විසිතුරු කොල

Sunday, February 24, 2019

202. සුහදිනියේ - 09 | මධුලිකා පැහැරගත්තේ කුමක් සඳහාද?

කලින් කොටසට 



මම ඔරවලා විරංගයා දිහා බැලුවා.

"මොකද උඹ ඔරවන්නේ? මම කිව්වේ ඇත්ත"

"ඒ මොකක් උනත් ; මධුලිකාව ආවට ගියාට එහෙම ඇරලවන්න බෑ"

"ගොනෝ... ගොන් මීමෝ! මේ ගේ අස්සේ උඹ හිතන්නේ උඹට ඒකිව හංගගෙන ඉන්නෙක අර හින්දි ෆිල්ම් එකක් වගේ එකක් කියලද? අල්ලපු කාමරේ මල්ලි; ඒ අස්සේ අර මැණිකා.... ඔක්කොටම වඩා උඹේ අම්මා."

ඌ කියන එක ඇත්ත. ඒ මොකක් උනත් මට මධුලිකාව 'කොහෙටහරි' ගෙනියන්න කියන්න හිතක් නැහැ. අනිත් එක අපි තුන්දෙනාට එකට ගමනක් යන්න එලියට බහින එකත් මේ වෙලාවේ හැටියට අවදානමක්.

"අපි ලෝයර්ට කතාකරන්න ඕනේ! කෝ දියන් උඹේ ෆෝන් එක"

විරංග උඩ සාක්කුවෙන් ජංගම දුරකතනය ගන්න ගමන් එකපාරටම ඇහිබැම ඇකිළුවා.

"කෝ උඹේ ෆෝන් එක?"

මම සද්දයක් නැතුව ඔහුගේ අතින් ඉක්මනින් ජංගම දුරකතනය උදුරලා අරගෙන lock එක ඇරලා; නම් පතේ තිබ්බ දුරකථන අංකය එකින් එක ඔබන්න ගත්තේ අවධානයක් දෙන්නම නැතුවයි. අපි වාඩිවෙලා හිටියේ බැල්කනියේ තිබ්බ පොඩි මිදුලේ. එතන වාඩි උනේ හොඳට අවට පේන නිසාමයි. වෙලාව නම් දවල් දොළහටත් ළඟයි.

".... මට කියන්න එපා උඹ ඒක අර ජේමිස් බණ්ඩා වැඩේ කරන්න ගියපු තැනක හලලා ආවා කියල..."



මම මුකුත් කියන්නේ නැතුව ඇමතුම ගත්තා. එපා පැත්තෙන් එන හඬට කන් දුන්නා මිසක් මම උත්තර බඳින්න වෙහෙසුනේ නැහැ.



විරංග පුටුව එහාට කරගෙන නැගිට්ටේ ඔලුවේ අත ගහගෙන.

".... උඹට කෙල්ලෝ කෝල් කරන විදියට උන්ට මාර ලේසියි අපි ඉන්න තැනයි; විස්තරයි දැනගන්න... අපි යන එන තැන් ඔක්කොම ටික උඹේ කෙල්ලෝ රොත්ත මේ වෙනකොටත් කියලා ඇති. අම්මප උඹ එක්ක යනවට මටත් හොඳ වැඩේ! උන් දැනටමත් අපිව හොයාගෙනත් ඇති. යමන් මෙව්වා අකුලාගෙන වෙන කොහාටහරි"

'ඔබ ඇමතු දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න'

ලෝයර්ගේ අංකයෙන් වැඩක් උනේ නැහැ. මම කෙටි පණිවිඩයක් තිබ්බා කතාකරන්න කියලා. ඔලුව උස්සනකොට විරන්ගයා මාව කන්න වගේ බලාගෙන. ඇත්ත තමයි ; උන්ට අහු උනා නම් මගේ ජංගම දුරකතනයෙන්ම හොයාගන්න පුළුවන් විස්තර. දැන් ඉතින් මැරෙන්නය?

"දන්නේ නැහැ බන් කොහේ හැලුනද කියලා"

"උඹේ ඉතින් මොකක් කොහේ හැලුනත් සිහියක් තියේද මේ කෙල්ලෙක් හින්දා"

මට තනියෙන් හිනා මුගේ මේ කතා වලට. ඌ කියන්නේ බොරුවක් නෙවෙයි ; මධුලිකා විශේෂයි. ලස්සනම නෙවෙයි ; ඇත්තටම ඈ සෑහෙන්න සරාගී කෙල්ලෙක්. ටෑන් පාට හම වාත්තු කළා වගේ. සුදු කෙල්ලන්ගේ නෑ ඒ අමුතු දුඹුරු ලස්සන. මම කෙල්ලෝ දැකලා නැති එකෙක්ද?

"ඒක නෙවෙයි බන්... ඊළඟට කරන්න තියෙන දේ බලපන්. ලෝයර්ගේ ෆෝන් එක වැඩකරන්නේ නැහැ."

විරංග ඉඳගෙන හිටපු පුටුව වටේ කැරකිලා ආයෙමත් වාඩි උනා.

"මේ ගේ අස්සේ ගහගෙන ඉන්නේ නැතුව මුලින්ම කෙල්ලව වෙන තැනක තියපන්. පොඩ්ඩක් හිතපන් ; උන් අතේ නම් උඹේ ෆෝන් එක, උන් කෙලින්ම එන්නේ මෙහෙ. අනිත් එක... අද කොහොමද මල්ලි එක්ක උඹ මේ සෙල්ලම් කරන්නේ. ඌගේ කාමරේ ඒ ළඟමයි."

විරංග කියන එකේ ඇත්තක් නැත්තේම නැහැ. උන් අතේ නම් මගේ දුරකථනය, මාව හොයාගන්නත් ලේසියි. තුන්දෙනාම එකට ඉන්න එකේ අහු වෙනවා පට ගාලා. ඒ නැතත්, මධුලිකාට හදිස්සියකට දුවගන්නවත් බැහැ. ඔක්කොම අස්සේ අපේ ගෙදර තත්වය එතරම් යහපත් නැහැ මෙහෙම හැංගිලා ඉන්න.

"මේ කෙල්ලගේ පවුලේ අය මැරිලා. මෙයා විතරයි ඉන්නේ. කොන්වන්ට් එකේ තියන්න කියලා ලාස්ට් විල් එකේ ලියන්න තරම් මොකක්ද තිබ්බ කේස් එක කියලයි මට තේරෙන්නේ නැත්තේ."

"සමහර වෙලාවට තුන් කුළුඳුල්ද දන්නෙත් නැහැ."

මට හිනා යන්න ආවත් ඒක වැළකුණේ ; ඒ කතාව ඇත්තක් වෙන්නත් පුළුවන් නිසා.

"කෙල්ලව ගෙනිච්චේ කප්පමක් ගන්න වෙන්න බැහැ. කාත් කවුරුවත් නැති කෙල්ලෙක් අරගෙන ගිහින් කප්පමක් ගන්න බෑනේ! යාප්පුවෙන් තියාගෙන ඉන්න හැදුවා කියලයි මට කිව්වේ"

"යාප්පුවෙන්?"

"ඔව්.. එතන කට්ටිය කතා උනාලු මෙයාව බාරදෙන කතාවක්. ඒකයි කෙල්ල බය වෙලා පැනලා එන්න හදලා තියෙන්නේ"

විරංගගේ ඇස්දෙක හීනි උනා.

"අවුරුදු 18 ට අඩු කෙල්ලෙක් බිල්ලකට ගන්නත් පුළුවන්."

"ආ... මට කිව්වනේ තව සතියකින් එයාට 18 සම්පුර්ණ වෙනවා කියලත්"

"හා.. හැබෑට? පාටිය කොහෙද දන්නේ නැහැ ගන්න හදන්නේ.... "

විරංග එක්ක ඉන්න එක ඇත්තටම විනෝදයි තමයි. මොකද මෙහෙ වලිගෙ ගිනි ගත්තහම ඌ කියන ඒවාට හිනාවෙලාම බැරෑරුම්කම අමතක වෙනවා.

"පොඩ්ඩක් ඉන්න..."

එකපාරටම මට කල්පනාවක් ආවා. සමහරවිට 18 සම්පුර්ණ වෙනකල් ඉන්න ඕනේ දෙයක් වෙන්න ඇති. එක්කෝ විවාහයක්? එහෙමත් නැතිනම් මොකක් හරි අයිතියක් හෝ හිමිකමක් ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්.

මම නොසන්සුන්කමෙන් ආයෙමත් ජංගම දුරකතනය දිහා බැලුවා. තාම කෙටි පණිවිඩේ ගිහිල්ලා නැහැ වගේ. ඒ කියන්නේ දුරකථනය වැඩ කරන්නේ නැහැ. වෙන අංකයක් වත් ; ලිපිනයක්වත් තිබ්බෙත් නැහැ.

"ලොකු බේබි............... ලොකු බේබි........."

පඩිපෙළ පාමුල ඉඳන් මැණිකා බෙරිහන් දෙනවා. මැණිකා මගේ අවසරයක් නැතුව සාමාන්‍යයෙන් මම ඉන්න වෙලාවට උඩතට්ටුවට එන්නේ නැති නිසා හොඳයි. එහෙම මම හදාගෙන තියෙන්නේ මගේ හොර වැඩ වලට ලේසි වෙන්න.

එතකොටම ගෙදර දුරකථනය නාදවෙනවා ඇහුනා. ඒකට මල්ලි වෙන්න ඇති උත්තර දෙනවත් යන්තමට ඇහුනා.

"මොකද බං කෑගහන්නේ?"

"ලොකු බේබි......... දවල්ට මොනවද කන්නේ?"

මම විරංග දිහා බැලුවා. කපටි අදහසක් ආවා මට.

"අය්යා..... ඔයාට කෝල් එකක්"

එකපාරටම මට මොකක්ද උනා වගේ. ගෙදර අංකයට මේ වෙලාවට මට කතාකරන්නේ කවුද? අනියත බියක් එක්ක මමත් විරංගත් මුහුණෙන් මුහුණ බලාගත්තා. ඌත් බය වෙලා. ඒ උනත් මම වීරයා වගේ නැගිට්ටා. ඇඟේ තිබ්බ තුවාලවට වේදනාව බෙහෙත් වලට අඩු උනත් මම දිගටම ඇඳගෙන හිටියේ අත්දිග ටී කමිස එක්ක ට්‍රැක් බොටම් තමයි.

මම බැල්කනියේ ඉඳන් එන ගමන් මගේ කාමරේ දොර දිහා බලාගෙනමයි ආවේ. මධුලිකා හොඳින් ඇතිද? කෙල්ල මොලේ ඇති විදියට තමයි හිටියේ. වායුසමීකරණය නිවලා ; ෆෑන් එක දාගෙන හිටියේ කාමරේ කවුරුත් ඉන්න බවත් ඇඟවෙන්නේ නැතිවෙන්න. කොහොමත් ඇතුලේ කිසි සද්දයක් පිටට ඇහෙන්නෙත් නැති බවට ස්ථිරයි.

පඩිපෙළ පාමුල එකත්පසව හිටපු මැණිකා ගණන් ගන්නේ නැතුව මම එතනම තිබ්බ රැගෙන යාහැකි දුරකතනයේ බොත්තම ඔබලා චකිතයෙන් කනේ තියාගත්තා.

".... තීක්ෂණ?"

ලොකු සහනයක් වගේම තරහකුත් ආවා. චාපා! සිහිය ඇවිල්ලා වෙන්න ඇති.

"ආ..!"

"මොකෝ අඳුරන්න බැරිද? ඔයා නම් හරි වෙනස් වෙලා තිකු"

මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ දැනුයි. මම හිතුවේ මධුලිකාගේ පස්සෙන් වැටිච්ච අලුගෝසුවෝ කතාකරනවා කියලා.

මේ හුරතලේ නම් වස කරදරයක්. වෙලාවේ හැටියට නම් විශාල බෝල්ට් ඇණයක්.

" සුදම්... ගෙනෙමුද රෝස් කුකුළෙක්?"

එහෙම කියලා මම කියනකොටම පඩිපෙළ මුලින් පැස්බරෙක් වගේ මල්ලි ඔලුව දැම්මේ ලොකු හිනාවක් එක්ක. මම දන්නවා මල්ලි කැමතියි රෝස් කරපු කුකුල්ලු කන්න. එතකොට ඉතින් බියර් අතකුත් නිකන්මනේ. මේ වගේ රත්තරන් අවස්තාවක් ලැබෙන්නේ නැහැනේ අපිට?

ඊට පස්සේ මම බැලුවේ මැණිකා දිහා. මැණිකා ඔලුවත් බිමට නවාගෙන කුස්සියපැත්තට හැරුනා. මේ වගේ වෙලාවල් වලදී ; ඒ කියන්නේ රෝස් කුකුල්ලු එක්ක කෑමකට සුදානම් වෙනකොට මම දන්නවා මල්ලි උඩ පැනගෙන යනවා කියලා කුකුලා ගේන්න ළඟ තියෙන තැනට. ඒ එක්කම වාහනේ නැගලා මැණිකා යනවා අනිත්වා ගේන්න. ඉතින් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මෙහෙම මම කරපු පලවෙනි දවස අද නොවෙන නිසා මට හොඳටම විස්වාසයි වෙන කරදරයක් වෙන්නේ නැහැ කියලා.

"අනේ... ඔයාලා පාටියක් දාන්නද හදන්නේ?"

රිසිවරය කනේ තියාගෙන මම මේ දේවල් කිව්වේ චාපාට රිද්දන අදහසින්ම වෙන්නත් පුළුවන්.

"පාටියක් නෙවෙයි අනේ. දවල්ට කන්න හදන්නේ. අපේ අම්මගේ සිල්-බිල් වැඩ හින්දා කුකුල් කකුලක් දැක්ක කාලයක් මතක නැහැ. අදවත් පොඩ්ඩක් කාල ඇඳලා ඉන්නවට අවුල් වෙන්න එපා ඉතිං"

අන්තිම ටික පොඩ්ඩක් හුරතල් කරලා කිව්වහම නාගයා දමනය උනා වගේ චාපා දමනය වෙනවා කියල මම දන්නවා.

"අය්යා... සල්ලි?"

ඒ ටිකට මල්ලි ලෑස්තිවෙලාත් ඇවිත්.

"චාපා.. මම එහෙනම් තියන්නම්... පොඩ්ඩක් බිසී..."

"ඔයා මේ පැත්තේ එන්නේ නැද්ද?"

ඒ මොකක්ද ඒ? මම ඒ පැත්තේ යනවද වෙනදාටත්?

"කියන්න බැහැ මට සනීප මදි වගේ.."

"අනේ මටත් එහෙමනේ.. අර වොඩ්කා එක මට අවුල් උනාද කොහෙද තීක්ෂණ.... පුංචි කිව්වනේ මම හීනෙන් ඇවිද්දලු. මට මතකත් නෑ.."

දුව හීනෙන් ඇවිද්දාද කියලා කියන්න ආන්ටි සිහියෙන් හිටියද? පිස්සු කියන්නේ විකාර! මට කට කොනට හිනාවක් ආවා.

"... මට මතකයි මම උඩටත් ගියානේ...? ඔයාගේ කාමරේ... .......! බබා ඔයාට තුවාලද!! ?"

"තුවාල?? මොන තුවාලද??? පිස්සුද?????"

"මට එහෙම මතකයිනේ...තුවාල වගේ.... ඔයා මාව උස්සගෙන .. අපි දෙන්නා පුල් එක පැත්තේ ගියා වගේ"

පිස්සු හැදෙයි කීවලු , මම හිනා උනා වැඩියෙනුත් එක්ක.

"ඔයා වොඩ්කා බොන්න එපා ඔච්චර. ඔක්කොම විකාරණේ. කලින්පාරත් ඔයා වයින් බීලා , මුහුදේ ගිලෙනවා............. ජොගින් කියලා විකාරයක් කරලා. "

ඒ කියන්නේ කෙල්ලට ඔක්කොම පැටලිලා වගේ. ඒක හොඳයි. හිතුවටත් වඩා වැඩියෙන් හොඳයි. නැතිනම් ඒ විස බෝම්බෙ ඔක්කොම අනයි.

"...මේ.. දැන් ඇති.. මම වැඩක ඉන්නේ... මම පස්සේ කතාකරන්නම්... බායි"

"මේ... මේ.. ඒක නෙවෙයි.. ඔයාගේ ෆෝන් එක ඇහෙන්නේ නැහැනේ.... "

මාව කරවෙලා ගියා වගේ උනා.

"මෝ... මොකක්?"

"ඔයාගේ ෆෝන් එක අනේ... ඔයා කියන ඒවා ඇහෙන්නේ නැහැනේ... මම කියන ඒවා ඇහුනද?"

මගේ ඔලුව එකපාරටම මීටරේ කැරකිගෙන ගියා. මේ මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ දුරකථනයට කතා කලහම කවුරුහරි ඒකට කතා කරනවා කියන එකද?

දැන් නම් තත්වය දරුණුයි වගේ.
සුදම් පඩිපෙළ ගාව මාළුවා වගේ එහාට මෙහාට කැරකෙනවා. මම සාක්කුව අතාගෑවත් මුකුත් සාක්කුවේ නැහැ. මම කට උල් කරලා සිවුරුහන් බෑවේ විරංගයාට. ඌ බැල්කනියේ ඉඳලා එබුනේ විසිල් සද්දෙට.

"මචන් මූට සල්ලි දීපන් රෝස් කුකුලෙක් ගේන්න. වොලට් එක කබඩ් එක උඩ"

ඇහැක් ඉඟිමරලා මම එහෙම කිව්වේ අන්තිම කොටස සද්දෙන් වගේ. මධුලිකාට ඇහෙන්න ඕනේ නිසා. මට හරි බයයි කෙල්ල ඇඳුමක් මාරු කරන වෙලාවකට මේකා දොර අරී කියලා.

මට ඔරෝගෙන වගේ විරංග කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා. ඒ දසුන නම් මට එතරම් හිතට හොඳ නැහැ. ඒත් ඉතින් මේ අලුත් ඔත්තුව නිසා යන්නත් බැහැ.

"..... ඉතින්?? ආ... පොඩි අවුලක් නම් වෙලා තියෙනවා. ඔයා කෝල් කලාද?"

චාපා එකවරම උත්තරයක් දුන්නේ නැහැ. හුස්ම ගන්න සද්දේ නම් වැඩිපුර ඇහුනා.

"තිකු..... !"

"ඇයි මොකද?"

"මගේ යාළුවො ඔයා ගැන කියන දේවල් මම ගණන් නොගත්තට, ඒවා ඇත්ත වගෙයි"

"මොනාද?"

"මට ඇත්ත කියන්න.."

"මොනවා ගැනද මේ කියවන්නේ?"

මට දැන් මේ කෙරුවාව එපා වෙලයි තියෙන්නේ. නමුත් වෙලාවේ හැටියට සතුරන් ගොඩක් එතරම් හොඳ නැහැ.

"ඔයාට වෙන කෙල්ලෙක් ඉන්නවද?"

එහා පැත්තෙන් බර සුසුමක් ඇහුනා. එකපාරටම මගේ හිත ගැස්සිලා වගේ ගියා.

"චාපා.. ඔයා දන්නවනේ..."

"ඔව් ඔව් මම දන්නවා.... දන්නා නිසයි මේ පැහැදිලිව අහන්නේ. ඔයාට ඇත්ත කියන්න පුළුවන්නේ..?"

"ඔයා කවුද මගෙන් එහෙම ප්‍රශ්න අහන්න?"

චාපා එකපාරටම ගොළු උනා. මට කෝපයක් ආවේ නැතත්, සාමාන්‍ය ආවේගයක් දැනුනා චාපාගේ මේ හැසිරීම ගැන.

මොකක් උනත් චාපා එයාගේ සිමාවේ ඉන්න ඕනේ. ඒ තමයි මම හිතන සහ ඇත්තම තත්වේ. චාපා 'දඩස්' ගාලා දුරකථනය තියනවා ඇහුනා. මම තව වදයක් ලැස්ති කරගත්තද කියලයි මට ඒ වෙලාවේ හිතුනේ. කුලප්පු වෙච්ච කෙල්ලෙකු තරම් දක්ෂ ලුහුබඳින්නියක් නැති තරම්!

ඒ අස්සේ මේ දුරකථන කතාව! ඒ කියන්නේ මගේ දුරකථනය තාම සක්‍රියද ? කතාකරන්න විධියක් නැහැ අපේ ඉන්න තැනක් අහුවෙන නිසා. චාපා ඔතරම් කතාකලා නම්; දුරකථනය අප සිතන ආකාරයට ඔවුන් අතට පත්වී නම් ; පිළිතුරු නොදුන්නේ මොකක් නිසාද?

**********************************************


විරංග මගේ මුහුණ බලද්දී මට බැලුනේ මධුලිකාගේ මුහුණයි.

"බලන්න... අපි මෙතැනදී අවංක වෙන්න ඕනේ.. කොටින්ම මේ මොහොතටවත් අපි එකිනෙකාට අවංක වෙන්න ඕනේ"

මම එහෙම කිව්වේ ඉංග්‍රීසියෙන් උනාට බිම බලාගත්ත ගමන්.

"අවංක...!"

මධුලිකා මගේ උගුරේ හිරවෙන වචනයක් ප්‍රතිරාව කළා. ඇත්තෙන්ම කියනවා නම් මගේ උගුරෙත් හිර උනේ ඒ වචනේ තමයි.

"මධුලිකා... අපි ඔයාට උදව්වක් කළා තමයි. නමුත් අපි එහෙම කලේ වාසි බලාගෙන නෙවෙයි... ඔයා"

විරංගට කියන්න ලැබුනේ එපමණයි.

"ඔව්... ඔයාලා මාව ලොකු කරදරයකින් බේරගත්තා. මට ඔයාලට තවත් කරදරයක් වෙන්න බැහැ"

මට දෙන්නට පිළිතුරක් හෝ කියන්නට යමක් තිබුනත් මම නිශ්ශබ්දව බිම බලාගත්වනම හිටියා. මම ඇත්තටම බලාපොරොත්තු උනේ අසරණ වෙලා හඬන කෙල්ලෙක්. මුලදී පෙන්වපු මෘදු ගතිය වහගෙන ශක්තිමත් කෙල්ලෙක් මේ වනවිට මගේ ඉස්සරහ හිටියේ.

"..... මගෙත් එක්ක හිටපු අර වයසක අම්මා අහිංසකයි. එයා මුකුත් වැඩිය දැනගෙන හිටියේ නැති නිසා මම එයාගෙන් දැනගත්තේ මාව තව දවස් අටකින් තව මනුස්සයෙකුට බාරදෙන්න තියෙනවා කියලා. මාව කිඩ්නැප් කරලා කියලා මට තේරුනේ එතකොටයි. උන් එන ගමන් කෑම ගන්න බහිනකොට කතා උනා ඉතුරු දවස් අටට කෑම ගන්න හරියට තැනක් කතාකරගන්න ඕනේ කියලා."

"උන් ප්‍රොෆෙෂනල් කිඩ්නැපර්ස්ලා වෙන්න බෑ."

"ඇයි එහෙම කියන්නේ?"

"ඇයි දෙය්යනේ මොන මෝඩයාද ඔය වගේ කතා කතාකරන්නේ මෙහෙම අමුවෙන්ම තියාගෙන"

මධුලිකාට යන්තමට හිනාවක් ගියා. ඒ හිනාවෙ පුංචි කපටිකමක් තිබ්බා උනත්, වලගැහෙන දකුණු කම්මුලේ තිබ්බ ලස්සන මාව අමුතු ලෝකෙකට ගෙනිච්චා වගේ.

"එයාලා මට බීම එකක් දුන්නා නැග්ග ගමන්. මමත් හිටියේ තිබහෙන් නිසා ගත්තා. ඒත් මට සැක වගේ හිතුන නිසා මම ඒක බොන්නේ නැතුව ඉන්නකොට ඒක බොන්නම බල කළා. මට සැකේ හිතුනේ එක මනුස්සයෙක් ඉස්සරහ ඉන්න ගමන් හරි හැරී බලනවා මම බිලාද කියලා. මට හිතුනා මොනවාහරි දාලා වෙන්න ඇති කියල. මම බෝතලේ වෑන් එකේ දොර අයිනෙන් බිමට හලලා, ටිකකින් නිදි වගේ රඟපෑවා"

මෙහෙම කිව්වේ මධුලිකාමද කියලා හිතාගන්න බැරුව මමත් විරංගත් මුනෙන් මුණ බලාගත්තා.

'මේ කෙල්ල නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි.'

මගේ ඔලුව කරවෙලා ගියා වගේ. මගේ කනෙන් රිංගයි වගේ.

"... ඒ අතරේ තමයි එයාලා කතා උනේ. මම පැනලා යන්න ඒ වෙලාවේ හැදුවේ නැත්තේ ඒ වෙලාවේ පිරිමි ගොඩක් එක්ක මට බැහැනේ රණ්ඩු කරන්න. මගේ වෙලාවට... ආපු ගෙදර හොයාගෙන ඔයාලා ආවහම මට ඊට වඩා දෙයක් තිබ්බේ නැහැ. ඒක නම් මිරැකල් එකක් වගේ... "

මධුලිකාගේ මුහුණේ තිබ්බේ ඇත්තටම ලස්සන ස්තුතිපුර්වක බවක්.

"...අනේ ගොඩක් ස්තුතියි එහෙම ආව එකට. එතකොට තමයි මම පැනලා යන්න ඕනේ කියලා තීරණේ කලේ. ඒ වෙලාවේ ඉඳන්ම මම ගේ පිටිපස්සේ වටේ තිබ්බ ගස් වලට ලනුවක් පටලලා තාප්පෙන් පැනලා යන්න හදන ගමන් හිටියේ. "

"ඉතින්?"

"අන්තිමේදී අර ගෑනු එක්කෙනාට මම අර බීම එකේ ඉතිරි කොටස පෙව්වා."

කන් දෙක කුඋං ගෑවා !

".........................."

ඇත්තටම  කියනවා නම් බයකුත් එක්ක හිනාවකුත් ගියා මට නම්. 

"මට විස්වාසයක් තිබ්බා ඔයාලා එයිම කියල. මගේ වෙලාවට තීක්ෂණ ගේ පිටිපස්සෙන් ආවේ. නැතිනම් මම කොහේ යයිද, මොකක් කරගනිද දන්නේ නැහැ. "

එහෙම  කිව්වහම නම් මගේ හිතට ලොකු ආඩම්බරයක් ආවා. ඒ කියන්නේ මධුලිකා මා කෙරෙහි විස්වාසයක් තිබ්බ බවනේ! ඒ උනත් ඉතින් මගේ ඇඟ උඩට පැනපු එකයි, කාර් එකේ ඩිකිය අරිද්දී ඔලුවට ගහපු එකයි නම් පොඩ්ඩක්වත් සාධාරණ නෑ.

"දැන් අපි ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා ඉක්මනින් කල්පනා කරන්න ඕනේ. ඔයාගේ ලෝයර් කෝල් එක ගත්තේ නැහැ. මම පණිවිඩයක් තිබ්බා. තාම උත්තරයක් නැහැ. "

මම බැරෑරුම් පෙනුමක් එන විදියට කතාකරන්න උත්සහ කළා.


මධුලිකා ඉඳගෙන හිටියේ මට කෙලින්ම සම්මුඛව තිබ්බ පුටුවේ. ඈගේ තුවාල වෙච්ච කකුල ඊට සමාන්තර තව පුටුවක් උඩ තියාගෙන ඈ ඉන්න විලාසයට වැඩි වෙලාවක් ඉන්න බැහැ කියල මට වැටහිලයි තිබ්බේ. විරංග නම් කලබල උනාම ඉන්න විදියට මාළුවා වගේ එහාට මෙහාට ඇවිදිමින් හිටියේ අපි දෙන්නා අතරින්. ඌ අපි දෙන්නා අතරින් යනකොට ඌට මුවා වෙලා මම හොරැහින් මධුලිකා දිහා බලන්න අමතක කලේ නැහැ.

තැලුම් වල තිබ්බ ඉදිමුම් බැහැලා ගිහින් ඒ මුහුණේ තිබ්බ ලස්සන ආයෙමත් මතුවෙලා ඇවිත් වගේ.

"මම ඒකයි කිව්වේ... අපි මේ වෙලාවේ අපි දන්න තොරතුරු ටික ඔක්කොම එකතු කරලා බලන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා"

"හ්මමම්"

මධුලිකා කල්පනාවකට වගේ වැටුනා.

"මචන්.... ෆෝන් එකට මොකද කරන්නේ?"

මම එහෙම අහනකොට විරංග මගේ දිහා බැලුවේ බයවෙලා වගේ.

"අපි ඒක එතන බලන්න වෙන එකෙක්ව යවන්න ඕනේ. අපි දෙන්නගේ මුණු උන් දන්නවා.. මධුලිකා.. අපි ඇවිත් ගියාට පස්සේ මොනවද අපි දෙන්නා ගැන උන් කතා උනේ?"

හිතලා නැති උනත් මම ඇහුවේ නම් හොඳ ප්‍රශ්නයක්.

"ආ.. ඔව්... අර තඩි මනුස්සයා නම් ගොඩක් වෙලා බැන්නා. මම හිතන්නේ එයාට සැක හිතුනා ඔයාලා ආපු එක. අනිත් අය ඒක ලොකුවට හිතුවේ නැහැ. ආ.... තව දෙයක්.... ඔයාලා ආපු බවක් මෙයාලා කාගෙන් හරි හැංගුවා. මම හිතන්නේ මාව බාරදෙනවා කියපු මනුස්සයා කෝල් කළා වෙන්න ඕනේ.."

"ඔයාට ඇහුනද ඌ කියපුවා?"

"නෑ මම කාමරේ ඇතුලේ හිටියේ. දොර ගාවට ඇවිත් අහගෙන ඉන්න බැහැ අර ගෑනු එක්කෙනා මගේ පස්සෙන්මයි"

"මොකක් කියලද කතාකලේ?"

"නෑ එහෙම නමක් කිව්වේ නැහැ. 'බොස් බොස්' ගානවා විතරයි ඇහුනේ. ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. කවුරුත් දැක්කේ නැහැ කියනවා විතරයි ඇහුනේ. මම කලබලයක් කලේ නැහැ කියලා කිව්වා."

"මම කියන්නද වැඩක්... ඔයා පුළුවන් විදියට ඒ මිනිස්සුන්ගේ මතක තිබ්බ  දේවල්,හැඩහුරුකම් ටිකක් කොලේක ලියලා තියන්න. හොඳම වැඩේ චිත්‍රයක් අඳින එක."

මධුලිකා කල්පනාකාරී විදියට මගේ දිහාත් විරංග දිහාත් බැලුවා.

"අපි.... පොලිසියට යනවද?"

ඒකට මට උත්තරයක් තිබ්බේ නැහැ. විරංග ඇවිදිල්ල නතර කරලා ඉනට අත් දෙකත් ගහගෙන කල්පනා කරනවා මම දැක්කා. ඉස්සරවෙලා පොලිසියට බාරදෙන්න කතාකරපු එකා දැන් කතා නැහැ!



"අපි මුලින්ම ඔයාගේ ලෝයර් කන්ටැක්ට් කරගෙන ඉන්න ඕනේ. එයා කියන දෙයක් කරන එක තමයි මේ වෙලාවට නුවණට හුරු. මොකද අපි දන්නේ නැහැ මේ වෙලාවේ ඔයාව මෙහෙම කිඩ්නැප් කරපු හරි කරවපු හරි කෙනා මොන වගේ තත්වෙක කෙනෙක්ද කියලා. ඒ නිසා ඉක්මන් වෙන්න හොඳ නැහැ"

"හ්ම්ම්..."

කෙල්ලගේ මේ බකමුණු හුම් එක මට වැඩිය ඇල්ලුවේ නැහැ. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා.

"දවස් අටකින්.... දවස් අටකින්ද ඔයාගේ බර්ත් දේ එක තියෙන්නේ?"

මධුලිකා 'ඔව්' කියන්න වගේ ඔලුව වැනුවා.

"ඔයාගේ වයස 18 වෙනවා කියන්නේ......"

".........................."?

"............................"

"..........................."

"මධුලිකා... ඔයාව බඳින්න කවුරුහරි ඉන්නවද?"

මට එහෙම එකපාරටම ඇහුනේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙට ඈ ලොකු කරගත්ත ඇස්වලින් මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න යොමුකලා. ඒ ඇස් ලොකු කරලා බැලිල්ලට , පපුව මොකද්ද වෙලා මගේ හිත හොඳටම විසිරිලා.

"පිස්සුද?"

ඊට පසුව ගතඋනේ අමුතු නිහඬතාවයක්. මමත් හිත ඇතුලේ තිබුණු ව්‍යකුලතාවය වලක්වගන්න තද උත්සාහයක යෙදුනා.

"නෑ.. මම... මේ ඇහුවේ... මම... හිතුවේ.... "

"මම්මා ගේ ගෙදර තියෙනවා ඩොකියුමන්ට්ස් වගයක්. මම හිතන්නේ ඒවායේ තියෙනවා ගොඩක් විස්තර. අපි එහෙන් ඉල්ලගම්මු."

මධුලිකා ඇහෙන නෑහෙන ගානට කිව්වා.

මේ වෙනකොට මටත් යම් යම් දේවල් ඉව වැටෙමින් තිබ්බා. මම තදින්ම සැක කලේ මධුලිකාගේ පමණට වඩා කල්පනාකාරිබව නිසයි.

කුමක් කලත් මගේ හිත තුල තෙරපුණ ව්‍යකුලත්වය විසින්ම මම ගොළුවකු කර ඇතිබවක් තමයි මටම වැටහුනේ.

ඒ නිසා සියල්ලටම පෙර මම කලේ කඩදාසියක් ගෙන එහි එකින් එක අපට කල යුතු වැඩ සහ දිනයන් සඳහන් කල ලැයිස්තුවක් සැදීමයි. මධුලිකාගේ මම්මාගේ මහා ගෙදරින් අවශ්‍ය ලියවිලි ගන්නට නම් ඈ නොමැතිව නොහැකි නිසා එය පසුවට කල්දැමූ මම පළමුව කළයුත්ත ගැන වදවෙන්නට උනා.

"අපි පොලිසි යන්න හොඳ නැහැ. මුලින්ම මුන් ඔයාගෙන් ගන්න හදන්නේ මොනවද කියලා බලාගන්න ඕනේ. මේ වෙනකොට අපේ තොරතුරු හොයාගෙනද කියන්නත් දන්නේ නැහැ. ඒ හින්දා..."

මට කියන්නට ලැබුනේ එපමණකි. දොරට තදින් තට්ටු කරන ශබ්දයට අප තිදෙනාම උඩගොස් වහලයේ වැදුනා වගේ උනා.




********** මතු සම්බන්ධයි ***********  


මේ වෙලාවේ එලෙස තට්ටු කරන්නේ කවුරුන් විය හැකිද?

10 comments:

  1. මගේ ප්‍රශ්න වලට බාගෙට උත්තරත් දීල.. නියමයි.. අඩා බලපම්කො හින්දි ෆිල්ම් එකක් වගේ කුතුහලය අවුස්සලා ඉන්ටර්වල් එකක් දුන්නු විදිය.. මේ වෙලාවේ මොකෙක් තට්ටු කරත් කමක් නෑ.. ඊළඟ කෑල්ල ඉක්මනින් දැම්මේ නැත්නම් හොයාගෙන ඇවිත් ඔහේගේ කාමරේ දොරට තඩි ගහනවා.. ඔන්න නොකියුවයි කියන්නෙපා..

    ReplyDelete
    Replies
    1. ඉන්ටවල් එකක් දුන්නේ ලියන්න කම්මැලිකමට අනේ! ඔක්කොමත් හරි හින්දි ෆිල්ම් කතාවත් හරි... වහකාලා කැලේ රිංගන්න හිතෙනවා

      Delete
  2. මොකක්ද බං මේ එක කතාවක් නැති එක? එක පාරක් දුරබණුවලු..අයම ටෙලිෆෝන් එකලු..ආය පාරක් දුරකථනයලු...

    අපි ලෝයර්ට කතාකරන්න ඕනේ! කෝ දියන් උඹේ දුරබනුව"

    විරංග උඩ සාක්කුවෙන් දුරබනුව ගන්න ගමන් එකපාරටම ඇහිබැම ඇකිළුවා.

    "කෝ උඹේ දුරබනු එක?"

    "ඒක නෙවෙයි බන්... ඊළඟට කරන්න තියෙන දේ බලපන්. ලෝයර්ගේ දුරබනු එක වැඩකරන්නේ නැහැ."

    අන්න බලාපං කොච්චර අපූරුද කියල...

    /ටෑන් පාට හම වාත්තු කළා වගේ./

    අනික මොකක්ද මේ ටෑන් පාට කතාව? ලියපං සිංහලෙන්...

    "හයිලන්ඩ් දියර කිරි සහ වටවල කහට පදමට මුසු කොට පිළියෙල කොටගත් කිරි තේ කෝප්පයක වර්ණය සිහිගන්වන සුලු ඇගේ ඡවි කළ්‍යාණය මසිත සරාගීබවින් ඔද්දල් කලේ නිතැණිනි..."

    දැක්ක නේ?... කොහොමද ඒක?

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතින්... සමාවෙන්ටකෝ ඉතින්... ආයේ කරන්නෙම නෑ ! ඔහොමත් වාත කරනවද?

      [ ඔබතුමාට කියන්න මටත් තේරුණා ඔය විකල් වැඩේ. ඒ වෙනකොට එහෙම දෙකක් තුනක් තැන්වල ලියලා නිසා ඔහේ පන්දුව නිදැල්ලේ යන්න ඇරියා. කොහෙද ඉතින් ඔයාලා කියවන්න ගියාම ඔක්කොම කියෝනවනේ! මතක බැරි උනානේ.. මේක ඩින්ගිත්තක් විතර රහස් පරීක්ෂක කතාවක්නේ..]

      දැක්කදත් අහනවා.... දැක්කා දැක්කා

      Delete
    2. // කොහෙද ඉතින් ඔයාලා කියවන්න ගියාම ඔක්කොම කියෝනවනේ! //

      එහෙම නැතුව පුළුවනෑ මෙහෙම කතා කියවන්ඩ? ඔක්කොම කියන්නෙ ආය පේළි අතර ලියවිලා තියෙන එව්වත් කියවලා නොලියවිච්ච එව්වත් කියවන්ඩෝන හරිහමං විදිහට රහස් පරීස්සක කතාන්දරයක් කියවද්දි! :P

      කතාව නියමයි සුදූ!

      Delete
    3. ස්තුතියි සිසී

      Delete
  3. අම්මට සිරි! අගතා ක්‍රිස්ටි ආච්චි අම්මාද?

    ReplyDelete
    Replies
    1. ඔයා ටයිම් ට්‍රැවල් කරනවද? ජාපනේ පදින්නේ නැතුව මොකද මෙතැන කරන්නේ?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි