විසිතුරු කොල

Thursday, July 23, 2020

242. අපුර්ණව අප දෙදෙන





සියොත් වෙසක් ගත්
ආගන්තුකයෙකි ඔබ...



ආගන්තුකය නුඹ,
සැඟව සිටිනා තැනක සිට - මා
අමතනු මැනවි වරක් හෝ

කැබලි වී සිටිමි මම ,
බිඳී ඇත නුඹද
කොහේ හෝ මා මෙන්ම...
අමතනු මැනවි මා
වරක් හෝ ඔතැන සිට!

මෘදු පවන සැමදිනම
හමා යන මා වටා,
විමසාවි මේ ලෙසම -
චන්ද්‍ර දෙව්ලියක් වන්  - ඈ කොහිද ?
දිලි දිලී - ඇවිලයන
නුඹේ ප්‍රාණවාතය නොලද
මම කෙතෙක් අපුර්ණද?
මම නොලද
නුඹ කෙතෙක් අපුර්ණද ?

නුඹ නොමැත
මුත් නුඹේ සිනහ ඇත..
වත නොමැත
මුත් නුඹ පිය නගන හඬ ඇත...
කොහිඳ නුඹ ?
ඉලක්කය කොතැනකද ?
අපුර්ණව අප දෙදෙන
කුමකටද ජීවත්ව?







p.s: ඔබ සොයමින් සිටින්නේ වරක් හෝ ජිවිතයේ අත්වින්ද හැඟීමක් නම්.... මේ ගීතය පද අරුත් වෙන්කරන්න ඕනේ නැහැ මම හිතන්නේ.

මේ ගීතය අඩංගු වෙන්නේ 'Dil Se' කියන සිනමා පටයේ. පළවෙනියටම මේක බලපු දවසෙම කටපාඩම් වෙච්ච ගීතය , තේරුම ගැන හොයන්න පෙළඹෙව්වා. ගීතයක් හරියටම එල්ලය බලලා හදවතටම විදින්න පුළුවන් වෙන්නේ ඒකට දෙස සංගීතයෙන් මම හිතන්නේ.

තේරුම් නොදැනත් මේ සින්දුවේ තියෙන ඒ වේදනාව මාව පෑරුව. එහෙම නොවෙන්නත් පුළුවන්.

සින්දුව අහන්න/බලන්න






Tuesday, July 21, 2020

241. සුහදිනියේ - 34 | ප්‍රේමය කෙතරම් ප්‍රේමනියද ? මධුලිකා අනාගතය සැලසුම් කරමින්



එකවරම කුමක් කියන්නදැයි මට සිතාගත නොහැකි විය. අම්මාගේ ඉව පිළිබඳව මට අමුතුවෙන් කිවයුතු නොවේ. පිළිතුර පමා වන තරමට අවාසිය මා කෙරෙහි වන බව මම දනිමි.

මධුලිකා දල්වාගත් දෑසින් යුතුව මා දෙස තත්පර කිහිපයක් බලාසිට, මට පහසුවක් වීම පිණිස විශාල ජනේලය දෙසට ගමන් කළාය. මම ඈ ගැන තාත්තාට නොකී දුක ඈ තුල අලුත්වනු දැකීමට මම අකමැති වීමි.

නමුත් අම්මා වෙතින් ඉටුකර ගතයුතු පොරොන්දුවක් තාත්තා මා වෙත තැබුවේ කලින් දිනයේය. එයත් මගේ සිතට නැගුනු බැවින් මේ මොහොතේ අම්මා දිනාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මගේ සිත මා තුල කලබලයක් කරන්නට විය.

"... නෑ අම්මා.. මම මේ එන ගමන්. මම මේ විරංග එක්ක පොඩි ගමනක් දාගත්ත නිසා.."

අම්මාගේ හඬ එවර ශෝකාකුල විය.

"ලොකූ.. "

"ඩඩා නැද්ද?"

මම උගුරේ සිරවූ හතරැස් පෙට්ටියක් මෙන් වචන ටික පිටතට ගත්තෙමි.

"මට ලොකූ එක්ක කතාවක් තියෙනවා... ඩඩාට මම කිව්වා"

මගේ පපුව මහා දුම්රියක මෙන් හූ හඬක් නංවමින් දෙදරා හැලෙන්නට විය. දුරකතනයෙන් කතාකිරීම අතිශය අනතුරුදායකය.

"ම.. මම එකොළහ විතර වෙයි එනකොට. "

"කමක් නැහැ... කියට හරි ඔයා එනකල් ඩඩා මම තියාගන්නම්කො. "

මා මර උගුලකට හසුවී ඇත. අම්මා කුමකට හෝ අර අදින්නීය. ඒ නොවේ නම් ඈ මෙතරම් සැලකිල්ලෙන් මා නිවසට ගෙන්වාගන්නට දතකන්නේ නැත. මැරයින්ගේ ඉව වැටුණු මෙම මහල් නිවාසයේ ඈ තනිවම තබන්නට මගේ කිසිදු කැමැත්තක් නැත.

"යමු"

ඇමතුම විසන්ධි කල මම මධුලිකා දෙස නොබලා කීවෙමි. මගේ මානසික තත්වයේ අසමතුලිතබව ඇයට වැටහෙන්නට ඇත.

මධුලිකා මා දෙස මෘදු බැල්මක් හෙළුවාය. ඈ කෙරෙහි මා සිත තුල ඇති ප්‍රේමය හකුලන ලද වායු බැලුමක් සේ පිම්බි විධාරණය වනු මට වැලැක්විය නොහැකිය. කොයි මොහොතක හෝ එය විසින් මා එසවී ගොස් තවදුරටත් මට මා පාලනය කල නොහැකි පමණට බලවත් වනු ඇත.

"මම හිතුවේ..."

"අම්මා කතා කලේ... මම ගෙදරත් යන්න ඕනේ.. නැතිනම් බලයි මම කොහෙද කියල"

මම ඈ කියන්නට ගිය යමක් ගැන නොසිතා කියවන්නට වීමි. මධුලිකා 'හිකිස්' කා සිනාසෙනවිට මා තුල විදුරු බුබුලක් බිඳී ගියාක් වැනි තිගැස්මක් ඇති විය. මම අන්දමන්දව බලා සිටියා වන්නට ඇත.

"පිස්සා... මම කියන්න ගියේ ඒක නෙවෙයි.. මැටි මෝලෙක් තමුසේ නම්"

මම ඇහි බැම හකුළුවා බොරු අමනාපයක් පෑවෙමි.

"පිස්සා? මැටි මෝලා??? මම කිව්වා නම් එහෙම! හුහ්. එදා මෝඩි කියන්න ගිහින් ජීප් එකෙන් පැන්නා... අද පනී මෙතන බැල්කනි එකෙන්...."

මම ඇගේ හිසට ටොක්කක් අනින්නට මෙන් ගොස් අත තබා බොරුවට තල්ලු කලෙමි. මධුලිකා 'හිකි හිකි' ගාමින් සිනාසීම මෙතන රැඳීමට මා සිත දෙවයි. නමුත් හදවත නොව බුද්ධියට මේ මොහොත වෙන් කළයුතුව ඇත. මගේ හැඟීම් මැඩීම මෙතරම්ම දියුණු යයි මම කවරදාකවත් දැනගෙන සිටියේ නම් නැත. ඊටත් මේ විලවුන් සුවඳ ඉතාම විෂ සහිතය.

".. යමු... අරහේ පරක්කු උනොත් උගෙන් කුණු කතා අහන්න වෙන්නේ"

මම මධුලිකා සමඟ සෝපානය වෙත ඇවිද ආවෙමි. මධුලිකා මගේ බාහුවේ එල්ලුනේ නිරායාසයෙනි. එය පපුව සිසාරා දිවෙන ස්නායුවක මෘදු සෘන්ගාරයක් වැන්න! පාලනය කරනලද මගේ සිතුවිලි විසින් සෝපානය පැමිණෙනතුරු උන් මගේ දකුණු පය පොලව මත තට්ටු කරමිනි. 

Thursday, July 16, 2020

240. සුහදිනියේ - 33 | එකිනෙක වෙනස් ගැටළු කිහිපයකට මැදිව - තීක්ෂණ ගේ තීරණය කුමක් වෙයිද?

කලින් කොටසට



මේ වනවිට අප දෙදෙනා කොළඹට ආසන්න නමුත් ප්‍රධාන මාර්ගයෙන් බැහැර මුහුද අද්දර වාහනය නවත්වාගෙන සිටියෙමු. ජීප් රථය නතර කරනවාත් සමඟ අවදි වූ මධුලිකාගෙන් මම සිදුවීම් පෙළ අමුනා ගන්නට තැනින් තැන ප්‍රවේශමෙන් විමසමින් සිටියෙමි.

ඇගේ අපහසුවට වඩා මගේ පහසුව තකා මම ඉදිරි ආසනයේ සිට ඈ දෙසට හැරී , මුහුදට මුහුණලා සිටි අතර, මධුලිකා පසුපස ආසනයේ මුල්ලකට වී කුඩා සා පැටවියක සේ ගුලිවී උන්නාය.

"....   මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ තීක්ෂණ..."

මධුලිකා මා දෙස බැලුවේ තැතිගත් මුව පැටියෙකුගේ දෑසකිනි. එහි මා කෙරෙහි ඇති බිය; තමන් කල වරදේ පසුතැවිල්ල යන දෙකම තිබෙන්නට ඇත. නමුත් මගේ පිළිතුර ඈ වෙතින් තවමත් පිටතට පැමිණියේ නැත.

"එතකොට.. ඔයා කියන්නේ විරංගගේ ෆෝන් එකට ආන්සර් කලේ විරංගගේ බාප්පා... ඔයා ඇහුවේ මගේ නම්බර් එක විතරයි කියලා..."

මධුලිකා ගොත ගසනු මට දැනුනු බැවින් මම මගේ දැඩි බැල්මෙන් ඈ මුදවා මුහුද දෙසට දෑස යොමු කලෙමි.

"... මම හිතන්නේ මම ගත්ත ගමන් විරංග කියලා හිතාගෙන කිව්වා මම අතරමං වෙලා කියල"

මධුලිකාගේ හඬ වෙව්ලයි. ඒ මන්ද කියා මම දනිමි.

සිදුවී ඇති දේ පැහැදිලිය.