විසිතුරු කොල

Friday, June 4, 2021

247. සුහදිනියේ - 38 | මධුලිකා සොයා මෙහෙයුමක්?

  කලින් කොටසට 


 

කෙතරම් වෙලාවක් මම ක්ලාන්ත ස්වභාවයෙන් සිටියාදැයි මතකයක් නැත. යාන්තම් සිහියක් මා කරා එනවිටම කෙසේ හෝ බඩගාගෙන නැගිටගත් මම අඩසිහියෙන් මෙන් උන් විරංග ජීප් රථයට වත්තන් කරගෙන එන්නට හැකි වුයේ, අප සිටියේ රථගාලේ පසෙක විවෘත වන කුඩා උද්‍යානයේ නිසාය. 

පහර වැදීමෙන් බිම පතිතවූ මගේ ජංගම දුරකථනයේ මුහුණත ඉරිතලා ගියද එයින් වහාම තාරුක අයියා අමතන්නට මට සිහිය තිබිණ. අඩසිහියෙන් උන් විරංග පසුපස ආසනයට දැමු මම ඊළඟට පොකට්ටුවේ සෙවු දෙය තිබුනේ නැත. නැවත උද්‍යානයට යා නොහැකිය. අපට පහර දෙනවා කවුරු හෝ දකින්නට ඇත. පහර වැදී බිමට වැටෙනවිට ඉනෙහි කුඩා පැසක තබාගෙන සිටි කුඩා නමුත් මුවහත් පිහිය, පැස සමඟින්ම වැටීමට ඉඩක් නැති වුවද, එය දැන් නැත!

හිසට වැදුණු පහරින් මගේ දෑත් සහ දෙපා පන නැතිව ගියාක් මෙන් දැනේ. වාහනය පදවාගෙන යාමට තරම් ශක්තියක් මගේ ගතතුල නොමැති වුවද මධුලිකා පැහැරගෙන යාමෙන් ඇතිවූ කම්පනය විසින් ගතේ වේදනාවත් දුබලකමත් අමතකොට දමන්නාක් මෙනි. 

ආයාසයකින් තොරවම මගේ ඇසින් කඳුළු කඩා හැලුනු අතර මගේ සිත මෙතෙක් නොඇදහූ දෙවියන් වෙත යාතිකා කරමිනි. 

මගේ මධුලිකා පැහැරගෙන ගොසිනි! 

කවුරුන් විසින් කුමන අරමුණකින් කළාදැයි හරිහැටි කිව නොහැකි වුවද මේ වනවිට ඈ කුමන බිහිසුණු අත්දැකීමකට මුහුණදෙනවාදැයි මට සිතාගත නොහැකිය. මගේ ඇස මානයෙන් හෝ ඈතට නොඇර ඈ රැකගත්තේ මා තුල සිටි වගකිම්සහගත පෙම්වතා නොවේද? මා තුල උන් සිඳුලෝලී තරුණයා විසින් ඈ වේදනාවට පත්කොට සිටියදී මධුලිකා මගෙන් ගිලිහීම ඛේදවාචකයකි.

තරුණියක වෙනුවෙන් ජීවිතය පරදුවට තබන්නට තරම් මම පෙම්වතෙක් වුයේ කෙලෙසකද? ප්‍රේමය වනාහි මායාවකි. ඇටමිදුළු වල ; නහරවැල් හරහා හදවත පසාරු කරගත් කෝෂිකා තුලට කිඳාබැසගත් හැඟීමකි. බිඳී බිඳී යලි යලිත් එක්කාසුකරගත් සෑම ප්‍රේමනීය මොහොතක්ම මා ඉදිරියේ චිත්‍රපටයක් සේ මැවී පෙනෙන්නට විය. 

හිස බමන්නට වුයෙන් මම ජීප් රථයේ ඉදිරි ආසනයට යන්තම් බරවීමි.

මධුලිකා ගෙනගියේ කවුරුන්ද? විරංගට පහරදුන්නේ ඔවුන්මද? දුලිප් සතරසිංහ මා මෙහි බවක් දැනගන්නට ඇත්තේ අවම අවස්ථාවකි. තාත්තා මගේ හිස පලා මධුලිකා මා වෙතින් රැගෙන යාමක් කිරීම කිසිදා නොවනු ඇත. වාසුල ජයවර්ධනට සිටි මැරයින් මට මෙලෙස කරන්නේ නැත.

ඈ ගෙනගියේ කවුරුන් වුවද, ඒ ඕනෑම අයෙක් හා ජීවිතය පරදවා සටන් කරන්නට මම මටම දිවුරා ගත්තෙමි. 

මා මධුලිකා සොයා යා යුත්තේ කොහිද? ඈ රැගෙනගොස් දැන් විනාඩි තිහකට ආසන්න වන්නට ඇත. ඔවුන් ලුහුබැඳ යාමක් මට කරන්නට නොහැකි වන්නේ ඔවුන් ගිය අතක් සොයා යන්නට මට කිසිදු හෝඩුවාවක් නොමැති බැවිනි.

මම වහා වාහන රියදුරු ආසනය ඔසවා මගේ අනෙක් ආයුධය අතට ගත්තෙමි. පතුරොම දමා එය සුදානම් කරනු ඇසුණු විරංගට සිහිය එනවාක් මෙන් මට පෙනුනේ වාහන අංගනයේ ඇති අඩ අඳුර අතරිනි.මගේ හිස ඉහල කොටස වන්නට සෑහෙන වේදනාවක් දැනෙයි. ඊට වඩා හදවත වේදනාවෙනි.

තාරුක අයියාගේ ඇමතුමට මම පිළිතුරු දුන්නේ රිවෝල්වරය එක අතකින් ගෙන එය විරංග දෙසට හරවමිනි.

"මචන්.... පිස්සු නම් කරන්ඩ එපා... මම එනකල් හිටපන්"

"මම යන්නේ ...... "

"ඔහොම යන්ඩ එපා මචන්... ඔලුව පැලිලා නම්? ලේ යනවත් ඇති. ගොන් වස්සෙක් වගේ වැඩ කරන්ඩ එපා මේ වෙලාවේ... මම මේ මග එනවා.."

දුරකථනය විසන්ධි කොට මම එය සාක්කුවේ රුවාගෙන නැවත විරංග දෙස බලද්දී ඔහු මා දෙස බලා සිටියේ භීතියෙන් බව මට වටහාගැනීමට අසීරු නොවීය.
මම රිවොල්වරයේ කොකා ගස්සන්නට මෙන් එය පසුපසට ඇද්දෙමි.

"මට ඇත්ත කියපං විරංග..... කවුද මධූ ගෙනිච්චේ?"

විරංග නොසෙල්වී සිටියේය. ඔහුගේ මුහුණ මට සෘජුවම නොපෙනේ. නමුත් ඔහු කල්පනාවට වැටී ඇති බව මට වැටහුණි. යන්තමට අත ඔසවන්නට සුදානම් වන විටම මම රිවෝල්වරය ඔහුගේ හිසට තද කලෙමි.

".... මට කියපං &&* කවුද මධූව ගෙනිච්චේ?????"

මම මහා හඬින් ගුගුරන්නට ඇත. විරංග බියට පත්වන්නට ඇත. අවුරුදු දහතුනක් තිස්සේ මා හඳුනන මිත්‍රයා මගේ මේ මානසික තත්වය නොහඳුනන්නට කිසිසේත්ම හැකියාවක් නැත. මම කුකුල් කේන්තිකාරයෙකු බව විරංග සියල්ලන්ටම වඩා දනී.

"ම... මම දන්නේ නැහැ බං... මම කොහොමද දන්නේ?"

"උඹ හිතුවද මම බබෙක් කියල?"

"................."

"මට පිටිපස්සෙන් හිටියේ කවුද කියල උඹ දැක්කා... මම ගොනෙක් කියලද උඹ හිතන්නේ.. හොඳ හිතින් මට ඇත්ත කියපන් ^%$^% ^&%&( "

එවිටම වාහන අංගනයට සැර දමමින් තාරුක අයියාගේ බ්ලු බර්ඩ් රථය පිවිසියේය. එය මා අසලම තිරිංග තද කලේ ක්ෂණයෙන් තාරුක අයියා එයින් එළියට පන්නවමිනි.

"මට ඇත්ත කියපන් විරංග, නැතිනම් උඹ දන්නවනේ මේ හැටි!"

තාරුක අයියා මගේ තත්වය දැක යම් පමණකට ගැස්සී ගිය බවක් පෙනුනි. ඒ අතරතුර ආරක්ෂක අංශයේ දෙදෙනෙකු අප සිටිනා පැත්තට වේගයෙන් ඇවිද එනු ඇසුනි. තාරුක අයියා ඔවුන් දෙසට ගොස් ඔවුන් අහුරා කතාකරනු මට පෙනුනි. මගේ ඇස් පෙනීම යම් තරමක අපහසුවකි. මම ඇස වඩාත් විවෘත කරමින් සිහියෙන් සිටින්නට උත්සහ කලෙමි.

"මම දැක්කේ නැහැ බන්... ඇත්තමයි කියන්නේ"

මම වහා විරංගගේ කොලරයෙන් අල්ලා මා වෙත ඇදගත්තෙමි.

"උඹ මගේ යකා දැකල තියෙනවනේ.... "

"......................"

මට මහා දුකක් දැනුනි.

"තෝ මේ වගේ බලු වැඩක් කලේ කොහොමද %%$%^* පුතෝ????????? මම උඹට කරපු වැරැද්ද මොකද්ද කියපං!!!!  "

කොලරයෙන් ඇදගත් විරංග මම වේගයෙන් ජීප් රථය තුලට විසිකොට දමා කෑගැසුවෙමි. මගේ වේදනාව අප්‍රමාණය. අනතුරුව මගේ මුවින් පිටවුයේ නොසරුප් වදන් වැලකි. මට ඉකිබිඳුනේ ඉබේටමය. 

විරංග මගේ ප්‍රාණසම මිතුරාය. මගේ දුකේදී ඔහුත් ඔහුගේ දුකේදී මමත් එකිනෙකා වෙනුවෙන් සිටියෙමු. මගේ සියලු රහස් දන්නේද ඔහුය. ඔහුගේ සියලු රහස්ද මට පවසා ඇත. ඇත්තටම මට ඇත්තේ වෛරයකට වඩා තදබල කලකිරීමක් වන්නට ඇත.
මේ සියල්ල සිදුවුයේ මධුලිකා නිසාද? ඇය හා සබඳකමක් අවශ්‍යව තිබුනේ මටය. විරංග කිසිවිටෙක ඈ හා ප්‍රේමයෙන් සිටියාද?

"... මධු.. මධූ එක්ක උඹේ එෆෙයාර් එකක් තිබ්බද කියපං...?"

මධුලිකාට යමක් වුවහොත් මජේ ජීවිතය මම ඒ මොහොතේම නැතිකරගන්නා තරමට මගේ සිත උමතුව ගොස්ය. විරංග පිළිතුරක් දුන්නේ නැත. තාරුක අයියා පැමිණ ක්ෂණයෙන් මග අතෙහි රිවෝල්වරය උදුරා ගත්තේ මට සිතන්නටත් පෙරය.

"පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරපන් මෝඩයෙක් නොවී. හම්මටසිරි... උඹේ ඔලුව පැලිලා... වරෙන් යන්න හොස්පිට්ල්... උඹ ලේ ගිහින් මැරෙයි..."

"මට මධූව හොයාගන්න ඕනේ.."
මම බමන හිස නළලේ අත තබාගෙන කීවෙමි.

"මගුලක් කියනවා.... ඒකට උඹ ජිවත් වෙලා ඉන්න එපැයි.. යමන් අර උඹේ යාලුවාගේ ඩිස්පන්සරි එකට... ගිහින් මේ ලේ ටික නතර කරවල... ආ... මේ ඉලන්දාරියාට මොකද... තුවාලද? "

විරංග දෙස බලමින් කියූ තාරුක අයියා මා දෙස සෘජු බැල්මක් හෙලුවේය.

".... නැගපන් මගේ කාර් එකට. ජීප් එක මෙහෙම තිබ්බාවේ... යාළුවාටත් නගින්න කියපන්.. හ්ම්ම් හ්ම්ම් ඉක්මනට.."

*****************************************

ඩිස්පන්සරිය වෙත ගිය අපගේ තුවාල සහ තත්වය දුටු නැන්දා මහත් කම්පාවට පත් වුයෙන් මධුලිකා අනතුරක් නොමැතිව සිටින බවට බොරුවක් කියා සන්සුන් කරන්නට සිදුවිය. 

 මගේ හිස පැලී තිබුනද වාසනාවට හිස් කබලට හානියක් වී තිබුනේ නැත.

මගේ තුවාලයට මැහුම් දමා නිමකරනවිට මම වේදනාව දරාගෙන උන්නේ මධුලිකා ගැන සිතමින් මට හඬන්නට නොහැකි නිසාය. තුවාලවලට බෙහෙත් දමද්දී හෙදියන් දෙදෙනා මට කවටකම් කලේ මධුලිකාත් මමත් තරඟයට බේත් දැමීම, මැහුම් දැමීම කරනවා යයි කියමිනි.

වෙළුම් පටි වලින් හිස ඔතාගෙන මම විවේකය සඳහා මැද මිදුල් කොටසට ආවේ තාරුක අයියා සමඟිනි. විරංග ඒ කොටසේ සිට මා එත්ම ගැස්සී මා දෙස බැලුවේය.

"උඹ හිතුවද මම පොල් බුරුවෙක් කියල? "

විරංග දුටු සැනින් වහා කිපුණ මම විරංග වෙත පැන්නද තාරුක අයියා මා තදකොට අල්ලාගත්තෙන් , දකුණු කකුලෙන් මම විරංගට පා පහරක් එල්ල කලෙමි. අනපේක්ෂිත වූ බැවින් , විරංග එය වැදී බිත්තියේ වැදුනේය.

"මල්ලි... මේ වෙලාවේ හැටියට කරන්න හොඳම දේ ඕනේ කරන්න.... ඒ හින්දා ඇත්ත කියන එක තමයි හොඳ... බාප්පද එතකොට..."

තාරුක අය්යා තත්වය සමනය කරන්නට මෙන් ඇසූ අතර විරංග යන්තමට 'ඔව්' කියන්නා සේ හිස ඉහල පහල ගෙන ගියේය. මගේ අනුමානය නිවැරදිය.

"මගේ ඔලුවට ගහනකොට උඹ බලාගෙන හිටිය එකෙන්ම මට හිතුන. ^$^%$^%!  ඌ උඹටත් ගැහුවේ සැකයක් නොහිතෙන්න. ඒ උනාට මම දන්නවා... T%$%^^%&^ බාප්පා කාරයා උඹද එක්කගෙන ආවේ..??????"

තාරුක අයියා මට සන්සුන් වන්නට සන් කළේය.

සන්සුන් වන්නේ කෙලෙසකද? 


මධුලිකාව පැහැරගෙන ඇත්තේ විරංගගේ බාප්පා විසිනි. තුවාන් අයියාගේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් දමාගන්නා අතරතුර නොයෙකුත් අතට කල්පනා කල මම විරංගට එතරම් තුවාලක් නොවීමේ රහස සොයමින් දස අතේ කල්පනා කලෙමි. අන් සියල්ලන් සමීකරණයෙන් ඉවත්කලවිට ඉතුරු වුයේ විරංගගේ බාප්පාය. විරංගගේ උපකාරයක් නොමැතිව ඔහුට මෙය කළහැකි නොවේ!

මුදලට කෑදරව ඔහුගේ සුළු පියා මධුලිකා පැහැරගන්නට තරම් සැහැසි වීම අතිශය පහත් තත්වයකි.

 "මට සමාවෙයන් මචන්.... මම හිතුවේ නැහැ බාප්පා කාරයා මාව පාවලා දෙයි කියල.. අනික..... කිඩ්නැප් කරනවා කියල"

"අඩෝ මේ %$%^$^ ... මගෙන් අහගන්න එපා!"

"මල්ලි ටිකක් කලබල නැතුව ඉන්නකෝ විරංගට කතාකරන්න දීල.. "

තාරුක අයියා මා සන්සුන් කරමින් කියා විරංග දෙසට හැරුනේය.

"..... විරංග... දැන් වෙච්ච දේ උනා... මධුලිකාව ගෙනිච්චේ උඹේ බාප්පා නම්, ඒ  කොහේටද ? මොකටද?? "

විරංග අසරණ බැල්මක් හෙලුවේය. ඔහු නොදන්නවා වන්නටද හැකිය.

"......අපි පොලිසි ගියොත්.. මල්ලි දන්නවනේ මේක බරපතල තත්වයක්... සල්ලි දෙනවා කියලා තියෙද්දිත් ඇයි මධුලිකාව කිඩ්නැප් කලේ?"

"මම... මම හරියට දන්නේ නැහැ අයියා...."

ඉන්පසුව විරංග පැවසුවේ ඔහුගේ කතාවයි.

මධුලිකා බණ්ඩාරවෙල අතරමන් වී ඇති බවට දුරකථන ඇමතුම ආ විට එයට උත්තර සපයා ඇත්තේ බාප්පාය.එතැන් පටන් බාප්පා සිය දුරකථනය ඔහු භාරයේ තබාගත් බව කියූ විරංගගෙන් මම ඇසුවේ එකවරක් වත් මට ඔහුගේ නිවසේ ස්ථාවර දුරකතනයෙන් දැනුම් නොදුන්නේ මන්ද කියා පමණකි. බාප්පා ඔහුට තර්ජනය කොට තිබුනේ මවගේ ජීවිතය පරදුවට තබා බව කී විට එය විස්වාස කරන්නට මට සිදුවිය. බාප්පාගේ ඉතිහාසය දන්නා මම, එම තත්වය තේරුම් ගත්තෙමි.  ඉන් පසුව විරංග ගේ දුරකථනය භාවිතා කරමින් ඔහු මා නොමග යවන්නට උත්සහ කල ඇති අතර ඔහු තනිවම මධුලිකා සොයා මස්කෙළියට පැමිණ තිබේ

මධුලිකාගේ තිබුණු උපායශීලි බව නිසා බාප්පාට වඩා මස්කෙළිය දන්නා මට ඔහුට පෙර ඈ සොයාගන්නට හැකිවීම වාසනාවකි. ඉලක්කය සපුරාගත නොහැකිවුවද එයින් නොනැවතී, මම නැවත කොළඹ පැමිණ ඇති බව අපගේ නිවසට දුරකතනයෙන් අමතා දැනගත් බාප්පා, ඉන්පසුව විරංග යොදාගෙන මධුලිකා නිවසින් ගෙන්නා ගැනීමට ඇයට ඇමතුම් රැසක් ලබාදී තිබේ. මධුලිකා ඇමතුම් කිසිවකට ප්‍රතිචාර දක්වා නොතිබීම නිසා අද සාදයේ සංවිධායකයින් හරහා ඈ මෙහි මා සමඟ පැමිණ ඇති බව දැන , පැහැරගැනීම සැලසුම් කරන්නට ඇත. පැහැරගැනීමක් ගැන  බව විරංග නොදන්නා බව කීවද එය මට විශ්වාස කල නොහැකිය. 

සැලසුමේ හැටියට මට නොදැනෙන්නට ඈ ශාලාවෙන් පිටත් කරගන්නට හැකිවී නැත්තේ ඒ අතරතුර මමත් මධුලිකාත් අතර ඇතිවූ බහින්බස්වීම නිසාය.

නමුත් අවසරයක් ලත් සැනින් වාහන අංගනයේ උන් බාප්පා මධුලිකා ගෙනයද්දී, විරංගට පහරදී ඇත්තේ මට සැකයක් නොසිතෙන්නට යයි මම අනුමාන කරමි. නැතිනම් නිස්කාරනේ පහරකන්නට විරංග කැමති වූවායයි මම නොසිතමි. 

මමත් තාරුක අයියාත් මදක් සාකච්ජා කළෙමු. අනතුරුව විරංග වෙත පැමිණි මම ස්ථිර හඬින් හඬ අවදි කලෙමි.

"කෝල් කරපන් %$%^ ඌට....! උඹ මාව  මධුලිකා ඉන්න තැනට එක්කගෙන යන්න ඕනේ.... මම දන්නවා ආන්ටි මේ කිසි දෙයක් දන්නේ නැහැ කියල.... "

විරංග එසැනින් එයට කැමති විය. ඔහු වෙතින් සිදුවූ අතපසුවිමට ඔහු කනගාටු වන බව පෙනෙන්නට තිබුනද, මට ඔහු කෙරෙහි කිසිදු සංවේගයක් ඇතිවුනේ නැත.

ඇමතුම ගත්තේ තාරුක අයියාගේ ළඟ තිබුණු අමතර දුරකථනයෙනි. එහි අංකය තුලින් අනන්‍යතාවයක් සොයාගත නොහැකිය. ඇමතුම් දුසිමක් පමණ ගත්තද දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බවක් කීවේය.

"මැසේජ් එකක් දාපන්.... සල්ලි ඕනේ නම් දෙන්නම් කියල............ ඔය $$^ පරයා මගේ මධුලිකාට මොනවත් කලොත් ඌව මරනවා කියලත් ලියපං..."



මහත් ආවේගයෙන් හඬන මා තුල සිටින පෙම්වතා විසින්, මධුලිකා ගැන ඇති ප්‍රේමය පිරුණු හදවත පැලී යන්නට තරම් බිම ගසමින් විලාප දෙනු ඇසේ. තාරුක අයියා මට මගේ දුක පිටකරගන්නට හැර විරංග සමඟ මිදුලේ කොනකට රැගෙන ගියේය. මම බිත්තියේ අඳුරු මුල්ලකට වී දෝතින් මුහුණ වසාගෙන හඬන්නට වීමි. මගේ දුරකථනය නාදවනු ඇසී මම එය අතට ගත්තෙමි. තාත්තා??

මම වහා මගේ හඬ සාමාන්‍ය වන්නට උගුර පාදාගෙන ඇමතුමට පිළිතුරු දුන්නෙමි.

"ලොකූ  කොහෙද ඉන්නේ?"

තාත්තා යම් තරමක කලබලයෙන් කතාරනවා යයි මට ඉව වැටුණි.

"ම... මම මේ... අර ඉස්කෝලේ පාටි එකට ආව..... මේ... එතැන පොඩි වලියක් බේරන්න ගිහින් චුට්ටක් තුවාල.."

"කොහෙද තුවාල උනේ? කොහෙද දැන් ඉන්නේ?"

සම්පුර්ණයෙන් බොරුවක් කිව නොහැක. මට ඇති තුවාලය සැඟවිය හැකි දෙයක් නොවේ.

"නෑ ඩඩා මට කිසි ප්‍රශ්නයක් නැහැ.. මම මේ බෙහෙත් දාගන්න ආපු ගමන්.. ඇයි ?"

"මේ... අර මම කිව්වේ.... අර ළමයෙක් නතර කරගන්න ඕනේ කියල... අර මම කිව්වේ..."

තාත්තා කවරදාටත් වඩා ගොත ගසයි. නමුත් එය පරයා මගේ භීතිය නැගුණි.

"ඔව්.."

"පුතා පාටියට ආයේ යන්න ඕනේ නැහැ... ඒ ළමයා මම පික් කරන්න යනවා... මගෙත් එක්ක යන්න එන්න.. මම ලොකූව ගන්නේ කොහෙන්ද?"

මාගේ හිස තඩි ගලක වැදුනා සේ නිලංකාර වී ගියේය. මේ කියන්නේ මධුලිකා ගැනද? මට පුතා කියා තාත්තා ඇමතීමත් පුදුමයකි. ඔහු එතරම්ම කලබල වී ඇති සැටියකි. කලබලයට මා අතින් දුරකථනය ගිලිහි බිමට වැටුණි. කලුවරේ එය යලි අහුලාගත් මම හති හලමින් තාත්තාට පිළිතුරු දුන්නෙමි.

".. ඔ.. ඔ.. ඔව්! මේ දැන් එන්නම්... කොහෙටද එන්න ඕනේ?"

"ක්‍රෙස්කැට් එක ඉස්සරහට එන්න... පාටිය තියෙන්නේ ඒ ළඟ කියලා අම්මා කිව්වා.."

"ඔ.. ඔව් ඔව්.. මම මේ එනවා.... විනාඩි දෙකෙන් එතන !"

දුරකථනය විසන්ධි කල මම පිම්මේ නැගි එළියට පැන්නෙමි.

"තාරුක මචන් !....... දීපන් මට වාහනේ... "

විරංග සමඟ කතාවේ සිටි තාරුක අයියා මා දැක බියට පත් වන්නට ඇත. ඔහු මා දෙස බැලුවේ පුදුමයෙනි.

"උඹට ඩ්‍රයිව් කරන්න බැහැ ඔහොම. පිස්සුද? ඇයි කොහේ යන්නද?"

මම විරංග දෙස බලා වචනයක්වත් නොකියා තාරුක අයියාගෙන් යතුර ඉල්ලන්නට අත්ල පෑවේ නොඉවසිල්ලෙනි. තාරුක අයියා යතුර දුන්නේ නැත. ඔහුට යමක් වැටහෙන්නට ඇත.

"යං මම උඹ එක්ක එනවා"

"එපා! උඹ ඉඳපන් මේ පරයා එක්ක.. ඌට කොහෙවත් යන්න දෙන්න එපා. "

තත්පර කිහිපයක තද නිශ්ශබ්දතාවය අතර මම තද බැල්මෙන් විරංග දෙස බැලුවෙමි. විරංග බිම බලාගත්තේය.

".........මගේ මධුලිකා කිසි අවුලක් නැතුව මගේ ඇස් දෙකෙන් දකිනකල්, මම උඹට යන්න දෙන්නේ නැහැ.. අන්න ඒක මතක තියාගනින්! මම යන්නම්.. උඹ ඉඳපන්..."

"බෑ බෑ උඹ කොහොමද ඩ්‍රයිව් කරන්නේ ඔහොම... මම කියන්නද? අපි දෙන්නත්  එන්නම්... යමු"

තර්ක කරන්නට මට වෙලාවක් නොවිණි. විනාඩි කිහිපයක් ඇතුලත මම තාත්තා කියන තැන සිටිය යුතුය. අවසානයේ මම එයට කැමති වුනෙමි. නමුත් විරංග පසුපස ආසනයේ දෑත පසුපසට කර ගැටගසා ,කලුපාට පටියකින් දෑස් බැඳ සිටියේ, ඩිස්පැන්සරි එකෙන් ඉල්ලාගත් උපකරණ භාවිතා කොට සවන් හොදින් ආවරණය වන පරිද්දෙන් තබමිනි. අප යන්නේ කොහිද කියා හෝ අපගේ සංවාදයන් හෝ ඔහුගේ දැනගැනිමකට ලක්විය යුතු නැත. 


තවදුරටත් මට විශ්වාසය තැබියහැකි මිතුරෙක් එහි නොසිටිය බැවින් ඒ ගැන මට කණගාටුවක් දැනුනේද නැත.

 ******************************************

තාත්තා එනවානම් එන්නේ තනිව බව මම දනිමි. නමුත් ඔහු ගෙනෙන්නට යන මේ තරුණිය ; මධුලිකා ; ගන්නට ඔහු යා යුත්තේ විරංගගේ බාප්පා ළඟට විය යුතුය. එහිදී කුමක් වේදැයි මට නිශ්චිත වශයෙන් කිව නොහැකිය. 

තාත්තා යන්නේ විරංගගේ බාප්පා සොයා නම්, ඔහු මට පහරදී පැමිණි බව දැනී කුමන තත්වයක් උදාවේද?

සියල්ලටම පෙර සූදානමක් අවශ්‍ය නිසා තාත්තා සමඟ මා යන පසුපසින් තාරුක අයියා එන්නට අපි දෙදෙනා කතිකා කරගත්තෙමු. ඕනෑම දෙයකට සුදානමින් මම පතොරොම් සහිත රිවෝල්වරය ජැකට්ටුවේ ඇතුලත , කලිසමේ වාටිය ඔස්සේ සුරැකිව තබාගත්තෙමි. මගේ තියුණු මුවහත් පිහිය දබරය වූ මොහොතේ කොහේ හෝ වැටෙන්නටඇති බැවින් වෙන විකල්පයක් නොමැත. සමහර වෙලාවට තාත්තාගේත් මගෙත් අතර තීරණාත්මක හෙළිදරව්වක් සිදුවන දිනයක් වන්නට අද බොහෝ ඉඩක් ඇත.

මා ක්‍රෙස්කැට් ගොඩනැගිල්ලේ පිවිසුමෙන් බැස්සවූ තරුක අයියා සාදයට පැමිණෙන අනෙකුත් වාහන ගාල් කරන ස්ථානයේ වාහන අතර සැඟවී යන පරිද්දෙන් වාහනය ගාල් කළේය. මම තාත්තා ඇමතීමි. වරක් නාද වනවිටම එයට පිළිතුරු ලැබුණි.

"මේ එනවා... තත්පරයයි..."

"හරි"

ඇමතුම විසන්ධි වනවාත් සමඟම පාරේ ගමන්කළ වාහන අතුරින් තාත්තාගේ ජීප් රථය මතුව විත් මගේ දෙපා අසළ නතර විය. මගේ චකිතය නිසා තරමක වෙව්ලීමක් ශරීරය පුරාම විහිදුනි.

".අපොයි.. ගොඩක් තුවාලනේ... කොහෙද තුවාලේ... ඇයි ඔච්චර ලොකුවට ගැටගහල? "

තාත්තා වාහනයට නගින්නට දිරා හැරි මා දුටුවනම කියවාගෙන ගියේය. ඔහුගේ ස්වරය සෑහෙන්නට වෙනස්ව ගොස්ය.

"නෑ ඩඩා දන්නේ නැද්ද.. පොඩි වලියක්.. මාව වැටුනා එතන ලිස්සලා බේරන්න ගිහින්.. ලොකුවට නැහැ.... යාලුවෙක්ගෙ තැනකට ගිහින් බෙහෙත් දාගත්ත... "

පාසලේ දබර වලට මම එතරම් පැටලී නැතත්, ඉඳහිට මෙලෙස හිස තුවාල කරගෙන ඒම අප නිවසේ ලොකු කාරණාවක් නොවීම යහපතකි.

"කෝ වාහනේ?"

"ආ... ඒක පාක් එකේ තිබුනාවේ.. පාටි එකෙන් පස්සේ විරංග ඒක අරගෙන යයි."

"ආ..."     



මම යන්තමට අඩ අඳුරේ තිබුණු තාත්තාගේ මුහුණ  දෙස හොරැහින් බැලුවෙමි. ඔහුගේ මුහුණ සෑහෙන තරමකට කැළඹී ගොස්ය. වාහනයේ දැක්වුයේ දැන් වෙලාව රාත්‍රී දහය පසුවී විනාඩි දහ හතරක් බවයි. අපට මධුලිකා බාරදෙනවා නම්; ඇය යහතින් සිටිනවා ඇත. මගේ හදවත දෙවියන් යදිමින් ඉල්ලා සිටින්නේ ඇයට කිසිදු අනතුරක් මම දකින තුරා නොවේවා කියාය.

කුකුස දනවන්නේ මුදල් සඳහා විරංගගේ බාප්පා විසින් පැහැරගෙන ගිය මධුලිකා තාත්තාගේ අතට පත්වන්නේ කෙලෙසකද යන්නයි. මේවා අතර සම්බන්ධය සොයන්නට නම් මේ ගමන යා යුතුමය.

වාහනය පාරට ගත් තාත්තා නිහඬව එය පදවන්නට වුයෙන් අප අතර පැවතියේ නිහඬතාවයකි. නමුත් මගේ සිත මහා හයියෙන් මොරගසමිනි.

'මධුලිකා ඔබ දකිනතුරු මට නින්දක් නොමැත! මලක් මෙන් ඔබ සුරැකි මට ඔබේ මේ අතුරුදන්වීමෙන් පසුවසැනසිල්ලක් ලැබෙන්නේ කෙලෙසකටද?'

තාත්තා ප්‍රධාන පාරෙන් හරවා අතුරු පාරට දමද්දී , යන්තමින් පසුපස බලන කණ්නාඩියෙන් පිරික්සුවේ තාරුක අයියාගේ වාහනය අප පසුපසින් පැමිණීම තහවුරු කරගැනීමටයි. ඈතින් එය එනු පෙනේ. තාත්තා පදවන්නේ කොහිදැයි මම විමතියට පත්වීමි. එය මම අපේක්ෂා කල පාරක් නොවේ. අතුරු පාරෙන් හරවා නැවත හැරවූ පාර මට නුහුරු නැත. 

මම මගේ විශ්මය සඟවාගෙන සිටියේ ඒ මොහොතේ කියන්නට යමක් නැති නිසාම නොවේ.

මිට පෙර මම ගිය මාවත පසු කරමින් තාත්තා ගමන් කරනවිට මම මගේ වාසනාව උරගා බැලුවෙමි.

"මේ.. මේ කොහෙද ඩඩා... ඒ ළමයාගේ ගෙදරද යන්නේ?"

තාත්තා එකවර පිළිතුරක් දුන්නේ නැත. මම සිටියේ මහත් කැළඹීමකිනි. මද වෙලාවකට පසුව මමත් විරංගත් මිට පෙර ගමන්ගත් මාවතේ විරුද්ධ අතට ගොස් , මම නතර කල ස්ථානය පසුකොට එම නිවස තෙක් දිවෙන මාර්ගයට දමද්දී මගේ හුස්ම සිරව ගියේය. 

අප මේ යන්නේ වාසුලගේ නිවසටයි! වාසුල මා හඳුනයි. මධුලිකා සිටින්නේ මෙහි නම් , මා දුටුවොත් මධුලිකා මට දෙන්නට තරම් මෝඩයෙක් නොවනු ඇත.

"අ.. ආ.. ඩඩා.. හ්ම්ම්.. හ්ම්ම්...... මට පොඩ්ඩක් පම්ප් එකක් දාන්න ඕනේ... මාව මේ පාරෙන් බස්සන්න... "

තාත්තා මා දෙස බලා වාහනය මන්දගාමී කළේය.

"... මම බියර් දෙකක් බිව්වා.. ඒක වෙන්න ඇති... හ්ම්ම්... මම එනකොට නගින්නම්... ඩඩා යන්නකෝ මම පම්ප් එක දාන්නම් මෙතන හොඳයි කළුවරයි"

තාත්තා සැකයක් සිතුවේ නැත. මම වහා බිමට පැනගත්තෙමි. තාත්තගේ වාහනය මා පසුකර යද්දී මම දුටුවේ ඈතින් කුඩා එළියක් ලෙස පැමිණ පාරේ අසල අඳුරු කොටසකට එන පරිද්දෙන් පසෙක නතරවූ තාරුක අයියාගේ වාහනයි. ඔහු විදුලි පහන් නිවා දමනු මට පෙනුනි. ඇමතුමක් ගැනීම නිසා කටහඬ ඇසෙන්නට පිළිවෙන.මම වහා ඔහුට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

'අඩෝ මේක වාසුලයාගේ ගෙදර'

පිළිතුර සැනින් ලැබුණි.

'මොකක්? මධුලිකා කොහොමද මෙහෙට ආවේ?'

'ඒක තමයි දන්නේ නැහැ... මාර වැඩේ... මම බැස්සා ඌ මාව අඳුරගනී කියල. එනකොට වාහනේට නගිනවා. ඕනෑම දේකට ලෑස්තිවෙලා ඉන්න'

'හරි.. බයවෙන්න එපා.. '

'හරි'

'ගන් එක පාවිච්චි කරන්න එපා'

'බලමු'

'බලමු නෙවෙයි එපා!'

'බලමු'

'කියනදේ අහපන් ගොනෝ , එපා!'

'බලමු'

වාහනයක් පාර දිගේ පහළට එනවා ඇසුනි. නිවාසට පිවිසෙන එම මාර්ගය තිබුනේ සර්පිලාකාර ආකාරයට නිසා වාහනය එනතෙක්ම කැලෑවට වැසී තිබෙන මා නොපෙනේ. මම මගේ රෝවෝල්වරයට පිටතින් අත තබා එය තිබේදැයි තහවුරු කලෙමි. වාසුල පැමිණියහොත් ඔහුව රිවෝල්වරය නොපෙන්වා මෙල්ල කරගතහැකි නොවනු ඇත.

තාත්තාගේ ජීප් රථය මගේ පාමුලටම පැමිණ නතර වනවිට මගේ හුස්ම සිරවන්නට ඉතා ආසන්නය. වාහනයට නගිනවාට වඩා මම කලේ පසුපස ආසනයේ සිටින්නේ කවුදැයි සැකහැර දැනගන්නටය. මම වහා ඉදිරියේ දොර ඇර පසුපස අසුන බැලුවෙමි.

"ලොකූ... මේ ඉන්නේ මධුලිකා ජයවර්ධන... මධුලිකා දුවේ.. මේ ඉන්නේ මගේ ලොකු පුතා තීක්ෂණ. ඔයාලා දෙන්නා එක වයසේ නිසා දුවට පාලු හිතෙන එකක් නැහැ..."

මගේ හිස කම්පනයට පත්ව දෑස් නිලංකාර වී ගියේය. 

එහි මධ්‍යයේ උන්නේ, මධුලිකාට යම් පමණකට සමාන වෙනත් තරුණියකි! මම ගල්ගැසී ගියෙමි.

'මගේ මධුලිකා කෝ!'

 

********************මතු සම්බන්ධයි **************************  

6 comments:

  1. කෙටි කථාවක්, නව කථවක්, කවියක් ලියන්නෙකුට වඩා රහස් පරීක්ෂක කථාවක් ලියන ලේඛකයෙකුහට හෝ ලෙඛිකාවකට ඇත්තේ බැරෑරුම් වගකීමකි.
    පලමුව කථාව කිසියම් බරපතල බවක් තිබිය යුතුය. උදාහරණයක් ලෙස හැමදාම හංදියේ කඩේ විස්කිරිඤ්ඤා බෝතලයෙන් එක් විස්කිරිඤ්ඤයක් නැතිවීමේ අභිරහස කියවන්නට කැමති නොවෙති.
    එසේම එය තරමක අභව්‍ය බවක් තිබිය යුතුය. උදාරණයක් ලෙස "ඇවිදින මිනිසා" ගැන කියවන්නට උත්සුක නොවන අය "ඇවිදින මළ මිනිය" පිළිබඳව උනන්දුවෙන් කියවති. මෙතනදී මළ මිනියකට ඇවිදීමට නොහැකි බව පාඨකයින් අමතක කරති. එසේම එය අභව්‍යයැයි කිසිවෙකු සිතෙන් වත් තර්ක කරණ්නට යන්නේද නැත.
    එසෙම කියවන්නන් හට තේරුම් ගත නොහැකි තරමේ අභිරහසක් තිබිය යුතුය. වත්ත පහල ගහක ගැටගසා සිටි හරකා කඩාගෙන යාමේ අභිරහසක් නොමැත!
    තවත් කාරණා බොහෝය.
    මේ සමග ආදරයක්ද පටලවා ගත්විට තත්වය ෆුල් සීරියල්ය.
    ශර්ලොක් හෝල්ම්ස් හට ඔහුට ලැබෙන සියළුම ගැටළු කිරි කජු වාගේ විසඳීමට තිබුනු ප්‍රධාන ශක්‍යතාවය ඔහු කසාද බැඳ නොසිටීම හෝ ඔහුට පෙම්වතියක් නොසිටීම බව මා විශ්වාස කරමි. වොට්සන් විවාහව සිටියද ඇය වොට්සන් හට ඕනෑම අවස්ථාවක හෝල්ම්ස් සමග හොරු ඇල්ලීමට යෑමට ඉඩ දෙන කෙනෙකු වීම පාඨක අපේ වාසනාවට හේතු විය!

    ඒ කෙසේ වෙතත් ඉහත සඳහන් වන නොවන සියළුම ආකාරයේ ගති ලක්ෂණ සහිත ලේඛකයෙකු හට මුහුණ පාන්නට සිදුවන එකසිය ගානට හිරවන කෙළිය වන්නේ තමාම පටලපු පැටලිල්ල විශ්වසනීයත්වයෙන් යුතුව ලෙහා දැමීමය!

    නෝසේනම් වන්නේ මලකරදර පූසාව කැලේ අතරමං කරණ්නට ගොස් අතරමංවූ මහත්තයාගේ කථාවේ ජීවමාන උදාහරණය වීමටය.
    ඔබට එය එසේ නොවේවායි මා ප්‍රාර්ථනා කරණ්නේ ඔබ පත්වන අපහසු තාවයට වඩා තීක්ෂන; විළිලැජ්ජාවට පත් වනවා දකින්නට මා කොහෙත්ම කැමති නැති බැවිනි!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කතාව ලිහන්නත් ඕනේ... කම්මැලි නැද්ද ඔක්කොම රහස් ඉවර උනාම?

      Delete
  2. කෝ මධුලිකා එතකොට...? හයියූ...

    ReplyDelete
    Replies
    1. කෝ කියලා තමයි මමත් මේ බැලුවේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි