විසිතුරු කොල

Monday, March 27, 2017

87. ඔබ ඇවිත් යන්න එන්න... - 23

23
---------------------------------------------------------------------

ගේ කරුමෙකටද මන්දා අල්විස් කාරයා ඔෆිස් එකේ නැහැ. දැන් මේ අස්වීම දෙන්නෙ කාටද?

"කරැණාරත්න. කෝ මිස්ටර් අල්විස්?"
කරුණාරත්න මාව දැකලා හිනාවේගන ආවා. ඒ කියන්නෙ චලන ඒ තරං කරූ ෂේප් කරගෙන. 

"සර් හොස්පිට්ල් එකේ"

"මොකක්?"

මම වටපිට බැලුවා

"....මෝචරියෙද?"

කරුණාරත්නත් වටපිට බලන ගමන් හොදටම හිනා උනා. 

"...මොකක්ද අමාරැව?"

"ලිවර් එකේ මොකක්ද අමාරුවක් තියෙනවනේ. බීලම හදාගන්න කරැමක්කාර ලෙඩනෙ සර්"

මගෙ බඩ දාලා ගියා. යකෝ මමත් බිව්වා. මටත් හැදෙයිද?

මම ආපහු ඔෆිස් එකට ගියා. ප්ලෑන් එකේ හැටියට මම අස්වෙන්න ඕන. දැං කොහොමද ඒක කරන්නෙ?

මම තවත් හිතන්නෙ නැතුව දෙවෙනි තට්ටුවට යන්න ලිෆ්ට් එකට නැග්ගා.  කෙලින්ම නතර උනේ නිකිනිගෙ ඔෆිස් එකේ දොර ගාව. නිකිනිව බලන්න පුදුම ආසාවකින් හිටියේ. බය නැතුව මම දොරට තට්ටු කරලා තත්පර තිහකින් විතර ' කම් ඉන්' කියලා ඇහුනා. 

මම දොර ඇරගෙන ඇතුලට යනකොට මොකක්දෝ කල්පනාවකින් වගේ හිටපු නිකිනි හොදටම බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.  මම දොර වහලා කෙලින්ම එයා දිහා බැලුවට නිකිනි මගේ මූණ බලන්න බැරුව එහෙ මෙහෙ බලනවා. 

"මට මේක සයින් කරලා දෙන්න. "
මම ලියුම නිකිනිගේ මේසෙ උඩින් තිබ්බේ එයා දිහා බලාගෙනමයි. නිකිනිගේ ඇස්දෙක මගේ ඇස් එක්ක පැටලුනා. ම⁣ට මේ කෙල්ලව මේ දැන් අරගෙන යන්න හිතයි. 

මට දැනුනේ මහා දුකක්. මම කොච්චර ගින්දර දුන්නද මේ අහිංසක කෙල්ලට? මම ඈ දිහා බලාගෙන ඉන්නකොට කෙල්ල හොඳටම බයෙන් ගැහෙන්න ගත්තා. වෙව්ලන බව පෙනුනේ නිකිණි අතට ගත්ත ලියුමත් වෙව්ලනවා පෙනුන නිසා. අපි දෙන්නට දෙන්නා කතාකරගන්න බැරුව. මම කරපු තකතීරු වැඩේ ගැන මටම හරි අප්සට්. නිකිණි දැන් හිතන්නේ මම ඉන්නේ තරහින් කියලා වෙන්න ඇති.

නිකිණි අහක බලාගෙන ගොලුවෙක් වගේ මට පුටුව පෙන්නුවේ මහා දුකකින් වගේ. මම වාඩි උනේ ඇස්දෙක අයින් කරන්නෙම නැතුව. අපි දෙන්නගේ පපුව ගැහෙන සද්දේ එකිනෙකාට ඇහෙන තරම් ලොකු නිහඬ බවක් තමයි මට දැනුනේ.

'මේ ඉන්නේ මගේ මුළු ජිවිතේ නේද? පිස්සුවෙන් වගේ මම ආදරේ කරන නිකිණි නේද?'

Sunday, March 26, 2017

86. ඔබ ඇවිත් යන්න එන්න... - 22

22
------------------------------------------------------------------------

මුළු ගෙදරම අමු සොහොන් පිටියක් වගෙයි. මම වැඩ ඇරලා එන ගමන් වෙන ගමනක් යන්න පුරුදු උනේ ඒ නිසා. බස් එකෙන් බැහැපු ගමන්, පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බේ බාර් එකක් ඇතුලේ තිබ්බ රෙස්ටෝරන්ට් එකක්.

මම කෙලින්ම කොහෙවත් බලන්නේ නැතුවට ඇතුලටම ගිහින් එතන තියෙන අඳුරු මුල්ලක වාඩිවෙනවා. මුල දවස් දෙක තුනේ පොඩි චකිතයක් තිබ්බත්, මට දැන් මොකක් උනත් එකයි, ගෙදර ගියාම කබරයා දැම්මට චලන ඒ දවස් දෙක තුනේ නැන්දලාගේ ගෙදර ගිහින් හින්දා අවුලක් උනේ නැහැ.

සැනසීමක් නැති උනත් මට නිදහසේ බොන්න පුළුවනි. අරක්කු බොන්න බැරි මම ඔහේ උඩ බලාගෙන කොහොමහරි බියර් පොඩි බෝතලයක් බොන්න පුරුදු උනා. අරමුණක් ඇතුව නෙවෙයි, ඔහේ පාවෙන්න, ඔක්කොම අමතක වෙන්න මට තිබ්බ එකම විකල්පේ එච්චරයි. වෙරි වෙනකල් බිගන්න බැරි උනත් අමතක වෙන්න , මලා වගේ නින්ද යන්න ගානට බිගන්න පුළුවන් උනා.

චලන නැන්දලාගේ ගෙදර ගියපු නිසා මට කියාගන්න කෙනෙක් හිටියෙත් නැහැ. නිකිණි ගැන මෙහෙම දෙයක් මට කියාගන්න බැරි උනත්... ඌ විතරයි මට කියන්න ඉන්නෙත්. ඌ හිටිය නැති එකත් හොඳයි. නැත්තම් උගෙන් මට බේරෙන්න බැහැ , ඔක්කොම කියන්න වෙනවා. මේ විදිය හොඳයි.

මම හිටියේ ඇවිදින මළමිනියක් වගේ. අරෙහෙන් අල්විස් කාරයා මාව නොමරා මරනවා. ඌ මගෙන් ආතල් ගන්නවද කොහෙද. තුවාලේ පාර පාර ආයෙමත් කියෝනවා. අස්වෙනවද කියලත් මට තීරණේකට එන්න විදියක් තිබ්බේ නැහැ.

Monday, March 13, 2017

76. ඔබ ඇවිත් යන්න එන්න... - 13

13
--------------------------------------------------
'මොකද බාන්..... උඹගේ නරක තැනක්වත් කොහේ හරි වැදුනද.. හදිස්සියේම මාළිගාවේ දුවන්නේ?"

චලනයා මට පල් එක දානවා. අනේ අපොයි.. මගේ හිත 'ගිඩි-ගිඩි' ගානවා.

මම හිටියේ කලබලෙන්, ඒ වගේම සතුටෙන්. මට මේක චලනට කියන්න ඕනේ. කොහොමද කියන්නේ? ඌ මගේ ඔලුව කයි! ඌමනේ දවසක් හොඳවයින් මට කිව්වේ ආයෙමත් නිකිණි ගැන කතාකරන්නවත් එපා කියලා. ඉතින් මම මොන හිතකින් මූට කියන්නද? ටෙරන්ස්ව වත් සෙට් කරගන්න ඕනේ? එක්කෝ තනියෙමම යනවද?

"අප්පේ.... මොකද මේ වවුලා වගේ රෑට යන්න ලෑස්ති ගමන? ආදෙන්කෝ තාත්තා.. මම කියන්ඩ"

නංගිත් පටන් ගත්තා. චඃ.. සුපර්මෑන් වගේ උඩින්වත් යන්න තියෙනවා නම්?

"මොකද ලොකු මෑන් මේ හවස්වෙලා කොහේ යන්නද? දැන් තාත්තත් එයි. ඔන්න මට නම් බෑ උත්තර දෙන්න"

අම්මත් කියපි. දැන් ඉතින් කාපන්කෝ කේක් !

"චලන.. වරෙන්කො බන් මාත් එක්ක යන්න"



මම කරකියාගන්න දෙයක් නැති වෙච්ච නිසා කිව්වා. චලනයා බෑ කිව්වා.

"වරෙන්කො බන්"

චලනයා මගේ මුණ දිහා බැලුවේ 'තෝ මට දැන් කියපන් විස්තරේ' වගේ.

".. හරි හරි... මම යන ගමන් කියන්නම්"

Tuesday, March 7, 2017

72. ඔබ ඇවිත් යන්න එන්න... - 09

09.
------------------------------------------------------------
ලෙවල් ඇඩ්මිෂන් ඇවිත්. ඇඩ්මිෂන් අරගත්තට විභාගේ ලියන්නේ පොලිසියෙන්ද? වැඩ හතරම ලෙසටම එරිලා. මගේ ඔලුව නම් කම්මල වගේ. ඔක්කොම හිටියේ විභාගේ ගැනම හිත හිත; මම විතරක් හෝන්දු මාන්දු වෙලා. චලන හැම වෙලේම මාව උනන්දු කළා. වෙලාවකට මහා කරදරයක් වගේ දැනුනත් ඌ මාව තේරුම් අරගෙන හිටියේ.

"කෝ චිරනි"

"ආ..... එයා ලොකු අම්මලත් එක්ක කතරගම ට්‍රිප් එකක් ගියානේ. ඔයාට කිව්වේ නැද්ද?"

අදිතිගේ උත්තරේට මම මෝල්ගහ ගිල්ලා වගේ නිරුත්තර උනා. මම හිතුවා චිරනි මගේ ගාව ඉඳියි කියලා. මම වැටෙනකොට මාව නැගිට්ටුවයි කියලා.
මම පෙගිච්ච පොල්කිච්චෙක් වගේ හෝල්ට් එකේ බාර් එකට බරවෙලා බිම බලාගත්තා. මුන් ලයිට් එක්ක කතාවක් දාගෙන හිටපු චලන මගේ දිහා බැලුවේ මගේ වෙනස දැකලා.

"... උඹ වරෙන් මම යන්නං "

මම චලනට එහෙම කියලා හෙමින් හෙමින් බස් එක තියෙන තැනට ආවා. ටෙරන්සුයි, බුරියයි, ගොමයයි ඉන්නවා.

"මොකද බන්... පලාලි ඉඳල එන පුකාරා ප්ලේන් එකක් වගේ. මොකද කෙල්ල වලිද?"

"මොන පිස්සුද බන්... ගෑනියි මිනිහයි වගේනේ මුන් දෙන්නා.."

ටෙරන්ස් කිව්වා. මම ඔරලෝසුව දිහා බැලුවා. පහටත් ළඟයි. බස් එකකුත් නැහැ.

"ටෙරන්ස් , උඹ පයින්ද යන්නේ?"

"යනවා නං යමු"

Thursday, March 2, 2017

69. සිංහ ලේ අපි..



කාලයක් තිස්සේ නෙවෙයි..... අවුරුදු බර ගානක විතර ඉඳලා මම හිතාගෙන හිටපු දෙයක්, හිතලා නොලියාම හිටපු දෙයක් බ්ලොග් එකක ලියන්න කොහෙත්ම කැමැත්තක් නොතිබිච්ච දෙයක් ගැන ලියන්න එකපාරටම හිතුනා.

එක වතාවක් මම 'තමිලිනි' ගැන ලියලා මේකට පොඩි පාරක් කපාගෙන ආවත්... ආයෙමත් හිත එක එක වැහිකෝඩ වලට අහුවෙලා ඒ අදහස 'දිය නොවී' යටවෙලා ගියා.

දැන් ආයෙමත් ලියන්න හිතෙනවා.

අවවාදයයි: තමන්ගේ මතය තමන්ට වටිනවා වගේම, අනෙක් කෙනාගේ මතය අනෙකාටද වටී. මම ලියන ජේද තුන හතරෙන් ආකල්ප වල මහා පෙරලියක් වන්නේත්, ඔබේ නිහඬ බවෙන් සෙතක් වන්නේත් නැත. අදහස් මිස පුද්ගල මතගැටුම් නොහොබිනාය. මොකද, අපි මෙතරම් කාලයක් කරමින් හිටියේද එයයි.


මම නොදන්නා කාලයකදී නිලවශයෙන් රටේ 'ජාති' දෙකක මිනිස්සු එකිනෙකා මරාගන්න පටන් අරගෙන, වීරයින් බුරුතු පිටින් බිහිකරමින් පැවතිලා මේ වනවිට වීරයින් ඉස්මොල්ලේ යන තරම් ගානක් හිටියත් තවමත් අපි මරාගන්නවා.

දෙමළ - සිංහල ගැටුම කියන්නේ මොකද්ද?

මෙතෙක්  කියවපු සහ අහපු දේවල් අනුව මට නම් ඇත්තටම හිතේ තියෙන්නේ පුදුම කලකිරීමක් අපේ වැඩිහිටි පරපුර ගැන. ඔවුන් විසින් නිර්මාණය කරපු මේ සැරව පිරුණු තුවාලය දැන් කහන්නේ අපේ පරපුර. කවුරුත් ඒ තුවාලයට බෙහෙත් දානකොට ඇතුල සුද්ද කරන්නේ නැහැනේ. ( කරුණාකර දේශපාලනය, දේශපාලකයෝ ගැන කතාකරන්නවත් එපා. ප්‍රශ්න බිහිකරන්නේ එයාල කියල කතාව යටගහන්නත් එපා. ගින්නක් උනත් වතුරේ පත්තු වෙන්නේ නැහැනේ, දර නැතුව)

සිංහල ජනයා විසින් දෙමළ ජනයා කෙරෙහි පතුරවමින් පැවතුන ඒ දුෂ්ඨ ක්‍රියාවන් නිසාම තමයි මේ හැම දෙයක්ම සිද්ද වෙන්න ඇත්තේ සහ තවදුරටත් සිදුවෙන්නේ. ඒකම තමයි අද වෙනකොට මුස්ලිම් ජනයා කෙරෙහිත් පැතිරිලා යන්නේ.

යුද්ධයක් තිබුණාය කියල හිතන්නකෝ, අපි දැන් තාමත් තලුමරනවා ප්‍රභාකරන් ඝාතනය කලාය , ඊළම පැරදුනාය කියලා. මට නම් මේක මහා විහිළුවක්. ආයුධය නැතුව උනත් අපි හැමෝම මානසිකව තාම යුද්ධ කරනවා නේද?

පොඩ්ඩ ඇත්තම් 'පර දෙමළා, හම්බයා' කියමින් ඒ වෛරය නිදහස් කරන්නේ තාමත් එහෙම නිසයි. අපි හැමෝම කරන්නේ බොරුවක්! නිකමට හිතන්න අවුරුදු ගානක් තමන්ගේ කියල හිතාගෙන හිටපු පවුලකින්, එකපාරටම කිව්වහම 'උඹ අරන් හදාගත්ත එකෙක්' කියලා..... දැනෙන හැඟීම!!

ඇත්ත... සමහර වෙලාවල් වලදී ඒ ඒ ජනකොටස් කරන වැඩ බැලුවහම බලයක් පතුරවනවා කියලා හිතෙනවා. නමුත් ඒකට වියරු වැටෙන්නේ මොකටද? ගමක් ගත්තහම කෝවිලක්, පන්සලක් සහ පල්ලියක් කියන තුනම තිබ්බනම්.... බෞද්ධ අපි විතරක් ඇයි හන්දියක් ගානේ පැලවෙන කපුටු බෝගස් වලට පවා බුදුපිළිම තියාගෙන දඟලන්නේ? ඒක ආගමික අන්තවාදය!!

ලොකු විනාසයකින් පස්සේ උනත් පාඩමක් ඉගෙන ගන්නේ අයට කොහොමත්ම පාඩමක් ඉගෙන ගන්නත් බැහැ. ජපානයේ බෝම්බයෙන් සියල්ල සුන්නත්ධුලි උනාට පස්සේ ඔවුන් අවුරුද්දක් වත් අඩුම තරමේ ඇමරිකාවට විරුද්ධව පෙළපාලි, හර්තාල් කළා කියල මම අහලා නම් නැහැ ( එහෙම දන්නා අය වෙතොත් මාව දැනුවත් කරත්වා) නමුත් අපි??????

දශක තුනක  යුද්ධයකින් පස්සේ තාමත් ඒකෙ අහුකොන් හොයමින් ගැටෙනවා. ආයෙත් යුද්ධයක් ඇතිකරලා අපේ ඊළඟ පරම්පරාවට කහන්න තුවාලෙට ඉහඳ පනුවෝ දානවා. ඇයි මේ?? මේකද අපේ සමාජ වගකීම?

තමිලනි ලිව්වා...
ඒ තමයි එයා යුද්ධ කරපු හැටි. සිංහල අපි පවා කියෙව්වා. ඒකෙ සිංහලයින්ට දීපු වද සහ දෙමල මිනිසුන්ගේ කෘරත්වය පීරමින් කියවන්න උත්සහ කළා.

ඒත් තමිලනි ලිව්වේ නැහැ.... 
ඒ තමයි ආයෙමත් ඒ කැඩුණු තැන වහගෙන ඉදිරියට යන්නේ කොහොමද කියල. දෙමළ ජනතාව ඒකට සුදානම්ද කියල.....

අපේ කට්ටියත් ලිව්වා...
ඒ තමයි අපිත් යුද්ධ කරපු හැටි. 'අපේ' මිනිස්සු කොටින්ගෙන් මැරුම් කාපු හැටි. ගම් පිටින් කැතිගාපු හැටි. 'අපේ' විරුවන් කොටින්ට ප්‍රහාර එල්ල කරපු හැටි! ඒ කතාවල අපිට ඕනේ ජවය; වීරත්වය ඇතිතරම් තියෙන නිසා සිංහල 'අපිට' සන්තෝසයි. ඒවා සාක්ෂි කරගෙන අපි උදම් අනනවා තාමත්...

අපේ කට්ටිය ලිව්වේ නැහැ...

ඒ තමයි මෙහෙම යුද්දෙකට ආයෙත් නොයන්න 'අපේ' මිනිස්සු අතින් වෙන්න ඕනේ මොනවද කියන එක. සොල්දාදුවෝ කියන්නේ කුලියට මිනීමරන තත්වයක් වෙන්න ඕනේ නැහැ කියන එකට අපි සූදානම්ද කියන එක ? මේ සංහිදියාවට අපෙන් ලැබෙන්න ඕනේ දේ අපි දෙනවද කියන එක....

මේ කිසි දෙයක් කිසි කෙනෙක් කරනවා මම දැකලා නැහැ. යුද්ධයකින් පස්සේ වෙන්න ඕනේ මොනවද කියන එක ගැන මෙලෝම දැනුමක් ඇත්තෙක් අවාසනාවට ලංකාවේ ඉතිරිවෙලා ඇත්තේ නැති තරම්....

අදටත් මම දකිනවා සාමාන්‍ය අපි අතින් වෙන නොයෙකුත් අසික්කිත ක්‍රියාවන්. ඒවා නින්දිතයි. උදාහරනෙකට කියන්නම්.. මම හොඳින්ම දන්නා ආයතනයක එදිනෙදා පිරිසිඳු කිරීම් කරන ගැහැණු කෙනෙක් ඉන්නවා. ඇය කතාකරන්නේ සිංහල. ඇය සමඟ වැඩට දෙමළ භාෂාව කතාකරන තවත් ගැහැණු කෙනෙක් ගන්නවා. දැන් 'අපේ' සිංහල එක්කෙනාට ඕක ඉවසන්න බැහැ. හැමදාම අර මනුස්සයාට විරුද්ධව නඩු. දෙමල ගැහැණු එක්කෙනා තමන්ගේ පාඩුවේ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් වෙලත් සිංහල කෙනාට ඇයව ඇහේ කටු වගේ. මුකුත්ම චෝදනාවක් නැති දවසට දුවන ඇගේ තැටිය තමයි..

".... මුන් කොටියෝ.. අපේ අහිංසක කොල්ලෝ මරල, කැති ගාල ඉන්න මුන්ට හෙන හතම ගහන්න ඕනේ අම්මප"

ඒකට මට හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බෑ. ඔන්න අපේ දේශප්‍රේමය!!


මේකේ අනික්පැත්තත් ඇති.

මම දෙමළ කතාකරන හින්දු; මුස්ලිම් ආගමිකයින්ට ඇත්තටම ආදරෙයි. උන් වෙනස් තමයි. ඉතින් ඒ වෙනස මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙන වෙලාවට මම ඒ බව අඟවනවා මිසක් 'කැතිගාන්න' සමුලඝාතනය කරන්න හිතන්නේ නැහැ. හිතන්න ලෝකේ ඉන්නේ එකම ජාතියක් නම් ඒක කොතරම්ම බෝරින්ද කියල?

එහෙමයි කියල මම දමිළ කතාකරන හින්දු ; මුස්ලිම් ආගමික ජනයා එක්ක 'සංහිදියාව' (වැඩියෙන්ම අවභාවිත වෙච්ච වචනයක් නිසා තේරුම මුල සිට සරලව ඉගෙනගත යුතුය ) කියන්නේ විවාහ ගනුදෙනු කියන්නේ නම් නැහැ. උන්ට උන්ගේ පාඩුවේ විවාහ වෙන්න ඉඩ තියෙන්නත් ඕනේ. සංහිදියාව වෙන්නේ විවාහ වලින් නම් මොනතරම් දෙයක්ද? කොටිම්ම අපේ සිංහල අය අතරෙත් උඩරට- පහතරට කසාදවල තියෙන ගැටුම් බැලුවම සංස්කෘති දෙකක් එකතු උනාම මොන තරම් අවුලක් ඇතිවෙන්න පුළුවන්ද ? ඒ නිසා එහෙම විවාහ ගනුදෙනු වලින් නෙවෙයි මේක විසඳෙන්න ඕනේ. අතේ ඇඟිලි පහ විවිධාකාරයි වගේ, ඔවුන්ගේ විවිධත්වයට ගරු කරන සමාජයක් තමයි 'හදාගන්න' ඕනේ.

එතැනදී වගකීම 'මගේ'

එකිනෙකාට ගරු කරනවා නම් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. වැඩිහිටි පරපුර කඩු -මන්නා වලින් උත්තර දීලා දැන් ඉන්න තරුණ පිරිසත් ඒ විදියට තමයි උත්තර හොයන්නේ.

සැකයක් නෑ.. මේ විදියට ගියොත් අපි ආයෙමත් වාර්ගික යුද්ධෙකට යනවා. සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ධෙ එපා උනාට දේශපාලකයින්ට ඒක හිඟන්නාගේ තුවාලේ.....

තේරුම් ගන්න මේ මොහොතේ වත්!