විසිතුරු කොල

Tuesday, November 13, 2018

197. සුහදිනියේ - 06 | මරුකටකින් බේරීමට උත්සහයක්

කලින් කොටසට 



දැන් ඉතින් වෙන විකල්පයක් ඇත්තේ නැහැ. විරන්ගයාට කතා කරලා ගෙන්න ගන්නත් ඉන්න ඉසව්වක් කියන්නවත් කිසිම දෙයක් පේන්නෙත් නැහැ. පරක්කු උනොත් කෙල්ල ගෙදර නැතිබව දැනගත්ත ගමන් අරුන් ටික පිස්සු බල්ලෝ වගේ මේ ඔක්කොම පීරලා ගත්තම කලන්තේ හැදිලා ඉන්න මේ කෙල්ල එක්ක මම මොකක් කරන්නද?

ආයේ හිතන්න දෙයක් නැහැ. අතපත ගාලා මම මධුගේ කකුල් දෙකයි උරහිසයි පාදා ගත්තා. පුළුවන් විදියට හරහට වඩාගෙන බලනකොට අගල සෑහෙන්න උසයි. යන්තම් කළුවරේ දැක්කා මම ගෙනාපු ලනුව තාමත් මගේ එක අතක රැඳිලා. පුළුවන් විදියට ඉක්මනින් කලේ අඳුරට හුරුවෙච්ච ඇස්දෙක පෙන්වන විදියට මධුව ගැට ගහලා , ඊට පස්සේ අගලින් එලියට ඇවිත් ළිඳෙන් අදින බාල්දිය වගේ උඩට ඇදපු එකයි. හම්මෝ පන නැති වෙච්ච ශරීරයක් එහෙම අදිනවා කියන්නේ මගේ කොන්ද කැඩෙන වැඩක්!

ඒ අතරේ මම බයෙන් බයෙන් බැලුවේ මේ වෙනකොටත් පැහැරගත්ත මිනිස්සු පස්සෙන් වැටිලාදෝ කියලා. මගේ වෙලාවටද මන්දා තාම එහෙම ඉඟියක් තිබ්බේ නැහැ. පපුව දෙමෝලෙන් පිටි කොටනකොට හති හලාගෙන කොහොමහරි මධූ අගලෙන් එලියට ගන්නකොට තාමත් කෙඳිරි ගානවා.

කඹයත් එක්කම හරහට ගත්තු මම ආයෙත් දුවන්න ගත්තා මට හිතෙන ඉසව්වට. විනාඩි කීපයකින් ඝන කැලෑව පාදාගෙන මම පාරට ආවා. වටපිට බලනකොට පාලු පාරේ කිසිම දෙයක් පෙනෙන්න නැහැ. කොන්ද කැඩෙන්න වගේ හති හලන ගමන් මම දෙපැත්ත බැලුවේ කොයි පැත්තට යන්නද කියලා හිතාගන්න බැරුව.




මම මේ කොහෙන්ද එළියට ආවේ? විරංගව හොයාගන්නේ කොහොමද? අර කියපු දෙහි ගහ ගාව ඌ තාම ඉන්නවද? ඒ දෙහි ගහ ඇත්තටම කොහෙද?

කළුවරේ කවුදෝ දුවගෙන එන සද්දෙට මම ආයෙමත් කැලේට පැන්නා. මධුලිකා කෙඳිරි ගානවා ඇහුනත් බලන්නවත් විදියක් නැහැ.

අපි දෙන්නටම ආවේනික වෙලා තිබ්බ රහසිගත සිවුරුහම්බෑමෙන් ඒ ඉන්නේ විරංග කියල අඳුන ගත්ත ගමන් මම එලියට පැන්නේ පිදෙනියක් ලැබිච්ච යකෙක් වගේ.

"යකෝ.... උඹ... හෑ ! මේ මොකාද මේ? කෝ බං කෙල්ල?"

"මේ ඉන්නේ කෙල්ල තමයි. ගනින් මගේ සාක්කුවෙන් යතුර. මට මේ උතුර දකුණ හොයාගන්න බැහැ , කොහෙද අපි ඉන්නේ? කෝ බන් දෙහි ගහ? මම කාර් එක හැංගුවේ අර පාලු ගේ පිටිපස්සේ. ඉතින් ගනින්... ඔය සාක්කුවේ නෙවෙයි අනිත් එක.... හෙමින් යකෝ මට කිචි..."

මගේ ඉවරයක් නැති කියවිල්ලට විරංග කලබලෙන් පුළුවන් ඉක්මනින් යතුර හොයාගත්තා.

"හැබෑටම උඹටත් වෙන වැඩ! එදත් ඔහොම්මමයි... අද බලන්නකෝ ඉන්න ලස්සන"

"යකෝ මේකිට සිහිය නැහැ.... උඹ මෙතන මගුලක් කතාකරනවා... කොහෙද කාර් එක?"

"සිහිය නෑ ? උඹ ඒ ටිකට මොකද්ද කලේ?"

"මගෙන් කුණුහරප අහන්නේ නැතුව කාර් එකට යමන්.... කෝ කොහෙද?"

මම වටපිට බැලුවේ හිතාගන්න බැරි නිසා.

"අපි මේ ඉන්නේ අනික් පැත්තේ. තව ටිකක් ඉස්සහරට ගියාම පුළුවන් ඒ කාර් එක හංගපු තැනට යන්න පිටිපස්සෙන්. මම වටයක් ගිහින් ආවේ ඔක්කොම බලාගෙන. මෙච්චර වෙලා උඹ මොකද කලේ....? කොහොමද පැනගත්තේ ? උන් අපේ පස්සෙන්ද?"

ඒවාට උත්තර දෙන්න මට වෙලාවක් තිබ්බේ නැහැ. මගේ උත්තරේ ගැනවත් හිතන්නේ නැතුව විරංග ඉස්සර උනා.

"යකෝ.. ඩිංගක් අල්ලපන් මට උස්සගෙන ඇවිත් හොඳ පන ගිහින්.... ඔහෙන් නෙවෙයි කකුල් දෙක පැත්තෙන්... හෙමින් යකෝ..."

"හෑ.. උඹ මොකටද කෙල්ලව ගැටගහුවේ ? උන් ගැටගහලද තිබ්බේ? අඩෝ සිරාවට මැරිලා එහෙම නෙවෙයි නේද?"

හැල්මේ දුවන ගමන් මුගේ කට ඉවරයක් නැහැ. මම නෙවෙයි උත්තර දුන්නේ. විරංග එක්ක දුවගෙන ගිහින් කොහෙන්ද මන්දා මතු වෙනකොට කාර් එක අඳුර අතරින් යන්තමට දැක්කා.

"ඇරපන්... ඉක්මනට ඇරපන්..."

විරංග මධු ගේ කකුල් දෙක අතෑරපු වේගෙට මාවත් එක්කම කැරකිලා ගියා. දුවගෙන ගිහින් විරංග පිටිපස්සේ දොර ලොකුවට ඇරලා ආපහු දුවගෙන එනකොට මමත් එනතම බිම ඇණතියාගෙන ති අරිනවා. රෝම කුපයක් ගානේ රිදෙනවා.

විරංග ඇවිත් මධූ ගන්න නැමුනා. අල්ලන්න දෙන්න බෑ මූට !

"තෝ පල අහකට... ගිහින් ඇරපන් ඩිකිය...."

කළුවරේ උනත් විරංගගේ කට බලියට ඇරෙනවා මට පෙනුනා.

"...අපිව පොලිසියෙන් මගදී ඇල්ලුවොත් සිහි නැතිවෙච්ච කෙල්ලෙක් එක්ක... මොකක් කියන්නද හිතාගෙන ඉන්නේ?"

"සිහිය නැති වෙලා නම් නිදි වගේ උරහිසට වාරු කරගත්තම පුළුවන්නේ... "

"පණ්ඩිත නොවී ඇරපන් ඩිකිය..."

ආයේ මුකුත් කියන්නේ නැතුව ඇරපු ඩිකියට මම හෙමිහිට අරගත්ත මධුලිකාව ගෙනිහින් තියද්දි අමුතු දුකකින් මගේ හිත පෑරිලා ගියා වගේ දැනුනා. එකපාරටම නොවේලිච්ච තුවාලයකින් ප්ලාස්ටර් එක ඇදල ගන්නවා වගේ එකක්!

වෙලාවේ හැටියට මට හිතන්න වෙලා තියෙන්නේ වඩාත්ම ආරක්‍ෂිත විදියට මෙතැනින් ගෙනියන්නේ කියලා. ඉක්මනින් පිටත් උනොත්  ඩිකියේ තියෙන වාතාශ්‍රය ඇති මධුලිකාට හුස්මගන්න. වෙලාවේ හැටියට එන ඕනෙම දේකට මුණදෙන්න සුදානමින් ඉන්න ඕනේ. පොලිසියට අහු උනොත් තත්වය දරුණු වෙන්නේ අපි මේ වෙලාවේ පොලිසියේ අනුදැනුමක් නැතුව කරපු වැඩක් නිසා.
හිත ටිකක් තදකරගෙන මම ඉක්මනින් ඩිකියේ දොර වහනකොට ඒ මුහුණ යන්තමට ජායාවක් වගේ හිත ඇතුලේ ඇඳිලා රිදුමක් පපුව හරහා ගියා.

"උඹ ගනින් කාර් එක. මම පිටිපස්සේ නිදාගෙන එන්නම්. උන් හෙව්වොත් හොයන්නේ කෙල්ලෙක් එක්ක වාහනයක්. එහෙමත් නැතිනම් දෙන්නෙක් එක්ක ගියපු වාහනයක්"

ඒ පාර නම් කිසි ප්‍රශ්න කිරිල්ලක් නැතව විරංග වාහනේ ඉස්සරහ අසුනට පැනල සුක්කානම අල්ලගත්තා.

"සැකයක් නොහිතෙන්න අපි යන්න ඕනේ සාමාන්‍ය වේගෙන්!"

"මේ ටික එහෙම යන්න කොච්චර වෙලා යයිද?"

විරංග වාහනේ පාරට ගත්තේ පරිස්සමෙන්. ඩිකියේ පොඩිවෙලා හිටපු ඒ සියුමැලි කෙල්ල ගැන මගේ හිත නොනවත්වා වද වෙන්න උනා.

"එන්ජිම තියෙන්නේ ඉස්සරහ හින්ද ඩිකිය රත්වෙන්නේ අඩුවෙන්. ඒ උනාට සිහිය නැතුව ඉන්න කෙනෙක්ට හොඳට හුස්ම ගන්න තියෙන්න ඕනේ බං. මේ.. ඒක නෙවෙයි.. කොහේද අපි ගෙනියන්නේ?"

එකපාරටම මගේ ඔලුව පත්තු උනා. හැබෑටම ගෙනියනවා කිව්වට ගෙනියන්න තැනක් නෑනේ !

"මගේ දිහා බලන්නේ? පිස්සුද මට ගෙනිහින් කනප්පුව උඩද තියාගෙන ඉන්න කියන්නේ? පිස්සුද යකෝ කෙල්ලෙක්ගෙ පුළුටක්වත් නෑ අපේ ගෙදර... අපේ අම්ම මාව පන පිටින් පන යවයි"

වෙන කරන්න දෙයක් නැහැ.

"හරවපන් අපේ ගෙදර. ඔක්කොමල්ල කටිනෙට ගිහින්නේ. අද මොකක් හරි කරමු."

මම එහෙම කිව්වේ ඇයිද කියන්න මමවත් දන්නේ නැහැ. කොල්ලොම විතරක් ඉන්න අපේ ගෙදර ; අම්මගේ දරුණු අධීක්ෂණය යටතේ දුවන අපේ ගෙදර කෙල්ලෙක් කොහේ  හංගන්නද ? අම්මට කියන්නද? මොකක් කියල කියන්නද? තාත්තා ගැන නම් හිතන්නවත් බැහැ!
එයාලගේ ඇස් වහල ගෙදරට කෙල්ලෝ ගෙනත් තියෙන හින්දා මේකත් ඒ වගේම කරගන්න බැරිවෙන එකක් නැහැ! වැඩේ ඉතින් ඒ කෙල්ලෝ ආවේම හොර පාරෙන්!

එක්කෝ නොහිතාම ඉන්නවා!! මේ දැන් කරන්න ඕනේ මොනවද විතරක් දැනට හිතන්න වෙලා තියෙන්නේ. මම පිටිපස්සේ ආසනේ ගුලිවෙලා ඉන්න ගමන් හිතුවා.

වාහනේ යම් පමණකට වේගෙන් යනවා. කොහේ යනවද තේරෙන්නේ නැති උනත් අපි විනාඩි පහළොවත් විතර යන්න ඇති.

"අම්මටසිරි"

එහෙම කිව්වට මම බලන්න ගියේ නැහැ මොකද කියලා. වාහනේ අයිනට වගේ කරලා නතර කළා.

".... මචං සද්දයක් කරන්න එපා. මම විනාඩියෙන් එනවා"

විරන්ගයා බැහැලා ගියේ එහෙම කියාගෙන. හිතාගන්න බැහැ. පපුව ගැහෙනවා. පොලිසියෙන් නතර කරලද? කවුදෝ කටහඬවල් දෙකක් එනවා ඇහුනා කාර් එක පැත්තට. අනේ මධුලිකා හුස්ම ගන්නේ කොහොමද? මූ දාගත්ත ලෙඩේ මොකද්ද ඒ පාර?

".. ආ.. ඔව් ඔව්... ඒ මහත්තයා අපිට හරි හිතවත්. කොච්චර ලොකු දෙයක්ද අඳුනගන්න ලැබුන එක. කොහෙද පුතා මේ යන්නේ?"

"කටිනෙට බඩු වගයක් ගෙනිහිල්ල දීල යන ගමන්.. දූව පන්සලේ කටිනෙනේ අන්කල්. මේ පාර අපේ අම්මයි තව ආන්ටි කෙනෙකුයි ගත්තා. එන්නං අංකල් "

විරංග කොහොමත් කතාවට දක්ෂ එකා. වාහනේ ටිකක් දුර එනකල් මුකුත් නොකිව්වා උනාට ඌ ඉන්නේ වෙන අවධානයකින් කියලා මට පැහැදිලි උන නිසා මමත් සද්ද නොකර හිටියා.

"අඩෝ... උන් අපේ පස්සෙන් වැටෙනවා තව ඩින්ගෙන්!.. නැගිටපන් මම කියන්න"

මම ආසනේ කෙලින් වෙලා වාඩිඋනා. විරංග ඒ එක්කම පැති කණ්ණාඩියෙන් බලමින් තමයි කතාකලේ.

"බලපන් උන් දෙන්නෙක් ඇවිත් සෑහෙන දුරක්. අන්න පොලිසිය මගෑරලා උන් පාරත් පැන්නා. අපි වටෙන් එනකොට උන් කෙටි පාරකින් ඇවිල්ලා වෙන්න ඕනේ. යන්නේ නම් අර අතුරු පාරේ. "

මමත් හැරිලා බැලුවා. මාලුකාරයා වගේ එකා ඉක්මන් ගමනින් වටපිට බලමින් වෙන පාරකට හැරුනා. උගේ කනේ දුරබනුව.

මලා! කෝ මගේ එක? මම සියලු පොකට් අතගාලා බැලුව. ඉවරයි! ඒක නෑ !! දැන් ඔක්කොම ඉවරයි. උන්ට අතටම අහු උනා. මේක දැන් කියනවද? කිව්වොත් මූ බය වෙනවා. ඒ නිසා මම සද්දක් නැතුව හිටියා. ඒ උනාට මට වැඩේ බරපතලකම තේරුනේ දැනුයි.

ප්‍රධාන පාරෙන් අපේ ගෙදරට යන පාරට ගත්ත ගමන් විරංග වේගෙන් ඇවිත් ගේට්ටුව ගාව තිරිංග තදකලා. විජේදාස බිරාන්ත වෙලා ආරක්ෂක කුටියේ ඉඳන් බලනකොට මම සාමාන්‍ය මුණක් දාගෙන ඌට දොර අරින්න කියලා අතින් සන් කළා. ආයෙමත් සැරයක් හිතන්නේ නැතුව ගේට්ටුව ඇරුනා.

හෙමිහිට ගත්ත වාහනේ ගරාජය ඇතුලට දාල මම පැනපු ගමන් කලේ ගරාජයේ දොර වාහන බොත්තම පුළුවන් විරියෙන් ඔබාගෙන හිටපු එක. කෙල්ල මැරිලද දන්නෙත් නෑ !

ආයේ මොකක් හිතන්නද මම පැනපු ගමන් ඇරියා ඩිකිය. එච්චරයි මතක... ටෝන් ගාලා යකඩයක් වගේ මගුලක සද්දයක් එක්ක ඔලුවේ පැත්තක් පන නැතුව ගියා. විරංගගේ කටහඬ යන්තමට ඇහුනා මතකයි. ඔලුව උඩින් රේසින් කාර් කෝටියක් විතර ගියා වගේ ඔක්කොම අඳුරු වෙලා ගියා.

**********************************

මුළු ඇඟේම රෝමකුපයක් ගානේ රිදෙනවා වගේ දැනිලා දැන් විනාඩියක් විතර ඇති. පොඩි කෙඳිරියක් හිතුවේ නැතත් ඉබේම පිට උනා.

"අනේ.. තීක්ෂණ!"

නළල වම් පැත්තෙන් පටන් ගත්ත පිරිමැදුමක් දකුණු පැත්ත වෙනකල්ම දිවගෙන යනවා. මොන අවසිහියෙන් උන්නත් අඳුනගන්න පුළුවන් මට ඈව. මම හෙමෙහිට මගේ නනලට අත ගෙනියනකොට අර පිරිමැදුම නතරවෙලා. මම යන්තමට ඇස්දෙක ඇරියා. මගේ කකුල් දෙක පාමුල හිටියේ මධුලිකා.

මම මේ කොහෙද ඉන්නේ?

"... අනේ සොරි තීක්ෂණ.. මම හිතල නෙවෙයි ගැහුවේ. මම හිතුවේ මාව අරුන් ආයෙමත් අරගෙන යනවා කියලා"

මෙන්න බොලේ කෙල්ල අඬනවා. මට හරි අවුල් වගේ. මොකද්ද හැබෑට උනේ? මොකක් කිව්වා? මගේ නළලේ එක පැත්තක් ඇදුම් කනවා. ඒ කියන්නේ ඩිකිය ඇරලා එලියට ගන්න හදපු මටද මේ කෙල්ල මොකක් හරි යකඩ කෑල්ලකින් දෝත බදලා දුන්නේ?

මට ඉබේටම හිටපු තැනින් නැගිට්ටුනා. මම හිටියේ මගේ කාමරේ. කෝ විරංග?

මගේ මුහුණ දැකපු ගමන් ප්‍රශ්නය තේරුනා වගේ මධුලිකා නැගිටලා පිටිපස්සට වෙලා හිටගත්තා.

"එයා ගියා කෑම ගේන්න"

"දැන් කීයද වෙලාව?"

මම එහෙම කියාගෙම මගේ කාමරේ ඔරලෝසුව බැලුවා. වෙලාව හත පහුවෙලා විනාඩි විස්සයි. මම එකපාරටම දුවලා ගියේ උඩ තට්ටුවේ කොරිඩෝවේ තිබ්බ දුරකථනය ගාවට. ගත්තා අම්මට කෝල් එකක්.

ටිකක් වෙලා නාදවෙලා අම්මා උත්තර දුන්නා.

"පන්සලේ ඉන්නේ! හැබෑටම මම කියපුව මතක නැතුවද? එන්නේ නැතිද?"

"එන්න නම් විදියක් නැහැ අම්මා. මම මේ විරංග එක්ක එයාලගේ ගෙදර යන්න හදන්නේ."

"දැන් නම් ඉතින් නාවත් කමක් නැහැ. මොනවහරි ගෙනත් කන්න, මම විනිතා එක්ක ආවනේ. මට කතාකරන්න විදියක් නැහැ...."

කියද්දීම මම විසන්ධි කරලා දැම්මා. ඒ කියන්නේ අම්ම එන්න පරක්කු වෙනවා. තාත්තා වත්තට ගිහින් මල්ලි එක්ක. මේ සති අන්තෙම එන්නේ නැහැ.

දැන් තමයි ඇඟේ කොතනද රිදෙන්නේ කියල දැනෙන්නේ. මුළු ඇඟම ඉඳිකටු වලින් හීරුවා වගේ රිදෙනවා. ආපහු හැරුණු මට කාමරේ ඇතුලේ ඉඳන් මගේ දිහා බලාගෙන ඉන්න මධුලිකා පෙනුනා. ආයෙමත් පපුව මොකද්ද උනා.

මට එකපාරටම හිතාගන්න බැරි උනා මම මේ දැන් කරලා තියෙන්නේ මොනවගේ වැඩක්ද කියල. එක්කෝ මම කරලා තියෙන්නේ මේ මිහිමත ඉන්න ලොකුම මෝඩයා වත් නොකරන ජාතියේ ගොන් වැඩක්. එහෙමත් නැතිනම් මම මේ වෙනකොට සෑහෙන්න ත්‍රාසජනක වැඩක් කරපු තරමක වීරයෙක්.

මධුලිකා දොර ගාවට ඇවිත් හිටගන්නකොට මට හොඳටම පෙනුනා කම්මුල් දිගේ ආපු කඳුරු පාරවල් දෙක. සෑහෙන්න වෙලා අඬපු බවක් නම් පෙනුනා. මගේ ඔලුව පුපුරු ගහනවා වගේ. ඉබේම මගේ අත නළලට ගියා.

පඩිපෙළ දිගේ කවුදෝ එනවා ඇහුන ගමන් මධුලිකා මම කියන්නත් කලින් කාමරේ ඇතුලට පැනගත්තා. පඩිපෙළ නැගගෙන ආවේ විරංග.

"ආ.. උඹ නැගිට්ටද? හෙහ් හෙහ් හෙහ් හෙහ් "

"මොකද උඹ හෙහ් හෙහ් ගාන්නේ?"

ඌ අතේ තිබ්බේ සුවඳ ගහන කෑම පාර්සල් තුනක්.

"හෙහ් හෙහ්.. අඩෝ.... මාර සීන් එකනේ...! හෙහ් හෙහ් "

මුගේ කැකිරි පැලිල්ලට මධුලිකාත් දොර ඇරගෙන ආවා. ඈ හොඳටම අපහසුතාවයෙන්; ඇස්දෙකේ සමාව ඉල්ලන පෙනුම හොඳටම.

"අනේ සොරි තීක්ෂණ..."

එතකොට තමයි දැක්කේ කෙල්ල වාරු වෙලා ඉන්න බවත්, මුළු ඇඟ පුරාම තුවාල තියෙන බවත්. කැලේ දුවනකොට සෑහෙන්න හීරේන්න ඇති.

ඉස්සරහට අඩිය තියනකොට මටත් ටිකක් සමබරතාවය නැතිවෙන්න වගේ. බිත්තිය අල්ලාගෙන විරංගගේ උදව් ඇතුව මමත් කාමරේට ඇවිදගෙන ආවා. එතකොට තමයි ඇත්තටම වෙලා තිබ්බ දේ දැක්කේ. කෙල්ලගේ එක කකුලක් සම්පුර්ණයෙන් වෙලලා. කකුලකින් පැන පැන තමයි එන්නේ.

"කකුල?"

"මම හිතන්නේ ක්‍රැක් වෙලා... රිදෙනවා ඉවසගන්න බැහැ තීක්ෂණ..."

මම නැමිලා වළලුකර ගාව බැලුවා. සෑහෙන්න ඉදිමිලා.

"මචං ඩොකෙක් ගාවට ගෙනියන්න වෙයි. "

මම විරංග දිහා බැලුවා. මේ වෙලාවේ දොස්තර කෙනෙක්? ඒ කියන්නේ එක්ස්-රේ එකකුත් ගන්න වෙයි.


"තුවාන්ට ගනින්. උගේ අයියා මගේ ෆිට් එක, දොස්තරයා. "

"මෙතන ඉඳන් කිලෝමීටරයක් නැහැ."

එහෙම කියන ගමන්ම අතේ තිබ්බ පාර්සල් ටික මේසෙන් තිබ්බ විරංග ඇමතුම ගත්තා. ඌ ඒකට උත්තර දෙන්න කාමරෙන් එලියට යනකොටම අමාරුවෙන් හිටගෙන හිටපු මධුලිකාව මම පටුවක වාඩිවෙන්න උදව් කළා.

කෙල්ල යන්තම් අඬනවා.

"දැන් කාලා ඉන්න. අපි ඉක්මනින් පිටත් වෙමු. "

මම එහෙම කියලා ගෙනාපු කෑම පාර්සලයක් දිගෑරලා මේසය උඩින් තිබ්බා. එතකොට තමයි දැක්කේ, මධුලිකාගේ ලස්සන අත්ගොබ දෙක පුරාම ලොකු තුවාල පාරවල්.

"........ මේ මොකද මේ?"

"ලණුවට කැපිලා මම හිතන්නේ. දනවා... මේ.."

කළුවරේ මම අත්දෙකත් එක්ක ගැටගහලා තිබ්බ විදියට කෙල්ලව හොඳටම කැපිලා තුවාල වෙලා.

"සොරි මධුලිකා... ලණුවට කැපෙන්න ඇත්තේ... ඔයා.."

"හරි මචං... ගේන්න කිව්වා. යන ගමන් එක්ස්රේ එකකුත් අරගෙනම යමු. ඉක්මනට කාපල්ලා."

විරංග ඇමතුම විසන්ධි කරන ගමන් කාමරේක එනකොට මාව ඇතුලාන්තයෙන් ගැස්සුනා වගේ දැනුනේ.

මම දැන් නිශ්ශබ්ද වෙලා වගේ මට දැනෙන්නේ. විරංග විදුලි වේගෙන් කෑම එක විවෘත කළා. මමත් කෑම එක ඇරියා. කෙල්ල හැලහොල්මනක් නැතුව ඉන්නවා. අත්දෙකේ තුවාලනේ !

හිතන්නෙවත් නැතුව මට ඉබේටම මගේ බත් කට ඈගෙ කටට ලං උනා. කෙල්ලත් ලේනෙක් කට අරිනවා වගේ කට ඇරියා. තවත් තත්පර දෙක තුනක් කටවල් කීපයක් යනකල්ම ලෝකය නතරවී තියෙන්නට ඇති.

"කාපං යකෝ ඉක්මනට යන්න ඕනේ!"

මධුලිකා මගේ දිහා බලලා 'ඇති' වගේ කිව්වා. මම කටවල් දෙකක් විතර ගිලලා මුකුත් නොවිච්ච ගානට කෑම එක අකුලලා නැගිට්ටා.

"යමු"

"යකෝ.. ඔය ඇඳුම මාරු කරගනින්.නැතිනම් අපිව නර්ස් කෙනෙක්වත් අල්ලන එකක් නැහැ."

මම කොර ගහන ගමන් කොහොම හරි නානකාමරේට ගිහින් ෂර්ට් එක විතරක් මාරු කරගත්තා. කෙල්ලට දෙන්න දෙයක් නැහැ. මධුලිකා ඇඳගෙන හිටියේ ත්‍රි ක්වාටර් ඩෙනිම් කලිසමක් එක්ක සුදුපාට ටී ෂර්ට් එකක්. ඒ දෙකම සෑහෙන්න කිළුටු උනත් මම අඳින්න දෙන්න දෙයක් නැහැ.

"කමක් නැහැ. ඔහොම යමු. ඇඳුමක් ගන්න පුළුවන් පස්සේ"

විරංගගේ උදව්වෙන් තමයි මමත් කාර් එකට ආවේ. මටත් තුවාල නිසා වෙන කරන්න දෙයක් නැහැ. 

පුපුරන හිතින් මට බලාගෙන ඉන්න උනා ඌ මධුලිකාවත් වත්තන් කරගෙන එනවා. මේකි දකිනකොට මාව වෙව්ලනවානේ!

අපි කතාවෙලා ආව නිසා කාමරේ විදුලි බල්බ දාලා ආවේ මම ඉන්නවා වගේ පෙනෙන්න. විරංග විතරක් කාර් එක අරගෙන යනවා වගේ දැනෙන්න අපි දෙන්නම පිටිපස්සේ ගුලි වෙලා හැංගුනා.

ගේට්ටුවෙන් එලියට ආපු ගමන් වාහනේ තුවාන්ගේ අය්යායේ ඩිස්පැන්සරියට විරංග පැදෙව්වේ උපරිම වේගෙන්.




********** මතු සම්බන්ධයි ***********

4 comments:

  1. එල කිරි. මෙන්න මේ වගේ ලියාගෙන යන්න. කතාව මතක් කරගෙන ආයේ ඔළුවට දාගන්න සෑහෙන වෙලාවක් ගියා. මේ සැරේ ඉවර වෙනකම් ම ලියමු.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් කවුරුහරි කියෝනව කියල තේරුනා. බලමු බලමු ලියවෙයිද කියල

      Delete
    2. කොමෙන්ට් නොදැම්මට අපි කියවනවා මෙයා. ඔයා ලියන්න.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි