විසිතුරු කොල

Sunday, October 2, 2016

31. රෝස කුසුමක් පිපී






බල්ලෝ පොරකරනවා වගේ එකපාරටම මහා සද්දයක් ඇහිලා මම වහලේ වැදිලා ඇහැරුනේ. 'නොදකින් කාලකන්ණි බලු රෑන, සැනසිල්ලේ මට අදවත් නිදාගන්න දෙන්නේ නැහැනේ'

එතකොටමයි මට මතක් උනේ හත්වලාමේ මේ අහලපහලක කොහෙවත් එහෙම බලු රෑනක් නැහැනේ කියල. මේ ඔක්කොම හිතෙන්නේ තත්පර දෙකක්  වත් ගියේ නැහැ. ඉතින් ඊළඟ මොහොතේම මට සක්සුදක් සේ පැහැදිලි උනා ඒ කෑගැහුවේ බල්ලෝ නෙවෙයි, කෙල්ලෝ පොදියක්ය කියල.

'හෑ... කෙල්ලෝ? කෙල්ලෝ කොහෙද මෙහෙ? අපේ මලය කෙල්ලෙක් වෙලාද? සද්දේ හැටියට නම් අඩුම තරමේ දුසිමක් වත් ඉන්නවා. යකෝ.. මම නින්දෙන් මැරිලද?'

"....... ඔන්න පටන් ගන්නවා.... මම ඔන්න පනහට ගනින්නේ.."
ඒ නම් පොඩි මල්ලි. මහ කලබලයක් ඇහුනා සාලේ.

'නොදකින්, විභාග ඔක්කොම ඉවර කරලා දෙය්යනේ කියල  නිදාගන්න හැදුව විතරයි, අම්මප!'

"දඩාන්....."

මට හිතන්න වත් ලැබුනේ නැහැ. මගේ කාමරේ දොර මහා සද්දෙන් ඇරගෙන කවුදෝ කාමරේට කඩාගෙන පැන්න. කළුවරේ මට මෙලෝ පෙනුනෙත් නැහැ. මම හිටියේ නිදිමරගාතේ. කාමරේට කඩන පැනපු කෙනා ඒ එක්කම මගේ ඇඳුම් ගොඩ අහුරලා තියෙන අල්මාරියේ පිටිපස්සේ ගුලි උනා.



'අම්මටසිරි... මහා දවල් හොරෙක්?!!'

"...... හතළිහයි... හතලිස් එකයි.... හතලිස් දෙකයි.... හතලිස් තුනයි......."

සාලේ පොඩි මල්ලි ගණන් කරනවා ඇහෙනවා.

"... පනහායි! ඉඳපල්ලා මම උඹලව ඔක්කොම අල්ලගන්නවා...."

මම ආයෙමත් ඇස්දෙක පිටි අල්ලෙන් පොඩි කරලා මගේ කාමරේට පැන්න හොරා දිහා බැලුවේ ඇඳෙන් පොඩ්ඩක් උඩට ඉස්සෙන ගමන්.

ඒ හොරාගේ කකුල් දෙක එළියේ!

යන්තම් අඩ අඳුරට ඇස්දෙක හුරුවෙනකොටම මට පෙනුනා ඒ කකුල් දෙක නම් හොරෙක්ගෙ වෙන්න බැහැ කියල. කොටිම්ම ඒ කකුල් දෙක කෙල්ලෙක්ගෙ! සුදුම සුදු, වාත්තු කළා වගේ කකුල් දෙකක්.... මට මගේ ඇස්දෙක අදහගන්න බැරි තරම්. මම මෙතෙක් දැකල තියෙන ලස්සනම නිමාවක් තිබ්බ කකුල් දෙකක්. ඒ එක්කම මට හිතුනේ මම මිට කලින් කවදාවත් කෙල්ලෙක්ගෙ කකුල් දෙකක් දිහා මෙතරම් වෙලාවක් බලාගෙන ඉඳල නැහැ කියල.

මම හෙමින් ඇඳෙන් බැහැල කලිසම ඇඟේ නිසිතැන තියෙනවද කියල බැලුව. මගේ කාමරේ ඇතුලේ කෙල්ලෙක්??? පපුව මොකද්දෝ එකක් වගේ ගැහෙන්න ගත්ත.

"..... ආ.... චාමලී අවුට්... හිකි හිකි හිකි.... ආ ලොකු අය්යා අවුට්! මම දැක්ක ඔතන පැදුර අස්සේ...."

මම හෙමින් ගිහින් වහල තිබ්බ ජනෙල් තිරේ 'බරාස්' ගාන සද්දෙන් මෑත් කලේ ; කකුල් දෙක දිහාම බලාගෙන; කාමරේට එලිය වැටෙන්න. මම දැක්ක සද්දෙට කකුල් දෙකත් වෙවුලලා ගියා.
"නිර්මලී අක්ක නැහැනේ..... "
"..... කෝ.... දැක්කද මම ඔක්කොම හෙව්වා"
"බම්බුව.. කෝ හොයනවා එහෙනම් නිර්මලිව"
"ඉන්නවා මම හොයාගන්නම්... ඕක සිම්පල් මට..! ඉන්නවා.. මම දන්නවා කොහෙද කියල"

පොඩි මල්ලිගේ සද්දේ විතරයි මට අඳුනන්න  පුළුවන්.ඔන්න මට මතක් උනේ ඊයේ අම්මගේ යාළුවො කට්ටියක් මහා රෑ අපේ ගෙදර ආවය කියල. ජිනසේන අංකල්ලා අපේ අම්මගේ හොඳම යාළුවො. මර රෑ දෙගොඩහරියේ ආපු නිසා මම කාමරේට වෙලා උන්නා මිසක් එලියට ආවේ නැහැ. එකත් එකටම එයාල වෙන්න ඇති.

ඒ උනාට මගේ පපුව ගැහෙනවා. මගේ කාමරේ කෙල්ලෙක්! මම අඩියට දෙකට කාමරෙන් එලියට පැන්න.

ගේ පුරාම තිබ්බේ පුදුමාකාර ජීවයෙන් පිරුණු කලබලයක්. වෙනදාට නැති අමුතු එළියක්.

ඒ කොහොම වෙතත් උදේ පාන්දර වෙච්ච ආත බුත වැඩේ නිසා මම හිටියේ  ආයෙමත් කාමරේට රින්ගන්නද කියන හදිස්සියෙන්. කොහොමත් මම මගේ දවසේ වැඩි කාලයක් ගතකරන්නෙත් කාමරේ තමයි. ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් බාන්න කියල ෆිල්ම් දුසිම් තුනකටත් වඩා තිබ්බ. ඇයි ගහන්න කියල වීඩියෝ ගෙම්ම කීයක් එකතු කලාද. අදම පටන් ගන්න ඕනේ!

"ලොකු...... එන්නකෝ මෙහාට. ආන්ටි ඊයේ රෑ ඉඳන් හොයනවා. කෑම පිඟානත් අරගෙන කාමරේට රිංගන්නේ.... බලන්නකෝ නීතා මේ ළමයා කාමරේට රිංගගත්තු ගමන්මයි. දැන් ඉතින් විභාගෙත් ඉවරනේ.... කෝ එන්නකෝ ලොකු.."

අම්මගේ මල කරදරේ... මම ඉතින් කරකියාගන්න දෙයක් නැතුව සබාව මැද්දට ගියා. 'ශික්.. මම කැමතිම නැති වැඩ මෙව්වා.... ඔය අම්මගේ යාලුවන්ට කතාකරන එක තමයි මට එපාම කරපු වැඩේ. වැඩේම අහන්නේ එග්සෑම් ! එග්සෑම් !! එග්සෑම් !!!.. ඒක ඉවර වෙලත් නිවනක් නැහැනේ'

මම ඔලුව නමාගෙන ගිහින් කෑම මේසේ කොනක වාඩි උනා. එතකොට ඇස්කොනෙන් මම දැක්ක අර සුදු කකුල් දෙක. නොදැනුවත්වම ඇස්දෙක ඒ ඔස්සේ ඉහලට ගියා. කැරළි කොණ්ඩා දෙකක් එක්ක , සුදුම සුදු මුණක් තියෙන කෙල්ලෙක්! මට ආයෙමත් විදුලි වේගෙන් බිම බැලුන.

".. එග්සෑම් ලේසිද පුතේ?"
"අවුලක් නැහැ"

"ඉස්සර හරි දඟයි නේ ඔයා... බලන්නකෝ සුසිලා තැන්පත් වෙලා තියෙන තරම."

"ඔව් නීත , ඔය කාලෙට ඔහොම තමයි. මෙයාගේ තියෙන එකම ප්‍රශ්නේ දවසම ගේ අස්සේ, කාමරේට වෙලා පොත් ගුල්ලෙක් වගේ ඉන්නෙක. හදිසියකට කඩේකට වත් යවන්න බැහැනේ. පොඩ්ඩයි, මද්දුයි විතරයි එහෙම වැඩකටවත් එන්නේ. මෙයා ඉතින් පොතේම තමයි. එග්සෑම් ඉවර උනාම වැඩිපුර නිදාගන්න ඕනෙය කියල විතරයි ඔන්න  කිව්වේ.ඒකයි අද ඔය දවල් වෙනකල් නිදි.."

අම්ම එයාගේ බර බරේ පටන් ගත්ත. මම ඉතින් රෙදි නැති ගානයි. අර සුදු මුහුණෙන් නම් 'හිකි හිකි' සද්ද ඉවරයක් නැහැ. මට මතක් උනෙම ඒ සුදු කකුල් දෙක. කවදාවත් මම ඒ තරම් සුමුදුවට තියෙන කකුල් දෙකක් දැකලම නැහැ. එක්කෝ මම සැලකිල්ලෙන් කවදාවත් බලන්නත් නැතුව ඇති. ආයෙමත් පපුව ගැහෙන්න ගත්ත.

".....ඉතින් නීතට පුළුවන්නේ අපේ ලොකු වත් එක්කගෙන යන්න එහෙ. කොහොමත් ආයෙමත් ක්ලාස් පටන් ගන්න මාස දෙක තුනක් යයිනේ"

මෙච්චර වෙලා මට නෑහිලා තිබ්බ කොටසේ, ඇහුනේ ඒ කොටස! මාව උඩ ගියා. සුපුරුදු විදියට අම්මා අණක් පනවන්නයි හදන්නේ. අය්යෝ මගේ වීඩියෝ ගේම් ගහන ප්ලෑන් ! ෆිල්ම් බලන ප්ලෑන් !!

" යමු පුතා එහෙනම්. ඉක්මනට ලැස්ති වෙන්න... අපි උදේට කාපු ගමන් යන්නයි හිතාගෙන ඉන්නේ."

'අනේ අම්මේ' මම එහෙම කිව්වේ නැතත් ඒ වගේ අසරණ බැල්මක් අම්මා දිහා දැම්මේ සරණක් පතාගෙනම නෙවෙයි. අපේ අම්මගෙන් එහෙම සරණක් පතන්න බැහැ කියල මම දන්නවා. එයා කිව්වොත් ආයේ අපිට කතා කරන්න බැහැ.

".... දුලිප් අය්යා එනවා කිව්වා එයාගේ ප්ලේ ස්ටේෂන් එකත් අරගෙන."

නීතා ඇන්ටි එහෙම කියනකොට මගේ ඉහේ මලක් පිපුන. මෙහෙ එව්වා වගේද පිටරට ගේම් ස්ටේෂන්!! මම උඩපැනගෙන ගියේ කාමරේට. කාමරේට ගියපු ගමන් මම බැලුවේ අර අල්මාරිය දිහාවේ. මොකද්දෝ අමුත්තක් මට දැනුන. පපුව ඇතුලට විහිදාගෙන ගියපු අමුතු සුවඳක් වගේ දෙයක්.... මට ඉබේටම හිනාවක් නැගුන.

"අය්ය... ම.. මේ...."
මම ගැස්සිලා ආයෙමත් කාමරේ දොර දිහාවේ බැලුව. කවුරුවත් නැහැ.

"... ෂ්... ෂ්... මෙහෙ.... "
මම ඔලුව හරවලා බැලුව ජනේලේ දිහාවේ. අර සුදු මුහුණ එබීගෙන ඉන්නවා ජනේලෙන්. මාව නිකන් කොයිල් වෙලා වගේ ගියා. හුරුබුහුටි පොඩි නහයක් ඇයට තිබ්බේ.
".... අය්යා.. මගේ චේන් එක.. අනේ බලන්නකෝ ඒක අර අතන වැටිලා තියෙනවද කියල. අම්ම මට බනී... අනේ අර අල්මාරිය පිටිපස්සේ තියෙනවද බලනවද?"

ඒ මුහුණේ තිබ්බේ ලොකු දුකක්.

'චේන් එක? ඔයාව බල්ලෙක් වගේ ගැටගහලද තිබ්බේ?'

මගේ ඇතුලේ හිටපු කොල්ලා එහෙම ඇහුවත් ඔලුව උස්සල බලන්න බැරුව මම මහා අපහසුවක් වින්දේ. ඒ කෙල්ල කොහොමද මෙතරම් සැහැල්ලුවට ඉන්නේ? මම මොකද මේ මෙහෙම අමාරුවෙන් ඉන්නේ?

".. අනේ බලන්නකෝ... අම්ම මට බනී දැන්! අනේ...."

ජනේලේ එල්ලී එල්ලී මේ කෙල්ල මගේ හිතට මොකද්දෝ එකකින් තඩිබානවා. මම ඔලුව නමාගෙන ගිහින් අල්මාරිය පිටිපස්සේ බැලුව. අර සුදු කකුල් දෙක ආයෙමත් මට මතක් උනා. හරිම පුදුමයි. කෙල්ලෙක්ට එහෙම කකුල් තියෙනබව මට කවදාවත් හිතිලා තිබ්බේ නැත්තේ මොකද?

"... නැද්ද? අනේ හොඳට බලන්නකෝ... අනේ.... ටෝච් එක ගහල බලන්නකෝ වැටිලා තියෙනවද කියල"
"නිර්මලී................................... කෝ මේ ළමය. චුටී........... යන්න ලැස්ති වෙන්න ළමයෝ. කොහෙද ඉන්නේ."

මම ජනේලේ දිහා බලනකොටම ජනෙල් පඩියේ මෙච්චර වෙලා එල්ලිලා හිටපු අත්දෙක ඒ තත්පරෙන් ඉවත් වෙලා කලබලෙන් ගේ ඉස්සර පැත්තට දුවන අඩි සබ්දයක් බවට පත්උනා.

අර සුදු කකුල් දෙක වේගෙන් තියාගෙන ඈ යන විදිය මට එකපාරටම ඔලුවේ ඇඳිලා, මැකිලා ගියා.

අපි හැමෝටම යන්න තරම් නීතා අන්ටිලාගේ වෑන් එක ඉඩ මදි නිසා වෑන් එකට මගේ බෑග් ටික පටවලා මම නැග්ගේ ඒසී වත් නැති අනිත් වැගන් එකට. මම කොහොමත් සද්ද බද්ද තියෙන කෙල්ලෝ රෑන එක්ක යන්න කැමති නැහැ. නිකමට වගේ බැලුව ඈ කොහෙද කියල. පෙනෙන්නට හිටියේ නැහැ. අන්තිමට වාහනේ එලියට ගන්න හදනකොට ති දාගෙන කොහොදෝ ඉඳන් දුවගෙන ආපු ඈ මම හිටපු වාහනේට නැග්ග.

"ඇයි දුවේ. අරකෙ ඒසී තියෙනවනේ. එහෙට යන්න. අන්න අපේ දුව  ඉඩකුත් තියන් හිටිය."

"අනේ බෑ අංකල්. අම්ම බනිනවා ඉවරයක් නැහැ. මගේ චේන් එක කොහෙද මන්ද නැති වෙලා. මට ඒකෙ ගියොත් වෙන්නේ ගෙදර යනකල් බැනුම් අහන්න. දාඩිය දැම්මත් කමත් නැහැ... අම්මෝ මට බැහැ ඒකෙ යන්න"

මගේ ඉස්සරහ සිට් එකේ හරිබරි ගැහෙන ගමන් ඈ කිව්වේ වටපිට ගැන වගක්වත් නැති පණ්ඩිත කෙල්ලෙක් වගේ. මම හිටියේ වාහනේ පිටිපස්සෙම සිට් එකේ ටැබ් එකට ගත්ත ගේම් එකකට අර අදින ගමන්. ආයෙමත් මල් සුවඳක් වගේ දෙයක් දැනුනා.

ඒසී නැතුව ගියපු ගමනක්, සිහිල් පවන් රොදවල් එක්ක විඳපු පලවෙනි වතාවද? මොනාද මේ වෙන්නේ??


රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් පතා පුබුදුවා
සුවහසක් පැතුමන්

මා අවදිකර යහනින්
ඔබ එබී හිනැහී කවුළුවෙන්
කියා රහසක් සැලෙන දෙතොලින්
නොහැඟෙනා වදනින්
නොහැඟෙනා අරුතින්

ඔබේ සුවඳ ලද මොහොතින්
සිත වෙලා සිටී ආදරෙන්
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්




ප.ලි.
මේ ගීතය මොකද්දෝ හේතුවකට මාව හඬවනවා. හිරිමල් වියේ සිටින තරුණයෙකුට ආදරයක් කියා යමක් දැනෙන පිවිතුරු ආකාරය හොඳටම දනවන වෙනත් ගීතයක් මම දැක නැහැ. 


මගේ හිත වඩාත්ම රිදවන්නේ 

'.... මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින් ......'

කියනකොටයි. එතකොට මමත් ඔහු සමඟ කුලියට අඬනවා වගේ මට දැනෙනවා.





මේ ගීතය ගැන විතරක්ම ලියන්න හිතාගෙන ඉන්නකොට මට හිතුනා කතාවකුත් අමුණන්න ඕනේ කියල. 



සමාවෙන්න අඩුපාඩු ඇතොත්. 



2 comments:

  1. වස අය සමහරක් තැංවල අහිංසක වෙනවා
    දග අය සමහරක් තැන්වල සාන්ත වෙනවා
    ඇදගන ඉන්න අය සමහරක් තැන්වල ඇනගන්නවා
    අන්තිමට හැමෝම පොලවේ තැම්පත් වෙනවා

    ReplyDelete
    Replies
    1. මට මේ කොමෙන්ටුව තේරෙන්නේ නැහැ. මොලේ එතරම් වැඩිලා නැහැ මම හිතන්නේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි