විසිතුරු කොල

Monday, June 21, 2021

252: සුහදිනියේ - 43 | විරංග සහ තීක්ෂණ යහළුකම පිලිබඳ ප්‍රශ්නයක

  කලින් කොටසට

විරංගගේ මුහුණ සැහෙන වෙනස්කමකට පත්ව තිබිණ. මම දෑතම පපුව ඉදිරියෙන් ගැටගසාගෙන බලා සිටියෙමි.

"මට සමාවෙයන් මචන්.."


 

අවසන්වරට විරංග හමුවූ මොහොතේ මා සිටි වියවුල් ස්වභාවය තාරුක අයියා විසින් කියූ කරනු එක්ව පමණක සංයමයකින් ඔහු හා කතාකරන්නට ශක්තියක් මා වෙත ලබාදී තිබිණ. අම්මලා සාලයේ කතාබහේ යෙදී සිටියදී, මම විරංගත් සමඟ මිදුලේ ඈත කෙළවරකට ගියේ ඔත්තුකාරියට නෑසෙන ලෙසයි.

"කමක් නැහැ බන්.. උඹ කලේ උඹට ඒ වෙලාවේ කරන්න තිබ්බ..."

"නෑ මචන්.. මට උඹට කියන්න තිබ්බ. උඹ මගේ අතිජාත මිත්‍රයා... උඹ කවදාවත් මට පිටුපාලා නැහැ.... බාප්පාට අහු උනා මම මධුලිකා එක්ක කතාකරනවා... අම්මට කරදරයක්  කරයි කියලා තිබ්බ බයට මම ඔක්කොම කිව්වා... ඊටත්..."

මම ඉතිරි කොටස යම් තරමකට අනුමාන කලෙමි.

"උඹ... මධුලිකාට ලව්  නේ?"

විරංග අපහසුවෙන් ඒ මේ අත බැලුවේය. මම ඔහු දෙස එක එල්ලේ බලා සිටියෙමි.

"... කමක් නැහැ මචන්.... කෙල්ල උඹට සල්ලි දෙනවා... ලක්ෂ දෙසීයක් දෙන්න කියල දැනටමත් ලැස්ති කරලා තියෙන්නේ"

විරංග තිගැස්සී මා දෙස බැලුවේය.

"දේ.. දෙසීයක්?"

"ඔව්... පන්සියම දෙනවා කියලද කිව්වේ?"

විරංග හිස මත දෑත තබාගෙන මදක් ඒ මේ අත ඇවිද්දේය. ඒ ඔහුගේ කලබලකාරී හැසිරීමයි.

"මට සල්ලි එපා බන්... ඌ හිරේ ගියාවේ"

"උඹේ අම්මා පව්..."

 "රිසල්ට්ස් ඇවිල්ල තියෙන්නේ.. මට අර ෂිපින් ජොබ් එකක් ඔෆර් කළා මේගන් ගේ තාත්තා. ඒ රිසල්ට්ස් ඇති ඒකට! අම්මාට පුළුවන් නැන්දා ඉන්න දිහාට යන්න.. සිංගප්පූර්... මම එයාට කතාකරන්නම්"

"එතකොට මෙහෙ අම්මගේ බිස්නස්?"

"අම්මා කැමතිවෙන එකක් නැහැ මේ තියෙන තත්වෙට අනුව ඒක කරගෙන යන්නත්. ඒවත් ගොඩක් ණය වලට හිරවෙලා බාප්පා කාරයා හින්දා "

බාප්පා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. වංචාකල මුදලේ ප්‍රමාණය අධික වීමත්, පොලිසියෙන් වසන්ව සිටීමත්, වින්දිතයින් අතර සිටින කවුරුන්හෝ බලවතෙකුගේ බලපෑම නිසාත් ඔහුට ඇප ගැනීම අපහසු කරුණක්ව ඇත.

"උඹට ෂුවර්ද?"

"ඔව්... මට ඒක බලාගන්න පුළුවන්..."

"........."

මම විරංගගේ උරහිසට අත තැබුවෙමි. ඔහු මා දෙස මහත් අසරණ බවකින් බලා සිටියේය.

".... උඹ හොඳ යාලුවෙක්.. උඹ තාමත් මගේ හොඳම යාළුවා තමයි"

මම ඔහු වැළඳ ගත්තේ සැබෑ සහෝදරකමකිනි. විරංග ඉකිබිඳින්නට විය.

"මට සමාවෙයන් බන්.. මට උඹට කලේ ^% වැඩක්"

"කමක් නැහැ මචන්... අමතක කරන්න ඒවා"

විරංග ඉන් තත්පර කිහිපයකට පසුව සන්සුන්ව සිය මුහුණ කමිස අතින් පිසගත්තේය.

"මධූ කෝ? අමාරුවක් නැහැ නේද?"

මම ඉක්මනින් පිළිතුරක් දෙන්නට උත්සුක නොවුනෙමි.

"උඹ මේකට ආයේ පැටලෙන්න එපා. මම මේක බලාගන්නම් "

විරංග මා දෙස බැලුවේ ආයාචනාත්මක බැල්මකි.

"... නෑ මචන් .. මගේ හිතේ තරහක් නැහැ...  මම කිව්වේ... ආයෙත් උඹ මගේ මේ නරා වලේ වැටෙන්න එපා"

"...................."

"ඇත්තටම කිව්වොත්.... මෙතන ඔක්කොටම වඩා බලු වැඩේ කලේ මම... එක්කෝ බලු වැඩක් කරන්න ගියේ මම "

විරංග තෘෂ්නිම්භුතව බලා සිටියේය.

"පිස්සුද යකෝ...? "

"ඒ මොකක් උනත්... මධු එහෙම තරහ ගත්ත එක ගැන උනත් මගේ හිතේ තරහක් නැහැ, උන් කිව්වේ බොරුත් නෙවෙයිනේ "

"උඹ ඔය කියන්නේ එදා චේතන් කියපු ඔට්ටුවේ සීන් එකනේ? මට ආරංචි උනා ඊයේ වෙච්ච වලිය "

"දැන් ඕක හිතින් අමතක කරපන්... මොනවා උනත් උන් කිව්වේ බොරු නෙවෙයි... මධුට මට ඒ අපි කලින් හිතපු දේවල් ගැන මුකුත්ම කියාගන්න බැරි උනා. මධුට අප්සෙට් යන එක අහන්න දෙයකුත් නෙවෙයි... "

ඔහු තරමක බර සුසුමක් හෙලනු පෙනුනි.

"... ඒක නෙවෙයි.. උඹ කොහොමද ආවේ? බාප්පා කොහොමද ආවේ "

"සිරාවට මචන්... මම කිඩ්නැප් කරයි කියලා හිතුවේ නැහැ.... ඌ ගාව මගේ ෆෝන් එකයි ඔක්කොම... ඌ මේගන් ගෙන් දැනගෙන මධුලිකා එන බව... මාව පාටි එකට යැව්වේ මධුලිකාට කතාකරන්න කියල... "

විරංග හුස්ම ඇල්ලුවේය.

".... මම ආවේ ඒ වෙලාවෙමයි.. බහිනකොට මට කිව්වා මධුව අරගෙන කතාකරන්න කා පාක් එකට එන්න කියල , මම බෑ කියලා බැස්සා.... සල්ලි දෙනවා කියලා තියෙද්දිත් ආයේ කරදර කරන්න මට ඕනෙකමක් තිබ්බේ නැහැ..මට හිතාගන්න බැහැ වෙච්ච දේ.... "

"..............."

"මාස්ක් එකක් දාගෙනනේ ආවේ, කවුද කියලා මම දැක්කේ නැහැ... උඹට ගහපු ගමන් මම උගේ හොකී ස්ටික් එකේ එල්ලුනා... එතකොට උගේ දාගෙන හිටපු මාස්ක් එක ගැලවිලා අඳුරගත්ත... ෂොක් එකට මට ඒ වෙලාවේ මුකුත් කරගන්න හිතාගන්න බැරි උනා.... "

ඔහු කියන්නේ බොරුවක් කියා සිතන්නට නොහැකිය. 

මදක් කල්පනා කල මම, ඉදිරියට විත් ,මගේ දුරකථනය උඩ සාක්කුවෙන් ගෙන, එහි පටිගතකල හඬ පටයේ අවශ්‍ය කොටසේ අවසන් පටිගතකිරීම ධාවනය කලෙමි. එය මමත් මධුලිකා වන තරුණියත් මිට මොහොතකට පෙර කතාකරමින් සිටි අවස්ථාවයි. මගේ කමිසයේ උඩු සාක්කුවේ කුඩා සිදුරකින් ජංගම දුරකථනය සිය කැමරා කාචයෙන් අපගේ කතාබහ පටිගත කරගෙන තිබුණි.

"මචන්... මේ කවුද කියලා අඳුරනවද?"

විරංග ගේ ඇස්  බිරාන්තව ගොස් මුහුණ සුදුමැලිව ගියේය.

මම සෘජුව සහ ස්ථිරසාරව විරංග දෙස බැලුවෙමි. එය ඔහු බියපත් කරනබව මම දැන සිටියෙමි. නමුත් විරංග මම සිතු පරිදි පැන දිව්වේ නැත.

"..... උඹේ ගේම් එක මම දන්නවා මචන්... උඹ කෑම්පින් කියලා ගියේ වාසුලගේ ගෙදර කියලාත් මම දන්නවා..."

විරංගට කතාකරගත නොහැකිව තත්පර කිහිපයක් ගතවිය. මම ඔහුගේ උරහිසෙන් අල්ලා තට්ටුවක් දැමුයේ  සිහිය ලබාගැනීමට සිතාය.

"ම.. මම .. ම-ම... මම ඒක කලේ මධුලිකාට ආරක්ෂාවට.."

මම එක එල්ලේ විරංග දෙස බැලුවෙමි. විරංගගේ මුව වෙව්ලයි.

" මධු වෙනුවට මේ කෙල්ලව ගෙනත්, වාසුලට ඒකි බඳින්න දීලා , මධුලිකාව ගලවගන්නද හිතුවේ? උඹ කිව්ව විදියට මධුලිකා තමන්ගේ අයිඩෙන්ටිටි එකත් එක්කම දේපල අතාරින්න කැමැති උනත්, උඹව බඳින්න කැමති උනේ නැහැ නේද?"

විරංගගේ දෙතොල් සැලෙනු මට පෙනුනත් ඔහු නිරුත්තරව සිටින්නේ මේ සියල්ල මම දැනගත් ආකාරය නිසා වන්නට ඇත.

"... මධු උන්ට මරන්න නොදී, මෙහෙම එකකට එකඟ කරගත්ත එකට මම උඹට ස්තුතිවන්ත වෙනවා මචන්. හොර උප්පැන්න, හොර මරණ සහතික , හොර පාස්පෝට් එක හදන එකත් උන් කරලානේ තිබ්බේ."

විරංග ගල්භිතව උන්නේය. මම ඔහුගේ මුහුණට වඩාත් ලංව පැවසුවේ එක හුස්මයට.

"... උඹ ගියපු වාහනේ කැමරා එකක් , සෙන්සර් එකක් හරිකරලා තිබ්බේ මමත් නෙවෙයි, මධුගේ ලෝයර්!"

විරංග හිස දෝතින්ම බදාගෙන බිම හිඳගත්තේ කම්පනය නිසා වන්නට ඇත. ඒ සියල්ල මට වාකිෂ්ඨ මහතා පැවසුවේ මමද විශ්මයට පත්කරමින් බව සැබෑය. වෙඩිපහර කෑ මා රැගෙන ඒමට ආ විරංග සිටි වාහනයට  ජාවා මොහාරිස් සුරුට්ටුව පැමිණියේ ඒ ආකාරයෙන් බව මම ඒ මොහොතේ ගලපාගත්තෙමි. වාකිෂ්ඨ මහතාට ඇත්තේ අතිශය සියුම් තොරතුරු ජාලයකි.

"...උඹ මධුව බඳින්න හිතාගෙන එනකොට, කෙල්ල මාව බැඳලා... උඹේ සහතික වලට කලින් මගේ එක රෙජිස්ටර් වෙලා... "

"මචන්...."

"මම කියන්නේ බොරු නෙවෙයි නේද?"

"මචන්..... මම උඹට කියන්න හිටියේ..."

"ඔව් මචන්... වෙන්න පුළුවන්.. උඹට ඕනේ කලේ මගෙන් මධුලිකාව ගලවගන්න වෙන්න ඇති. ඒකට කමක් නැහැ.. උඹ මම ගැන දන්නා එකානේ"

"නෑ මචන් එහෙම නරකක් මම කවදාවත් මධුට කියල නැහැ... කිව්වේ නැහැ...! උඹ කියපුවා ඇත්ත.. ඒත් මම උඹට ද්‍රෝහී උනේ නැහැ බන්... මම ... මම....."

"මම දන්නවා උඹ කෙල්ලට ආදරෙයි..."

විරංග අසල තිබුණු ගසට හිස ගසාගෙන මොහොතක් ඉකිබින්දේය.

"මම යනවා බන්... මම ආයේ උඹට කරදරයක් වෙන්න එන්නේ නැහැ.... මම අර ජොබ් එක අරගෙන ෂිපින් ලයින් එකට යනවා... මම දැන්  ඒ තීරණය අරගෙන තියෙන්නේ... අර මිනිහා යකාට ගියාවේ"

 මම නිහඬව අසා සිටියෙමි.

"....ඊට කලින් මම උඹට මේ අවුල ලෙහන්න උදව් කරනවා.... මගෙන් වෙච්ච වැරදිවලට සමාවෙයන් බන්... මම ඒවාට උඹට ණයගැතියි.... "

"හ්ම්ම්ම්"

මම පිළිතුරක් දෙන්නට ඉක්මන් වුයේ නැත. 

 

******************************************


 

විස කැවුණු ඊතලයක් හදවත පසාරු කරගෙන යද්දී ඒ වේදනාව නොපෙන්වා සිනාසෙන්නට මම කෙලෙසක ඉගෙනගත්තාදැයි මම නොදනිමි. මම වෙනසක් නොපෙන්වා සිටියදී මධුලිකා වරක් දෙවරක් මගේ මුහුණ දෙස බැලුවා මතකය. මම ඒ සියලු බැලුම් නොපෙනුනා සේ සිටියේ හදවත වේදනාවෙන් මොරදෙද්දීය.

උදානි මා දැක මට රැව්වා මතකය. මධුලිකාගේ ඇඳ පසෙක තිබුණු මේසය මතින් මම රැගෙන ගිය කුඩා රතු රෝස පොකුර තබා , ඒ සමඟම පසෙකින් පිටතින් ගෙන්වන්නට තිබුණු බෙහෙත් කිහිපය තබා මම  හිස නොඋස්සාම දුරකථනය අතට ගත්තෙමි.

මධුලිකා මා දෙස දැඩි බැල්මෙන් බලා සිටිනු මට පෙනේ. මම ඇයට පසුපස හරවා පියවර දෙකක් ගමන් කලෙමි. තාරුක අයියාට ඇමතුමක් ගත් මම හුස්මක් නොගෙනම පිළිතුරු දුන්නෙමි.

"තාරුක අයියා... හෙට උදේට ටිකට් කපයි වගේ... "

 තාරුක අයියා එකවරම කිසිවක් නොකීවේය. මම කතා කරගෙන ගියෙමි.

".. බෙහෙත් ටිකත් ගෙනල්ල තිබ්බා... ඩොක්ටර් ටත් කතා කලා... කලින් තුවාල වෙච්ච කකුල ටිකක් ආයෙත් කෙටිලා වගේ නිසා තමයි .අමාරු.."

තාරුක අයියා කිසිවක්ම නොකිව්වේය.

".... ඕනේ දෙයක් තියෙනවා නම් කියන්න මචන්.. මම එහෙනම් යනවා"

"මචන්.... මොකක්ද උඹ ඔය කරන්නේ?"

තාරුක අයියා තදින් මට කතාකළේය. මම එහෙත් දුරකථනය විසන්ධි කොට සාක්කුවේ හුවාගත්තෙමි.

"උදානි මම ගිහින් එන්නම්"

මම ඒ සමඟම දොර විවර කරගෙන පිටතට පැමිණියෙමි. තාරුක අයියා නැවත අමතයි. මම එය ගණනකට නොගෙන ගියෙමි. කොරිඩෝව අවසානයේ පියගැට බසිමින් සිට මගදී පිළිතුරු සැපයුවෙමි.

"... ගොන් වස්සා... උඹ කතාකරපන් මධුට.... කියපන් උඹේ හිතේ තියෙන දේවල්"

පියගැට එතරම් කාර්යබහුල නොවූ බැවින් මම එතන නතර වුයෙමි.

"වැඩක් නැහැ මචන්"

"මොකක්ද වැඩක් නැහැ කියන්නේ...?"

මම වේදනාවෙන් දෑස පියාගත්තා මතකය.

"මධු.. මධු පව්... මට එයාට ප්‍රෙෂර් කරන්න බැහැ.... මධු... පව්... මම මධුට ආදරෙයි මචන්... මට එයාගේ කඳුළු බලන්න බැහැ ආයෙත්!"

 මම ආපසු හැරුනේ කවුරුන් හෝ පසුපස සිටිනවා වාගේ දැනුන බැවිනි. කිහිප දෙනෙක් මා පසුකොට යනවා පෙනුනද දන්නා කිසිවෙකු නොසිටියේය.

"බුරුවා.... උඹ කෙල්ලට ආදරේ නම් ඔහොම කරන්නේ නැහැ.. "

"උඹ දන්නවනේ මම ගැන මචන්..... මම මගේ ජිවිතේ කාටවත් මෙච්චර ආදරේ කරලා නැහැ කියල.. උඹට තේරෙන්නේ නැහැ.... "

මම ඇමතුම විසන්ධි කොට නළල බිත්තියට තබාගත්තෙමි. තාරුක අයියා නැවත ඇමතුවද මම ඊට පිළිතුරක් නොදුන්නෙමි. දුරකතනයේ ටාෂා විසින් එවූ පනිවිඩයක්  දුටුවේ ඒ මොහොතේදීය. මගේ සිත ඔද්දල් වී ගියේය. මම එම පණිවිඩය කියවුයේ වෙව්ලන හදවතිනි.

' මට ඔයාව හම්බෙන්න පුලුවන්ද තීක්ෂණ?'

ටාෂා ඈ හමුවූ අවසන් මොහොතේ හැසිරුණු ආකාරය ඈ කෙරෙහි මගේ පැහැදීමක් ඇතිකලාය.  ඒ හමුවෙන් පසුව ඈ මා වෙත ඉතිරිකල මතකයන් දෙකකි. එනම්, ඈ මට ප්‍රේම කරන බව සත්‍යකි ; ඇගේ අයිති කරගැනීමේ උවමනාව අසත්‍යකි.  

මගේ පව් සමාකර මධුලිකා මා නැවතත් පිළිගැනිම පිළිබඳව සියලු බලාපොරොත්තු මා තුලින් ගිලිහි ගියේ ඇගේ ඒ මහත්මා හැසිරීමෙනි. ඈ ඉතාමත් දුර්ලභ ගනයේ තරුණියක් වන නමුත් ඇගේ වාසනාවට හෝ අවාසනාවට ඈ කෙරෙහි ප්‍රේමයක් මා තුල හටගන්නේ නැත.

 'මම කියනම්'

 මම එලෙස ලියා යැව්වේ ඇගේ හිත රිදවීම අයහපත් නිසාය. ක්ෂණයෙන් පිළිතුරු ලැබුණි.

'ස්තුතියි තීක්ෂණ. ඔයා හොඳ පිරිමි ළමයෙක්'

මම දුරකථනය සාක්කුවේ රුවාගෙන පඩිපෙළ බැසගෙන ආවෙමි. නැවතත් දුරකථනය නාදවෙයි. මම එයට පිළිතුර සැපයුවේ කලබලයෙනි.

"ඩඩා ?"

"මම මග මේ එන ගමන්... කොහෙද ඉන්නේ?"

"ෆ්ලැට් එකට ආව ඩඩා... මමත් ගෙදර එන්න හදන්නේ... මුකුත් ප්‍රශ්නයක් එහෙම නැහැ නේද?"

මට තාත්තාගේ හඬ සෑහෙන තරමක වෙනසක් දැනුනි.

"මම සුන්දර් එක්ක වාහනේ යවනවා. ෆ්ලැට් එකට එන්නම් මම"

මගේ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවට තාත්තා ඔහුගේ තීරණය කීවේය. මට තරු විසි උනි. මහල් නිවාසයට තාත්තා ඒම අනතුරු දායකය.

"ගෙදර එන්න ඩඩා... මම මේ යන්නත් පිටත් උනා..."

"මම මේ දැන් ඉන්නේ ගෙදර... ඉක්මනට එන්න!"

මට දැනුනේ අනතුරක සේයාවකි.


********************මතු සම්බන්ධයි **************************  

2 comments:

  1. මලා. එක දියට ලියාගෙන ගිහින් නේද හිටු කියල. අනේ වාසනාවයි. මං මේ අද තමයි ඔක්කොම කියවන්න ගත්තේ. 44ත් කියෝලම වචනයක් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. පොඩි ඉස්පාසුවක් ලැබුනා.... අනේ එහෙම නෙවෙයි.. කොටසින කොටස දාන්න අප්පා කමෙන්ට් එකක්..... ලොකු දෙයක් කමෙන්ට් එකක් දාපු එකත්, මොකද මම හිතුවේ කවුරුත් මේක කියවන්නේ නැහැ කියල දැන්

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි