විසිතුරු කොල

Wednesday, June 16, 2021

250: සුහදිනියේ - 41 | තීක්ෂණ වියවුලක

    කලින් කොටසට 

 


 

මම කෙලෙස ඒ ආකාරයෙන් රඟපෑවා දැයි මටම සිහියට නගාගත නොහැක.

තාරුක අය්යාගේ විමතිය වැඩි ගණනකට නොගත්තා සේ මම ඔහු දෙස සිනහවෙන් බැලුවෙමි.

"මම කිව්වේ... පොඩි රණ්ඩුවක් ගියා බන්... තරහ ගියාම හරි වසයි. ඔහොම කිව්වට තරහ නිවෙනවා...කලබල වෙන්න එපා "

මම අපහසුවෙන් සිනහවක් නගාගත්තෙමි.
තාරුක අයියා මා විස්වාස කල බවක් නොපෙන්නුවද ඊට වඩා විස්තර ඇසීමෙන් වැලකි සිටීම යම් සහනයක් ලබා දුන්නේය.

අනතුරුව අප දෙදෙනා කතාබහ කලේ මධුලිකාගේ සිද්ධිය සිදුවන්නට ඇති ආකාරය ගැනයි. කම්පනය නිසා කිසිදු ලෙසකින් මානසිකත්වය නිරෝගී නොවුනද , මම එය නොපෙන්නා සිටීමට වෙර දැරුවෙමි.

තාරුක අයියාගේත් , මධුලිකා විසින් ඔහුට පවසා ඇති දේත් එක්ව ගත්විට මධුලිකා ගමන්කළ වාහනය අනතුරට ලක්වී ඇත්තේ අතිශය අවදානමක් මධුලිකා විසින් ගෙන සිදුකර ඇති ක්‍රියාවක් නිසා බව දැනගත් මගේ මවිල් කෙලින් වූයේ නිතැතිනි. 


 

ඇය විසින් විරංගගේ බාප්පාගේ අතත්, උරහිසත් දරුණු ලෙස කපා ඇත. එම දබරයේදී වාහනයේ පාලනය සියතින් ගිලිහිගිය බැවින්, බාප්පා විසින් එය මාර්ගයෙන් ඉවතට හැරවීමේදී පල්ලමට පෙරලි ගියද, බෑවුම එතරම් නොවූ නිසාත්, අසල ගසක රැඳීමෙන් ඔවුන් දෙදෙනාම වාහනයෙන් ඉවතට විසිවී ගොස් තිබිණ. මධුලිකා මුල් කොටසේදීම වාහනයෙන් ඉවතට විසිවීමෙන් අඩු තුවාල සහිත වුවද, බාප්පා යම් පමණක තුවාල සහිතව සිට ඇත. 

වාහන අනතුරෙන් ඇතිවූ කැළැල් අතරට මධුලිකා විසින් ඇතිකළ කැපුම් තුවාලද එක් කරන්නට තාරුක අයියා සමත් වී තිබුනේ තත්වය පාලනය කිරීමට ඔහු සතු මනා හැකියාව නිසාය. ඔහුගේ මිත්‍ර වෛද්‍යවරයා විසින් එය කිසිදු වෙනසක් නොදැනෙන සේ සිදුකර තිබුණු අතර විරංගගේ බාප්පා සිය පැහැරගැනීම ගැන නොකියා සිටි බැවින් කැපුම ගැනද නිරුත්තර වී සිටියේය.

මට ආ ගැටලුව මධුලිකාට එවන් පිහියක් කෙසේ ලැබුනාද කියාය. සාදයේ අප නර්තනය යෙදෙන අතරේ ඇති වූ බහින්බස්විමේදී මා තදින් බදාගත් මධුලිකාට මගේ ඉනෙහි තිබුණු එම පිහිය හසුවී ඇති අතර, ඇය මම ඉන් අනතුරක් කරනු බවට ඇතිවූ සිතුවිල්ලෙන් ඒ මොහොතේ ඈ එය මගේ ඉනෙන් සොරකම්කරගෙන තිබීම පුදුමාකාර අහම්බයකි. 

එම පිහිය මම වැටුණු තැනදී සෙව්වා මතක නමුත් එහි නොවුයේ මධුලිකා එය ගත් නිසා කියා මම හාන්කවිස්සියක් දැනගෙන සිටියේ නැත. ඇය ඒ පිහිය නොගත්තා නම් මෙවන් ගැලවුමක් ලැබෙන්නේ නැති වුවද ඒ දබරයේදී ඇයට ඊට වඩා කරදරයක් වන්නට ඉඩක් තිබිණ. ඒ කෙසේ  නමුත් මධුලිකා මෝඩ තරුණියක හෝ බියගුල්ලියක නොවේ.

මා සිත තුල තිබුණු කලබල ගතිය නිසාත්, ඇඟට දැනෙන තෙහෙට්ටුව නිසාත් නැවත නිවසට යා යුතු වුවත් මමත් තාරුක අයියාත් රෝහලෙන් පිටත්ව මුහුදු සුළඟ විඳිමින් වාහනයට වී සිටියේ සුපුරුදු කබානා අවන්හල ඉදිරිපිටය.

නිවසට පැමිණි මධුලිකා නොවන මධුලිකා යන තරුණිය ගැනත් සෑහෙන පමණක මන්ත්‍රණයක යෙදුනද , මටත් තාරුක අයියාටත් එහි මුලක් පාදා ගන්නට නොහැකි විය. තරමක පෙරැත්තයකින් පසුව විරංග පිළිබඳව නැවත කතා නොකරන්නට තාරුක අයියා එකඟ කරවාගන්නට හැකිවුයේ ඒ වනවිට ඔහුගේ බාප්පාගෙන් වන තර්ජනය නතර වූ බැවිනි. විරංග මධුලිකා මුදවාගැනීමේදී තාරුක අයියාට නොමද සහයෝගයක් ලබා දුන්නද, මම ඔහු කෙරෙහි උන්නේ කෝපයෙනි.

අපගේ කතා බහ යන අතරතුරදී වාකිෂ්ඨ මහතා මා අමතනු පෙනුනි. මම තාරුක අයියාට නොපෙනෙන්නට එම ඇමතුමට පිළිතුරු දුන්නේ වාහනයෙන් බැස ,ඈතකට ඇවිද යාමෙන් පසුවයි.

"හලෝ?"

"පුතා මොකක්ද මේ වෙලා තියෙන්නේ?"

මධුලිකා ඔහු ඇමතු බව මම දනිමි. නමුත් කොයි අන්තයෙන් පටන්ගන්නද කියා මට එකවරම සිතුනේ නැත. එබැවින් මගේ මුවින් පිටවුයේ කෙඳිරියක් වන්නට ඇත.

".... මිසිස් මධුලිකා තරහෙන් කතාකරපු බව මට තේරුණා. පුතා... මොකක්ද උනේ කියලා මුලින්ම කියන්න!"

"මේ.. පොඩි ප්‍රශ්නයක් උනා මිස්ටර් වාකිෂ්ඨ... තරහ අඩු උනාම හරියයි.. ගණන් ගන්න එපා"

"ගණන් ගන්නේ නෑ මමත් ඒක මේ විදියට නොකිව්වා නම්... අර පුතාගේ යාලුවා.. මොකක්ද එයාගේ නම කිව්වේ.. මම කිව්වේ අර මිස්ටර් මීගහතැන්න ගේ නමට චෙක් එකක් ලියන්නලු එච්චර ගානක.... මට එච්චර ගානම් රිලීස් කරන්න නම්, බෝඩ් එකට උත්තර දෙන්න වෙනවා... "

එය මා වේදනාවට පත්කළේ අන් කිසිවක් නිසා නොවේ, මේ මොහොතේ ඈ මගෙන් එය පලිගැනීමක් ලෙස ඉටුකරන බවක් මට දැනුනු නිසාය.

"කීයක්ද අංකල්?"

"ටූ හන්ඩ්‍රඩ් ලැක්ස්.. ලක්ෂ දෙසීයක්..!"

මම ගොළුව ගියෙමි.

".... අපි අනිද්දා හවස බෝඩ් මීටින් එකට යන්න ඕනේ එහෙනම් ඒක හදාගන්න. ප්‍රොෆිට් එක හරි සල්ලි හරි ගන්න පුළුවන් මිසිස් මධුලිකාට විතරයි... එහෙම උනොත් මට එයාලට කියන්න වෙනවාමධුලිකා ඇවිත් ඉන්නේ කියල. ඒක මේ වෙලාවේ හැටියට රිස්ක් එකක්. ඕක මිඩියා යන්නත් කලින් අර සතරසිංහ මහත්තය පනිනවා ඕක මැද්දට"

ඔහු කියන්නේ සත්‍යකි. මධුලිකාගේ අනන්‍යතාවය මේ මොහොතේ හෙළිකිරීමෙන් ඇගේ ආරක්ෂාව අනතුරේ වැටෙනු ඇත.

"මම.... මම කතාකරලා බලන්නම් මධු එක්ක"

"ඒ අස්සේ මට ඩිවෝස් පේපර්ස් හදන්න කිව්වේ?"

මගේ පපුව සිරවනවා සේ මට දැනුනි.

"දන්නේ නැද්ද තරහ ගිහින්.. පොඩි ප්‍රශ්නයක් උනා. ඒකයි.."

වාකිෂ්ඨ මහතා යම් තරමක නිශ්ශබ්ද බවකින් සිටියේ මගෙන් තව තොරතුරු  බලාපොරොත්තුවෙනි. මට ඊට වඩා කියන්නට යමක් නොවුනි.

"පුතා... මගෙත් එක්කත් දැන් තරහ වෙයි මිසිස් මධුලිකා. උනේ මොකක්ද කියල මට දැනගන්න ඕනේ නැහැ. නමුත් පොඩ්ඩක් පරෙස්සමෙන් වැඩකරන්න"

අනතුරුව යම් පමණකට වෙනත් දේ ගැන කතාබහෙන් පසුව වාකිෂ්ඨ මහතා ඇමතුම හමාර කරද්දීම නැවත දුකකතනයට ඇමතුමක් පැමිණියේය. එවර මා ඇමතුවේ ටාෂාය. මම ඇමතුම විසන්ධි කලෙමි. එය ඉබේම සිදුවුවා වන්නට ඇත. හිස් ඔසවද්දී මගේ ඉදිරියේ ටාෂා සිටගෙන සිටියේ සිය දුරකථනය අතේ තබාගෙනය.

"තීක්ෂණ?"

"ඔහ.. ටාෂා.. මම දැක්කේ..."

"දකින්නේ කොහෙද ලොකු කතාවක්නේ... මගේ කෝල් එකත් කට්  කළා"

ටාෂාගේ හඬ තුල වේදනාවක් තිබුණු බව මට වැටහුනද මම සිටියේ ඇගේ වේදනාව හඳුනාගන්න මානසිකත්වයක නොවේ. 

මට නැගුනේ මෝඩ පහේ සිනාවක් වන්නට ඇත. 


 ඇඟටම තදවුනු තද නිල්පාට ඩෙනිම් කලිසමකට සුදුපාට කොට බ්ලව්ස් එකක් ඇඳගෙන උන් ඇගේ සුරූපී බඩ ප්‍රදේශය පෙනෙන සේ බ්ලව්ස් එකෙහි ඉදිරියෙන් ගැටයක් ගසා තිබිණ. ඈ ලෙලදෙන සිළුවක් වැනිය.

"... ඔලුවට මොකද උනේ... මම අහගෙන ඔයාලගේ අම්මා අපේ මමීට කියනවා පාටි එකේදී තුවාල උනා කියල... බීලා ගහගත්තද? "

අම්මා එවැන්නක් ඔවුන්ට කිව්වේ කවර කරුණක් නිසාද? මට අමනාපයක් දැනුනද එය නොපෙන්නා හිස හරවා ඒ මේ අත වැනුවෙමි.

"ඒ වගේ තමයි..."

"එතකොට අර එක්කගෙන ඇවිත් ඉන්න කෙල්ලද ඔයාගේ ගර්ල්ෆ්රෙන්ඩ්?"

මට සිනහවක් ගියේය. ටාෂා මා දෙස බලා ඇස් කැරකුවාය. ඇයට අවශ්‍යව තිබුනේ මා ගැන සියලු තොරතුරු ඈ දන්නා බව මම අඟවන්නද?

"මේ බලන්න.. ටාෂා.... මේ මම මේ කියන්නේ...."

මම වචන අහුලන්නට වීමි. ටාෂා මට තවත් ලංව සිටගත්තේ  ; මට ඇගේ විලවුන් සුවඳ දැනෙන පරිද්දෙනි. එය නිකන්ම උඩු සුළඟට පාවී ගියායයි මට සිතේ.

"හ්ම්ම්ම්??"
ඒ හ්ම්ම් ශබ්දය අතිශය සරාගීය.

"මම කියන්නේ.. එදා එහෙම වෙච්ච එක ගැන වැඩිය හිතන්න එපා... ඒක එක අහම්බයක්... සමහරවිට... වැරැද්දක්... හරිද? වැඩිය සංකීර්ණ කරගන්න එපා... "

ටාෂාගේ එක ඇහිබැමක්  ඉහල ගියේය. ඇය යමක් පවසන්නට මෙන් මුව ඇර , වහා නතර කරගත්තාය.

"... අපි මේ ඉන්න විදිය හොඳයි... ඒක අමතක කරන්න... අපි අපේ සාමාන්‍ය ජිවිත වලට යමු."

"හ්ම්ම්ම්"

ටාෂා සිය උඩුතොල විකමිනි. මම සන්සුන් වන්නට උත්සහ කලෙමි. යන්තම් ටාශාගේ හිසට ඉහලින් ඇස් එසවූ මට වාහනයෙන් බැස මා දෙස යන්තම් බලා ඉවත බලාගත් තාරුක අයියා පෙනුනි.

".... මට උත්තර නොදුන්නේ ඒකද ?"

ටාෂා සන්සුන් හඬින් ඇසුවාය. ඈ දුකට පත්ව ඇති බවක් මට වැටහුණි.

"ටාෂා... මගේ වැරැද්ද වෙන්න පුළුවන්.. ඒ උනාට ඒක තනිකරම මගේ වැරැද්ද නෙවෙයි... මේ.."

ටාෂා මගේ වචන නවතා දැමුවේ සිය අත ඉහලට ඔසවා සන් කරමිනි.

"මම ඇහුවේ... මට උත්තර නොදුන්නේ ඒකද කියල... එදා සිද්දිය .. ඔව්.. මට තේරෙනවා.. ඇත්තට මට එදා තේරුනා තමයි... ඒ සම්බන්ධය එදා රෑට වඩා එහාට යන එකක් නෙවෙයි කියල.... ඔව්.. මට තේරුනා තමයි"

ඈ වේදනාවෙන් කීවද සන්සුන් හඬකි. මම පමණක අසරණ බවකට පත්වූයෙමි.

"... හ්ම්ම්ම්... ඒ උනාට මට මේ ටික ඔයාට කියන්න ඕනේ තීක්ෂණ... දන්නේ නැහැ කොහොම උනාද කියල. නමුත් ඔයාව දැකපු මොහොතේම මම ඔයාට ආදරේ කරන්න ගත්ත..."

මම ඈ කියන්නක් අසා සිටියේ  වටපිට බලමිනි. ඇගේ මුහුණ බලන්නට මට නොහැකිය. ඇගේ හඬ වෙනස් වුයේ නහයේ ඇතිවූ වෙනස්කම නිසාය. ඇය හඬන්නට බව මම දනිමි. හිතක් පපුවක් නැති තීක්ෂණ දැන් අවශ්‍යම මොහොතයි.

".... අපේ මමී ලා ඔයා ගැන කියපු හැමදේම ඇත්තම තමයි කියලා ඔයා දැකපු දවසෙම මම හිතුවා... "

"දැන් ඔය දේවල් අමතක කරන්න ටාෂා.. ඔයාට මට වඩා..."

"ඔයාට වඩා කෙනෙක් මට වැඩක් නැහැ... " 


ඇගේ කටහඬේ කිසිදු කෝපයක් තිබුනේ නැති බැවින් මගේ වරදකාරී බව ඉස්මතු වන්නට ඇත.

"අමතක කරන්න ටාෂා.. ඒක හොඳයි හැමෝටම... ඔයා නරක කෙනෙක් නෙවෙයි.. You are such  a sweet girl.... But You cant keep me anyway"

"What if I want to keep you?"

"It won't happen"

"What if you could not leave me?"

"It won't happen"

මම සිනාසෙන්නට උත්සහ කලෙමි.

"What if I'm pregnant?"

කන් අසල හෙනයක් පුපුරා ගියාක් මෙන් මම ටාෂා දෙස බැලුවේ ඇස්ගෙඩි දල්වාගෙන වන්නට ඇත.

 

********************මතු සම්බන්ධයි **************************  

6 comments:

  1. Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්

      කටේ පිට්ටු හිර උනාමත් ඔහොම්මමයි

      Delete
    2. මල පැන්නාමත් මෙහෙමයි! ඉදිරියේ අපෙනුත් සුපිරි කමෙන්ට් බලාපොරොත්තුවෙන්න!

      Delete
    3. හම්මියෝ ඔන්න ඉතින් ඒ පාර පටන් ගත්ත....

      Delete
  2. මල කෙළියයි. හොඳ වැඩේ උනේ එක අතකින් ඔය පල් මෝඩයට.

    ReplyDelete
    Replies
    1. වීරයින් මෝඩයින් වන බව ඉතිහාසයේත් කියන්නේ නැහැ. සමහරවිට මෝඩකමට කරන දේකත් වීරත්වයක් තියෙනවා. වීරකමට කරන දේවල් මෝඩ වැඩක්ම තමයි!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි