලයේ අංකය ඇමතීමි. දුරකථන ක්‍රියාකරවන්නිය මගේ අවශ්යතාවය් අසා අදාළ අංශයට එය යොමු කළාය.

"කැන්සල් කරන්න එපා , අපිට යන්න පුළුවන් කැබ් එකක් තිබ්බනම්"

මම  ඇමතුම විසන්ධි කලෙමි.

"දැන් මට මොකක්ද කරන්න කියන්නේ?"

මම ඔරවමින් ගෙරවුයෙමි.

"අනේ ඇත්තමයි මධුලිකා මට එන කේන්තිය කොච්චරද කියලා දන්නවා නම්! නගින්න අනේ.... "

 උදානි තරහින් කීවාය. මධුලිකා පුප්පාගෙන , මටත් ඔරවාගෙන පිටුපස ආසනයට නැග්ගේ බෑගය මහ හඬින් අතහරිමිනි. ඈ මේ පුප්පන්නේ ගමනට මම පැමිණි නිසාය.

"මේ.... නෝනලා  මතක තියාගන්නවා නම් හොඳයි, මම ඩ්‍රයිවර් නෙවෙයි. කවුරුහරි ඉස්සරහ සීට් එකට ආවොත් හොඳයි"

පොරකෑමක් සහ පමණක දබරයකින් පසුව මධුලිකා පසුපස දොරෙන් බැස , ඉදිරි අසුනට පැමිණ 'දඩාස්' ගා දොර වසාගත්තාය.

'පුදුම කේන්තියක් යන්නේ!'

මම කට කොනකින් සිනාසී ආසන පටි පෙන්නුවෙමි. මධුලිකා මහා තරහින් මෙන් ඒවා දමාගත්තේ කවුළුවෙන් ඉවත බලාගෙනය.

මම අවුකණ්නාඩි යුවල දමාගෙන මද සිනහවෙන්ම වාහනය පාරට ගත්තෙමි.

ඇස කොනෙන්  මධුලිකාගේ එරවිල්ල මට පෙනේ. අවුකණ්නාඩි නිසා මම බලන දිශාව නොපෙනීම වාසියකි.  

දනිස්ස තරමක මදක් කෙටි, තද රතු පැහැති සැහැල්ලු ගවුමක් හැඳ , ඊටම කැපෙන තොප්පියක් පැළඳ , සැහැල්ලු රතුපාටම සෙරෙප්පු යුවලක් පැළඳ සිටි මධුලිකා වඩා හුරුබුහුටියට මට පෙනුනි. මධුලිකාගේ තොප්පි පිස්සුව මම දනිමි.

"ඔය මල්ටි බිලියන් ඩොලර් වලින් කරන බිස්නස් තියෙනවා වගේ නෙවෙයි, මේක මගේ දුප්පත් ජීප් එක! ඊටත් ඒකත් ඩඩාගේ..."

උදානි හිකිස් ගා සිනාසෙනු ඇසුනි. මධුලිකා පුපුරමින් ඉවත බලාගෙනය.

"ඇති ඇති දෙන්නා පැටලුනා... තීක්ෂණ මට යන ගමන් පොඩ්ඩක් යාලුවෙක්ගෙ ගෙදර යන්නත් ඕනේ.. මම නිගම්බෝ  ටවුන් ඒරියා එකේදී කියන්නම්කො"

උදානි අන් කවරදාටත් වඩා මට හිතවත්ව ඇති ලෙසකි. මම නිහඬව හිස සැලුවෙමි. අධිවේගී මාර්ගයට  ඇතුළුකොට, ඒ ඔස්සේ  වාහනය ඇදී යනතුරුම අප අතර කතාබහක් නොවුනි.

මම ගුවන්විදුලි  ක්‍රියාත්මක කර වාහනය තුල උෂ්ණත්වය තරමක් අඩු කලෙමි. වේගය නිසා මගේ සුපුරුදු ගෝල්ඩ් FM පැහැදිලි නොවිය. මම වෙනත් චැනලයක් සුසර කලෙමි.

මදු මල ලෙස මුදු
මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර
ඔබට ලියන එක
මට ඇති එක සතුටයි

අපමන සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද
නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැම දේ
පරවි රැජිනියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි
 
හිත ගොලුවෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොලයට මුහුන යොමන විට
නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැම දේ
පරවි රැජිනියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි
 
මහා වේදනාවක් නොපෙන්නා සිටින්නට මට හැකි විය. චැනලය වෙනස නොකර සිටියේ  වෑයමකිනි.
 

මධුලිකාට ඒ අතරේ ඇමතුම් කිහිපයක්ම පැමිණි අතර ඉන් එකක් පෙරදා ඇය ඇමතු මාරියා නම් තරුණියගෙන් බව මට යන්තමට පෙනුනි. මධුලිකා එම ඇමතුම නොගෙන විසන්ධි කලේ මා දෙස හොරෙන් මෙන් බලමිනි. ඉන් පසුව ඇය යුහුසුළුව කෙටි පණිවිඩ හුවමාරු කරගන්නට වුවාය.

මධුලිකාගේ අතැඟිලි දුරකතනයේ  ගමන් කරනවා මිස ලියන්නක් මට නොපෙනේ. එහෙත් මා දුන් මුදුව නොමැති ඒ අතැඟිලි දෙස වරින්වර මා බලා සිටියේ පිටට  නොපෙනෙන සුසුමක් සලමිනි.

මිගමුව නගරය  පසුවී මද දුරක් ගිය පසුව මම උදානිගේ යහළුවාගේ නිවස අසල නතර කලෙමි. ඇය බැසගිය නිසා මම ජීප් රථයේ එන්ජිම ක්‍රියාවිරහිත කර , පසුපසට බර වෙමින් අසුනේ හරිබරි ගැසී සුසුමක් හෙලුවෙමි.

"සොරි"

 "අඃ "

ඇසුන දේ ගැන විශ්වාසයක් නොමැතිව මට නැගුනේ විමතියකි. කවුළුවෙන් එපිට මුහුණ තබාගෙන උන් මධුලිකා අපහසුවෙන් නගාගත්  සිනහවකින් මා දෙස බැලුවාය.

"සොරි... මම තරහට නෙවෙයි බැන්නේ... "

"ආ.."

"ඔයාට කරදර කරන්න හොඳ නෑනේ.. මම හිතුවේ අපිට යන්න පුළුවන් කියල"

"ඒකට කමක් නැහැ"

මගේ දුරකතනයට පැමිණි ඇමතුම මම විසන්ධි කලෙමි. ඇමතුම තරුක අය්යාගෙනි.

"ආන්සර් කරන්න"

"නෑ දැන් ඕනේ නැහැ, වැදගත් එකක් නෙවෙයි"

"හ්ම්ම්"

"මොකද අච්චර ග්‍රෑන්ඩ් ගුඩ්බායි එකක්  කට්ටිය දුන්නේ?"

මම සිනාසෙන්නට යත්න දරමින් කිව්වෙමි.

"ආ....."

මධුලිකා සිනාසුනාය..

".. ඒ ඉතින් ආයේ එන්න වෙන්නේ නැහැනේ.. ඒකයි "

මම කලබලව ගියෙමි. මධුලිකාට එය වැටහෙන්නට ඇත.

"..ෆ්ලයිට් එක තියෙන්නේ පහලව රෑ.. අපි මෙහෙ දාහතර වෙනකල් ඉන්නවනේ "

මගේ හිස බමන්නා සේ දැනුනි.

"මේ ඔක්කොමද මේ එහෙනම්? ඔයාගේ ලගේජ්?"

"ටිකක් ඇඳුම් ගත්ත. ඊයේ උදේ ඕඩර් කරපුව අද දවල් ආවනේ. ආයේ මොනවාහරි ඕනේ  උනොත් මෙහෙන් ගන්න පුළුවන්නේ... එහෙම මොනවත් ඕනේ නෑනේ"

මධුලිකා අහිංසකව සිනාසුනාය. මගේ පපුවේ  කොටසක් නාය ගියාක් මෙන් දැනුනි. එහෙත් එය සිනාවකින් වසාගන්නට මේ තික්ෂනට දැන් පුළුවන.

"..ඔයාට ගොඩක් ස්තුතියි තීක්ෂණ මේ හැමදේටම. ටාෂි හරිම හොඳ කෙල්ලෙක්. මට පුදුම විදියට උදව් කළා. ඔයාගේ හොඳම තමයි කියවන්නේ. ඔයාට මැචින් , මගේ තරහක් නැහැ"

ඊට පිළිතුරක් දෙන්නට මම මුවවිවර කරන්නට උත්සහ  කරනවිටම, උදානි ගේට්ටුව  විවෘත කරමින් පැමිණියේ සතුටින් කා සමඟදෝ කියවිමිනි. හේ තරුණයෙකි.

"උදේශ්.... මේ ඉන්නේ මධු..... මම ඔයාට කිව්වේ.... මගේ බෙස්ට් බඩියා ...... මේ තීක්ෂණ... මේ මම කිව්වේ "

"හලෝ ..මචන්... මොනාද දන්නෙත් නැහැ මම ගැන නම් කියලා තියෙන්නේ.. මොකක් කිව්වත් ඒ ඔක්කොම ඇත්ත වෙන්න ඇති.."

මම සැහැල්ලුවට කියා දැමුවෙමි.

"එහෙනම් ඔයාට මම කෝල් එකක් .දෙන්නම්.. එන්නකෝ හරිද?"

එසේ කියා උදානි දැමු බැල්ම අනුව නම් ඒ තරුණයා නිකන්ම නිකන් අයෙකු විය නොහැකි බව මට වැටහුණි.

එතනින් සමුදී අප  හෝටලයට යන ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන්නට වීමු.


 
********************මතු සම්බන්ධයි **************************

5 comments:

  1. සබ්බං පහාය ගමනීයං

    ReplyDelete
    Replies
    1. පාලි තෙරියුම්.....
      කමෙන්ටුවට, කියෙව්වට ස්තුතියි

      Delete
    2. අනේ ඒ උනාට පොඩ්ඩක් දුකත් වගේ. මදූ යන්න යනවා නේ. බැරිවෙයිද නවත්තගන්න ?

      Delete
    3. විනීත පූ වෙත විනීතව කියැවෙන්නේ මෙය ලියන නෝනා මහත්තයාගේ එකම ආතල් එක තීක්ෂණවත් මධූවත් වෙන් කොට අප සැම සෝ සයුරේ ගිල්වීමය.
      කථාව ඉක්මණින් අහවර වේවි!
      එත කොට අපට කියන්නට ඇතිදේ ඉංතීරුවෙන්ම කිව්වේ රංබණ්ඩා සෙනෙවිරත්නයන්ය!
      ගැයුවේ ගුණදාස කපු ගහේ සිටය.
      අප අසා සිටියේ ගහ යට සිටය!
      "ඉහිරුණු කිරි කොතලෙට - ඉකිබිඳලා පල නෑ!
      උඹටත් එක්කයි මං මේ පැල් කවිය කියන්නේ . . . . ."

      (ප: ලි: - තීක්ෂණට වැඩේ ගොඩ දාලා දෙන්න මමත් නොගත්ත උත්සාහයක් නෑ. මේක උගෙත් කරුමෙ! මගෙත් කරුමේ!! . . . . ආ අමතක උනා විනීත පූ! ඔයාගෙත් කරුමෙ!)

      Delete
    4. විනීත පූ : තීක්ෂණට තමයි කියන්න වෙන්නේ.

      තට්ටයා මහතා : තිරය පිටුපස කතාවකුත් තියේ එහෙනම්....
      මගේ ආතල් එක??? හෑ බොලේ ඒකත් එහෙමද??

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි