විසිතුරු කොල

Sunday, May 12, 2019

213. සුහදිනියේ - 18 | අවදානම් සැලසුමක්

කලින් කොටසට 




මගේ සැලසුමේ ඉතිරි කොටස සඳහා පිඹුරුපත් සකසමින් සිටියදී බලාපොරොත්තුව සිටි ඇමතුම පැමිණියේය. ඒ වනවිට අප රාත්‍රී ආහාරය ගෙන නිම වුනා පමණි.

"කියන්න සුන්දර්...!"

"දැන් මම ඉන්නේ ෆිල්ම් හෝල් එක ගාව"

"හරි ඔහොම්මම ඇවිත්.......... කලර් ලයිට් එක ගාවින් වමට දාලා.......... හම්බවෙන පාරේ ඉස්සරහට ඇවිත්...... කොලපාට ගේට්ටුව තියෙන තැනින්..... ඇතුලට දාන්න."

සුන්දර්ට මම පැවසුවේ මහල් නිවාසයේ පසුපස ගේට්ටුවේ සිට පැමිණෙන මම, නොපෙනන ස්ථානයයි. එය මම පෙර සිට පාවිච්චි කර ඇති බැවින් විශ්වාසයක් තැබිය හැකිය. සුන්දර් පවා නොදැනගතයුතු දේවල් ඇත.

වහ වහා මා සතු කළුපැහැති බොටම් කලිසම සහ කළුපැහැති ටී කමිසයට බැසගත් මම නිවසේ මගේ ඇඳුම් අල්මාරියේ තිබුණු කුඩා කොලිම්බියා පිහිය ඉනෙහි සඟවාගෙන , සාලයට ආවෙමි. මගේ දකුණු අතෙහි තිබුනේ සපත්තු දැමීමට භාවිතා කරන කළු පැහැති ඝනකම් අලි කකුල බෑගයයයි. එය වඩාත් සමාන වුයේ ගෝනියකටයි. එය තුල මට අවැසි දේ පරිස්සමට ඔතා තිබිණි.

මෙගේ වෙනස ඉව වැටුණු මධුලිකා නිවසේ දොරතෙක් මා සමඟ පසු ගමන් ආ බැවින් ආපසු හැරී එක වරක් ඈ දෙස බැලුවේ සමුදෙන අදහසින්ම නොවේ. අපගේ දෑස් හමුවිය. කිසිදු කතාබහක් නොවුනද මම කුමක්හෝ දෙයකට අර අදින බව ඇයට වැටහුණි යයි පෙනුනි. මධුලිකා මගේ දකුණතේ ඉහල බාහුව උණුසුම්ව අල්වා ගත්තාය.

"පරෙස්සමෙන්!"

Sunday, May 5, 2019

213. සුහදිනියේ - 17 | ඔත්තුකරුවන් පසුපස ; විශ්වාස කරන්නේ කවුරුන්ද?

කලින් කොටසට 



සිහින් ඉකියක හඬින් මම නින්දෙන් පිබිදුනෙමි. ඇස් අරිද්දීම වම් අතෙහි වේදනාව ඉතා තදින් දැනෙන්නට විය. අඩ අඳුරට ඇස් හුරුවෙමින් මම ඉකිය නැගෙන්නේ කොහින්දැයි සොයන්නට වීමි. අඳුරේ මගේ සයනය අද්දර වූ පුටුවට වී, මට පිටුපා ඉකිබිඳිමින් උන්නේ මධුලිකාය.  නළල මත යම් සීතලක් දැනී එය අල්ලා බැලු විට, එහි වතුරෙන් පොඟවනලද ලේන්සුවක් විය.

"මධු.....?"

මම කතාකරද්දී ක්ෂණයෙන් හැඩීම නවතාලු මධුලිකා නොසෙල්වී උන්නාය. ඉන්පසුව මා දෙසට හැරී මගේ දකුණු අත මත සිය අත තබා මා දෙස බැලුවාය. අඳුර බැවින් ඇගේ බැල්මේ කුමක් තිබුනාද කියා මට පෙනුනේ නැත.

"අඩුද? ඔයා හීනෙනුත් කෙඳිරිගෑවා..."

"............"

"ලයිට් එක දාන්නද?"

"එපා!"

හීනෙන් මෙන් මට සිදුවූ සියල්ල මතකයට ආවේය. විරංග මා ගෙනවිත් බැස්සු විට මට යම් තරමක උණක් තිබිණි. මා දුටුවනම භීතියට පත්වූ මධුලිකා යුහුසුළුව මට අවැසි උපකාර කලේ කකුලේ අපහසුව අමතක කරදමා මෙනි. ලේ වැකුණු ඇඳුම් මාරුකරන්නට විරංග උපකාර කල පසුව ඔහු පිටත්ව ගොස් මම කාමරයට ආවා මතකය. බෙහෙත්වල සැරට මට නින්ද යන්නට ඇත. අත සෑහෙන වේදනාවක් ඇතිකරයි.

මධුලිකා පුටුවෙන් නැගිට යන්නට මෙන් සැරසුනේය. මට ලොබ සිතුනි. වේදනාවට ආ කෙඳිරිය ඉබේම ඇරඹුනාට මම එය වැඩියෙන් කලාද?

".. යන්නේ... ඇයි ?"

මධුලිකා පිළිතුරක් දුන්නේ නැත.

".. වෙලාව කීයද ?"

මධුලිකා මගේ දුරකථනය ගෙන වෙලාව බැලුවාය.

"දෙකයි... පාන්දර දෙකයි"

මම ගොළුවී ගියද, සිත උණුහුම්ව නැගුණි.

"ඔයා නිදාගත්තේ නැද්ද?"

මධුලිකා පිළිතුරු දුන්නේ නැත. ඇය දැන් බොහෝ ගොළුය. ඒ කුමක් නිසාද? ඇගෙන් සොරාගත් පොඩි මොහොතක් නිසා මගේ 'කන පලන' බව කී මධුලිකාමද මේ?