විසිතුරු කොල

Tuesday, July 6, 2021

258: සුහදිනියේ - 49 | සටන නොනවත්වා ඉදිරියට

 කලින් කොටසට 


 

"අඩෝ... නැගිටපන්.... අඩෝ..."

තලා දැම්මාක් මෙන්  සිරුර සොලවමින් ඇසුණු හඬ නෑසුනා සේ මම අනෙක් පසට පෙරලුනෙමි; පෙරලුනා නොව විසිවී ගියාක් මෙනි.

"... දැන් උඹ කීවෙනි පාරටද ඔය ඇඳෙන් වැටුනේ.... දැන් නැගිටලා මේ බෙහෙත් බීපන්"

ඒ ඇසෙන්නේ තාරුක අයියාගේ හඬයි. මට අතපය සොලවාගන්නට නොහැකි තරමකි. ඉබේටම මට කෙඳිරි ගෑවුණි. අතපය වාරු නැත්තා සේ දැනෙන්නේ ඇයි. තොලකට සියල්ල වියලි ගොසිනි.

".. තීක්ෂණ.. උඹට සිහිය තියෙනවද?"

මා ඇඳේ උඩු අතට පෙරළු හඬ කියද්දී, ඒ තාරුක අයියා බව මට වැටහුණි. මගේ මුවට වචන පැමිණියේ නැත. ඔහු මා කෙලින් කොට ගත්තේය.

"... මේ බෙහෙත් ටික බීපන්.. උඹට උණ "

තාරුක අයියා මගේ කටට මොනවාදෝ දමා වතුර බෝතලය ලං කළේය. මට ඉබේටම එය පෙවුනේ වතුර පිට උගුරේ යමිනි.

නැවත මම ඇඳ මතට කඩා වැටුනා මතකය.

මම ඉන්පසුව කොයි මොහොතක හෝ නැවත අවදි වනවිට කිසිවකුත් මා අසල සිටියේ නැත. ඇඟට යම් පණක් නොමැති වුවද ඇඟ රිදුම අඩුව ගොස් තිබිණ. මම සිටින්නේ මහල් නිවාසයේ බව යන්තම් මට හඳුනාගත හැකිවිය.

මම සිටියේ මධුලිකාගේ කාමරයේය. මම සෙමෙන් දොර හැරගෙන සාලයට ගියෙමි. සාලයේ සෝෆාව මත තාරුක අයියාට නින්දගොස් තිබිණ. ඔහු මා සමඟ මෙහි රාත්‍රිය ගතකරන්නට ඇත.

මම ආපසු හරි මුළුතැන්ගෙය දෙසට ගියෙමි. අඩක් නිමකළ ආහාර පැකට්ටුවක් සහ විවෘත නොකළ කෑම පැකට්ටුවක් එහි තිබිණ. මම ශිතකරණය විවෘත කලද බොන්නට එහි කිසිවක් තිබුනේ නැත.

"ආ.. උඹ ඇහැරුනාද?"

තාරුක අයියා විසිත්ත කාමරයේ සිට කියනු ඇසුනි. මම වීදුරුවකට අයිස්කැට දමාගෙන මගේ කාමරයට යන අතර තාරුක අයියා නින්දෙන් ඇඟමැලි කඩනු දුටුවෙමි. කාමරයේ මා තිබු තැන ජින් බෝතලය නොවීය. මම ඒ අසල කබඩ් එක ඇද්දෙමි.

"මොනවද උඹ හොයන්නේ?"

ඒ තාරුක අයියා මගේ පසුපසින් සිටගෙනය.

"නෑ මුකුත් නෑ"

"යකෝ උඹට ඊයේ රෑ උණ තිබ්බ, අයිස් බොන්නේ මොකෙක් වැහිලද?"

"තිබහයි"

"උඹ හොයන්නේ ජින් නම් ඒ බෝතලේ ඔතන නැහැ. පිස්සු කෙලින්නේ නැතුව අර දවල් බත් එක කාපන්... උදේට කාලත් නෑනේ."

මම කිසිවක් නොකොට නැවත ඇඳේ පෙරලුනෙමි. මධුලිකාගේ  සයනයේ සුවඳ මට නොදැනුනත් මේ දැන් මධුලිකා දොරෙන් ඇතුළු වී සිනාසී එන්නා සේ දැනුනි.

".. උඹ පව් මචන්.... මට සිරාවටම උඹ ගැන දුකයි... හ්ම්ම්ම්"

"..............."

"මට අද හවස වෙඩින් එකක් තියෙනවා. යමන් මම උඹව ගෙදරින් දාගෙන යන්නම්"

මම නිවසේ වහලය දෙස බලාගෙන ඔහේ උන්නා අරුණුවිට පිළිතුරක් දෙන්නට නොගියෙමි. මේ පෙලීම මහා නිර්වින්දනයකට මා ගෙනයන්නාක් මෙනි. ලය පැලී ලේ වහනය වන්නාක් මෙන් දැනෙන්නේ ඇයි ?

".........උඹට තාම උණද ?"

"වෙච්ච දේවල් එක්ක බැලුවාම.. මධු වැරදි නැහැ මචං "

මම සෙමෙන් මිමිණුවෙමි.

"උඹට ඉතින් ඒකි මොකක් කලත් හොඳයි. උඹගේ බෙල්ල කපල ගියත් ආයෙත් පස්සෙන් යනවා. "

"නෑ නිකමට හිතපන්.... අම්මත් නෑ , තාත්තත් නෑ , ආච්චිත් නෑ .. නෑයෝ ඔක්කොම දේපල වලට තමුන්ව බිලිගන්න බලාගෙන... ඉන්න තැනක් නැහැ.. කීදෙනෙක් වලිකනවද ? මාව විස්වාස කරලා ආවේ...මම... මම කෙල්ලට බොරුවක් කළා කියලා දැනුනම"

"ඒක තමයි බං ආදරේ කියන්නේ. දාලා යන්න බැරිකම.. දැන් බලපන් ඒකි උඹට කොච්චර ගණන් ඉස්සුවත් , කොච්චර ලොකුකම තිබ්බත් උඹ ගාවට වෙලා තමයි සද්ද ඔක්කොම.. "

 මගේ සිතේ ඒ වචන ටික ගලේ කෙටුවා මෙන් සටහන් විනි.

"සිරාවටම ඒ උනාට ඒකිව දැක්කහම මට ඉන්නම බෑනේ... අල්ලලා ඇදලා අරගෙන... හ්ම්ම්ම්.. හ්ම්ම්ම්"

තාරුක අයියා සිටිනවා කියා හෝ ගණනක් නොමැතිව මම කියා දැමුවෙමි. තාරුක අයියා සිනාසෙයි.

"හරි හරි... මම නොදන්නවෑ ! දැන් ඇඳගනින්.. ආන්ටි දැන් කීප පාරක්ම කෝල් කළා. මම බැලන්ස් කරලා තියෙන්නේ. උඹේ පාස්පෝට් එක කොහෙද?"

"ඔතන වෝද්රොබ් එකේ පහල ලාච්චුවේ ඇත්තේ."

"ආ.. හරි හම්බුනා.."

"මම ඒ කෙල්ලට ඒකිගේ ගමන යන්න දෙනවා බන්.. පව්... මට ඔය කෙහෙල්මල් ඩිවෝස් එකක් තියාගෙන අහවල් දෙයක් කරන්නද?"

"මචන්!"

තාරුක අයියා මගේ උරහිසට අත තබා මා දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.

"....මට පුදුමයි බන් දැන් උඹ හිතන හැටි ගැන. "

මම ඊට නිහඬවම සිනාසුනෙමි, එහි වේදනාව තිබෙන්නට ඇත.

".... මොනවා උනත් උඹ ඒ කෙල්ලට පන දෙනවා කියලා මම දන්නවා. මට හිතාගන්න බැහැ බන් උඹගේ මේ වෙනස්විල්ල"

මට මහා බරැති සුසුමක් පිටවිය. දෑසට නැගුනු තෙත් ගතිය මම යන්තමට පිසගෙන නැගී සිටියේ පැරණි තීක්ෂණ වන්නට ඇත.

"යමන් ගෙදර...  ලෝකේ අපි වෙනුවෙන් නතරවෙලා තියෙන්නේ නැහැනේ"

තාරුක අයියා සමඟ මම ටාශාගේ නිවසට එනවිට එහි මහා කලබලයකි. අම්මා මා නොමැතිව විස්සෝපව උන්නාය. තාරුක අයියා කුමක් හෝ බොරුවක් කියා මා රැකගෙන තිබින.

 සැත්කමෙන් පසුව තාත්තාගේ තත්වය සතුටුදායක වූ අතර මම ඒ ගැන එළඹී සිහියෙන් සිටිය යුතු විය. නමුත් මධුලිකා දෑස මානයේ නොමැති වීම සිතට වද දෙද්දී ටාෂා ඉඳහිට පෙනෙන්නට ආවාය. පෙනුමෙන් ඇගේ තත්වය එතරම් යහපත් නොවීය.


ටාෂාට සමඟ දුරකතනයෙන් හෝ කතා කරන්නට මට ඉස්පාසුවක් නොවුනේ තාත්තා නැවත ගෙන ඒමට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍යතා සියල්ලම සම්පාදනය කරන්නට මට සිදුවීම නිසායි. අම්මා ඇතුළු සියලු දෙනා මගේ තීරණ මත්තෙම යැපීම නිසා සියල්ලටම මගේ දායකත්වය අවශ්‍යව තිබිණ.  ඔහු නිවසට රැගෙන යාම පිණිස  සියල්ල සුදානම් කල මම හෙද සේවාවකට කතාකොට මම හෙදියක් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබාගත්තෙමි. ඊට අමතරව නිවසේ කැමරා පද්ධතියට අලුතෙන් කැමරා එකතුකොට ගේට්ටුවේ සිට නිවසට ඇමතිය හැකි ඩෝ බෙල් එකක් සවිකලෙමි.

උදෑසන මගහැරී ගිය දුරකථන ඇමතුම්, වත්තේ නොයෙකුත් කතන්දර සහ නිවසේ යුතුකම් කර වටක් තිබුණු නිසා මට මධුලිකා දකින්නට ලැබුනේ නැත. ඈ මා මගහැර සිටියා විනා නිවසින් පිටව ගියා වන්නට නොහැක. එසේ ගියානම් ටාෂා මට දැනුම් දෙනවා ඇත. 

වඩාත් පුදුමය වුයේ ඇමතුම් කිහිපයක් හැර ටාෂාගෙන් පවා කිසිදු කෙටි පණිවිඩයක් හෝ නොතිබීමයි. 

මධුලිකා අමතන්නට හෝ ඇයට  පණිවිඩයක් යවන්නට තරම් මම සන්සුන් නොවුනේ කුමක් යවන්නද කියා සිතාගත නොහැකි නිසාය.

එදින රාත්‍රිය මහා දීර්ඝ විය. මම එය තාත්තා අසල ගෙවන්නට තීරණය කලේ වෙනත් හේතුවක් නිසා වුවද , වඩාත්ම මගේ මානසික සහනය පතාය. මධුලිකාට මුහුණ දෙන්නට නොහැකි කමක් මගේ සිත තුල ඇතිකර තිබුනේ සුළු පීඩාවක් නොවේ. පාසලේ ඔට්ටුවෙන් පසුව ඈ සිත තුල වූ තුවාලය සුවපත් කරගෙන සිටිනවා සේ දැනී ගතවුයේ හෝරා කිහිපයක් පමණකි. ටාෂා ගැන මධුලිකා දෙවරක්ම විමසද්දී මම නොකියා සිටි වරද මෙතරම් දරුණුවට මා වෙත එල්ලවේයයි මම සිහිනෙන්වත් නොසිතුවෙමි.

සුසුම්ලමින් ගෙවූ ඒ රාත්‍රිය පුරා යන්තමට හෝ පියවුණු දෑස් වහා මධුලිකාගේ සිනහවෙන් විවෘතව ගියේය. 

තාත්තා ගැන අවධියෙන් සිටි මම වරින්වර ඔහු අසලට ගොස් ඔහු දෙස බලා සිටියෙමි.

තාත්තාට සිහිය තිබුනද කතා කිරීමට තරම් ශක්තියක් තිබුනේ නැත. ඔහු මා දෙස වතාවල් දෙකකදීම බලාගෙන සිට දෑස පුරා කඳුළු පුරවාගෙන සිටියේ මාද පුදුමයට පත්කරමිනි.

********************************************


 

"ල... ලොකු..."

ගුලිවී සිටි තැනින් මම ගැස්සී ඇහැරුනෙමි. අමතරව තිබුණු සයනයේ පාන්දර වනවිට මට ඉබේටම දෑස පියවි තිබිණ. ඒ තාත්තාය. 

"ඇයි ඩඩා ?"

නිදාසිටි ඉරියව්වෙන් බිමට පැන්න මට තාත්තා කතාකිරීම මගේ නොමද ප්‍රීතියට හේතු විය. උදෑසන ලෙඩුන් බල වෙලාවට තවමත් වෙලාව තිබිණ.

මට ඉබේටම ඔහුගේ වමත ග්‍රහණය විය. මම වහා ඔහුගේ තොල වතුරෙන් තෙමුවේ මට හෙදිය එසේ කරන්නට ලබාදී තිබුණු උපදෙස් නිසාය.

තාත්තා මා දෙස මොහොතක් බලා සිටියේය.

"තෑන්ක් යූ පුතා.... "

මම වහා තාත්තාගේ හිස බදාගත්තෙමි. 

"ඩඩා ඉක්මනින් සනීප වෙන්න... බයවෙන්න එපා.. ඔක්කොම මම බලාගන්නවා"

කාමරයේ දොර අගුල කැරකි ගියේ ඒ මොහොතේය. මම හිස හරවා බලනවිට විවෘතව පැවතී දොර වසා ඇතුලට ආවේ අන් කවරෙකුවත් නොවේ, අනුලා අලස්ය!

පෙරදී පින්තුර කිහිප විටක් දැක ඇති නිසා, දුටුවනම හඳුනාගත් මම වහා තාත්තා හරස්කොට සිටගත්තේ ඈ සිටියේ අපට පසෙකට වන්නට නිසාය. හිස හැරවූ තාත්තාට ඈ මොහොතකට පෙනෙන්නට ඇත.

"මොකටද මෙහෙ ආවේ?"

මගේ කෝපය නැංගේ අහස උසටය, අත මිට මෙලවී ගියේය. මගේ හඬ බොහෝ රළු වන්නට ඇත. තාත්තා මගේ එක අතක් අල්ලා ගනු මට දැනුන මුත් අනුලා වෙත යොමුවුනු රුදුරු බැල්මෙන් මම ඒ ලෙසම උන්නෙමි. ගැහැණිය මා දෙස හෙළුවේ නොපහන් බැල්මකි.

"මම සෙනේගේ යාලුවෙ..."

"මගේ ඩඩාට ඉන්න යාළුවො මම දන්නවා. කරුණාකරලා මෙතනින් පිට උනොත් තමයි හොඳ!"

මම ගුගුරා හැලුනෙමි. ගැහැණිය තරමක් ගැස්සුණු බවක් පෙනුනද මවාගත් මුහුණකින් සිනාසුණාය.

"හැබෑට? එහෙනම් මම කවුද කියල කියලත් නැතුව ඇති"

"තමුන් කවුද කියලා මව වැඩක් නැහැ, මම කවුද කියලා දන්නවා නම් ඔය දොරෙන් ඇතුලට එන්නේ නැහැ. යන්න නේද කිව්වේ"

"ලොකු..."

තාත්තා යන්තමට මට ඇමතුවේය. මම ඔහු දෙසද රවා බැලුවෙමි.

අඩියට දෙකට දොර වෙත ගිය මම දොර විවර කර රවා නැවතත් ගැහැණිය දෙස බැලුවෙමි. ඈ සාවඤ සිනාවක් පෑවාය. එකවරම ඇගේ උරහිසෙන් ඇද දොරෙන් එලියට තල්ලුකල මගේ අතේ ගැහැණිය කුඩල්ලෙකු මෙන් එල්ලුනාය.

ඈ අත තිබුණු අත්බෑගය බිම වැටි ගිය නිසා තරමක හඬක් නැගුනෙන් ඒ වනවිට අවට සිටි සියලුදෙනා අප වෙත බලා සිටියේ භ්‍රාන්තවය.

"තමුසේ ආයේ මගේ ඇස්දෙකට පේන්න ආවොත්....."

මගේ දැඩි බැල්මට ඈ බියවෙන්නට ඇත. නමුත් මුහුණේ තිබුනේ නොදැමුණු නපුරු පෙනුමකි.

"මම ගාව තියන ඒවා මම දෙනවා පත්තරේට!"

මගේ අත ගසා දැමු ගැහැණිය දත්මිටි කෑවාය.

තාත්තා දෙස එකවරක් බැල්මක් හෙලු මම ඈ තල්ලු කරගෙන දොර වසා එලියට ආවෙමි. කිහිප දෙනෙක් අප දෙස බලමින් යති.

"මම ගාව තියෙන ඒවා දුන්නොත් තොපි ඔක්කොම යන්නේ එල්ලුම් ගස්! උඹ දන්නවද , උඹල කුලියට ගත්ත කෙල්ල ඉන්නෙත් මගේ අත්අඩංගුවේ කියල... "

ගැහැණිය ත්‍රස්තව ගියාය. මම මගේ දබර ඇඟිල්ල ඇයගේ මුහුණ ඉදිරියේ ලෙලවමින් දත්මිටි කෑවෙමි.


ඇය මධුලිකා වෙනුවට වෙනත් තරුණියක් එවන්නේ මම ගැන නොදැන බව මට විශ්වාසය. තාත්තා උගුලක හෙලා ඈ කරන මේ නොසන්ඩාල ක්‍රියාව මා කෝපයට පත්කොට තිබිණ.

"... මගේ ඩඩාව බ්ලැක් මේල් කරන්ඩ තමුසේ කවුද? සල්ලි වලට ඕනේ කුපාඩිකමක් කරන උඹේ මිනිහටත් කියපන් , මිස්ටර් ජයවර්ධනව මිසින් කළා වගේ වෙන්නේ නැහැ කියල මම ඉන්නකල්... "

ගැහැනියගේ දෑස විශාලව ගියේය.

"... තොපි ඔක්කොම හුරගෙන කන ඒ සල්ලිවල අයිතිකාරි තාමත් පණපිටින් ඉන්නවා. හදපු හොර සහතික ටිකත් මගේ ගාව තියෙනවා.. "

විශ්මය, කෝපය මිශ්‍ර වූ ඇගේ මුහුණ කළුවා හැකිලී ගියේ මොහොතිනි.

"..... පුළුවන් නම් ඉතින් පලයන් පොලිසි! කියල බලපන් මිඩියා වලට!! උඹට දැනට නැති උනේ පුතණ්ඩියා විතරයි , උගෙන් ඇහුවා නම් කියයි මම කවුද කියල!!!"

මගේ හඬේ තිබුණු තර්ජනය ගැහැණිය බියපත් කරන්නට හොඳටම ප්‍රමාණවත් විය. බිම තිබුණු ඇගේ අත්බෑගයට මම ගැසූ පයින් පහරට එය ඈතට විසිව ගියේය. ලැජ්ජාවටත් වඩා පරාජෙයේ ලකුණු මොනවට පෙනුණු ඇගේ දෑස තුල පෙනුණු බියපත්බවින් සෑහීමකට පත්වූ මම නැවත කාමරයට වැද දොර වසාගත්තෙමි. අගුල වැටුනේ ක්ෂණයෙනි.

මගේ පපුව වේගයෙන් රිදුම් දෙයි. කාමරයේ ෆිල්ටරයෙන් වතුර විදුරු දෙකක්ම එක හුස්මට පානය කල මම තාත්තා දෙසවත් නොබලා ජනේලයෙන් පිටත බලාගෙන ජයනෙත්ති මහතා ඇමතුවෙමි.

තීක්ෂණ යනු කවරෙක්දැයි අනුලාට දැනගන්නට සැලැස්වීම ගැන මට යම් සතුටක් විය. ලොකු හුස්මක් ඉහලට ඇද්දේ සන්සුන් වන්නටය. 

"අංකල්?"

"ඔව් පුතා.. ? තාත්තාගේ ඔපරේෂන් එක හොඳට කෙරුනා කියලා මම ඊයේ මාලිට කතා කරපු වෙලේ කිව්වා... ලොකු දෙයක්"

"ඔව් අංකල්.. ඒ ඔක්කොම හරි... මම කිව්වා වගේ අර ගෑනු ළමයාගේ ෆෝන් එක ගත්ත නේද?"

"ඔව් පුතා.. ඒ කිව්ව දවසෙම තමයි ෆෝන් එක ගත්තේ.. ඒ ළමයා ආයේ ඒක ඉල්ලුවෙත් නැහැ. "

"හරි අන්කල්.. ඒ ළමයට පොඩ්ඩක් මට කතාකරන්න පුළුවන්ද ?"

"ආ හරි පුතා.. ඩිංගක් ඉන්ටකො"

මද වෙලාවකින් අනෙක් පසින් තරුණියගේ හඬ ඇසුනි.

"හෙලෝ?"

"තේජානි.. මම කියන දේ හොඳට අහගන්න... මම එදා තැපෑලට දාලා තිබ්බ දේවල් බැලුවද?"

මද නිහඩතාවයකින් පසුව සුසුම් අතරින් මෙන් තරුණිය කතා කළාය.

"හ්ම්ම්.. ඔව් අය්යා..."

"ඒ ටික බැලුවා නම් තේරෙනවා නේ වාසුල ඔයාට කරලා තියෙන වැරැද්ද මොකක්ද කියල? දැන් වාසුල නැහැ. වාසුලගේ අම්මට , තාත්තට ඕනේ ඔයාව මරලා දාන්න විතරයි. මට ඔයත් එක්ක තරහක් නැහැ තේජානි. මට ඒ වගේම කිසිම ලාභ ප්‍රයෝජනයකුත් නැහැ. "

"මට තේරෙනවා"

ඈ යන්තම් ඉකිබිඳින හඬක් ඇසුනි. මම මද වෙලාවක් ඈට හඬන්නට ඉඩ දුන්නෙමි.

"මම ඔයාට ඔෆර් කරන්නේ සල්ලි නෙවෙයි. අලුත් ජිවිතයක්  !"

"හ්ම්ම්"

"තේජානිට මම රස්සාවක් දෙනවා. ඉන්න ගේකුත් එක්ක. ඔයාගේ අම්මත් එක්ක එතන ඉන්න පුළුවන්. රස්සාව ගැන මම විස්තර එවන්නම් හෙට උදේ වෙනකොට. දැන්ම නෙවෙයි, හෙට හවස හරි අනිද්දා උදේ වෙනකොට මට උත්තරයක් කියන්න "

"හරි අය්යා.."

"මොකද මේ වෙලාවේ ඔයාගේ ජිවිතේ ගැන මම වගකියනවා. ඔයා කැමති නැතිනම්, වෙන තීරණයක් ගන්න පුළුවන්. මම දන්නවා තේජානිගේ අම්මත් අසනීපෙන් නිසානේ ඔය ජොබ් එකට ගියේ"

"අය්යා දෙවියෙක්"

එහි තිබුනේ හිතවත්බවක් බව මට නොදැනුනා නොවේ. අනුලා අලස්ට අල්ලන්නට හෙරක් දැන් එතන නැත!

ඇමතුම නිම කලේ ඇයට පසුව අමතන්නට හෝ පණිවිඩයක් ලබාදෙන්නට ඉඩ තබමිනි.

හොර සහතික සාදාගත් ස්ථානයෙන් ලබාගත් ඊමේල් ලිපිනය අනුලාගේ බව අනුමානයෙන් සිතු මම, ඇගේ ඊමේල් ලිපිනය 'හැක්' කලේ වාකිෂ්ඨ මහතා මට මේ ආරංචිය දුන් දිනයේදිමය. ඒ ඔස්සේ මම වාසුලගේ ඊමේල් ලිපිනයද 'හැක්' කලෙමි. එහිදී අනුලා විදෙස්ගතව සිටියදී  එවූ ලිපිවල තේජානි ගැන සඳහන්ව තිබුණු කරුනුත්, වාසුලගේ ලිපි අතර තිබුණු කරුනුත් තුලින් මම තේජානිගේ තොරතුරු සොයාගත්තෙමි. 

මධුලිකාගේ පියාගෙන් කොල්ලකාගත් ඇඟලුම් කම්හලක දුප්පත් අසරණ තරුණියක් වන තේජානි ඒ වනවිටත් වාසුලගේ ගොදුරක්ව සිටියාය. ඒ වනවිටත් අනාගතයක් නැති ප්‍රේම සම්බන්ධයක උන් ඈ විවාහ පොරොන්දු ප්‍රකාරව ඈ මෙම අපරාධයට පොළඹවා ගන්නට වාසුලට හැකි වන්නට ඇත. 

සැබෑ මධුලිකාට ඇල්ලු ඉව වැරදි ගිය තැන අනුලාටත්, වාසුලගේ පියාටත් අවශ්‍යව තිබුනේ මධුලිකා ලෙස පෙනී සිටින තරුණියක් පමණි. ඉන් පසුව ඈ මෙම සමීකරණයෙන් අතුගා දමන්නට වූ සැලසුම සඳහා වූ කතාබහ පිලිබඳ ලිඛිත සාක්ෂි , මම මුද්‍රිත මාධ්‍යයෙන් තේජානි වෙත යැව්වේ දින කිහිපයකට පෙරයි. 

තේජානි මෙම නිවසට ගිය මොහොතේම ඇගෙන් දුරකථනය ඉල්ලාගන්නට මම කියා යැව්වේ කපටි අනුලා ඈ නැවතත් රවටාගනු ඇතැයි සිතු නිසාය. ඈ සිටියේ වසුලගේ ඝාතනයෙන් වූ කැළඹීමෙනි. 

මධුලිකාගේත් මගෙත් සිත් රිදවීම වුයේ එදිනයි. 

මාධ්‍ය ඔස්සේ තරමක අවධානයක් දිනාගෙන සිටි වාසුල ඝාතනය නිසා රුපවාහිනියේ නිතර පෙනෙන්නට සිටි අනුලාගේ ඊළඟ ඉලක්කය තාත්තා බව දත් මම ඇගේ මේ පැමිණීම බලාපොරොත්තුව සිටියෙමි. ඈ පසුගිය දින තුල රෝහලේ ඇවිදිනු දක්නට ලැබුණු බව සුන්දර් මට කියා එවා තිබුණු බැවින් මම සිටියේ සුදානමෙනි. මේ මොහොතේ අම්මා මෙහි නොසිටීම වාසනාවකි.

මද වෙලාවකින් අම්මාත් අනෙකුත් පිරිසත් පැමිණි නිසා තාත්තා සමඟ සිදුවූ කිසිවක් ගැන ගැන කතාබහ කිරීම මගහැරී ගියේය. එය මට සහනයක් විය. තාත්තා සමඟ එවන් කතාවකට මගේ සිත සුදානම් නොවුනි. තාත්තා රිදවන්නට මට නොහැකි වීමත් මේ සම්බන්ධයෙන් මට විවෘතව ඔහු සමඟ සංවාදයකට  නොහැකිවීමත් යන කාරනා  බලපාන්නට ඇත.

"තිකා"

තාත්තා වටා සිටින පිරිසෙන් මට අස්වැසිල්ලක් ලැබුණු අවස්ථාවේ සුදම් මට රහසින් මෙන් ඇමතුවේය.

"මොකද?"

"මොකද්ද බන් අර කසාද කුණුහරපෙ? කවුද ඒ?"

"මම දන්නේ නැහැ බන්.... කොහෙන් ආපු පිස්සු ගෑනියෙක්ද මන්ද"

"අරයට කතා කලාද?"

මම හිස දෙපසට වනා නැහැ කිව්වෙමි. අරයා කියන්නේ මධුලිකා බව මම දනිමි.

"මගෙන් මොනවද කෙරෙන්න ඕනේ තිකා?"

මට ඉබේටම සුදම් දෙස බැලුණි.

"හ්ම්ම් මොනවත් නැහැ බන්..."

මම ඔහුගේ පිටට තට්ටුවක් දමා අපහසුවෙන් සිනාසීමි.

සුදම් මේ ගැන කතාකරන්නට ගොස් මධුලිකාගෙන් හොම්බ තලාගන්නවා ඇත.  මෙය බොහෝ ප්‍රවේශමෙන් කතා කලයුතු දෙයක් වන්නේ මේ වනවිට මම මධුලිකාගේ විශ්වාසය පමණක සෙලවීමක් කර ඇති නිසාය.

අම්මාත් සමඟ වෛද්‍යවරයා හමුවීමට ගිය මට තාත්තා තව දින දෙකකින් නිවසට රැගෙන යාමට හැකිවන බව අසන්නට ලැබුණි. එය එක්තරා අතකට සැනසීමේ සුසුමක් වූවත් මගේ සිතට මහා බරක් එක්  කළේය. 

නිවසේ ඇති ආරක්ෂාව එක් පසකිනි. අනෙක මධුලිකාය. ටාෂා අමනාපයෙන් සිටියදී , ඈ ටාෂාගේ නිවස තුල තබා මට හැර යා නොහැකිය. ටාෂාගේ හැසිරීමේ වෙනසක් මට දැනෙන්නේ ඇයි?

'මචං , වාකිෂ්ඨ උඹව හම්බෙන්න ඕනේ කිව්වා දවල් කෑමට අපේ ගෙදර වරෙන්'

තාරුක අයියාගෙන් ඒ කෙටි පණිවිඩය ලැබුනේ අම්මාත් සමඟ ගොස් ටාෂාගේ නිවසේ ගේට්ටුවෙන් ඇතුල්වද්දීමය.


********************මතු සම්බන්ධයි **************************  

4 comments:

  1. කථාව කෙමෙන් කෙමෙන් ලෙහෙමින් පවතී. ඒ ලෙහෙන්නේ එහි වූ ගැටළු සහගත බවය. ඒ සමගම තීක්ෂණගේත් මධුළිකාගේත් `අනාගතය වෙන වෙනමත් එක්වත් සිතාගත නොහැකි තැනකට වැටී අවසන්ය. සත්තකින්ම පිරිමියෙකු අවසානයේ පත්වී ඇති තැනට තීක්ෂණ පත්වී ඇති සෙයකි. වෙනදෙයක් උනාවේ කියා එලඹෙන අවස්ථාවල් වලට පමණක් මුහුණ දීම එම ක්‍රම වේදයයි.
    තීක්ෂණගේ ක්‍රියා පිළිවෙතට වඩා මා වෙනස් වන්නේ; කිසිදාක හිතේ ගැටළුවක් ප්‍රශ්ණයක් ඇති මොහොතක මා බීමත් නොවීමයි. (සමහර විටෙක දුම් පානයට නැඹුරු වන්නෙමි!) එහෙත් ආදරය ඉදිරියේ ගැහැනියක මෙන් ඊර්ෂ්‍යාකිරීමට එළඹෙනවාට වඩා පිරිමියෙකු වඩාත් පරාර්ථකාමී වනු ඇත!" යැයි මා කීවොත් ඔබ එය පිළිගන්නවාද? එවන් අත්දැකීම් ඔබට වෙත්ද?
    "මට නැතිනම් තොටත් එපා! හෝ මට නැති නම් කාටවත් එපා!" හෝ කියා ආදරය කරද්දී නොසිතීම පුද්ගල සබඳතා තුල දක්නට ලැබෙන සුලභ තත්වයක් වුවද එය සැබෑ ආදරයක් තුලදී අපේක්ෂා කල නොහැකි හැඟීමකි.
    අජන්තා රණසිංහයන් විසින් ලියා අබේවර්ධන බාලසූරිය හා ත්‍යාගා එන් එඩ්වර්ඩ් විසින් ගායනා කල ගීතයක අවසාන පද පේලි හතර මෙවෙලේ මගේ මාහට මතකයට ගලා ඒ.

    "නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
    සිටු කුමරියක් කර කාරෙට ලැබෙන්නයි
    පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
    කුරහන් කපන දා මා සිහි කරණ්නයි"

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. පිරිමියෙක් නොවී පිරිමි හිතකින් හිතන එක එක අතකට අභියෝගයක්! පිරිමින් අවසානයට කරන්නේ මෙයද කියා නම් දන්නේ නැහැ, නමුත් එක එක චරිත ලක්ෂණ අනුව කාටත් නෑ කියන අදහසින් තමන්ගේ ආදරේ කරන කෙනාගේ ජිවිතේ උදුරගන්න අයත් නැතුවම නෙවෙයි. එතන තියෙන්නේ පරිත්‍යාගයක් තමයි, ඒ පරිත්‍යාග කරන්නේ තමන්ගේ අනාගතේ!
      ඒවා සාධාරණීකරණය කරන්නට මම කෙනෙක් නොවේ සහ මෙය ඒ වේදිකාව නෙවෙයි, නමුත් ජිවිතයේ මුහුණදෙන සමහර අත්දැකීම් නිසා වයසට වඩා මුහුකුරා ගියපු හැඟීම් තියෙන්න පුළුවන්. ඔය වයසේම ළමයෙක් තමයි වරක් තවත් කොල්ලෙකුගේ බෙල්ල කපලා පැන්නෙත් , ඒ වගේම මිට වඩා වයසක ඉන්න 'මිනිහෙක්' තමයි තමන්ගේ පෙම්වතියගේ ලපයක් ගැන කරපු විහිළුවකට තවත් කෙනෙක්ව මරන්නෙත්! ඒ සැබෑ ජීවිතයේදී.. ඒ නිසා මේවා අහම්බ නෙවෙයි
      මට නැතුවට කාරී නෑ උඹ හොඳින් ඉඳපන් කියන්නත් ජිවිත පන්නරයක් ඕනේ.

      කතාව සීරියස් නිසා සීරියස් කමෙන්ට් වැටෙනවද මන්ද, එකෙක්වත් මුකුත් නොකියන්නෙත් ඒකද ?
      anyway thanks!

      Delete
  2. රෑ ඇවිත් බලද්දී අවසාන කොටසත් දාලා, 10.30ට විතර ඇඳට වෙලා ලියවිල්ල කියවන ගමන් බැලුවෙ උදානි කවුද කියලා,
    මතක නැ ඉතින් 😬
    මතක් වෙයි කියල හිතාගෙන දිගටම කියෙව්ව පාන්දර 2.30 වෙනකම්, සුපුරුදු migraine ඔළුව ඩැහැගන්නකම් කියවලා බැරිම තැන එහෙමම තියලා නිදාගත්තා
    ඒ වෙනකොට උදානිව මතක් වෙලා තිබුනෙ 😀
    කොහොම නමුත් මම ලිඛිගෙ මේ ලියවිල්ලට ආසක්ත වෙලා හිටියෙ

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් කව්රුත් ආවෙවත් නෑනේ මේ පැත්තකට වත්... ඒ උනාට ඉතින් මම ලියල තිබ්බ , මම දන්නවනේ ගීතිකා මෙහෙ කොයි මොහොතක හරි එන බව!
      ගොඩක්ම ස්තුතියි කියෙව්වට, ඊටත් වඩා මෙහෙම කියෝනව කියල මට දැනෙන්න ඇරෙව්වට. ඒක ලොකු හය්යක්...

      මම මේ කතාවේදී ලොකු සංකීර්ණ බවක් ගන්න ගියේ නැහැ. නමුත් සිතුවිලි ගැන තමයි ලිව්වේ. කොල්ලෙක්ගේ සිතුවිලි ලියන එක එක අතකට මට අභියෝගයක් වෙලා තිබුනේ.
      ආයෙමත් ස්තුතියි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි