Thursday, February 2, 2023

මට ඇහෙන සරින් - හතලිස් එක්වන පරිච්ජේදය



'මරපං මාව දැන්!'


කිත්මගේ එරවුමක් වන් නෙත් නෙත් සෙමෙන් වෙනස් වෙමින් හා හෘද ස්පන්ධනය කෙමෙන් වේගවත් වෙමින් යද්දී ඔහුගේ බැල්ම මහත් වේගයෙන් අංජලිකාගේ දෙනෙත් හා දෙතොල් අතර කිහිප වාරයක් මේ අත යන්නේ තත්පරයෙන් අරික්කාලකටත් වඩා වේගයෙනි. අත වූ 'ජිම්' බෑගය ඔහු බිමට වැටෙන්නට හැරියේ නිදහස් වූ අත සෙමෙන් අංජලිකාගේ උරය වටා වෙලෙද්දීය


' Don't do this ( මේක කරන්න එපා) ! මගේ ඉවසීම ටෙස්ට් කරන්න එපා කෙල්ල!!'


ඔහුගේ හදවත මොරදෙන අතර ඔහු ඇගේ උරය වටා ගිය අත තදකොට අංජලිකා සිය උරයේ පසෙකට වාරු කරගත්තේ අනෙක් අත ඇගේ ඉඟටිය වටා යවමිනි. උණුසුම් පුළුන් බෝලයක් වැනිය. තමාගේ ඇවිලීමේ ගිණි පුපුරු විසින් මේ දැන් පවා අවුලවන්නට තරම් සරාගීය


කට කියවූවාට අංජලිකා වෙව්ලන බව දැනුනු නිසා කිත්ම සිය හැඟීම් විසිරී යා නොදී හැකි උපරිමයෙන් අල්ලාගෙන සිටියේය.


කිත්ම ඔහුගේ උරයට පහළින් තදවූ ඇගේ හිස මත සිපුමක් තබා සිවිලිම දෙස හිස ඔසවමින් සංසුන් වන්නට උත්සහ කලේ ඇගේ අත් ඔහුගේ පිට හරහා ඉහළට ඇදෙද්දීය. ඇගේ පිරුණු ළයෙහි උණුසුම ඔහුගේ උදරයේ ඉහළින් පසකට වන්නට දැනුනේ ගිණිගෙන දැවෙන්නාක් මෙනි.


' What really brought you here( උඹ මෙහෙට එන්න ඇත්ත හේතුව මොකක්ද )?'


එයට පිළිතුරක් ලැබෙනා තුරු හිත සැනසෙන්නේ නැත. සිංගප්පූරුවේ ගිය බව ඔහු හොඳාකාරවම දනී. එහිදී කුමක් හෝ දෙයක් සිදුවූවාද? මේ ඉරිසියාකාර සිත පිලිස්සෙමින් අසන්නේ එයයි.


ඔහුගේ පිට ඔස්සේ ඇදෙන ඇගේ දෑත් ඔහුට තවත් දරාගෙන ඉන්නට නොහැකි බව වැටහුනු නිසා කිත්ම ඇගේ ඉන මත තිබූ ඔහුගේ වමතින් ඇගේ එක් අතක් වැලමිටට ඉහළින් අල්ලා මෘදුව මිරිකුවේය. නමුත් එය නොතකන ලෙසින් අනෙක් අතින් ඔහුගේ පිටෙහි සවිමත් මස් පිඬුවකට අත තදකලේ කිත්මගේ සිරුර සැණින් උණුසුම් කරවමිනි.


එකවරම නාද වූ දොර සීනුව නිසා දෙදෙනාම දෙපසට විසිවී ගියේ අකුණක් පතිත වූවාක් පරිද්දෙනි. එකවරම දැනුනු කම්පනය හේතුවෙන් අංජලිකා සිටියේ වෙව්ලමිනි. එකවරම දැනුනු ලැජ්ජාව නිසා වහා නානකාමරයට වැදී දොර වසාගනිද්දී පියවි සිහියට එන්නට උත්සහ කරමින් කිත්ම දොර අසළට ඇවිද ගියේ පැමිණි පුද්ගලයා කවුරුන් හෝ වේවා හදවතින් ඔහුට ශාප කරමිනි


දොරෙහි වූ කුඩා කාචයෙන් පැමිණ සිටින්නේ කවුදැයි බැලූ කිත්මට තරු දහසක් කඩා පාත් වූවා සේ දැනෙද්දී දොර සීනුව නොසන්සුන් ලෙස නැවත නැවතත් නාද වන්නේ නම් තමා මෙහි සිටිනා වග ස්ථීර ලෙසම දැනගෙන ගමනක් බව ඒත්තු ගන්වමිනි. ඔහු දිගු හුස්මක් අල්ලා , පසුව ආපසු හැරී වැසුනු නිදන කාමරයේ දොර දෙස බැල්මක් හෙලා , ප්‍රධාන දොරෙහි අඟුල මත සිය අත තැබුවේ වන්නාටය.


🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸


" මිස් මම එහෙනං යනවා. භූමිකා මිස්ටත් මම කෝල් කලා ඊයෙම. මිස් අප්සෙට් වෙලා ඉන්නේ මිස්ට කරදරයක් වෙලා කියලා.."


තවදුරටත් එසේ කියූ දිසාසේකර දෙස මදක් ඇඹරෙමින් බලා සිටි අංජලිකා කිසිවක් නොකියා ඔහු අත වූ බෑගය ගෙන හිස සැලුවාය


".... සර් එහෙම නපුරු මනුස්සයෙක් නෙවෙයි නේ. පොඩ්ඩක් සැර කලාට මේ දවස් දෙක තුන ඔහොම්මම ඉඳලා එන්න. මෙතන කාටවත් එහෙම පේන්නේ නෑ. උනාට වැඩිය එළියට බහින්න එපා ඔක්කොම ඉන්නෙ පිරිමිනෙ. මිස්ට හොඳ නෑ.."


දිසාසේකර කෙරෙහි අනුකම්පාවෙන් පැවසුවේ අංජලිකා තවමත් සිටින්නේ තරමක වික්ශිප්ත භාවයකින් බව නිරීක්ෂණය කරමිනි.


".. ලොකු සර් අද එයි කියලා මමත් දැනගෙන හිටියේ නෑ. ( සිනාව වලකන්නට නලළ තෙරපමින්) කවුරුත් බෙල් එක ගැහුවට අරින්න එපා මිස්. කිත්ම සර් මොකක් හරි කරයි"


තවත් මොනවාදෝ පවසා දිසාසේකර පිටත්ව ගිය පසුව අංජලිකා සුසුමක් සළා දිසාසේකර දුන් බෑගය ගෙන නානකාමරයට වැදුනායකිත්මගේ පියා හදිසියේ දොරකඩට කඩාපාත්වීම නිසා කිත්මට සිතුවාට වඩා ඉක්මනින් සේවයට වාර්ථා කරන්නට වූයේ සිය පියා මෙම නිවහන තුලට ගන්නට තත්වයක් නොතිබුනු බැවිනි


කොරේ පිටට මරේ කියා ඈට ඇතිවූ හදිසි අවස්තාව නිසා ලැජ්ජාව පැත්තකට දමා අංජලිකා දිසාසේකරට ඇමතුමක් දුන්නේ වෙන මගක් නොවූ නිසාය. මේ කඳවුර වෙනම ජනාවාසයක් වූ අතර ඇගේ අවශ්‍යතාවය සපුරා ගන්නට කඩයක් හෝ එහි නොදත්තාය. වාසනාවට දිසාසේකර කඳවුරෙන් පිටත් වූවා පමණකි. ඔහු එබැවින් ඈට අවශ්‍ය වූ සනීපාරක්ෂක තුවා පැක්ට් කීපයක් සහ ඔහුම කල්පනාකොට ගත් නව දුරකතන සිම්පත අතට දෙන්නට ආපසු පැමිණියේ, වනවිටත් කිත්ම සහ මිලින්ද කාර්‍යාලයට ගොස් සිටි නිසාය.


උදෑසන දිගු වේලාවක් උණුසුම් වතුර ගලනා වතුර මල යටට වී ස්නානය කල අංජලිකා වනවිට කුසගින්නේ මොරදෙන සිය බඩපණුවන්ට සාධාරණයක් කරන්නට මුළුතැන්ගෙය දෙසට ගියාය. මුළුතැන්ගෙය ඉතා පිරිසිදු සහ පිලිවෙලය. ඉංග්‍රීසී චිත්‍රපට වල මෙන් සියල්ල තැන්වල තබා තිබිණ. වසුන් ඉවත්කල සැනින් දකින්නේ කිත්ම රසටම උයනා චිකන් ටික්කා සමඟ බිරියානි සහිත ඇගේ ප්‍රියතම කෑම වට්ටෝරුවයි


'පව්.. උදේ කෑවෙත් නැතුව ගියේ'


අංජලිකාට දුක සිතින. බිරියානි සහිත හාල් පිසින යන්ත්‍රයේ ( rice cooker ) ඉහළින්ම තිබුනු කජු කැබැල්ලක් සපමින් අංජලිකා බත් හැන්දක් බෙදාගෙන ඊට සුවඳ හමන චිකන් ටික්කා වලින් කොටසක්ද දමාගෙන මුළුතැන්ගෙහි ටෙරාසෝ මේස ඵලකය ( table top එක ) මතට නැඟී දෙපා වනමින් කෑම කන්නට වූවාය. රසවත් කෑම අංජලිකාගේ මතකය මීට වසර දෙකකට එහාට ගෙනගියේ විදුලි වේගයෙනි.


කෑම උයන්නට ගොස් හාල් පිසින යන්ත්‍රයේ කට ළඟටම වතුර පුරවා බත් කැඳ සෑදීම, උඩටම එනතුරු හාල් පුරවා බත ඉදෙනවිට සියල්ල අමුවෙන්ම උතුරායාම ඇතුළු සිදුවීම් දෙක තුනකින් පසුව නිවසේ ඉවුම් පිහුම් සිදුකලේ කිත්ම විසිනි. තමා මෙන් වතුර හලාගන්නේ නැතිව, කපමින් සිටිනා එළවලුවක් cutting board එකෙන් පෙරලාගන්නේ නැතිව මෙන්ම , කඩිසරව උයන්නට ඔහුට ඇති හැකියාව විශ්මයට පත්කොට තිබින. පිරිමින් මුලුතැන්ගෙයක වැඩ කරන පරිසරයක් මින් පෙර අසා දැක තිබුනේ නැත. කොහොමත් මුළුතැන්ගෙයි රැඳීම ප්‍රිය නොකලාය


තත්වය වෙනස් වූයේ ඉන්දියාවේ ගිය විටය. භූමිකා නිවසේ සාදන කෑම ප්‍රියකල අතර ඈට කොහොමත් විවිධ කෑම ජාති සාදන්නට හැකියාවක් තිබුනේ වසර ගණනාවක් රුසියාවේ අධ්‍යාපනය ලැබූ හේතුවෙනි. උයන්නට කම්මැලි තමාට හොඳම දඬුවම ලැබුනේ ලොකුකමට පිටින් කන්නට ගොස් කීප වරක්ම ඉස්තරම් වර්ගයේ බඩේ අමාරු සෑදී මැරෙන්නටම ගිය නිසාය. ඊටත් ඔවුන්ගේ තුනපහ පිරුනු කෑම සහ වතුර රස හොදි නිසා වේල් එකක් එක ළඟ කන්නට නොහැකි තරම් කෑම අරුචියක් හටගත් නිසා වෙන කරන්නට දෙයක් නොමැතිව උයන්නට ඉගෙන ගැනීමේ දඬුවමට ලක්වන්නේ හේතු සහිතවය. 


පළමුව ඒ සිටින්නේ කිත්මගේම නැගණිය බව පසක් කරමින් උයන්නට ගියවිට භූමිකා කරනා 'වැඩක් පිලිවෙලට කරනා' නීතියට අනුගතවන්නට සිදුවීමය. අනෙක අස්කිරීමේ මහා නීතියයි. භූමිකා සහ තමා ඒවාට විහිළුවටත් , සමහර දිනවල බරපතල ලෙසටත් වලි දාගත්තද දෙදෙනාගේම මිතුදම නිසාත් එකම නිවසේ විසීම නිසාත් දබරයක් පැය පහකට වඩා පවතින්නේ නැත. අවසන් ප්‍රථිපලය වූයේ අංජලිකා කෑම ඉවීමටත් , භූමිකා සිටියාට වඩා අපිලිවෙල වීමටත් පටන් ගනිමිනි


' ජූලී.. මම දන්නෙ නෑ අපේ එකා ඔයා එක්ක කොහොම ඉඳීද කියලා!'


එක්තරා මොහොතක භූමිකාගේ මුවින් පිටවන්නේ උයන්නට ගොස් දෙදෙනා අතර වූ දබරයක් සමථයකට පත්වූ වහාමය. 


' ඇයි ? එහෙම කියන්නෙ?'


තමා එලෙස ඇසුවේ පිලිතුරක් අපේක්ෂා කරමින්ම නොවුනත් ඊට ලැබුනු පිලිතුර ඇගේ හදවත විනිවිද ගිය හීයක් වැනි විය.


' මද්දු කියන්නේ ආදරයේදී හාට් එක උනත් ගලවලා දෙන කෙනෙක්. මට බයයි ඔයා එයාව තුවාල කරයි කියලා ජූලි'


දර්ශන් විසින් අල්ලාගෙන සිටිනා හදවත සෙමෙන් සෙමෙන් ලිහිල් වූවද භූමිකාගේ වචන නිසා කිත්මට ලංවීමට තමා බිය වූ බව අංජලිකා තේරුම්ගෙන සිටියාය. ඔහු තමාව නිදහස් කල අරමුණ ඒ දිනවල නොතේරුනු නිසා දර්ශන්ගේ නාම මාත්‍රයකින් පවා තමා සසැලුනේ තමාගේ හිතත් එතරම්ම තුවාල වී ඇති නිසා බව අංජලිකා විශ්වාස නොකලාය.


සිංගප්පූරුවේදී දර්ශන් දැකීම් මාත්‍රය සමඟම ඇතුලතින් බැඳි රැහැනක් 'ටිං' හඬින් බිඳී ගියා සේ දැනුනු සැනින් ඈට වැටහුනේ තමා වදවන්නේ දර්ශන්ටත් වඩා කිත්ම ගැන නොවේදැයි එකවරම අවබෝධ වෙමිනි


ජීවිතයේ සමහර දේවල් මොළය විසින් කෙතරම් පණිවිඩ එවූවත් ඒවා හදවත දක්වා ගමන් කරන්නේ ඉතා අල්ප වශයෙනි. එදින ලත් කම්පනය විසින් තමන් මෙතෙක් දිනක් වැරෙන් අල්ලාගෙන සිටියේ කවරක්දැයි අංජලිකාට එකවර ප්‍රදර්ශනය වූයේ රූකඩ නැටුමක වේදිකාව කඩා වැටුනාක් ලෙසටය


හදිසියේ දර්ශන් පැමිණියහොත් කිත්ම ඉන් වේදනාවට පත්වනවාට ඇති අකමැත්තම ඔහුට ලංවීම ප්‍රමාද කලා නොවේද? කෙමෙන් කෙමෙන් වැඩුනු ආකර්ෂණය දිනෙන් දින තමා තුල ප්‍රේමයක් රෝපනය කොට කිත්ම ඈත්ව සිටියේ එය මහා රුකක් වනතුරු නොවේද?


' ඔව්.. මම කිත්මට ආදරෙයි.. ඒක ආරක්ෂාව පතාගෙන හරි දුර්වල නිසා හරි ගන්න තීන්දුවක් නෙවෙයි. '


චිකන් ටික්කා සමඟ ඇති පදමට බිරියානි අනුභව කොට ඇඟේ අමාරුවට සයනයට වන් අංජලිකාගේ නිදිබර දෑස් අවසන් වරට පියවන මොහොතේ ඇගේ සිත ඈට එසේ මුමුණනු ඇසුනි.

.

.

තද නින්දේ උන් අංජලිකාගේ දෑස් විවර වන්නේ වාහනයක් සැරදමා පිටවයන ශබ්දය සමඟය. ශරීරයට දැනෙන අපහසුතාවය මදක් අඩුවී ගොස් තිබුන නිසා අංජලිකා සෙමෙන් සයනයෙන් බසින්නට තැත් කරද්දී දකින්නේ කාමරයේ ඇඳ පසෙක වූ කබඩ් එක මත වසා තිබෙන කෝප්පය හා ඊට යටකොට තිබුනු සටහනයි.


' හදිස්සියේ කල්ලරාවේ* යනවා. රෑ කෑමට එන්න වෙන්නේ නෑ. පීනට් බටර් එක ෆ්‍රිජ් එකේ - කිත්ම'


අංජලිකාට දැනුනේ මිශ්‍ර හැඟීමකි. සටහන යටකොට තිබුනේ සන්නාම සහිත කෝපි අවන්හලකින් ගෙනා 'ලටේ' වර්ගයේ කෝපි බඳුනකින් වූ අතර ඒ අසළම පැරසිටමෝල් පෙති දෙකක් තබා තිබින.


ශබ්දය ඇසුනේ ඔහු පිටත්වන මොහොතේ වුවත් දොර වෙත දුවන්නට තරම් ශක්තිමත් බවක් නොමැති නිසා අංජලිකා කෝපි කෝප්පය අතට ගත් සැනින් හීල්ලින. එය හොඳටම උණුසුම් ය! ඔහු යන්නට ඇත්තේ මේ දැන් ය!! 


ඔහු කෙතරම් තමා ගැන සැලකිලිමත්ද? අංජලිකා කෝප්පය එක අතකින්ද, අනෙක් අතින් පැරසිටමෝල් පෙතිද සමඟ සාලයට ඇවිද එද්දී දකින්නේ කෝපි මේසය මත වූ දම් සහ කහ මිශ්‍ර සජීවී මල් කලඹකි. වහා එය අතට ගනිද්දී එයට ඈඳා තිබුනු කුඩා කාඩ්පත දකින්නේ ආම්බෙන් මෙනි.


' txt me for anything urgent : 07X-XXXXXXX 

K'

අංජලිකාගේ මුව මත ඇඳුනේ මනමාල සිනාවකි.

.

.

.

බොහෝ වේලාවක් තිස්සේ අදාළ ස්ථාන වලින් ගත් තොරතුරු මේ අත හරවමින් උන් කිත්ම කවරදාවත් නොමැතිව වරින්වර සිය ජංගම දුරකතනයේ මුහුණතට එබෙනු මිලින්ද නිරීක්ෂණය කලද කිසිවක් කියන්නට ගියේ නැත. මුහුණේ ඇත්තේ වෙනදාට වඩා එළියක් සහ හැසිරීම නොඉවසිලිමත්. වෙනදාට ඔහු දුරකතනය මේ වේලාවට ගෙනෙන්නේද නැත.


දිසාසේකර උදෑසන පිටවී ගිය පසුව ඔහුට වැටහුනේ සිය ප්‍රධානියා සහ දිසාසේකර අතර ඇත්තේ රාජකාරියට එහා ගිය සවිමත් සහෝදර කමක් බවයි. ඔහු කිත්ම තුලින් දකිනා පෞර්ෂය විසින් පිලිබඳව ලෝබකමක් හටගත්තේ කිත්ම දොඩංගොඩගේ යටතට එන්නට පෙර ලැබුනු තොරතුරු එකින් එක සාවද්‍ය වෙද්දීය


' ගොනෝ.. ඉගෙන ගනින් හම්බ කරන එක කොයි කාලෙ බැරිද? කරපිය External Degree එකක් ( බාහිර උපාධියක්) '


' මොකද බං උඹේ අම්මට අරෙහෙම බනින්නෙ? ගෑනි උඹ ගැන හොයන්නෙ නැතුව අල්ලපු ගෙදර කොල්ල ගැන හොයන්නද? '


' අර බෝට්ටු කරවල වගයක් ආවා නියම කොලිටි. ගෙදරට ටිකක් යවපං අර නීල් අතේ. අද නිවාඩු යනව'


' උඹේ මල්ලිට මම සෙට් කලා ගරාජ් එකක්. එතන වැඩ අල්ලගෙන කරන්න කියපං ඔය හන්දි ගානේ ත්‍රීවීල් තියාගෙන කාලකණ්ණි නොවී'


සැර වැර කරමින් ඔහු සැමවිටෙකම රාජකාරියට අමතරව තමාගේ ජීවිතය සාදා ගන්නට වරින් වර එලෙස කියන්නේ ප්‍රධානියෙකුට එහා යමින් වුවද පෙරලා එවන් ලෙංගතුකමක් බලාපොරොත්තු වන්නේ නැත. ඔහු ඉඳහිට මත්පැන් පානය කරනා බව දන්නා කරුණක් වුවද ඊයේ දුටුවාට පෙර කිසිවිටෙක බීමතින් දැක නැත්තේය. නමුත් සම්පූර්ණයෙන්ම තමාගේ බීම තහනම් කලේ තමාට මත්පැන් දරාගැනීමේ සීමාව අඩු බව දැනුනු පළමු දිනයේදීමය. මත්පැන් පානය කල විටදී තමා හරහට වැටුනේ කිත්ම පැමිණි මුල්ම දිනයේදී ඔහුට සංවිධානය කල කුඩා සාදයකදීය. අනෙකුත් නිලධාරින් පැවසූ පරිදි එදින රාත්‍රියේදී තමාව කරේ තබාගෙන සිය නිවහනට ගෙනගිය ඔහු කාටවත් ගැන කියන්නට යමක් ඉතුරු නොකලද, පසුවදා උදෑසන කන පුරවා කම්මුල් පහරක් ලැබුනු බව දන්නේ තමා පමණකි.


' ආයේ උඹ බීලා අහු උනොත් අඬු කඩනව දැනගනින්! වස්සා!!'


එපමණකි! එදායින් එදා තමා මේ වනතුරු මත්පැන් කටේවත් තැබුවේ නැත. බේබදු පියාගෙන් එය පුතාට සංක්‍රමණය වීම එයින්ම නැවතුනි.


මේ සියල්ල සමඟ කිත්ම දොඩංගොඩ ගැන මිලින්දගේ සිතේ තිබුනේ බිය මුසු ගරුත්වයකි. ඔහු සැමවිටකම තමාට ඔහු වාගේ වීමට දේශනා නොදෙන ; ක්‍රියාවෙන් එය ඔප්පු කරනා චරිතයකි. අනෙක් උන් කියූ පරිදි 'ලොකු ලයින්' හෝ 'අනුමාන කල නොහැකි දරුණු' මිනිසෙකු නොවේ!


කුමක් වුවත් දිසාසේකර පැමිණි කාරණාව ඔහු හරිහැටි නොදැන සිටියත් එයට කුමක් හෝ තරුණියක් සම්බන්ධ බව නම් සැක සිතේ. නමුත් එය අසන්නට නොහැකි නිසා නිශ්ශබ්දව උන්නා විනා කිත්ම දොඩංගොඩගේ හිත ගත් තරුණිය කවරෙක්දැයි හිත කුතුහලයෙන් පිරී ඇත.


අතිශය අවධානයෙන් ඔත්තුකරුවකුගේ තොරතුරු වලට සවන් දෙමින් උන් කිත්මගේ දැහැන බිඳෙන්නේ දුරකතනය මත පතිතවන කෙටි පණිවිඩයක හඬක් සමඟය. සංවාදය මදක් නතරකල කිත්ම දුරකතන තිරය පරීක්ෂා කරනවාත්, ඉන් අනතුරුව ඔහුගේ මුහුණේ හැඟීම් වහා වෙනස් වෙනවාත් නොදකින්නට තරම් මිලින්ද පොට්ටයෙකු නොවේ. සැබෑ ලෙසටම පැවසුවහොත් කිත්මගේ අවධානය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇඳුනු මනමාල සිනාව නිසා ඔහු වහා හිස පසෙකට හරවමින් ආසනයෙන් නැඟී සිටියේ මිලින්දට හිසින් සංඥා කරමිනි


" කියන්න මම ඔක්කොම රෙකෝඩ් කරනවා.. සර් ඒක පස්සෙ අහයි"


දුරකතනය සමඟ කාමරයෙන් පිටතට පැමිණි කිත්ම මද වේලාවක් කෙටි පණිවිඩය දෙස බලා සිටියේ මනමාල සිනාවක් සමඟිනි. දුරකතන තිරයේ ආලෝකයෙන් ඔහුගේ කඩවසම් තලෙලු මුහුණ මත ඇතිකොට තිබුනු එළිය තීව්‍ර කොට තිබින. ඔහු එක් අතකින් සිය මුව වරක් පිස දැම්මේ අවසානයේ එය සිය රැවුල් කොට සහිත නිකටේ නතර කරවමිනි.


දඟකාර කොළු සිනාවක් මවාගත් ඔහු සෙමෙන් අංකයට ඇමතුමක් ගත්තේ හදවත මහා වේගයෙන් ගැහෙද්දීය.


🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸


" Officers ලා ( හමුදා නිලධාරීන්මෙස් එකේ කතා නොකරන මාතෘකා තුනක් තියෙනව මචං... ආගම, දේශපාලනය සහ බිරින්දෑවරු... ඊයේ එතන හිටපු එකම ඔෆිසර් මම හින්දා මම ඒකට පොල්ල දැම්මෙ නෑ. උඹලා ඔක්කොම මගේ guest ලා ( අමුත්තො) උඹලට මෙස් එකේ නීති අදාල නෑ.. "


සරිත් සෙමෙන් කියවාගෙන යමින් බියර් කෝප්පය පුරවා ගත්තේ ඉතිරි කීපදෙනා ඔහුට සාවධානව සවන්දෙන බව සපථ කරවමිනි. ශානක ඔහුගේ පෙම්වතිය සමඟ අඩ අඳුරු වෙරළේ මදක් ඈතින් සිටිනු ඇස ගැටෙමින් විසල් පෙරේරා ඔහුගේ දුරකතනය මත වැටෙනා කෙලවරක් නැති ප්‍රාදේශීය දේශපාලන තොරතුරු යාවත්කාලීන කිරීම් දෙස හිස් හැඟීමෙන් බැලුවේය.


".. topics ( මාතෘකා) අපි මීට පස්සෙ මේ වගේ තැනක ඇදගම්මු.. හේතුව මම උඹලට කිව්වනෙ."


සියල්ලෝම හිස සළමින් ඊට එකඟ වූහ.


"ඊයේ මම කියපුවා උඹ සීරියස් ගනී කියලා මම හිතුවෙ නෑ විකියා.. එහෙම hurt කරන්න ( හිත රිද්දන්න ) කිව්ව කතාවක් නෙවෙයි. උඹ ඩිවෝස් වෙච්ච බවක් මම දැනං හිටියෙ නෑ බං සොරි"


පිරිසේ උන් අයෙක් එසේ කියද්දී විසල් පෙරේරා ඔහුගේ පිටට තට්ටුවක් දමා ' it's ok macho'  කියා අවිහිංසකව සිනාසුනේය.


"අපේ විකී ළඟඳිම politics වලට ( දේශපාලනයට) එන්න ඉන්න හින්දා මම කියන්නෙ.. හෙහ්... තව අපිට අපේ සෙට් එකට අඩු හාමුදුරුවෙක් විතරයි.. "


තත්වය සමනය වන්නට මෙන් සරිත් කියූ දෙයට සැවොම මද සිනා පෑ අතර දේවක සිය ගිටාරය සුසර කිරීම නිමකොට තිබුනු බැවින් ඔවුන් මෘදු ගීතයක් ගායනා කරන්නට වූහ


'මල මිලින වෙලා - මුත් සුවඳ ගලා

මගේ ලොවම වෙලා - ඇත තවමත් අංජලිකා


සඳ නැතද රැයේ - නිල් සළු පිළියෙන්

සුරඟනක වෙසින් - තවමත් ඔබ හිනැහෙනවා

අංජලීකා!

අංජලීකා!


මට පෙනෙන දුරින් - මට ඇහෙන සරින්

තවමත් ඔබ සිටී බලා - මද සිනහා මුවින්

තවමත් මගේ අංජලිකා... '**


විසල් සිය මොජෙටෝ පානයත් සමඟ සෙමෙන් ආසනයෙන් නැඟිට යද්දී වෙනත් ගීතයකට පිරිස සූදානම් වූ අතර සරිත් සිටියේ විසල් ගැන ඇස ගසාගෙනමය. ඔහුට ඔරොත්තු නොදෙන දේශපාලනකට තල්ලු වෙමින් ඔහුගේ ජීවිතය තවත් අවුල් කරගන්නවාට සරිත් වඩාත් වද විය. ඔහුගේ බල ලෝභී පියාගේ ගොදුරක් වී ජීවිතය අනා නොගත්තා නම් , විසල් පෙරේරා මීට වඩා හොඳ ජිවිතයක් ගතකරනු ඇත


ඔහුගේ පෙම්වතිය අහිමි වීම , අසාර්ථක විවාහය සහ තනිකම විසින් විසල් පෙරේරා පෙර සිටි ප්‍රීතිමත් බවින් මුදවා තිබින. ගැන සරිත් වඩා කම්පා වූයේ ඔහු පෙළඹවීම් ඔස්සේ නීතිවිරෝධී ක්‍රියාවන් වලටද නොබියව සම්බන්ධ වන්නට වූ පසුය


' අර ගෑනි තමයි මූව කෑවේ!'


ඔහු එසේ කියාගත්තේ වෙරළ දෙස බලාගෙන සීතල සුළඟ ඔස්සේ එන සුවය විඳිමින් උන් විසල් ගැන මිතුරෙක් ලෙස කම්පා වෙමිනි.


එතෙක් වේලාවක් ඈත මුහුදේ අඳුරු ඉමක නෙත රඳවාගෙන උන් විසල් අවසන් මොජෙටෝ උගුරත් බී බරැති සුසුමක් සලන්නේය. මදකින් හිස හරවද්දී අඳුර සමඟ මදක් දෑස් ඊට හුරුවන පමාවට අඳුරේම එකසිය ගානට දරුණු වූ සිපගැනීමක ගිලී උන් ශානක සහ ඔහුගේ පෙම්වතිය දැක විසල් දෙසට එසවූ පය ආපසු ඇදගත්තේය.


එකවරම ඔහුගේ මනස හරහා අකුණක් නිසා විසල්ට මුලින්ම මැවුනේ ටෑන් පාට කෙල්ලකගේ නිරුවත් පියයුරක යන්තම් මතකයකි.

-------------------------- මතු සම්බන්ධයි ----------------------------

කල්ලරාව -  කල්ලරාව කියන්නේ තපස්සු භල්ලුක ලංකාවට ගොඩ බැහැපු තැන. 'ගල් වරායකියන එක තමයි දෙමල උරුවට කල්ලරාව වෙලා තියෙන්නේකල්ලරාවෙන් රටට ඇතුල්වෙලා ගෝමරන්කඩවලහතරැස්කොටුව කන්තලේසේරුවිල හරහා ඝන කැලේ මැදීන් තමයි මුලතිව් සහ නැගෙනහිර බැටී ගොඩබිම supply root වෙන්නේවැඩි විස්තර වලට https://en.m.wikipedia.org/wiki/Kallarawa ( විශේෂ ස්තූතිය මේ තොරතුරු දුන්නු ෆෝසස්වල සිටිනා නම කියන්ඩ බැරි එකාට)


** ගීතය : https://m.youtube.com/watch?v=InW6wWD4tBI

 ඉක්මනින් හමුවෙමු.

ප.ලි: මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බවත් , එය දැනට ජීවත්ව හෝ මියගිය කිසිවෙකුට සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

ගොඩාරියක් ස්තූතියි කියවනවාට සහ කමෙන්ට් කරන, ලයික් කරන නොකරන හැමෝටම

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

© ලිඛිතා මංජරී
නිර්මාණයේ සියලු හිමිකම් කතුවරිය සතුවන අතර, ලිඛිත අවසරයකින් තොරව කුමන ආකාරයකින් හෝ උපුටා ගැනීම, Screen Shot ගැනීම හෝ වෙනත් කිසිම මාධ්‍ය‍යක පල කිරීම සපුරා තහනම් වේ.

3 comments:

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...