"අම්මටසිරි උඹ.."
කිත්ම මිතුරාගේ කට වසන්නට මෙන් ඔරවා බලා එක් ඇසක් ඉඟිමැරුවේය.
" උඹ හිතන එකක් නෙවෙයි යකෝ.. මම විස්තරේ පස්සෙ කියන්නම්. මට විස්තර ටික ලියලා එවපං හරිද?"
එසේ කියමින් කිත්ම සිය මිතුරා වූ ක්වීන්ස් හෝටලයේ කළමනාකරු වෙතින් ආපසු ඇවිද විත් ලොබියේ උන් අංජලිකා සිය උරයට තදකරගන්නවා මිතුරා බලා සිටියේ සිනාසෙමිනි. මීට වසර ගණනාවකට පෙර මෙම හෝටලයේදීම ඈ නවාතැන්ගෙන සිටියදී , කිත්ම දොඩංගොඩ විසින් ගෙනගිය තරුණිය සමඟ ඔහු පැමිණ ඇත්තේ තමා ගල්භීතව යන පුවතක්ද ඇතිවය.
' කිත්ම වගේ හැන්ඩියෙක් එච්චර කළු ගෑණියෙක්ට සෙට් උනා කියන්නෙ පුදුමයි!'
අංජලිකා ඇදගෙන මෙන් ගොස් ජීප් රථයට නංවා ඇමතුම් කීපයක් ගත්තේ රාජකාරි මට්ටමෙනි. අංජලිකාට ඒවා කිසිවක් වැටහුනේ නැතත් හේතු දහසක් තිබුනත් අද මේ කළබලේ මහනුවර පැමිණියේ කුමන හේතුව නිසාදැයි තෝරා ගැනීමට නොහැකි විය. නමුත් ඈ පැය පහක එක සීරුවට රථය ධාවනය කල කිත්ම වෙහෙසවන්නට අකමැති වූවාය.
" ජූලි ඔයාට ජානුගෙ ගෙදර යන්න ඕනෙද? "
අංජලිකාට ඉබේටම ආසනයෙන් උඩට පැන්නුනේ අත්පුඩියක්ද ගසමිනි.
" හා!!"
ඇගේ ඉරියව්වට ආ සිනාව වලකා ගනිමින් කිත්ම ඇගේ නාසයෙන් ඇද්දේය.
" මම පොඩි වැඩකට යනවා. පැයකින් එනවා. ජානුගෙ ගෙදර ඉන්න මම එනකල්. හවස අපිට..."
" අද අපි මෙහෙ ඉන්නවද? "
අංජලිකාගේ ඇස් කැරකවිල්ලට දැන් ඔහු ඔරවන්නේ නැත.
" දවස් දෙකක වැඩක් තියෙන්නේ කෙල්ල.. අද හවසින් පස්සේ මම කියන්නම්. ඇඳුම් දාගන්න කිව්වෙ කිසි දෙයක් ශුවර් නැති හින්දා. හවස මම හරි මිලින්ද හරි එවනවා ඔයාව ගන්න. ෆෝන් එක ළඟ තියාගන්න.. අර ජානුගෙ කසින් කාරයා ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න"
එකින් එක උපදෙස් දෙමින් කිත්ම වාහනය ප්‍රධාන මාර්ගයට අවතීර්ණ කරද්දී අංජලිකා කල්පනාවට වැටුනාය.
" කවුද?"
" අර කකුල කැඩිච්ච රම්බෝ වගේ ඇවිදින්නෙ.. ඔයාලාත් එක්ක කඩුගන්නාව පල්ලමේදී හම්බෙනකොට වෑන් එක ඩ්‍රයිව් කරගෙන ආපු මෝඩයා"
මේ කියන්නේ තුලින ගැනය. දෙවියනේ වසර මෙපමණ කාලයක් ගොසින් පවා තුලින ගැන ඔහුට එතරම් මතකයක් තිබෙනා හැටි! තමාට ඔහු කල පහත් ක්‍රියාව සිහිවී අංජලිකාගේ මුහුණ වෙනස් වී ගිය බව දුටුවද කිත්ම ඒ ගැන නොවිමසුවේ හේතු ඇතිවය.
" හ්ම්ම් ආ.. තුලින.. ආ හරි.. මම කියන්නම්"
අනතුරුව ඇගේ නිහඬතාවය නිසා දකුණු අත ගෙන සිය කලවයේ තබාගත් කිත්ම ඈ දෙස බැලුවේ රථ වාහන තදබදය අතුරේය.
" එදා කඩුගන්නාවේදි ඔයාව දැක්කහම මට ඇත්තටම පුදුම හිතුනා.. "
" ඇයි ?"
අංජලිකා මදක් විමතියෙන් ඔහු දෙස බලද්දී කිත්ම ඒ අත්ලට අත්ල තෙරපුවේ ඇඟිලි අතුරින් ඇඟිලි යවමිනි.
" මං දැනගෙන හිටපු දඟ කෙල්ල වෙනුවට හිතාගන්න බැරි තරම් වෙනස් වෙච්ච ගෑණියෙක් එතන හිටියේ. ඒ උනාට තිබ්බේ මොකක් හරි disaster එකක් (ඛේදවාචකයක්) වෙච්ච signs ( සළකුණු ). එදා ඉඳලාම ඔයාට උනේ මොකක්ද කියලා මම හෙව්ව"
අංජලිකාට සුසුමක් සැළුනි.
" මමවත් දැනගෙන හිටියේ නෑ මට මොකද වෙලා තිබ්බේ කියලා.. මතකද ඔයා කිව්වා.. මම තවත් කරන්නේ ඒ හා ගුලේ ඇතුලට හාරගෙන යන එක කියලා"
" අහා.. ගෑණුළමයට ඒවත් මතක තිබිලා.. Interesting (රසවත්)! "
" තෑන්ක්ස් කිත්ම.. මගේ ජීවිතේ ගොඩක් තැන් වලදී මගෙත් එක්ක හිටියට.. සොරි මම ඔයාව තේරුම් නොගත්තට. මම හිටියේ සම්පූර්ණයෙන් confused (අවුල්) වෙලා.. මම කොච්චර මෝඩ විදියට වැඩ කලාද කියලා මට පහුගිය අවුරුදු දෙකේදි තේරුම් ගන්න වෙලාව තිබ්බා. ඒ ඔක්කොම ඔයා හින්ද"
" දැන් පිං දීලා ගැලවෙන්න හම්බෙන්නෙ නෑ මැඩම්.. වෙන ගෙවීම් ක්‍රම වලට පුරුදු වෙන්න වෙනව..."
ඔහුගේ මනමාල සිනාව ජීප් රථය පුරා පැතිර යද්දී එය මහය්යාව පාරෙන් ඉහළට වූ අනිවත්ත පාරට හරවන්නේ ඔහුට පැමිණි තෙවන රාජකාරි ඇමතුමට වහා සම්බන්ධ කරවමිනි.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
නිවස තිබුනේ එකම කාලගෝට්ටියක ගිලීය. නිමාලි දොඩංගොඩගේ අණදීම් වල නිමක් නොවූ අතර ඈ හතර අතට දුරකතනය ඔස්සේද කාර්‍යබහුලත්වයට පත්ව සිටියාය.
".. මොනාද කරන්නේ ලොකූ ඔයා තාමත් ඔතනද? ඉක්මනට බඩු ටික අරගෙන එන්න දැන් වෙන වැඩ වලට යන්නෙ නැතුව. කොහෙද මට කරදරයි කියලා පොඩ්ඩො දෙන්නවත් අරගෙන ගියානෙ හිටියා නම් බාප්පා එක්ක නටයි.. "
අම්මාට සිදුවී ඇති කලබලය ඇසී දුරකතනය අනෙක්පස උන් මෙත්මට සිනාය. අම්මා හැසිරෙන්නේ ජනාධිපති ආවාක් මෙනි. ඇගේ ආදරය එලෙසය. අදටත් දින දෙකක් පිට සිට පැමිණෙන පියාටද ඈ දෙවියන්ට මෙන් සළකන්නීය.
' නාකි කෝලං'
යන එන ගමන් ඒවාට සිය මවට 'හින්ට් පාස්' කරන්නේ සිය බාල සොහොයුරිය හෝ කිත්ම පමණකි. තැන්පත් ගතිගුණ ඇති මෙත්ම ඔහුගේ බිරිඳත් සමඟින් ඒවා සිනාසෙමින් විඳගත්‍හ. දරුවන් දෙදෙනාගේ උපතත් සමඟම ඔවුන් මහ ගෙදරට යාබද නිවසක් ඉදිකලේ දරුවන්ගේ අත්තම්මා සිය මිනිපිරියන් රැගෙන යනවාට එකහෙලා යුද්ධ ප්‍රකාශ කල බැවිනි.
දෙමවුපියන් තැන්පත් වුවද ඊටත් එක්ක දඟ මළු දෙකක් වූ වසරක වයස් පරතරයකින් යුතු සිතුමි සහ නෙතුමි දෙදෙනා දුරකතනය ඔස්සේ ඇසුනු අච්චම්මා ( අත්තම්මාගේ) හඬින් පෙරළි කරන්නට වූයේ ඔවුන්ගේ වීරයා නිවසට පැමිණි ආරංචියත් සමඟය.
" අම්මෝ මොනාද මද්දු අය්යේ තමුසෙ එනකොට කියලා එනවකෝ අර මොකාද වගේ කඩාගෙන පාත් වෙන්නෙ නැතුව. බලනවකො මම ටවුන් එකට ගියා වෙඩින් හෝල් බලන්න.. කොහෙද මජ්ජු පුචා ඇවිත් කියල අපේ නිමාලි දොඩංගොඩ 'ආපසු හැරේන්' කිව්ව.. අනේ අපේ දුප්පත් ජීවිත.."
මිදුලේ නතරකළ කුලී රියෙන් බිමට පනිමින් ආඩපාලි කියමින් ආ භූමිකා නතර වුයේ කිත්මගේ ගෙලේ එල්ලෙමිනි.
".. කෝ ඕයි තමුසෙගෙ කෑල්ල..?"
ඈ කණටකර මිමිණුවේ බෙල්ලේ එල්ලීගෙනමය.
" එයා එයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ගෙ ගෙදර බැස්සුවා මට වැඩ වගයක් ආපු හින්දා. උඹේ vocabulary එක ( වාග් මාලාව) නම් ගන්න දෙයක් නෑ චුට්ටි... දෙනව දෙකක් ඇත්තමයි"
ඔහු විදුලි වේගයෙන් කියාගෙන ගියේ සිය මවට නෑසෙන පරිද්දෙනි. ඊට අමතරව ඔහු භූමිකාගේ කනක් යන්තමට මිරිකුවේය.
" ඇත්තටම පොඩ්ඩි ඉඳල ඉඳල ආපු දරුවට ඔහොම කතා කරනවද? පුදුම කටක් ඇත්තටම! තමන්ගේ බාල සහෝදරයාට ගරු කරන්න දන්නෙ නෑ.. දැං කාලෙ හැදෙන එව්වො නම්.. "
නිමාලි එසේ කියමින් දෑස් තෙත් කරන්නේ සිය බාල සොහොයුරා සමඟ මොනවාටද කියවා ගන්නා සිය දරුවන් දැක ප්‍රීතියෙන් උද්දාමයට පත්වෙමිනි. කෙතරම් උස් මහත් වුවද තම දරුවන් ළඟ සිටීම තරම් නිවනක් තිබේද අම්මා කෙනෙකුට? හදවත ප්‍රීතියෙන් ඉපිලෙන්නේ වසර ගණනාවකට පසුව ඒ කැදැල්ල සර්ව සම්පූර්ණයෙන් තිබෙනවා දැකීමෙනි.
" අනේ මේහ්! ඒකිගෙ බෙස්ටා මම.. අර ජානුලී කියන එකී නෙවෙයි "
භූමිකා එසේ පැවසුවේ ඔරවමිනි. කිත්ම දෙනෙත් හකුලවා ඈ දෙස බැලුවේ සිය මව සිටිනා ස්ථානය කොහිදැයි බලමිනි.
" ඉරිසියාකාරි!!! "
" නෑ මද්දු.. ඉන්ඩියා ඉන්නකොට මට ඒ ජානුලී කියන එකී ජූලිට දවසක් හොඳටම දෙහි කපනව ඇහුනා. මම ඒත් ඇහුවා කවුරුහරි තරහකාරයෙක්ද කියල. "
එය අමුතු කතාවකි. ඔහු සිතුවේ ජානුලී ඇගේ හොඳ මිතුරියක් බවයි. ඈට පාසල් කාලයේදී පවා උපකාර කල බව ඔහුගේ මිතුරා හරහා එහෙන් මෙහෙන් දැනගත් තොරතුරු එය තහවුරු කළේය.
" ඒ මොනාටද? ජූලි එයාට මොනා කලාටද?"
භූමිකා සිය සොහොයුරා දෙස බලා මදක් කල් මැරුවේ මේ කාරණය අංජලිකා තමාට කියන්නට එපා කියූ බැවිනි. කමක් නැත, දැන් මුන් දෙන්නා එක්කාසු වී හමාරය.
" ජානුලීගෙ ක්‍රශ් එකක්ලු ඔයා. පස්සෙ ජූලි ඔයා එක්ක ක්වීන්ස් හොටෙල් එකේ ඉන්නවා දැකලා එයාට කවුද කියලා. ඒ අස්සේ අර දෙමළ කොල්ලගෙත් පටලැවිල්ලක් තිබ්බ කාලෙලු. ඩිවෝසුත් හින්දා කිත්ම වගේ කොල්ලෙක් එක්ක සෙට් වෙන්නේ වෙන වෙන අදහස් වලින්ද කියලා ඇහුවානෙ. ජූලිට හරියටම තේරුනේ නෑද කොහෙද ඒක නම්. මට නම් තේරුනේ ඒකිට ජෙලස් හිතුනා.. මෙයා ඉතින් යාළුකමට හුම් හුම් ගගා ඉවසගෙන අහගෙන ඉන්නවනෙ.. මට කිව්ව නම් මම කියනවා දෙකක් කුඩු වෙන්න!"
කිත්මට දැනුනේ තියුණු හද වේදනාවකි. ජානුලී තමා ගැන 'ක්‍රශ්' එකක් තිබෙන බව ඔහු ඒ දිනවල සිටම දන්නා කාරණාවකි. රුවැති දඟකාර තරුණියක වූ ජානුලී ඇති තරම් ඉඟි බිඟි පෑවද ඒවාට සිනා වෙවී සිටියා මිස අංජලිකා තමා දෙස බැලුවේ නැත. නැත! තමාද ඈ ගැන තැකුවේ නැත. ඈද එලෙස පිරිමි ළමුන් ගැන උනන්දු නොවන්නට ඇත්තේ ඈ තමාගේ රුව ගැන තිබුනු අවතක්සේරුව නිසා වන්නට ඇත.
' තාමත් මේකි දන්නෙ නෑ ඒකිගෙ අගේ. මැටි අලේ!'
අනතුරුව ආරම්භ වූයේ නිමාලි දොඩංගොඩගේ අත් අඩංගුවේ ඇති පමණ කන බොන හෝරාවයි.
' කන්නෙවත් නැතුව වැඩ කරනවද? බලන්න දරුවෝ ඇඟේ හැටි කෙට්ටු වෙලා'
' එහෙම නෑ අම්මේ.. පිස්සුද මට එහෙම කන්න බෑ. අපේ ෆිට්නස් පාස් වෙන්න ඕනෙ. මම දවස ගානෙ එක්සයිස් කරනව. කෙට්ටු නෑ හත්වලාමේ'
අම්මාගේත් පුතාගෙත් නාකි කෝලම් බලාගෙන සිටින්නට හැකිද?
' ආ ඔව් ඔව්.. අළුත් එක්සයිස් මැෂින් එකක් ගෙනාව මේ ළඟදි.. බඩටයි මූණටයි තමයි ඒක වදින්නෙ.. දවස ගානෙම එක්සයිස්.. නේ මද්දු?'
ඉතින් කිත්ම ඈ කන්නට මෙන් ඔරවන්නේය. භූමිකා කිසිවක් නොවුනා සේ තේ කෝප්පයට සීනි හැන්දක් දමන්නේ පොපියන සිය සොහොයුරාගේ කට දැක එන සිනාව මැඩ ගනිමිනි.
" දැන් අම්මෙ මේ වහන්තරාව අර සුද්දගෙ පිටේ බඳින්නෙ කවදද? මෙතන කකා බිබී ඉන්නෙ සත පහක වැඩක් නැතුව. ආ?"
නිමාලිට බැරෑරුම් මාතෘකාව වුවත් සිනාවක් නැඟේ. පොඩි කාලෙදීත් මේ දෙදෙනා පොඩ්ඩ ඇත්තම් ඇවිලී ගියද හොර වැඩකදී වහා එකමුතු වන්නේය. 'සුද්දා ගොඩදැමීමේදී' හොර වැඩේදීද මේ දෙදෙනාගේ සතර කන් මන්ත්‍රණය තුල කිත්ම සෑහෙන කොටසක් කළ බව නිමාලි පිලිගන්නේ , එසේ නැතිනම් අඩි හැප්පූ සිය සැමියා නම්මා ගැනීම සිහිනයක් සේ පෙනුනු මොහොතකය.
" අනේ මේහ්! ඉන්නවද වාත නොවී.. යාකොව් හොඳයි මේ මෝඩයාට වඩා කියලා අම්මත් කිව්වා.. පිටේ බන්ඳන්න ඇයි මම ක්ලේමෝ බෝම්බයක්ද?
( මෘදු හඬින්) එයා එනව එන වීක් එන්ඩ් එකේ. Work visa ( රැකියා සඳහා වීසා) දාන්න marriage certificate එක ( විවාහ සහතිකය) ඕන හින්දා ඉක්මනින් වෙඩින් එක ගන්නව..."
කිත්ම එවර ගොළුවී ගියේ නිකමටවත් ඇගේ වෙන්වයාමක් ගැන එතරම් තදින් සිතා නොතිබුනු බැවිනි. ඔහුගේ තිගැස්ම හඳුනාගත් භූමිකා සිනාසී මාතෘකාව වෙනස් කලේ තේ කෝප්පය මේසය මත තබමිනි.
" .. දැංවත් ඔයාගෙ අලුත් කැච් එක ගැන කියනවා අම්මට.. නැතිනම් දන්නවනෙ නිමාලි දොඩංගොඩගේ හැටි.. තමුසෙ නිදාගන්න ටිකට අර යාපාගෙ ගෙදර කුලවත් කත ගෙදර ගෙනෙයි"
නිමාලිට ඊට සිනා ගියද එක එල්ලේ සිය කණිටු පුත්‍රයා දෙස බලන්නේ ඔහුට ගැලවීමක් නැති බැල්මකි.
" මොකක්ද පුතා ඒ? මම දන්න ළමයෙක්ද?"
.
.
.
තමාට පිටුපා පැමිණ ඇති වාහනය වෙත ඇවිද යන අංජලිකා වෙල්ලාලගේ දෙස කඳුළු පිරි දෑසින් බලා උන් ජානුලීගේ මව ; සේපාලිකා ඉලංගරත්න ; සිය සේවිකාව දෙස බැලුවේ තෘප්තිමත් හැඟීමෙනි.
" මට හරි සතුටුයි සෝමා මේ දරුවා දැන් හරි තැනකට වැටිලා. කිත්ම කියන්නේ රටක් වටින කොල්ලෙක්. ඒ දවස්වලත් හරි හැඩකාරයි කෙල්ලො පිස්සු වැටිලා වගේ. මතකනෙ ඒ දවස්වල අපේ ගෙදර ආවහම අපේ පුතා අල්ලගෙන අර පාඩම් එහෙමත් කරෝනවා. "
සේපාලිකා එසේ කියමින් ඒ මතකය අවධි කරන්නට වූවාය.
".. ඒ පුතා කැම්පස් එහෙමත් ගියා ලෝයර් කෙනෙක් උනානෙ. ඒ දවස්වල හරි ලස්සන ගෑණුළමයෙක් එක්ක යාලුවෙලා ඉඳලා ඒක කැඩිලා ගියා කියලා ජනේශ් කිව්වහම මම පුදුම උනා. මේ කෙල්ලත් කොහොම දුකක්ද වින්දේ. කොහොමහරි ඉරණම් කාරයා ගාවම නතර උනා අන්තිමට"
සේවිකාව ඒ වනවිටත් දන්නා බොහෝ තොරතුරු සඳහන් කරමින් සේපාලිකා ඉලංගරත්න පැවසුවේ හදවත පතුලෙන්ම ආ හැඟීමෙනි. ජානුලි මෙන්ම ඇගේ මිතුරිය වූ අංජලිකාට ඈ ආදරය කලේ ඇගේ නිවැසියන්ගේ අඩත්තේට්ටම් නිසා පමණක් නොවේ. අංජලිකා බොහෝ දේවල් නිහඬව සිනාවකින් දරාගන්නා චරිතයක් වූ නිසාමය. සේවිකාවගේ මුහුණේ ඇඳුනේ එතරම් පහන් සිනාවක් නොවේ.
" ඒ මහත්තය සුදුනෙ නෝනා.. අංජලිකා බේබි කලුපාටයි"
නොපහන් බවින් සේවිකාව දෙස බැලූ සේපාලිකා සැරෙන් මෙන් ඊට පිළිතුරු සැපයූවාය.
" එහෙම තමයි බං. සුදු පිරිමි කැමති කළු කෙල්ලන්ට"
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
අංජලිකා බිම බලාගත්තේ ඇගේ වෙව්ලන දෑත් එකිනෙක් තෙරපමිනි. කිත්ම වහා ඇගේ උරය වටා සිය අත යවා ඈ සිය පපුවේ පසකට තදකොට ගත්තේ ඈ ඉන් මිදීමට උත්සහ කරද්දීය.
" එයා භරත ඩාන්සර් කෙනෙක් අම්මා. අම්මා වගේ ඉස්කෝලේ කාලේ ඩාන්සින් කරලා දැන් ඩිග්‍රි එකක් කරලා ඉන්නේ. එයාගෙ ටීච තමයි රාජිනී චෙල්වනායගම් කියන්නෙ. එයාගෙ බෙස්ට් ස්ටුඩන්ට්.."
කිත්ම කියවාගෙන ගියේ නිමාලි දොඩංගොඩගේ හැකිලුනු මුහුණ දෙස එක එල්ලේ බලාගෙනය. පාසල් කාලයේදී සිය මව නැටුම් වලට ප්‍රිය කළ බවත් , රටේ සුප්‍රසිද්ධ චෙල්වනායගම් මැතිණියගේ රසිකාවියක් බව හොඳටම දන්නා බැවින් ඔහු සිටියේ නිල අල්ලමිනි.
" හ්ම්ම්.. ඔය ළමයා වාඩිවෙන්න එහෙනම් මම තේ ටිකක් හදන්න කියන්නම්"
නිමාලි ආපසු හැරී නිවස තුලට ගමන් ගනිද්දී භූමිකා කිත්ම අසළට ඇවිද ආවේ පහව නොගිය බියෙනි.
" කියන්න කිව්ව මිසක් කවුද හලෝ අදම ගෙදරට ගේන්න කිව්වෙ? ඇත්තටම මද්දු ඔයාට නම් හොඳටම පිස්සු.. මේ කෙල්ලත් බයවෙලා. ( අංජලිකා වෙත හැරී) ඇයි කිව්වෙ නැද්ද මෙහෙ එනවා කියලා ?"
අංජලිකා නැත කියන්නට හිස දෙපසට සලද්දී භූමිකාට ඈ ගැන දුක සිතින.
"... අම්මත් එක්ක ශේප් එකේ කතා කරලා මාරු වෙන්න. අද අප්පච්චි එයිද දන්නෙත් නෑ. "
භූමිකා පැවසුවේ මවගේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවූ නිසාය. කිත්ම අංජලිකා සමඟ පෝටිකෝවේ පසකට ඇවිද ගොස් ඈට ඉඳගන්නට පවසා , මිදුලේ තිබෙන වාහනයේ උන් මිලින්දට හිසින් සන් කලේය.
" උඹ පේරාදෙණිය පලයං. මම කෝල් එකක් දෙන්නම්"
ඔහුට යතුරු කැරැල්ල විසිකල කිත්ම, අනතුරුව ඔහුගේ පෞද්ගලික අවුඩි රථය මිදුලේ තිබියදී , ඔහු රැගත් රාජකාරි ජීප් රථය ගේට්ටුවෙන් පිටවනතුරු බලා සිටියේය. වහා හිස තුල සැලසුමක් ඇඳගත් කිත්ම , හොරෙන් මෙන් අංජලිකා දෙස බලා භූමිකා දෙසට හැරුනේ දෑතම ලය ඉදිරියේ ගැටගසා ගණිමිනි.
" ...හෙට වැඩකටත් එක්ක ආවෙ. ජුලිට මෙහෙ නතර වෙන්න පුලුවන් වෙයිනෙ. තමුසෙගෙ යාලුවෙක් කියනවා අප්පච්චිට.. වෙන කොහෙවත් තියන්න බෑ"
භූමිකා මදක් තැති ගත්තාය. එතරම් බොරුවක් කියන්නට ඈට නිර්භීතකමක් නොවීය. ඊටත් ඉන් පසුව ඇතිවන තත්වය එතරම් යහපත් නොවනු ඇත. අංජලිකා දැකීමත් සමඟම මවගේ මුහුණ වෙනස් වූයේ නරක අතට නිසා මේ වනවිට තත්වය එතරම් යහපත් නොවේ.
සමහර අවස්ථා ජීවිතයේ ලැබෙන්නේ එක් වරකි. ඒ වාරයේදී එයින් සිදුවීමට නියමිත කිසිවක් ගැන ඔබට පුරෝකතනය කරන්නට නොහැකි වනු ඇත. එය වාසනාව හෝ අවාසනාවට හේතුවක් වනු ඇත.
ගතවූයේ මොහොතකි. ස්වංක්‍රීයව විවර වූ ගේට්ටුව තුලින් විසල් මිදුලට පිවිසියේ නවීනතම Land cruiser වර්ගයේ මෝටර් රථයක් වූ අතර එයට ගේට්ටුවෙන් 'සැලුට්' වැටුනේ එහි සිටින්නේ කවුදැයි සපථ කරවමිනි. සිය කණිටු පුත්‍රයාගේ ආගමනය ගැන හතර අතේ ගිය දුරකතන ඇමතුමක් විසින් කැඳවන ලදුව ධර්මේන්ද්‍ර දොඩංගොඩ සිය වාහනයෙන් බිමට බසිද්දී භූමිකා භීතියෙන් කිත්මගේ උරයේ එල්ලුනාය.
" අනේ මද්දු අය්යේ.. ඔයාලා යන්න!"
අංජලිකා සිටියේ සිය ආසනයටම ඇලීගෙන ගැහෙන හදිනි. ඈට බැලුනේ කිත්ම දෙස පමණි. කිත්ම දොඩංගොඩගේ පෙනුමෙන්ම යුතු ඊට වඩා කළු සහ මහත ධර්මේන්ද්‍ර දොඩංගොඩ මිදුලේ සිට පියගැට නඟිමින් පැමිණියේ සිය පුත්‍රයා වෙතම දෑස තබාගෙනය.
" .. අනේ අය්යේ.. ප්ලීස්!"
" නෑ! ජූලි ඔයා ඔහොම්මම ඉන්න.. එන දේකට මම මූණ දෙනවා. භූමිකා තමුසෙ හුරේ නොදා ඉන්නව මේ කෙල්ලව බය නොකර"
ධර්මේන්ද්‍ර දොඩංගොඩ අනුව යමින් ඔහු පසුපසින් ආ ඔහුගේ රියදුරු අත පාර්සල් කිහිපයක් වූ අතර ආරක්ෂක රථයක් මිදුලේ ඈත කොනක නතර වූ බව කිත්ම නිරීක්ෂණය කළේය.
" ආ.. කොහොමද ඉලන්දාරියා ! ගෙදර මතක් වෙලා තියෙන්නේ.. හ්ම්ම්.. ( රියදුරු දෙසට හැරෙමින්) වාහනේ තියෙන අනිත්වාත් ගන්න කියන්න රූපාට. යතුර දීලා යන්න මම අද ඉන්නව.. "
ධර්මේන්ද්‍ර මුල් කොටසේදී සිය කඩවසම් පුත්‍රයාගේ උරයට තට්ටුවක් දැමුවේ ඔහු නිවස තුලදී දකින්නට ලැබීමේ ප්‍රීතියෙන් හිත උද්දාමයට පත්වීම වසාගෙනය. ඔහු කවදත් ඔහුගේ හැඟීම් එලෙස දැක්වූ අයෙකු නොවුනත් දරුවන් තිදෙනා කුඩා කාලයේදී ඇති පදම් සුරතල් කල ආදරණීය පියෙක්ව සිටියේය. රාජකාරිය හේතුවෙන් නිවසේ නොරැඳීම සහ වැඩුනු දරුවන්ගේ යම් යම් කටයුතු නිසාත් ඒවා මගහැරී ගියද පියෙකු ලෙස ඔහු දරුවන් තිදෙනාටම අසීමිතව ආදරය කළේය.
" ඉන්නව අප්පච්චි ! නිවාඩු නෙවෙයි. නුවර වැඩකට ආපු ගමන්"
කිත්ම වෙනසක් නොමැතිව කියද්දී භූමිකා මුහුණ හංගාගෙන ගෙතුලට යන්නට හැරුණාය.
" පොඩ්ඩි අද ඔයාගෙ ඩිශ් එකට ඕනෙ ඒවා මම ඔක්කොම ගෙනාව."
ඔහු සිනාවක් සමඟ භූමිකා දෙස බලනවාත් සමඟ කිත්මට පිටුපසින් උන් රුව ඇස ගැටුණු සැනින් මුහුණේ වූ සිනාව අතුරුදහන් වී ගියේය.
එසැනින් ඔහුගේ නෙත් කිත්මගේත් භූමිකාගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට ගමන් කලේ 'මොකාද මේකි මෙහෙ ගෙනාවේ' ලෙස ප්‍රශ්න කරන්නට මෙනි.
" අප්පච්චි... මේ අංජලිකා වෙල්ලාලගේ.. මගේ fiancée ( විවාහ වෙන්න ඉන්න තරුණිය) "
පියවරක් පසුපසට තැබූ කිත්ම දොඩංගොඩ සිය පෙම්වතියගේ අතින් අල්ලාගත්තේ යන්තමින් සිය පියාගේ මුහුණ දෙස බලමිනි.
එපමණකි! විශ්වයම එකවර නිහඬ වූවාක් මෙන් සියල්ලම නිශ්ශබ්දව ගියේය.
" මහත්තයා අනේ මේ.. "
නිවස තුලින් නිමාලිගේ හඬ ඇසෙත්ම ඈ ඉදිරියට පැන අල්ලා නොගත් ධර්මේන්ද්‍රගේ අනෙක් අත කිත්ම දොඩංගොඩගේ කම්මුලක් හරහා විදුලි වේගයෙන් ගමන් කලේ කසයක හඬක් නඟමිනි.
'චටාස්!'
-------------------------- මතු සම්බන්ධයි ----------------------------
ඉක්මනින් හමුවෙමු.
ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.
ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම
ලියන ඒවා දිගටම ලියන්න.. පොතක් පබ්ලිෂ් කරොත් නරකද.
ReplyDeletePotak wei meka godak welawata
Deleteහරි සතුටුයි.
Deleteකුතුහලය උපරිමයි.......
ReplyDelete