විසිතුරු කොල

Tuesday, April 2, 2019

212. සුහදිනියේ - 16 | ඝාතන තැතක් ? මිනීමරුවන් නිදැල්ලේ

කලින් කොටසට 



වත්තෙන් පිටවී වහාම කොළඹ ආ මට ප්‍රමාද වන්නට කාලයක් නැත. නිමන්ති විසින් සියල්ල සකසා තිබිණි. මධුලිකා රුපලාවන්යාගාරය අසලින් බස්සවා මම නිවසට ගොස් හොරෙන්ම මා සතු හොඳම කෝට් ඇඳුම ගෙනවිත්, මධුලිකාගේ නිවසේදී ලක ලැහැස්ති වුයෙමි. පපුව වේගයෙන් ගැහුනේ බිය නොමැති වුවත් මම මේ කරන්නේ කවර ආකාරයේ වැඩක්ද කියා මටම සිතාගත නොහැකි බැවිනි. නිවසින් පිටවන්නට පෙර සේවිකාව මට වතුර වීදුරුවක් ඉදිරියට ගෙනාවාය. මට සිනාවක් නැගුනද, හදවතේ බර ගතියක් දැනුනි.

පිටත්වන්නට පෙර නිමන්ති ඇමතු මම එදිනට කුලියට ගත් වාහනය පදවාගෙන ගොස් රථගාලෙහි නවත්වා කණ්ණාඩියෙන් බලමින් හිසකේ හදාගතිමි.

විනාඩි පහළොවකින් පමණ දොර විවර කරගෙන ආවේ සුරන්ගනාවියකි! මධුලිකා අතිශය රමණිය සුදුපැහැති ගවුමකින් සැරසී මා ඉදිරියට ඇවිදගෙන එන්නීය. මා අන්ධයෙකු හෝ මෝඩයෙකු නොවේ... මම දුටු සුන්දරම මනාලිය ඇයයි...!



මගේ දෑස් ඉබේම තෙත් විය. වහා කඳුළු වසන්කල මම ඉදිරිය බලාගෙන සිටියද, ඇගේ ඒ සුන්දර බව මා සෑහෙන කැළඹීමකට පත්කර තිබිණි.

එම්බ්‍රෝයිඩර් කුඩා මලකින් චාම් ලෙස හැඩකල දිග ගවුමේ, පුළුල් උරහිස් ඇගේ මෘදු ගෙල වටා චාම්ව බැඳ තිබුණු කුඩා ආභරණය කැපී පෙන්වා තිබිණි. එය සිහින් රිදී මාලයකි. ඈ අත තිබුනේ හිම මෙන් සුදු, කුඩා රෝස පොකුරකි. දිගු වරලස ඉතා චාම්ව පසුපසට කොට කුඩා මල් වැලකින් රවුම්ව රඳවා තිබිණි.



එපමණකි.. ඈ අතිශය රූමත් මනමාලියකි!

ඇගේ ලා දුඹුරු සම කැපී පෙනුනේ, සියලු අන් මිනිසුන් අන්ධයින් වේවා යයි පතන තරමට මා වික්ෂිප්ත කරමිනි. මට හුස්ම සිරවී ගියාක් මෙන් දැනුන බැවින් කට ඇර දෙතුන් වරක් හුස්ම ඉහලට ඇද ගතිමි.

නිමන්ති විසින් වත්තන් කරගෙන ආ මධුලිකා අපහසුවෙන් කාරයේ පසුපස ආසනයට බර වුවාය. එවිටයි මට සිහිය ආවේ, ඈ වත්තන් කරන්නටවත් මම ඉදිරියට යන්නට සිහියක් නොවූ හැටි!

පසුපස බලන කණ්ණාඩි ඔස්සේ අප දෙදෙනාගේ ඇස් මොහොතකට යාවි ගියේය. ඈ මෙතරම් ලස්සනද? මඩිනා ලද සිතුවිලි වලින් මා උමතුවන්නට ආසන්නව ගොස්ය. ලොකු හුස්මක් ගෙන සන්සුන්වූ මම විරංගගේ තොරතුරු වලට අනුව ජායාරුප ශාලාවට පදවා ගියෙමි. ලද සියලු මොහොතවල් වලදී මම කණ්ණාඩියෙන් ඈ බැලුවෙමි, නමුදු මුහුණ බිමට හරවාගෙන සිටි මධුලිකා නිහඬය. ඈ ඉන්නේ දුකෙන්ද?

ජායාරුප ශාලාවට ඇතුළුවත්ම අපට උපකාර කිරීමට ඉදිරිපත්වූ සහායකයා සමඟ මමත් මධුලිකාත් ඉදිරියට ගියෙමු. ඈ තවමත් නිමන්තිගේ අතෙහි එල්ලීය.

"කෝ.. ඉන්න මම අල්ලන්න.... ඔය මල් එක දෙන්න නිමන්තිට"


මම එසේ කියුවද මධුලිකා නිහඬව පියවරක් තැබුවාය. ඉදරියේ තිබුනේ පියගැටපෙලකි. තවත් කියන්නට අවැසි නොවීය.



ඈ අත තිබුණු මල් පොකුර ගෙන නිමන්ති අත තැබූ මම මධුලිකා හරස් අතට ඔසවා ගතිමි.  මධුලිකා එකවර 'හඃ' ගෑවද , කලබලයක් හෝ දැඟලීමක් නොකර මට තුරුල් වුවාය.

ඈ සැහැල්ලුය, හුරුබුහුටිය. මම ඈ ඔසවාගෙන ඉතිරි පියගැට පෙළ නගිද්දී, ඉහල සිට විසල් සිනහවකින් සියලෝම බලාසිටිනවා මට පෙනුනි.

මධුලිකා දෙස නොබැලුවත්, ඈ පුසියක මෙන් මට තුරුල්ව උස් සුසුම් වලින් මගේ පපුවට පිඹිමින් සිටියාය.

මට සිහි වුයේ පළමුව මම ඈ මෙලෙසම ගෙන මගේ වාහනයේ පසුපස අසුනට ගෙනගිය අයුරුය. එලෙසම සිහිසුන්ව සිටි ඈ ගෙන ඒ වනරොද පීරා දිවගිය අයුරුය. ඒ සැමටම වඩා ඈ මා අසලය. මධුලිකා වඩාත් සමීපව මට දැනෙන්නේ අදයි.

නමුත්, ඈ මගෙන් ඉල්වන මේ උපකාරයට හෝ පිහිටට ඇගෙන් කප්පමක් ඉල්ලනවා සේ ඈට දැනේවිද? මම යුවතියන් රැසක් ඇසුරුකළ බව සැබෑය, නමුත් ඈ ඒ සියල්ලටම වඩා වෙනස්!

පින්තුරය ගන්නට අප දෙදෙනා සිටුවා තැබීම එතරම් ලෙහෙසි නොවීය. මධුලිකාට සිටගෙන සිටීමේ අපහසුව නිසා ඈට පුටුවක් ලබාදී මම ඊට ළඟින්ම සිටගතිමි. ජායාරුපශිල්පියා තලතුනා පිරිමියෙකි. ඔහු අප දෙදෙනාට නොයෙකුත් විහිළු කලේ දෙදෙනාම ඔරවාගෙන සිටින නිසාය.

"මොකාද අනේ ඔහොම ඉන්නේ....? මේ දෙන්නා ගෙදරින් බලෙන් බන්දවල වගේනේ... හිනාවෙන්න දරුවෝ..."

පින්තුර දෙක තුනකින් සෑහුණු මම මධුලිකා තවත් වෙහෙසකරන්නට කැමති නොවුනෙමි.

"මම නම් කියන්නේ ක්ලැසික්ම ෂොට් එක තමයි මේක!"



එතන සිටි සහයකයා සිය කැමරාවේ සටහන් වුනු යමක් මට රහසේ පෙන්විය. මගේ ඇස්දෙක අදහාගත නොහැකි තරමකි. මම මධුලිකාව දෝතින් ගෙන පිටගැට නගින දර්ශනය ඔහුගේ කාචයේ සටහන්ව තිබුනේය. එලෙසම මධුලිකා මා අතට බරවී ගමන් කරන ලස්සන කෝණයකින් ඔහු සටහන් කරගෙන තිබිණි. ඇගේ මුහුණේ තිබුනේ පිපුණු සිනහවකි. මම වහා පැන ඔහුගෙන් කැමරාව උදුරාගතිමි.

"මට මේක දීපන් මචන්.. කීයක් උනත් මම ගන්නවා!"

මධුලිකා දෝතට ගත් පින්තුරය පෙන්වමින් මම කියද්දී තරුණයා සිනාසී මගේ දෙස බැලුවේය.

"ලස්සන නිසා ගත්තේ. නැචුරල්... සල්ලි ඕනේ නැහැ... මේක මගේ ගානේ ගිෆ්ට් එකක් කියල හිතලා ගන්න.."

මම ඉක්මනින් මගේ නම්පතක් ගෙන ඔහු අත තැබුවෙමි.

"මට ඕක මේල් කරන්න.... ඊට අමතරව මට... මේකේ ලොකු ෆොටෝ එකක් එන්ලාජ් කරලා ඕනේ"

මධුලිකා පහලට ගෙනගොස් වාහනයේ පිටුපස ආසනයේ හිඳවා මම නැවත ආවේ ගෙවීම සිදුකිරීමටයි. කවුන්ටරයේ සිටි තරුණයා සිනාසෙමින් මා දෙස බලාගෙන සිටියේය.

"ලස්සන කපල් එක සර්... කොහෙන්ද ඇල්බම් එක කලේ?"

මම සිනාසී මුදල් ගෙන කවුන්ටරයේ තිබුණු කුවිතාන්සිය පිරික්සීමි.

"ෆොටෝ එක ගන්න පුලුවන්ද හෙට? අපිට වීසා වලට ඇප්ලයි කරන්න ඕනෙවෙලා හදිස්සියේ බැන්දේ... ඒ නිසා පින්තුරේ හදිස්සියි"

"ආ... ඒකද අර මිස් බයවෙලා වගේ හිටියේ?"

"හ්ම්ම්... මල්ලි අර පින්තුරේ...?"

"ආ.. ඒක මම එවෙලේම මේල් කළා... සර්... !"

"තෑන්ක්ස් !"

මුදල් ගෙවා මම නැවත එද්දී එතැන සෝපාවේ උන් මිනිසාගේ අත වූ පත්තරය සෙලවිමේ අමුත්තක් මට දැනුනේ ඇයිදැයි මට වැටහුනේ නැත. කවුරුන් හෝ අප දෙස බලාසිටියාද?

සාමාන්‍යයෙන් දොඩමලු තරුණියක වන නිමන්ති, ගොලුවී ගොස් සිටියාය. මගේ සිතත් සෑහෙන වෙහෙසට පත්ව තිබිණි. දහවල් ආහාර වෙලාවද පසුවගොස් තිබුනද මට කුසගින්නක් දැනෙන්නේ නැත.

"නිමන්ති...  මොනවහරි කාලා යමුද?"

නිමන්තිත් මධුලිකාත් එකිනෙකා දෙස බැලුවෝය. මධුලිකා හිස දෙපසට වැනුවේ 'එපා' කියන්නට මෙනි.

"මේවා ඇඳගෙන යන්න බැහැනේ... "

නැවත අප තිදෙනා මුනිවත රකින්නය වුනෙමු. මහල් නිවාසයේ වාහන අංගනයේ වාහනය ගාල්කොට අපි තිදෙනා නිවසට ගොඩවෙද්දී සේවිකාව අපව පිළිගත්තේ සතුටින් ඉපිලියමිනි. කුලියටගත් මධුලිකාගේ ඇඳුම ආපසු දෙන්නට අවැසි නිසා නිමන්තිද අප සමඟම මහල් නිවාසයට ආවාය.

නිමන්ති පිටව ගිය පසුව මම මගේ කාමරයටත්, මධුලිකා ඇගේ කාමරයටත් වැදගතිමු. කබාය ගලවා ඇඳමත දැමු මම සයනයේ පසෙක හිඳගත්තේ නොසන්සුන්කමිනි.


මගේ සිත අවුල්ව ගොසිනි. ඈ මට අකමැතිය, නමුත් පිහිටක් අවැසි නිසා මෙලෙස කරන්නට ඇත. මගේ සිතේ ඈ කෙරෙහි ඇත්තේ ආදරයක්ද? ආසක්තබවක්ද? එතරම් ලස්සනට ඈ දුටු කිසිවෙකු ඈට අකමැති වන්නට තරම් මෝඩ නැත. ඈට හොද සහකරුවකු සෙවීම උගහට නොවේ. ඇගේ කරදරයේදී මගෙන් පිහිටක් පැතුවා විනා මා ගැන ඈට හැඟීමක් නැතුවා විය හැකිය. එනමුත් ඈ අද උදෑසන මට කෑම බෙදුවේ කොතරම් ආදරයකින්ද? ඈ එලෙසම විරංගටත් කළා නේදැයි මගේ සිත මොරදෙන්නට විය.

'ටොක් ටොක් ටොක්'

"මහත්තය..."

මම දෑතින් මුහුණ පිසදාගෙන ගොස් දොර ඇරියෙමි. සේවිකාව බැරෑරුම් මුහුණක් සමඟ සිටගෙන සිටියාය.

".. අ... ම... දවල්ට කාලද ?"

මම 'නැහැ' කියන්නට හිස දෙපසට වැනුවෙමි.

"බේබිට මොනවහරි හදලා දෙන්න. මම තව ටිකකින් යනවා"

සේවිකාව මදක් පසුබෑවාය. ඇය යමක් කියන්නට අර අදී.

"බේබි... දොර වහගෙන"

මම සේවිකාව දෙස බැලුවෙමි. ඇගේ ඇස් තෙතබරිතය. බියපත්ය. මම වහා ගොස් මධුලිකාගේ කාමරයේ දොරෙහි අගුලට අත තැබුවෙමි. එය ඇතුලතින් අගුලු දමා නැත. තවත් නොසිතා මම ඇතුලට ගියෙමි.

ඇගේ සයනයේ මට පිටුපා හිඳගෙන සිටි මධුලිකා මගේ ආගමනයෙන් ගැස්සී හිස හරවා බැලුවාය. මම මෙන්ම ඇයත් තවමත් මංගල ඇඳුම පිටින්. ඇගේ ඇස්වල කඳුළු උතුරාගොස් තිබිණි. මම අඩපණව ගියෙමි.

"අඬන්න එපා"

මට කියන්නට අවශ්‍ය උනේ එයයි. නමුත් මුවෙන් ගොර ගොර හඬක් මිස වෙනත් දෙයක් පිටවුනේ නැත. අපහසුවෙන් කකුල් දෙකට පන ලබාගත් මම මධුලිකා අසලට ගියෙමි. ඈ නැගිටින්නට උත්සහ කළාය. මම අතින් 'එපා' යයි කීවෙමි.

සුදුපාට චාම් ගවුමට ඈ සුන්දරව පෙනුනි. වත්සුණු හෝ කිසිදු ආලේපනයක් නොගෑ මුහුණේ කඳුළු වලින් ඈ තවත් අහිංසකව පෙනුනාද කියා හරිහැටි මතකයක් නැත.

බිමට නැඹුරු කරගත් ඇගේ බුහුටි මුහුණ කඳුළු නොවසාම නිකටෙන් අල්වා මම එසවුයෙමි. ඈ මා දෙසම බලාසිටියා මිස කිසිවක් කීවේ නැත. ඒ නෙත් සැබවින්ම හදවතක් පසාරුකරන සුළුය.

සැබවින්ම ඒ මොහොතේ කාලය නවතින්නට ඇත. කිසිම දෙයක් හරිහැටි මතකයකට නගාගන්නට නොහැකි රික්තයක් අප වටා සබන් බෝලයක් මෙන් වටකොට ගත්තේය.

මම පියවරකින් සමීපව, මධුලිකා වෙත සෙමෙන් නැඹුරුව, ඇගේ හිසෙහි පසුපසින් අල්ලා ලංකොට ඈගේ දෙතොල් සිපගතිමි. අතිශය මනරම් වර්නාලෝකයකින් හාත්පස ඒකාලෝක වන්නාසේ දැනුනා මතකය. දිගු, නමුත් ඉතා මෘදු ඒ මොහොත අතිශය සංවේදීව මගේ හදවතට දැනුනා නම් මතකය.

දෑස් හරිනවිට, තවමත් දෑස් පියා සිටින මධුලිකා දෙස තත්පරයක් බලා සිටි මම ඇගේ කාමරයේ දොර වසා පිටතට පැමිණියෙමි.


*************************************

කුලී රථයෙන්ම , ගරාජ් එකට ගොස් වාහනයේ තත්වය බැලු මම එයට අවශ්‍ය කළමනා ගන්නට මුදල්ද ලබාදී කුලී රියද බාර දුන්නෙමි. එහි සිට ත්‍රිරෝද රථයක නැග එන අතරමගදී හඳුනාගත් එම රියදුරා ; තාත්තාගේ තලවාකැලේ සේවකයෙකුව සිට පසුව ත්‍රිරෝද රථයක් මිලට ගත් බවයි. තාත්තා ගැන බොහෝ ගරුත්වයෙන් ඔහු කතා කරද්දී මටත් ඉන් ආඩම්බරයක් දැනිණි.


අප හා සමාන්තරව විටින් විට ගමන් ගත් ත්‍රිවිල් රථයක් නිසා කවුරුන් හෝ මා ලුහු බඳින බවක් ඉව වැටුණි.  මම වෙලාව බැලුයෙමි. සවස පහ පසුවුණා පමණකි. එවිටම මට ඇමතුමක් ආවේය. මම සැනින් එයට පිළිතුරු සපයද්දී ඉබේම මගේ සිතේ ඇඳි සිනහව මුවේද සටහන් වනු දැනුනි.

"හලෝ.. කියන්න මධු......"

වෙනදාට වඩා ඒ 'මධු' ඇමතුම මගේ සිත තුලින්ම පැමිණෙන්නට ඇත.

"ඔයා කොහෙද?"

"ගෙදර යන ගමන්... කා එක දීලා... ඇයි ? "

"......................"

"ඔයා මොකද කරන්නේ?"

"......................."

"ගෙදර ගිහින් කෝල් කරන්නද? "

"......................."

"හ්ම්ම්?"

"හරි..... "

හදවත් පිරී ගියා සේ දැනුනි.

ඇය මා ඇමතුවේ පාළුව නිසාද? නොඑසේනම් යුතුකමක් ලෙසද? ඇය මා කෙරෙහි ඇති ආදරයට ඇමතු බව අදහන්නට මට අවැසි විය.

වෙන කිසිවෙකු කෙරෙහි නොදක්වන, නොසිතන දේ මා ගැන සිතවන්නට මට අවැසි විය. සරලවම කිවහොත් ; ඈ මට ආදරය කරවන්නට මට දැන් අවැසිව ඇත!

රථය සංඥා එලියට නතරවිය.

"සර්...... මේ.... අර එන ත්‍රිවිල් එක සර්ව ෆලෝ කරනවද?"

රියදුරුට කියන්නට ලැබුනේ එපමණකි. එකවරම රතිඤ්ඤා පුරනවා සේ 'පට පට' ලෙස ඇසුන වෙඩි හඬවල් දෙකකින් එකක් මගේ වම් උරහිස හිරිවට්ටවනවා දැනුනි. රියදුරු හිස දෑතින්ම බදාගෙන ගුලිවිය. කිසිවක් සිතාගත නොහැකිවූ මම රථයේ පහලට නැවි ගුලි වීමි.

ක්ෂණයෙන් නැගිට්ට ඔහු පුළුවන් උපරිම වෙර යොදා ත්‍රිරෝද රථය රතු එලිය මැද්දෙන් ඉදිරියට අද්දවාගෙන ගිය අතර අවට සියල්ලම බොඳවී යනවා සේ මට දැනුනි. අපහසුවෙන් ආපසු හරි බැලු මට පෙනුනේ පාර හරහා ගමන් කරන ලොකු ටිපර් රථයකි. වාසනාවට ඔවුන් ඊට හසුව මගහැරී ගොසිනි.

වම් බාහුව වෙත අත ගෙනයද්දී , අතේ ඉහල කෙලවරට වන්නට සුදුපාට කමිසය පසාරු කරගෙන ගිය උණ්ඩයක් වන් දෙකක් පෙනුනා මතකය.

"බුදු සර්.... මොකද උනේ.... මොකද උනේ? වෙඩි තිබ්බ නේද?"

රියදුරා රථය පදවමින් හැරී බලා මොරදෙන්නට විය.

"ඔව්... බයවෙන්න එපා... ඔහොමම හරෝනවා වමට.. "

"හරි සර්.."

" වම් පැත්තේ කෙලින්ම ගියාම තියෙන ඩිස්පැන්සරිය ගාවින් දානවා... "

"හරි සර්.."

"බයවෙන්න එපා.... බයවෙන්න එපා උන් මගෑරුනා.. තමුසේ යනවා... ඉක්මනට "


හිරිවැටුන වමත එසේම තබාගෙන සාක්කුවෙන් ගත් ලේන්සුව දකුණතින් තුවාලයට තද කරද්දී අත දිගේ රුධිරය යම් පමණක් ගලා යන්නට විය. ලේ සහිත අතින් ජංගම දුරකථනය ඔබන්නට උත්සහ කලද එය ව්‍යර්ථ විය.  මස්පිඬු හිරිවැටි ඇති බවක් දැනේ. මම පසුපස හැරෙමින් බැලුවද පේන මානයක කිසිවකු නොවිය.


මගේ වාසනාව තවමත් තිබේ. එක අතෙකින් පලායාමට හැකිවෙන පරිදි සැකසුමක් ලැබීමයි. අනෙක තුවාන් අයියාගේ ඩිස්පෙන්සරිය අසල වීමයි. අවාසනාවද එපමණටම තිබුනාද? තුවාන් එහි සිටියේ නැත! මා දුටුවනම ගල්ගැසී සිටි පිරිස මට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් නොවුනේ මෙය වෙඩිතැබීමක් නිසාවිය යුතුය.

"මේ අපේ සර්.. අනේ බුදු මහත්තයෝ මේ සර් හොද වැදගත් සර් කෙනෙක්.. ඉක්මනට මොනවහරි කරන්න අයියෝ...."

රියදුරා අතොරක් නැතිව කෑගසන්නට වුයෙන් එතන සිටි අනෙක් උදවියට වෙන විකල්පයක් තිබුනේ නැත. තුවාන්ගේ ඇඳුනුම්කම කියූ නිසාද , කවුරුන් හෝ ඔහු අමතා කියා තිබුණු බැවින් ඊළඟ පැය ඇතුලත තුවාන් පැමිණියේය. ඒ වනවිට රුධිරය  වහනය පාලනය කොට තිබුණු නමුත් මම සෑහෙන කායික දුර්වලතාවයකට ලක්ව තිබිණි.

"සර්ජරි එකක් කරන්න වෙයි මචන්"

"අවුලක් නැහැ.. අමුවෙන් හරි මහපන්.... හිරිවැටිලා මචන්"

"නර්ස්.. එහෙනම් සර්ජරි එකට ගන්න... ඉක්මනට... "

යුහුසුළුව කාර්ය මණ්ඩලය සැරසෙන්නට විය. මම තුවාන් අයියා වෙත බැල්මක් හෙලුවෙමි.

"බයවෙන්න එපා... බුලට් එක තියෙනවා නම්, එකෙන් බොන් එකක් ඩෑමේජ් වෙලා නම් තමයි කේස් එක. "

තුවාන් අයියා මා සනසන්නට මෙන් කියා තට්ටුවක් දැම්මේය.

"අනේ.. අයියා.. මට කෝල් එකක් අරගෙන දෙන්නකෝ... "

"බයවෙන්න එපා.. ඉඳපන් මම විරංගට කෝල් කරන්න...... "

ඒ සැනින් විරංග ඇමතු තුවාන් අයියා වහාම මෙහි එනලෙස ඔහුට පැවසිය. මම තවත් ඔහු දෙස බලාගෙන සිටියෙමි.

"මේ... තව කෝල් එකක්..."

තුවාන් අයියා මගේ දෙස බැලුවේ සිනාසෙමිනි.

"මම හිතන්නේ නැහැ උඹ දැන් ආන්ටිට හරි අන්කල්ට හරි කෝල් කරන්න හදනවා කියල... යාලුවෙක් විදියට නම් මම කියන්නේ, කියන්න එපා කියල..."

මම අපහසුවෙන් සිනාසුනෙමි. තුවාන් සිය රැවුල අතගාමින් මා දෙස සෝපහාස ලෙස සිනාසෙයි.

".... කවුද කෙල්ල? අර එදා ගෙනාපු කෙල්ලද?"

මට කියන්නට දෙයක් නැත.

"ඔව්.. මේ..."

"මට එදාම හිතුන... උඹ මැරෙන්න හදපු විදියට.... ආ.. ආ... ගනින් ගනින්..."

ඔහු සිය දුරකථනය පෑවේය. නමුත් මම මගේ දුරකථනය ඔහු ලවා අරවාගෙන එයින් ඇමතුම ගත්තේ නොදන්නා අංක වලින් එක ඇමතුම් මධුලිකා පිළිතුරු නොදෙන නිසාය.

"ගියාද?"

මදුලිකාගේ ලයාන්විත හඬ එපසින් ඇසුනි. මට එතෙක් දැනුනු ශාරීරික වේදනා නැතුව ගියාද?

"නෑ තාම මග... මේ....."

"මෙච්චර වෙලා?"

"පොඩි කරදරයක් උනා. මම හොදින් ඉන්නවා. ඔයා වටේ ගැන ඇහැ ගහගෙන ඉන්න මධු.... කවුරුහරි ෆලෝ කරපු  කෙනෙක් මට වෙඩි තිබ්බා... බයවෙන්න එපා මම හොඳින්... විරංග මග එනවා "

එපමණක් කියා මම ඇමතුම විසන්ධි කලෙමි.


**************************


විස්තරය ඇසු විරංග මදක් කල්පනාවට වැටුණි. වාහනය අසල පාරේ ඉඩක් ඇති තැනක නතරකල ඔහු එන්ජිම ක්‍රියා විරහිතකොට සුක්කානමට තට්ටු කරන්නට විය.

"උඹ ගෙදර යන්න එපා... පලයන් වත්තට"

මම විරංග දෙස විමසිල්ලෙන් බැලුවෙමි.

"බලමු ! "

"............."

"මට වෙඩි තිබ්බේ කවුද? මේ වෙලාවේ හැටියට මට හිතෙන්නෙම අපිට ස්ටුඩියෝ එකේ ඉඳලම ෆලෝ කරපු එකෙක් වෙන්න ඇති... එතන හිටියා මනුස්සයෙක්.... මට ඌ සැක හිතුනා ඒ වෙලාවේ.... "

"තාරුක මොනාද කිව්වේ?"

"ඌ කිව්වා හැංගිලා ඉන්න කියලා. මධුලිකාගේ මස්සිනාගේ වැඩක් කියලයි සැක. මට පොලිසියට යන්න බැහැ බන්...."

"හ්ම්ම්"

මම කල්පනාවට වැටුනෙමි. එකවරම ආ සිතුවිල්ලෙන් මම සුන්දර් වෙත දුරකතනයෙන් ඇමතුවෙමි.

"සුන්දර්.... අද තාත්තා ඇහුවොත් කියපන් මම ඔහේ ආවා කියලා. මම පොඩි ගමනක් යනවා. පුළුවන් උනොත් හෙට උදෙන්ම එන්නම්... හරිද?"

ඇමතුම විසන්දි කරද්දී විරංග මා දෙස සෘජු බැල්මක් හෙලාගෙන උන්නේය.

"... මාව දාපන් ෆ්ලැට් එකෙන්"

විරංග හිස දෙපසට වනන්නට විය.

"උඹ.... මට කියපන් මේ කෙල්ලට මොකද්ද කරන්න යන්නේ කියල?"

"ඇයි ?"

"මේ කතාව ආයෙමත් ඇදගන්න මම කැමති නැහැ... උඹ දන්නවනේ....? "

මට කලින් දින අපගේ කතාබහ සිහියට නැගුණි. මා විසින් මධුලිකාව රවටනු ලැබීම විරංග එකහෙලා විරෝධයෙන් සහ කෝපයෙන් යුතුව හෙළාදකි.

"උඹ... උඹ මධුලිකාට ලව්ද ?"

මම අමුවෙන්ම ඇසුවෙමි. අඩ අඳුරේ වුවද ඔහුගේ ඒ මුහුණේ මස්පිඬු නටනු මට පෙනුනි. පිළිතුර ප්‍රමාදය. මම උරමාව සහිත අතට වාරුවන්නට උත්සහ කලද වේදනාව නිසා එලෙස කරගත නොහැකි විය. වාසනාවට උණ්ඩය අස්ථියේ වැදී , එය නොබිඳී හැරී ගොස් අස්ථි කිසිවකට හානියක් කර තිබුනේ නැති වුවත් වේදනාව අතිමහත්ය.

විරංගට ඉබේම මා දෙස බැලුණි. ඒ ඇස්වල ලොකු වෙනසක් මට පෙනුනි.

"මචන්.."

"මට තේරෙනවා මචන්"

මගේ අවසරයකින් තොරව විරංග මගේ දකුණු උරහිස බදාගත්තේය.

"මට සමාවෙයන් බන්.... මට තේරෙන්නේ නැහැ... මට සමාවෙයන් බන්... උඹ... උඹ ඒ කෙල්ල එක්ක සෙල්ලම් කරන්න එපා බන්.. මට ෆුල් අවුල්"

මම නිහඬව සිටියේ උරහිසේ වේදනාව ඉවසාගන්නට හැකි පමණටය.

"...... ඒක ටිකක් කම්ප්ලිකේටඩ් මචන්.... ඒකි උඹෙන් උදව් ඉල්ලුවේ අසරණ වෙච්ච නිසා... පව් බන් ඒ කෙල්ල..."

සර්වාංගයම ගැහෙනවාසේ මට දැනුනි. බාහුවෙන් පටන්ගත් හිරිවැටීමක් හිස දක්වාම ගමන්කොට හිස් මුදුනින් පිටව යන්නාසේය.

"මට උඹත් එක්ක කතාකරන්න ඕනේ... සිරාවට!"

මම ස්ථිරසාරව පැවසුවෙමි. විරංග මද වෙලාවකින් සන්සුන්ව ගොස් කල්පනාවට වැටුනේය. මම වාහනයේ ඉදිරිපස ඇති කුඩා බල්බය දැල්වූයේ විරංග ගේ මුහුණ හොඳට නිරීක්ෂණය කලයුතු බැවිනි.

"..... එදා.... චාපා ආපු දවසේ මොකද උනේ?"

විරංග කල්පනා කළේය.

"මුකුත් නැහැ... මධුව බේරගන්න කරන්න තිබ්බේ ඒකනේ.."

මධුලිකාගේ කාමරයට ඔහු යාම ගැන මගේ හිත වඩාත්ම කැළඹුණු බව ඉවෙන් දැනගත් විරංග කිවේය.

"වහෙන් ඔරෝ නෙවෙයි මචන් මට කෙලින්ම කියපන්.. උඹ ඒකිගේ අතින්වත් ඇල්ලුවද?"

විරංග එකවරම පිළිතුරක් දුන්නේ නැත.

".... මධු මොනවද මම ගැන ඇහුවේ? උඹ මොනවද මධුට කිව්වේ?"

විරංග සමඟ මම මෙවන් ස්වරයකින් මිට පෙර කතාකර නැත්තෙමි. එබැවින් ප්‍රශ්නයේ අවසාන කොටස මම සැර බාල කලෙමි.


"එහෙම එකක් නැහැ බන්... උඹ ගැන මම මධුට වරදක් කියල නැහැ. ඒකිත් මගෙන් එහෙම විස්තරයක් අහලා නැහැ. එදා මම එවෙලේම අර වැඩකාර ගෑනි ගේන්න පිටත් උනා. මට තේරුනා සීන් එක.."

"මොකද්ද?"

"මධු උඹට ලව් කියල.... "

හිස වටා සමනලයින් පියාඹනවා සේ දැනුනි. 'මොකක්?'

".... මම ඒක උඹට නොකිව්ව එක ගැන මුකුත් හිතන්න එපා මචන්... මට හිතුනා.. උඹ කෙල්ලව නාස්ති කරයි කියල"

එය නම් එල්ලය බලා යොමුකළ පිහි පහරක් විය. විරංග පවසන්නේ සත්‍යකි. ඔහු අත වරදක් නැත. වරද ඇත්තේ මගේ අතෙහිය. මගේ හිස බිමට නැමෙන්නට ඇති.

"ඔව්.... උඹ වැරදි නැහැ බන්.... මට තේරෙනවා. උඹ කියන්නේ කෙල්ල උඹ ගැන අදහසක් තිබ්බේ නැහැමයි කියලද?"

විරංග ඈත බලාගත්තේය.

"නැහැ.... මම හිතන්නේ නැහැ..."

"......................"

"උඹ හිටියේ ඉරිසියාවෙන් කියලා මට තේරුනේ පස්සේ"

"හ්ම්ම්..."

මට තනිවම සිනාවක් නැගුණි. විරංග මගේ දකුණු උරහිසට තට්ටුවක් දැම්මේය.

"උඹට සිරාවට ආදරේ දැනුනා මට හිතෙන්නේ. සි-රා-වටම?"

"වෙන්න ඇති මචං... දන්නේ නැහැ..."

සිනාසීමට උත්සහ කරමින් මම කීවෙමි. හිත පුපුරා යන්නට ආසන්නය. නමුත් ගතවූ හැම මොහොතක් පාසාම විරංග වෙත මධුලිකා දක්වනලද සුහදබව ඉවසාගත නොහැකි, අන්ත මෝඩයෙක් තරමට මම පහලට වැටි සිටියෙමි.

"මධූ මාව මැරි කලේ එයාට වෙන පිහිටක් නැති නිසා. ඒ හින්දා මුලින්ම මම කෙල්ලව බේරගන්න ඕනේ මේ ගේම් එකෙන්"

"උඹ කියන්නේ..."

"සමහර වෙලාවට එයාගේ හිත වෙනස් උනොත්.... "

විරංග වාහනයේ දොර හැරගෙන බිමට බැස්සේය. ඔහු මට පිටුපා අඳුර දෙස සිය දෑත් බැඳ බලා සිටින්නට විය. ඔහුගේ සාක්කුවේ තිබී හෝ අන් කවර විදියකින් හෝ බරැති කූරක් වැනි යමක් ආසනය මත තිබෙනු අඩ අඳුරේ මට පෙනුනි. පාරේ ගමන්කළ වාහනයකින් ආ එළියකින් මට එය කුමක්දැයි එකවර දර්ශනය වෙද්දී මම ගල්ගැසී ගියෙමි.



එය 'ජාවා මොහාරිස්' සුරුට්ටුවකි!


********** මතු සම්බන්ධයි ***********

29 comments:

  1. හප්පා, අද කොටසේ අවසානය!!!

    ලිඛිතා, මම මේ කතාවට තරම් ම ඔයා මේ තෝරගන්න පින්තූරවලටත්, ඒවා එකතුකරන විදිහටත් හරිම කැමතියි. මේ ජාතියේ කතා මෙහෙම ලියන්න මට බැහැ. මට කරන්න බැරි දක්ෂ වැඩ කරන අය ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්!

    ReplyDelete
    Replies
    1. හම්මේ.... කමෙන්ට් එකක් දාගන්න පොඩි ශොක් එකක් දෙන්නම වෙනවා නේද?

      ස්තුතියි මේ කතාව රසවිඳිනවාට.

      මේ කතාවේ ඇති පින්තුර සියල්ලම මම ගන්නේ ජාලයෙන් උනාට එකම ආකාරයකට සකසනවා වෙනම මහන්සියක් අරගෙන. ඒවා පැන්සලෙන් ඇඳපු විදියට එඩිට් කරලා තමයි ඒ ඒ තැන් වලට යොදන්නේ. ඔව්.. ඒක ටිකක් වෙලා යන වැඩක්. එතැනදී මම බලාපොරොත්තු වෙන්නේ මම අකුරෙන් කියල තියෙන දේ ඒ විදියටම ඇඳෙන්න. ඒක ලොකු උපකාරයක් වෙනවා මේ වගේ කටහවකට. මම ඉස්සර ෂර්ලොක් හෝම්ස් පොත් වල මැද්දේ තියෙන පින්තුරේ හැම ඉරක් ගානෙම බලනවා. කතාව තදට වදින්නේ එතකොට. ඒකම තමයි මම කලෙත්. ගැලපෙන පින්තුර සෙවීම හරි අමාරුයි. මොකද මම මේකේ චරිත වලට නළු නිලියෝ ගත්තේ නැති නිසා එක විදියේ මුහුණුවරක් තියෙන පින්තුරයක්ම සෙවීම ලේසි නැති නිසා.

      ඒ වෙහෙස අපතේ ගිහින් නැහැ එහෙනම්!

      මමත් ඔයාගේ කතා කියෝනකොට හිතනවා 'මට එහෙම හිතුනේ නැහැනේ' කියල. ඒක එක අතකට ඉරිසියාවක් තමයි මගේ හිතට එන. ඒ උනත් ඔයා වගේ නිහතමානිව ඒ දෙස බලන 'ලියන්නියක්' දැක්කම ඒ ඉරිසියාව සාධාරණයි කියලත් හිතෙනවා.

      මේ කතාව තුල කුතුහලය තියාගන්න මම කරන උත්සාහයට ඔයාගේ මේ කමෙන්ට් එක සෑහෙන වටිනාකමක් ලබාදුන්නා. ස්තුතියි. ගැලරියට නොලිව්වත් කියවන්නන්ගේ උනන්දුව මට හරි උත්ප්‍රේරකයක්!

      Delete
  2. Replies
    1. // මධුලිකාගේ නිවසේදී ලක ලැහැස්ති වුයෙමි//

      හා හා හා..... පරිස්සමෙන් කියවන කෙනෙක් වගේ! බොහොම අගෙයි. ඔව් ඒක දැන් මධුලිකාගේ ගෙදර වෙලානේ! කියවන්නකෝ තව ඉදිරියට.

      විරංගට මෙහෙම උන එක ගැන / විරංගගේ මේ හැසිරීම් ගැන මොකද හිතන්නේ? හිත රිදුනද තීක්ෂණ විසින් ඈව ඩැහැගත්තා කියලා ?

      Delete
  3. Na na likhi, viranga good friend kenek, eyage ehema mind ekk netwa athi, mn nn hithnne ehemai, balamuko issarahata

    ReplyDelete
    Replies
    1. විරංග වෙනුවෙන් පෙනීසිටින ගිතිකාට මගේ ප්‍රණාමය!


      (අමතක කරන්න එපා, විරංග කියන්නේ හොඳ නළුවෙක්! ඒ වගේම සමහර තැන්වලදී උත්තර නොදී මගහැරපු ප්‍රශ්න තියෙනවා) මේ සුරුට්ටුව එහෙනම් කොහෙන්ද? කඩෙන් එහෙම ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ!

      Delete
    2. Cigar eka theekshanalawa follow karapu aya dala gya ekak, e vagema maga herapu prashna vlatat niyama welawata pilithuru dei viranga.
      Onna virangawa maranawa hema newe kathawe likhi honde

      Delete
    3. හ්ම්ම්ම් වරදක් නෑ එහෙම අනුමාන කලත්! නමුත් මම අහන්නේ ඒක කොහොමද විරංගගේ වාහනේට දැම්මේ? එහෙනම් ඒ ගෙදර කවුද මේකට සම්බන්ධ?

      මරන්න හදලා තියෙන්නේ දැනට තීක්ෂණව තමයි. ඉදිරියට විරංගට මරණ තර්ජනය එන්නත් පුලුවන් !

      සෑහෙන්න විරංග ගැන හිතනවා වගෙ? මධුලිකාටත් ඒ හින්ද හිත යයිද ?

      Delete
  4. Na na likhi, viranga good friend kenek, eyage ehema mind ekk netwa athi, mn nn hithnne ehemai, balamuko issarahata

    ReplyDelete
    Replies
    1. යාලුවෝ වෙනස් වෙන්නත් පුලුවන් සමහර කාරණා වලදී!

      සල්ලි වගේ දේකදි අහල නැද්ද යාලුවෝ තියා දෙමවුපියන් වත් අමතක වෙනවා!

      මේ අදහස් මට බොහොම වටිනවා. ස්තූතියි !

      Delete
  5. /ඇගේ ලා දුඹුරු සම කැපී පෙනුනේ, සියලු අන් මිනිසුන් අන්ධයින් වේවා යයි පතන තරමට මා වික්ෂිප්ත කරමිනි. /

    සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ,
    අනෙකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතැයි මා හද බියවී සැලී සැලී යයි...

    අම්මට උඩු එතකොට විරංගයද මොහාරිස් පොර? කාල වරෙංකො...

    හෙහ් හෙහ්..මට මේ මතක් වුනේ බොටත් හිඳයි ලිඛිතා මොහාරිස් කියල නම දැම්මනම්...මොහාරිස් නම් නෙවෙයි සුවාරිස් කියල නම් මම දන්න කීප දෙනෙක්ම ඉන්නව..අර ඉන්නෙ ආචාර්ය නලීන් සුවාරිස් කියල එහෙම...:)

    ReplyDelete
    Replies
    1. ඔය කියන ඉරිසියා ගතිය සැබෑ පෙම්වතෙක් නම් හොදට තේරෙනවා. ඒකනේ
      " සලුපිලි සිරුරට ඇලෙයි
      පිට මිනිස්සුන්ට පෙනෙයි
      සඟවන්නෙමි ඔබ මගෙයි
      දිව එන්නට මට සිතෙයි"
      කියලාත් කියන්නෙ!

      ඔහොම උනාම ඉතින් ඉවසාගෙන ඉන්න වෙනවා චක් චුක් නොගා. මොකද ඒ නාටක තේරෙන්නේ එහෙම ආදරේකට පැටලිච්ච කෙනෙක් විතරනේ.

      ඔය සුරුට්ටුවට්ල අදාල raw මැටීරියල් ගෙනත්, ඒ කොල ගානට කපලා, ඔතලා, යවන බව රවී දන්නවාද? අනේ ඔව්, මමත් දන්නේ මේ ලගදි. ඒක කරන ආයතනය ලංකාවේ තියෙන්නේ. ඔන්න බලමුකෝ වැඩේ නේද ?

      මේ නම ඔතරම්ම නරකයි කියලා දැනගෙන උන්නේ නෑනෙ!

      Delete
  6. කතාවක් ගමන් කලයුතු මග තීරනය කරණ්නේ කවුරුන්ද?

    මෙයට නොයෙක් ආකාරයේ මතවාද ඉදිරිපත්වේවි. නමුත් පිළිගත් මතය වන්නේ එය කතෘ සතු අයිතිවාසිකමක් ලෙසටයි. ඔව් අයිතිවාසිකම ඔහු හෝ ඇය සතුයි. එයට කිසිවෙකුට අභියෝග කල නොහැකියි. එහෙත් වගකීම, යුතුකම සදාචාරය කියන දෙයින් ඔහුට හෝ ඇයට ගැලවීමට නොහැකියි.

    ඒ අනුව ගත් කල කතා වක ගමන් මග තීරණය කිරීමේ අයිතිවාසි කමක් පාඨකයින් හටද යම් පමනකට හිමි වේ. මන්ද ඔවුන් කතාවක් පසු පස ලුහුබඳින්නේ හෝ ගමන් කරණ්නේ දිනෙන් දින එම ගමන් මග තම තමන්ගේ සිත් සතන් වලට ගැලපෙන අයුරකින් පෙල ගැසෙන නිසාමමයි.

    කතෘ විසින් පාඨකයින්ගේ කල්පිත කතාව, ගමන් මග කිසියම් අපගමනයකට ලක් කොට වෙනයම් මගකට තම කතාව නො එසේනම් නිර්මානය ගෙන යන්නේ නම් එය පාඨකයින්ගේ විශ්වසණීයත්වයට, හැඟීම් දැනීම් වලට හානි නොවන අයුරින් ඉටු කිරීමේ සදාචාරාත්මක වගකීමක් ඔහුට හෝ ඇයට ඇත.



    ඔබ නරඹා තිබේද රාජේෂ් ඛණ්නා හා ශර්මිලා තාගෝර් රඟන "ආරාධනා" චිත්‍ර පටය. ශර්මිලා තාගෝර් දුම් රියක ගමන් ගනිමින් කවුළුවකින් පිටත නරඹමින් සිටියි. රාජේශ් ඛණ්නා විවෘථ ජීප් රියක නැගී ගමන් කරයි.

    චිත්‍රපටය ඇරඹෙන්නේ දුම් රියෙ හුමාල පිස්ටනයට හාර්මනයිස් වෙන්නට එස් ඩී බර්මන් ගේ විචිත්‍ර තනුවකට "මෙරෙ සපුනෙකි . . .//" ගීතය ගයමිනි. එතනින් ප්‍රේක්ෂකයින්ගේ හදවත් තුල රෝපණය කරණ සුන්දර ප්‍රේමයක බිජුවට ඵල දරණ්නේ උතුරු ඉන්දියාවේ හිමෙන් වැසීගිය කඳු පාමුල "කොර්කා හස්නා . .//" ගීතය ගැයීමත් සමගය. (මට මේ ගීත ඇසෙනා හටි විනා මා දන්න අණ්ඩර හිංදියක් නොමැත) ඉන් පසු ප්‍රෙක්ෂකයාහට නුරාව දනවන්නේ "රූපුසෙරා මස්ථානා . .//" සමගය .

    මෙසේ ප්‍රෙක්ෂකයා රාජේෂ් හා ශර්මිලා සමග මුළු හදවතින්ම ප්‍රේමයේ සුන්දර ස්වප්නයක ගිලී කිමිදී සිටිනා විට අධ්‍යක්ෂක අර ප්‍රේමණීය තරුණයාව අත්තනෝමතික ලෙස මරා දමයි! කෙල්ලව මහ මගට ඇද දමයි! කතාව ඔහුගේ බැවින් කිසිවෙකු ඔහුට අභියෝග නොකරණ බව සැබෑය. එහෙත් එතෙක් ප්‍රේමයෙන් මුසපත්ව ඔහුගේ සැලෝලයිඩ් ප්‍රේමයේ සුන්දරතා රසවිඳි ප්‍රේක්ෂකයින් බලා පොරොත්තු වන්නේ මෙවන් අකල් මරණයක්ද?

    එය පෝය දාට සිල්ගත් උවැසි උවැසියනට අනිත්‍යය මෙනෙහි කරණ්නට පංසලක් පංසලක් ගානේ පෙන්වීමට නිපදවූ "අංගිලිමාල","සිරි පතුල", "අජාසත්ත" මොඩලයේ චිත්‍ර පටයක් නම් එහි අභිමතාර්ථයන් නිවැරදිව අඩු නැතිව ඉෂ්ඨ සිද්ධ වී ඇත.

    ඔබ දන්නවා නොවෙද බිත්තියක පෝස්ටරයක රූමත් යුවතියක් නෝසේනම් තරුණයකු දුටු විට ඔහුගේ හො ඇයගේ ආකර්ශණීය රූපය විනාශ වන අයුරින් එක් දතක් කළු කිරීම, කණ්නාදි කූට්ටමක් පැළඳ වීම, දෙනෙතේ කළු ඉංගිරියාව ඉරා ඉවත්කිරීම වැනි කටයුතු කරණ අප අතර සිටින අසාමාන්‍ය පුද්ගලයින් හට මානසික අභාධයක් තිබෙන බව?

    මෙම චිත්‍ර පටයේ අධ්‍යක්ෂක වරයාද එවන්ම මනෝ භාවයකින් සිටිනට ඇතැයි මා විශ්වාස කරමි. මේ කියන්නේ "සබ්බේ පෘථග්ජනා උම්මත්තකා" හෙවත් "අපි හැමෝම මඥ්ඥං" කියන එක නම් නොවෙයි. ඊට වඩා බරපතල තත්වයක්!

    ඔබ දන්නවාද විජය කුමාරතුංග හට වෙඩි තබන්නට පැමිනි එක් අයෙකු විජේට වෙඩි තබද්දී අනෙකා මුරගා ඇත්තේ "මූනටම තියපං !" කියාය. මේ සියල්ලෝම "ආරාධනා" පොරවල්ය!

    මේ නයින් ගත් කල මදුළිකාව හිමිවිය යුත්තේ කාහටදැයි තීරණය කිරීමේ සාධාරන අයිතියක් මෙය කියවන් දනන් හටද යම් පමනකට ඇති බව කතු තුමියට යම් පමණකට හෝ තේරුම් යනවා ඇතැයි මා සිතමි.

    "කවුරු කීවත් ඒක එහෙම තමයි!" කියා මුරණ්ඩු වන්නට ඔබට අයිතියක් ඇත.එහෙත් එසේ මුරණ්ඩුව චරිත මෙහෙයවමින් ලියන කතාව ලිවිය යුත්තේ පිටු 160 මොනිටර් ඇක්සයිස් පොතක විනා සයිබර් අවකාශයේ නොවන බව මා යෝජනා කරමි! මන්ද මධුළිකා, තීක්ෂණ, විරංග මෙය කියවන අපි විසින් බෙදා වෙනස් කරගෙන හමාර බැවින්ය!

    මේ ආන්ඩුවට ඡන්දෙ දුන් අය හොරු අල්ලා හිරේ විලංගුවේ දමා යුක්තිය ඉෂ්ඨ සිද්ධ කරණා තුරු බලා හිටියා මෙන්ම මධුළිකාට සාධාරණයක් සිදුවෙන අයුරු අප අවධානයෙන් සින්නෙමු. ඒ වගේම මේ කන කට්ටේ හටියට තීක්ෂණටද සාධාරණයක් ඉටුකර දීමට ඔබගේ මැදිහත්වීම අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!

    මෙය ප්‍රථික්ෂේප කිරීමේ පූර්ණ අයිතියක් ඔබට ඇත. මෙය විවාදයට සංවාදයට, විසංවාදයට විවෘථය! තතු දත්තෝ මා නිවැරදි කරත්වා!

    ReplyDelete
    Replies
    1. කතාවක ගලායාමට ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාර බලපාන්නේ සයිබර් අවකාශයේ වෙන්නත් ඇති. එතැනදී මම ඔබේ තර්ජනය පිලිගන්නවා. මොකද මම මේ කතාව ලියා තබාගෙන කොටසින් කොටස නොදාන කෙනෙක් නිසා. නමුත් කතාවක් ලියා අවසන් කල කෙනෙක්ට නම් මේ තර්ජනය වලංගු නොවෙන්නත් පුලුවන් නේද?

      සමහර වෙලාවට මගේ කලින් ලියපු කතාවක්වත් බැරිවෙලා කියෝලාද මන්දා මෙහෙම හිතුනේ.

      ඔබ කියන විදියට , කරුමෙට වගේ ඔය කියන චිත්‍රපටයේ මංගල දර්ශනය කෙලින්ම ප්‍රේක්ෂකයාට ලබාදුන්නා නම්, අන්තිම කොටස වගේ යනකොට මිනිස්සු හෝල් එක දෙක කරලා ඩිරෙක්ටර්ට පිහියෙනුත් අනින්න තිබ්බා. ඔව් ඒකනේ ෆිල්ම් එකේ ගැම්ම එක අතකට.

      අනිත් එක, එහෙම ඛේදවාචකයක් උනේ නැතුව කොහොමද හිට් වෙන්නෙ? දැන් බලන්න " ඒක් පූල් දෝ මාලි" එකේ ඒ අංකල් අරෙහෙම අතුරුදහන් උනේ නැතිනම් අර වගේ හොටු පෙරෙන අවසානයක් දීලා මිනිස්සු ටික ගෙදර යවන්න බෑනෙ!

      කන කට්ටේ හැටියට නම් මොකක් හරි දෙයක් තීක්ෂණට ඉතුරු කරන්න බලන්නම්. රට යන විදියට නොගිහින් කොහොමද ?

      දැනටමත් විරංගට අසාධාරණයක් කලොත් අඟල් දෙකක් විතර බස්සන්න බලාගෙන ගීතිකා ඉන්නවා. තට්ට මහතා තීක්ෂණව ඉස්සර කරගෙන පිටිපස්සෙන් අර කියාපු තුවක්කුවක් මානගෙන. අනේ ඉතින් මම කොහොමද මේක ලියන්නේ?

      බොහොම ස්තූතියි දීර්ඝ කොමෙන්ට් එකට. තව ලියන්න දේවල් ඇත. පරිස්සමෙන් කියෙව්වාටත් ස්තූතියි

      Delete
    2. මම මෙතනදි අදහස් කරණ්නේ නෑ සෑම ප්‍රේම කතාවක්ම සතුටු දයක අවසානයක් තියෙන්න ඔන කියලා. බඹරු ඇවිත් චිත්‍රපටයේ මතු පිටින් දිවෙන ආදර කතාව බිඳ වැටීමට තුඩුදෙන ප්‍රභල ගැඹුරු සමාජ යතාර්ඨයක් යටි පෙල ලෙස දිවෙනවා! "මධුමතී" චිත්‍රපටයේ වියෝව කතාව තුල තිබුනා. වසන්තේ දවසක් චිත්‍ර පටයේ වෙන්වීම හදිසියේ ඔබ්බන ලද එකක් ලෙස දැනෙන්නේ නෑ. ආතර් කොනන ඩොයිල්ගේ රුදුරු බලුව පොතේ බැස්කර්විල්
      මහතා ප්‍රේම කරණ්නේ ඔහුගේම සතුරාගේ බිරිඳට බව දැන ගත්තාට කිසිදු පාඨකයෙක් සරම
      කැහැපොට ගසාගෙන ආ පුවතක් මෙහේ නොවේ එඟලන්තයේ වත් අසා නෑ. ඒ එරට සරම් නැති නිසා නොව ඔවුන්ගේ ප්‍රේමයට වඩා ප්‍රභල කතාවක් සමාන්තරව දිවෙන බැවින්. ඔබටත් ප්‍රේමය
      එසේ තුනී කරන්නට බරි කමක් නෑ!

      Delete
    3. සමහර කතා අවසාන කරන්න නම් කවුරුහරි ජීවිතය පුජා කරන්න වෙනවා. නැතිනම් හරි නැහැ වගේ. ඒක ඛේදවාචකයක් වගේ දැනුනට, ඒක තමයි කතාවේ උච්ච තැන!

      මැරෙන්නේ නැතුව, ඉන්න හැටියට ඉන්නවා කියල ඉවර කලාම කියෝපු මිනිස්සුන්ට මැරෙන්න/මරන්න හිතෙන තරම්. බත්තලන්ගුන්ඩුව තමයි එහෙමත් නොවී ලස්සනටම අවසානයක් දැකපු එකම කතාව. ඒ තමයි ප්‍රතිභාව!

      මේක සයිබරයේ මේ තරම් පරිස්සමෙන් ලියන්න හිටපු එකක් නෙවෙයි. ප්‍රේක්ෂකයින්ගේ උනන්දුවක් දැක්ක නිසාත්, කියවන පිරිස අතරේ මේ කියන දේවල් ගැන දැනුමක් තියෙන හින්දා වැල් බයිලා ලියන්නට නොහැකිබව තේරුන නිසාත්, කපටිකමට මා ලව්වා ලියවන්න ඕනෙකමක් ඇතිවෙච්ච කෙනෙක් හින්දත් තමයි මේ ඔක්කොම. බලන්නකෝ ඉතින් කොටි වලිගෙ අල්ලගත්තනේ!!

      ආයුධ, වාහන, වලි ගැන ෆිල්ම් වලින් විතරක් දන්නා මම මේක ලියන්න හින්දා කොච්චර කියවන්න/හිතන්න/අහගෙන ඉන්න වෙලාද කියලා දන්නවා නම්.... හිතනකොටත් හති !

      Delete
  7. ලස්සනයි කතාව මේ කොටස විතරයි තාම කියෙව්වේ

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියෙව්වා නම් වටිනවා. සාදරයෙන් පිලිගන්නවා

      Delete
  8. මධුළිකා ලා, තීක්ෂණ ලා, විරංග ලා තවම අවුරුදු නිවාඩුවට ගමේ ගිහින්ද? මේ සති අන්තෙත් ඉඳලාම එයි මං හිතන්නේ!

    මධුලිකා ලා කවුම් හදති
    තීක්ෂණ ලා කැට ගසති - බූරු ගසති
    විරංගලා තෝන් ගනිති
    පාඨකයෝ සති ගනන් වේලෙති . . . . .!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, මේ වෙඩි තැබිල්ල මේ දවස්වල තියෙන බෝම්බ එක්ක බැලුවහම රතිඤ්ඤාවක් පිපිරුණා වගේනේ. ඒ හින්දා ත්‍රාසය මදිත් ඇති.

      ලියන්න හිතේ නිදහසක් තිබ්බේ නැහැ. අවුරුද්දකුත් කෑවනේ

      Delete
  9. Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.

      ඉතිරි ටික ඔය තියෙන්නේ... ආ නෑ නේද? ලියනවෝ !

      Delete
  10. අද තමයි මේ ටික කියෙව්වේ. මම පහුගිය සතියේ ලංකාවට ගිහින් ඉද්දි ටීවී එකේ ගිය මොකක් හරි මෙගා නාට්ටියක දෙබස් වගයක් ඇහිලා මේ කතාව මතක වුනා. ලිඛිතට පුළුවන් හොද මෙගා නාට්ටියක් ලියන්න. මෙගා කොහොම උනත් මේ වගේ කතා ටෙලි නාට්‍ය වලට හොදයි .

    ප්‍රධානම චරිතයක් එක පාරට මරණ එක බොහෝ ලෝක ප්‍රසිද්ධ ලේඛකයෝ කරන වැඩක්. නිකමට කිව්වේ ඉතින් .... :)
    ගේම් ඔෆ් ත්රෝන්ස් එකේ Ned Stark වගේ :)

    ReplyDelete
    Replies
    1. හාහ්! මෙගා නාට්‍යක් මම වගේ ලියපු කිව්වා? අනේ මේක නම් වෘතිය මට්ටමේ අපහාසයක්ද කොහෙද.

      ප්‍රධාන චරිතයක් මැරුණාම කතාව ඉවර වෙන්නේ ඉස්සර. දැන් ඊට වෙනස්. ඊට පස්සේ වෙනදේවල් තමයි ගොඩක්ම කුතුහලය දනවන්නේ.

      කුතුහලය යම් තරමකට හෝ ඇතිය කියලා හිතනවා.

      මේ කතාවේ යම් යම් සන්ධිස්ඨාන සලකුණු කරගෙන ලියාගෙන යන නිසා කොතරම් දිග වෙයිද කියන්න නම් බැහැ. මෙගා කෙසේ වෙතත් කෙටි-දිග කතාවක් ලියාගත්තනම් ඇති.
      ස්තුතියි කමෙන්ට් එකට

      Delete
  11. අපහාසයක් නෙමේ සිරාවට මට හිතුනා මේ කතාව මෙගා සිරිස් එකක් කරන්න පුලුවන කියල. :) දැන් තියෙන ගොඩක් ඒවාට වඩා නැගල යයි. මරල කතාව ඉවර කරන එකක් නෙමේ . කතාව උඩු යටිකුරු කරන්න පුළුවන්. සුදු කළු කරන්න පුළුවන්.

    Ned Stark කිව්වේ GOT එකේ හිටපු හොද චරිතයක්. හැබැයි හොදයි කියල හොද චරිත හැමදාම ඉන්න ඕනේ නෑනේ. නරකයි කියල හිතන සුළු චරිතවල අපි හිතනවට වඩා ගොඩක් හොද තියෙන්න පුළුවන්. මට මෙහෙම ලියන්න හැකියාවක් තියෙනවනම් මම නම් මරනවා මට හිතෙන හැම එකාවම හහ් හහ් හා .......

    ReplyDelete
    Replies
    1. චරිතයක වර්ණය ඇත්තටම කතාවක සෑහෙන කොටසක් හිමිකරගන්නවා. සමහර කතාවල වර්ණවත් වෙන්නේ කළු චරිතය මිසක් සුදු චරිත නෙවෙයි. මේ කතාවත් එහෙමදෝ කියල හිතෙනවා. පොහොය හතරට සිල් ගන්න ; කුහුඹුවෙකුට වත් වරදක් නැති කෙනෙක් ප්‍රධාන කර නොගෙන කතාවක් ලියන්න මගේ කැමැත්තක් තිබ්බා. ඒකට ඉතින් චුට්ටක් විතර අනුපාන යොදලා ගන්න උනා.

      නරකයි කියන දේ සාපේක්ෂයි. නිරපේක්ෂ නරක මිනිසුන් නැහැ. ඒ වගේමයි හොඳත්. ලිවීමේ හැකියාවක් තියෙනවනේ පැතුම් ඔබටත්. මොකෝ නොලියන්නේ? ලියන්න විද්‍යා ප්‍රබන්ධයක්!

      ස්තුතියි

      Delete
    2. ඔබ කියවා තිබේද ජී බී සේනානායකගේ "වරදත්ත" කථාව. ඔව් එම කළු චරිතය මුළු කථාවම තමන්ට නතු කර ගන්නවා. එහෙත් කතාවේ අවසාන පිටුව (හරියටම පිටු ගානත් එක්ක ලියන්න පොත බලුවා. ඒක කවුරු හරි උස්මාන් කෙනෙක් ගෙනිහිල්ලා. අයියෝ මම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව රුවන්වැල්ලේ පුස්ථකාලෙකින් ගල් කරපු පොත!) ඒ කියන්නේ පිටු 200ක විතර ඒ කළු චරිතයේ නුගුන කියව ගෙන ඇවිල්ලා අන්තිම පිටුවේදී ඒ මනුස්සයා ගැන අනුකම්පාවක් පාඨකයා තුල ඇති කරවන්නට ජී.බී සමත් වෙනවා!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි